ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිණිය ගැන විශේෂ හෙළිදරව්වක් – විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න

(10.12.2019 – 19:52 +0530 – hirunews.lk/sinhala)

මතභේදයට තුඩුදී ඇති ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිණිය සම්බන්ධයෙන් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා අද (10) විශේෂ හෙළිදරව්වක් කළා.

ඒ, කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

+++++++++++++++++++++

සිරියලතා … සිරියලතා …

+++++++++++++++++++++

අදත් (10) දෙවරක් CIDයට පැමිණි ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය පිටව යයි – සබඳකම් ගැනත් හෙළිදරව්වක්

(10.12.2019 – 19:07 +0530 – hirunews.lk/sinhala)

පැහැර ගැනීමට ලක්වූ බව කියන මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවාගත් නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් ප්‍රකාශ ලබාදීම සඳහා අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙවරක් පැමිණි අතර, වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙතද රැගෙන ගියා.

කිසියම් පිරිසක් විසින් පැහැරගැනුනු බව පැවසුණු මෙම කාන්තාව ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ දෙවන දිනයටයි.

එහිදී වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

අනතුරුව ඇය යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආ අතර, ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ නීතීඥ සුදර්ශන ගුණවර්ධන සිටින ආකාරයක්ද දක්නට ලැබුණා.

ඊයේ (09) දිනයේදී පැය 5 ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ගානියා බැනිස්ටර් රාත්‍රී 10 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා.

නැවත අද (10) පෙරවරු 9.15 ට පමණ ප්‍රකාශ ලබාදීම සඳහා ඇය යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට අයත් රථයකින්.

පස්වරු 1.30 පමණ වනතෙක් ප්‍රකාශ සටහන් කරගත් ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකළා.

ඒ අනුව පස්වරු දෙකට පමණ ගානියා බැනිස්ටර් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන ආ බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (09) දිනයේ ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ අදාළ තැනැත්තිය කිසියම් පහරදීමකට හෝ ලිංගික අපයෝජනයකට ලක්වී ඇත්ද යන්නත්, ඇය මෙම අවස්ථාවේ කිසියම් මානසික පීඩනයකින් පසුවන්නේද යන්නත් පරීක්ෂා කර වාර්තාවක් සපයන ලෙසයි.

වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් පස්වරු 4.15 ට පමණ ඉන් පිටතට රැගෙන එනු ලැබුවා.

අනතුරුව යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඇය රැගෙන යාමට එම නිලධාරීන් කටයුතු කළ අතර, පස්වරු 4.30 ට පමණ ඇය යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව ඇය යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී පස්වරු 5.30 ට පමණ ඉන් පිටව ගිය බව හිරු වාර්තාකරු සඳහන් කළා.

මේ අතර ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් පෙරේදා (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී මංජුල පෙරේරා නම් පුද්ගලයෙකු එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන්ට සඳහන් කර තිබුණේ කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටි නිවසක් වෙත පැමිණෙන ලෙසයි.

බැනිස්ටර් ප්‍රැන්සිස් විසින් එහිදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙන බවද අදාළ පුද්ගලයා එහිදී පවසා තිබුණා.

කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති කණ්ඩායම සහ තවත් මාධ්‍යවේදින් පිරිසක් ඊයේ (09) දිනය පුරා එම ස්ථානයේ රැඳී සිටියත්, ගානියා බැනිස්ටර් හෝ මංජුල පෙරේරා එහි පැමිණියේ නැහැ.

මේ අතර අදාළ නිවසේ හිමිකාරිනිය මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර, ඇය හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් සඳහන් කළේ තමන් එම නිවස පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී මංජුල පෙරේරාගේ බිරිඳගෙන් මිලදී ගත් බවයි.

මාධ්‍ය නොමග යැවූ මංජුල පෙරේරා නම් පුද්ගලයා ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස්ගේ සමීපතමයෙකු බව මේ වනවිට වාර්තාවී තිබෙනවා. එහෙත් ගානියා බැනිස්ටර්, මංජුල පෙරේරාගේ බිරිඳ බව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැහැ.

මේ අතර මංජුල පෙරේරා නැමැත්තා තම පුත්‍රයෙකු බව එක්සත් ජාතික පක්ෂයේ කැළණිය හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරා අප කළ විමසීමකදී තහවුරු කළා ෴

+++++++++++++++++++++

ස්විස් තානාපති නිලධාරිනිය අදත් CIDයට – පැහැරගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පරස්පර ප්‍රකාශ

(10.12.2019 – 18:44 +0530 – sinhala.adaderana.lk)

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගත් බව කියන සිද්ධියට අදාළව එම කාන්තාව පවසන තොරතුරු සහ ස්විස් තානාපති කාර්යාලයේ මුල් පැමිණිල්ලේ සඳහන් තොරතුරු අතර පරස්පරතාවක් පවතින බව හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

අද (10) තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ නිලධාරීන් අදාළ කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවටද යළි ඉදිරිපත් කෙරුණි.

තමන් පැහැරගැනීමකට ලක්වූ බවට චෝදනා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ග්‍රානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති නිලධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (09) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කළේය.

ඒ, ඇය ලිංගික අපයෝජනයකට හෝ පහරදීමකට ලක්ව ඇත්දැයි පරීක්ෂා කර අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ලබාදුන් නියෝගයට අනුවයි.

අනතුරුව ඊයේ පස්වරු 4.00 ට පමණ ඇය යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගිය අතර එහිදී දෙවන දිනටත් ඇයගෙන් පැය 06 ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනුණි.

අද (10) තුන්වන දිනටත් ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ අතර පෙරවරු 9.00 සිට පැය 04 ක පමණ කාලයක් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අනතුරුව ඇය අදත් (10) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කෙරුණි.

අනතුරුව ඇයව යළිත් රැගෙන යනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ කාන්තාවගෙන් මෙතෙක් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී, ඇය සහ ස්විස් තානාපති කාර්යාලය ලබාදුන් සිද්ධිය සිදුවූ ස්ථානය පිළිබඳ පරස්පරතාවක් පවතින බව අනාවරණ වී තිබේ.

ස්විස් තානාපති කාර්යාලයේ මුල් පැමිණිල්ලට අනුව කොළඹ 07 පිහිටි පාසලක් අසලදී මෙම පැහැරගැනීම සිදුව ඇතැයි සඳහන් වුවද අදාළ කාන්තාව මේ වනවිට හෙළිකර තිබෙන්නේ බම්බලපිටියේ ගුරුවරියකගේ නිවසකට ගිය අවස්ථාවේ තමන් මෙම සිද්ධියට මුහුණ පෑ බවයි.

එමෙන්ම පැහැරගැනීම සුදු පැහැති වාහනයකින් සිදුවූ බවට හඟවා තිබුණද ඇය එදින ගමන් ගනිමින් සිටි රතු පැහැති වාහනයෙන්ම නිරුපද්‍රිතව මාළිගාකන්දේ පිහිටි නිවසට ගිය බව සාක්ෂි මගින් හෙළිවී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදහස් පල කළේය.

+++++++++++++++++++++

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියගේ සිද්ධිය සම්පුර්ණ බොරුවක් – අමාත්‍ය මහින්ද අමරවීර

(10.12.2019 – 22:24 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද (10) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

රැස්වීම අවසන් වීමෙන් පසුව ඊට සහභාගීවූ ඇමතිවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

නිශාන්ත ද සිල්වා රටින් පැනයාම ගැන ගැටළුවක්

(10.12.2019 – 20:01 +0530 – hirunews.lk/sinhala)

පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාට රටින් පැනයාම සඳහා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉඩ ලබා දුන්නේ කෙසේද යන්න ගැටලුවක් බව ජාතික සංවිධාන එකතුමුව පවසනවා.

අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

+++++++++++++++++++++

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය ගැන අදත් විවිධ අදහස්

(10.12.2019 – 19:57 +0530 – hirunews.lk/sinhala)

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදීම සහ එම සිදුවීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් මෙලෙස අදහස් පල කළා.

+++++++++++++++++++++

ගානියාගේ කටඋත්තර පරස්පරයි : ස්විස් තානාපතිට ගෙදර යන්න වෙයි

(11.12.2019 – 04:00 +0530 – lankaleadnews.com)

දින තුනක් තුළ ගානියා ෆ‍්‍රැන්සිස් නමැති කාන්තාව රහස් පොලිසියට ලබාදුන් කටඋත්තර එකිනෙකට පරස්පර විරෝධී නිසා ඇය වෙනුවෙන් පෙනී සිටි ස්විස් තානාපති හැන්ස් පීටර් මොන් මහතාට මෙරටින් පිටව යෑමට සිදුවනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

මේ වනතුරු ස්විස් තානාපතිවරයා රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට ස්විස් යෑමට සංක‍්‍රමණික අයැදුම්පත් ලැබුණේ කෙසේ දැයි හෙළිකර නැත.

මේ සංක‍්‍රමණික අයැදුම්පත් ලබාදෙන්නේ ස්විස් තානාපති කාර්යාලය විසිනි.

රහස් පොලිස් පරීක්‍ෂකවරයා සිය පවුලේ අය සමග ස්විට්සර්ලන්තයට පිටව ගියේ සාමාන්‍ය වීසා අයැදුම්පතක් පුරවා නොවන බව රජයට හෙළි වී ඇත. මේ සංක‍්‍රමණික අයැදුම්පත් සකසන්නේ ස්විස් තානාපති කාර්යාලයේ සංක‍්‍රමණික නිලධාරියා විසිනි.

මෙම පසුබිම යටතේ නිශාන්ත සිල්වා ස්විස් යැවීමට මෙම නිලධාරිනිය ඍජුව දායක වී ඇති බවට කරුණු තහවුරු වී ඇත. ස්විස් තානාපති හැන්ස් පීටර් මොන් මහතා මෙම නිලධාරිනියගේ සිද්ධිය ගැන රජයට චෝදනා කළ අතර ඔහු විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවේ සිය සේවිකාවගේ ප‍්‍රකාශවල පරස්පර විරෝධතා ඇතැයි පිළිගෙන නැත ෴

+++++++++++++++++++++

ස්විස් නිලධාරිනිය බේරාගන්න ‘එන්ජීඕ’ ලොක්කෙක් දැඩි උත්සාහයක

(11.12.2019 – 03:03 +0530 – lankaleadnews.com)

පැහැර ගැනීමට ලක්වූ බව කියන ගානියා ප‍්‍රැන්සිස් නමැති ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය බේරා ගැනීම සඳහා මෙරට ‘එන්ජීඕ’ ප‍්‍රධානීන් පස් දෙනකු (05) දැඩි උත්සාහයක යෙදෙන බව රජයට අනාවරණය වී ඇත.

මින් එක් අයෙක් ස්විස් තානාපති කාර්යාලය සමග දැඩි සබඳකම් පවත්වන අතර පෙරේදා (09 දා) රාත‍්‍රියේ ඔහු රහස් පොලිස් මූලස්ථානය අසල රැඳී සිටි බව බුද්ධි සේවා නිලධාරීන් දැක තිබේ.

තානාපති නිලධාරිනියගේ සිද්ධිය වාර්තාවීමත් සමගම මෙම එන්ජී ඕ ප‍්‍රධානියා ස්විස් තානාපති කාර්යාලය වෙත ගොස් තානාපති නිලධාරිනිය හමුවී ඇත. මේ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානින්ට අරමුදල් සපයන්නේ ස්විස් රාජ්‍ය නොවන සංවිධානයකිනි.

මෙම රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් පසුගිය කාලයේ ජිනීවා මානව හිමිකම් සමුළුවලට සහභාගිවී ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර ඇත ෴

+++++++++++++++++++++

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය යළි රහස් පොලීසියට කැඳවීමේ සූදානමක්

(11.12.2019 – 19:05 +0530 – hirunews.lk/sinhala)

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය ලබාදී ඇති ප්‍රකාශවල පරස්පරතා පවතින බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

මේ අතර, ඉදිරි දිනකදී ඇය යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට ද නියමිත බවටයි වාර්තා වන්නේ.

පැහැර ගැණුනු බවට පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවා ගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් නමැති ඇය මීට පෙර අවස්ථා 3 කදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දුන්නා.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පැහැර ගැණුනු බව පැවසෙන සිද්ධියට අදාළව ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, එම ප්‍රකාශ වල ද පරස්පරතා පවතින බවටයි දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

පසුගිය 9 වනදා ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ඇයගේ නීතිඥ උපුල් කුමාරප්පෙරුම කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායිකාව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සම්බන්ධ විදේශීය සහ දේශීය වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් පරීක්ෂාවට ලක්කොට වාර්තාවක් ලබා ගත් බවයි.

එම වාර්තා තුළින් පැහැර ගැනීමෙන් පසු ඇය පහරදීම්වලට සහ ලිංගික අපයෝජනයට භාජනය වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි ඇයගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ.

කෙසේ වෙතත්, ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී පිරිමි වෛද්‍යවරයෙකු හමුවේ කායික පරීක්ෂණයකට භාජනය වීමට අකමැත්ත ප්‍රකාශ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව, ලිංගික අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවේ පරීක්ෂණයට ලක්වීමට අකමැත්ත ප්‍රකාශ කළ ඇය මීට පෙර වෛද්‍යවරුන් දෙදෙනෙකු යටතේ පරීක්ෂණයට භාජනය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම, ඇය පැහැර ගෙන ගොස් සතියක පමණ කාලයක් ගතවන තුරුත් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව, තානාපති කාර්යාලයේ නිලධාරිනිය වන ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් ක්‍රිස්තියානි මූලධර්මවාදී නිකායකට සම්බන්ධ වී ඇති අතර, ඒ අනුව ඇයගේ මුල් නම වෙනස් කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් කළ පළමු දිනයේදී ඇයගේ නියෝජිතයා ලෙස පෙනී සිටි මංජුල පෙරේරා නමැත්තා එක්සත් ජාතික පක්ෂයේ කැළණිය හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරාගේ පුත්‍රයා බවට ද මීට පෙර අනාවරණ වී තිබුණා.

මංජුල පෙරේරා නමැත්තා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයින් සමග සිටින ඡායාරූප කිහිපයක් ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින්නේ මෙවන් පසුබිමකයි.

මේ අතර, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහනුවරදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙම ක්‍රියාවලිය තුළ රජය අපහසුතාවයට පත් කිරීමේ උත්සාහයක් ලෙස සැලකෙන බවයි.

+++++++++++++++++++++

ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්ගෙන් ජවිපෙට චෝදනාවක්

(11.12.2019 – 20:24 +0530 – hirunews.lk/sinhala)

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සිද්ධියට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ බවට සිංහලයේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් චෝදනා කරනවා.

උන්වහන්සේ මේ අදහස් පල කළේ අද (11) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදියි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *