රාජිතගේ සුදු වෑන් කල්ලිය රට හොල්ලපු කොල්ලකාරයෝ.. චෝදනා වලින් නිදහස් කරන බවට රාජිත පොරොන්දුවෙලා…

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රාජිතගේ සුදු වෑන් කල්ලිය රට හොල්ලපු කොල්ලකාරයෝ.. චෝදනා වලින් නිදහස් කරන බවට රාජිත පොරොන්දුවෙලා…

• ස්විස් තානාපති නිලධාරිනිය සිව්වන වරටත් අද (16) CIDයට, සුදු වෑන් මාධ්‍ය හමුවේ දෙදෙනාත් අධිකරණයට

• ස්විස් තානාපති නිලධාරිනිය බන්ධනාගාරයට (විඩියෝ)

• පැහැර ගත් බව කියන සිද්ධිය, තමා ඉලක්ක කර සිදුකළ ක්‍රියාවක් බව ජනපති කියයි (විඩියෝ)

• රාජිතයාගේ සුදුවෑන් මාධ්‍ය හමුවේ ‘වඩිගපටුන සැකකරුවන්’ රිමාන්ඩ් (විඩියෝ)

• හිරු පුවත ඵල දරා, සංදීප්ට වැඩිදුර ප්‍රතිකාර

• චම්පිකගේ රිය අනතුරු සිද්ධියට දුරකථන වාර්තා කැදවයි (විඩියෝ)

• චෝදනා එල්ලවන පාඨලී චම්පික හා රාජිත සේනාරත්න ගැන විවිධ අදහස් (විඩියෝ)

• උත්සව සමයේ මහනුවරට විශේෂ දුම්රියක්

• පාතාලය හා මත්ද්‍රව්‍ය උවදුර මර්දනයට ගත හැකි සියලු පියවර ගන්නවා – ආරක්ෂක ලේකම් (විඩියෝ)

• හිරු සී.අයි.ඒ. : නොනවතින වැලි ජාවාරමෙන් අනතුරේ වැටෙන මහවැලි පාලම (විඩියෝ)

• අසාද් සාලි පොලිසියට කළ බලපෑම් හෙළිවෙයි (විඩියෝ)

• පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි (විඩියෝ)

• මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට චෝදනාවක් (විඩියෝ)

• විග්නේෂ්වරන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්තගෙන් අභියෝගයක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

රාජිතගේ සුදු වෑන් කල්ලිය රට හොල්ලපු කොල්ලකාරයෝ.. චෝදනා වලින් නිදහස් කරන බවට රාජිත පොරොන්දුවෙලා…

(16.12.2019 – 05:15 +0530 – lankaleadnews.com)

රාජිතගේ සුදු වෑන් කල්ලිය රට හොල්ලපු කොල්ලකාරයෝ.. චෝදනා වලින් නිදහස් කරන බවට රාජිත පොරොන්දුවෙලා… – අත්අඩංගුවට පත් දෙදෙනා හතරවෙනි තට්ටුවේදී සියල්ල වමාරති

හිටපු ඇමැති රාජිත සේනාරත්න ජනාධිපතිවරණ සමයේ සුදුවෑන් රියැදුරන් ලෙස මාධ්‍ය මගින් පෙන්වාදී ඇත්තේ මිනිස් ඝාතන හා මහා පරිමාණ කොල්ලකෑම් රැසකටම සම්බන්ධ නම ගිය අපරාධකරුවන් දෙදෙනෙකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලදී අනාවරණය වී ඇත.

හිටපු ඇමැති රාජිත සේනාරත්නගේ කීමට තමන් දෙදෙනා ඉකුත් නොවැම්බර් 10 වැනිදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට රැගෙන විත් සුදුවෑන් භීෂණය ගැන කතා කිරීමට උපදෙස් දුන්නේ, තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන නඩු, අපරාධ චෝදනා නිදහස් කිරීමේ හා රුපියල් ලක්ෂ විස්සක් ලබාදෙන පොරොන්දුව මත බවද ඔවුන් හෙළිකර ඇත.

උණ්ඩියල් අතුල හෙවත් අතුල සංජීව මදනායක හා ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු යන මෙම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට ගත්තේ කඩවත, මහර පාරේ අවන්හලකදීය.

ඔවුන් මාධ්‍යයට කළ අනාවරණය සම්බන්ධව විමර්ශනයක් කරන්නැයි සිංහලයේ සංවිධානයේ ජාතික සංවිධායක කුමුදු ප්‍රදීප් සංජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර කළ පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.

මෙම උණ්ඩියල් අතුල නමැත්තා ඇතුළු කණ්ඩායම සුදුවෑන් යොදාගෙන කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාපොච්ඡාරණය කර ඇත.

2013 වසරේදී රටේ ආන්දෝලනයක් ඇතිකළ ජාඇල රුපියල් ලක්ෂ හැත්තෑපහේ මුදල් කොල්ලය කර තිබුණේත් උණ්ඩියල් අතුල ඇතුළු කණ්ඩායමකි. පොලිටෙක්ස් නමැති ඇඟලුම් කම්හලේ හිමිකරු ජාඇල හැටන් නැෂනල් බැංකුවෙන් රුපියල් ලක්ෂ 75 ක් රැගෙන තම වෑන් රථයකින් කර්මාන්ත ශාලාවට ඇතුළුවීමට යද්දී ගිනිඅවි සහිතව සුදුවෑන් රථයකින් පැමිණි මෙම කල්ලිය එම මුදල් කොල්ලකාගෙන ගොස් තිබිණි. තම දියණියගේ විවාහය වෙනුවෙන් මුදල් රැගෙන යද්දී කොල්ලයට මුහුණදුන් කර්මාන්තශාලා හිමිකරු සිත්තැවුලට පත්ව හෘදයාබාධයකින් මියගියේ ඉන් සතියකට පමණ පසුය.

මීට අමතරව සුදුවෑන් රථයකින් ගොස් ටී. 56 ගිනිඅවි හා පිස්තෝල පෙන්වා 2013 අගෝස්තු 06 වැනිදා පිටකොටුව හෙට්ටිවීදියේ සාරංගා ජුවලර්ස් ආයතනයේ රුපියල් කෝටි තුනහමාරක් වටිනා විදෙස් මුදල් හා රත්තරන් කූරු කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇත්තේද මෙම කල්ලියයි.

එමෙන්ම සාරංගා ජුවලර්ස් ආයතනයේ රුපියල් ලක්ෂ 45 ක් වටිනා ‘උන්ඩියල් මුදල්’ හා රන් භාණ්ඩ කොල්ලකෑමක්ද 2013 පෙබරවාරි 01 වැනිදා සිදුකර ඇත්තේ සුදුවෑන් රථයක් යොදාගෙනය.

මෝදරදී රුපියල් ලක්ෂ 21 ක් වටිනා සුදු පැහැති ‘ටවුන්ඒස්’ වෑන් රථයක් එදිනම කොල්ලකාගෙන ගොස් මෙම කොල්ලය සිදුකර තිබිණි.

2012 අප්‍රේල් 05 වැනිදා කොටහේන කොමර්ෂල් බැංකුවේ සිට මුදල් රැගෙන ආ අයකුට හිසට පොල්ලකින් ගසා රුපියල් ලක්ෂ දහයක්ද කොල්ල කා ඇත්තේ මෙම කණ්ඩායම බවට චෝදනා එල්ල වේ.

කඳාන හැටන් නැෂනල් බැංකුව අසලදී 2013 අප්‍රේල් 05 වැනිදා සුදුවෑන් රථයකින් පැමිණ බැංකුවේ සිට යමින් සිටි යුවළකට පිහියෙන් ඇන දසලක්ෂ පහළොස් දහසක් කොල්ලකෑමද, ජාඇල හැටන් නැෂනල් බැංකුව අසලදී මුදල් රැගෙන යමින් සිටි කාන්තාවකගේ රුපියල් ලක්ෂ තුනක් කොල්ලකෑමද මේ අතර වේ.

කොටහේනේ මංකොල්ලයට ගොස් ගල්කටස් අවියකින් තැබූ වෙඩිල්ලකින් ‘උණ්ඩියල් අතුල’ගේම ගෝලයකු 2013 දී ඝාතනයට ලක්වූ බවටද හෙළිවී ඇත.

වත්තල කොමර්ෂල් බැංකුවෙන් මුදල් රැගෙන යමින් සිටි යුවළකට පිහිපෙන්වා රුපියල් ලක්ෂ හතහමාරක් කොල්ලකා තිබුණේද 2013 දීය. මෝදරදී තවත් ‘උණ්ඩියල් මුදල්’ දෙන තැනකින් රුපියල් ලක්ෂ තුනහමාරක් කොල්ලකා තිබුණේද මෙම කණ්ඩායමයි.

2013 ඔක්තෝබර් 17 වැනිදා ‘උණ්ඩියල් අතුල’ මෙම කොල්ලකෑම්වලට සම්බන්ධව ත්‍රස්ත විමර්ශන කොට්ඨාස මගින් අත්අඩංගුවට ගත් පසු කල්ලියට සම්බන්ධ ප්‍රසන්න සුජීව, සුසින් සිල්වා (සුජී) සුනීත වීරසිංහ (රුවන්) යන කොල්ලකරුවන් සමග එක්වී සිදුකළ මහා පරිමාණ කොල්ලකෑම් 12 ක් අණාවරණය වී තිබේ.

මීට අමතරව එම කාලසීමාවේදී බෙල්ලන්විල විහාරස්ථානය අසලදී සිදුකළ මිනිස් ඝාතනයක්ද මොවුන් සම්බන්ධ බව කියැවේ. ගල්කිස්සේ අතුල නමැත්තෙකු රුපියල් ලක්ෂ විස්සක කොන්ත්‍රාත්තුවක්දී තම කුඩු ජාවාරමේ ප්‍රතිවිරුද්ධ සාමාජිකයකු සුදු වෑන් රථයකින් රැගෙන ​ගොස් ආරක්ෂක අංශවලින් සිදුකළ දෙයක් බව හඟවමින් ඝාතනය කර ඇතැයි හෙළිවී ඇත.

මෙම අපරාධවලට සම්බන්ධ නඩුවලින් ගැලවීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ හා හමුදා නිලධාරීන් ගැන නම් හෙළි කරමින් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ බව මෙම සැකකරුවන් හෙළිකර තිබේ.

සැකකරුවන් පැය 72 ක රැඳවුම් නියෝගවලින් පසුව අද (16 වැනිදා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴

+++++++++++++++++++++++++++++++++++

ස්විස් තානාපති නිලධාරිනිය සිව්වන වරටත් අද (16) CIDයට, සුදු වෑන් මාධ්‍ය හමුවේ දෙදෙනාත් අධිකරණයට

(16.12.2019 – 07:10 +0530 – hirunews.lk/sinhala)

පැහැරගැනීමට ලක්වූවා යැයි කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට අද (16) යළි ප්‍රකාශයක් ලබාදීමට නියමිතයි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි පසු ඇය විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් හමුවට ද ඉදිරිපත් කෙරෙන බවයි වාර්තාවන්නේ. ඇය එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන හතරවන දිනය මෙය වනවා.

පසුගිය 13 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට දැනුම්දී තිබුණත් ඇය එහි පැමිණ සිටියේ නැහැ.

ඒ වෙනුවට විශේෂ සාකච්ඡාවක් සඳහා බව පවසමින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් එම දෙපාර්තමේන්තුවට පැමිණ සිටි බවයි වාර්තාවුණේ.

පැහැරගැනීමට ලක්වූ බව පැවසෙන සිද්ධියට අදාළ නඩුව හෙට (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැදවීමට නියමිත අතර එදින දක්වා ඇයට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සංවිධාන කළ සුප්‍රකට සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වී පසුව අත්අඩංගුවට ගැනුනු පුද්ගලයින් දෙදෙනා පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොවුන් දෙදෙනා පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගනු ලැබුවේ මහර ප්‍රදේශයේදීයි.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 03 ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴

***************************************

ස්විස් තානාපති නිලධාරිනිය බන්ධනාගාරයට

(16.12.2019 – 19:07 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් කොළඹ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.

බන්ධනාගාර බස් රථයකින් අද (16) රාත්‍රියේ ඇය පොලිස් ආරක්ෂාව මධ්‍යයේ බන්ධනාගාරයට රැගෙන ගිය බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

පැහැරගැනීමට ලක්වූවා යැයි කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් අද (16) සිව් වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ සිටියේ ස්විස් තානාපති කාර්යාලයට අයත් රථයකින්.

ඉන් අනතුරුව ඇයව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ගිය අතර, පසුව එහි නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය වෙත කැදවාගෙන යනු ලැබුවා.

ඒ, විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් හමුවට ඉදිරිපත් කිරීම සඳහායි.

පැය 5 කට ආසන්න කාලයක් එහි රැදී සිටි තානාපති කාර්යාල නිලධාරිනිය යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ඒමෙන් පසුව අත්අඩංගුවට ගැනුණා.

ඒ, රජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම සහ ගොතන ලද සාවද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම යන චෝදනාව මත ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් උපදෙස් මතයි.

ඒ අනුව අත්අඩංගුවට ගැනුණු තානාපති කාර්යාල නිලධාරිනිය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කර මේ මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

+++++++++++++++++++++++++++++++++++

පැහැර ගත් බව කියන සිද්ධිය, තමා ඉලක්ක කර සිදුකළ ක්‍රියාවක් බව ජනපති කියයි

(16.12.2019 – 19:23 +0530 – hirunews.lk/sinhala)

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගැනීමට ලක්වී නොමැති බවත්, මෙම සිදුවීම තමන් ඉලක්ක කර ගනිමින් සිදුවූ ක්‍රියාවලියක් බවත්, පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

එවැනි සිද්ධියන් සිදුනොවුණු බව සී.සී.ටී.වී. දර්ශන, දුරකථන දත්ත සහ ස්වාධීන සාක්ෂි ඔස්සේ දැනටමත් හෙළි වී ඇති බවයි ජනාධිපතිවරයා අද (16) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවේදී සඳහන් කළේ.

සිද්ධියට මුහුණ දුන් බවට පැවසෙන කාන්තාව සම්බන්ධයෙන් විශාල සැකයක් මතුව ඇති අතර, ඇයගෙන් පරීක්ෂණ කටයුතු සඳහා කිසිදු සහයෝගයක් ලැබී නොමැති බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

කෙසේ වෙතත්, ස්විස් තානාපති කාර්යාලයෙන් ඊට අදාළ සහය නොඅඩුව ලැබී ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කළේ.

පසුගිය රජය සමයේ ප්‍රකාශයට පත්වූ මඩ ගසන සංස්කෘතිය ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ එවැනි සංස්කෘතියක් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වැනි අයට සුදුසු බවයි.

අසත්‍ය කරුණු මවාපාමින් ජනාධිපතිවරණ සමයේ හිටපු අමාත්‍යවරයා විසින් කැදවූ මාධ්‍ය හමු හේතුවෙන් තම ඡන්ද ප්‍රතිශතය ඉහළ ගිය බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ.

ජනාධිපතිවරයා සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළේ තම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැංවීම 2020 වසරේ තමන්ට පැවරී ඇති එකම අභියෝගය බවයි. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් සහ මැති ඇමතිවරුන් ඒ සඳහා කැප විය යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

රාජ්‍ය අංශයේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්, ඒ ඔස්සේ කාර්යක්ෂම, කඩිනම් රාජ්‍ය සේවයක් ඔස්සේ රට ඉදිරියට ගෙන යා හැකි බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී සඳහන් කළා.

රැකියා කාර්ය සාධන බලකාය මගින් අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් මුල් කර ගනිමින් රැකියා ලබාදීම ලබන වසරේ සිට ආරම්භ කෙරෙනවා.

නිපුණත්වයක් නොමැති පුද්ගලයින්ට නිපුණතා පුහුණුව ලබාදී නව රැකියා උත්පාදනය කිරීම වත්මන් රජයේ අරමුණ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ලෝකයේ පවතින නව රැකියා සම්බන්ධයෙන් අවබෝධයක් තිබිය යුතු අතර, ඒ ඔස්සේ ඉදිරියට ගමන් කළ යුතු බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

මෙරට සේවා සහ අවශ්‍යතා සඳහා කිසිදු විදෙස් ශ්‍රමිකයෙකු යොදා නොගන්නා බවත්, දේශීය උගතුන් සමඟ එක්ව ඉදිරියට යාම තම අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් එහිදී ජනාධිපතිවරයාගෙන් ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ ගිවිසුම සම්බන්ධයෙන් ද විමසා සිටියා.

එම ගිවිසුම සම්බන්ධයෙන් නිවැරදි අධ්‍යයනයක් සිදුකිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ.

තමන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කිසිදු අවස්ථාවක මැතිවරණ කල් නොදමන අතර, නිසි කලට ඡන්ද පැවැත්වීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මීට අමතරව රජයක් නිසි මඟට යොමු කිරීමට මාධ්‍යයට පුළුල් බලපෑමක් කළ හැකි බවත්, මාධ්‍ය නිදහසට කිසිදු බාධාවක් එල්ල නොකරන බවත්, එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අහෝසි කිරීම නිසා නිවැරදි තොරතුරු තහවුරු කර ගැනීමේදී මාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටළුව කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවදානය යොමු වුණා.

ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ කර ගනිමින් තම මතය නොව අදාළ විෂය පිළිබද ඍජුව ප්‍රකාශ කළ හැකි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයක් ස්ථාපනය කිරීමට ක්‍රියා කරන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, රටේ ජාතික සමගිය ආරක්ෂා වන්නේ ජාතික ආරක්ෂාව ශක්තිමත් වීම නිසා බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඊට අවශ්‍ය පරිසරය ස්ථීර වශයෙන්ම ගොඩනගන බව මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිවරයා ද අද (16) ජනාධිපතිවරයා හමුවී සුහද සාකච්ඡාවක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

***************************************

රාජිතයාගේ සුදුවෑන් මාධ්‍ය හමුවේ ‘වඩිගපටුන සැකකරුවන්’ රිමාන්ඩ්

(16.12.2019 – 16:20 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සංවිධාන කළ සුප්‍රකට සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වී පසුව අත්අඩංගුවට ගැනුනු පුද්ගලයින් දෙදෙනා මේ මස 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ.

මොවුන් දෙදෙනා පසුගිය 13 වන දා රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේ මහර ප්‍රදේශයේදීයි.

***************************************

හිරු පුවත ඵල දරා, සංදීප්ට වැඩිදුර ප්‍රතිකාර

(16.12.2019 – 19:44 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ජීප් රථයේ ගැටී 2016 වසරේදී හදිසි අනතුරට පත්වූ සංදීප් සම්පත් මහතාගේ මව්පියන් හිරු ප්‍රවෘත්ති අංශය ඔස්සේ සිදුකළ ඉල්ලීම අද ඵල දැරුවා.

ඒ, සංදීප් මහතාගේ ප්‍රතිකාර සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දැනුවත් කිරීම මත වෛද්‍ය එලියන්ත වයිට් මහතා සම්බන්ධවීමත් සමඟයි.

දින 15ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සංදීප් මහතා තවත් මාස 6 ක කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබුවා.

අනතුර සිදුවී වසර 4 කට ආසන්න කාලයක් ගත වී ඇතත් සංදීප් මහතා පිළිබදව කිසිවෙකුගේ අවදානය යොමු නොවී ඇති බවට මීට දින දෙකකට ඉහත දී හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප රටට පෙන්වා දුන්නා.

කෙසේ වෙතත්, එම පුවත විකාශය වීමෙන් පසු ඒ පිළිබදව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවදානය යොමු වුණා.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සිය වෛද්‍යවරයා වන එලියන්ත වයිට් මහතා, සංදීප් සම්පත් මහතාට සම්බන්ධ කිරීමට කටයුතු කර තිබුණේ අද පෙරවරු 9 ට පමණයි.

ඒ අනුව සංදීප් මහතා ඔහුගේ දෙමව්පියන් සමඟ වෛද්‍ය එලියන්ත වයිට් මහත හමුවීමට පැමිණියේ කෙසේ හෝ තම දරුවා සුව කර ගැනීමේ අරමුණින්.

එහිදී සංදීප මහතා වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ පරීක්ෂාවට ලක්වූ අතර, වෛද්‍යවරයා එහිදී සදහන් කළේ සංදීප් මහතා යළි යථා තත්ත්වයට පත් කිරීමට හැකියාවක් පවතින බවයි.

+++++++++++++++++++++++++++++++++++

චම්පිකගේ රිය අනතුරු සිද්ධියට දුරකථන වාර්තා කැදවයි

(16.12.2019 – 19:18 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේ රාජගිරියේදී තරුණයෙකු රිය අනතුරට ලක් කළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක නීතීඥයෙකු මාර්ගයෙන් අද (16) අධිකරණය හමුවේ පෙනී සිටියා.

හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ඒ අනුව ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා හමුවේ පෙනී සිටි බවයි.

එහිදී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ තම සේවාදායකයා සහ ඔහුගේ රියදුරාට අදාළව ලබාගෙන ඇති විදෙස් ගමන් තහනම ඒකපාර්ශවික කරුණු ඉදිරිපත් කිරීමක් මගින් ගත් තීන්දුවක් බවටයි.

එමෙන්ම, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් හිටපු අමාත්‍යවරයාගේ රියදුරාගේ ගාල්ල – ඉමදූවේ පිහිටි නිවසට ගොස් ඔහුගේ ඥාතීන් බලහත්කාරයෙන් කොළඹට රැගෙනවිත් ඇති බවට ද නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

කෙසේ වෙතත්, කොළඹ අපරාධ කොට්ඨාශය කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ නිසියාකාරව කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ විදෙස් ගමන් තහනම ලබා ගත් බවයි.

බලහත්කාරයකින් තොරව අමාත්‍යවරයාගේ රියදුරාගේ ඥාතීන් කොළඹට රැගෙන ආවේ ඔහු රැදී සිටින කොළඹ නිවස හදුනා ගැනීම සදහා බව ද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නා.

එසේම පොලීසියේ ඉල්ලීම අනුව අධිකරණය නියෝග කළේ විමර්ශන කටයුතු සඳහා දුරකථන අංක 20 ක් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් කැදවීමටයි.

වැඩිදුර විමර්ශනය සඳහා නඩුව ලබන වසරේ පෙබරවාරි මස 14 වන දා යළි කැදවන අතර, එතෙක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට සහ ඔහුගේ රියදුරාට විදෙස් ගමන් තහනම ක්‍රියාත්මකයි.

මේ අතර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව එල්ල වී චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් ඇතුළු පිරිසක් අද කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූවා.

+++++++++++++++++++++++++++++++++++

චෝදනා එල්ලවන පාඨලී චම්පික හා රාජිත සේනාරත්න ගැන විවිධ අදහස්

(15.12.2019 – 20:09 +0530 – hirunews.lk/sinhala)

සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න යන හිටපු අමාත්‍යවරුන් සම්බන්ධයෙන් දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් අදහස් පළ කළා.

+++++++++++++++++++++

***************************************

උත්සව සමයේ මහනුවරට විශේෂ දුම්රියක්

(16.12.2019 – 14:43 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ මහනුවර බලා යන මගී ජනතාව වෙනුවෙන් හෙට (17) සිට විශේෂ දුම්රියක් කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඒ අනුව කොළඹ කොටුවෙන් උදේ 9.00 ට ගමන් අරඹන මෙමෙ සුඛෝපභෝගී දුම්රිය දහවල් 11.30 ට මහනුවරට ළඟාවීමට නියමිතයි.

පස්වරු 4.55 ට මහනුවරින් ගමන් අරඹන මෙම දුම්රිය යළිත් පස්වරු 7.30 ට කොළඹ කොටුවට පැමිණීමට නියමිත බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කළේ.

මහනුවරට ගමන් ගන්නා දුම්රිය නතර කරනු ලබන්නේ ගම්පහ සහ පේරාදෙණිය දුම්රිය ස්ථානවල පමණයි.

නැවත කොටුව බලා පැමිණෙන මෙම දුම්රිය පේරාදෙණිය, ගම්පහ සහ මරදාන යන දුම්රිය ස්ථානවල නතර කෙරෙනවා.

එම දුම්රිය සදහා ආසන වෙන් කිරීම අද 16 පස්වරුවේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

මිට අමතරව ලබන 20, 21 සහ 22 යන දිනවල කොළඹ කොටුවේ සිට බදුල්ල බලා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා ෴

***************************************

පාතාලය හා මත්ද්‍රව්‍ය උවදුර මර්දනයට ගත හැකි සියලු පියවර ගන්නවා – ආරක්ෂක ලේකම්

(15.12.2019 – 22:24 +0530 – hirunews.lk/sinhala)

පාතාලය හා මත්ද්‍රව්‍ය උවදුර මර්දනයට ගත හැකි සියලු පියවර ගන්නා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් පිහිටවූ සියනෑ කතිකාවත වැඩසටහනට වසරක් පිරීම නිමිත්තෙන් වේයන්ගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගී වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සදහන් කළා.

***************************************

හිරු සී.අයි.ඒ. : නොනවතින වැලි ජාවාරමෙන් අනතුරේ වැටෙන මහවැලි පාලම

(15.12.2019 – 20:30 +0530 – hirunews.lk/sinhala)

දිගින් දිගටම සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරම් හේතුවෙන් රුපියල් කෝටි දෙක හමාරක වියදමින් අලුත්වැඩියා කළ මහියංගණය මහවැලි පාලම යළි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා.

අද හිරු සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබඳවයි.

මහියංගනය – මහවැලි පාලම අවට සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරම් හේතුවෙන් එම පාලම අවදානමට ලක්ව ඇති බව අප හිරු සී.අයි.ඒ. හරහා අවස්ථා ගණනාවකදී හෙළිදරව් කළා.

ඒ අනුවයි මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි දෙක හමාරක මුදලක් වැය කරමින් අවදානමට ලක්ව තිබූ පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගිය කාලයේ සිදු කළේ.

මහජන මුදල් වැය කරමින් ප්‍රතිසංස්කරණය කළ මෙම පාලමට තර්ජනයක් එල්ලවන ලෙස යළිත්වරක් ජාවාරම්කරුවන් තහනම් කලාපයේ නීතිවිරෝධීව මහා පරිමාණයෙන් වැලි ගොඩදමන ආකාරය හිරු සී.අයි.ඒ. යළි තහවුරු කරගත්තා.

පසුගිය දින කිහිපයේම ප්‍රදේශය පුරා ඔත්තුකරුවන් යොදවමින් මෙම වැලි ජාවාරම ක්‍රියාත්මක කර තිබුණා.

මහියංගණය නගරය ආසන්නව වගාව නම්වූ ගම්මානය අසලින් ට්‍රැක්ටර් රථ මහවැලි ගඟ තුළට යොමුකර මෙම ජාවාරම සිදුකරන බවයි හිරු සී.අයි.ඒ. තොරතුරු හෙළිකර ගත්තේ.

බදුල්ල භූ විද්‍යා හා පතල් කාර්යංශය මගින් පසුගිය කාලයේ වැලි මංකඩ කිහිපයකට පමණක් බලපත්‍ර ලබාදී තිබුණද සිදුව ඇති පරිසර හානිය සලකා මේවන විට එම බලපත්‍ර ද අහෝසි කර තිබෙනවා.

එහෙත්, බලපත්‍ර අහෝසි කළ පසු බදුල්ල භූ විද්‍යා හා පතල් කාර්යංශය මගින් මෙම වැලි තොටවල් සඳහා යන මාර්ග වසා දැමීමක් සිදුකර නැහැ.

ඉන් ප්‍රයෝජන ගන්නා වැලි ජාවාරම්කරුවන් මහා පරිමාණයෙන් පරිසරය වනසමින් මෙම ජාවාරම ක්‍රියාත්මක කරනවා.

අප මෙම වැලි ජාවාරම පිළිබඳව මහියංගණය පොලිසිය දැනුවත් කළා.

ඒ අනුව පොලිසිය වැටලීමට එන අවස්ථාවේදී ජාවාරම්කරුවන් ට්‍රැක්ටරයක් එම ස්ථානයේ දමා පලායාගොස් තිබුනා.

අදාළ ට්‍රැක්ටරය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන යාමට සැරසෙද්දී එහි අයිතිය වෙනුවෙන් පෙනී සිටීමට ජාවාරම්කරුවන් පැමිණියා.

***************************************

අසාද් සාලි පොලිසියට කළ බලපෑම් හෙළිවෙයි

(15.12.2019 – 20:24 +0530 – hirunews.lk/sinhala)

අද ‘හාඩ්ටෝක්’ විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ කෑගල්ල දිසාව භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා ගෙන්.

***************************************

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි

(15.12.2019 – 20:15 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හා අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පතිවරයාට පමණක් නොව ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට චෝදනාවක්

(15.12.2019 – 22:33 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ ලක්විජය ගල්අගුරු බලාගාරයේ දිගුවක් ලෙස මෙගාවොට් 300 ක නව බලාගාරයක් තැනීම සදහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියකින් තොරව විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති බවට එම කොමිසම චෝදනා කරනවා.

විදුලිබල අමාත්‍යාංශය පවසන්නේ එවැනි බලාගාරයක් ඉදිකිරීම සදහා සැලසුම් පැවතියද එහි වැඩකටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බවයි.

පසුගිය ජනාධිපතිවරණයට දින 10 කි තිබියදී නොරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බලාගාරයේ දිගුවක් ලෙස මෙගාවොට් 300 ක නව බලාගාරයක් තැනීම සදහා චීනයේ CMC සමාගම වෙත අභිප්‍රාය පලකිරීමේ ලිපියක් විදුලිබල මණ්ඩලය නිකුත් කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසම සදහන් කරන්නේ අදාළ බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් තම කොමිසම දැනුවත් කිරීමට විදුලිබල අමාත්‍යාංශය කටයුතු නොකල බවයි.

කෙසේ වෙතත් අප කළ විමසීමකදී විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කළේ අදාල නව බලාගාරය ඉදිකිරීම සදහා සැලසුම් පැවතුනද එහි වැඩකටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බවයි.

මේ අතර විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කළේ පසුගිය කාලය පුරාවටම විදුලිබල අර්බුදයක් ඇතිවූයේ එහි බලධාරීන්ගේ නොමනා ක්‍රියා නිසාවෙන් බවයි.

***************************************

විග්නේෂ්වරන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්තගෙන් අභියෝගයක්

(15.12.2019 – 18:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස අර්ථ ගැන්වීමට කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නොමැති බව හා මහාවංශය වැනි ලේඛන ප්‍රබන්ධ කථා පමණක් බවට උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට තමන් අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා පවසනවා.

කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සී. වී. විග්නේෂ්වරන් ගෙන් ඉල්ලා සිටියේ හැකි නම් තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසයි.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස අර්ථ ගැන්වීම මුළුමනින්ම වැරදි බවත්, කිසිදු පුද්ගලයෙකුට එලෙස ප්‍රකාශ කිරීමට අයිතියක් නොමැති බවත්, උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (14) ප්‍රකාශ කර තිබුණා.

එහි වැඩිදුරටත් දැක්වුණේ ඉතිහාසය පිළිබඳ භික්ෂූන් වහන්සේ විසින් රචිත මහාවංශය වැනි පෞරාණික ලේඛනයන් පාලි භාෂාවෙන් රචනා කරන ලද ප්‍රබන්ධ කථා පමණක් බවයි.

උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධව නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා මෙන්ම බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුලූගල්ලේ සිරි ජිනානන්ද හිමියන් ද පොලිස් මූලස්ථානයට අද (15) පැමිණිලි කළා.

මේ අතර, ටෙලෝ සංවිධානයේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ එස්. ශ්‍රී කාන්තන් සහ උතුරු පළාත් හිටපු අමාත්‍ය එම්. කේ. සිවාජිලිංගම් නව පක්ෂයක් පිහිටුවා තිබෙනවා.

ටෙලෝ සංවිධානයෙන් ඉවත්ව පිහිට වූ නව පක්ෂය, දමිල ජාතික පක්ෂය ලෙස නම් කරන බවයි යාපනයේ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ.

එහි නායකත්වය එස්. ශ්‍රී කාන්තන් විසින් දරණ අතර, එම්. කේ. සිවාජිලිංගම් ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇති.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *