කූට ජිනීවා ක්‍රියාවලියෙන් ඉවත්වන්නේ කෙසේද? – යසස් ධර්මදාස

(12.12.2019 – 07:29 +0530 – lankaleadnews.com)

අරාජිකත්වයෙන් අග තැන්පත්ව තිබුණ අර්ධ දශකය අවසන් කරමින් මාතෘ භූමියේ නිවහල්භාවය සනිටුහන් කරමින් පසුගිය ජනාධිපති මැතිවරණ සමයේ දී නැවතත් ජාතියේ ස්වාධීනත්වයේ කාහළ නාදය රැව් දෙන්නට විය. ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ ජයග‍්‍රහණය සනිටුහන් කළ එම කාහළ නාදයේ එක් බර අවියක් වූයේ, යහපාලන රජය විසින් ජිනීවාහි දී සම අනුග‍්‍රහය දී අවිවාදිතව පිළිගත්, යුද අපරාධ චෝදනා වලින් ඉවත් වන බවට කළ ප‍්‍රකාශයයි. පසුගිය 16 වැනි දින එම ප‍්‍රකාශය ලක්ෂ 69 කට අධික ජනතාවක් විසින් ඡුන්ද ලක්ෂ 13 ක වැඩි ඡුන්ද ප‍්‍රමාණයක් ලබාදී ඉහළින්ම ජයග‍්‍රහණය කරවන ලදි. ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව නියෝජනය කරන අප මේ පිළිබඳව ඉතා සතුටට පත්වන අතර වසර තුනකට මදක් අධික කාලයක් තිස්සේ අප විසින් ගෙන ගියාවූ සටනේ එක සංධිස්ථානයක් සනිටුහන් කිරීමක් ලෙස මෙම ජයග‍්‍රහණය සළකන්නෙමු. වඩා වැදගත් වන්නේ ඉදිරිය ජයගත හැක්කේ කෙසේද කියා දැන ගැනීම වුවද යහපාලන රජය අවිවාදිතව පිළිගත් යුද අපරාධ මොනවාද එහිදී රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස අප ඉටුකළ කාර්යභාරය කුමක්ද යන්න සැකෙවින් හෝ සඳහන් කිරීමද සුදුසු යැයි සිතමු.

ශ‍්‍රී ලංකාව පිළිබඳව සොයා බැලීමේ මානව හිමිකම් මහ කොමසාරිස්තුමාගේ කාර්යාලීය වාර්තාවේ (Report of the Office of High Commissioner for Human Rights Investigation on Sri Lanka – OISL Report, 30/01) සඳහන් මහින්ද රාජපක්ෂ රජයේ අණ පරිදි අපේ රණ විරුවන් විසින් සිදු කළා යැයි අසාර්ථක යහපාලන රජය විසින් අවිවාදිතව පිළිගත් යුද අපරාධ චෝදනා වූයේ අවිචාරවත් ලෙස බෝම්බ දැමීම, රෝහල් ඉලක්ක කර ඒ මත බෝම්බ හෙළීම, සිවිල් ජනයාට අවශ්‍ය ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය ආදී මානුෂීය ආධාර ලබාදීම වැළැක්වීම, නීත්‍යානුකූල නොවන මනුෂ්‍ය ඝාතන සිදුකිරීම, නිදහසේ හිමිකම් උල්ලංඝනය කිරීම, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, බලහත්කාරයෙන් අතුරුදන් කරවීම, වධ හිංසා පැමිණවීම සහ ලිංගික අපරාධ සිදු කිරීම ආදියයි. එසේම සාහසික ක‍්‍රියා, බලෙන් පැහැරගැනීම්, මානුෂික අයිතිවාසිකම් කඩකිරීම් සහ ලිංගික අපචාර තවදුරටත් දරුණු ලෙස විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර පළාත්වල මේ වනතුරුත් පවතින බව පිළිගැනීම, ආරක්ෂක සේවාවන් විමර්ශනය සඳහා නිදහස් ආයතන පිහිටුවීමට එකඟවීම, අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීම හා බලය බෙදීමට එකඟවීම යන කරුණුද එම අවිවාදිත පිළිගැනීමට ඇතුළත් විය.

ඕනෑම පිළිගත් යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලියක මූලික සම්ප‍්‍රදාය වන්නේ ස්වාභාවික යුක්තිය ඉටුකිරීම හෙවත් චූදිතයාට තමන් වෙත එල්ලවී ඇති චෝදනාවලට පිළිතුරු දීම සඳහා අවස්ථාවක් ලබාදීමයි. ජිනීවා මානව හිමිකම් සමුළුවේ 30/01 චෝදනා සම අනුග‍්‍රහය දී අවිවාදිතව පිළිගන්නා විට එවන් යුක්තිය පසිඳලීමේ මූලිකම අවස්ථාවවත් පැවතුන යහපාලන රජය විසින් ලබා ගත්තේ නැත. ඒ වෙනුවට විස්සක් පමණ වූ දඬුවම් විඳීම කිසිම පැකිලීමකින් තොරව බාරගන්නා ලදි. ඒ අනුව එහි සඳහන් කර තිබුණ සියලුම අභූත චෝදනාවලට වගවීම, ඒ සඳහා පනවා තිබූ දඬුවම් ක‍්‍රියාත්මක කිරීම, ඒ සඳහා යාන්ත‍්‍රණ සෑදීම, විවිධ වූ කොමිෂන් සභා පිහිටුවීම, ත‍්‍රස්තවාදීන් සිටි පවුල්වලට වන්දි ගෙවීම, අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම, වන්දි ගෙවීමේ කාර්යාලය පිහිටුවීම, විදේශීය විනිසුරුවන්ගෙන්, නීතිඥයන්ගෙන්, පැමිණිලි මෙහෙයවන්නන් සහ විමර්ෂකයන්ගෙන් සැදුම්ලත් විශේෂ අධිකරණ පිහිටුවීම, හමුදාව සහ බුද්ධි අංශ ප‍්‍රතිව්‍යුහගත කිරීම, සාක්ෂි ආඥා පනත සංශෝධනය කිරීම, මහජන ආරක්ෂක පනත සහ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම, රටට අවාසි සහගත (ඇමරිකාව පවා අත්සන් කර නොමැති) ප‍්‍රඥප්තිවලට කඩිනමින් අත්සන් කිරීම, ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, බලය බෙදා හැරීම, 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව සියලුම බලතල පළාත් සභාවලට ලබාදීම, ඉතිරිවී ඇති ඉල්ලීම් (මොනවාදැයි නොදනිමි) ඉටුකිරීමට එකඟවීම, ඒවා අධීක්ෂණය සඳහා එන්ජී ඕ නඩවලට බලය පැවරීම ආදී සියලුම ක‍්‍රියාදාමයන් නොපැකිලව ඉටුකිරීමට ප‍්‍රතිඥා දෙන ලදි.

2014 වසරේදී එවකට පැවති රාජපක්ෂ රජය කිහිප වතාවක්ම එල්ලවන යුද අපරාධ චෝදනා පිළිබඳව කරුණු හදාරා තිබුණද එහිදී ලැබුණ වාර්තා නිසි ආකාරයකට අධ්‍යයනය කර ඉදිරිපත්කර ස්ථානගතකර තිබුණේදැයි සැකයක් උපදී. විරුද්ධ පක්ෂ නායකයන් අභූත චෝදනා මත සිර කරමින් කරගෙන ගිය බෙදුම්වාදී ලැදි දළඳඩු මර්දනකාරී පාලනයක් තුල OISL හි චෝදනා මොනවාදැයි රටට හෙළි කිරීමටවත් නොහැකි තත්ත්වයකට 59 ලක්ෂයක් ජනතා කැමැත්ත ලබාගෙන විරුද්ධ පක්ෂ නායක කමත් අහිමිව තිබුණ ඒකාබද්ධ විපක්ෂය පත්ව තිබුණි. එවන් පසුබිමක් තුළ 2015 වසරේ බිහිකළ ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය නොපැකිලව මෙම චෝදනාවලට පිළිතුරු දීමේ කර්තව්‍යයට අවතීර්ණ වන ලදි. ඒ අනුව මේ පිළිබඳව ප‍්‍රථම සාකච්ඡාව 2016 වසරේ ජූලි මස විවෘත විශ්වවිද්‍යාලයේ නීති අංශයේ පීඨාධිපති රාජා ගුණරත්න මහතාගේ නිල නිවසේදී පැවති අතර ඒ සඳහා අධිනීතිඥ කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ආචාර්ය පුංචි නිළමේ මීගස්වත්ත, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, මාධ්‍යවේදී දිමුතු, විශ්ලේෂණ මාධ්‍යවේදී ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩො සහ මෙම ලියුම්කරු සහභාගී විය. ඉක්බිතිව 2017 වසරේ ජනවාරි හිදී නීතිඥ දර්ශන් වීරසේකර මහතා විසින් OISL වාර්තාවේ කරුණු විශ්ලේෂණය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර සහ විශ‍්‍රාමික උප නාවික හමුදාපති ආචාර්ය සරත් වීරසේකර යන මහත්වරු විසින් බලය ඉල්ලා සිටින ලදි. ඉන් පසුව වෛද්‍ය වසන්ත බණ්ඩාරයන්ගේ කළමනාකරණය සහ සම්බන්ධීකරණය ඇතිව, අධිනීතිඥ කල්‍යානන්ද තිරාණගම, නීතිඥ සහ විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රාජා ගුණරත්න, විශ්ලේෂණ මාධ්‍යවේදී ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩො සහ ජාතික ප‍්‍රශ්න පිළිබඳව කතුවරියක් සහ විචාරිකාවක් වූ ශෙනාලී වඩුගේ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විද්වත් මණ්ඩලයක අධීක්ෂණය මත එම වාර්තාවේ කටයුතු නීතිඥ දර්ෂන් වීරසේකර මහතා විසින් සපුරන ලදි. මෙම වාර්තාව මගින් OISL වාර්තාවේ සඳහන් සියලුම චෝදනා නිශේදනය කළ අතර අපේ රණ විරුවන් කිසිදු යුද අපරාධයක් නොකළ බවට මනාව තහවුරු කරන ලදි. මෙම වාර්තාව සකස් කිරීම සඳහා දර්ශන් වීරසේකරයන් එවකට පැවති විශේෂඥ වාර්තා හතක් සහ විශ්ලේෂණ වාර්තාවක් උපයෝගී කරගන්නා ලදි. එම විශේෂඥ වාර්තා සැකසීමට අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප‍්‍රතිහතව කටයුතු සිදුකර තිබුණ බව කෘතඥතාපූර්වකව සිහිපත් කරමු. හිටපු අග‍්‍ර විනිශ්චයකාර සරත් නන්ද සිල්වා මහතා විසින් මෙම වාර්තාව සමස්ත සමාලෝචනය (peer review) කිරීම සිදුකර ඉතා නිවැරදි සහ තර්කානුකූල වාර්තාවක් ලෙස අනුමත කරන ලදි. එසේම පසු කලෙක රාජනීතිඥ සර් ජෙෆ‍්‍රි නයිස් විසින්ද, බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයා විසින්ද ඉතා උසස් වාර්තාවක් ලෙස පිළිගන්නා ලදි.

2017 වසරේ මාර්තු මස 12 වැනි දින ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ‘රුවන්ගේ විත්තිවාචිකය’ නමින් රණ විරු ප‍්‍රධානීන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙම වාර්තාව පිළිගන්වන ලදි. ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය වෙනුවෙන් ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සහ නීතිඥ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී විය. ඉන් අනතුරුව විරුවන්ගේ විත්තිවාචිකය ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ සම සභාපතිවරුන් වන සුනිල් චන්ද්‍රකුමාර (එක්සත් අරාබි එමීර්), එරික් මාකවිට (ස්ව්ට්සර්ලන්තය), වසන්ත ගම්ලත්ගේ (ඉතාලිය), හර්ශ පෙරේරා (ඔස්ටේ‍්‍රලියා), ජනත් විමල (ඊශ‍්‍රායලය), එල්.එස්.කේ.එච්. උපාලි (ජපානය) සහ චමිල සුජීව (කොරියා) යන මහත්වරුන්ගේ අත්සනින් යුක්තව සුනිල් චන්ද්‍රකුමාර සහ උප නාවිකපති ආචාර්ය සරත් වීරසේකර යන මහතුන් විසින් 2017 මාර්තු මස 23 වන දින ආසියානු සහ පැසිෆික් කලාපයේ මානව හිමිකම් පිළිබඳව කටයුතු භාර නිලධාරී තෝමස් හොනකි මහතා වෙත ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරයේදී බාරදෙන ලදි. තවද මානව හිමිකම් කොමිසම මගින් හිතාමතාම අප විසින් ඉදිරිපත් කරන ලද විරුවන්ගේ විත්තිවාචිකය නොසලකා හැර ඇතැයි අපට වැටහීගිය බැවින් 2018 වසරේදී නැවතත් දර්ශන් වීරසේකරයන් විසින් සම්පාදිත සර් ජෙෆ‍්‍රි නයිස් විසින් අධීක්ෂණය කරන ලද පෙත්සමක්ද චෝදනා කිරීමේ ක‍්‍රියාපටිපාටිය (Complain Procedure) අනුගමනය කරමින් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලදි.

2017 වසරේ මාර්තු මාසයේ අපගේ ජිනීවා මෙහෙයුමෙන් පසුව ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය තුළද විවිධ වූ වෙනස්කම් සිදුවුණද ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව ලෙස අපගේ කාර්යභාරය රට වෙනුවෙන් ජිනීවා හිදී අප විසින් මේ දක්වා ඉටුකරන ලදි. ඒ අනුව ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව හැටියට අඛණ්ඩව ජිනීවා හී මානව හිමිකම් කොමිසම හමුවේ රට වෙනුවෙන් කතාකිරීමට රණවිරුවන්ගේ නිර්දෝශීභාවය වෙනුවෙන් පෙනී සිටීමට වර්ෂයකට තෙවර බැගින් අපේ විධායක මණ්ඩල සාමාජිකයන් ඉදිරිපත් විය. ඒ සඳහා ඔස්ටේ‍්‍රලියාව, එංගලන්තය, ස්ව්ට්සර්ලන්තය, පෝලන්තය, ජර්මනිය, රුසියාව, අයර්ලන්තය, ඉතාලිය, එක්සත් අරාබි එමීරය, ස්වීඩනය, ඊශ‍්‍රායලය, කුවේටය, කැනඩාව සහ ශ‍්‍රී ලංකාවෙන්ද පිරිස් සහභාගී විය. ඒ සඳහා සියලුම වියදම් ඔවුන් පුද්ගලිකව දැරූ අතර ආරාධිතයන්, සම්මන්ත‍්‍රණ, ප‍්‍රදර්ශණ සහ උද්ඝෝෂණාදිය සඳහා විධායක සාමාජිකයන්ගේ මුදල් සහ හිතවත් ආධාරකරුවන්ගෙන් ලැබුණ දායකත්වය මගින් සපුරාගන්නා ලදි. මේ අනුව උද්ඝෝෂණ දෙකක්, දින දෙකේ ප‍්‍රදර්ශන තුනක්, මුද්‍රිත ප‍්‍රකාශන එකක්, ජිනීවා සම්මන්ත‍්‍රණ ශාලාව තුළ තත්පර අනූවේ කතා තිහකට නොවැඩි සංඛ්‍යාවක්, සමාන්තර රැස්වීම් හයක් සහ ලිඛිත ප‍්‍රකාශන විසිපහක් වෙනුවෙන් මේ දක්වා ශ‍්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව දායකත්වය දක්වා ඇත.

එපමණක් නොව අප විරුවන්ගේ විත්තිවාචකයේ පිටපත් යහපාලන රජයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාටද, විදේශ කටයුතු භාර ඇමති තිලක් මාරපන මහතාටද, විදේශ කටයුතු භාර ලේකම් රවිනාථ ආරියවංශ මහතාටද, කැබිනට් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාටද බාරදෙන ලදි. හිටපු විදේශ ඇමති තිලක් මාරපන මහතා විත්තිවාචකය පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්වූ අතර ජිනීවා හී 40 වන මානව හිමිකම් සැසිවාරයේ දී එතුමාට සිදුකළ හැකිව තිබූ උපරිම සාධාරණය ඉටුකළ බවට අපට සෑහීමකට පත්විය හැක. එය එතුමාට විත්තිවාචිකය බාරදෙන ලද අවස්ථාවේ දී එතුමා විසින් දක්වන ලද ප‍්‍රතික‍්‍රියාවෙන් මනාව පැහැදිලි විය.

එදා මංගල සමරවීර ප‍්‍රමුඛ අසාර්ථක යහපාලන නඩයට සැබෑ ඕනෑකමක් තිබුණි නම් OISL චෝදනා එක එල්ලේ ප‍්‍රතික්ෂේප කිරීමට ඕනෑවටත් වඩා වාර්තා තිබුණි. OISL චෝදනා අවිවාදිතව පිළිගන්නා විට මැක්ස්වෙල් පරණගම කොමිසමේ වාර්තාවද නිකුත් වී තිබුණි. අගමැති රනිල් වික‍්‍රමසිංහගේ දැඩි ඇමරිකානු ගැති බව සහ මංගල සමරවීරගේ දීන බව හේතුවෙන් ජාතියට සිදුවූ අපරාධය මෙතෙක් යැයි ගණනය කළ නොහැක. එම අපරාධය මහ බැංකුවේ සිදුකළ කොල්ලයටද වැඩිය දරුණු වේ.

යුද අපරාධ චෝදනා ලැබ ඇති අප රට සහ රණවිරුවන්ව එම චෝදනා වලින් නිදහස් කර ගැනීමට තේරී පත්ව ඇති නව ජනාධිපතිතුමාට විශාල කාර්යභාරයක් ඉටු කළ යුතුව ඇත. විරුවන්ගේ විත්තිවාචිකය සම්පාදනයට දායකවීමෙන් සහ ජිනීවා මානව හිමිකම් කොමිසමට එය ඉදිරිපත් කිරීමෙන් රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස අප අපට කළ හැකි කාර්යභාරය උපරිමයෙන් මේ දක්වා කර අවසන් කර ඇත. මෙවන් වාර්තාවක් වෙනත් කිසිදු රාජ්‍ය නොවන සංවිධානයක් මගින් සිදු කරන ලද්දේ නම් හෝ රජය විසින් සිදු කරන ලද්දේ නම් අනිවාර්යයෙන් මිලියන කිහිපයක් ඒ වෙනුවෙන් වියදම් කිරීමට සිදුවනු ඇත. අප ලබාගත් අත්දැකීම් සම්භාරය රජයට ලබා දීමට අපට හැකියාව ඇත.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ යුද අපරාධ චෝදනා රැගත් සම අනුග‍්‍රහය දුන් එකඟතාවයෙන් ඉවත් වන බවයි. ඒ සඳහා නිසි ක‍්‍රමවේදයක් අනුගමනය කළ යුතු වේ. OISL වාර්තාවේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ප‍්‍රශ්න කිරීමේ හැකියාවක් පවතී. ඊට හේතුව වන්නේ චූදිතයන්ට දඬුවම් නියම කර ඇත්තේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොදී ඇති බැවිනි. එය සිදුකිරීම සඳහා සුදුසුම ක‍්‍රමය විරුවන්ගේ විත්තිවාචකයේ සඳහන් කර ඇත. යහපාලන රජය ජිනීවා මානව හිමිකම් සමුළුව සමග වධක භාර්යාවක් බැඳගත් ආකාරයේ දීගයක් කමින් රටට අසත්‍ය පවසමින් ‘තමුන් ජාත්‍යන්තරය දින්නා’ සහ ‘රණ විරුවන් විදුලි පුටුවෙන් බේරා ගත්තා’ යැයි පැවසුවද එම කතා සත්‍ය නොවන බව බව අප දන්නෙමු. නැවතත් පත්වූ විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාට මේ අවස්ථාවේදී එතුමා නැවත පත්වීම පිළිබඳව ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ සුභාසිංශනය පිරිනමන අතර එතුමාගේද මගපෙන්වීම යටතේ ජිනීවා හී සටන නව මුහුණුවරකින් සිදු කළ හැකි බව අපගේ විශ්වාසය යි. මේ අවස්ථාවේදී එතුමා පිළිබඳව විශේෂයෙන් සටහන් කළ යුතුව ඇත්තේ අලුයට ගිනිමෙන් OISL චෝදනා පවතින බවත් හිසට ඉහළින් හීන් නූලකින් එල්ලූ අසිපතක් මෙන් යෝජිත දඬුවම් පවතින බව මාරපන මහතාට ඒත්තු ගැන්වීමට අප ඉදිරියේම එතුමා ඉදිරිපත් වීමයි.

නැවතත් 2020 මාර්තු මාසයේදී ජිනීවා හී මානව හිමිකම් සමුළුව පැවැත්වෙනු ඇත. ඊට ප‍්‍රථම සිදු කිරීමට විශාල කාර්යභාරයක් නව රජයට ඉතිරිව ඇත. ජිනීවා කොමිසමට මුහුණ දීම සඳහා විදේශ අමාත්‍යාංශයට අනුබද්ධිතව විද්වත් මණ්ඩලයක් වහා පත්කළ යුතුවේ. විත්තිවාචකය සම්පාදනය කළ විද්වත් මඬුල්ල ඒ සඳහා අනිවාර්යයෙන් අනුයුක්ත කළ යුතු යැයි ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවට යෝජනා කිරීමට කැමැත්තෙමු. එහිදී විරුවන්ගේ විත්තිවාචිකය නැවත සමාලෝචනය කළහැකි වන අතර අවශ්‍ය වැඩි දියුණුකිරීම් ඇත්නම් ඒවා නැවත ඇතුළත් කිරීමට සලකා බැලිය හැක. මානව හිමිකම් කොමිසමේ සියලුම රටවල් වෙත OISL හි ඇති අසත්‍ය කරුණු පිළිබඳව වටහා දීමට වගකිවයුතු රාජ්‍යතාන්ත‍්‍රික කණ්ඩායම් වහා පිටත් කළ යුතු වේ. එහිදී අප රටට මිත‍්‍රපාක්ෂික රටවලට දැඩි අවධානයක් යොමු කළ යුතුවේ. OISL වාර්තාව සෑදීමේදී ජාත්‍යන්තරව පිළිගත් ක‍්‍රමවේදයන්ට පටහැනිව එය සිදුකර ඇති බව තහවුරු කළයුතු වේ. පසුගිය සැසියේදී 2021 දක්වා OISL දඬුවම් ක‍්‍රියාත්මක කර එහි සාර්ථකත්වය පෙන්වීමට දිගුවක් ලැබුණත් රටේ සිදුව ඇති බලපෙරළිය නිසා හදිසි කාරණයක් ලෙස සලකා ලබන වසරේදී නැවත විමර්ශනයට යොමු කිරීමේ තර්ජනයක් ඇත. මෙම තර්ජනයට මුහුණදීම අපගේ සූදානම මත තීරණය වනු ඇත. රජයට අවශ්‍ය නම් මානව හිමිකම් කොමිසමේ විශේෂ සැසිවාරයක් වුවද මේ වෙනුවෙන් ඉල්ලා සිටිය හැක.

අවසාන වශයෙන් නව ජනාධිපතිතුමාට පැවසිය යුත්තේ, ජනාධිපතිතුමනි, ඔබතුමා, යහපාලන රජය සම අනුග‍්‍රහය දක්වා යුද අපරධ වැළඳගත් ජිනීවා මර උගුලෙන් ගැලවීම බින්දුවෙන් ආරම්භ කළයුතු නොවේ. ඒ පිළිබඳව ජාතික සංවිධාන විසින් අති විශාල වැඩ කොටසක් ඉටු කර ඇත. ඔබතුමා එතැන සිට යෂ්ටිය රැගෙන ඉදිරියට යන්න. ඒ සඳහා නිවැරදි පුද්ගලයන්, නිවැරදි සංවිධාන සහ නිවැරදි මතවාදය තෝරා ගැනීමට ඔබතුමාට හැකි වේවායැයි ප‍්‍රාර්ථනා කරමු.

යසස් ධර්මදාස,
ලේකම්, ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *