වෛද්‍ය සාෆි ගැන විමර්ශන අලුත් කණ්ඩායමකට – නැවත සාක්ෂි ලබා ගැනීමටත් අවස්ථාවක්

(12.12.2019 – 19:25 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ෂිහාබ්දීන්ට එරෙහි චෝදනා විමර්ශණය සදහා සහකාර පොලිස් අධිකාරිවරයෙක් යටතේ නව කණ්ඩායමක් පත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වඳභාවයට පත් කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (12) කැඳවූ අවස්ථාවේදියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටිමින් මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කල බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

එහිදී ඔහු වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම්දී ඇත්තේ සිද්ධියට අදාළ පූර්වගාමී විමර්ශන සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව සෑහීමකට පත් නොවූ බව දැනගන්නට ලැබුණු බවයි.

ඒ අනුව විමර්ශනය සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් වෙනත් කණ්ඩායමක් පත් කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ පලපුරුද්දක් සහිත විශේෂඥ දැනුම ඇති නිලධාරින් අවශ්‍ය තරම් සිටින බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා යම් නිලධාරියෙක් හෝ නිලධාරීන් කිහිපදෙනෙකු ස්ථාන මාරුවී යාම හේතුවෙන් කිසිදු විමර්ශණයක් අතරමග නතර නොවන බවද කියා සිටියා.

ඔහු පැවසුවේ කිසිවෙකුගේ සැකයට භාජනය නොවන ලෙස විමර්ශන සිදුකල යුතුව ඇති බවයි.

ඒ අනුව ඉදිරි විමර්ශණ කටයුතු නිසි විනිවිද භාවයකින් යුතුව විශේෂඥ උපදෙස් සැළකිල්ලට ගනිමින් කරගෙන යන බව ඔහු අධිකරණය හමුවේ කියා සිටියා.

සැකකරුගේ මුල්‍ය හා අනෙකුත් වත්කම් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශණ අංශය වෙනම විමර්ශණයක් සිදුකරන බවත් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි කරුණු වාර්තා කරන බවත් අධ්‍යක්ෂවරයා, අධිකරණයට දැනුම් දුන්නා.

මවකගේ ඇඳ ඉහපත් වාර්තාව වෙනස් කොට අලුත උපන් බිළිදෙකු වෙනත් පාර්ශවයකට ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාව පිළිබදවද වෙනම විමර්ශනයක් සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

විත්තිකාර වෛද්‍ය සාෆි ෂීහාබ්දීන් ඇප නියෝග කඩකර අවස්ථා දෙකකදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිට නොමැති බව ද මෙහිදී හෙළි වුණා.

විත්තිකරු වෙනුවෙන් පෙනිසිටි ජනාධිපති නිතිඥ නවරත්න බණ්ඩාර අධිකරණය හමුවේ කියා සිටියේ සිද්ධියට අදාළව මෙතෙක් විනිවිදභාවයෙන් පරීක්ෂණ සිදුනොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශයෙන් හැගී යන බවයි.

එහෙත්, විමර්ශන සිදුකලේ සහකාර පොලිස් අධිකාරී බී. එස්. තිසේරා බවත්, එය අධීක්ෂණය කලේ පොලිස් අධිකාරි ශානි අබේසේකර බවත් නීතිඥවරයා විවෘත අධිකරණයේදී සඳහන් කළේ එම නිලධාරීන් අපක්ෂපාතී බව ද පවසමින්.

කෙසේ වෙතත්, එහිදී ඔවුන් පොලිස් නිලධාරින් පමණක් බැවින් අපක්ෂපාතී නිලධාරින් යැයි සඳහන් කළ නොහැකි බවයි විනිසුරු සම්පත් හේවාවසම් කියා සිටියේ. ඒ අනුව නඩුවට අදාළ කරුණු පමණක් වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා, විත්තියේ නීතිඥවරයාට දැනුම් දී තිබුණා.

ජිවිත තර්ජන හේතුවෙන් මේ වන විට කල්මුණේ ප්‍රදේශයේ ජිවත් වන විත්තිකරු ජනාධිපතිවරණ දිනට පසුදින කොළඹට පැමිණීමට බස් රථයක් නොමැති වූ නිසා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි බවයි මෙහිදී නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ.

එසේම, ඊට අදාළව පොලිස් අධිකාරි තිසේරා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා දැනුවත් කළ බව ද ඔහු කියා සිටියා.

මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනිසිටි නිතිඥ කල්‍යානන්ද තීරණාගම පෙන්වා දුන්නේ ඉදිරිපත් වි ඇති ප්‍රකාශ අනුව විත්තිකාර වෛද්‍යවරයා වසර දෙකහමාරක් තුල සිසේරියන් සැත්කම් 1784 ක් සිදුකර ඇති බවයි.

එසේම ඔහු සිංහල මව්වරුන් සොයා ගොස් සිසේරියන් සැත්කම් සිදුකර ඇති බවද ඉදිරිපත් වි ඇති ප්‍රකාශ වලින් පැහැදිලි වන බව ඔහු අධිකරණයට පෙන්වා දුන්නා.

මෙහිදි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ නවරත්න බණ්ඩාර ඔහුට දිගින් දිගටම බාධා කල අතර අවස්ථා කිහිපයකදීම ඔහුට අවවාද කිරිමට මහේස්ත්‍රාත්වරයාට සිදුවුණා.

එක් අවස්ථාවක මහේස්ත්‍රාත්වරයා සදහන් කලේ විවෘත අධිකරණයේදී නිතීඥවරුන් හැසිරෙන ආකාරය අනුව ඔවුන් ඉගෙන ගත් පාසල ද අගෞරවයට පත් වන බව සිහි තබාගන්නා ලෙසයි.

එසේම, මෙහිදී ඇප කොන්දේසි ලිහිල් කරන ලෙසට විත්තියේ පාර්ශවයෙන් කළ ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැඩි විරෝධය පළ කර තිබෙනවා. ඒ අනුව, ඇප කොන්දේසි ලිහිල් කිරිම පිළිබඳව මීළඟ නඩු දිනයේදී තීන්දුවක් ලබාදෙන බවයි විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයාට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරන විමර්ශනයකදී විත්තිකාර වෛද්‍ය සාෆි ෂීහාබ්දීන් විවිධ බලපෑම් සිදුකර ඇති බවයි.

එම බලපෑම් මත රෝහල් අධ්‍යක්ෂකවරයාගේ වැඩ තහනමක් සිදුවුවහොත් එමගින් විමර්ශනවලට අගතියක් සිදුවිය හැකි බව ද නිතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

අගතියට පත් පාර්ශවයේ තවත් නිතිඥවරයෙකු අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකර සාෆි ෂීහාබ්දීන්ගේ බැංකු ගිණුම්වල අවසාන ශිර්ෂයන් පිළිබඳ පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශණ අංශ නිලධාරින් විසින් අධිකරණයට දැනුම්දී ඇති බවයි.

එම ගිණුම් වල ක්‍රියාකාරිත්වය පිළිබද අධිකරණය දැනුවත් කර නොමැති බව සඳහන් කළ නිතිඥවරයා විත්තිකරුගේ ඇතැම් ගිණුම් වලට විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවට වන තොරතුරු අධිකරණයට ඉදිරිපත් කළා.

එසේම, විමර්ශන නිලධාරින්ට ස්ථාන මාරුවක් ලැබුණු විට ඉන් කම්පනයට පත්විය යුත්තේ අගතියට පත් පාර්ශවය බව පෙන්වා දුන් පැමිණිලි පාර්ශවයේ නීතිඥවරුන් විත්තිය කළබලයට පත්වීම පිලිබඳව ද, මෙහිදී අදහස් පළ කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ පිඨාධිපතිවරයාගෙන් විශේෂඥ වාර්තාවක් මීට පෙර කැඳවූ අතර, එය ලැබි ඇති බව මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදි ප්‍රකාශ කලා.

එම වාර්තාව ලබා දි තිබුනේ මහාචාර්යවරුන් පස්දෙනෙකු සහ වෛද්‍යවරුන් 09 දෙනෙකුගෙන් යුත් විශේෂඥ මණ්ඩලයක් විසින්.

එම වාර්තාවට අනුව වින්දිත කාන්තාවන් එච්.එස්.ජි පරික්ෂණයකට යොමු කිරිම සාර්ථක පියවරක් නොවන බවත්, වෙනත් පරීක්ෂණ දෙකක් නිර්දේශ කර ඇති බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

එසේම, සාක්ෂිවල පරස්පරතා පවතී නම්, එම ප්‍රකාශ යළි සටහන් කර ගන්නා ලෙසයි කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.

වැඩිදුර නඩු විභාගය ලබන මස 16 වනදා දක්වා කල් තැබුණේ ඉන් අනතුරුවයි.

මේ අතර, නඩු විභාගයෙන් අනතුරුව විත්තිකාර වෛද්‍ය සාෆි ෂීහාබ්දීන් අධිකරණ පරිශ්‍රය තුළට මෝටර් රථයක් ගෙන්වා ගෙන ඉන් පිටව යන ආකාරය ද, දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++

ෂාෆි ගැන විමර්ශන කරන්න නව කණ්ඩායමක්

(12.12.2019 – 13:20 +0530 – sinhala.adaderana.lk)

සිංහල මව්වරුන් වන්ද්‍යාකරණයට ලක්කළ බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆිට එරෙහි විමර්ශන මුල සිට ආරම්භ කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (12) අධිකරණය අවසර ලබා දුන්නේය.

ඒ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ නව කණ්ඩායමක් පත්කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න මහතා අද (12) අධිකරණයට දැනුම් දුන්නේය.

අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා යටතේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා හමුවේ නඩුව අද (12) යළි විභාගයට ගත්තේය.

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය අවට ආරක්ෂාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවා තිබුණි.

නඩුවට සහභාගිවිම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි අද පෙරවරු 09:30 ට පමණ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය වෙත පැමිණියේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවට අදාළව පෙනී සිටීම විශේෂත්වයක්.

එහිදී නඩුවට අදාළව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න මහතා පැවසුවේ මෙම නඩුවේ විමර්ශන කටයුතු ශානි අබේසේකර සහ තිසේරා යන නිලධාරීන් විසින් සිදුකළ බවයි.

කෙසේවෙතත් නව නිලධාරින් පිරිසක් පරික්ෂණ කටයුතු සිදුකරන අතර එය පරික්ෂණ කටයුතුවලට බාධාවක් නොවන බවද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එමෙන්ම නව විමර්ශනයක් සිදුකර පැමිණිල්ලේ සාක්ෂි සම්පිණ්ඩනයක් සිදුකරන බවද ඔහු අධිකරණය හමුවේ සඳහන් කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුවේ හදවත බව පෙන්වා දුන් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ විනිවිදභාවයේ විමර්ශන කටයුතු සිදුකරන බවයි.

කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා මහාචාර්යවරු 05 දෙනෙකු ඇතුළු වෛද්‍යවරුන් 09 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවද මේ සඳහා යොදාගන්නා බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක සඳහන් කළේය.

වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් වන මූල්‍ය වත්කම් චෝදනා පිළිබඳවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විමර්ශනයක් සිදුකරන අතර සැකකාර වෛද්‍යවරයා මවකගේ ඇඳ ඉහපත් වෙනස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකරන බවද අධිකරණයට ප්‍රකාශ කළේය.

එමෙන්ම ඇප මත මුදාහැර ඇති සැකකාර වෛද්‍යවරයා ඇප කොන්දේසි අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශය හමුවේ සතියට වරක් පෙනි සිටිය යුතු වුවද නොවැම්බර් මස දින 02 ක් එහි පෙනී සිට නැති බවද අපරාධ පරික්ෂණ දොපර්තමේන්තුව හමුවේ අනාවරණ කළේය.

එක් අවස්ථාවක අසනීප බවත්, පසුගිය නොවැම්බර් මස 17 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නොහැකි වුයේ ජනාධිපතිවරණයට පසුදින බැවින් කල්මුණේ සිට පැමිණීමට ප්‍රවාහන පහසුකම් නොමැති බවද වෛද්‍යවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවයි.

අදාල කරුණු සම්බන්ධයෙන් සලකා බලන ලෙස ඉල්ලා සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබාදීමට අවම මාසයක පමණ කාලයක් අවශ්‍ය බවයි.

මෙහිදී ෂාෆි වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර මහතා කියා සිටියේ වඳ සැත්කම් සිදුකළ බවට ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව කිසිඳු වාර්තාවක් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් වී නොමැති බැවින් ඔහුව නිදහස් කරන ලෙසයි.

මෙහිදී අගතියට පත් මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කල්‍යානන්ද මහතා පැවසුවේ ෂාෆි වෛද්‍යවරයා සිංහල මව්වරුන් සොය සොයා සිසේරියන් සැත්කම් සිදුකළ බව රෝහල් හෙදියන් පැවසු බවයි.

එසේම ඔහු තරම් වෙනත් කිසිදු වෙද්‍යෙවරයෙක් එම රෝහලේ සිසේරියන් සැත්කම් සිදුකළ නොමැති බවද පෙන්වා දුන්නා.

එසේම අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයෙකු සඳහන් කළේ ෂාෆි වෛද්‍යවරයා රුපියල් මිලියන 100 ය 200 ය බැගින් බැරවී ඇති බැවින් ඒ පිළිබඳ නව විමර්ශන කණ්ඩායම සොයාබැලිය යුතු බවයි.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අදාළ වෛද්‍යවරයාට තිබූ චෝදනා ඉවත් කිරීම පිළිබඳවද විමර්ශනය සිදුකිරීමද අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරු පෙන්වා දුන්නේය.

ෂාෆි වෛද්‍යවරයාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දන්වා තිබුණද ඔහු මඩකලපුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලයේ පෙනී සිට ඇති බවද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අධිකරණය හමුවේ අනාවරණය කළේය.

මෙහිදී ෂාෆි වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ මේ වනවිටත් විදේශගත සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත ද සිල්වා සහ තිසේරා යන නිලධාරින්ගේ අවසරය මත මඩකලපුව කාර්යාලයේ ෂාෆි වෛද්‍යවරයා පෙනී සිටි බවයි.

අධිකරණ නියෝග නොතකා ෂාෆි වෛද්‍යවරයා කටයුතු කළ නිසා ඔහුට තවදුරටත් මඩකලපුව කාර්යාලය හමුවේ පෙනී සිටීමට අවසර ලබාදිය නොහැකි බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මෙම නඩුව අවසන් වනතුරු මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමු පැවැත්තවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ෂාෆි වෛද්‍යවරයා වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියද මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ භාෂණයේ නිදහස සීමා කිරීමට තමාට නොහැකි බවයි.

සියලු කරුණු සලකා බැලු කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් මුල සිට පරික්ෂණ ආරම්භ කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.

නඩුව ලබන වසරේ ජනවාරී මස 16 වන යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කිරීමෙන් පසුව ෂාෆි වෛද්‍යවරයා අධිකරණ භූමියට පෞද්ගලික රථයක් ගෙන්වා ගෙන එම ස්ථානයෙන් පිටව ගියේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *