ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට විදෙස් ගත වීම තවදුරටත් තහනම්

(12.12.2019 – 15:24 +0530 – hirunews.lk/sinhala)

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට විදෙස් ගත වීම තවදුරටත් තහනම් – විශේෂඥ මානසික වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කිරීමටත් අවසර

පැහැර ගැනීමට ලක්වූවා යැයි පැවසූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරීනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තියට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය ලබන 17 වැනිදා දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළා.

ඒ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වල ප්‍රගතිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු දැක්වූ අවස්ථාවේදීයි.

පැහැර ගැනුණු බවට පැවසූ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් වෙනුවෙන් නීතිඥ සුදර්ශන ගුණවර්ධන සමඟ නීතිඥ උපුල් කුමරප්පෙරුම පෙනී සිටි අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූයේ සහකාර පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගෙන් මෙතෙක් ප්‍රකාශ සටහන් කරගෙන අවසන්ව නොමැති බවයි.

අධිකරණ නියෝගයට අනුව අදාළ තැනැත්තිය කායික සහ මානසික පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීන් හමුවට යොමුකළ බව සඳහන් කළ රජයේ අධිනීතිඥවරයා, ඇයගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩිදුර පරීක්ෂණය සඳහා ඇයව විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමුකරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිනිය නිර්දේශ කර ඇති බවද සඳහන් කළා.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ අදාළ තැනැත්තිය විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමුකර වාර්තාවක් ලබාගෙන එය ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් හෙට (13) දිනයේ විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කිරීමට සූදානම් කර ඇති අතර, එම වාර්තා ලැබීමෙන් අනතුරුව එය සමඟ, ඇය පිළිබඳව සිදුකරන ලද කායික වෛද්‍ය වාර්තාවද ඉදිරිපත් කළ හැකි බව අධිකරණ වෛද්‍ය නිලධාරිනිය දැනුම් දී ඇති බව මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා දැනුම් දුන්නා.

මෙතෙක් අදාළ කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන්ව නොමැති බව අධිකරණයට දැනුම් දුන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා, ප්‍රකාශ සටහන් කරගෙන අවසන් කිරීම සඳහා ඇයව ලබන සඳුඳා දින යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නා.

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම සඳහන් කළේ තම සේවාදායිකාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 20 කට අධික කාලයක් දිගින් දිගටම ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මේ වනවිට යම් අසනීප තත්ත්වයකින් පසුවන බවයි.

එබැවින්, ස්විට්සර්ලන්ත තානාපති නිල නිවසේදී ඇයගෙන් ප්‍රකාශ ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නීතිඥවරයා ඉල්ලීමක් කළා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රධාන මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නේ එම ඉල්ලීමට නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධ බවයි.

ස්විට්සර්ලන්ත තානාපති නිල නිවස යනු ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශයක් වන බැවින් එහි මෙරට නීතිය ක්‍රියාත්මක නොවීම නෛතිකමය වශයෙන් ගැටළු සහගත තත්ත්වයක් බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහිදී සඳහන් කළා.

එබැවින් සාමාන්‍ය ක්‍රියා පටිපාටිය ඔස්සේ ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන සියළු විමර්ශනයන්ගේ ප්‍රගතිය ලබන 17 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස දැනුම් දුන්නා.

මේ අතර, ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් පසුගිය 08 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී මංජුල පෙරේරා නම් පුද්ගලයෙකු ගානියාගේ නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් මාධ්‍යවේදීන්ට සඳහන් කළේ ඊට පසුදින ගානියා බැනිස්ටර් කොළඹ – බාන්ස් පෙදෙසේ පිහිටි නිවසකදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙන බැවින් ඒ සඳහා පැමිණෙන ලෙසයි.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති කණ්ඩායම සහ තවත් මාධ්‍යවේදීන් රැසක් ඊට පසුදින වන 09 වැනිදා එම ස්ථානයේ දිගු වේලාවක් රැඳී සිටියද ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් හෝ මංජුල පෙරේරා එහි පැමිණියේ නැහැ.

මේ අතර, ගුවන් යානයක සිට ලබාගත් ඡායාරූපයක් ගානියා බැනිස්ටර්ගේ නියෝජිතයා ලෙස පෙනී සිටි මංජුල පෙරේරා අද (12) පෙරවරු 07 ට ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණා.

ඔහු එම ඡායාරූපය ලබාගෙන තිබුණේ ඇමරිකා එක්සත් ජනපදයට අයත් විදේශ ගමන් බලපත්‍රයක් ප්‍රදර්ශනය කරමින්.

+++++++++++++++++++++++++++++++++++

ස්විස් තානාපති නිලධාරිනිය සී.අයි.ඩී.යට පැමිණේ

(13.12.2019 – 12:39 +0530 – hirunews.lk/sinhala)

පැහැර ගැනීමට ලක්වූවා යැයි පැවසූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරීනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් අද (13) සිව් වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණියා.

ඒ, විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කිරීම සඳහායි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ අදාළ තැනැත්තිය විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමුකර වාර්තාවක් ලබාගෙන එය ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව අද ඇය මනෝ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එහිදී ලබාදෙන වාර්තාවත් සමඟ, ඇය පිළිබඳව සිදුකරන ලද කායික වෛද්‍ය වාර්තාවද ඉදිරිපත් කළ හැකි බව අධිකරණ වෛද්‍ය නිලධාරිනිය දැනුම් දී ඇති බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට දැනුම් දුන්නේ.

පැහැර ගැනීමට ලක්වූවා යැයි පැවසූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරීනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගේ නඩුව ඊයේ (12) දිනයේදී කැඳවූ අවස්ථාවේදී ඇයට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනමද මේ මස 17 වැනිදා දක්වා යළි දීර්ඝ කරනු ලැබුවා.

මේ අතර, සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කොළඹ අද (13) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ පැහැර ගැනීමට ලක්වූවා යැයි පැවසූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරීනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගේ සිද්ධිය පිටුපස ඇති ක්‍රියාදාමය සම්බන්ධයෙන් නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කරන ලෙසයි.

***************************************

ටයිපටි පැළඳ ඇවිත් දේපළ කොල්ලකෑ කල්ලියක් දැලේ

(13.12.2019 – 11:37 +0530 – lankadeepa.lk)

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින් කාර්යාලයීය ඇඳුම්වලින් සැරසී ව්‍යාපාරිකයකුගේ නිවසකට පැමිණ, මුදල් හා රන් ආභරණ කොල්ල කා පලාගිය සිව්දෙනෙකු ප්‍රදේශවාසීන් පිරිසක් අල්ලා පොලිසියට භාරදුන් බව ගලේවල පොලිසිය කියයි.

කොල්ල කා ඇත්තේ ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ මාදිපොල හතේ කණුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක්ය.රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදල් සහ රන් ආභරණ කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.

මොවුන් ටයි පටි පැළඳ, මෝටර් රථයකින් පැමිණ හැඳුනුම්පතක්ද පෙන්වා තමන් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බවත් රුපියල් ලක්ෂ 40 ක පමණ ආදායම් බදු ගෙවීම් පැහැර හැර තිබෙන බ‍වත් චෝදනා කර ඇත. ඉන්පසු නිවැසියන් සාලයේ වාඩි කරවා නිවස පරීක්ෂා කර, නිවසේ තිබූ මුදල් සහ ආභරණ රැගෙන පලාගිය බවත් නිවැසියෝ කියති.

නිවැසියන්ට සැක සිතී ප්‍රදේශවාසීන් හා එක්ව යතුරුපැදිවලින් මෙම මෝටර් රථය ලුහුබැඳ, ගොකරැල්ල පොලිස් බල ප්‍රදේශය දී ඔවුන් අල්ලාගෙන ගොකරැල්ල පොලිසියට භාරදී ඇති බව ගලේවෙල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් බදුල්ල, දකුණු කළුතර, කටුගස්තොට ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මෙම පිරිසට සහය දුන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

බදුල්ල ප්‍රදේශයේ වාහන කුලියට දෙන ස්ථානයකින් මෝටර් රථය ලබාගෙන ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස වෙස් වලාගෙන නිවෙස්වලට පැමිණ කාලයක් තිස්සේ මුදල් මංකොල්ලකන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

ගොකරැල්ල පොලිසිය සැකකරුවන් ගලේවෙල පොලිසියට භාරදී තිබේ.

සැකකරුවන් මෝටර් රථය සහ සොයාගත් මුදල් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

***************************************

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම අත්සන් කිරීමට, රජය කිසිදු තීරණයක් ගෙන නැහැ – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

(13.12.2019 – 11:18 +0530 – hirunews.lk/sinhala)

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හෙවත් එම්.සී.සී. ගිවිසුම, ඇක්සා සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීමට රජය මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට අද (13) දැනුම් දුන්නා.

ඒ, අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥ දර්ශන වේරදූවගේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (13) කැඳවූ අවස්ථාවේදීයි.

එමෙන්ම, අදාළ ගිවිසුම් නැවත සමාලෝචනය කිරීමටද කටයුතු කරමින් සිටින බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ.

බුවනෙක අළුවිහාරේ, එස්. තුරෙයිරාජා, මූර්දු ප්‍රනාන්දු, එල්.ටී.බී.දෙහිදෙනිය සහ ගාමිණී අමරසේකර යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම් කැඳවනු ලැබුවා.

ඒ අනුව පෙත්සම් ලබන වසරේ මාර්තු 25 වැනිදා යළි සලකා බැලීමටයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දින නියම කළේ.

+++++++++++++++++++++

***************************************

රාජිතට එරෙහිව මුසම්මිල්ගෙන් CIDයට පැමිණිල්ලක්

(13.12.2019 – 12:36 +0530 – sinhala.adaderana.lk)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා විසින් පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

රාජිතයා

2017 වසරේදී නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලය ද නොමග යවා එම පෞද්ගලික රෝහල වසරකට රුපියල් ලක්‍ෂ 30,000 කට අධික රජයේ මුදලක් වැය කරමින් නඩත්තු කිරීමෙන් එවකට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ රාජිත සේනාරත්න නැමැත්තා බරපතළ මූල්‍ය අපරාධයක් සිදුකර ඇති බවට අද (13) ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙම මූල්‍ය අපරාධය පිළිබඳව පැමිණිල්ල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කිරීම සඳහා ඒ මහතා එම කොට්ඨාසය වෙත පැමිණි අතර එහි නිලධාරින් පැමිණිල්ල භාර ගැනීමට නොහැකි බවත් එය සීඅයිඩී යට ඉදිරිපත් කරන ලෙසත් දන්වා ඇත.

ඉන්පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ජානිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා තම පැමිණිල්ල එහි අධ්‍යක්‍ෂවරයා වෙත භාරදෙනු ලැබීය.

ඒ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබූ ලිඛිත පැමිණිල්ලේ මෙසේද සඳහන්ය :

“අවුරුදු 10 ක කාලසීමාවක් යන තෙක් නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමක් සිදු කළ නොහැකි බව දැන දැනම කැබිනට් මණ්ඩලය නොමඟ යවමින් ද එය රජයට පවරා ගැනීමට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බරපතළ මූල්‍ය අපරාධයක් සිදුකොට ඇති බවට සාක්ෂි සහිතව මා හට කරුණු ඉදිරිපත් කළ හැකිව තිබේ.

ඉහත කී කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබාගෙන ඔහු විසින් පෞද්ගලික රෝහලක් වන නෙවිල් ප‍්‍රනාන්දු රෝහල වෙනුවෙන් වැය කොට ඇති රජයේ මුදල් හා සම්පත් ප‍්‍රමාණය අතිමහත් ය.

එම පෞද්ගලික රෝහලට රජයේ හෙදියන් හා වෙනත් රෝහල් කාර්ය මණ්ඩල යොදවා ඔවුන්ට රජයෙන් වැටුප් ගෙවා ඇති අතර ඒ සඳහා යොදවා ඇති මුදල රුපියල් මිලියන 27 කට ආසන්න ය.

මාසිකව නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ පරිපාලන වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 200 ක් ද ඹෟෂධ ලබා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 50 ක් ද වැය කොට ඇත.

ඒ අනුව වසරකට රුපියල් මිලියන 3000 ක රාජ්‍ය මුදල් අවභාවිතාවක් මෙම තැනැත්තා විසින් සිදුකොට ඇත.

අප විසින් ලිඛිත හා වාචික සාක්ෂි සහිතව ඉදිරිපත් කරන මෙම බරපතළ මූල්‍ය අපරාධය පිළිබඳව කඩිනමින් පරික්‍ෂණයක් සිදුකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.”

+++++++++++++++++++++

***************************************

පොලිස් ලොක්කන් කිහිප දෙනෙකු අදත් පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමට

(13.12.2019 – 12:45 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද (13) දිනයේදීත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සාක්ෂි ලබාදීමට නියමිතයි.

තලංගම පොලිස් ස්ථානයේ ස්ථානාපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ඩී. අනිල් ජයරත්න, කොළඹ උතුර කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී එච්. ඩී. නෙරංජල අබේවර්ධන සහ මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. අයි. සුදත් ප්‍රියන්ත ඒකනායක අද (13) දිනයේ සාක්ෂි ලබාදෙනු ඇති.

මේ අතර, පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යොමු කළ ලිපිය තමන්ට නොලැබුණු බවයි ජනාධිපති කොමිසම හමුවේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඊයේ (12) අනාවරණ කළේ ෴

***************************************

හිරු සි.අයි.ඒ ඇසට හසු වූ මාතර ඩොල්ෆින් මස් ජාවාරම

(12.12.2019 – 20:30 +0530 – hirunews.lk/sinhala)

ආරක්ෂිත සමුද්‍ර ජීවියෙකු සැලකෙන ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ මස් නීති විරෝධී ලෙස අලෙවි කරන ජාවාරමක් වැලිගම මිරිස්ස ප්‍රදේශයෙන් සොයාගනු ලැබුවා.

ඒ හිරු සි.අයි.ඒ වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින් සමග එක්ව සිදුකළ වැටලිමකදියි.

මාතර, වැලිගම, මිරිස්ස ප්‍රදේශයේ පිහිටි අදාළ මත්ස්‍යය වෙළඳ සැල පිළිබඳව අප වනජිවි සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ සමුද්‍ර ආරක්ෂ අංශය දැනුවත් කරනු ලැබුවා.

කලක පටන් සිදුකරගෙන යන මෙම මස් ජාවරම සම්බන්ධයෙන් වෙළෙඳසැලේ සේවකයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු මාතර මහේස්ත්‍රත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මිරිස්ස සමුද්‍ර ජිවි ඒකකයේ නිළධාරින් හිරු සී.අයි.ඒ වෙත පැවසුවේ ඔහුගෙන් සිදුකල ප්‍රශ්න කිරිම් හමුවේ මෙම ජාවාරම මෙහෙය වන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවයි.

***************************************

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

(13.12.2019 – 09:29 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නාගරික බල ප්‍රදේශයේ ස්ථාන රැසකට හෙට (14) රාත්‍රී 8 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව මෙම කාලය තුළ කොළඹ කලාප අංක 1, 2, 3, 4, 7, 8, 9, 10, 11, 12, 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම, කොළඹ 5 සහ 6 යන ප්‍රදේශවලට අඩු පීඩනය යටතේ ජල සැපයුම සිදුකෙරෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ ෴

***************************************

පාරවල් වල චිත්‍ර ඇදීමේ සත්‍යයය දීගොඩ කුමාර සූරීන් හෙළිකරයි

13-12-2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *