සන්නද්ධ හමුදාවලට අගමැතිගෙන් ප්‍රතිඥාවක්

(13.12.2019 – 15:40 +0530 – sinhala.adaderana.lk)

සන්නද්ධ හමුදාවලට ලැබිය යුතු ගරුත්වය ඔවුන්ට ලබා දීමට ජාත්‍යන්තර මට්ටමෙන් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (13) ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේ දී ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.

එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය :

“කොටි සංවිධානයට එරෙහිව ලැබූ ජයග්‍රහණයේ 10 වන සංවත්සරය සමරන්න දින ගණනක් තිබියදී ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් විසින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළා.

ආසියාවේ වෙනත් රටවල් එක්ක සසඳනකොට අපේ රට කුඩා දූපතක්.

නමුත් මෙහේ මොනම දෙයක්වත් කුඩා පරිමාණයෙන් සිද්ධ වෙන්නෙ නැහැ.

1980 ගණන්වල උතුරේමෙන්ම දකුණේත් සන්නද්ධ කැරළි නිසා අපි ලෝකයේ දරුණුම ගැටුම් සහිත භූමිය බවට පත්වුණා.

ඊට පස්සෙ, ගොඩබිමෙන්, මුහුදෙන් හා ගුවනින් මෙහෙයුම් දියත් කරන්න හැකියාව තිබුණු ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය මෙහේ තිබුණා.

ආසියාව තුළ සිවිල් ජනතාව ඉලක්ක කරල සිදු කරපු විශාලම හා දරුනුම ත්‍රස්ත ප්‍රහාරය මේ අවුරුද්දෙ පාස්කු ඉරිදා සිද්ද වුණා.

රට පුංචි වුණාට අපිට මුහුණ දෙන්න වෙන අභියෝගය පුංචි නැහැ.

2008 දී මුම්බායි නගරයට එල්ල වුණ ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියානු ජාතිකයන් සහභාගී වෙලා හිටියෙ නැහැ.

නමුත් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සියලුම ත්‍රස්තවාදීන් ශ්‍රී ලාංකිකයින්. මේ තර්ජනය අපේ රටට විතරක් සීමා වෙච්ච තර්ජනයක් නෙවෙයි. මේ කළාපයේ වෙනත් රටවල උන්නතිය සඳහාත් මේ ත්‍රස්තවාදය මර්ධනය කළ යුතු වෙනවා.

මේ අවුරුද්දෙ අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවෙන් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් බෝට්ටුවලින් ඉන්දියාවට ඇතුලුවෙන්න උත්සාහ කරමින් ඉන්නවය කියන තොරතුරක් නිසා ඉන්දියව පුරාම ආරක්‍ෂක අංශ සීරුවෙන් තැබුවා.

අපට මේ උවදුර පාලනය කරගන්න බැරිවුණොත් ඉන්දියාව, මාලදිවයින, බංගලාදේශය විතරක් නොවෙයි මියෙන්මාරය, තායිලන්තය හා මැලේසියාව වගේ එපිටින් තියෙන රටවල් වලටත් විශාල තර්ජනයක් එල්ල වෙනවා.

ඒ නිසා මේ අලුත් ත්‍රස්තවාදී උවදුර ඒකාන්තයෙන්ම පරාජය කළ යුතුයි.

අප අවට රටවල් සේරම මේ අවදානම හොදින් තේරුම් අරගෙන තිබෙන නිසා ඔවුන්ගෙන් මේ ත්‍රස්තවාදයට එරෙහිව අවශ්‍ය සහයෝගය අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

කොටි සංවිධානයට එරෙහිව යුද්ධයේදී ගොඩබිමින්, මුහුදෙන් හා ගුවනින් අපට මෙහෙයුම් කරන්න සිද්ධවුණත්, මේ අලුත් ත්‍රස්තවාදී උවදුර සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නෙ බුද්ධි මෙහෙයුම්.

නමුත් අවාසනාවකට, පහුගිය අවුරුදු පහ මුලුල්ලෙම රටේ බුද්ධි අංශ අකර්මන්‍ය කරලයි තිබුණෙ.

පැවතුන ආණ්ඩුව බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කරල, හිරිහැරකරල බොරු චෝදනා උඩ හිරේටත් දැම්මා. මේ තත්වයට මූහුණදෙන්න වුණේ බුද්ධි අංශවලටවිතරක් නෙවෙයි.

කොටි සංවිධානයට විරුද්ධව යුද්ධ කරපු සන්නද්ධ හමුදා ඉහළ තලයටම මේ දඩයමට මුහුණ දෙන්න වුණා.

මාධ්‍යයෙන් විශාල ප්‍රසිද්ධියක් දීල මේ ආරක්‍ෂක ප්‍රධානීන් පොලීසියට ගෙන්නල නොයෙක් චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුවා.

මේ විදියට යුද්ධ කාලෙ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාත්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීන් දෙදෙනෙකුත්, යුද හමුදාපතිවරුන් දෙදෙනෙකුත්, නාවුක හමුදාපතිවරුන් සිව්දෙනෙකුත්, ගුවන් හමුදාපතිවරුන් දෙදෙනෙකුත් ජාතික බුද්ධි අංශ ප්‍රධානියාවත් යුද හමුදාවේ පොලීසියේ, පොලිස් විශේෂකාර්ය බලකායේ, නාවුක හමුදාවේ ජේෂ්ඨ නිලධාරීන් විශාල ගණනකුත් මේ විදියට හිරිහැරයටත් අවමානයටත් පත් කෙරුවා.

මෙයින් සමහර අය උසාවියට ඉදිරිපත් රකලා සති කීපයක ඉඳල අවුරුද්දකටත් වැඩි කාලයක් දක්වා කාල පරිච්ඡේදවලට රිමාන්ඩ් කරල හිටිය.

මේ ක්‍රියාදාමයේ පරමාර්තය වුණේ අපේ සන්නද්ධ හමුදා රණවිරුවන් නොව හොරුන් සහ මීනීමරුවන් යන අදහස ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම, ජාත්‍යන්තර ප්‍රජාවගේත් හිත් තුළට ඇතුල් කරන එකයි.

ලෝකයේ කිසිම රටක ආණ්ඩුවක් මේ ආකාරයට තමන්ගේම සන්නද්ධ හමුදා අවමානයට ලක් කරල නැහැ.

සන්නද්ධ හමුදා කියන්නෙ ජාතියක ආරක්‍ෂකයෝයි.

2015 ජනවාරියේ ආණ්ඩු පෙරලියෙන් පස්සෙ මේ රටේ ඇතිවුණේ විදේශීය හතුරු බලවේගයක් විසින් ලංකාව ආක්‍රමණය කරලා යටත් කරගත්ත වගේ තත්වයක්.

සන්නද්ධ හමුදා දඩයම් කරලා ඔවුන්ගේ ජීවගුණය බිඳ දමල, මහා සංඝරත්නය යටපත් කරල, මේ රටේ බහුතර ප්‍රජාව පාගල, දශක හතරක් පැවති සිවිල් යුද්ධයෙන් ලබාගන්න බැරිවුණු දේ ලබාගැනීමේ උත්සාහයක් අපි පහුගිය අවුරුදු පහේදී අත්දැක්ක.

පසුගිය ආණ්ඩුව ජිනීවානුවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ගිහිල්ලා විදේශීය විනිශ්චයකාරවරුන්ගේ හා පරිචෝදකයන්ගේ සහභාගීත්වය ඇතුව අපේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට විරුද්ධව යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට පොරොන්දු වෙමින් ලංකාවට විරුද්ධව යෝජනාවක් සම්මත කරගත්ත හැටි අපි දැක්ක.

ඒක කළේ ලංකාවේම ජනතාව බලයට පත්කරපු ආණ්ඩුවක්. අද ඒ පහුගිය අවුරුදු පහ තුළ සිද්ධවෙච්ච අකටයුතුකම් නැවැරදි කරන්න විශාල ජනවරමක් සහිතව ජනාධිපතිවරයෙක් මේ රටේ ජනතාව පත්කරල තියෙනවා.

පහුගිය අවුරුදු පහ තුළදී සන්නද්ධ හමුදා සාමාජිකයන්ට විඳින්න සිද්ධ වෙච්ච අයුක්තිය, අසාධාරණය හා අවමානය නිවැරදි කොට අවශ්‍ය තැන්වලදී වන්දි ලබාදීමටත් කටයුතු කරන බවට මම මේ අවස්ථාවේදී ප්‍රතිඥා දෙනවා.

අපේ සන්නද්ධ හමුදාවලට ලැබිය යුතු ගරුත්වය ඔවුන්ට ලබා දීමට ජාත්‍යන්තර මට්ටමෙන් අපි පියවර ගන්නවා.”

+++++++++++++++++++++

ශ්‍රී ලංකා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී අගමැතිවරයා සිදුකළ සම්පුර්ණ කතාව : (nethnews.lk)

***************************************

දෙසැම්බර් 1 වන දා සිට ඕනෑම අයුරකින් දෙමාපියන් අහිමි වන දරුවන්ට සුරක්ෂා රක්ෂණය

(13.12.2019 – 15:40 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ සියලුම පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් රජය විසින් නොමිලේ හඳුන්වා දී ඇති සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙළ මඟින් සිසුන්ට තම මවගේ හෝ පියාගේ අභාවයක දී රුපියල් ලක්ෂ දෙකක රැකවරණ ප්‍රතිලාභයක් හිමිවන අතර, මෙතෙක් එම රැකවරණ ප්‍රතිලාභය හිමිවූයේ මවගේ හෝ පියාගේ ස්වභාවික මරණයක දී පමණි.

එහෙත් ඉදිරියේ දී කවර ආකාරයකින් හෝ සිදුවන සෑම දෙමව්පිය අහිමිවීමක දී ම දරුවන්ට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ශක්තියක් ලබා දෙමින් නියමිත රුපියල් ලක්ෂ දෙකක මූල්‍ය ප්‍රතිලාභ ලබාදෙන්නට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව, 2019-12-01 දින සිට ඉදිරියට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවේ ඕනෑම පාසල් දරුවෙකුට තම මවගේ හෝ පියාගේ කවර ආකාරයක හෝ අහිමිවීමක දී (සියදිවි නසාගැනීම් වැනි හේතු මත) සුරක්ෂා රක්ෂණාවරණය මඟින් අදාළ රක්ෂණ ආයතනය සමඟ එක් ව රුපියල් ලක්ෂ දෙකක ප්‍රතිලාභ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම සිසු රක්ෂණාවරණයෙහි ප්‍රතිලාභ අවුරුදු 5-21 වයස් සීමාවේ පසුවන සියලුම පාසල් දරුවන් වෙත නොපමාව ලබා දීම රජයේ අරමුණ වන අතර, සුරක්ෂා ප්‍රතිලාභ ලබා ගැනීමේදී යම් ප්‍රමාදයක් හෝ වෙනත් ගැටළුවක් මතු වේ නම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ ,
011 278 4163,
011 364 1555,
011 278 4872
යන දුරකථන අංකවලට අමතා ඒ සම්බන්ධව දැනුම් දීමට ද අවස්ථාව සලසා තිබේ ෴

***************************************

නැඟෙනහිර සියලු ජනතාවගේ අයිතීන් සුරකින්න කැපවෙනවා – නැඟෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් වැඩ භාරගනිමින් කියයි

(13.12.2019 – 15:17 +0530 – lankaleadnews.com)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා වෙත නැගෙනහිර ආණ්ඬුකාර ධූරය ලබාදුන්නේ නැඟෙනහිර සියලු ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා බව නැගෙනහිර නව ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

ඊයේ (12) නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති වැඩ භාරගැනීමේ උත්සවයට එක්වෙමින් ඇය මේ බව සියා සිටියාය.

පළාත් ආණ්ඩුකාරධූරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට සමගාමීව නැඟෙනහිර අයිතීන් සුරකීමේ සංවිධානය විසින් රුක්රෝපන වැඩ සටහනක්ද සංවිධානය කර තිබුණි.

මෙම උත්සව අවස්ථාවට ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර, රියර් අද්මිරාල් සරත් වීරසේකර, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, වෛද්‍ය නිමල් කරුණාසිරි, නලින්ද කස්තුරි යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

+++++++++++++++++++++

***************************************

පාඨලී චම්පිකගේ පැටිකිරිය එලියට – එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගැන මුදල් අවභාවිත පරීක්ෂණයක්

(13.12.2019 – 14:06 +0530 – lankaleadnews.com)

පසුගිය ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කරන ලද ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන හරහා ජනතා මුදල් අවභාවිත වී තිබේද යන්න පිළිබඳ විධිමත් පර්ක්ෂණයක් කැඳ වූ බවත්, ඒ අනුව එවැනි අවභාවිතයක් සිදුව ඇත්නම් ඒ හා සම්බන්ධ සියල්ලන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මික කරන බවත් සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

චම්පිකයා

‘එන්ටර්පයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුදල් අක්‍රමිකතා සිදුව ඇති බවට මේ වනවිට වාර්තා වන බවද ඒ මහතා සඳහන් කර සිටියේය.

එහිදී එම වැඩසටහන හරහා ණය ලබාදීමේදී දේශපාලන හා පෞද්ගලික හිතවත්කම් මත ණය ලබාදී ඇතැයි පැහැදිලිව දක්නට ලැබෙන බවද පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, කැඳවා ඇති පරික්‍ෂණයේ වාර්තාව ලද වහාම ඒ පිළිබඳ වූ සත්‍ය තත්ත්වය ජනතාවට හෙළි කරන බවත් පවසා සිටියේය.

මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කිරීමක නිරත වූ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ මුල සිටම චෝදනා එල්ල වුණා, විශේෂයෙන් ව්‍යාවසායකයන් නගාසිටුවීමට යැයි කියමින් දේශපාලන හිතවත්කම් හා පෞද්ගලික සබඳතා මතය. ලබාදීම් සිදුකර ඇති බවට මේ වනවිට වාර්තා වී තිබෙනවා.

විශේෂයෙන් කිව යුතුයි ගම්වල කුඩා පරිමාණ හා මධ්‍ය පරිමාණ බොහෝ ව්‍යවසායකයන් මෙම වැඩසටහන හරහා ණය ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණත් ඒවා ඉවත දමා තිබෙනවා. ඇත්ත වශයෙන්ම අවශ්‍ය අයට මේ ණය ලැබිලා නෑ.

මම සාකච්ඡා කළා අපේ අමාත්‍යාංශ ලේකම්තුමාත් සමග. ඒ අනුව එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ විධිමත් වාර්තාවක් මේ වනවිට කැදවා තිබෙනවා.

ණය ඉල්ලුම් කළ අය, ණය ලබා දුන් අය, ඒ අය කාගේ කවුද, ලබාදුන් ණය ප්‍රමාණය කොතෙක්ද යන සියලු කරුණු පිළිබඳ එමගින් පරික්ෂණ කරනවා. එවිට අපට තීරණය කළ හැකියි සිදුව ඇති අක්‍රමිකතා මොනවාද යන්න පිළිබඳ විශේෂයෙන් කිව යුතුයි.

මේ වැය කර තිබෙන්නේ ජනතා මුදල්. ඒවා අවභාවිත කළ නොහැකියි. අපි ඊට ඉඩ තබන්නේ නෑ, ජනතා විශ්වාස අපි ඒ ලෙසම ආරක්ෂා කරනවා. ඒ අනුව වාර්තාවේ අවසන් නිගමන ලද පසු වැඩසටහන හරහා මුල්‍යමය අක්‍රමිකතා සිදුව ඇත්නම් ඒ හා සමිබන්ධ සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

නිතිය ක්‍රියාත්මක කිරීමේදී අපි ඒ අය වී.අයි.පි. ද, නිලධාරීන්ද යන්න පිළිබඳ තැකීමක් කරන්නේ නෑ. නීතිය සැමට එකයි” යනුවෙන්ද පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++

චම්පිකට විදෙස් ගමන් තහනම්

(13.12.2019 – 19:25 +0530 – sinhala.adaderana.lk)

2016 වසෙර්දී ආන්දෝලනයට තුඩුදුන් සන්දීප් නැමැති තරුණයා රියඅනතුරකට ලක්කිරීම සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවලට අදාලව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය.

එම අනතුර සිදුවන අවස්ථාවෙ එහි රියදුරු ලෙස පෙනී සිටි තුසිත කුමාර නැමැති පුද්ගලයාටද මහේස්ත්‍රාත් අධිකරණය විදෙස්ගත වීම තහනම් කර තිබේ.

2016 වසෙර් මාර්තු මාසයේදී රාජගිරිය ප්‍රදේශයේදී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට අයත් ජීප් රථයටකට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සන්දීප් සම්පත් නැමැති තරුණයෙකු ගැටී බරපතළ තුවාල ලැබීය.

එහිදී ඔහු සමඟ සිටි තරුණයෙකු අනතුර සිදු කළ රථය ලුහුබැඳගොස් නතර ගෙන තිබූ අතර අදාල තරුණයා පැවසුවේ එම අවස්ථායේ රථය පදවූයේ එවක කැබිනට් අමාත්‍යවරයෙකු වූ පාඨලී චම්පික රණවක මහතා බවයි.

එම තරුණයා එසේ පැවසූවද අනතුර සිදු කළ රථයේ රියදුරු ලෙස බොරැල්ල පොලීසියට බාර වූයේ වෙනත් පුද්ගයෙක්.

‍කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අදාල අනතුර සිදු වූ ස්ථානවල තිබූ සීසීටීවී දර්ශන මැකී ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් කොළඹ අපරාධ කොට්ඨාසය නැවත විමර්ශනයක් සිදුකර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ හා අදාල සිදුවීම සිදුවන අවස්ථාවේ රථය පැදවූ බව කියන පුද්ගලයාගේ විදෙස්ගමන් තහනම් කරන ලෙසයි.

ඒ අනුව කරුණු සලකා බැලූ මසේත්‍රාත්වරයා පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ හා අදාල සිදුවීම සිදුවන අවස්ථාවේ රථය පැදවූ බව කියන පුද්ගලයාගේ විදෙස්ගමන් තහනම් කරනු ලැබීය.

+++++++++++++++++++++

හිටපු ඇමති පාඨලීට සහ ඔහුගේ රියදුරුට විදෙස් ගමන් තහනමක්

(13.12.2019 – 19:14 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේදී රාජගිරියේදී තරුණයෙකු අනතුරට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ එවකට ඔහුගේ රියදුරු ලෙස ක්‍රියා කළ තුසිත කුමාර යන අයට විදේශ ගත වීම තහනම් කරමින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින්.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා එවක කැබිනට් අමාත්‍යවරයකු වූ පාඨලී චම්පික රණවක මහතාට අයත් ජීප් රථයකට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සංදීප් සම්පත් නැමති තරුණයෙක් ගැටී බරපතල තුවාල ලැබුවා.

එහිදී ඔහු සමඟ සිටි තරුණයෙකු අනතුර සිදුකළ ජීප් රථය ලුහුබැඳගොස් නතර කරගෙන තිබුනා.

අදාළ තරුණයා පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේදී ජීප් රථය පැදවූයේ පාඨලී චම්පික රණවක මහතා බවයි.

කෙසේවෙතත් අනතුර සිදුකළ ජීප් රථයේ රියදුරු ලෙස බොරැල්ල පොලිසියට වෙනත් පුද්ගලයෙකු භාර වූ අතර, අනතුරින් බරපතල තුවාල ලැබූ සංදීප් සම්පත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ පොලිසිය එවක අධිකරණයට දන්වා සිටියේ අදාළ අනතුර සිදු වූ ස්ථාන වල තිබූ ‘සීසීටීවී’ දර්ශණ මැකී ගොස් ඇති බවයි.

පාඨලී චම්පික අමාත්‍යවරයාගේ සහ රජයේ බලපෑම් මත පරීක්ෂණ නිසි ආකාරව සිදු නොවන බවට සන්දීප්ගේ මිතුරන් එවක චෝදනා කළා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය නැවත විමර්ශණයක් සිදුකර අද (13) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

එමගින් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ අනතුර සම්බන්ධයෙන් පොලිසියට භාර වූ තුසිත කුමාර යන අයගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසයි.

ඒ අනුව අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය අදාළ විදේශ ගමන් තහනම් නියෝගය නිකුත් කළා.

මේ වනවිට අදාළ තහනම් නියෝගය අගමන විගමන පාලක වරයාටද දැනුම් දී තිබෙනවා.

මේ අතර පසුගිය ජනාධිපතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ මාලඹේ ප්‍රදේශයේ පැවති ප්‍රචාරණ රැලියක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අමතමින් සිටියදී සංදීප් සම්පත්ගේ මිතුරෙකු බව පැවසෙන තරුණයෙකු සිය මිතුරාට සිදුවූ අනතුර සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසීමට යාමේදී එම ස්ථානයේ සිටි පිරිසක් ඔහුට පහරදීමක් සිදුකළා.

***************************************

‘ජාතික වියත් පවුර’ විධායක සභාවට ඇමති විමල් වීරවංශ ඇවිත් කියපුදේ (13.12.2019)

***************************************

බණ්ඩාරවෙල නගරයේ සිතුවම් නිර්මාණය කරමින් සිටි පිරිසකට ප්‍රහාරයක්

(13.12.2019 – 18:10 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල නගරයේ මධ්‍යම බස් නැවතුම්පොළ අලංකාර කිරීම සඳහා සිතුවම් නිර්මාණය කරමින් සිටි තරුණයින් පිරිසකට ඊයේ (12) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

බීමතින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රහාරයෙන් තරුණයින් කිහිපදෙනෙකුම තුවාල ලබා ඇති අතර ඉන් කිහිපදෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

***************************************

විසෙන් විස නසන මදුරුවෝ

(13.12.2019 – 21:02 +0530 – hirunews.lk/sinhala)

ගෙවීගිය ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී මෙරට ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.

වසරේ මේ දක්වා කාලය තුළ 90,000 කට ආසන්න පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වී තිබෙනවා.

ඒ අතරින් 100 දෙනෙකු පමණ වන්දි ගෙව්වේ සිය ජීවිතවලින්.

වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිරල දකුණ, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලින්.

පසුගිය වසරේ දී ඩෙංගු රෝගීන් 51,659 ක් වාර්තා වුණා.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී ඩෙංගු රෝගීන්ගේ ඉහළයාමක් පෙන්නුම් කරන බවයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා පවසන්නේ.

විටින් විට මෙරට තුළ ඩෙංගු රෝගය මැඩලීම සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වුවත් එම කිසිඳු ව්‍යාපෘතියක් මේ වනතෙක් අපේක්ෂිත සාධනීය මට්ටමට පැමිණ නැහැ.

මෙරට තත්ත්වය එසේ වුවද සිංගප්පූරුව මේ වනවිට ඩෙංගු ඇතුළු රෝග පතුරුවන මදුරුවන් මර්දනය කිරීම සඳහා සාර්ථක ඉදිරි පියවරක් තබා තිබෙනවා.

ඒ, ඩෙංගු ඇතුළු රෝග කාරක මදුරුවන්, තවත් මදුරුවෙකුගේ මාර්ගයෙන්ම පාලනය කිරීම තුළින්.

සිංගප්පුරු පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ මෙම නව මදුරු විශේෂය හරහා ඩෙංගු මදුරුවන් ඇතුලු රෝග පතුරුවන මදුරුවන් ගහණය මේ වනවිට 90‍% කින් පහළ බැස ඇති බවයි.

මෙවැනි සාර්ථක නව ක්‍රමවේදවලට ලොව වෙනත් රටවල් වේගයෙන් ගමන් කරද්දී ශ්‍රී ලංකාව තවදුරටත් ඩෙංගු මර්දනයට යල් පැන ගිය ක්‍රමවේද අනුගමනය කරන්නේ ඇයි ?

තවදුරටත් මෙවැනි විසඳුම්වලට නොයා කල් මැරීම හරහා මෙරටට අහිමි වන්නේ වටිනා මිනිස් ජීවිත බව අමුතුවෙන් කිවයුතු කරුණක් නොවේ.

මෙරට වගකිවයුතු බලධාරීන් තව කොතෙක් කලක් ඩෙංගු මදුරුවාට මෙරට අසරණ ජීවිත බිලි දෙනවාද ?

අපට ඔවුන්ගෙන් ඇසීමට ඇති පැනය එයයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *