රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න වරෙන්තු

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න වරෙන්තු (විඩියෝ)

• රාජගිරියේ අනතුරින් පසු චම්පිකගේ වාහනයේ රියදුරු මාරු කල පුද්ගලයා සාක්‍ෂි දෙයි.. චම්පික බිත්තියට හිරවෙයි.. (විඩියෝ)

• එදා රෑ හොඳයි නම් දැනුත් රෑ හොඳයි – සුසිල් ප්‍රේමජයන්ත්

• දරුවන්ගේ හිත් දූෂණය කරන ‘හතේ අපේ පොත’ තහනම් කරන්න – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිගෙන් ඉල්ලීමක් (විඩියෝ)

• අකිල විරාජ් දෙමළ ඊළම පදනම් කරගෙන පාසැල් පෙළ පොත් නිකුත් කරලා… 5 ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතෙන් දළදා මාළිගාව ඉවත් කරලා (විඩියෝ)

• දේශීය කලාව සහ කලාකරුවා නඟා සිටුවීමට සිය ධූර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බව ජනාධිපති කියයි (විඩියෝ)

• උතුරේ මැර කල්ලි මඬින්න ජනපතිගෙන් පොලිසියට උපදෙස්

• චම්පිකගේ රියදුරුගේ බිරිඳගෙන් පෙත්සමක්

• ‘හිරු සී.අයි.ඒ.’ මෙහෙයුමෙන් නිදහස ලද ආරක්ෂිතයින් (විඩියෝ)

• ජනපතිට රට ගොඩනැගීමට කාලයක් ලබාදිය යුතු බව ඇල්ලේ හිමියන් කියයි (විඩියෝ)

• පාස්කු ප්‍රහාරය දිනම කොළඹ ඩොක්යාඩ් සමාගමේ ඩොලර් මිලියන 50 ක ඇනවුම් නතර වෙලා… – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

+++++++++++++++++++++++++++++++++++

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න වරෙන්තු

(24.12.2019 – 17:06 +0530 – sinhala.adaderana.lk)

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන්ට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (24) වරෙන්තුවක් නිකුත් කර තිබේ.

රහස් පොලිසිය වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව වරෙන්තුව නිකුත් කර තිබේ.

රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා තිබුණේ ඉකුත් ජනාධිපතිවරණයේ සමයේ සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම සම්බන්ධයෙන්න දැනට අත්අඩංගුවේ සිටින පුද්ගලයින් දෙදෙනෙකු යොදවාගෙන හිටපු ඇමති රාජිත සේනාරත්න විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇති බවයි.

මේ තුළින් ඔහු ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන සහ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන මෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බී. නෙළුම්දෙණිය මහතා අදාළ වරෙන්තුව නිකුත් කළේය.

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වු මාධ්‍ය හමුවට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින්නැයි ඉල්ලා රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා ඉදිරිපත් කළ අයඳුම්පත පිළිබඳ විමසා බැලීම දෙසැම්බර් 30 වනදාට සිදු කිරීමට අධිකරණය ඊයේ නියම කළේය ෴

+++++++++++++++++++++

රාජිත අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා CIDයට උපදෙස් ලබාදෙයි
(hirunews.lk/sinhala)

වරෙන්තුවක් ලබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට උපදෙස් ලබාදී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා.

ඒ, සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.

***************************************

රාජගිරියේ අනතුරින් පසු චම්පිකගේ වාහනයේ රියදුරු මාරු කල පුද්ගලයා සාක්‍ෂි දෙයි.. චම්පික බිත්තියට හිරවෙයි..

(25.12.2019 – 03:25 +0530 – lankacnews.com)

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය :

‘නීතිය පිලිබඳ මහචාර්ය’ අජිත් පෙරේරා මැතිතුමාත් ‘ජනාධිපති නීතිඥ’ නලින් බණ්ඩාර මැතිතුමාත් පුංචි දඩයක් ගහන්න ඕනෑ මාර්ග නීති වරදකට පාච රණවක මන්ත්‍රිතුමා බන්ධනාගාර ගත කර ඇති බවට ප්‍රකාශ කරනවා අපි දැක්කා. ඔය අජිත් පෙරේරා ‘නීති විශාරදයා’ තමයි කිව්වේ ගීතා මන්ත්‍රිතුමිය ද්විත්ව පුරවැසියෙක් බව ඔප්පු වුණොත් සංධානයෙන් පත් වුණු ගාලු දිස්ත්‍රික්කයේ සියළුම මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රි ධූර අහෝසි වෙනවා කියලා.

උසාවියට වාර්තා කළ කරුණු අනුව පාඨලි මන්ත්‍රිතුමා අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ මාර්ග නීති කඩ කිරීමකට හෝ හුදු රිය අනතුරකට නොවෙයි. නොසැලකිලිමත් ලෙස රිය ධාවනයෙන් අනතුරක් සිදු කිරීම එක චෝදනාවක් විතරයි. ඊට වඩා බරපතල චෝදනා තිබෙනවා. අනතුරක් සිදු කර පලා යෑම, සැබෑ රියදුරා වෙනුවට වෙනත් රියදුරෙකු ඉදිරිපත් කර අධිකරණය නොමග යැවීම, සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම, සාක්ෂි විනාශ කිරීම, පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම කියන චෝදනා තිබෙනවා. සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම සහ සාක්ෂි විනාශ කිරීම කියන්නේ ඇප ලබා දිය නොහැකි බරපතල වැරදි. අන්න ඒ නිසා තමයි එතුමා රක්ෂිත බන්ධනාගාර ගත වී තිබෙන්නේ. කොහොම නමුත් අද (24) දින මහේස්ත්‍රාත්තුමිය ඇප ලබාදුන්න බවයි අපට දැන ගන්නට තියෙන්නේ. නමුත් දින හයක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අවශ්‍ය කරුණු පැහිදිළිව තිබෙන බවයි පෙනෙන්නේ.

වාහනයේ පසුපස වැදීම නිසා වරද සංදීප්ගේ කියන්නේ බොරුවක්

පාච රණවකගේ ගෝලයින් පවසන විධියට වාහනයේ වම් පස අග හරියේ මෝටර් සයිකලය වැදී තිබෙන නිසා වරදකරු සංදීප්ලු. පොලීසිය දෙපාර්ශවයෙන්ම ලබාගත් තොරතුරු අනුව සහ උසාවියට වාර්තාකර ඇති කරුණු අනුව පාඨලි මන්ත්‍රිතුමා කෝට්ටේ පාරේ සිට බොරැල්ල දෙසට වේගයෙන් පැමිණ එක පාරට සරණ පාරට හරවනවා. වාහනයක් හරවන්න කලින් ඉදිරියෙන් එන වාහන වලට ඉඩ දිය යුතු බවයි මර්ග නීති වල තිබෙන්නේ. එක පාරට දකුණට හැරෙව්වාම ඉදිරියෙන් එන වාහනය තමන්ගේ වාහනයේ පැත්තක වදිනවා තමයි. ඒකේ වරද හරවපු කෙනාගේ මිස ඉදිරියට වාහනය ධාවනය කළ කෙනාගේ නොවේ. සන්දීප් සහ මිතුරන් අතේ වරදක් නැහැ. වරද තිබෙන්නේ මාර්ග නීති කඩමින් නොසැලකිලිමත් ලෙස පාච රණවක මන්ත්‍රිතුමන් රිය ධාවනය කිරීමේ කියන එක ඉතා පැහැදිලිව ඔප්පුවෙලා හමාරයි.

අද සංදීප් සහ ඔහුගේ මිතුරන් උසාවියේ සාක්ෂි දීම වැලැක්වීමට ඔවුන් බිය වැද්දීමේ පහත් අරමුණෙන් චම්පික මන්ත්‍රිතුමන්ගේ ගෝලයෝ ටික සංදීප් සහ මිතුරන් ධාවනය කළ මෝටර් සයිකල් ලංකාවේ ධාවනය කළ නොහැකි මෝටර් සයිකල් බවට පොලිසියට පැමිණිලි කරලා. යටි අරමුණක් නැතිනම් වසර හතරක් නිහඬව ඉඳලා පාඨලි මන්ත්‍රිතුමා අත්අඩංගුවට ගත් වහාම මේ පැමිණිල්ල කරන්නේ ඇයි?

සීසී 1000 ට වඩා අඩු එංජින් ධාරිතාවක් ඇති මෝටර් සයිකල් ලංකාවේ මාර්ග වල ධාවනය කළ හැකියි. සංදීප්ලාගේ මෝටර් සයිකල් සීසී 1000 ට වඩා අඩු නිසා තමයි ඒවා ලංකාවේ ලියාපදිංචි කර තිබෙන්නේ. බොරු පැමිණිලි කරලා වින්දිතයින්ට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ‘වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත’ අනුව ‘සාක්ෂිකරුවන්ට සහ වින්දිතයින්ට බලපෑම් කිරීම’ සම්බන්ධයෙන් ඒ බොරු පැමිණිලිකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළ යුතුයි.

කතානායකගේ හැසිරීම පක්ෂග්‍රාහියි

කතානායකතුමා නායකත්වය දරණ ව්‍යවස්ථාදායක සභාව විසින් පත් කළ අධිකරණ සේවා කොමිසම යටතේ පාලනයවන අධිකරණයක් දැන් තිබෙන්නේ. ඒ අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකළ පාච රණවක මන්ත්‍රිතුමාගේ නිදහස පතා පවත්වන බෝධි පූජාවකට කතානායකතුමා සහභාගි වෙලා තිබෙන බවට වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා. මොකක්ද මේ කියන්නේ. ‘තමන් විසින් පත්කරපු අධිකරණය ස්වාධීන නෑ’ කියලා තමන් විසින්ම ප්‍රකාශ කරණවා. පා ච රණවක මන්ත්‍රිතුමා බලන්න සිර ගෙදරටත් ගිහින් තිබෙනවා. ‘තමන් පත් කළ අධිකරණ කොමිෂන් සභාව තමන්ටම විශ්වාස නෑ’ කියලා ද කතානායක මේ කියන්නේ. අපේ මන්ත්‍රිවරුන් 11 ක් රක්ෂිත බන්ධනාගාර ගත කළා. එක් අයෙකු බලන්න හිර ගෙදරට ආවාද? අපේ මන්ත්‍රිවරුන්ව ගෙවල් වලට පැනලා අරගෙන ගියා. එක මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා ද? නෑ. තමන් ලංකා ඉතිහාසයේ බිහි වුණු අපකීර්තිමත්ම සහ පක්ෂග්‍රාහිම කතානායක බව නැවත වතාවක් කරු ජයසූරිය මැතිතුමා සනාථ කරලා තිබෙනවා.

කතානායකතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියනවා රාත්‍රි කාලයේ ගෙදරට ගොස් මන්ත්‍රිවරුන්ව අත්අඩංගුවට ගැනීම වැරදියිලු. ඔය නීතිය කොහේද තිබෙන්නේ? අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට මිස කතානායකට බලයක් නෑ. නීතිපති උපදෙස් ලැබී තිබෙන හෝ වරෙන්තුවක් නිකුත් කර තිබෙන ඕනෑම අපරාධකරුවෙකු පොලිසියට අත්අඩංගුවට ගැනීමට ලැබෙන පළමු අවස්ථාවේම අත්අඩංගුවට ගත යුතුයි. නැතිනම් අපරාධකරුවෙකුට පැන යන්න දුන්නා කියා පොලිස් නිලධාරින් අමාරුවේ වැටෙනවා. වාහනයේ රියදුරු ලෙස අධිකරණය ඉදිරියේ පෙනී සිටි තුසිත කුමාර අතුරුදහන්. අනතුරට පත් වුණු වාහනය පොලිසියට රැගෙන ආ ප්‍රදීප් අල්විස් අතුරුදහන්. ඒ නිසා මන්ත්‍රිතුමාත් සැඟවේවි කියන සාධාරණ සැකය පොලිසියට ඇති වෙන්න පුළුවන්.

මේ තිබෙන්නේ මන්ත්‍රිවරුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ 2015 අප්‍රේල් 10 දින ඉලංගකෝන් පොලිස්පති විසින් නිකුත් කළ චක්‍රලේඛය. “පාර්ලිමේන්තුවේ සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද සුරක්ෂිත කිරීම සඳහා මෙතෙක් පැවති පූර්වාදර්ශ සහ විවිධ සම්ප්‍රදායන් පිළිබඳව සියලු කරුණු මැනවින් සලකා බලා ගරු කථානායකතුමා විසින් 2015 මාර්තු 03 වන දින පාර්ලිමේන්තුවේදී ගන්නා ලද තීරණයකට අනුව යමින් මින් ඉදිරියේ දී කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී අත්අඩංගුවට ගත් වහාම හෝ ඊට පෙර පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමාට ඒ පිළිබඳව විධිමත් ලෙස දැනුම් දීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවට තීරණය කර ඇත.” මම ආයෙත් කියනවා ‘අත්අඩංගුවට ගත් වහාම හෝ ඊට පෙර’. එහෙම නම් අත්අඩංගුවට පත් වුණාට පස්සෙත් දැනුම් දෙන්න පුලුවන්. අත්අඩංගුවට ගන්නට පෙර දැනුම් දෙන්නටත් පුළුවන්.

එතුමාගේ ගේ වටකල පොලීසිය හවස 06:57 ට එතුමාව අත්අඩංගුවට ගන්නවා කියලා නියෝජ්‍ය කතානායකතුමන්ට දැනුම් දුන් බව නියෝජ්‍ය කතානායකතුමාම පිළිගන්නවා. ඉන් පැයකට පමණ පසුවයි එතුමන්ව අත්අඩංගුවට ගන්නේ. චක්‍රලේකයට අනුව අවශ්‍යනම් අත්අඩංගුවට අරගෙන ඉන් පස්සේ කතානායකතුමන්ට දැනුම්දෙන්න පුළුවන්. නමුත් අත්අඩංගුවට ගැනීමට පෙරයි නියෝජ්‍ය කතානායකතුමන් දැනුම්වත් කලේ. ඒ නිසා කිසිදු නීතියක් චක්‍රලේඛයක් සම්ප්‍රදායක් උල්ලංඝනය වී නොමැති බව අප කියනවා. අවාසනාවකට මේ රටේ අපක්ෂපාතී විය යුතු කතානායකතුමන් කොළපාට ඇදුම් ඇදගෙන මේ කරන විකට රංගනය නිසා පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය හා මෙතෙක් කතානායකවරුන් රැකගත් නම්බුවත් දෙකම ඉතාම පහත් මට්ටමකට ඇද දමන්න කරු ජයසූරිය මැතිතුමන් කටයුතු කරලා තියෙනවා කියන එක ඉතාම කණගාටුවෙන් සදහන් කරන්න ඕනෑ.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්න : සන්දීප්ගේ රිය අනතුර සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් යම් මැදිහත්වීමක් කරනවද?

පිළිතුර : මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිදු මැදිහත්වීමක් නැහැ. මේ නඩුව යළි ආරම්භ වන්නේ රණවක මන්ත්‍රිතුමන්ගේ එවකට සිටි පෞද්ගලික සහකාරවරයා රටින් පලාගොස් සිට නැවත ලංකාවට පැමිණියා. ඔහු පොලිසිය ඉදිරියේ ප්‍රකාශයක් කරමින් කියනවා ‘රණවක මන්ත්‍රිතුමා හදිසි අනතුර කරගෙන ගෙදරට ආවට පස්සෙ මට කතා කරනවා. ඒ වෙලාවේ මම සහ ප්‍රදීප් අල්විස් එකටයි හිටියේ. අපි එතුමන්ගේ ගෙදරට යනවා. එතනදී තීරණය කෙරෙනවා රණවක මන්ත්‍රිතුමා වෙනුවට තුසිත කුමාරව රියදුරා ලෙස ඉදිරිපත් කරන්නට. ඒ වන විට තුසිත කුමාර කැබ් රථයේ වෙනත් ගමනක් යමින් සිටියේ. තුසිත කුමාරව ගෙන්වා ගන්නවා. මම සහ ප්‍රදීප් අල්විස් තමයි අනතුරට පත් වූ වාහනය බොරැල්ල පොලිසියට අරගෙන ගියේ. වෙනත් කැබ් රථයකින් තමයි තුසිත කුමාර එතනට ආවේ. ඉන්පසු අපි තුසිත කුමාර ධාවනය කළ පුද්ගලයා ලෙසින් ඉදිරිපත් කළා’ කියලා. ඒ වගේම එවකට නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට කතා කරලා ඒවා ලෑස්ති කරගත් ආකාරය ආදිය රණවක මන්ත්‍රිතුමාගේ පෞද්ගලික සහකාර හර්ෂ තිලකසිරි හෙවත් සුකි විසින් හෙළි කරනවා.

ඒ අනුව තමයි වසා දැමුණු ලිපිගොනුව නැවත විවෘත වන්නේ. අපි මේකට මැදිහත් වීමට කිසිදු තීරණයක් ගෙන නැහැ. පොලීසිය නීතිපති සහ අධිකරණය ඒ පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාවි.

ප්‍රශ්නය : රිය අනතුරෙන් පසුව චම්පික රණවක මන්ත්‍රිවරයා සහ පූජිත ජයසුන්දර එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයා හා දුරකතනයෙන් කතා කළ බව කියවෙනවා නේද?

පිළිතුර : අපට තියෙන්නෙ ද උසාවිය ඉදිරියේ පොලිසිය විසින් අනාවරණය කරන ලද කරුණු පමණයි. ඒවා අනුව ඉතාමත් පැහැදිලිව ඔහුගේ දුරකථන බිල්පත් හි සඳහන් වෙනවා දුරකථන ඇමතුමක් දීලා විනාඩි 3 කට ආසන්න කාලයක් ඔහු හා දුරකථනයෙන් සාකච්ඡා කළ බව. ඒ වන විට පූජිත ජයසුන්දර මහත්මයා පොලිස්පති ධුරය බලාපොරොත්තුවෙන් හිටියත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහතා ඊට වඩා ශ්‍රේෂ්ඨයි ජ්‍යෙෂ්ඨයි වගේම ජනාධිපතිතුමන්ගේ ආරක්ෂක අංශය භාරව ද කටයුතු කරලා. පාච රණවක මන්ත්‍රිවරයා පොලිස්පති පත් කරන ව්‍යවස්ථාදායක සභාවේ එවකට මන්ත්‍රිවරයෙක්. ඔහු අමාරුවේ වැටිලා සිටින අවස්ථාවක උදව් කිරීම ‘අනාගතයේ පින් පල දෙන පුණ්‍යකර්මයක්’ කියලා – සත්‍යවශයෙන්ම එය පාපකර්මයක් වුණත් – පූජිත ජයසුන්දර මහත්මයා හිතන්න ඇති. දැන් පොලිස් නිලධාරින් සාක්ෂි දෙමින් ප්‍රකාශ කරනවා වැලිකඩ පොලිස් ස්ථානාධිපතිට, බොරැල්ල පොලිස් ස්ථානාධිපතිට බලපෑම් කරලා තියෙනවා කියන එක. ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරු සාක්ෂි සටහන් කරගන්නා පොලිස් කොස්තාපල් වරුන්ට බලපෑම් කරලා තියෙනවා. ඒ අනුව තමයි මේ කතාව විකෘති වෙලා තියෙන්නේ. එක් පසෙකින් අපරාධකරුවෙකු බේරාගැනීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කරනවා. අනික් පැත්තෙන් පොලිස්පතිකමට නුසුදුස්සෙක්ව එම තනතුරට ගෙන ඒම සඳහා චම්පික රණවක මන්ත්‍රිතුමන් කටයුතු කරනවා. අවසානයේ පාස්කු ප්‍රහාරය සිදුවී ජීවිත ගණනාවක් වැනසෙද්දී මේ සිදු වූ මහා විනාශයට එවකට පොලිස්පති ධූරය පූජිත ජයසුන්දර මත පැවතීම හේතු වූ බවත් අධිකරණය ඉදිරියේ නීතිපති දිරියේ හෙළිවී තියෙනවා. ඔහුට එම පොලිස්පති තනතුර ලබා දෙන්නේ වෙනත් අපරාධයක් වහන්නට ඔහු ලබාදුන් උදව් මතයි. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අපරාධ වැසීමට කටයුතු කරනවා නම් ඔහු පොලිස්පති තනතුරට නුසුදුස්සකු වෙන්නට ඕනෑ. නමුත් මොහු අපරාධයක් වැසීමට කළ උදව්ව තමයි ඔහුට පොලිස්පති ධුරය ලැබීමට හේතුව බවට පත් වන්නේ. අවසන් ප්‍රතිඵලය විදිහටයි පාස්කු ප්‍රහාරය නැමැති මහා ව්‍යසනය රටට සිද්ධ වන්නේ. ජීවිත වලට සිද්ධ වෙච්ච හානියට මිලක් නියම කරන්නට බැහැ. මෙරටට ආර්ථික වශයෙන් වෙච්ච හානියට මිලක් නියම කරන්නට බැහැ. මේ මහා විනාශයට මේ අනතුරත් හේතු වෙලා තියෙනවා. මේ හදිසි අනතුර හරහා තමයි පූජිත ජයසුන්දර අන්අය කපාගෙන පොලිස්පති තනතුරට ඉදිරියට යන්නේ. මෙය පාස්කු ප්‍රහාරය දක්වා දිවයන මහා භයානක රිය අනතුරක්.

ප්‍රශ්නය : රණවක අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම හේතුවෙන් විපක්ෂයට නව ජීවයක් ලැබුණු බවට කතා පැතිරෙනවා. ඔබතුමන් ඒ ගැන මොකද හිතන්නේ.

පිළිතුර : මන්ත්‍රිවරුන් අත්අඩංගුවට ගත්තම සහෝදර මන්ත්‍රිවරුන් බලන්නට යනවා. ඒ කාලෙත් මේ කාලෙත් ඒක වෙනවා. අනාගතයේ සිදු වේවි. ඉන් ජීවයක් ලැබෙනවා කියලා කියන්න බැහැ. දිනනවා කියපු සජිත් තමයි 10% පරතරයත් තියලා පරාජයට පත්වන්නේ. නමුත් ඔවුන් අන්තිම මොහොත වෙනකන් කිව්වෙ දිනනවා කියලයි. දැනුත් පාර්ලිමේන්තු ඡන්දය ළඟ නිසා කියනවා නව ජීවයක් ලැබුණා කියලා. මේ ක්‍රියාවලිය බලද්දී ජනතාව පාර්ලිමේන්තු ඡන්දයේ දී මේ අයට උත්තර දේවි. සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත්ත ඡන්දවලින් 80% වත් ගන්න එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණයේදී බැහැ.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++

***************************************

එදා රෑ හොඳයි නම් දැනුත් රෑ හොඳයි – සුසිල් ප්‍රේමජයන්ත්

(24.12.2019 – 17:29 +0530 – sinhala.adaderana.lk)

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගත් වේලාව සම්බන්ධයෙන් කථානායකවරයා හෝ නියෝජ්‍ය කථානායකවරයාට කිසිදු පියවරක් ගත නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් වූ තීරණය නීතියට අදාළ කරුණක් බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර මාධ්‍යවේදීන් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

රටේ පවතින අපරාධ නීතිය අනුව යම් පුද්ගලයෙක් අනතුරකින් මිය ගියහොත් දණ්ඩ නීති සංග්‍රහයේ 298 යටතේ වරදක් බවත් මියයෑමට තරම් බරපතළ වු දෙයක් නම් 301 යටතේ දඩුවම් කරන බවත් පැවසු ඒ මහතා ඊටත් අඩු වගන්ති ඇති බවත් පැවසීය.

මෙහිදී මීනිමැරීම තරම් එල්ල වී ඇති චෝදනා බරපතළ නොවන බවත් පැවසු සුසිල් ප්‍රේම්ජයන්ත මහතා, මෙම අනතුර සම්බන්ධයෙන් වරදකරුවෙකුට වන්දියක් හෝ දඩයම් හෝ අත්හිටපු සිරදඩුවමක් හෝ වැනි ඕනෑම දෙයක් යටතේ දඩුවම් දිය හැකි බවත් කියා සිටියේය.

නමුත් මෙම ඉදිරිපත් කිරීම කර ඇත්තේ අනතුර සම්බන්ධයෙන් නොවන බවත් පැවසු ඒ මහතා, අනතුර සිදුවු අවස්ථාවේ දී රියදුරු වෙනුවට වෙනත් අයෙක් ඉදිරිපත් කර කරුණු යටපත් කිරීමට අද චෝදනා එල්ල වී ඇති බවත් පැවසීය.

නීතිපතිවරයාගේ උපදෙස් මත බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර මෙම සියලු දේ සිදු කෙරුණ බවත් පැවසු ඒ මහතා අතීතයේ දී බැසිල් රාජපක්ෂ මහතා රිමාන්ඩ් කිරීම සිදුවුයේ රාත්‍රියේ මහේස්ත්‍රාත්වරයාගේ නිවසේ දී බවත් කියා සිටියේය.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ නඩු තීන්දුව ලබා දුන්නේ රාත්‍රී 11 ට පමණ බවත් පාඨලී මන්ත්‍රීවරයා දවල් කාලයේ අත්අඩංගුවට ගැනීම යෝග්‍ය යැයි පැවසීම සුදුසු නැතැයි ද සඳහන් කළේය.

අද වන විට කථානායකවරයා දැනුවත් කර නොමැති බවට චෝදනා එල්ල වුවත් එසේ විය යුතු නැතැයි ද පැවසු ඒ මහතා ‘එදා රෑ හොඳයි නම් අද රෑත් හොදයි’ යනුවෙන් ද පැවසීය.

කථානායකවරු දැනුවත් කිරීමට අවශ්‍ය නොවන අතර එම කරුණු නීතියට අදාළ කරුණු පමණක් බවත් ඒ මහතා මෙහිදී කියා සිටියේය ෴

+++++++++++++++++++++

***************************************

දරුවන්ගේ හිත් දූෂණය කරන ‘හතේ අපේ පොත’ තහනම් කරන්න – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිගෙන් ඉල්ලීමක්

(24.12.2019 – 19:53 +0530 – lankaleadnews.com)

ළමා මනස දුෂණය කරන ග්‍රන්ථයක් පසුගිය ආණ්ඩුව සමයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් 7 ශ්‍රේණියේ සිසුන් හට බෙදා හැර ඇති බවත් , වහාම එය අවලංගු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (24) පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් මහා විහාරයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ පවසා සිටියේ, රාජිත සේනාරත්න මහතා හා අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත් වීම මත නව යොවුන් විය පිළිබඳ ලබා දුන් 7 ශ්‍රේණියේ පෙළ පොත එම වයසේ දරුවන්ට නොගැළපෙන, එම දරුවන්ගේ ගුණධර්මවලට බරපතළ ලෙස බලපෑම් එල්ල කරන අයුරින් සකසා ඇති බවයි.

සමාජ සම්බන්ධතා පිළිබඳ යම් නරක නැඹුරු වීමක් මෙම පොත තුළින් ළමුන්ට ලබා දෙන බව පැවසු උන්වහන්සේ අතලොස්සක් සිදුකරන විකෘති ක්‍රියා හේතුවෙන් සමස්ත සමාජයට ඒවා ගළපා ගැනීමට යෑමෙන් සමාජ බැඳීම් විනාශ වී යන බවත් පැවසීය.

මෙය හුදෙක් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවු වැරදීමක් නොවන බවත් පැවසු උන්වහන්සේ මෙය හිතා මතා සිදුකර ඇති සංස්කෘතික විනාශයේ එක් කොටසක් බවත් කියා සිටියේය.

ඒනිසා මෙම පොත තහනම කරන ලෙස වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ පැවසීය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

‘හතේ අපේ පොත’, සිසුන්ට ලබාදීම නවතයි

(26.12.2019 – 07:39 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ අධ්‍යාපන, සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව හත ශ්‍රේණියේ සිසු සිසුවියන් වෙනුවෙන් නිකුත් කරනු ලැබූ ‘හතේ අපේ පොත’ පාසල් සිසුන්ට ලබා නොදෙන ලෙසට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සියළුම විදුහල්පතිවරුන්ට සහ පෙළ පොත් බෙදා හැරීමේ මධ්‍යස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්. ජයන්ත වික්‍රමනායක සඳහන් කළේ මේ වන විටත් එම පොත සිසුන් අතට පත්වී ඇත්නම් නැවත එය ලබා ගැනීමට කටයුතු කරන ලෙසටයි.

එලෙස දරුවන්ගෙන් එකතු කර ගන්නා සහ සිසුන්ට ලබා නොදී පාසලේ රදවාගෙන ඇති සියළුම පොත් පාසලට පැමිණෙන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ලොරි රථවලට ලබාදීමට කටයුතු කරන ලෙසයි ඔහු දැනුම් දී ඇත්තේ.

පෙරේදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් චෝදනා කළේ හතේ අපේ පොත මගින් ළමා මනස දූෂණය වන බවයි.

එම අනාවරණයත් සමගයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ෴

+++++++++++++++++++++++++++++++++++

අකිල විරාජ් දෙමළ ඊළම පදනම් කරගෙන පාසැල් පෙළ පොත් නිකුත් කරලා… 5 ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතෙන් දළදා මාළිගාව ඉවත් කරලා

(25.12.2019 – 04:18 +0530 – lankaleadnews.com)

හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් දෙමළ ඊළම පදනම් කරගෙන පාසල් පෙළ පොත් නිකුත් කර තිබෙන බවට ‘ජාතික උරුමයන් සුරකීමේ මහා සම්මේලනයේ’ සාමාජික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා චෝදනා කරයි. ඊයේ (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළේය.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ බැල්ලන්තුඩාව මහතා :

“රජය විසින් ලබන වසර සඳහා 5 ශ්‍රේණියට නිකුත් කරන ලද පොතේ උතුරු හා නැගෙනහිර එක් පළාතක් ලෙස නිරුපණය කෙරෙනවා. මේක අත් වැරදීමක් නෙමේ. පහුගිය රජය විසින් ගෙන ගිය බෙදුම්වාදි වැඩ පිළිවෙලේම කොටසක්.

පහ වසර ඉංග්‍රීසි පෙළ පොතේ පළාත් උගන්වන්න ඉතා පැහැදිලිව වෙනස් පාටවලින් පළාත් පාට ​කොට තිබුණත් උතුරු සහ නැගෙනහිර එකම පාටකින් පාට කරල ළමයින්ට උගන්වන්න හදන්නේ වැරදි දෙයක්. ඊට අමතරව මේ පොතේ 5 වෙනි පිටුවේ රටේ පළාත්වල වැදගත්කම පෙන්වල දීලා තියෙනවා. එහි දළදා මාලිගාව සහ සිංහරාජය ලකුණු කරලා නෑ. ඊට අමතරව මේ පොතේ 45 වැනි පිටුවේ අපේ රටේ උත්සව කියලා වෙසක් උත්සවය කියලා තියෙනවා. ඒත් වෙසක් කියන්නේ අපේ ආගමික වත්පිළිවෙතක්.

උතුරු මැද පළාතෙ පෙන්නුම් කරන තැන උතුරු මැද පළාතේ ඓතිහාසික උරුමය පෙන්වීම වෙනුවට පාපන්දුවක් තියන් ඉන්න ළමයෙක් තියල තියෙනවා. මේ ඔක්කොම එකම කුමන්ත්‍රණයක කොටස් බවයි පෙනෙන්නේ. මේවට පසුගිය ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැති සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන. අපි වත්මන් රජයෙන් ඉල්ලා සිටිනවා මේ පොත නැවත වහාම පාසල්වලින් එකතු කරන්න කියලා” යැයිද හෙතෙම කීවේය.

https://www.facebook.com/lcvnews/videos/995273010847029/

***************************************

දේශීය කලාව සහ කලාකරුවා නඟා සිටුවීමට සිය ධූර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බව ජනාධිපති කියයි

(24.12.2019 – 19:43 +0530 – lankaleadnews.com)

දේශීය කලාව සහ කලාකරුවා නඟා සිටුවීමට සිය ධූර කාලය තුළ උපරිම වශයෙන් කැපවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි.

අපේ දේ, රටේ සංස්කෘතිය සහ අනන්‍යතාව රැක ගැනීමේ ප්‍රතිපත්තිය තුළ ඒ උදෙසා සැලසුම් සහගතව ක්‍රියා කරන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ කලාකරුවන් අතර සුහද හමුවක් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළ කලාකරුවන්ට ස්තූතිය පුද කිරිම උදෙසා හමුව සංවිධානය කර තිබිණි.

කලාකරුවන්ට ඉදිරියේ දී පහසුකම් රැසක් සළසා දිමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.

කලාකරුවන් වෙනුවෙන් ඉදිකළ රන්මිණිතැන්න සිනමා ගම්මානය ඉකුත් සමයේ නිසි ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා තිබිණි. මේ අනගි නිර්මාණය දේශීය කලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ප්‍රයෝජනයට ගන්නැයි ද ජනාධිපතිතුමා කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

විවිධ ආයතනවල රැකියා සඳහා තෝරා ගැනීමේ දී කලාකරුවන්ට ද අවස්ථා වෙන් කරනුයේ ඔවුන් ඇගැයීම පිණිස බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිහිපත් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ ප්‍රවීණ කලාකරුවෝ රැසක් හමුවට එක්ව සිටියහ.

+++++++++++++++++++++

***************************************

උතුරේ මැර කල්ලි මඬින්න ජනපතිගෙන් පොලිසියට උපදෙස්

(25.12.2019 – 05:39 +0530 – lankaleadnews.com)

උතුරේ ආවා කල්ලිය ප‍්‍රමුඛ සියලූ නීති විරෝධී කටයුතු වහාම මර්දනය කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා යාපනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

ජනපතිවයා මෙම නියෝගය කළේ උතුරු හා නැගෙනහිර කතෝලික රදගුරුවරුන් සමග පැවැති සාකච්ඡාවකින් පසුවය. කඩුවලින් සන්නද්ධ ආවා කල්ලිය උතුරේ සිවිල් ජනතාවට තර්ජනය කරන බව තමාට වාර්තාවී ඇති බව පවසූ ජනාධිපතිවරයා එම පිරිස් දැඩි ලෙස මර්දනය කරන ලෙස උතුරේ පොලිස් නිලධාරීන්ට නියෝග කර තිබේ.

යාපනය රදගුරු ජස්ටින් ගාරාප‍්‍රගාසම්, මඩකලපුව රදගුරු පොන්නයියා ජෝශප්, ති‍්‍රකුණාමලය රදගුරු නොයෙල් එමානුවෙල් සහ ති‍්‍රකුණාමල රදගුරු එමානුවෙල් ප‍්‍රනාන්දු යන පියතුමන්ලා මෙම සාකච්ඡාවට සහභාගිවී ඇත.

මෙහිදී ජනපතිවරයා තවදුරටත් පැවසුවේ කඩුවලින් සන්නද්ධ මැරයන් පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

මේ නිසා ඔවුන් මර්දනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස තමා නියෝග කළ බව රදගුරුවරුන් හමුවේ කියා සිටියේය ෴

***************************************

චම්පිකගේ රියදුරුගේ බිරිඳගෙන් පෙත්සමක්

(24.12.2019 – 16:27 +0530 – lankadeepa.lk)

කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් තමාවත් , තම අතදරුවා සහ ස්වාමියාගේ මව යන තිදෙනාම බත්තරමුල්ල ප‍්‍රදේශයට බලහත්කාරයෙන් රැගෙන යාම නීතිවිරෝධී බවත්, එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලූම් තුසිත කුමාර නැමැත්තාගේ බිරිඳ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (24) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

ගාල්ල, ඉමදූව ප‍්‍රදේශයේ පදිංචි ඉරේෂා ලක්මාලි නමැත්තිය විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්වරයා, වැඩබලන පොලිස්පති, ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින්, කොළඹ අපරාධ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, එහි ස්ථානාධිපතිවරයා ඇතුළු 15 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාරිය කියාසිටින්නේ ඉකුත් 10 වනදා රාත‍්‍රී තම නිවසට කඩාවැදුණු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් තමාවත් තම මාස තුනක් වයසැති අතදරුවා සහ ස්වාමියාගේ මව යන තිදෙනාම බත්තරමුල්ල ප‍්‍රදේශයට බලහත්කාරයෙන් රැගෙන ගිය බවය.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන මේ ආකාරයෙන් රැගෙන ගොස් රඳවා ගැනීම තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝණය වී ඇති බවයි ඇය පෙන්වා දෙන්නීය.

එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු වාර්තාවට අදාල ලේඛන ගෙන්වා පරීක්ෂණයක් පවත්වා සිය මූලික අයිතීන් උල්ලංඝණය වූ බවට නියෝගයක් ලබාදෙන ලෙසත් , එලෙස රැගෙන යාමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප‍්‍රකාශ කරන්නැයිද පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නීය ෴

***************************************

‘හිරු සී.අයි.ඒ.’ මෙහෙයුමෙන් නිදහස ලද ආරක්ෂිතයින්

(24.12.2019 – 20:12 +0530 – hirunews.lk/sinhala)

මෙරට වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව ආරක්ෂිත සත්වයන් වන නාග මාපිලන්, කටකළුවන්, ඇහැටුල්ලන් ආදී උරගයින් නීති විරෝධීව සන්තකයේ තබා ගෙන සිටිනා ස්ථාන දෙකක් පිළිබද ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු හෙළි කර ගත්තා.

මාතර – උඩුකාව ප්‍රදේශයේ, මෙම ස්ථාන දෙක පවත්වාගෙන යන අතර, විදේශිකයන්ට එම සත්වයින් ප්‍රදර්ශනය කර මුදල් අයකරන බව අප කළ මූලික සොයා බැලීමේදී හෙළිවුණා.

එම සොයා බැලීමේදී අනාවරණය වුණේ එම ස්ථානවල නීති විරෝධීව රදවා සිටින උරගයින්ට ජීවත්වීමට නිසි වටපිටාවක් නොමැතිවීම හේතුවෙන් ඇතැම් සතුන් සෞඛ්‍ය අතින් දුර්වල මට්ටමක සිටින බවයි.

අප මෙම ස්ථාන පිළිබදව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මිරිස්ස වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරී රවීන්ද්‍ර කුමාර මහතා දැනුවත් කළා.

ලැබී තිබූ තොරතුරු අනුව, මෙම ස්ථානය වැටලීම සදහා වනජීවී නිලධාරීන් හා ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම ගමන් ආරම්භ කළා.

අප එක් ස්ථානයට ළඟාවන විටත් ඔවුන් සන්තකයේ තබා ගැනීම තහනම් උරගයින් විදේශිකයන්ට මෙලෙස ප්‍රදර්ශනය කරමින් සිටියා.

***************************************

ජනපතිට රට ගොඩනැගීමට කාලයක් ලබාදිය යුතු බව ඇල්ලේ හිමියන් කියයි

(24.12.2019 – 19:04 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ජනාධිපතිවරයාට, රට ගොඩගැනීමට කාලයක් ලබාදිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ හෙටට යෙදෙන නත්තල් දිනයට සමගාමීව පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් දරු දැරියන් පිරිසකට ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවකට කොළඹ අගරදගුරු නිල නිවසේදී අද (24) එක්වෙමින්.

***************************************

පාස්කු ප්‍රහාරය දිනම කොළඹ ඩොක්යාඩ් සමාගමේ ඩොලර් මිලියන 50 ක ඇනවුම් නතර වෙලා… – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

(25.12.2019 – 12:40 +0530 – lankacnews.com)

“පාස්කු ප්‍රහාරයෙන් ජීවිත විතරක් නෙවෙයි , ආර්ථික වශයෙනුත් විශාල විනාශයක් වුණා. ප්‍රධාන වශයෙන් පැවති රජය මේ විනාශයට වගකියන්න ඕනි. නිසි වෙලාවෙදි නිසි තීන්දුව ගන්නෙ නැතිව මුළු ජාතික ආරක්ෂාව ම විහිලුවට ලක්කරලා මේ කරල තියෙන විනාශයට ඔවුන් වගකියන්න ඕනි. අද මෙතැනට ආවාම දැනගන්න ලැබුණා කොළඹ නැව් තටාකාංගන පුද්ගලික සමාගමට (Colombo Dokyard PLC) විතරක් ජාත්‍යන්තර වශයෙන් ලැබුණ ඇ.ඩො. මිලියන 50 ක ඇනවුම් පාස්කු ප්‍රහාරය සිද්ධ වුණ වෙලාවෙම කැන්සල් වෙලා තියෙනව. මේක තමයි ආර්ථික කඩාවැටීම.

එකක් අවුරුදු හතරක් තිස්සේ ඔවුන්ගේ තිබුණ අදක්ෂ පාලනය හා හොරකම. මහා බැංකු හොරකම නිසා විශාල හානියක් වුණා. ඊළගට මනා දක්ෂ ආර්ථික පරිපාලනයක් නොමැතිකමින් රටේ ආර්ථිකය වැටීගෙන ආවා. සහරාන්ගෙ ප්‍රහාරයෙන් තව මාස පහ හයකින් කඩාවැටෙන්න තිබුණ ආර්ථිකය එවෙලේම කඩා වැටුණා.

ප්‍රේමදාස ජනාධිපති තුමා මෙම සමාගම 1993 මාර්තු 10 වෙනිදා පෞද්ගලිකකරණය කෙරුවත්, අපි සතුටු වෙනවා ජාත්‍යන්තර වශයෙන් එන ඇනවුම් හා මොවුන්ගේ දක්ෂ කම් ගැන. හැබැයි අපි කණගාටු වෙනවා එක පැත්තකින් පසුගිය රජය මේ කරපු මහා විනාශය ගැන. අපේ රට අවුරුදු පහක් හයක් නෙවෙයි අවුරුදු 25 ක් 30 ක් ආපස්සට ගෙනිහිල්ලා තියෙනව කියල තමයි අපට පේන්නෙ. ඔවුන් කරපු හොරකම්, දූෂණය කියල නිම කරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඔවුන් රාජපක්ෂ ජනාධිපති තුමාට හා පවුලේ අයට පහර දෙමින් කෙරුවෙ හොරකම හා මුදල් වංචාව. රාජපක්ෂ ජනාධිපති තුමා හා ඒ පවුලේ අයව ආවරණයක් හැටියට පාවිච්චි කරමින් මේ රටේ ජනතාවගේ ධනය පහුගිය රජයේ උදවිය මහා දැවැන්ත ලෙස හොරකම් කරල තියෙනවා” යැයි වරාය නාවික කටයුතු , මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව නියමු යාත්‍රා (Pilot Boats) 02 ක් කොළඹ වරායට එක් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එක් යාත්‍රාවක් දිගින් මීටර් 12 ක් වන අතර පළලින් මීටර් 5.5 කි. පැයට නාවික සැතපුම් 22 ක වේගයෙන් යාත්‍රා කළ හැකි මෙම අධිවේගී නවීන යාත්‍රා 02 කොළඹ නැව් තටාකාංගන පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කරන ලද අතර පයිලට් 16 (Pilot 16) හා පයිලට් 17 (Pilot 17) ලෙස ඒවා නම්කර තිබේ. මෙම යාත්‍රා දෙකත් සමග ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් නාවුක සේවා සදහා යෙදවෙන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සමස්ත නියමු යාත්‍රා සංඛ්‍යාව 08 ක් බවට පත්වේ.

මේ සමග කොළඹ වරායට පැමිණෙන නෞකා සදහා විශ්වසනීය , කාර්‍යක්ෂම හා කඩිනම් නාවුක සේවා සම්පාදනයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු හැකියාව තවදුරටත් වර්ධනය වනු ඇත. යාත්‍රා දෙකෙහි වටිනාකම ඇ.ඩො මිලියන 3.12 කි.

කොළඹ වරාය පරිශ්‍රයේ පැවති මෙම අවස්ථාවට වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක, කළමනාකාර අධ්‍යක්ෂ කපිතාන් අතුල හේවාපතිරණ, කොළඹ නැව් තටාකාංගන පුද්ගලික සමාගමේ සභාපති එච්. ටනකා , එහි ප්‍රධාන විධායක නිලධාරී ඩී.වී අබේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *