මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයි – ගිහාන් පිලපිටිය ගැනත් නිර්දේශ – පද්මිණී රණවක ඇතුළු තිදෙනාගෙන්ම ප්‍රකාශ ගන්නැයි නීතිපතිගෙන් පොලීසියට නියෝග

(16.01.2020 – 18:11 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනාත්මක දුරකථන සංවාද හේතුවෙන් බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසනවා.

එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111/02 /බී වගන්තිය යටතේ ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් ද අවශ්‍ය නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

එම වගන්ති අනුව මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීමේදී මෙන්ම ඉවත් කිරීමේදී ද, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි.

මේ අතර, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබෙනවා.

අද (16) දිනයේදී මෙම දැනුම්දීම සිදුකළ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.

අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, විනිසුරුවරුන් කිහිපදෙනෙකු හා පැවැත්වූ හඬ පට කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීමෙන් අනතුරුව ජනමාධ්‍ය නාලිකා ඔස්සේ ද එය විකාශය කරනු ලැබුවා.

ඒ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි එන්.රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය හා පැවැත්වූ හඬ පට කිහිපයක් ඇතුළත්. ඊට අමතරව, හිටපු කඩුවෙල මහේස්ත්‍රාත් මෙන්ම, වත්මන් බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල අතර පැවැත්වූ වීඩියෝ පටයක් ද ඇතුළත් වනවා.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විනිසුරුවරුන් හා පැවැත්වූ මෙම සංවාද සම්බන්ධයෙන් අදාළ විනිසුරුවරුන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට අද දැනුම්දී ඇත්තේ.

මේ අතර, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සතුව තිබූ දුරකථන සංවාද ඇතුළත් හඬ පට විශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරුන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් පත් කර ඇති අතර, මේ වනවිටත් ඊට අදාළ විමර්ශන කටයුතු සිදුකරන බවයි කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය සහ උපදෙස් මත මෙම විමර්ශන කටයුතු සිදුකෙරෙනු ඇති.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මේ වනවිට මැගසින් බන්ධනාගාරයේ සී – වාට්ටුවේ රඳවා සිටිනවා.

බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ රක්ෂිත බන්ධනාගාර ගත කරන සැකකරුවන් රඳවා තබන සාමාන්‍ය වාට්ටුවක මන්ත්‍රීවරයා රඳවා තබා ඇති බවයි.

මේ අතර, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුවදුක් බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ අද බන්ධනාගාරයට පැමිණියා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

රංජන් සමඟ කතාකළ විනිසුරුවරුන්ට වෙන දේ

(16.01.2020 – 21:32 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ සිදුකළ මතභේදාත්මක සංවාදයක නිරත වූ බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩතහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ චෝදනාව යටතේම ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගත් බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදවල නිරත වූ විනිසුරුවරුන් තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත අද (16) උපදෙස් ලබාදුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගේ රාජකාරී කටයුතුවලට මැදිහත් වූ දුරකථන සංවාද ඇතුළත් හඬ පට පසුගිය සතියේ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කෙරුණි.

ඒ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක, කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය සහ බද්දේගම ධම්මික හේමපාල යන මහත්ම මහත්මීන්.

කෙසේවෙතත් අධිකරණ සේවා කොමිෂන් සභාව අද පස්වරුවේ තීරණය කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩතහනම් කිරීමටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග සිදුකළ මතභේදාත්මක සංවාදවලට අදාළව මෙම වැඩතහනම් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

එමෙන්ම අදාළ චෝදනාව යටතේම දැනට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරන කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මහාධිකරණ විනිසුරුවරයෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විනය බලධරයා වන්නේ ජනාධිපතිවරයායි.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයෙකු සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට කළ හැකි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (2) බී යටතේ ඔහු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශයක් ඉදිරිපත් කිරීම පමණයි.

මේ අතර රංජන් රාමනායක මහතා සමග දුරකථනයෙන් සංවාදවල නිරත වූ විනිසුරුවරුන් තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා අද කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබාදුන්නේය.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ ප්‍රමාදයකින් තොරව අදාළ ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් දී ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද ප්‍රකාශ කළේ, රංජන් රාමනායක මහතා විසින් කළ බලපෑම් සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා 2015 දී අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළත් නිසි විමර්ශනයක් සිදුවී නැති බවයි.

+++++++++++++++++++++

මන්ත්‍රී රංජන්ගේ නීතිඥවරිය ගැන පරීක්ෂණයක් කරන්නැයි නීතිපතිගෙන් CCD යට උපදෙස්

(16.01.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ මහේස්ත්‍රාත් නියෝගය විවේචනය කළ ඔහුගේ නීතිඥ ආශා කහවත්ත ගැන පරීක්ෂණයක් කරන්නැයි නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබාදී තිබෙනවා ෴

+++++++++++++++++++++

රන්ජන් අත්අඩංගුවට ගත්තේ නීතියෙන් වැරදිකරු හදුනා ගත්තට පස්සෙයි

(16.01.2020 – 12:49 +0530 – hirunews.lk/sinhala)

නීතියට ගරු කර, වැරදිකරුවන් කවුරුන්ද යන්න හඳුනාගැනීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගත් බව සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ :

“දිගින් දිගටම රන්ජන් රාමනායක අත්අඩංගුවට ගන්න ඕන කියලා අපි කිව්වා. නීතිවිරෝධී ගිනි අවියක් භාවිත කිරීම, අධිකරණයට බලපෑම් කිරීම, නිවැරදි කරුවන්, වරදකරුවන් කිරීම යන බරපතල චෝදනා රන්ජන් රාමනායකට ගොනුවෙලා තිබෙනවා.”

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ සී වාට්ටුවේ රඳවා සිටිනවා.

රක්ෂිත බන්ධනාගාර ගතවන සැකකරුවන් රඳවා තැබෙන සාමාන්‍ය වාට්ටුවක් වන මෙහිදී මන්ත්‍රිවරයාට ආරක්ෂාවක්ද සපයා ඇති බවයි බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ මස 29 වනදා දක්වා ඊයේ (15) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මන්ත්‍රීවරයාව කටහඬ පරීක්ෂාවක් සඳහා ලබන 23 වනදා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කළා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නිවසේ තිබී සොයාගත් දෘඩ තැටි, සංයුක්ත තැටි, බලපත්‍ර රහිත ගිනි අවිය සහ ජීව පතොරොම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවනවා ෴

+++++++++++++++++++++

රන්ජන්ගේ හඬපට සහ අවිය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා කඩිනමින් අධිකරණයට

(16.01.2020 – 08:04 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නිවසේ තිබී සොයාගත් දෘඩ තැටි, සංයුක්ත තැටි, බලපත්‍ර රහිත ගිනි අවිය සහ ජීව පතොරොම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඊට අදාළ පරීක්ෂණ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවයි.

මෙම දෘඩ තැටි, සංයුක්ත තැටි, ගිනි අවිය සහ ජීව පතොරොම් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පසුගිය 9 වන දා භාර දී තිබුණා.

රන්ජන් රාමනායක සතුව තිබී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාර දුන් හඬ පට එහි පරිඝනක අපරාධ අංශය මගින් ද බලපත්‍ර රහිත ගිනි අවිය සහ ජීව උණ්ඩ සම්බන්ධයෙන් ගිනි අවි අංශය මගින් ද විමර්ශණය කරනු ලබනවා.

හඬ පට අදාළ පුද්ගලයින්ට සම්බන්ධ නිවැරදි ඒවා ද යන්න තහවුරු කර ගැනීම සඳහා සහ බලපත්‍ර රහිත ගිනි අවිය අපරාධවලට යොදාගෙන ඇත්ද යන්න මෙහිදී විමර්ශනය කෙරෙන බවයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා සඳහන් කළේ.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මාදිවෙල පිහිටි නිවසේ තිබී සොයාගත් හඬ පට සහිත දෘඪ තැටි 9 ක්, ඩී.වී.ඩී. තැටි 162 ක්, ලැප්ටොප් පරිඝනක යන්ත්‍රයක්, බලපත්‍ර රහිත ගිනි අවිය මෙන්ම පතොරොම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල පසුගිය 8 වන දා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කරනු ලැබුවා.

මේ අතර අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ මස 29 වනදා දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කළේ මන්ත්‍රීවරයා කටහඬ පරීක්ෂාවක් සඳහා ලබන 23 වනදා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසටයි ෴

+++++++++++++++++++++

15-01-2020

+++++++++++++++++++++

16-01-2020

+++++++++++++++++++++

දුමින්ද සිල්වාට මරණ දඬුවම දෙන්නැයි හිටපු අගවිනිසුරුට හිටපු ඇමැතිවරු දෙදෙනෙක් තර්ජන කරලා…

(16.01.2020 – colombotoday.com)

දුමින්ද සිල්වා ඇතුළු පිරිසට මරණ දඬුවම හිමිකර දුන් මහාධිකරණ තීන්දුවට එරෙහිව සිදුකරන ලද අභියාචනයේ තීන්දුව සම්බන්ධයෙන් අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් වෙත අමාත්‍යවරු දෙදෙනකු විසින් සිදු කරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් වාර්තා වී තිබේ.

පැවති රජයේ ඉහළ බලධාරියෙකු විසින් අමාත්‍යවරුන් තිදෙනකු වෙත මෙසේ අගවිනිසුරුවරයා හමුවී අවසන් තීන්දුව ඒකමතිකව ලබාගැනීම සඳහා බල කරන ලෙස පවසා තිබේ.

ඒ සඳහා එක් විනිසුරුවරයෙකු එකඟ නොවීම නිසා, අමාත්‍යවරු දෙදෙනකු විසින් අගවිනිසුරුවරයා වෙත මෙම බලපෑම සිදුකර ඇති බව පැවසේ.

දුමින්ද සිල්වාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තහවුරු කරන ලද්දේ 2018 වසරේ ඔක්තෝබර් 11 වෙනිදාය.

පසුදා (ඔක්තෝබර් 12) අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් සිය පදවියෙන් විශ‍්‍රාම ලබා ගත්තේය. කෙසේ වෙතත් සිය තීන්දුවෙන් මරණ දඬුවම නියමව සිටි එක් විත්තිකරුවෙකු වන පොලිස් නිලධාරී අනුර තුෂාර ද මෙල් නිදොස් කොට නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

යහපාලන රජය බලයට පත්වී දින කිහිපයක් ඇතුළත එවකට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා වෙත සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස එම ආණ්ඩුවේ කණ්ඩායමක් තර්ජනය කර තිබුණි.

– divaina

+++++++++++++++++++++

මන්ත්‍රී රංජන් සිරකුටියේ නිසොල්මනේ

(16.01.2020 – 19:34 +0530 – lankadeepa.lk)

රිමාන්ඩ් බාරයට පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ (15) රාත්‍රියේ ආහාරපාන ගෙන නොමැති අතර, නිදාගැනීමට කොට්ට මෙට්ට පවා ඉල්ලා නොතිබූ බවද, එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

අද (16) වනවිටත් ඔහු සාමාන්‍ය සැකකරුවකු ලෙස සිය සිරකුටියට වී නිසෝල්මනේ සිටිනු දක්නට ලැබුණු බවද, සෙසු සැකකරුවන් ව්‍යායාම් සඳහා පැය භාගයකට සිරකුටිවලින් පිටතට ගන්නා අවස්ථාවේදී පවා පිටතට නොපැමිණි බවද දැනගන්නට තිබේ.

ඊයේ (15) රාත්‍රියේ ආහාරපාන කිසිවක් නොමැතිව නිරාහාරව සිටි බව කියන මන්ත්‍රීවරයා අද (16) පෙරවරුවේ ක්‍රීම්කැකර් බිස්කට් පැකැට්ටුවක් ගෙන්වා ගත් බවද පැවසේ.

මේ වනවිට සැකකාර මන්ත්‍රීවරයාට පැදුරක් පමණක් නිකුත් කර ඇතැයිද වාර්තා වේ.

මන්ත්‍රීවරයා සිටින සිරකුටිය දෙසට නිලධාරීන් කිසිවෙකුත් යාමට බියක් දක්වන බවද, ඒ සමඟ ම තහනම් නියෝගය බලපා ඇති බවද (?) පැවසේ ෴

+++++++++++++++++++++

රංජන් පාර්ලිමේන්තු සභාවාරයට ඉදිරිපත් කරන්නැයි දන්වයි

(16.01.2020 – 19:23 +0530 – lankadeepa.lk)

රිමාන්ඩ් බාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනවාරි 21 වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අද (16) දැනුම් දී ඇතැයි එම මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි.

මන්ත්‍රීවරයකු සතු වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මෙම දැනුම්දීම කර ඇතැයිද පැවසේ.

ඒ අනුව, ජනවාරි 21 වනදා සැකකාර මන්ත්‍රීවරයා රැගෙන යාම සඳහා අවශ්‍ය ආරක්ෂණ කටයුතු සලසන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් මැගසින් බන්ධනාගාර අධිකාරීවරයාට උපදෙස් දී ඇතැයිද දැනගන්නට ලැබී තිබේ.

සැකකාර මන්ත්‍රීවරයා මේ මාසයේ 29 වැනි දින දක්වා බන්ධනගාර ගතකර සිටී ෴

+++++++++++++++++++++

බන්ධනාගාරයේදී රන්ජන් වෙනස් වෙයි

(16.01.2020 – nethnews.lk)

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් විමසීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද මන්ත්‍රීවරයා රදවා සිටින කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණියා. හරීන් ප්‍රනාන්දු, පාලිත තෙවරප්පෙරුම, හේෂා විතානගේ සහ අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එලෙස පැමිණි කිහිප දෙනෙක්.

කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් පිටව යන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

මේ අතර මහනුවරදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමබන්ධයෙන් මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

+++++++++++++++++++++

රංජන්ගේ ආන්දෝලනාත්මක හඬපට ගැන අදත් විවිධ අදහස්

(16.01.2020 – 20:19 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදත් අදහස් පළ කළා.

+++++++++++++++++++++

තට්ට ගොන්ජා අධිකරණය හමුවට

(17.01.2020 – 11:24 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්)

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටින පර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද (17) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මීට සුළු වේලාවකට පෙර මන්ත්‍රීවරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ බව ‘අද දෙරණ’ වාර්තාකරු පවසයි.

බොරු කොණ්ඩය නැතුව …
17-01-2020
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *