තනතුරු කිසිවක් නොව, සජිත් ප්‍රේමදාසට අවශ්‍ය ණය ගෙවන්න – එක්සත් ජාතික භික්ෂු පෙරමුණ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• තනතුරු කිසිවක් නොව, සජිත් ප්‍රේමදාසට අවශ්‍ය ණය ගෙවන්න – එක්සත් ජාතික භික්ෂු පෙරමුණ

• සුදුවෑන් මාධ්‍ය හමුව පවත්වන්න – ලක්ෂ 20 ක් දුන් අය ගැන පරීක්ෂණ

• ශ්‍රී ලංකාවේ කීර්තිනාමය අවදානමක පවතින බවට ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

• ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය වැලිකඩට

• රිමාන්ඩ් කළ තානාපති සේවිකාව සම්බන්ධයෙන් ස්විස් රජයෙන් ශ්‍රී ලංකාවට ඉල්ලීමක්

• ඇඹිලිපිටිය පොලිසිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

• සිතුවමින් හැඩවන පොදු ස්ථාන

• රට ලස්සන කරන්න සහෝදරත්වයෙන් එක්වුණු හිත් ලස්සන මිනිස්සු

• රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණය අසමත් සංඛ්‍යාව ඉහළට – හේතුව ඇස් පෙනීමේ දුර්වලතා

• විග්නේෂ්වරන් ජාතිවාදී උමතුවෙන් යළිත් වරක් තප්පුලයි…

+++++++++++++++++++++++++++++++++++

තනතුරු කිසිවක් නොව, සජිත් ප්‍රේමදාසට අවශ්‍ය ණය ගෙවන්න – එක්සත් ජාතික භික්ෂු පෙරමුණ

(16.12.2019 – 20:23 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂ නායකධුරය, පක්ෂ නායක ධුරය ඇතුළු තනතුරු කිසිවක් නොව තමන්ට අවශ්‍යව ඇත්තේ මිලියන ගණනක ණය ගෙවා ගැනීමට පමණක් බව හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බවට එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ සාමාජික භික්ෂූන් වහන්සේ පවසනවා.

ඒ, අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

+++++++++++++++++++++

17-12-2019

***************************************

සුදුවෑන් මාධ්‍ය හමුව පවත්වන්න – ලක්ෂ 20 ක් දුන් අය ගැන පරීක්ෂණ

(17.12.2019 – 07:47 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සංවිධාන කළ සුප්‍රකට සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වී පසුව අත්අඩංගුවට ගැනුනු පුද්ගලයින් දෙදෙනාට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාදී ඇත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (16) ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ මස 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

මෙලෙස අත්අඩංගුවට පත්වුණේ ඇත්තනී ඩග්ලිස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක යන අයයි. මොවුන් දෙදෙනා පසුගිය 13 වන දා රාත්‍රියේ මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර ඔවුන්ට එරෙහිව ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් ද චෝදනා පවතිනවා.

මොවුන් දෙදෙනා ඊයේ (16) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේ මාධ්‍ය හමුවේදී මෙම පුද්ගලයින් ඉදිරිපත් කළ කරුණු අනාවරණ වී ඇත්ද යන්නයි.

ඔවුන් ප්‍රකාශ කළ කරුණු නිවැරදි නොවන බවයි ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව කියා සිටියේ.

එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීම හේතුවෙන් මොවුන් අසත්‍ය තොරතුරු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම ඔවුන්ට විසින් ක්‍රියාත්මක කරන ලද අපරාධ රැසකම තොරතුරු අනාවරණ වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ෴

***************************************

ශ්‍රී ලංකාවේ කීර්තිනාමය අවදානමක පවතින බවට ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(17.12.2019 – 13:50 +0530 – sinhala.adaderana.lk)

නීතීයේ ආධිපත්‍ය සුරකින රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිනාමය අවදානමක පවතින බවට ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව මේ බව පවසා ඇත්තේ ස්විස් තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජික ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් නිවේදයක් නිකුත් කරමින්ය.

සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම සහ රජය කෙරෙහි අපකීර්තියක් ඇතිවන අකාරයෙන් කටයුතු කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට පත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති කාර්ය මණ්ඩල සාමාජිකාව රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ නීතීයේ ආධිපත්‍ය සුරකින රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිනාමය අවදානමක පවතින බවයි.

සිදුවීම සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්ව ඇති අතර තම තානාපති කාර්යාලයේ සේවිකාව සම්බන්ධයෙන් සිදුවන ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගවලදී ඇයගේ පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවේ අධිකරණ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ස්විට්සර්ලන්ත රජයේ නිවේදනයේ සඳහන් වෙයි.

මෙම සිදුවීමට මුහුණපා සිටින සිය සේවිකාවට හැකි උපරිම සහය ලබාදීමේ වගකීම ඉටුකිරීමට ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරියටත් කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

එමෙන්ම දුර්වල සෞඛ්‍ය තත්ත්වයක සිටි තම කාර්ය මණ්ඩල සාමාජිකාවගෙන් දින තුනක් මුළුල්ලේ පැය 30 කට අධික කාලයක් ප්‍රශ්න කිරීමද විවේචනයට ලක්කර ඇති ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව විමර්ශන අවසන් වීමට පෙර ශ්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරීන් ඇයගේ විශ්වසනීයභාවය ප්‍රශ්න කිරීමද විවේචනයට ලක්කර තිබේ.

එමෙන්ම දෙපාර්ශ්වයටම පිළිගත හැකි, අර්ථසම්පන්න ක්‍රමවේදයකින් මෙම සිදුවීම විසඳීම සඳහා මාර්ගයක් සොයාගත යුතු බවට මෙරට ස්විස්ටර්ලන්ත තානාපතිවරයා හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සන්නිවේදනය කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

කෙසේවෙතත් ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය පැහැරගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළේ තම කාර්ය මණ්ඩල සාමාජිකාවක් පැහැරගැනීමට ලක්ව ඇති බවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට සිදුකර තිබූ පැමිණිල්ලකින් පසුවයි.

මෙම පැමිණිල්ල ජාත්‍යන්තර මාධ්‍යෙය්ද දැඩි අවධානයක් දිනාගත් අතර මූලික විමර්ශන සඳහා ස්විස් තානාපති කාර්යාලය සිදුවීමට මුහුණදුන් බව පැවසෙන තැනැත්තියගේ නම පවා අණාවරණ කිරීම ප්‍රතික්ෂේප කළේය.

කෙසේවෙතත් විමර්ශනවලින් ඇයගේ අන්‍යන්‍යතාවය තහවුරු කරගැනීමෙන් පසු ලබාගත් අධිකරණ නියෝගයකට අනුව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති කාර්ය මණ්ඩල සාමාජිකාවගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් සතියේ දින කිහිපයකදීම දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගනු ලැබුවේය.

අධිකරණ නියෝග මත ඇයව අධිකරණ වෛද්‍ය නිලධාරිනිය හමුවටද ඉදිරිපත් කෙරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබාදී තිබුණේ අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ රජය කෙරෙහි අපකීර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගයකදී භාවිත කිරීමේ අරමුණින් සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා යටතේය.

නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත යවන ලද උපදෙස්වල වැඩිදුරටත් සඳහන් වන්නේ අදාළ කාන්තාව ප්‍රකාශ කරන ආකාරයට ඇයව පැහැරගැනීමකට, පහරදීමකට හෝ ලිංගික අතවර කිරීමකට හෝ ලක්වූ බවක් මෙතෙක් ඉදිරිපත් වූ කිසිදු සාක්ෂියක් මගින් අනාවරණය නොවන බවයි.

ඒ අනුව ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටියදීම ඊයේ පස්වරුවේ අත්අඩංගුවට පත්වූ අතර ඇයව පස්වරු 05:00 ට පමණ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

එහිදී අධිකරණ හමුවේ කරුණු දක්වමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර මහතා සඳහන් කළේ තානාපති කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට සිදුකළ පැමිණිල්ලේ සිද්ධියට අදාළව වාර්තා කර තිබූ බොහෝ කරුණු සාවද්‍ය බව සැකකාර තැනැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇති බවයි.

තමාව පැහැරගත් පිරිස සිදුකළ බලපෑම් හේතුවෙන් තමා සිද්ධිය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු තානාපති කාර්යාලයට ලබාදුන් බව ඇය පවසා තිබූ අතර සත්‍යය ලෙස තමාට මෙම හිරිහැර සිදුවුණේ පැල්මයිරා පෙදෙසේ නිවාස සංකීර්ණයක් තුළ බව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කර තිබුණි.

නමුත් අදාළ නිවාස සංකීර්ණයේ සී.සී.ටී.වී දර්ශන සහ සෙසු පරිවේශනීය සාක්ෂිවලට අනුව කාන්තාව දෙවන වරට ප්‍රකාශ කරන සිදුවීම් මාලාවේද සත්‍යතාවයක් නොමැති බව තහවුරු වී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙලෙස ගොතන ලද කතාවක් නිර්මාණය කර ඉදිරිපත් කළේ කුමන අරමුණකින්ද යන්න සහ ඇයගේ උත්සහය පිටුපස බාහිර පාර්ශ්වයක් සිටීද යන්න විමර්ශනය කළ යුතුව ඇති බැවින් ඇයව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතීපතිවරයා මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව කරුණු සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ අදාළ කාන්තාව දෙසැම්බර් මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

අද (17) නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී …

+++++++++++++++++++++

+++++++++++++++++++++

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය වැලිකඩට

(17.12.2019 – 06:48 +0530 – sinhala.adaderana.lk)

ලබන 30 වන දින දක්වා රීමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානීයා බැරිස්ටර් ප්‍රැන්සිස් මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබා තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ඇය ඊයේ (16) රාත්‍රී වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි.

පැහැර ගැනීමකට ලක්වූ බව සදහන් කළ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානීයා බැරිස්ටර් ප්‍රැන්සිස් නමැත්තිය ඊයේ (16) පස්වරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

අනතුරුව මෙම සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා සඳහන් කළේ මෙය සැකකාර කාන්තාව විසින් ගොතන ලද කතාවක් බවයි.

මෙම කතාව එම කාන්තාවගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් ද එසේ නොමැතිනම් ඒ පිටුපස කිසියම් පුද්ගලයෙකු සිටිනවා ද යන්න අනාවරණය කරගැනීම සදහා විමර්ශනය සිදුකරන බව රජයේ නීතීඥවරයා සඳහන් කළේය.

පසුගිය නොවැම්බර් 25 වන දින සවස තමාව කිසියම් පිරිසක් විසින් පැහැරගෙන නිශාන්ත සිල්වා නමැති පොලිස් නිලධාරියාගේ විදේශ ගත වීම පිළිබද ප්‍රශ්න කළ බව අදාළ සැකකාරිය ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් එම පැහැරගැනීම සම්බන්ධයෙන් සිදුකළ මුලික විමර්ශනවල දී කිසිදු තොරතුරක් අනාවරණය නොවූ බව රජයේ නීතීඥවරයා අධිකරණයට සඳහන් කර සිටියේය.

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය සහ පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාව පොලීසියට ලබා දී ඇති ප්‍රකාශ එකිනෙකට පරස්පර මෙන්ම සැක සහිත බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 190 යන වගන්ති යටතේ සැකකාරියක් වශයෙන් නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතිපතිවරයා පොලීසියට උපදෙස් ලබාදුන් බව ද රජයේ නීතීඥවරයා එහිදි කියා සිටියේය.

මෙම සිද්ධිය තුළින් රටට විශාල අපකීර්තියක් සිදුවු බව පෙන්වාදුන් රජයේ නීතීඥවරයා පෙන්වා දුන්නේ එම සැකකාරියට ඇප ලබාදුනහොත් ඇය රටින් පළායාමට ඉඩකඩ පවතින හෙයින් ද විමර්ශන කටයුතු අවසන් නොමැති හෙයින් ද ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවයි.

මෙහිදි අදාළ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා සදහන් කර සිටියේ සැකකාරියට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාව අධිකරණයට ඇප ලබාදිය හැකි වැරදි බැවින් ඇය ඇප මත මුදාහරින ලෙසයි.

මෙම සැකකාරිය විමර්ශනවලට නිසි පරිදි සහය දැක්වීමක් සිදුකර නොමැති බැවින් ඇප මත මුදාහරිනු ලැබුවහොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බව පෙන්වාදුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඇය ලබන 30 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.

ඊට අමතරව රජයේ නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නඩුවේ විමර්ශන අවසන් වන තෙක් අදාළ කාන්තාව විදේශ ගතවීම වළාක්වාලමින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම දීර්ඝ කරන බව ද සඳහන් කළේය.

එමෙන්ම ලබන 19 වැනිදා මෙම කාන්තාව අංගොඩ මානසික වෛද්‍ය විද්‍යා ආයතනය වෙත පරීක්ෂණයක් සදහා යොමුකරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ ෴

+++++++++++++++++++++

රිමාන්ඩ් කළ තානාපති සේවිකාව සම්බන්ධයෙන් ස්විස් රජයෙන් ශ්‍රී ලංකාවට ඉල්ලීමක්

(17.12.2019 – 19:03 +0530 – sinhala.adaderana.lk)

නීතීයේ ආධිපත්‍ය සුරකින රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිනාමය අවදානමක පවතින බවට ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව මේ බව පවසා ඇත්තේ ස්විස් තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජික ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්ය.

කෙ‍සේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (16) අධිකරණයට පැවසුවේ, අදාළ කාන්තාව සිදුකර ඇත්තේ සාවද්‍ය, ගොතන ලද චෝදනාවක් බවයි.

ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, නීතීයේ ආධිපත්‍ය සුරකින රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිනාමය අවදානමක පවතින බවයි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළකරන ස්විස් රජය ශ්‍රී ලංකා අධිකරණ ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටින්නේ, තම සේවිකාව සම්බන්ධයෙන් සිදුවන අධිකරණ ක්‍රියාමාර්ගවලදී ඇයගේ පුද්ගලිකත්වය ආරක්ෂාවන ආකාරයෙන්, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කටයුතු කරන ලෙසයි.

එමෙන්ම දුර්වල සෞඛ්‍ය තත්ත්වයක සිටි තම කාර්ය මණ්ඩල සාමාජිකාවගෙන් දින තුනක් මුළුල්ලේ පැය 30 කට අධික කාලයක් ප්‍රශ්න කිරීමද ස්විස් රජය විවේචනයට ලක්කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ, දෙපාර්ශ්වයටම පිළිගත හැකි, අර්ථසම්පන්න ක්‍රමවේදයකින් සිද්ධිය විසඳීම සඳහා මාර්ගයක් සොයාගත යුතු බවට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සන්නිවේදනය කර ඇති බවයි.

ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් මෙවැනි නිවේදනයක් නිකුත් කර තිබුණද සැකකාර තැනැත්තිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ ඇය විසින් සිදුකර ඇත්තේ සාවද්‍ය සහ ගොතන ලද චෝදනාවක් වන බව නීතිපති දෙපාර්තමේන්තුව සාක්ෂි සහිතව අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව නොවැම්බර් 25 වනදා ස්විස් තානාපති කාර්යාලයේ දෙවන නිලධාරී රාහුල් ඉන්බැච් මහතා විසින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට සිදුකර තිබූ පැමිණිල්ල ඊයේ විවෘත අධිකරණයේ අනාවරණ කළේය.

එම පැමිණිල්ලේ සඳහන් වූයේ මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු දේශීය කාර්ය මණ්ඩල සාමාජිකාවක් UBER කුලී රථයකින් තම දියණියගේ පාසලේ ගුරු දෙගුරු රැස්වීමට සහභාගී වීම සඳහා කොළඹ 07 ප්‍රෙද්ශයේ පිහිටි ප්‍රධාන පෙළේ බාලිකා පාසලක් අසලට ගිය අවස්ථාවේ ඇය සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පස් දෙනෙකු පමණ කණ්ඩායමකගේ පැහැරගැනීමට ලක්ව ඇති බවයි.

පසුව ඇය පැය දෙකකට අධික කාලයක් රථය තුල රඳවාගෙන ප්‍රශ්න කර ඇති බවත්, දැඩි ශාරිරීක වදහිංසනයන්ට සහ ලිංගික අපයෝජනයන්ට ලක්කර ඇති බවත් තානාපති කාර්යාලය විදෙස් කටයුතු අමාත්‍යාංශයට භාරදී ඇති ලිඛිත පැමිණිල්ලේ දැක්වෙයි.

අදාළ වින්දිත කාන්තාවගේ අනන්‍යතාවය විමර්ශන නිලධාරීන්ට හෙළිකිරීමට තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කළ පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන පෙලේ බාලිකා පාසැලට ගොස් තිබුණේ එහි සිසුවියන්ගේ ලිපිගොනු පරීක්ෂා කොට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු මවකගේ තොරතුරු සොයාගැනීම සඳහායි.

එහිදී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නම් මෙම කාන්තාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පාසැල අවට සී.සී.ටී.වී දර්ශන පරික්ෂාවට ලක්කර තිබෙන අතර එහිදී සිදුවීම සිදුවූ බව කියන දිනයේ අදාළ කාන්තාව බාලිකා පාසැල වෙත ගොස් නොමැති බව අනාවරණ වී තිබුණි.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව UBER රියදුරාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාව එම රථයේ ගමන් කර තිබුණේ තානාපති කාර්යාල පැමිණිල්ලේ සඳහන් වන පරිදි බාලිකා පාසැලක් අසලට නොව පැල්මයිරා පෙදෙසේ පිහිටි නිවාස සංකීර්ණයක් වෙත බවයි.

ඒ අනුව අදාළ නිවාස සංකීර්ණයේ CCTV දර්ශන පරීක්ෂාවට ලක්කිරීමේදී ඇය එදින පස්වරුවේ නිවාස සංකීර්ණය තුළට පිවිසෙන ආකාරයත් පැය දෙකකට පමණ පසු තවත් කාන්තාවක් සමග ඉන් පිටතට පැමිණෙන ආකාරයත් එම දර්ශනවල සටහන් වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඇය එළෙස ගොස් ඇත්තේ වසර 02 කට පෙර ඇයගේ දියණියගේ පාසැලේ පංතිභාර ගුරුවරිය ලෙස කටයුතු කළ කාන්තාවගේ නිවසට වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි දී අනාවරණ කර ගෙන තිබේ.

එම ගුරුවරිය ස්විට්සර්ලන්තයට යාම සඳහා වීසා අයදුම් කර තිබූ බව ද සිදුකළ විමර්ශන වලින් හෙළි වී ඇති අතර එම නිවසේ පැය දෙකක පමණ කාලයක් ගතකර ඇති ගානියා බැනිස්ටර් නැමැත්තිය පස්වරු 05.01 ට නිවාස සංකීර්ණයෙන් පිටතට පැමිණ ත්‍රිරෝද රථයක් නවත්වාගැනීම සඳහා උත්සහ ගන්නා අයුරු CCTV දර්ශනවල සටහන්ව තිබූ බවද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙවැනි පසුබිමක අධිකරණ නියෝගයකට අනුව දෙසැම්බර් මස 08 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් පවසා තිබුණේ තමා මුලින් තානාපති කාර්යාලයට ලබාදුන්නේ සාවද්‍ය තොරතුරු වන බවයි.

තමා පැහැරගත් අයගේ බලපෑම් මත තමා එලෙස ප්‍රකාශ කළ බවත් තමා සැබවින්ම ලිංගික හිංසනයට ලක්වූයේ පැල්මයිරා නිවාස සංකීර්ණයේ ගුරුවරියගේ නිවසේ සාලයේදී බව ඇය පසුව පවසා තිබුණි.

ඒ සම්බන්ධයෙන් ඇය දෙසැම්බර් මස 05 වනදා තානාපති කාර්යාලයට දැනුවත් කළද එම තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක් ශ්‍රී ලංකා රජයට සිදුකර තිබුණේ නොමැත.

කෙසේවෙතත් තමා එම නිවසට ඇතුළු වූ පසු එහි පැමිණි පිරිමි පුද්ගලයින් තිදෙනෙකු විසින් තමාගේ දෙපා සහ දෙඅත් බැඳ මුඛයට රෙදි කැබලි සිරකර තබා බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබේ.

නමුත් ගානියා බැනිස්ටර් දෙවැනි වතාවට සිදුකළ ප්‍රකාශයද එම ස්ථානයේ ඇති පර්යේෂණීය සාක්ෂි සමග නොපෑහෙන බව අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව සාක්ෂි සහිතව අධිකරණයට පෙන්වා දුන්නේය.

ඇය එම නිවසේ ගතකළ බව පැවසෙන කාලය තුළ නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා නොදන්නා කිසිදු පුද්ගලයෙක් එම නිවාස සංකීර්ණයට ඇතුලත් නොවූ බව ආරක්ෂක නිලධාරියාගේ ප්‍රකාශ සහ එහි CCTV දත්ත සමග අනාවරණ වූ බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥවරයා අධිකරණයට සඳහන් කළේය.

එමෙන්ම ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකළ වෛද්‍යවරිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ ගානියා පවසන ආකාරයේ කායික වදහිංසනයකට ලක්වූ බවට පෙනී යන කිසිදු තුවාලයක් හෝ සළකුණක් තමාට නිරීක්ෂණය නොවන බවයි.

එමෙන්ම නොවැම්බර් මස 26 වනදා සිටම අදාළ කාන්තාවට සහ ඇයගේ පවුලට ස්විස් තානාපතිවරයාගේ නිල නිවසේ නවාතැන් ලබාදී ඇති බවත් ඇයගේ ජංගම දුරකථනයද තානාපතිවරයා සතුව ඇති බැවින් විමර්ශන සඳහා ජංගම දුරකථනය පරික්ෂා කිරීමටද නොහැකි වී ඇති බවත් රජයේ නීතීඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

මෙම සිද්ධිය ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට දැඩි ලෙස බලපා ඇති සිද්ධියක් වන බැවින් තම අභිමතය පරිදි කිසිවෙකුට රටේ කීර්තිනාමය සමග ක්‍රීඩාවල නිරත වීමට හැකියාවක් නොමැති බවට පණිවිඩයක් ලබාදීම සඳහා අත්අඩංගුවට ගත් තැනැත්තියට ඇප ලබා නොදෙන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව මෙලෙස ගොතන ලද කතාවක් නිර්මාණය කර ඉදිරිපත් කළේ කුමන අරමුණකින් ද යන්න සහ ඇයගේ උත්සහය පිටුපස බාහිර පාර්ශ්වයක් සිටීද යන්න විමර්ශනය කළ යුතුව ඇති බැවින් ඇයව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතීපති දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ කාන්තාව දෙසැම්බර් මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ මෙම කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි.

+++++++++++++++++++++

***************************************

ඇඹිලිපිටිය පොලිසිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

(17.12.2019 – 18:02 +0530 – sinhala.adaderana.lk)

ඇඹිලිපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පී. අජිත් ප්‍රසන්න නමැති පුද්ගලයෙකු වධ හිංසාවලට භාජනය වී මරණයට පත් වීමෙන් පොලිසිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලේ එකගත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කළ බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

මියගිය පුද්ගලයාගේ බිරිද විසින් අදාල පෙත්සම ගොනු කර තිබුණි.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය සදහන් කර ඇත්තේ ඇඹිලිපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂන් අභයකෝන් ඇතුළු නිලධාරින් සිව් දෙනෙකු මරණකරුගේ ජීවත්වීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය කර ඇති බවයි.

ඒ වෙනුවෙන් එම පොලිස් නිලධාරීන් සිව්දෙනාට ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් 250,000 ක් සහ ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ආනන්ද සමරසේකර සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට ද ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් 25,000 ක් පෙත්සම්කාරියට වන්දි ලෙස ලබාදෙන මෙන් නියෝග කර තිබේ.

ඊට අමතරව රජය විසින් රුපියල් ලක්ෂ 10 ක වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බව ද අදාල නියෝගයේ සඳහන්ය.

2010 වසරේදී වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය පොලිසියට රැගෙන ගිය සිය සැමියා ඉන් දින කිහිපයකට පසුව රෝහලකට ඇතුළත් කෙරුණු අතර එහිදී ඔහු මියගිය බව පෙත්සම්කාරිය අදාල පෙත්සම මගින් සඳහන් කර තිබේ.

පොලිස් අත්අඩංගුවේදී සිය සැමියා දැඩි ලෙස වධහිංසාවට භාජනය වීමෙන් මෙම මරණය සිදු වූ බවයි ඇය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

2011 වසරේ මැයි මස 05 වනදා අධිකරණ නියෝගයක් මත තම සැමියාගේ මළ සිරුර ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදී මෙම කරුණු අනාවරණය වූ බව ඇය ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ ප්‍රකාශ කර තිබේ ෴

***************************************

සිතුවමින් හැඩවන පොදු ස්ථාන

(17.12.2019 – 14:07 +0530 – sinhala.adaderana.lk)

වර්ණ තැවරූ පින්සලෙන් රට හැඩ කරන ක්‍රියාන්විතයෙන් මේ වන විට දිවයිනේ බොහෝ නගර හැඩගැන්වී අවසන්ය.

කාලයක් පුරා අපවිත්‍රව තිබු පොදු ස්ථාන සිතුවමින් වර්ණවත් කිරීමට තවදුරටත් එක්වන තරුණ තරුණියන් අදත් අපට දැකගන්නට ලැබුණි.

පෝස්ටර් හා වෙනත් දැන්විම්වලින් අපවිත්‍රව තිබු පොදු ස්ථාන, තාප්ප හා ගුවන් පාලම් බඳ පිරිසිදු කර එම ස්ථාන සිතුවමින් අලංකාර කිරිමට තරුණ තරුණියන් එක්ව තිබුණේ මිට මාසයකට පමණ පෙරදියි.

එලෙස එක්වු තරුණ තරුණියන් මේ වන විට බොහෝ ස්ථාන විවිධ තේමා ඔස්සේ සිතුවම් කර තිබේ.

අදත් නගර රැසක් මෙලෙස සිතුවමින් වර්ණවත් වන ආකාරය අපට දැක ගන්නට ලැබුණි.

+++++++++++++++++++++++++++++++++++

රට ලස්සන කරන්න සහෝදරත්වයෙන් එක්වුණු හිත් ලස්සන මිනිස්සු

(15.12.2019 – 15:50 +0530 – sinhala.adaderana.lk)

පොස්ටර්වලින් වැසි ගත් අපේ රටේ මාර්ග දෙපස පිහිටා ඇති තාප්ප, බිත්ති, පාලම්, අම්බලම්, ඔරලෝසු කණු අලංකාර චිත‍්‍රවලින් හැඩගැන්වෙන අයුරු ප‍්‍රදේශ කිහිපයකම අපිට දැක ගැනිමට හැකි විය.

ඒ අතරේ මාවනැල්ල හෙම්මාතගම ප‍්‍රදේශයේ හෙම්මාතගම සිට ගම්පොල දක්වා ගමන් කරන මාර්ගය දෙපස බැම් කිහිපයක බෞද්ධ චිත‍්‍ර රැසක් සිංහල තරුණ තරුණියන් කිහිප දෙනෙකු සමඟ මුස්ලිම් හා දමිළ තරුණ පිරිමි කාන්තා දරුවන් එක්වි අලංකාර ලෙස එකමුතුකමින් හැඩ ගැන්වෙන අන්දම ඊයේ අපිට දැක ගත හැකි විය.

මෙලෙස චිත‍්‍ර වලින් හැඩ ගැන්වෙන්නේ මාවනැල්ලේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ මාර්ගයේ ඇති බැම් කිහිපයක් තෝරා ගෙනයි.

මෑතකදි මං තීරු දෙකක් ලෙස සංවර්ධනය වු මෙම මාර්ගය කඳු සහිත මාර්ගයකි.

කඩුගන්නාව පළතුරු කඩ පේළිය අසළින් යන විට ඔබට දැකිමට හැකි අවට සුන්දර පරිසරයට සමාන ඊට වඩා වැඩි අලංකාර පරිසර පද්ධතියක් ඇති ස්භාවික දිය පහරවල් සහ වන සතුන් කුරුල්ලන් විවිධ ශාඛ වර්ග ඈතින් පෙන කදු පන්ති ගණනාවකින් සමන්විත මෙම පරිසර පද්ධතියේ මැදින් වැටි ඇති පාර වෙනුවෙන් සකස් කරන ලද විශාල දිගකින් යුත් ආරක්ෂිත බැම් රැසක් පිහිටා ඇත.

මේ වන විට එම බැම් වල චිත‍්‍ර ඇඳිම ආරම්භ වි ඇති අතර එහි පළමු චිත‍්‍රය මේ දින වල එම මාර්ගයේ කෙහෙල්පන්නල මං සන්දියේ නිර්මාණය කිරිම අරඹා ඇත්තේ දින 5 කට පමණ කලින්.

කෙහෙල්පන්නල, බලත්ගමුව, අම්බලාව වැනි ප‍්‍රදේශවල තරුණ තරුණයන් එක්විමෙනි.

ඒ සඳහා ඔවුන් උනන්දු කර ඇත්තේ මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරන මංජුල අධිකාරි මහතායි. චිත‍්‍ර ඇඳිමට පෙර එම බැම් වල සුදු තීන්ත අලේප කර ඇති අතර එම අවස්ථාවේ මන්ත‍්‍රීවරයාගෙන් හෙම්මාතගම මුස්ලිම් තරුණ තරුණියන් කිහිප දෙනෙකු විසින් ඉල්ලා ඇත්තේ තමන්ට මෙම බැම්මේ චිත‍්‍ර ඇඳිම සිදු කර හැකි බවයි.

ඔවුන් සියලු දෙනා හෙම්මාතගම මුස්ලිම් කලා සංන්සඳයක සමාජිකයන් වන අතර ප‍්‍රදේශවාසීන්ගේ හා මන්ත‍්‍රීවරයාගේ කැමැත්ත මත මෙම මුස්ලිම් දරුවන් මේ වන විට මෙම තාප්පයේ චිත‍්‍ර ඇඳිමට යොමු වි ඇත.

මෙම බැම්ම පුරා ඇති සිතුවම් මඟින් පැරණි බිතු සිතුවම් කලාව ලාකීය ඉපැරණි උඩරට පහත රට චිත‍්‍ර බෞද්ධාගමික මුහුණුවරක් ගත් මේ සියලු සිතුවම් මුස්ලිම් තරුණ තරුණයන්ගේ අතින් නිර්මාණය කිරිමත් මෙහි ඇති සුවිශේෂි සිද්ධියකි.

ඒ අතර ඇති තවත් සිතුවම් කිහිපයකින් වසර 30 ක කුරිරු යුද්ධය අවසන් කරන ලද සෙබළුන් සිහිපත් කිරිමේ අරමුණින් ඇඳ ඇති සිතුවම්ය. එක් පසකින් ධර්ම චක‍්‍රය සහ අනික් පසින් සබරගමු කොඩිය නිරූපනය වෙයි. එමෙන්ම අලංකාර පෙරහැරක අංග ඇතුලත් චිත‍්‍ර පෙළකින්ද යුක්තයි.

එම චිත‍්‍ර ඇදිමේ කටයුතු වලදි සහ පාට කිරිමේ කටයුතු වලදි සිංහල තරුණ තරුණියන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් මුස්ලිම් තරුණ තරුණියන් සාමුහිකව ඒකා මෙන් වැඩ කරගන්නේ සහෝදරත්වයෙනි.

තවද මෙම බැම්ම පිහිටා ඇත්තේ සිංහල ගමක් මධ්‍යයේය. චිත‍්‍ර අඳින මුස්ලිම් තරුණ තරුණියන්ට කෑම බිම මෙන්ම තමන්ගේ ඇදුම් ඇද ගැනිමට වැසිකිළි යෑමට නෑමට පවා අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ අවට පිහිටා ඇති සිංහල අයගේ නිවෙස් වලිනි.

දින පතා මුස්ලිම් තරුණ තරුණියන් 15 දෙනෙකු පමණ මෙම ස්ථානයේ දෛනිකව මෙම අලංකාර චිත‍්‍ර අඳිමින් කාලය ගත කරන අතර මෙම මාර්ගයෙන් නුවරඑළිය, ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්වය සංකීර්ණය සහ හැටන්, නාවලපිටිය, නුවර පේරාදෙණිය වැනි ප‍්‍රදේශවලට යන දෙස් විදෙස් සංචාරකයන්ද මෙම කටයුත්ත අගය කරමින් එම ස්ථාන වල නැවති මෙම චිත‍්‍ර පාට කරන අය සමග සුහඳ කතා බවක නිරත වි යන්නට ඔවුන් අමතක කරන්නේද නැත.

සමහර විදේශිය ජාතිකයන් අපේ රටේ පැරණි සිතුවම් කලාවට විශාල කැමැත්තක් දක්වන අතර ඔවුන් ඒවායේ ජායාරූප ගෙන ජාතින් කිහිපයක් එක් වි සහයෝගයෙන් යුතුව කටයුතු කිරිම ගැනද ඔවුන් දක්වන්නේ පුදුම කැමැත්තකි.

ඒ නිසාම දෛනිකව මෙම ස්ථානයෙන් ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන්ට සේම විවිධ තාරාතිරම් වල අය පවා මේ ස්ථානයේ මේ සිතුවම් සමඟ සම වැදි මොහොතක් ගත කරන්නට අමතක නොකරයි.

මෙම කටයුත්ත ගැන අදහස් දක්වමින් දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන උපාධිය හදාරන වයස අවුරුදු 22 ක් වන ෂායිලා රිස්වි නම් තරුණිය මෙසේ පැවසීය :

“අපිට මේක අලුත් අත්දැකිමක් දැන් රටේ අය අලුත් විදිහට හිතනවා අපිට දැනෙනවා ලොකු නිදහස් වාගේ දෙයක්. මිට කලින් අපි නිකම් හිර වේලා හිටියේ දැන් තියෙන තත්ත්වය මට කියන්න තේරෙන්නේ නැහැ සිංහලෙන්.

මම කොළඹ විශ්ව විද්‍යාලයේ මාගේ යාළුවෝ ගොඩාක් දෙනෙක් ඉන්නේ සිංහල අය අපි එකට තමයි බත් එක පවා කන්නේ. අපිට මේ වාගේ එළිමහනේ නිර්මාණ කරන්න ලැබිම අපේ හැකියාවන් වර්ධනය කර ගැනිමටත් හොඳ අවස්ථාවක්.

මම පාසල් ගියේ හෙම්මාතගම අල්අස්හර් මහා විද්‍යාලයට පාසලේදි මේ වාගේ නිර්මාණ කලා නමුත් අපි එළිමහනේ මේ වාගේ විශාල තාප්පයක මුලින්ම තමයි මෙවැනි නිර්මාණයක් කරන්නේ ඒ නිසා තමයි අද අපි කෙක් එක්ක කපලා මේ සතුට අපේ සිංහල සහෝදරයන් එක්ක බෙදා ගත්තේ.

අපි කාලයක් ආගමික වශයෙන් වෙනස් වුනා ජාතීන් වශයෙන් වෙනස් වුනා රටේ තාක්ෂනයත් එක්ක විවිධ වැරදි මත නිසා අපි වෙනස් වේලා බෙදිලා හිටියා නමුත් අපි දැන් මේ හැම දෙයක්ම තේරුම් ගෙන ඉස්සර හිටියා වාගේ අපි දැන් එකා මෙන් ජිවත් වෙනවා.

අද අපි මෙතන වැඩ කරනවා නමුත් අපේ ආගමෙන් හෝ අපේ ජාතියෙන් අපිට වෙන් කරලා නැහැ.

අපේ වැඩිහිටි දෙමාපියේ මුස්ලිම් වුනාට සිංහල අය සමග සමීප ඇසුරක් පවත්නවා ඒ අය අදටත් සිංහල අය සමග ඉතා ලඟ නෑකමින් කටයුතු සිදු කරනවා. මම ආරාධනා කරනවා අපේ මුස්ලිම් අනික් සහෝදරයන්ටත් මේ වාගේ ඇවිත් අපි එකමුතු කමින් මේ රටලස්සන කරමු කියලා.

දැන් පොස්ටර් වෙනුවට ලස්සන චිත‍්‍ර දකිනවා. අපි දැක්කා මේ දවස් කිහිපයේදි මේ චිත‍්‍ර බලලා සංචාරකයන් බොහෝ දෙනෙක් සතුටින් යන්න යනවා. දැන් අපේ විශ්ව විද්‍යාලයේ නිවාඩු කාලයක් ඒ නිසා මේ නිර්මාණ වලට දායකත්වය දක්වන්නට ලැබිම ලොකු වාසනවාක්.”

***************************************

රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණය අසමත් සංඛ්‍යාව ඉහළට – හේතුව ඇස් පෙනීමේ දුර්වලතා

(17.12.2019 – 18:42 +0530 – lankaleadnews.com)

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් 2019 වසරේ පවත්වන ලද රියදුරු බලපත් අයදුම්කරුවන් සඳහා වෛද්‍ය පරීක්ෂණවලින් 55.35% ක් අසමත්වී ඇත.

මෙයට හේතුවී තිබෙන්නේ ඇස් පෙනීමේ දුර්වලතා නිසා බව සනාථ වී ඇත.

2019 වර්ෂයේ මේ වන විට සිදුකර ඇති සමස්ත වෛද්‍ය පරීක්ෂණ සංඛ්‍යාව 872,769 කි.

සෞඛ්‍ය හේතූන් මත වෛද්‍ය පරීක්ෂණ තාවකාලිකව අසමත් රියදුරු බලපත් ඉල්ලුම්කරුවන් සංඛ්‍යාව 101,596 කි.

සම්පූර්ණ වශයෙන් එනම්, කායික අංගවිකල හා ආබාධ, වලිප්පුව, මානසික රෝගාබාධ වැනි හේතූන් නිසා අසමත් වී ඇති සංඛ්‍යාව 13% කි.

2019 බලපත්‍ර අයදුම්කරුවන්ගෙන් 2.49% ක් හෘදරෝග නිසාද, 10.5% අධික රුධිර පීඩනය නිසාද, 25.35% දියවැඩියාව නිසාද, වෙනත් රොගාබාධ නිසා 6.78% ක්ද තාවකාලික වෛද්‍ය පරීක්ෂණ අසමත්ව තිබේ.ප්‍රතිශතයක් ලෙස ගත් කළ 2018 වර්ෂයේ 11.40% ක් වූ අසමත් සංඛ්‍යාව 2019 වර්ෂයේ දී 11.69% ක් දක්වා ඉහළ ගොස් ඇත ෴

***************************************

විග්නේෂ්වරන් ජාතිවාදී උමතුවෙන් යළිත් වරක් තප්පුලයි…

(17.12.2019 – 14:07 +0530 – lankaleadnews.com)

ලෝකයේ මහා ශිෂ්ඨාචාර දෙකකි. ඉන් එකක් චීනයයි. අනෙක ශ්‍රී ලංකාවයි. චීන ශිෂ්ඨාචාරය ගොඩනැගෙන්නේ කොන්ෆියුසස්ගේ බුදුදහම පදනම කරගෙනය. අප රටේ ශිෂ්ඨාචාරය ගොඩනැගෙන්නේ හා ගොඩනගන්නේ ගෞතම බුදුන් වහන්සේගේ බෞද්ධ දර්ශනය පදනම් කරගෙනය. වසර 2600 ක බෞද්ධ ආගමික සභ්‍යත්ව ශිෂ්ඨාචාරයක උරුමය අප විසින් ආරක්ෂා කරගත්තා මෙන්ම එය පෝෂණය ද කලේ මෙරට සිංහල ජනතාවය. කිසිදු රාජ්‍යකට එවන් දිගු ඉතිහාසයකට හිමිකාරිත්වය ක් නොමැත.

මෙරටට මිහිදු මාහිමියන් බුදු දහම ගෙන එන ලද්දේ වසර 2200 කට පෙරාතුවය. එනම් දේවානම්පියතිස්ස රජ දවසය. එදා පටන් සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික හැඩගැස්මේ අඩිතාලම බුදුදහමය. උපතේ සිට මරණය දක්වාම අපේ ජීවිත හා අත්‍යන්තව බද්ධ වුනේද බුදු දහමයි. දුරාතීතයේ පටන් මෙරට අනගිභවනීය විශිෂ්ටතම කලා නිර්මාණයන් පෝෂණය වූයේද බුදුදහම නිසාවෙනි.

බුදුදහමට හිමි ස්ථානය අපේ රටේ වෙනත් කිසිදු ආගම් දහමකට ලබාගත නොහැකිය. එය එසේවන්නේ මෙරට ස්වදේශිකයන් වූ සිංහල අපේ සමාජ හර පද්ධතිය, ඇවතුම් පැවතුම් හා සියලු මානවීය සබදතා රැදිපවතින්නේ බුදුදහම මතය.

විග්නේෂ්වරන් පාරම් බාන ගජබින්න වලට නොබියව පිලිතුරක් දිය යුතුවා සේම එම මතයද ලත් තැනම ලොප්කල යුතුය. ඒ ඔවුන් සහ ඔවුන් මෙහෙයවන විජාතික අන්‍යාගමික කුමන්ත්‍රණ කරුවා විග්නේෂ්වරන් ය. උතුරු නැගෙනහිර දෙමළ ජනාවාසකරණය සිදුවන්නේ ලන්දේසි පාලන සමයේදීය. ඒ යාපනය ප්‍රදේශවල දුම්කොල වගාව සදහා දකුණු ඉන්දීය දෙමල සේවකයන්ගේ පැමිණීමෙන් අනතුරුවය. විශේෂයෙන්ම දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් විටින් විට අපේ රට ආක්‍රමණය කලේය. ඒ සියලු ආක්‍රමණිකයන් පලමුව කලේ පන්සල් හා වෙහෙර විහාර විනාශ කිරිමේ ක්‍රියාන්විතයි.

එසේ කිරීමට හේතුව වූයේම මේ රටේ බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය විනාශ කරලීමයි. අද විග්නේෂ්වරන් ඇතුලු ඊනියා ද්‍රවිඩ නායකයින් කරන්නේද ඒ දේමය. ඔවුන්ට නොමැති ඉතිහාසයක් හුවා දක්වමින් විග්නේෂ්වරන් ඉටුකරන්නේ ජාතීවාදී උගුලක අප සියල්ල හිරකිරීමේ කාර්‍යභාරයයි . මෙය අප නිවැරැදි ව තේරුම් බේරුම් කරගතයුතුය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගැනිමේ සටනට එදා පොන්නම්බලම් රාමනාදන්, අරුණාචලම් වැනි දේශපාලන නායකයන් නායකත්වය දුන්නේ රටක් විධියට ලාංකීය ජාතියක් විධියට සිතාය. ඔවුනට අවශ්‍ය වූයේ නිදහස් ස්වෛරී රටක් ය. නොබෙදුනු ඒකීය ශ්‍රි ලංකාවකි. එහෙත් වත්මන් අපේ විග්නේෂ්වරන් ඇතුලු නඩයගේ කීමට බොහෝ රටට හිතැති දේශමාමක දෙමල ජනතාව අකමැතිය.

ජනාධිපති නිතිඥ මෛත්‍රී ගුණරත්න
මහ ලේකම්
එකසත් ජාතික නිදහස් පෙරමුණ

+++++++++++++++++++++

17-12-2019

+++++++++++++++++++++

17-12-2019

+++++++++++++++++++++

16-12-2019

+++++++++++++++++++++

17-12-2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • These two monks are the same kind as the two fellas brought in by arajitha to complain about white vans. UNP leadership seems to assocuate with all sorts of dubious people in their pay roll that make statements that do not hold scrutiny. Why would Sajith putha makes incredible claims of his debts through two monks? has Sajith not got a tongue of his own. It looks more like a set up by Ranil W this time using some wierd characters that the public has not heard from before. I think the police should check out who the persons are beneath the robes.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *