විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

(24.01.2020 – 15:43 +0530 – sinhala.adaderana.lk)

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිකුත් කරන ලද නොතීසියක් අනුව අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයෙකු වන මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියම කළේය.

බන්ධනාගාරය මඟින් මෙම තැනැත්තා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසද මෙහිදී විනිසුරුවරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කරනු ලැබීය.

මෙම පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිඥවරයෙකු බව කියා ගන්නා අජිත් ප්‍රසන්න නමැත්තා ඉකුත් 12 වන දා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව තුළින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා දැඩි ලෙස විවේචන කරමින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කර සිටියේය.

අලි පැටවකු බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට එරෙහිව පවරා තිබෙන නඩුවක් බලෙන් තමන් හමුවට ලබාගෙන දේශපාලන අවශ්‍යතාවක් මත එය විභාග කිරීමේ ක්‍රියාදාමයේ විනිසුරු ගිහාන් කුලතුංග මහතා යෙදී ඇති බව අජිත් ප්‍රසන්න නමැත්තා විසින් එකී මාධ්‍ය සාකච්ඡාවේදී චෝදනා එල්ල කර ඇති බව ද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා පැවසුවේය.

අධිකරණ පද්ධතියේ යම් දෝෂයක් තිබේ නම් ඒ පිළිබඳව නිසි නීතිමය පටිපාටිය අනුගමනය කරමින් අදාළ අංශ වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා එසේ නොකොට මේ ආකාරයෙන් මාධ්‍ය ඔස්සේ පදනම් විරහිත චෝදනා විනිසුරුවරුන්ට එල්ල කිරීම තුළින් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය කඩා වැටෙන බව සඳහන් කළේය.

අජිත් ප්‍රසන්න නැමැති මෙම පුද්ගලයාට මෙම වරද දිගින් දිගටම සිදු කිරීමට ඉඩ දීමට හැකියාවක් නොමැති බව මෙහිදී රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේය.

යහපත් මානසික සෞඛ්‍ය මට්ටමකින් පවතින පුද්ගලයකුට මේ ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා මෙම පුද්ගලයාගේ මානසික මට්ටම අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥ වෙත යොමු කර පරික්ෂා කිරීම වැදගත් බව ද පෙන්වා දුන්නේය.

මහාධිකරණ විනිසුරුවරයෙකුට අපහාස කිරීම පිළිබඳව අධිකරණ සංවිධාන පනතේ 18 වන වගන්තිය යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කෙරෙන බවත් ඉන් වැරදිකරු වන පුද්ගලයෙකුට වසර 5 ක් දක්වා බරපතළ හෝ ලිහිල් සිරදඬුවම් නියම කිරීමට මහාධිකරණයට බලය පවතින බවද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙම පුද්ගලයා ඇපමත මුදා හරිනු ලැබූවොත් ඔහු නැවත නැවතත් මෙම බරපතළ වරද සිදු කරනු ඇති බව පෙන්වාදුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා ඔහු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසත් ඔහු අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥයෙකු වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ අජිත් ප්‍රසන්න මහතා සඳහන් කර සිටියේ තමා ගිහාන් කුලතුංග මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එය විභාග වෙමින් පවතින බවත්ය.

ඊට අමතරව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තමා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව නීතිඥ අජිත් ප්‍රසන්න ප්‍රකාශ කලා.

තමන්ව මානසික වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතු බවට රජයේ නීතිඥවරයා විසින් කරන ලද ඉල්ලීමට තමන් විරුද්ධ නොවන බව පෙන්වා දුන් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා රජයේ වියදමින් මානසික වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීමට තමන් සූදානම් බවද අධිකරණය හමුවේ පැවසුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඇප පනතේ විධි විධානයන්ට අනුව මෙම අවස්ථාවේදී මෙම පුද්ගලයාට ඇප මත මුදාහරිනු ලැබුවොත් එතුළින් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි බව පෙන්වා දුන්නා.

එමෙන්ම නඩු විභාගයක් සිදු කරමින් සිටින විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ කටයුතු විවේචනය කිරීම තුළින් ඔහු පවතින නඩු කටයුත්තකට ද බලපෑමක් සිදු කර ඇති බව පෙන්වා දුන් විනිසුරු ධම්මික ගනේපොල මහතා ඒ අනුව පනතේ විධි විධානයන්ට අනුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් නියම කලා.

එමෙන්ම මෙම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසද මහාධිකරණ විනිසුරුවරයා විසින් රහස් පොලිසියට නියෝග කරන ලදී.

අනතුරුව නඩු විභාගය ලබන 7 වනදාට කල් තැබීමට නියම කළේය ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කිරීමට නීතිඥයන්ට තහනම්ද?

(25.01.2020 – mawbima.lk)

“අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. ඒක තමයි ඇත්ත. අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කළා මම ගිහාන් කුලතුංග මහත්තයට විරුද්ධව. ඉතින් කට්ටිය එකතු කරලා මාව රක්‍ෂිත බන්ධනාගාර ගත කළා. මම අහනවා මේ රටේ අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කිරීම නීතිඥවරුන්ට තහනම්ද කියලා. නීතිපතිතුමාට තමයි ඕනකම තිබුණේ මාව ඇතුළට දාන්න. ජනක බණ්ඩාර සහ දිලීප පීරිස් කියන දෙන්නට විරුද්ධව මම කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් අද ඔවුන් දෙන්නම ඇවිල්ලා කරුණු ඉදිරිපත් කළා” යනුවෙන් මේජර් අජිත් ප්‍රසන්න මහතා අලුත්කඩේ උසාවි භූමියේදී මාධ්‍යයට ප්‍රකාශ කළේය ෴

+++++++++++++++++++++

පැමිණිලිකරුවොයි වැරදිකාරයෝ – විත්තිකාරයෝ නිදහස් ! (ෆ්‍රෙඩී සිල්වා)

***************************************

ඇවන්ගාඩ් අල්ලස් නඩුව කල් යයි

(24.01.2020 – 15:59 +0530 – sinhala.adaderana.lk)

විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමේදී එම කොමිසමේ කොමසාරිස්වරු විසින් ඊට අදාළ අනුමැතියක් ලබා දී තිබේද යන්න පිළිබඳව ලිඛිත දේශනා පෙබරවාරි මස 06 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ නියම කර ඇත.

රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම හා ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමේදී එම කොමිසමේ කොමසාරිස්වරු විසින් ඊට අදාළ අනුමැතියක් ලබා දී තිබේද යන්න පිළිබඳව ලිඛිත දේශනා පෙබරවාරි මස 06 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ නියම කර ඇත.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියෙහි කැඳවනු ලැබුවේය.

විත්තියේ නීතිඥවරු මීට පෙර නඩු දිනයේ අධිකරණයේ ඉල්ලීමක් කරමින් මෙම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් විසින් ලිඛිත අනුමැතියක් ලබා දී නොමැති නිසා මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට විත්තියේ නීතිඥවරු විසින් විරෝධතාවක් මතුකර තිබුණි.

මෙම මූලික විරෝධතාව අදාල ලිඛිත දේශනාද පැමිණිල්ල විසින් අධිකරණයට බාර දුන්නේය.

විත්තියේ ලිඛිත දේශන පෙබරවාරි මස 6 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස එහිදී මහාධිකරණ විනිසුරුවරිය විසින් විත්ති පාර්ශවයට නියම කළේය.

මෙම නඩුවේ විත්තිකරු ලෙස නම් කර සිටින විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස කටයුතු කරන අතර ආසියානු මලල ක්‍රීඩා සංගමයේ කටයුතු වලට සහභාගි වීමට අවශ්‍යව තිබෙන හෙයින් ඔහුට විදේශ ගත වීමට අවසර ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරිය මේ මස 28 වනදා සිට පෙබරවාරි මස 4 වන දා දක්වා කාලසීමාව තුළ විත්තිකාර පාලිත ප්‍රනාන්දු මහතාට විදේශගතවීම සඳහා අවසර ලබා දුන්නේය.

ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දුන් බවට චෝදනා කරමින් මෙම නඩුව තුළින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට චෝදනා එල්ල කර තිබේ.

එම ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම තුළින් විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ද වරදක් සිදු කර ඇතැයි මෙම නඩුවෙන් තවත් චෝදනාවක් එල්ල කර ඇත ෴

***************************************

මහේන්ද්‍රන් කල්ලිය වගේම කබ්රාල් කල්ලියත් අධිකරණය හමුවට ගේන්න ඕනේ – සුනිල් හඳුන්නෙත්ති

(24.01.2020 – 15:54 +0530 – sinhala.adaderana.lk)

අර්ජුන් මහේන්ද්‍රන් කල්ලිය මෙන්ම කබ්රාල් කල්ලියත්, ඔවුන්ට උපදෙස් දුන්නු දේශපාලන නායකයනුත් අධිකරණය හමුවට ගෙන ආ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අද (24) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා :

“ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි වරින් වර ඉදිරිපත් කළ දේශපාලන හරය තමයි මෙම වෝහාරික විගණන වාර්තාව මඟින් නැවතත් තහවුරුකොට තිබෙන්නේ.

අපේ රටේ දූෂිත වළල්ලක් ඉන්න බව අපි මුලසිටම කිව්වා. මෙම දූෂිත වළල්ල දේශපාලන ක්ෂේත්‍රයේත්, මූල්‍ය ක්ෂේත්‍රය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල දකින්නට ලැබෙනවා.

ඒ දූෂිත වළල්ලට යූ.එන්.පී. ද ශ්‍රී ලංකාද කියලා බේදයක් නැහැ. මේ දූෂිත වළල්ල මූල්‍ය වෙළෙඳ පොළේ ඉන්නේ එකට.

එක වෙලාවක යූ.එන්.පී. එකේ ඉන්නවා. තව වෙලාවක පොදුජන පෙරමුණේ ඉන්නවා. ඒ අයට විපක්ෂයේද ආණ්ඩු පක්ෂයේද කියලා වෙනසක් නැහැ. මුදල් තියෙන තැනින් මංකොල්ලකන එක තමයි ඒ අයගේ වැඬේ. අපි හෙළිදරව් කරන්නේ මේ දූෂිත වළල්ලයි.

වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ කෝප් කමිටුවේ නිර්දේශ නිසයි. මෙම වෝහාරික විගණන වාර්තාව කෝප් කමිටුවට එවන්නේ ඒ නිසයි.

දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තු සභා වාරය අවසන් කිරීමත් සමග කෝප් කමිටුව අහෝසි වීම නිසා, මෙය කෝප් කමිටුවට ඉදිරිපත් කරන්න බැරිවුණා. එනිසා තමයි අපි දිගින් දිගටම මෙම විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා බලපෑම් කළේ. නමුත් මෙම වාර්තාව කීපදෙනෙක් විසින් හෑල්ලුවට ලක්කරන්න කටයුතු කළා. 2006 සිට 2015 දක්වා මහ බැංකු අධිපති වූ අජිත් නිවාඞ් කබ්රාල් මහතා වෝහාරික විගණන වාර්තාව ගැන ලිපි ලිව්වා.

හොරාට කලින් කෙහෙල් කැණ වැට පනින බව අපි කිව්වේ ඒ නිසයි. දැන් මේ විගණන වාර්තාවට අනුව පේනවා අජිත් කබ්රාල් කලබල වුණේ ඇයි කියලා. ලබැඳියාවන් අතර ගැටලුව තිබුණේ අර්ජුන් මහේන්ද්‍රන්ලා අතර විතරක් නොවෙයි. අජිත් කබ්රාල් කල්ලිය අතරත් ඒ ලබැඳියාවන් තිබුණු බව මේ වාර්තාවෙන් පේනවා.

මෙම වෝහාරික විගණන වාර්තාවේ පවුල් ගහ පිළිබඳව පැහැදිලි කිරීමක් තිබෙනවා. 2006 සිට 2015 දක්වා අජිත් නිවාඞ් කබ්රාල් පවුල් කණ්ඩායමේ සහ 2015 සිට 2016 දක්වා අර්ජුන මහේන්ද්‍රන්ගේ පවුල් බැඳීම් සම්බන්ධයෙන් හෙළිදරව් කොට තිබෙනවා. අපේ මැදිහත්වීම නිසා මේ පවුල් ගහ කැඩී ගියා.

එසේ නොවූවා නම් මේ පවුල් ගහ 2015-2020, 2020-2025 මේ ආකාරයට දිගටම යන්න ඉඩ තිබුණා. මෙම වෝහාරික විගණනය සිදුකිරීමටඅපිට තාක්ෂණික හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසයි කෝප් සභාපතිවරයා ලෙස මම මහ බැංකුවට නිර්දේශයක් ලබාදුන්නේ මෙම බැඳුම්කර සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කරන්න කියලා.

ඒ මොහොතේ දී අජිත් නිවාඞ් කබ්රාල් පුවත්පත්වලට කිව්වා ඇයි මේ 2002 දක්වාම විගණනයක් කරන්නේ කියලා. නමුත් බැඳුම්කර සම්බන්ධයෙන් විගණනයක් කරනවා නම්, එය ආරම්භයේ සිටම පටන් ගන්න ඕනෑ. ඇයි ඒ විගණනයට විරුද්ධ වෙන්නේ. කබ්රාල් කලබල වුණේ ඇයි? මීට පෙර හිටපු අධිපතිවරු කලබල වෙලා නැහැ. වහන්න දෙයක් තිබෙන නිසයි කබ්රාල් කලබල වුණේ. ජනතාව ඒවා දැනගත යුතුයි.

අපි යෝජනා කරනවා, අපක්ෂපාතී විද්වත් මණ්ඩලයක් විසින් මෙම වෝහාරික විගණන වාර්තාව කියවන්න කියලා. එතකොට පැහැදිලි වෙයි අපේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් කොල්ලකෑවේ කවුරුන්ද කියලා. අපේ රටේ කම්කරුවන්ගේ අර්ථ සාධක අරමුදල් කොල්ලකෑවේ කොහොමද කියලා. ගමේ ගොවියන්ගේ, කම්කරුවන්ගේ, වතු කම්කරුවන්ගේ පඩි සල්ලි තමයි මේ මූල්‍ය වංචාකරුවන් විසින් කොල්ල කන්නේ. කම්කරුවන් ඉතා දුක් මහන්සි වී හම්බකරන සල්ලි මේ සුදු කරපටි අපරාධකාරීන් විසින් රුපියලක් වත් හම්බනොකර මංකොල්ල කනවා.”

***************************************

කොරෝනා වෛරසය වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පූර්ව ආරක්ෂක පියවර ගනී

(24.01.2020 – 15:11 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මාරාන්තික කොරෝනා වෛරසය මඟින් ඇති වන අවදානම අවම කිරීම සඳහා පූර්වාරක්ෂක පියවර මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

ගුවන් ගමන් අතරතුරදී මෙවන් තත්ත්වයක් වාර්තා වුවහොත් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ගුවන් කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇති බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දෙයි.

මේ අතර චීනයෙන් හදුනාගත් මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූ වුහෑන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මෙම දැනුවත් කිරීම් සිදුකර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති වුහෑන් නගරයේ පිහිටි විශ්වෙවිද්‍යාලයක ශ්‍රී ලාංකික සිසුන් 30කට ආසන්න පිරිසක් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින බව වාර්තා වෙයි ෴

***************************************

යහපාලන ආණ්ඩුව මහජන මුදල් කාබාසිනියා කරලා දැම්මා – රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

(24.01.2020 – 14:46 +0530 – sinhala.adaderana.lk)

මොරගහකන්ද කලුඟග ජලාශ ව්‍යාපෘතිය මේ වන විට අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව ඇති බව මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

පොලොන්නරුව ඇළහැර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා :

“මොරගහකන්ද කලුඟග ජලාශ දැවැන්ත ව්‍යාපෘතියක් වුවත් ජනතාවට වතුර දිහා බල බලා ඉන්නය සිදුවෙලා තියෙනවා. මේක කොහොමත් අනුමත කරන්න බෑ. මොරගහකන්ද සහ කළුඟග ව්‍යාපෘති අත් දෙකයි කකුල් දෙකයි නැති බබෙක් වගේ. වැඩකරන්න අතපය ඕනේ. ඒ ජලාශවල ජල කඳ තියනවා. ජලය බෙදන්න අතු ගංගා නෑ.

සිරිසේන මහතා පන්පෝරි ගහලා ජලාශයේ වේල්ල උඩට වෙලා ‘සතුටුයි’ කියලා මාධ්‍යට කිව්වාට ජනතාව අවුරුදු 07 කට වැඩිය දුක් විදිමින් ඉන්නවා.”

***************************************

වන අලි ගම්වැදීම හේතුවෙන් අසරණ වු ජීවිත

(24.01.2020 – 14:01 +0530 – sinhala.adaderana.lk)

වන අලි ගම්වැදීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳ ‘අද දෙරණ’ නිරන්තරයෙන් තොරතුරු වාර්තා කරයි.

ගල්ගමුවෙන් වාර්තවන මෙම පුවතත් එලෙසම පීඩවට පත්වූ ගම්වැසියන් පිරිසක් පිළිබඳවයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ගල්ගමුව මඩදොබේ ගම්මානයේ ජනතාව වසර ගණනාවක සිට වන අලින්ගෙන් පීඩාවට පත්ව සිටියි.

ගම්වාසීන් පවසන්නේ මඩදොබේ ගම්මානය අවට වන අලි 150 පමණ රංචුවක් සැරිසරන බවයි.

දින 03 කට පෙර වන අලි රංචුවක් ගම්මානයේ අස්වනු නෙළීමට ආසන්නව තිබූ කුඹුරු යායකට පැමිණ අලි වැට කඩා අක්කර දෙකක පමණ කොටසක් විනාශ කර දමා තිබුණේ මේ අයුරින්.

ගල්ගමුව බුල්නෑව අරන්‍යය සේනාසනයේ ආවාස ගෙය ද වන අලි බිඳ දමා තිබුණි.

ගම්වාසීන් පවසන්නේ මෑත කාලයේ වන අලි ගම්වැඳීම සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇති බවයි.

***************************************

හදිසි විදුලි මිලදී ගැනීමකට ලං.වී.ම. සැරසෙයි ?

(24.01.2020 – 13:59 +0530 – sinhala.adaderana.lk)

මේ වසරේ අප්‍රේල් මාසය වන විට විදුලි බල මණ්ඩලය හදිසි විදුලි මිලදී ගැනීමකට සැරසෙන බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එහි කැඳවුම්කරු රංජිත් විතානගේ මහතා මේ පිළිබඳව අදහස් පල කළේය.

ප්‍රධාන පුවත්වල විදුලිබල මණ්ඩලයේ පාඩුව ගැන සඳහන් වන බවත්, එනිසා ඉදිරියේ දි එන නියඟය සහිත කාලගුණ තත්ත්වය තුළ විදුලිය නිරන්තරයෙන් ලබා දිය නොහැකි බවත් සඳහන් කරන බව ඒ මහතා පැවසීය.

ඒ අනුව ඔක්තෝබර් මාසයේ සිට මෙහි අවශ්‍යතාව ගෙනැවිත් ජනවාරි වන විට එය උච්චතම අවස්ථාවට පත් කරන බවත් පැවසු ඒ මහතා, ‘ජනවාරිය වෙන විට විදුලි බිල්ලා මවනවා’ යනුවෙන් ද කියා සිටියේය.

විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය විසින් මෙම බිල්ලා මවන බව ද පැවසු ඒ මහතා, ඔවුන් හදිසි මිලදී ගැනීමක් කළ යුතු බව අඟවන බවද පැවසීය.

ඔවුන්ට ඒ බව මතක් වෙන්නේ පෑවිල්ලක් අත ළඟ එන විට බවද පැවසු ඒ මහතා 2015-2020 දක්වා මේ රටේ විදුලි බලාගාරයක් සෑදී නැති බවත් එසේ සිදුව ඇත්තේ විදුලි ඉංජිනේරුවන්ගේ වරදින් බවත් කියා සිටියේය.

විදුලි ඉංජිනේරුවරුන් පවසා සිටින්නේ මෙයට ඇති විකල්පය වන්නේ හදිසි විදුලි මිලදී ගැනීමක් බවත් පැවසු ඒ මහතා මෙම තත්ත්වය උදා කරේ ඔවුන් බවද පැවසීය.

***************************************

දුම්රිය දෙපාර්තමේන්තුවට අල්ලස් දෙන්න ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

(24.01.2020 – 13:19 +0530 – sinhala.adaderana.lk)

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව ස්ථිර දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරු විසින් සිදුකළ පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පැවසුවේ.

පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ඉඩම්වල සිදුකළ අනවසර සංවර්ධන කටයුතු හා ඉදිකිරීම් සදහා නීති මඟින් කටයුතු නොකර සිටීමට අවශ්‍ය කටයුතු සලසාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් රුපියල් 40,000 ක අල්ලස් මුදලක් ලබා දීමට උත්සාහ දරා ඇති බව සඳහන්.

එම මුදල ලබාදීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කඳුරුවෙලසහ තමන්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවයි අල්ලස් කොමිසම පැවසුවේ.

සැකකරුවන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

විහිළු සපයන්නන් පාර්ලිමේන්තුවට එපා – දුමින්ද දිසානායක

(24.01.2020 – 13:16 +0530 – sinhala.adaderana.lk)

දේශපාලනයට නොගැලපෙන පුද්ගල චරිත පාර්ලිමේන්තුවට තොරාපත්කර නොගැනීමට මහජනතාව කටයුතු කළයුතු බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මීට පෙරද අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුවට නුසුදුස්සන් පත්ව ආ බවයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවණයේදී සුදුසුකම් ඇති ජනතා නියෝජිතයින් ජනතාය විසින් තොරාපත්කර ගත යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ අතර මෙම අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසා සිටියේ තුනෙක් දෙකක් සහිත ආණ්ඩුවක් ඉදිරිප පාර්ලිමේන්තු මැතිවරණයේදී ගොඩනැගිය යුතු බවයි.

***************************************

ෆෝන් හොරෙක් – CCTV දර්ශන සහිතයි

(24.01.2020 – 10:55 +0530 – sinhala.adaderana.lk)

වේයන්ගොඩ නගරයේ පිහිටි දුරකථන අලෙවි සැලකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි තිබූ වටිනා ජංගම දුරකථනයක් සොරාගෙන ගොස් තිබේ.

දුරකථනයක් අළුත්වැඩියා කර ගැනීම සඳහා පසුගිය 22 දා අදාල පුද්ගලයා මෙම දුරකථන අලෙවිසැල වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

මෙම පුද්ගලයා වෙළඳසැලේ තිබූ ජංගම දුරකථනය රැගෙන යන ආකාරය වෙළඳසැලේ අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවකද සටහන්ව තිබුණි.

අදාළ සොරකම සිදු කළ පුද්ගලයා සොයා වේයන්ගොඩ පොලීසිය පරික්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

https://www.youtube.com/watch?v=enxdbSwYyrw#t=6

***************************************

ජිනීවා මෝටර් ප්‍රදර්ශනයට යාමට Vega නැව් නගී

(24.01.2020 – biz.adaderana.lk)

CodeGen International (පුද්) සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Vega Innovations විසින් මෙරට ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් නිෂ්පාදනය කරන ලද Vega EVX සුපිරි මෝටර් රථය එළඹෙන මාර්තු 05 – 15 දක්වා ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වෙන 90 වැනි ජිනීවා මෝටර් රථ උළෙලේ දී මුල් වරට ප්‍රදර්ශනය සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කර ඇත. ඒ අනුව පසුගිය ජනවාරි 19 වෙනි දින එය කොළඹ වරායෙන් නැව් නැගි අතර 2020 පෙබරවාරි අග දී සිය ගමනාන්තය කරා Vega EVX ලඟා වීමට නියමිතය.

මෙය ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ ද පළමු වරට නිර්මාණය කරන ලද පරිපූර්ණ ඉලෙක්ට්‍රික් සුපිරි මෝටර් රථය වේ.

මෙය මුළුමනින්ම ශ්‍රී ලංකාවේ නිපදවන ලද මෝටර් රථයක් ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශන උළෙලක දී කළඑළි බසින පළමු අවස්ථාවයි. එබැවින් Vega EVX යනු මෙරට ඉතිහාසයේ තවත් ඓතිහාසික මංසළකුණකි.

Vega EVX සුපිරි කාරය තත්පර 3.1 ක කාලයක දී පැයට කිලෝමීටර 0 සිට 100ක් දක්වා වේගයක් ලබා ගැනීමට සමත් වේ. ඉලෙක්ට්‍රික් කාරයක් වන මෙය එක් ආරෝපණයකින් කිලෝමීටර 270 ක දුරක් ධාවනය කිරීමට තරම් ප්‍රබල බැටරි ධාරිතාවයකින් සන්නද්ධය. දැනට මෙය පැයට කිලෝමීටර 260 ක උපරිම වේගයකින් ධාවනය කළ හැකිවේ.

CodeGen International (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා මෙම Vega EVX සුපිරි මෝටර් රථය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා Talk with CHATHURA වැඩසටහන සමඟ එක් වූ අතර එය පහතින් නැරඹිය හැකිය.

***************************************

ළමුන් 40,000 කට මෘදුකාංග ඉංජිනේරු උපාධියක්

(24.01.2020 – 09:30 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලය මඟින් පාසල්වල මහින්දෝදය විද්‍යාගාර කේන්ද්‍රකර ගනිමින් තොරතුරු තාක්ෂණය පිළිබඳව ඉංජිනේරු උපාධියක් හඳුන්වාදීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එම විශ්වවිද්‍යාලයේ පසුගියදා කළ නිරීක්ෂණ චාරිකාවකින් පසු අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල සුදුසුකම් ලබාගැනීමට නොහැකිවු සිසුන් 40,000 ක් සඳහා මෙම උපාධිය ලබා දීමට පියවර ගන්නා බවයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා :

“රටේ විශාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ විද්‍යාර්ථීන්ගේ ඉල්ලීමක් තිබුණ ත් විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි පාඨමාලාව මෙම වසරේ ආරම්භ නොකිරීම පිළිබඳ අපට පැමිණිලි, මැසිවිලි ආවා.

මෙහි සත්‍ය තත්ත්වය සොයා බලන්නට ත් විවෘත විශ්වවිද්‍යාලයේ පවතින තවත් ගැටලු පිළිබඳ සොයා බැලීමටත් නව උපාධි පාඨමාලා ආරම්භ කිරීම සහ විවෘත විශ්වවිද්‍යාලය සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීමට ඇති හැකියාව සොයා බැලීමටත් මමත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාත් පැමිණියා.

එහිදී අපි විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා සහ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළා. ඒ අනුව 2020 නීතිවේදී උපාධි පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම මාර්තු මස 01වෙනි දින සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කළා.

ඒ අනුව අයදුම්පත් නිසි පරිදි කැඳවා ඉදිරි කටයුතු කිරීම සඳහා මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි විශ්වාස කරනවා. ඒ අනුව මේ වර්ෂයේ මැද වන විට නව සිසුන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නට තීරණය කළා.

එමෙන් ම රට වටා තිබෙන මහින්දෝදය විද්‍යාගාර 1000 උපායෝගී කර ගනිමින් විවෘත විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ කරමින් ‘මෘදුකාංග ඉංජිනේරු උපාධිය Software Engineering’ හැදෑරීම සඳහා ළමුන් 40,000 ක් සඳහා අධ්‍යයන අවකාශ සලසා දීමට අපි කටයුතු කරනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සංකල්පය අනුව උසස් පෙළ සමත්වන සියලු ම සිසුන්ට විශ්වවිද්‍යාල උපාධියක් දක්වා අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව උදාකර දීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මේ මඟින් විශාල සහයෝගයක් ලැබෙනවා.”

ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සඳහා මේ වසරට අදාළව අයඳුම්පත් කැඳවීම මාර්තු මස පළමුවනදා සිට ආරම්භ කිරීමට ද තීරණය කර තිබේ ෴

***************************************

ලක්ෂයක් රැකියා සංකල්පය රටේ ලොකු පෙරළියක් ඇති කරයි – රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර

(24.01.2020 – 09:12 +0530 – sinhala.adaderana.lk)

මේ වනවිට ආණ්ඩුව ජනතාවට සහන රැසක් ලබා දෙමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙලක් ලෙස බදු කර ඇති බවයි.

එමෙන්ම ජනතාවගේ පොදු උවමනාවන්ට අවශ්‍යම දේ ලෙස සැලකෙන සේවාවන් ක්‍රියාකාරීව සංවිධානය කිරීමට ද ජනාධිපතිවරයා ක්‍රියාත්මක වී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම රැකියා විරහිත දූප්පත්ම පවුල් සඳහා යම් ආදායමක් ඇති රාජ්‍ය සේවකයෙක් බවට පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ආරම්භ කිරීමට යන ලක්ෂයක් රැකියා සංකල්පය මෙරට ලොකු පෙරළියක් ඇති කරනු ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

මේ සමඟ රටේ ආර්ථිකයට නව ගැම්මක් ඇතිව තිබෙන බවත් පැවසු ඒ මහතා, ප්‍රති අපනයනය නැවැත්වීම තුළ දේශීය නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇතැයි ද පැවසීය.

බදු අඩු කිරීම තුළින් ජනතාවට සහන ලැබී නැත්තේ එම ප්‍රතිලාභයන් පහළට ගලා නොයෑම නිසා බවද පැවසු නානායක්කාර මහතා, දේශීය ආදයම් බදු දෙපාර්තමේන්තුව හා පාරිභෝගික සේවා අධිකාරිය එකතු වී මේ ගැන සොයා බලන බවත්, අඩු කරන ලද සෑම භාණ්ඩයමක වාසිය පාරිභෝගීකයාට ඒ තුළින් ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

+++++++++++++++++++++

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චිට

(24.01.2020 – 17:47 +0530 – hirunews.lk/sinhala)

‘බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ’ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි මහතා පත්කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සංකල්පය යටතේයි බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය ස්ථානය කෙරුණේ.

තිරසාර සහ ප්‍රධාන උපාය මාර්ගයක් ලෙස අඩු ආදායම්ලාභී පවුල්වල අවම අධ්‍යාපන සුදුසුකම් සහිත සාමාජිකයන්ට විධිමත් වෘත්තීය පුහුණුවක් ලබාදීමෙන් පසු රජයේ ස්ථිර රැකියා ලබාදීම වැඩසටහනේ අරමුණයි.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් ලෙසට පත් කෙරුනු නන්ද මල්ලවආරච්චි මහතා වැඩබලන යුද හමුදාපතිවරයෙකු ලෙස 2007 වසරේ යුද හමුදාවෙන් විශ්‍රාම ගිය අතර ඉන්දුනීසියානු ජන රජයේ ශ්‍රී ලංකා තානාපති ලෙසට ද වසර 6 ක කාලයක් සේවය කර තිබෙනවා.

එමෙන්ම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ආරම්භක ලේකම්වරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසට ද නන්ද මල්ලවආරච්චි මහතා කටයුතු කර තිබෙනවා ෴

***************************************

නිදහස් දින පෙරහුරුව හේතුවෙන් කොළඹ 7 ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක්

(24.01.2020 – 17:29 +0530 – hirunews.lk/sinhala)

නිදහස් දින පෙරහුරුව හේතුවෙන් ජනවාරි 26, 31 සහ පෙබරවාරි 2 සහ 3 යන දිනවල කොළඹ 7 හි නිදහස් චතුරශ්‍රය වටා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.

***************************************

වලකට වැටී සිටි අලි පැටවෙකු සහ කෙනෙරක් බේරා ගැනේ

(24.01.2020 – 16:51 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව සඳගල්පාය නිවාස සංකීර්ණය ප්‍රදේශයේ අතහැර දැමූ වගා බිමක අනාරක්ෂිත වලකට වැටී සිටි කෙනෙරක සහ අලි පැටවෙකු ගොඩනැගීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

කලාවැව ජාතික උද්‍යානයේ සිට ආහාර සොයා ගම්වැදුනු අවස්ථාවේ එම අලි පැටවා සහ මව් කෙනෙර මෙම වලට ඇදවැටී ඇති බවයි වනජීවී නිලධාරීන් සඳහන් කර ඇත්තේ.

පැටවාගේ වයස අවුරුදු 3 ක් පමණ වන අතර මව් කෙනෙරගේ වයස අවුරුදු 20 ක් පමණ වන බවට සැලකෙනවා.

වනජීවී නිලධාරීන්, ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් මෙම සත්වයන් දෙදෙනා ගොඩට ගෙන යළිත් කලාවැව ජාතික උද්‍යානය වෙත පළවාහැර තිබෙනවා.

***************************************

තොරතුරු තාක්ෂණ උද්‍යාන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ යටතට

(24.01.2020 – 12:43 +0530 – hirunews.lk/sinhala)

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය යටතේ තිබූ තොරතුරු තාක්ෂණ උද්‍යාන, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ප්‍රවර්ධනය සඳහා අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පැවරෙනු ඇති.

පසුගිය 17 වනදා සිට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර, ඔහු එදින සිට ක්‍රියාත්මක වන පරිදි තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බවයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ අත්සනින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක දැක්වෙන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *