ක්ෂේම භූමියක ‘ආර්ථික කොරිඩෝ’ සොයන කළු සුද්දන්ගේ සංවර්ධන උපාය මාර්ග – ආචාර්ය චමිල ලියනගේ

+++++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ක්ෂේම භූමියක ‘ආර්ථික කොරිඩෝ’ සොයන කළු සුද්දන්ගේ සංවර්ධන උපාය මාර්ග – ආචාර්ය චමිල ලියනගේ

• බන්ධනාගාර බස්, රෝහල්, හිරගෙවල් මැද විමල් කෙසෙල් කෙන්දෙන් රෙදි මහයි.. ජාත්‍යන්තරය දිනන්නත් සූදානම්…

• SMS පණිවිඩ ගැන දැඩි අවධානයෙන් ඉන්න.. ජාවාරමක් ක‍්‍රියාත්මකයි…

• අගරදගුරුතුමනි හොර ලොගුව ඇදගත් පිරිස් බරට වැඩ. මෙන්න බලන්න – පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++++

ක්ෂේම භූමියක ‘ආර්ථික කොරිඩෝ’ සොයන කළු සුද්දන්ගේ සංවර්ධන උපාය මාර්ග – ආචාර්ය චමිල ලියනගේ

(25.12.2019 – divaina.com)

ක‍්‍රි. ව. 1190 දී පළමුවන රිචර්ඩ් රජු සයිප‍්‍රසය යටත් කරගෙන වසර දෙකකට පසු එනම් 1192 දී මුදල් හදිසියකට එය උකසට තැබීය. ඉන් නොනැවතුන ඔහු ගයී. ඩී. ලූසිගන් නම් නයිට්වරයකුට සයිප‍්‍රසය සින්නක්කරවම විකුණා මංගලෝත්සවයක් පැවැත්වූ බව ඉතිහාසයේ සඳහන් ය. සයිප‍්‍රසය පළමුවන රිචර්ඩ්ගේ මාතෘභූමිය නොවේ. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ වඩුගයකු වුවද, ලංකාද්වීපයෙන් ඔහු පිටමං වන්නේ ‘ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරූ’ කියාය. නායක්කර් වංශික රාජසිංහ රජුගේ හදවත ලක් දෙරණ සම්බන්ධ දේශවාත්සල්‍යයෙන් පිරී තිබිණි. අපේ රට පසුගිය අවුරුදු හැට හැත්තෑවක කාලයෙන් වැඩි කොටසක් පාලනය කර තිබෙන්නේ පිටතින් ශ‍්‍රී ලාංකික එහෙත් ඇතුළතින් රිචර්ඩ්ලා ය! එහෙයින් ලොව කිසිදු අන්‍ය දේශයක් සතු නොවන සම්පත් පැතිකඩක් සහිත අපේ මාතෘභූමිය, දේශජ සංවර්ධන වැඩපිළිවෙළක් තුළින් තිරසාර සංවර්ධනයක් කරා මෙහෙවීමේ පූර්ණ නොහැකියාව ප‍්‍රදර්ශනය කරන්නා වූ වඳ පීදුනු ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට එය කොටස් වශයෙන් හෝ මුළුමනින්ම හෝ විදේශ සමාගම් වලට, රට වලට විකුණා දමන්නට, බදු දෙන්නට සිත් පහළවීම ගැන පුදුම වියයුතු නැත.

කලින් කලට විවිධ සංකල්ප, ප‍්‍රවාද සමස්ත සමාජ සංවාදයන්හිම දිශානතිය තීරණය කරන්නේ ය. ‘ආර්ථික කොරිඩෝව’ එවැනි එක් සංකල්පයකි. එක් අතකින්, ආර්ථික කොරිඩෝ හඳුනාගැනීම අවශ්‍ය වන්නේ ජාතික සංවර්ධනය සඳහා ප‍්‍රමාණවත් ස්වභාවික හෝ මානව සම්පත් නැති රටවල ආර්ථික වර්ධනය උදෙසාය. අනෙත් අතින් ආර්ථික කොරිඩෝ වැනි උපාය උපක‍්‍රම ලෝකයේ බලවත් යැයි සම්මත රටවල් විසින් නිර්මාණය කරන්නේ ප‍්‍රබල වාසියක් තමන්ට ඇත්තේ නම් පමණි. ඇත්ත වශයෙන්ම ඇමරිකාව හෝ බටහිර යුරෝපයේ වේවා වෙනත් ප‍්‍රබල රටක් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ආසියානු සංවර්ධන බැංකුව වැනි දැවැන්ත මූල්‍ය සංගත හරහා මුදල් සම්භාරයන් ආයෝජනය කරමින් ලෝකයේ ‘ඌන සංවර්ධිත’ යැයි සම්මත රටවල ‘සංවර්ධනයට’ මැදිහත් වීම ගැන අප උරණ විය යුතු නැත. ඒ අයිතිය ඔවුනට ඇත. අප අපේ ප‍්‍රශ්නය විසඳාගත යුත්තේ ඒ ඊනියා සංවර්ධන මැදිහත්වීම් වල වේශයෙන් එන පර්යන්ත ‘දිළිඳු’ රටවල් සූරාකෑමේ ව්‍යාපෘති ඉස්මුදුනින් පිළිගන්නා, එක්කෝ ගෝලීය දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදන්නා, නැත්නම් තමන්ට අත්වන වාසි පිළිබඳව සිතා ඒවාට මංපෙත් විවර කරන නායකකාරකාදීන් සමගය. ඒ වරදාන ගිලින්නන්, අපි හිරුගේ වෙලාවට හා සඳුගේ කලාවට ගොවිතැන් කළ පිරිසක් බව නොදනිති.

ගාමිණී අභය නොහොත් දුටුගැමුණු නරේශ්වරයා ස්වකීය රාජ සභාවේ වාරිමාර්ග විෂයය භාර දුන්නේ බුලතා යෝධයාට ය. ඊට හේතුව, මහා සංග‍්‍රාමය අතරතුර, ඡුත‍්‍ර හා තිත්ථම්භ සමග ගැටෙමින් ගාමිණී අභය මාස හතරක් පහක් මහියංගනයේ රැඳී සිටියදී සොරබොර වැව බඳිමින් බුලතා ස්වකීය වාරි තාක්ෂණ කෞෂල්‍යය පෙන්වීමය. එහෙත් අපේ ඇතැම් කෘෂිකර්ම ඇමැතිවරුන් (බොහෝ සෙසු දේශපාලනඥයන් සේම) කළේ සහල් ආනයන කොන්ත‍්‍රාත්තු වලට අතගැසීමය; නැත්නම් කෘෂි රසායන අලෙවි කරන බහුජාතික සමාගම් වල ඉත්තන් බවට පත්වීමය; එසේත් නොමැති නම්, විදේශ සංචාරයකදී දෙකකදී තමන් විශේෂඥයෙක් යැයි කියාගත් සුද්දකුගේ සුද්දියකගේ බස් අසා පැමිණ වසර දහස් ගණනක් පැරණි අපේ වගා තාක්ෂණික භාවිතාවන් හා සැලසුම් තඹයකට මායිම් නොකර, සුද්දන්ගේ මඩිය තර කරනු පිණිස උන්ගේ වගා ක‍්‍රම අපේ ගොවීයා ලවා මෙහි පැළපදියම් කිරීමය. ගොවියාද, පසද, ජාතියද ශාසනයද නැසෙන්නට පටන් ගන්නේ ඒ හේතුවෙනි. 2017 වසරේ වී වගා කරන ඉඩම් හෙක්ටාර ලක්ෂයක් වෙනත් භෝග සඳහා යෙදවීමේ උපාය පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගැනෙන්නේද ඇමැතිවරුන්ට ලැබුන එවැනි ‘සැලකිලි’ නිසා විය හැක.

4-21 ප‍්‍රහාරයෙන් දින පහකට පසුව මංගල සමරවීර අමාත්‍යවරයා කීවේ එම මරාගෙන මැරෙන ප‍්‍රහාර ශ්‍රේණියේ ප‍්‍රතිඵල දුක්බර වුවද, අයි. එස්. අයි. එස්. ප‍්‍රහාරයකට අපේ රට ලක්වීම නිසා ඇමෙරිකානු ආරක්ෂක මැදිහත්වීම් ලබාගැනීමේ සුවිශේෂී අවස්ථාව අපට හිමිවී ඇති බවකි. ඒ සමගම ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ආයෝජනයක්ද ලැබෙන බව හේ ආඩම්බරයෙන් කීවේය. ‘මිලේනියම් වැලේන්ජ් කෝපරේෂන් කම්පැක්ට්’ හෙවත් ‘එම්. සී. සී. සී’ ගිවිසුමට එල්ලවූ සමාජ විරෝධය ව්‍යර්ථ කරනු පිණිස චම්පික රණවක මෙගාපොලිස් අමාත්‍යවරයා යෝජීත ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතියට මෙරට විද්වතුන් 2,000 කගේ චින්තන දායකත්වය හා අනුමැතිය ලැබී ඇති බව පැවසුවේය. ජෝන් පර්කින්ස් නම් වූ හිටපු ලෝක බැංකු මූල්‍ය උපදේශකවරයා ‘ආර්ථික ඝාතකයකුගේ පාපෝච්චාරණය’ ලෙසින් පළ කළාවූ කෘතිය ලතින් ඇමරිකානු රටවල පොහොසත් ස්වභාවික සම්පත් සහිත පාරිසරික සාධකය දීර්ඝ කාලීනව නැති නාස්ති කිරීමට ලෝක බැංකු මූල්‍ය දායකත්වයෙන් අධිරාජ්‍යවාදී කඳවුර මැදිහත්වූ අයුරු පාපෝච්ඡාරණය කළේය.

අපේ ප‍්‍රතිපත්ති සම්පාදකයා නිෂ්ක‍්‍රියව සිටින්නේ ආධාර, ණය, ආයෝජන හෝ වෙනත් මුහුණුවරකින් එන බලවත් රටවල අතපෙවීම් තේරුම් ගැනීමේ නොහැකියාව නිසා නොවේ. තමාට ලැබෙන වරදාන නිසාය. ඇමරිකාව ශ‍්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරීත්වය සඳහා මැදිහත් වීම ඇරඹූයේ අද ඊයේ නොවේ. එම්.සී.සී.සී වැනි ආර්ථික ඝාතනයක් නොව සියදිවි නසාගැනීමකට පෙර පසුගිය රජයේ ප‍්‍රබලයන් හට බොහෝ කරුණු අමතකවීම අහම්බයක් නොවන බව අපගේ විශ්වාසය යි. අපට ගැටලුව ඇත්තේ ආක‍්‍රමණිකයා සමග නොව, ආක‍්‍රමණිකයා ගෙට වද්දා ගන්නා නරුමයා ගැන බව පුන පුනා කියන්නේ එබැවිණි. 1950 දශකයේදී ශ‍්‍රී ලංකා චීන සබඳතා ගොඩනැගෙනු දැකීමට අකැමැති වූ ඇමරිකාව ‘චීන ශ‍්‍රී ලංකා රබර් සහල් ගිවිසුම’ට විරුද්ධ වූයේය. අපේ රබර් වගාවේ දිළීර පාලනය සඳහා අවශ්‍ය වූ සල්ෆර් නොසපයන්නැයි ඇමරිකාව ප‍්‍රංශයට, ඉතාලියට, හා ජපානයට බලපෑම් කළේය. 1998 වකවානුවේදී ඝර්මකලාපීය වනාන්තර සංරක්ෂණ පනත අත්සන් කරන්නට කටයුතු සම්පාදනය විය. එය එසේ වූවා නම් රාජ්‍ය නොවන සංවිධානයන්ට අපට ආවේණික ඖෂධීය ශාකයන්ට අත තැබීමේ ඉඩ ලැබෙන්නට නියමිතව තිබුණි. එහෙත් එය වැළකී ගියේ ප‍්‍රබල මහජන විරෝධයක් ඇතිවූ නිසාය.

පසුගිය වසර 20 ක පමණ කාලය තුළ ඇමරිකාව ක‍්‍රියාකර ඇත්තේ අපට රාජ්‍යතාන්ත‍්‍රික වශයෙන් මිත‍්‍ර රටක් ලෙස නොවේ. ‘ලෝක බලවතා’ ලෙසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ මැදිහත්වීම් අගතීන්ගෙන් සමන්විතය. යුද්ධය අවසන් වීමෙන් පසුව 2009 වසරේ ලංකාවට පැමිණි සෙනෙට් සභිකයක් දෙදෙනෙක් ප‍්‍රකාශ කළේ ‘රාජපක්ෂ හානිකර’ බවය. ඩේවිඩ් ප‍්‍රයිස් සෙනෙට් සභිකයා 2016 දි ‘අපි ශ‍්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා කෙටුම්පත සකසා එරටට යවා අවසන්’ බව කීවේ කවර නම් අපේක්ෂාවකින්ද?

2015 මැයි මස ශ‍්‍රී ලංකාවට පැමිණි රාජ්‍ය ලේකම් ජෝන් කේරී කීවේ අපට ‘ඉන්දු පැසිපික් කලාපයේ නවීකරණයේ උපස්ථම්භය’ විය හැකි බවය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යකරණය හා වගවීම සඳහා වූ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන්නේ ‘ඩිවලප්මන්ට් ඕල්ටනේටිව් ඉන්කොපරේෂන්’ නම් පෞද්ගලික ආයතනය මගිනි. එය ‘සී අයි ඒ’ අතුරු සංවිධානයකි. එම සමාගම ස්ථාපනය කරන්නේ රටවල් අස්ථාවර කරනු පිණිසය. එම ව්‍යාපෘතිය කිසිසේත්ම අපේ විගණකාධිපතිවරයාගේ පරීක්ෂණයට විෂයය නොවේ. එම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වූ සෙසු රටවල් නම් ඇෆ්ගනිස්තානය, කොලොම්බියාව, ජෝර්ජියාව, හයිටි, ඉන්දුනීසියාව, ඉරාකය, කෙන්යාව, කොසෝවෝ, කිර්ගිස්ථානය, ලෙබනනය, ලයිබීරියාව, මැසිඩෝනියාව හා මොංගෝලියාව යි. සාමාන්‍යයෙන් සමකාලීන ලෝක දේශපාලනික තත්ත්වය දන්නා කෙනෙකුට මේ දරුණු ආර්ථික ඝාතනවල ස්වභාවය තේරුම් ගැනීමට එයම ප‍්‍රමාණවත්ය. යහපාලන ආණ්ඩුවේ දින සියයේ ව්‍යාපෘතියට ‘යූ එස් ඒඩ්’ හරහා ඩොලර් මිලියන 3.4 ක් දීම මෙහිලා දැඩි සැලකිල්ලට ගතයුතු අතර, ශ‍්‍රී ලංකාව, නයිජීරියාව, හා බුරුමය යන රටවල පාලන තන්ත‍්‍ර පෙරළා දැමීමට 2015 ට පෙර සැපයුන මුදල් ප‍්‍රමාණය ඩොලර් මිලියන 585 බවද සිහිතබා ගත යුතුය!

අපේ රටේ කෘෂිකාර්මික ඉඩම් වල ඵලදායීතාව බෙහෙවින්ම අඩුබව හා මහාමාර්ග ප‍්‍රවාහන අර්බුද උග‍්‍ර බව කීමට සිදුකරනු ලැබූ කුමන්ත‍්‍රණ කොතෙක්ද? ඒ සියල්ල ‘එම්.සී.සී.සී’ සඳහා එලූ පාවාඩ ය. 2016 වසරේ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ඇමරිකා යන්නේ ‘සෞඛ්‍යය හේතූන් මත’ යැයි කියාය. නමුත් ඔහු එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව ඇමතීය! 2016 සැප්තැම්බර කථානායක කරු ජයසූරිය ඇමරිකා යන්නේය. 2018 දී සාගල රත්නායක අමාත්‍යවරයා ‘එම්.සී.සී.සී’ සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක මණ්ඩලය, රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ආරක්ෂක දෙපාර්තමේන්තු පවා මුණගැසුනු බව ඇතැම්හු පවසති. ඇමරිකාවේ සිට නීෂා බිස්වාල් ආවේ 2015 ජුලි මසදීය. ටොම් මැලිනවොස්කි ද එම මාසයේමය. සමන්තා පවර් 2015 නොවැම්බරයේය. තෝමස් ෂැනන් 2015 දෙසැම්බරයේ ය. පසුගිය වසර 5 ක කාලය තුළ ඇමරිකානු ප‍්‍රධානීන්ගේ ගමන් 16 ක් සිදුවී ඇත. 2000 වසරින් පසුව අපේ රටට සිදුවූ ඇමරිකානු හමුදා සංචාර, ඒකාබද්ධ යුද අභ්‍යාස, මිලිටරි හෝ වෙනත් රාජ්‍ය තාන්ත‍්‍රික මැදිහත් වීම් ගණන 43 කි. ඉන් 41 ක් සිදුවී ඇත්තේ පසුගිය වසර 5 ක කාලයේ ය!

මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය (පසුව කඩිනම් කළ) කළ එලි බසින කාලයේ ජනතාව මුළා කළේ පැරකුම් යුගයක් නැවතත් අරඹන බව කියාය; අපේ අතිරික්ත ජල විදුලිය ඉන්දියාවටද අලෙවි කළ හැකි යැයි කියාය. එතෙර මෙතෙර ආර්ථික ඝාතකයන්ගේ ‘සංවර්ධන උපාය මාර්ග’ වල ඇති පූර්ණ අසාර්කත්වය තේරුම් ගැනීමට, නායයෑමට ලක්වන මධ්‍ය කඳුකරයෙන් හා දේශීය විදුලි අවශ්‍යතාව සපුරාලීමට මුහුදේ නැව්මත පාවෙන දැවැන්ත විදුලි ජනක යන්ත‍්‍ර වලින් කෝටිගණන් ගෙවා විදුලිය මිලදී ගැනීමෙන් මැනෙවින් වටහා ගත හැක. අපට ඇති ගැටලුව, කලකට ඉහතදී අධිරාජ්‍යවාදය, ආර්ථික ව්‍යාප්තවාදය වැනි සංකල්ප වලට එරෙහිව මාරාන්ති මැදිහත්වීම් කළ, දේශීයත්වය, සිංහලකම ගැන ගිරිය පුප්පන් කෑ ගැසූවන්, ‘ආර්ථික කොරිඩෝ’ වැනි දීර්ඝ කාලීන මර උගුල් වලට න්‍යායිකව සුජාතභාවය කෙසේ සපයන්නේද යන්නයි.

1834 දී ඉන්දියාවට පැමිණි තෝමස් බැබින්ටන් මැකෝලේ සාමිවරයා පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමේ පාලනයට යටත් රටවල් සියල්ලටම අදාළ නිර්දේශයක් එංගලන්ත වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව අමතා ඉදිරිපත් කළේය. ඒ, මෙම රටවල් ඇත්ත වශයෙන්ම යටත් විජිත බවට පත් කරගැනීමට නම්, ඒ රටවල ඓතිහාසික අධ්‍යාපනය යටත් විජිත අධ්‍යාපන ක‍්‍රමයකින් ප‍්‍රතිස්ථාපනය කළ යුතු බවත්, ඒ රටවල සංස්කෘතිය හා සාරධර්ම විනාශ කළ යුතු බවත් ය. ජන විඥානය උඩුයටිකුරු කිරීම සඳහා අධ්‍යාපනය අපහරණය කිරීම යටත්විජිතවාදීන් අරඹන්නේ එතැන් සිටය. යටත්විජිත සදාකාලිකව පවත්වා ගැනීමට, ගතින් ස්වදේශික සිතින් විදේශික කළු සුද්දන් බිහිකරන්නේ එතැන් සිටය. සංවර්ධනය මිණීම සඳහා ආහාර ඇඳුම් නිවාස ආදී කන්න නොතිබුණු, ඇඳුම් නොතිබුණු, නිවාස නොතිබුණු සුද්දන්ගේ මිණුම් දඬු භාවිත වන්නේ එතැන් සිටය. මුඩුක්කු පැල්පත් බහුල වූ, විධිමත් නිවාස නොතිබුණු මැදකොළඹින් පත්වූ නිවාස අමාත්‍යවරයා නිවාස ප‍්‍රශ්නය ජාතික ප‍්‍රශ්නයක් කළේද එසේම ය. වසර දහස් ගණනක් පුරා දියුණු දේශයක සාඩම්බර පුරවැසියන් වූ අපේ සංවර්ධනය පිළිබඳ ආකල්පය අංශක 180 කින් ආපසු හැරිණි. දළ ජාතික නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම ආදී ‘ඇඩම් ස්මිත්’ පන්නයේ ආර්ථික අඩිකෝදු වලින් අපේ සෞභාග්‍යයද මණින්නට පටන් ගැනිණි. ඒ කෝදුව ප‍්‍රකාරව අපි සදාකාලික ‘සංවර්ධනය වෙමින් පවතින රටවල්’ ය.

බටහිර මානව සමාජය සංවර්ධනය යැයි හඳුනාගන්නා සංකල්පය, අපට අදාළව නම් ‘සෞභාග්‍යය’ ය; ‘සමෘද්ධිය’ ය. සංවර්ධනය සම්බන්ධ අපේම වූ ක‍්‍රමවේදයක් අපට තිබිණි. ගොවිතැන එහි හදවත විය. වැව ගොවිතැනෙහි වාරි පදනම පමණක් නොව, සංස්කෘතියේ වියමන ද විය. 1818 අරගලයට සමාන්තරව බ‍්‍රවුන්රිග් ක‍්‍රියාත්මක කළ බිම්පාළු ක‍්‍රමයේදී සියලු වාරි පද්ධති සුනුවිසුනු කරන්නේ අපේ සංවයංපෝෂිතතාව, සෞභාග්‍යය ගොවිතැන සමග බැඳී පැවතුණ නිසාය. එහෙත් නූතනයේ සංවර්ධනය යනු සියල්ල ආසානාසි කිරීමකි. ‘සංවර්ධනය කර විකුණන ඉඩම්’ ඊට කදිම නිදසුනකි.

පසුගිය සමයේ අපේ රටේ විදෙස් රාජ්‍ය නොවන සංවිධාන වල මූල්‍ය දායකත්වයෙන් ක‍්‍රියාත්මක වූ ඊනියා ‘කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති’ විසින් කර ඇත්තේ කුමක්ද? අපේ ස්වදේශික බීජ සියල්ල ගොවීන්ගේ භාවිතයෙන් ඉවත්කිරීම පමණි. ‘දිළිඳු සහන ව්‍යාපෘති’ වල ප‍්‍රධාන ප‍්‍රතිඵල දෙකකි. එකක් මේ මජර දේශපාලන ක‍්‍රමය පවත්වාගැනීමට අවශ්‍ය අල්ලස දිළිඳුකම නිසා ජීවග‍්‍රහයෙන් ගනු ලැබූ ඡන්ද දායකයාට රාජනුග‍්‍රහයෙන් ලබාදීමය; අනෙක නිකමුන් බිහිවීමය. කුඹුරු පුරං වීම ගැන කවුරුත් කතා කරති. එහෙත් ඊට බලපා ඇති ප‍්‍රධාන හේතුවක් වූයේ ග‍්‍රාමීය ගොවිජනතාව විදෙස් උපදෙස් මත ස්වදේශිකයන් නිකමුන් කිරීමේ අභිලාෂයෙන් සැලසුම් කළ ඊනියා ‘දිළිඳු සහන වැඩපිළිවෙළ’ ඔස්සේ නිෂ්ක‍්‍රීය යැපෙන්නන් බවට පත් කිරීමය.

– ආචාර්ය චමිල ලියනගේ

*****************************************

බන්ධනාගාර බස්, රෝහල්, හිරගෙවල් මැද විමල් කෙසෙල් කෙන්දෙන් රෙදි මහයි.. ජාත්‍යන්තරය දිනන්නත් සූදානම්…

(29.12.2019 – 08:40 +0530 – lankacnews.com)

‘කෙසෙල් කෙන්දෙන් නිෂ්පාදනය කෙරෙන රෙදිපිළි හා ඇඟලුම්’ වැනි නවෝත්පාදන සඳහා සෑමවිටම දිරි දීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඇතුළු නව රජය කැප වී සිටින බවත් ඒ සඳහා දැනුම, හැකියාව ඇති තරුණතරුණියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවත් ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය, විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය විසින් සංවිධානය කළ ‘කෙසෙල් කෙන්දෙන් නිෂ්පාදනය කෙරෙන රෙදිපිළි හා ඇඟලුම් එළිදැක්වීමේ’ සහ ‘ළමා ඇඳුම් සඳහා සෞඛ්‍යාරක්ෂිතතා සහතිකයක් නිකුත් කිරීමේ’ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය :

“කෙසෙල් තන්තුවෙන් නිපදවූ රෙදිපිළි හා ඇඟලුම් එළිදැක්වීමේ අවස්ථාව, මෙම අමාත්‍යාංශයේ වැඩ භාරගත් ගත් පසු මා සහභාගී වන වැදගත්ම අවස්ථාව ලෙස මා සලකනවා. අපි මහත් උජාරුවෙන් කියනවා, ‘විජය කුමාරයා ලංකාවට පැමිණෙන විට කුවේණි කපු කටිමින් හිටියා. අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තයට ඊටත් එහා ඉතිහාසයක් තිබෙනවා’ කියා. එහෙම ඉතිහාසයක් තිබුණාට ඊට ගැලපෙන වර්තමානයක් අද අපට නැහැ. ඊට හේතු වූයේ අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය කඩා වැටෙන ආකාරයට ‘විවෘත ආර්ථික සුළඟ’ හැමීම. ලෝකයේ ප්‍රබල රටවල් තමන්ගේ රටේ කර්මාන්ත බිඳ වැටෙන ආකාරයට වෙළෙඳපොළ විවෘත කිරීම සිදු කළේ නැහැ. නමුත් අපි අපේ දොරටු විවෘත කළේ ආරක්ෂණ වැඩපිළිවෙළක් නොමැතිව, අපේ කර්මාන්ත හා නිෂ්පාදන බිඳ වැටෙන ආකාරයට. ඒ අවාසනාවන්ත ඉරණමට අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය මුහුණ දුන් බව අපි දන්නවා.

එවැනි තත්වයකට අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය ඇද වැටී තිබියදී තමයි, කෙසෙල් තන්තු යොදා ගෙන මෙරටදී රෙදිපිළි නිෂ්පාදනය කිරීම ඇරඹෙන බවට සුබාරංචියක් ලැබෙන්නේ. අද කාබනික පොහොර යොදාගෙන වගා කෙරෙන ආහාර වර්ගවලට ලෝකයේ විශාල ඉල්ලුමක් ඇති වෙමින් තිබෙනවා. එසේම කාබනික ද්‍රව්‍ය යොදාගෙන නිපදවන ඇඳුම් පැළඳුම් සඳහා ද ලෝක ප්‍රජාවගේ උනන්දුවක් ඇති වී තිබෙනවා. කපු පුළුන් ආශ්‍රිතව නිපදවෙන රෙදිපිළි සඳහා ඉල්ලුම වැඩි වෙමින් තිබියදී තමයි අපට අපේ රටෙන් ඇසෙන්නේ ‘කෙසෙල් තන්තුවෙන් ද රෙදිපිළි නිපදවිය හැකියි’ කියා. එවැනි නිපැයුමක උරුමය අප රටට හිමිවීම ඉමහත් සතුටට කාරණයක්. මෙම රෙදිපිළි නිෂ්පාදන, ලෝකය පුරා ඒ පිළිබඳ ඉල්ලුමක් ඇති රටවලට රැගෙන යාම අපේ ඉලක්කය විය යුතුයි. මේ නව නිපැයුම හඳුන්වා දීමට කැප වුණු ශ්‍රී ලංකා පේෂකර්මාන්ත හා ඇඟලුම් ආයතනයේ ප්‍රධානීන් හා මොරටුව විශ්වවිද්‍යාලයේ වියතුන්ටත් මාගේ ප්‍රණාමය පුදකර සිටිනවා.

‘කාබනික මූලාශ්‍ර සහිත රෙදිපිළි කර්මාන්තය’

දැනටමත් ලෝකයේ කාබනික මූලාශ්‍ර යොදාගෙන නිපදවන ඇඳුම් ප්‍රමාණය ලොව නිපදවන සමස්ත ඇඳුම් ප්‍රමාණයෙන් 1% ක වෙළඳපොළක් අත්කර ගෙන තිබෙනවා. 2017 වසර තුළ එම කාබනික මූලාශ්‍ර යොදාගෙන නිපද වූ ඇඳුම් සඳහා තිබෙන ඉල්ලුම 10% කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඉතා පැහැදිලියි, ලෝකයේ අනාගත පාරිභෝගිකයා කාබනික පදනමක් සහිත ආහාර මෙන්ම ඇඳුම් පැළඳුම්වලට ද නැඹුරු වන බව. ඒ නිසා අපි මෙම කෙසෙල් තන්තු රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන සමාජගත කිරීම සඳහා අමාත්‍යාංශය ලෙස කළ හැකි සියල්ල කිරීමට සූදානම්.

‘මම මාධ්‍යකරණයේ නිරතව සිටියානම්…’

මෙම කෙසෙල් කෙඳි රෙදිපිළි හා ඇඟලුම් එළිදැක්වීම සමඟ ළදරු ඇඳුම් සඳහා වන සෞඛ්‍යාරක්‍ෂිතතා සහතිකය එළිදැක්වීම එකම දිනයක සිදු කිරීම යෝග්‍යයැයි මා සිතන්නේ නැහැ. ඊට හේතුව තමයි මෙරට මාධ්‍ය භාවිතය. අද රාත්‍රී 6.55 ප්‍රවෘත්ති විකාශය, මා මාධ්‍යකරණයේ නිරතව සිටියා නම් සකස් වන්නේ ප්‍රධාන ශීර්ෂ පාඨ දෙකක් සහිතවයි. ප්‍රධානතම ශීර්ෂ පාඨය ‘ශ්‍රී ලංකාවේ කෙසෙල් තන්තු ආශ්‍රයෙන් රෙදිපිළි නිපදවීමේ ව්‍යාපෘතියක් ඇරඹෙයි’ යන්නයි, දෙවැන්න ‘ළදරු ඇඳුම් සඳහා ප්‍රමිති සහතිකයක් නිකුත් කරයි’ යන්නයි. නමුත් අවාසනාවකට අද විනාඩි 10 ක්ම වැය වන්නේ රාජිත සේනාරත්න රෝහලේදී අත්අඩංගුවට ගැනීමට, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ අද රැස්වීමට සහ රාජිත බැලීමට රෝහලට යන පිරිසේ ‘වොයිස් කට්’ ආදියටයි. වෙළඳ දැන්වීම් හා ඉතිරි ‘වොයිස් කට්’ වලින් පසුව වෙලාවක් ඉතිරි වුවහොත් ‘ශ්‍රී ලංකාව කෙසෙල් තන්තුවෙන් රෙදිපිළි නිපදවීම අරඹයි’ යන ප්‍රවෘත්තියත් විකාශය විය හැකිය. නමුත් ‘ළදරු ඇඳුම් සඳහා ප්‍රමිති සහතිකයක් නිකුත් කිරීම’ යන්න කිසිසේත්ම ප්‍රවෘත්තියක් බවට පත් වන්නේ නැහැ. මෙවැනි වැදගත් ප්‍රවෘත්තියක් කැපී යන්නේ දරුවන් සිටින අම්මලා, තාත්තලා පිරිසක් අතින් වීම කනගාටුවට කරුණක්. අපේ රටේ තිබෙන්නේ සෘණාත්මක ප්‍රවෘත්තිවලට ඉල්ලුමක්. එම ඉල්ලුම හදලා තියෙන්නේ මෙරට ජනමාධ්‍ය විසින්මයි. අද ගෙදර සාලයේ වාඩි වී සිටින්නේ සෘණාත්මක ප්‍රවෘත්තියක් බලාපොරොත්තු වන්නෙක්. ඒ නිසා මෙවැනි ධනාත්මක ප්‍රවෘත්ති කැපී යාමේ ඉඩක් පවතිනවා.

ආර්ථික පෙරළියකට පාර කපමු

අද ලෝකයේ කාබනික මූලාශ්‍ර සහිත රෙදිපිළි නිපදවීමේ ප්‍රමුඛයකු බවට චීනය පත්ව සිටිනවා. උගන්ඩාව, ටැන්සානියාව, පිලිපීනය යන රටවල් ද ඒ අතර වෙනවා. ඒ රටවල ද දේශගුණය අපේ රටට සමානයි. අපේ රටේ කෙසෙල් ගස තරම් බහුලව වැවෙන ගසක් නොමැති තරම්. ඒ නිසා මෙම කෙසෙල් තන්තු රෙදිපිළි නිෂ්පාදනය අපේ රටේ ආර්ථිකයේ නව පෙරළියකට පාර කපයි. මෙම කාබනික අමුද්‍රව්‍ය සහිත රෙදිපිළි ලෝක වෙළඳපොළට යැවීම අපේ ඉලක්කය විය යුතුයි. ස්විට්සර්ලන්තය, ප්‍රංශය, බෙල්ජියම ආදී රටවල මේ නිමි ඇඳුම් සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. අපි එම ඉල්ලුම සැපිරීමේ සටනකට මුලපිරිය යුතුයි.

‘ළමා ඇඳුමට ප්‍රමිති සහතිකයක්!’

ළමා ඇඳුම ළමයින්ගේ සෞඛ්‍යාරක්‍ෂාවට තර්ජනයක් නොවන බවට ප්‍රමිති සහතිකයක් නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ද අද (27) සිට ශ්‍රී ලංකා පේෂකර්මාන්ත හා ඇඟලුම් ආයතනය (SLITA) විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. නමුත් අද අප ජීවත් වන්නේ අපේ දරුවන්ට පොවන ආනයනික කිරිපිටි, සෞඛ්‍යයට අහිතකර බවට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සිය පර්යේෂණ මගින් හෙළිකර වාර්තාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති රටක. ඒ වාර්තාවෙහි ඇති කරුණු අපි පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා. ඒ කිසිවක් මේ රටේ මාධ්‍ය මගින් විකාශය කිරීම හෝ පළ කිරීම සිදු වූයේ නැහැ. අදත් මේ කියන කරුණ විකාශය වන්නේ නැහැ. ඒ ඔවුන්ට ඒ ආනයනික කිරිපිටි සමාගම් විසින් ලබා දෙන වෙළඳ දැන්වීම් අහිමි වන නිසයි. එම වාර්තාවෙන් පෙන්වා දී තිබුණා එම කිරිපිටිවල, ඌරුතෙල් මේදය ලෙස ඇතුළත් කර ඇති බව. ඒ වගේම අද අපි ඉන්නේ ‘මැස්සෝ වහන්නේ නැති කරවල සහ කූඹි වහන්නේ නැති සීනි’ ඇති රටක. අපි ඉන්නේ වසවිස සහිත ආහාර පරිභෝජන කෙරෙන, එය නැවැත්වීමට ක්‍රියාත්මක විය යුතු රාජ්‍ය ආයතනය කුමන හේතුවකට හෝ ක්‍රියාක්මක නොවන රටක. ඒ නිසා ‘දෙයියනේ’ කියලා අපේ දරුවන්ට ප්‍රමිතිය සහිත ඇඳුමක්වත් ඇඳීමට අවස්ථාවක් ලැබෙනවා නම් එය ඉතා වටිනවා. ඒත් ප්‍රමිතියක් හඳුන්වා දීම ප්‍රමාණවත් නැහැ. එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමයි වැදගත්. අද ආහාර සඳහා ප්‍රමිතීන් පැවතියත් ඒවා එලෙසම ක්‍රියාත්මක කරනවාදැයි ඕනෑ තරම් සැකසංකා තිබෙනවා. ඒ නිසා අපි ප්‍රමිතියක් හඳුන්වාදීම ප්‍රමාණවත් නැහැ. එයට නිෂ්පාදකයා අනුගත කර ගැනීමයි වැදගත් වන්නේ.

‘පාසල් නිල ඇඳුම් රෙද්දටත් ප්‍රමිතියක්’

පසුගිය ආණ්ඩුව පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර ලබා දුන්නත් ඊට පෙර ආණ්ඩුවෙන් පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීමේදී ඒවායේ ප්‍රමිතිය පිළිබඳව ‘ස්ලිටා’ ආයතනය විසින් සොයා බැලුවා. මා ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා සමගත් සාකච්ජා කොට ‘ස්ලිටා’ ආයතනයේ ප්‍රමිති සහතිකයක් ලබා ගත් රෙදි පමණක් පාසල් නිල ඇඳුම් රෙදි ලෙස පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැබෙන සේ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා. (අත්පොළසන්)

‘නවෝත්පාදන සඳහා දිරි දෙමු!’

කෙසෙල් තන්තුවෙන් සිදු කළ නව නිපැයුම වැනි නවෝත්පාදන සඳහා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් ඇතුළු නව ආණ්ඩුවේ ආශිර්වාදය හා දිරිදීම නිරන්තරයෙන් සිදු වෙනවා. අද ‘ඩිජිටල් නූලක්’ නිර්මාණය කළ තරුණයකු පිළිබඳව ද අපේ රටෙන් ඇසෙනවා. එවැනි තරුණ පිරිස්වලට අප වැඩියෙන් අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුයි. එවැනි ‘මේ රටට සුබවාදී අනාගතයක් නිර්මාණය කළ හැකි ප්‍රවෘත්තිවලට’ වැඩි අවධානයක් යොමු කරන ලෙස ද මාධ්‍ය සහෘදයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

++++++++++++++++++++++++

කෙසෙල් කෙදි මගින් නිපදවූ රෙදිපිළි සහ ඇගළුම් එළිදැක්වීම

කෙසෙල් කෙදි මගින් නිපදවූ රෙදිපිළි – ඇගළුම් එළිදැක්වීම සහ ළදරු ඇදුම් සදහා සෞඛ්‍යාරක්ෂිතතා සහතිකය එළි දැක්වීමේ උත්සවයේ විශේෂ අවස්ථා.

Posted by Wimal weerawansa on Friday, December 27, 2019

*****************************************

SMS පණිවිඩ ගැන දැඩි අවධානයෙන් ඉන්න.. ජාවාරමක් ක‍්‍රියාත්මකයි…

(29.12.2019 – 08:02 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

= මේ දිනවල ලැබෙන SMS පණිවිඩ ගැන අවධානයෙන් පසුවන්න =

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට මේ දිනවල විදේශ රටවල දුරකථන අංක වලින් මග හැරුණු ඇමතුම් නොහොත් (Missed call) ඉතා විශාල වශයෙන් ලැබීමේ ලැබීමේ ප්‍රවනතාවයක් පවතින අතර ඒ සමගම නාදුනන ශ්‍රී ලාංකික දුරකථන අංක වලින් විවිධ වර්ගයේ SMS කෙටි පණිවිඩ ශ්‍රී ලාංකික ජනතාවට ලැබීමේ ප්‍රවනතාවයක්ද හටගෙන ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ලද පැමිණිලි වලින් හෙළිදරව් වී ඇත.

ශ්‍රී ලාංකික ජංගම දුරකතන පරිශීලකයන් යම් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කල බවත් එම ත්‍යාගය ලබාගැනීමට යම් මුදලක් ගෙවය යුතු බවත් සදහන් කරමින් ලැබෙන මෙම SMS පණිවිඩ වලට ඔබගේ පෞද්ගලික විස්තර ලබානොදෙන ලෙස සහ ඔවුන් විසින් සපයනු ලබන බැංකු ගිණුම් අංක වලට හෝ bitcoin wallet වෙත ඔවුන් ඉල්ලා සිටින මුදල් ලබාදීමට යාමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙමු.

තවද මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අප සංගමය දැනුවත් කිරීමට කටයුතු කරනා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

*****************************************

අගරදගුරුතුමනි හොර ලොගුව ඇදගත් පිරිස් බරට වැඩ. මෙන්න බලන්න – පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි

27-12-2019

++++++++++++++++++++++++

19-12-2019

++++++++++++++++++++++++

28-12-2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Don’t ever allow MCC into our country. It is the beginning of the destruction of our country, so don’t let them take a foot hold. Always remember what happened in 1505 with the portuguese. Our country was fragmented and the foreigners played one party against the other, and they ruled making our people their slaves. So do you want 1505 to be repeated, as if Iraq or Afghanistan or Syria all over again in Sri Lanka. Those who advocate MCC are traitors and only concerned about making themselves dollar millionaires with foreign bank accounts. get rid of them too. Sinhala people will be disowned of their own country if MCC is allowed in.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *