ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනියගේ සිද්ධිය ගැන ජිනීවා හිටපු නිත්‍ය නියෝජිතවරිය කතා කරයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනියගේ සිද්ධිය ගැන ජිනීවා හිටපු නිත්‍ය නියෝජිතවරිය කතා කරයි (විඩියෝ)

• සත්‍ය ගවේශකයෝ සංවිධානයෙන් CIDයට පැමිණිල්ලක් (විඩියෝ)

• පාස්කු ප්‍රහාරය ගැන පෙර දැනුවත් කිරීමේ ලිපි පොලිස් ස්ථානවලට නොලැබීමට හේතුව හෙළිවෙයි (විඩියෝ)

• ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පිරිසක් CIDයට (විඩියෝ)

• මිත්‍රත්වය පිළිගෙන ආධිපත්‍ය ප්‍රතික්ෂේප කරන බව ජනපති කියයි (විඩියෝ)

• පරිභෝජනයට නුසුදුසු ආහාර පාන අලෙවිකළ වෙළෙඳුන් 18 කට නඩු (විඩියෝ)

• රාජිත සේනාරත්න මාධ්‍යයට ගෙනා සුදුවෑන් රියදුරන් අත්අඩංගුවට (විඩියෝ)

• සංවර්ධනය වෙනුවෙන් සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ටම රු.මි. 20 ක් – ගමකට ලක්ෂ 20 ක් (විඩියෝ)

• වේයන්ගොඩත් හැඩවෙයි (විඩියෝ)

• දෙරණේ හැඩ වෙන ගම්පොළ නගරය (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනියගේ සිද්ධිය ගැන ජිනීවා හිටපු නිත්‍ය නියෝජිතවරිය කතා කරයි

(13.12.2019 – 20:34 +0530 – hirunews.lk/sinhala)

පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ස්විට්සර්ලන්තයට පැන යාම පිළිබඳව අවධානය වෙනතකට යොමු කිරිම සඳහා තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ පැහැරගැනීම නිර්මාණය කර ඇති බවට තමන් විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහී හිටපු නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම් මහත්මිය පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් එක්වෙමින් ඇය සඳහන් කළේ මෙම ක්‍රියාවලිය පිටුපස ඇමරිකාවද සිටිය හැකි බවයි.

***************************************

සත්‍ය ගවේශකයෝ සංවිධානයෙන් CIDයට පැමිණිල්ලක්

(13.12.2019 – 20:50 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ ඇතැම් නඩු කටයුතු වලදී විනිශ්චයකාරවරුන්ට බලපෑම් සිදුකර ඇත්ද යන්න විමර්ශනය කල යුතු බව සත්‍ය ගවේශකයෝ සංවිධානය පවසනවා.

එම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රේමනාත් සී දොලවත්ත මහතා මේ බව සදහන් කළේ වසීම් තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ හිටපු පොලිස් පරික්ෂකවරයාට එල්ලවූ බලපෑම් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (13) පැමිණිල්ලක් සිදුකිරීමෙන් අනතුරුවයි.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධව පරික්ෂණ මෙහෙයවූ නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්මික පෙරේරා මහතා පසුගිය 28 වැනිදා සත්‍ය ගවේශකයෝ සංවිධානය සමග ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදාල පරික්ෂණය මෙහෙයවීමේදී තමන්ට එල්ල වූ බලපෑම් පිළිබඳ අනාවරණයක් සිදුකළා.

මෙම බලපෑම් සම්බන්ධයෙන් හිටපු පොලිස් පරික්ෂක සුමිත් චම්මික පෙරේරා මහතා අද (13) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.

+++++++++++++++++++++

***************************************

පාස්කු ප්‍රහාරය ගැන පෙර දැනුවත් කිරීමේ ලිපි පොලිස් ස්ථානවලට නොලැබීමට හේතුව හෙළිවෙයි

(13.12.2019 – 20:23 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ ලිපි පොලිස් ස්ථාන වෙත නොලැබුණේ කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පෞද්ගලික සහකාර නිලධාරී පොලිස් අධිකාරී උපේන්ද්‍ර නමැත්තාගේ අතපසුවීමකින් බව ජනාධිපති කොමිසම හමුවේ අද (13) හෙළිවුණා.

ඒ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අදත් (13) ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර පත් කළ ජනාධිපති කොමිසමේදී හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී හෙලි නොවූ කරුණු රැසක් මෙම ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වීමද විශේෂත්වයක්.

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පත් කෙරුණු පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව හමුවට පොලිස් නිලධාරීන් 5 දෙනෙකු ඊයේ (12) කැඳවා තිබූ අතර ඉන් නිලධාරීන් සිව් දෙනෙකුගෙන් සාක්ෂි විමසා තිබුණා.

එක් නිලධාරියෙකුගෙන් සාක්ෂි විමසීම අදට (13) කල් තැබුණේ කාල වේලාව ඉක්මවා යෑම හේතුවෙන්.

ඒ අනුව පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොටහේන පොලිස් ස්ථානයේ ලේඛන භාර නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් නලීන් බණ්ඩාර මහතාගෙන් කොමිසම ඊයේ (12) සාක්ෂි විමසා සිටියා.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා ඔහුගෙන් විමසුවේ පාස්කු ප්‍රහාරයට පෙර පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත යොමුකළ බව කියන ලිපිය ලැබුණේ ද යන්නයි.

තමන්ට ප්‍රහාරයට පෙර එවැනි ලිපියක් නොලැබුණු බව පොලිස් කොස්තාපල්වරයා සඳහන් කළා.

නීතිඥවරයා පෙරලා විමසුවේ එවැනි ලිපියක් කිසියම් හෝ අවස්ථාවක දැක ඇත්ද යන්නයි.

එහිදී නලීන් බණ්ඩාර මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරය සිදුවූ දින පස්වරුවේ එවක කොටහේන පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතා තමන්ට එම ලිපිය ලබා දුන් බවයි.

එමෙන්ම එම ලිපිය පාස්කු ප්‍රහාරයට පෙර දිනයක ලැබුණු ලෙස ගොනු ගත කරන ලෙසත් ගොනු ගත කළ යුත්තේ කුමන දිනයක් යටතේදැයි පසුව දැනුම් දෙන බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතා තමන්ට පැවසූ බවද පොලිස් කොස්තාපල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

අනතුරුව එවක කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීව සිටි සංජීව බණ්ඩාර මහතා සහ ඔහුගේ පෞද්ගලික සහකාර නිලධාරී පොලිස් අධිකාරී උපේන්ද්‍ර නමැත්තා අදාළ ලිපිය ප්‍රහාරයට පෙර ලැබුණු බවට ගොනු ගත කරන ලෙස දින කිහිපයක් පුරා තමන්ට බලපෑම් කළ බව ද පොලිස් කොස්තාපල්වරයා කොමිසම ඉදිරියේ කියා සිටියා.

පොලිස් කොස්තාපල් නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතා දින කිහිපයකින් අනතුරුව තමන් අමතා පෙර ලබා දුන් ලිපිය අප්‍රේල් මස 19 වැනි දිනය යටතේ ගොනුගත කරන ලෙස දැනුම් දුන් අතර ඉහළ නිලධාරීන්ගේ බලපෑම් මත තමන් එලෙස සිදුකළ බවයි.

අදාළ ලිපි ගොනුව ද ඔහු ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන ජනාධිපති කොමිෂන් සභාව අනතුරුව සාක්ෂි විමසුවේ කොටහේන පොලිස් ස්ථානයේ වත්මන් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිරිසේන අබේසිංහ මහතාගෙන්.

කෙසේ වෙතත් සාක්ෂි විමසීම සඳහා තිබූ කාලය අවසන් විම හේතුවෙන් ඔහුගෙන් සාක්ෂි විමසීම අදට (13) කල් තැබුණා.

ඒ අනුව කොටහේන පොලිස් ස්ථානයේ වත්මන් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිරිසේන අබේසිංහ, පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොටහේන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව සිටි මහින්ද කරුණාරත්න යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අදත් (13) ජනාධිපති කොමිසම හමුවට කැඳවූවා.

සාක්ෂි විමසීම ආරම්භ වුණේ පස්වරු 2 ට පමණ.

ඒ අනුව ප්‍රථමයෙන් සාක්ෂි විමසීම සිදුකළේ කොටහේන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිරිසේන අබේසිංහ මහතාගෙන්.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ සංජීව ගුණවර්ධන මහතා ඔහුගෙන් විමසා සිටියේ කොටහේන පොලිස් ස්ථානයේ ලිපි සහ දත්ත ගොනුකොට තබන සී. 108 නමැති ලේඛනයක් සම්බන්ධවයි.

එහි 371, 372, 373 සහ 374 යන අංක දරණ පිටු පසුව අලවා එක්තු කළ පිටුදැයි නීතිඥවරයා ප්‍රශ්න කළා.

අදාළ පිටු පසුව අලවා එක් කළ බවට පොලිස් පරීක්ෂක සිරිසේන අබේසිංහ මහතා එහිදී පිළිගත්තා.

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ද අදාළ ලිපිගොනුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව සඳහන් කළේ, අදාළ පිටු පසුව අලවා ඇතැයි පෙනීයන බවයි.

සී 108 ලිපි ගොනුවට පසුව එක් කළ පිටු වල සඳහන්ව ඇත්තේ පාස්කු ප්‍රහාරයට පෙර පොලිස් ස්ථාන වෙත දැනුම් දීම සඳහා යැවූ ලිපි බවත්, ඒවා පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව අදාළ ලිපිගොනුවට එක් කර ඇති බවත් කොමිසම හමුවේ අනාවරණ වුණා.

අනතුරුව රජයේ අධිනීතිඥවරයා විමසා සිටියේ අදාළ පිටු ලිපිගොනුවට එක් කළේ කවුරුන්ද යන්නයි.

පිටු එක් කළේ කවුරුන්ද යන්න නිශ්චිත දැනීමක් නොමැති බවත්, එවක පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතාට ඉහල නිලධාරීන්ගෙන් ලැබුණු බලපෑම මත එසේ සිදු කරන්නට ඇති බවත් පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා.

තවද කොටහේන පොලිසියේ නියෝග සටහන් කර තබන සී 107 නමැති ලේඛනය සම්බන්ධයෙන්ද රජයේ අධිනීතිඥවරයා පොලිස් පරීක්ෂක සිරිසේන අබේසිංහ මහතාගෙන් විමසුවා.

එහි 2019-04-21 දිනැති අංක 787/ 19 නියෝගය පසුව අලවා එක් කළ එකක් දැයි ඔහු ප්‍රශ්න කළා.

අදාළ නියෝගය ‘උප සේවකල පහත නිලධාරීන්ට දැනුම් දෙන්න. 2019-04-21 දින පැය 6 සිට කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ දේව මෙහෙයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා රාජකාරියට වාර්තා කරන්න’ යනුවෙන් සටහන්ව තිබූ බවත් එය ප්‍රහාරයෙන් පසුව ලේඛනයට එක් කොට ඇති බවත් කොමිසම ඉදිරියේ හෙළිවුණා.

අදාළ නියෝගය ලබා දී තිබුණේ කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් පොලිස් පරීක්ෂක සිරිසේන අබේසිංහ මහතා ඇතුළු නිලධාරීන් 9 දෙනෙකු සඳහායි.

ඒ අනුව අදාළ නිලධාරීන් 2019-04-21 වන දින හයේ පැයට රාජකාරී සඳහා පිටත්ව ගිය බවට සටහන් කර ඇතත් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවුණේ පරීක්ෂක සිරිසේන අබේසිංහ මහතා පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත්තේද පෙරවරු 06:31 ට බවයි.

අනතුරුව ජනාධිපති කොමිසම එවක කොටහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතාගෙන් සාක්ෂි විමසීම සිදුකළා.

රජයේ අධිනීතිඥ සංජීව ගුණවර්ධන මහතා ඔහුගෙන් විමසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ සී 4 සහ සී 9 ලේඛන තමන් වෙත ප්‍රහාරයට පෙර ලැබුණේද යන්නයි.

තමන්ට එවැනි ලේඛන නොලැබුණු බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තමාට එම ලේඛනය ලැබුණේ පාස්කු ප්‍රහාරය දින සවස බවත් තමාට එය ලැබෙන විට එහි ඇතැම් පිටු අඩු බවයි.

එදින සවස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා තමන් හමුවීමට පැමිණි බවත්, අදාළ පූර්ව දැනුම්දීමේ ලිපි ප්‍රහාරයට පෙර එවීමට නොහැකි වූයේ තමාගේ පෞද්ගලික සහකාර නිලධාරී පොලිස් අධිකාරී උපේන්ද්‍ර නමැත්තාගේ අතපසුවීමකින් බවත් සඳහන් කළ බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොමිසම ඉදිරියේ සඳහන් කළා.

එම නිසා එම ලේඛන ප්‍රහාරයට පෙර ලැබුණු සේ ගොනු ගත කරන ලෙස සංජීව බණ්ඩාර මහතා තමාට දැනුම්දුන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඒ වන විට කොටහේන පොලිස් ස්ථානයේ ගොනුගත කර තිබුණේ 2019-04-13 වන දින දක්වා ලැබුණු ලේඛන පමණක් වන බැවින් තමන් අදාළ සී 4 සහ සී 9 ලේඛනද එදින ලැබුණු ලේඛන ලෙස ගොනු ගත කළ බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතා කොමිසම හමුවේ අනාවරණ කළා.

+++++++++++++++++++++

***************************************

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පිරිසක් CIDයට

(13.12.2019 – 19:37 +0530 – hirunews.lk/sinhala)

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරින් පිරිසක් විශේෂ සාකච්ඡාවක් සඳහා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, පැහැර ගැනීමට ලක්වූවායැයි පැවසූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අද (13) විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් හමුවට ඉදිරිපත් කරන බව ඊයේ (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්න ද, එය අද (13) සිදු නොකෙරුණු බවයි වාර්තා වන්නේ.

තානාපති කාර්යාලයකට අයත්, ජිප් රථයක් අද (13) දහවල් 12:30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී වාර්තා වූයේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරින් කිහිපදෙනෙකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් අතර, විශේෂ සාකච්ඡාවක් පැවති බවයි.

කිසියම් පිරිසක් විසින් පැහැර ගැණුනු බව පැවසූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවා ගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් අධිකරණ නියෝගයකට අනුව මීට පෙර අවස්ථා 3 කදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිට ප්‍රකාශ ලබාදී තිබූ අතර, එහිදී ඇය වෛද්‍ය පරීක්ෂණ සඳහා ද යොමුකෙරුණා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (12) නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ ගානියා බැනිස්ටර්ව විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමුකර වාර්තාවක් ලබාගෙන එය ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ගානියා බැනිස්ටර් අද (13) දින විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කිරීමට සූදානම් කර ඇති බවත්, එම වෛද්‍ය වාර්තා සමග ඇය සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ කායික වෛද්‍ය වාර්තාව ද ඉදිරිපත් කළ හැකි බවත් අධිකරණ වෛද්‍ය නිලධාරිනිය දැනුම්දී ඇති බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ.

මේ සම්බන්ධයෙන් අද (13) දහවල් අප ගානියා බැනිස්ටර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම ගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ අදාළ නිලධාරිනිය විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිෂ්චිත වේලාවක් ලබාදී නොමැති බවයි.

ඒ අනුව, අප මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකුගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ පරීක්ෂණ ලබන සඳුදා (16) පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

+++++++++++++++++++++

***************************************

මිත්‍රත්වය පිළිගෙන ආධිපත්‍ය ප්‍රතික්ෂේප කරන බව ජනපති කියයි

(13.12.2019 – 18:58 +0530 – hirunews.lk/sinhala)

ලෝක බලවතුන්ගේ ගැටුම්වලට මැදිහත්වීමට ශ්‍රී ලංකාවට අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය මොතේගි තොෂිමිත්සු මහතා සමග ජනාධිපති කාර්යාලයේදී අද (13) පැවති සාකච්ඡාවේදී විදේශ සබඳතා පිළිබඳ සිය ස්ථාවරත්වය පැහැදිලි කරමින්. අනෙක් රටවල මිත්‍රත්වය බලාපොරොත්තු වන අතරම ශ්‍රී ලංකාව ආධිපත්‍ය ප්‍රතික්ෂේප කරන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර, සංවර්ධන සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමුවුණා.

ශ්‍රී ලංකාව, ජපානයේ විශේෂ මිතුරෙකු බව සඳහන් කළ එරට විදේශ අමාත්‍යවරයා ජපානයේ චාරිකාවක නිරත වන ලෙසටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කළා.

මේ අතර, විදුලිබල ක්ෂේත්‍රයේ පවතින ගැටළු අධ්‍යයනය කර එම ගැටළු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කඩිනම් විසදුම් ක්‍රියාත්මක කිරීම පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිළධාරීන් සමඟ ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදියි.

ඒ සඳහා අමාත්‍ය මහින්ද අමරවීර මහතා, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙහිදී අදාළ අමාත්‍යාංශය මුහුණ පා ඇති ගැටළු පිළිබදව මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව ව්‍යාපෘති පිළිබදව ද සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර නිසි ශක්‍යතා අධ්‍යයනයන් සිදුකිරීමේ වැදගත්කම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම, විදුලිබල ක්ෂේත්‍රයට අදාළව විදේශ රටවල් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබුණ ද ඉන් රැසක් රාජ්‍යයන් අතර, නොව පෞද්ගලික සමාගම් සමග ඇති කර ගත් එකඟතාවන් මත අත්සන් කළ ගිවිසුම් බවට ද, මෙහිදී අනාවරණ වී තිබෙනවා.

එබැවින් ඒවා ක්‍රියාත්මක කිරීමේදී නිසි අධ්‍යයනයක් සිදුකර රටට හිතකර අන්දමින් කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

***************************************

පරිභෝජනයට නුසුදුසු ආහාර පාන අලෙවිකළ වෙළෙඳුන් 18 කට නඩු

(13.12.2019 – 16:08 +0530 – hirunews.lk/sinhala)

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව ඊයේ (12) දිනයේදී හොරණ, කෝරළේඉම, මොරගහහේන ඇතුළු නගර කිහිපයක වෙළඳසැල් සහ ආපනශාලා හදිසි පරික්ෂාවකට ලක්කර තිබෙනවා.

උත්සවය සමය ඉලක්ක කරගනිමින් පාරිභෝගික ජනතාවට අපිරිසිදු ආහාර පාන අලෙවිකරණ වෙළෙඳුන් සොයා මෙම පරික්ෂාව සිදුකළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම පරික්ෂාවේදී පරිභෝජනයට නුසුදුසු ආහාර පාන අලෙවිකළ, අපිරිසිදු ලෙස ආහාර පාන පිළියෙළ කළ සහ ගබඩාකල වෙළෙඳුන් 18 දෙනෙකුට නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.

වෙළඳසැල් සහ ආපනශාලා 80 ක් පමණ මෙලෙස පරික්ෂාවට ලක්කර ඇති අතර මේ සඳහා සෞඛ්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සියදෙනෙක් පමණ එක්ව සිටියා.

***************************************

රාජිත සේනාරත්න මාධ්‍යයට ගෙනා සුදුවෑන් රියදුරන් අත්අඩංගුවට

(13.12.2019 – colombotoday.com)

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්, සුදුවැන් වලින් සිදුකළ පැහැරගැනීමක් හා රත්‍රන් ටොන් 7000 ක් ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ පුද්ගලයින් දෙදෙනා මිට ස්වල්ප මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

කඩවත මහර පිහිටි ශ්‍රී නමැති රෙස්ටුරන්ට් එකේ සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසේ.

රාජිත සේනාරත්න සමග පැවති මාධ්‍ය හමුවේදී අදාල රියදුරා මාධ්‍ය හමුවේ දී කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි සමයේදී සුදු වෑන් වලින් ජනතාව පැහැරගෙන ගොස් මරා දමා කිඹුලන්ට කන්න දැමූ බවත් තමන් එම සුදුවෑන් රථයේ රියැදුරු බවත්ය.

මාධ්‍ය හමුවට සහභාගී වූ අනෙක් පුද්ගලයා කියා සිටියේ ප්‍රභාකරන් ගේ රත්තරන් ටොන් 7000 ප්‍රමාණයක් තමන් කොළඹට ප්‍රවාහනය කළේ ගෝඨාභය රාජපක්ෂට ලබා දීම වෙනුවෙන් බවය.

අදාළ මාධ්‍ය හමුව :

එවකට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් නොවැම්බර් මස 10 වැනිදා කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වූ සුදු වෑන්වල රියැදුරන් බව කියාගත් පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊට පසුදින (නොවැම්බර් 11 වැනිදා) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක යන එම පුද්ගලයන් දෙදෙනාව රාජිත සේනාරත්න විසින් වෙස් ගන්වාගෙන එම මාධ්‍ය හමුවට කැඳවාගෙන පැමිණි බව එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටි ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර තිබිණ.

එම ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා දෙසැම්බර් 02 දා අධිකරණයට කරුණු වාර්තා කරමින් එම ප්‍රකාශයන්ට අදාලව විමර්ශන ආරම්භකර ඇතිබව කියා සිටියේය.

රාජිත සේනාරත්නගේ අදහස :

***************************************

සංවර්ධනය වෙනුවෙන් සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ටම රු.මි. 20 ක් – ගමකට ලක්ෂ 20 ක්

(13.12.2019 – 18:15 +0530 – sinhala.adaderana.lk)

සංවර්ධන කටයුතු වෙනුවෙන්, ආණ්ඩු පක්ෂයේ සෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම රුපියල් මිලියන 20 ක මුදලක් සහ සෑම ගමකටම රුපියල් ලක්ෂ 20 ක් බැගින් ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ට දැනුම් දී තිබේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ආණ්ඩු පක්ෂයේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (12) පස්වරුවේ අගමැතිවරයාගේ හා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

ඒ කොළඹ ජනාධිපති මන්දිරයේදීයි.

මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ, ජනවාරි 3 වන දා මංගල සැසිය පාර්ලිමේන්තුවේ ආරම්භ කරන බවයි.

මින් ඉදිරියට පාර්ලිමේන්තු කටයුතු හා සංවර්ධන කටයුතු පිළිබඳ මෙහිදී ජනපතිවරයා සමඟ සාකච්ඡා කිරීම ඉතා වැදගත් බවද ඒ මහතා පැවසීය.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසා සිටියේ, ජනතාව බලාපොරොත්තු වු ආකාරයට කටයුතු සිදුවන බව දැනුම් දුන් බවයි.

සෑම ගමක්ම කඩිනමින් සංවර්ධනය කරන්න ලක්ෂ 20 ක මුදලක් හා සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහාම මිලියන 20 ක් වෙන් කර ජනවාරි මස 31 වන දා වන විට වැඩ අවසන් කිරීමටත් සෑම මන්ත්‍රීවරයෙකුටම රැකියා 700 ක් ජනවාරි වන විට ලබා දීමටත් පළාත් සභා මන්ත්‍රිවරයෙකුට රැකියා 100 ක් ජනවාරි වන විට ලබා දීමටත් තීරණය කළ බවත් ජනාධිපතිවරයා විසින් දැනුම් දුන් බවද වීරක්කොඩි මහතා පැවසීය.

ජනතාව බලා සිටි යුගය අද වන විට උදාවී ඇතැයි ද පැවසු ඒ මහතා, අද වන විට තැලෙන පොඩි වෙන දුප්පත් මිනිසා වෙනුවෙන් මුදල් වෙන් වෙන යුගය ඇරඹි බවත් ඒ ගැන සතුටක් ඇති වු බවත් කියා සිටියේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසා සිටියේ ජනාධිපතිවරණයට වඩා මහමැතිවරණයට සැලසුම් සහගතව කටයුතු කරන බවයි.

මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පවසා සිටියේ තමාට මාස 2-3 ක කාලයක් නිහඬව සිටීමට ලැබී ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් කිහිපයක ආසන සංවිධායකවරුන් හා එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ රාත්‍රියේදී පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය.

ප්‍රශ්නය- ඉදිරි මහමැතිවරණයේදී ඔබතුමාලා තරග කරන්න බලාපොරොත්තුවෙන්නේ පොහොට්ටුව ලකුණෙන්ද? නැත්තම් පුටුව ලකුණෙන්ද?

මෙයට අදහස් දක්වමින් දයාසිරි මහතා පවසා සිටියේ, “අපි පක්ෂ 17 ක් එකතු වෙලා ගිවිසුමක් අත්සන් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ක. ඒ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය. එහි ලකුණ පුටුව කියලා බොහොම පැහැදිලිව ව්‍යවස්ථාවේ තියෙනවා.

ඒ සන්ධානය ඉදිරියට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා.

ගෝඨාභය රාජපක්ෂයේ වත්මන් වැඩපිළිවෙල ගැන විශාල පැහැදීමක් මිනිස්සු තුළ තියෙනවා. එතුමාව තවදුරටත් අපි ශක්තිමත් කළ යුතුයි.

එතුමාගේ කාර්යයන් ඉදිරියට ගෙනියන්න නම් එතුමාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් එන්න ඕනේ. ඒ පාර්ලිමේන්තුව පිරිසිදු පාර්ලිමේන්තුවක් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.”

ප්‍රශ්නය – ඉදිරි මහමැතිවරණයකදී නාම යෝජනා ලබාදීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිසි ස්ථානය ලැබෙයිද? නාම යෝජනා ලබාදීම තීරණය කරන්නේ පොදුජන පෙරමුණ.

මෙහිදී ගෝඨාභය ජනාධිපතිවරයා අගමැතිවරයා හා මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරු සියලු දෙනා එකතු වී එක් කමිටුවක් ලෙස එය තීරණය කරනු ඇතැයි ද දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ නිසාවෙන් පක්ෂයට අසාරණයක් නොවෙනු ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රශ්නය- ඒ කියන්නේ මෛත්‍රී ජනාධිපතිතුමා මහමැතිවරණයට තරගවදිනවද?

එතුමා පක්ෂ නායකයා ලෙස දේශපාලන කටයුතුවලට ශක්තිය ලබා දීමට නම් එතුමා දේශපාලනය කළ යුතුයි යනුවෙන් ද මෙහිදී දයාසිරි මහතා පිළිතුරු ලබා දුන්නේය.

***************************************

වේයන්ගොඩත් හැඩවෙයි

(13.12.2019 – 19:08 +0530 – sinhala.adaderana.lk)

ලස්සන දෙරණ අලංකාර සිතුවමින් හැඩ කරන්නනට රටේ තරුණ පරපුර අතර ඇති උනන්දුව මේ වන විට තවත් වැඩි වී තිබේ.

කාලයක් පුරා අපවිත්‍රව තිබු පොදු ස්ථාන සිතුවමින් වර්ණවත් කිරීමට එලෙස එක් වූ තරුණ තරුණියන් අදත් අපට දැක ගන්නට ලැබුණි.

පෝස්ටර් සහ වෙනත් දැන්වීම්වලින් අපවිත්‍රව තිබූ පොදු ස්ථාන, තාප්ප , ගුවන් පාලම් වෙනුවට අද දිවයිනේ බොහෝ නගරවල දක්නට ලැබෙන්නේ වෙනස් දසුනක්.

එවන් පොදු ස්ථාන අලංකාර සිතුවම්වලින් වර්ණවත් වී තිබීම ශ්‍රී ලාංකිකයන්ට නව අත්දැකීමක් බවටත් පත්ව තිබේ.

රට පුරා ප්‍රවණතාවක් බවට පත්ව ඇති මේ උත්සාහයට තවත් තරුණ තරුණියන් දැඩි උනන්දුවෙන් එක්ව සිටින අයුරු රට පුරා සංචාරය කරන අපට දක්නට ලැබුණි.

මෙලෙස සිතුවමින් රට හැඩ කරන්නන් සොයා යමින් ඔවුන්ට දිරි දෙන ‘අද දෙරණ’ කණ්ඩායම අද පැමිණියේ වේයන්ගොඩ ප්‍රදේශයටයි.

***************************************

දෙරණේ හැඩ වෙන ගම්පොළ නගරය

(13.12.2019 – 11:14 +0530 – sinhala.adaderana.lk)

කාලයක් පුරා අපවිත්‍රව තිබු පොදු ස්ථාන සිතුවමින් වර්ණවත් කිරිමට තරුණ තරුණියන් තවමත් ඉදිරිපත් වෙමින් සිටියි.

නගරවල පොදු ස්ථාන, තාප්ප , ගුවන් පාලම් ආදියෙහි තරුණ තරුණියන් එක්ව සිතුවම් කිරීමේ නව ප්‍රවණතාවක් පසුගිය දින කිහිපය පුරා දක්නට ලැබුණි.

එවැනි තරුණ තරුණියන් පිරිසක් ගම්පොළ නගරයත් සුන්දර කරන ආකාරය අද දෙරණ කැමරා කාචයේ ඉතා අපූරුවට සනිටුහන් විය.

ගම්පොල නගරයේ තරුණ තරුණියන් සහ ප්‍රදේශවාසින් විසින් ගම්පොල ශික්ෂණ රෝහලේ ආරක්ෂිත පැති බැම්මේ මෙන්ම ගම්පොල පෞද්ගලික බස් නැවතුම් පොලේ අලංකාරවත් බිතු සිතුවම් සහ අලංකාරවත් චිත්‍ර නිර්මාණය කිහිපයක් නිර්මාණය කරන අයුරු එහි ගිය අපට දක්නට ලැබිණි.

ගම්පොල ශික්ෂණ රෝහලේ ආරක්ෂිත පැති බැම්මේ නිර්මාණය කරනු ලබන බිතු සිතුවම අඩි 300 දිගකින් සහ අඩි 15 පමණ උසක වපසරියක් යුතු නිර්මාණයක් බව එම බිතු සිතුවම් නිර්මාණය කරන තරුණ තරුණියන් පවසා සිටියේය.

වැඩි වශයෙන් මුස්ලිම් ජනතාව ජිවත් වෙන නගරයත් වුවත් සියලු දෙනා ජාති ආගම් පසක තියා මෙම සමාජ සත්කාරය වෙනුවෙන් එක්ව ඉන්න අපූරුව වටිනා ආදර්ශයක් එක්කරන්නට විය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *