රාජිතගේ සමීපතමයෙකු සිදුකරන කෝටි ගණනක වංචාවක් ගැන අපේක්ෂා රෝහලෙන් හෙළිදරව්වක්

(12.12.2019 – 19:19 +0530 – hirunews.lk/sinhala)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ සමීපතමයෙකු මහරගම අපේක්ෂා රෝහලේ නම විකුණමින් රුපියල් කෝටි 100 ක මුදලක් එක්රැස් කිරීමේ ජාවාරමක නිරත වන බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ප්‍රකාශ කළා.

එම ජාවාරම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.

***************************************

පාස්කු ප්‍රහාරය ගැන ජනපති කොමිසමේ දී තවත් කරුණු රැසක් හෙළිවේ

(12.12.2019 – 20:41 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත යොමුකළ බව කියන ලිපිය තමන් වෙත නොලැබුණු බව පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුම ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් අද (12) සඳහන් කළා.

මේ අතර උප පොලිස් පරීක්ෂක ලහිරු ප්‍රදීප් මහතා සාක්ෂි දෙමින් සඳහන් කළේ, අදාළ ලිපිය ප්‍රහාරයට පෙර ලැබුණු බවට සාක්ෂි දෙන මෙන් තමන්ට විවිධ බලපෑම් එල්ල වූ බවයි.

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පත් කෙරුණු පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව හමුවට පොලිස් නිලධාරීන් 5 දෙනෙකු කැඳවා තිබුණා.

පාස්කු ප්‍රහාරයට පෙර එම ප්‍රහාරය පිළිබඳ දැනුවත් කරමින් පසුගිය අප්‍රේල් මස 11 වැනිදා උසස් පොලිස් නිලධාරීන්ට අදාළ ලේඛනය යොමුකර තිබූ බවට පෙර සාක්ෂි විමසීම්වලදී සඳහන්ව තිබුණා.

අදාළ ලේඛනය ජනක කුමාර මහතා වෙත ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විමසා සිටියේ අදාළ ලේඛනය පාස්කු ප්‍රහාරයට පෙර තමන් වෙත ලැබුණේ ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක කුමාර මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරයට පෙර තමන්ට එවැනි ලේඛනයක් නොලැබුණු අතර එවැනි ලේඛනයක් දැක හෝ නොතිබූ බවයි.

නමුත් පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් අනතුරුව එදිනම පස්වරු 12:56 ට කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරී සංජීව බණ්ඩාර විසින් වී.පී.එන්. මාර්ගයෙන් එම ලේඛනය තමන්ට යොමුකළ බව ඔහු සඳහන් කළා.

***************************************

හිරු සි.අයි.ඒ ඇසට හසු වූ මාතර ඩොල්ෆින් මස් ජාවාරම

(12.12.2019 – 20:30 +0530 – hirunews.lk/sinhala)

ආරක්ෂිත සමුද්‍ර ජීවියෙකු සැලකෙන ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ මස් නීති විරෝධී ලෙස අලෙවි කරන ජාවාරමක් වැලිගම මිරිස්ස ප්‍රදේශයෙන් සොයාගනු ලැබුවා.

ඒ හිරු සි.අයි.ඒ වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින් සමග එක්ව සිදුකළ වැටලිමකදියි.

මාතර, වැලිගම, මිරිස්ස ප්‍රදේශයේ පිහිටි අදාළ මත්ස්‍යය වෙළඳ සැල පිළිබඳව අප වනජිවි සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ සමුද්‍ර ආරක්ෂ අංශය දැනුවත් කරනු ලැබුවා.

කලක පටන් සිදුකරගෙන යන මෙම මස් ජාවරම සම්බන්ධයෙන් වෙළෙඳසැලේ සේවකයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු මාතර මහේස්ත්‍රත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මිරිස්ස සමුද්‍ර ජිවි ඒකකයේ නිළධාරින් හිරු සී.අයි.ඒ වෙත පැවසුවේ ඔහුගෙන් සිදුකල ප්‍රශ්න කිරිම් හමුවේ මෙම ජාවාරම මෙහෙය වන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවයි.

***************************************

තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා දෙන්න කාර්ය සාධක බලකායක්

(12.12.2019 – 19:23 +0530 – hirunews.lk/sinhala)

රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාදාමය දියත් කිරීම සඳහා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා සුවිශේෂී දෙපාර්තමේන්තුවක් හරහා අඩු ආදායම්ලාභී පවුල්වල අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ තරුණියන් ලක්ෂයක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ රැස්වීමට අද (12) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා දැනට භාවිත කරන ‘ඉසෙඩ් ස්කෝර්’ ක්‍රමය වෙනස් කිරීමට සහ ජාතික පාසල් දහසක් නම් කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවට එක්වූ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදහස් පළ කළා.

මේ අතර, තිරිඟු පිටි ආනයනික බදු කෙටි කාලසීමාවකට අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ.

එමෙන්ම, එම්.සී.සී. හෙවත් ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට රජය තීරණය කර නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත්කර තිබෙනවා.

***************************************

රජයේ ආයතන සහ සමාගම්වල සේවකයන්ට, බෝනස් දෙන්න මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය

(12.12.2019 – 16:55 +0530 – hirunews.lk/sinhala)

රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ රජයේ සමාගම්වල සේවක මණ්ඩලවලට මේ වසර සඳහා ප්‍රසාද දීමනා ලබාදීම මහා භාණ්ඩාගාරය විසින් අනුමත කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් සහ ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව, 2018 ගිණුම් වසරේ මූල්‍ය වාර්තා පදනම් කර ගනිමින් පසුගිය වසරේ ලබාදුන් ආකාරයට ප්‍රසාද දීමනා ගෙවන ලෙසටයි දැනුම්දී ඇත්තේ.

තම ආයතනවලට අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර නොමැති අවස්ථාවක වුව ද, රාජ්‍ය ආයතන වෙතින් ගෙවිය යුතු සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සිදුකිරීමට යටත්ව මේ වසරේ ප්‍රසාද දීමනා ගෙවීමට ද අවසරය හිමිව තිබෙනවා ෴

***************************************

මාධ්‍ය නිදහසට බලපෑම් නොකරන බවට ජනපතිගෙන් සහතිකයක්

(12.12.2019 – 16:43 +0530 – hirunews.lk/sinhala)

රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේ දී කිසිඳු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරම රටට සහ රටේ කීර්තිනාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් මාධ්‍යයෙන් රටට වියයුතු වගකීම් ඉටුකිරීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ජනාධිවරයා පැවැසුවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනයෙන් ජනාධිපතිතුමා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යලයේ දී පැවැත්වුණු අතර එහිදී ඔහු මේ බව සඳහන් කළා.

පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව තමා තෝරා පත් කර ගත්තේ අපේක්ෂා රැසක් පෙරදැරිවය. දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දූෂණය පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය ඒ අතර ප්‍රමුඛ වේ. එම අරමුණ ජය ගැනීමේදී ද මාධ්‍යයේ සහාය තමා වෙත නොඅඩුව ලැබෙනු ඇති බවට ජනාධිපතිවරයා මෙහිදී විශ්වාසය පළ කළා.

ආයෝජන සහ ආර්ථික සබඳතා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගීමට රටේ ප්‍රතිරූපය ඉතා වැදගත් වේ.

එබැවින් රටේ ප්‍රතිරූපය ගොඩනැගීමේදී ද මාධ්‍යයට පුළුල් වගකීමක් පැවරෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පසුගිය දිනවල සංවාදයට ලක් වූ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අදාළ සිදුවීමේ දී මෙරට මාධ්‍යවල හැසිරීම පිළිබද සිය ප්‍රසාදය පළ කළා.

ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය අන්දමින් එම සිදුවීම උලුප්පා දැක්වීමට ගත් උත්සාහය පිළිබඳව කණගාටුව පළ කළ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඒවා නිවැරදි කිරීමේ හැකියාව ද මෙරට මාධ්‍ය සතුව පවතින බවයි.

නගර අලංකරණ කටයුතු මෙන්ම රට පුරා නිර්මාණය වී ඇති චිත්‍ර ඇදීමේ රැල්ල පිළිබදව මෙහිදී මාධ්‍ය දැනුවත් කළ ජනාධිපතිවරයා පැවසුවේ එය කිසිවෙකුගේ ඉල්ලීමක් අනුව ආරම්භ වූවක් නොව රටට ආදරය කරන තාරුණ්‍ය අතරින්ම බිහි වූ නිර්මාණශීලි වැඩපිළිවෙළක් බවයි.

කෙසේ වෙතත් රටට ආදරය කරන එම කණ්ඩායම් දිරි ගැන්වීම වෙනුවෙන් මාධ්‍යයේ දායකත්වය නොඅඩුව ලැබීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිළි කළා.

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට‍ එක්ව සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *