‘ශ්‍රී ලන්කන්’ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු

(03.02.2020 – 17:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක යන දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මූල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ සැකකරුවන් ලෙස නම් කොට වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙසටයි නීතිපති දප්පුල ද ලිවේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී තිබුණේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළේ ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර ඇතිවූ ගණුදෙනුවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට අදාළව මෙම උපදෙස් ලබාදී ඇති බවයි.

එමෙන්ම, ගනුදෙනුවට අදාළව විමර්ශන වාර්තා පිටපත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ද යොමු කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සමඟ කළ ගණුදෙනුවේදී ඇතැම් පුද්ගලයින් කළ බව කියන මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු බ්‍රිතාන්‍යයේ ‘ද ටෙලිග්‍රාෆ් පුවත්පත’ වාර්තා කර තිබූ බව හිරු ප්‍රවෘත්ති ඔස්සේ මීට පෙර අනාවරණ කළා. ඒ අනුව පරිපූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට නියෝග කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් විමර්ශණ සිදුකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධීකරණය වෙත යොමුකර ඇති වාර්තාවේ දැක්වෙන පරිදි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ බිරිදගේ නමින් ලියාපදිංචි වු සමාගමකට එයාර් බස් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන දෙකකට සමාන මුදල් ප්‍රමාණයක් එවා තිබු බව හෙලිවි තිබෙනවා.

බිස් සොලියුෂන්ස් නැමති එම සමාගම සිංගප්පූරුවේ බැංකුවක පවත්වාගෙන ගිය ගිණුම් තුනකට යුරෝ ලක්ෂය බැගින් දෙවරක්ද, නැවතත් ඔස්ට්‍රේලියානු ඩොලර් දෙලක්ෂයක් සහ යුරෝ දෙලක්ෂයක් එවා ඇති බවයි අනාවරණය වි ඇත්තේ.

ශ්‍රී ලංකන් ගුවන් සමගම ප්‍රංශයේ එයාර් බස් සමාගම මගින් ඒ 330- 900 වර්ගයේ ගුවන් යානා 04ක් සහ ඒ 330 – 300 වර්ගයේ ගුවන් යානා 06 ක් මිලදි ගැනීමට අවබෝධතා ගිවිසුම් වලට එළඹි ඇත්තේ ඉන් අනතුරුවයි.

+++++++++++++++++++++

ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ බිරිඳ අත්අඩංගුවට ගන්න නියෝගයක්

(03.02.2020 – 16:53 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍ර‍සේන මහතා සහ ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායක මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.

ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එයාර් බස් සමාගම අතර ගුවන් යානා මිලට ගැනීමකදී සිදු වූ බව පැවසෙන අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වන චෝදනා මත නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් උපදෙස් අනුවයි.

2013 වසරේදී ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එයාර්බස් සමාගම අතර ඇතිවූ ගනුදෙනුවකදී සිදු වූ බව පැවසෙන අල්ලස් ලබා දීමක් සම්බන්ධයෙන් පසුගිය දිනවල විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ බරපතළ මූල්‍ය වංචා සහ අල්ලස් සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන බ්‍රිතාන්‍ය කාර්යාලයක් සිදුකළ විමර්ශනයක් උපුටා දක්වමින්.

එහි පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එයාර් බස් සමාගම අතර ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේ අතරමැදි පාර්ශ්වයක් ලෙස යම් සමාගමක් ක්‍රියා කර ඇති බවයි.

එම සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරියෙකුගේ බිරිඳට අයත් බවත් එය බෘනායිහි ලියාපදිංචි කර ඇති සමාගමක් බවටත් විදෙස් වාර්තා පෙන්වා දී තිබුණි.

එම සමාගම මෙම ගුවන් යානා එයාර් බස් සමාගමෙන් මිලදී ගන්නා ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බලපෑම් කර ඇති බවත් ඒ සඳහා එයාර් බස් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 17 ක් අදාළ සමාගමට ගෙවීමට එකඟ වී ඇති බවත් එම වාර්තාවල දැක්වුණි.

ඉන් ඩොලර් මිලියන දෙකක් එයා බස් සමාගම මගින් අතරමැදි සමාගමට ගෙවා ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.

ඒ අනුව අදාළ ගනුදෙනුවේදී සිදු විනැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ බලධාරීන්ට නියෝගයක්ද නිකුත් කළේය.

මෙවැනි පසුබිමක ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක මුදල් විශුද්ධිකරණ චෝදනාවට සැකකරුවන් ලෙස නම් කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාර දෙනු ලැබු විමර්ශන වාර්තා සළකා බැලීමෙන් පසු නීතිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි.

නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ උපදෙස් මාලාවේ වරෙන්තු ලබා ගැනීම සඳහා හේතු වන කරුණු රැසක් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස රාජකාරි කළ කපිල චන්ද්‍රසේන වෙත EADS HQ/SSC FRANCE යන එයාර් බස් සමාගමේ මව් සමාගම විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2ක් ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකට අයත් සිංගප්පූරු බැංකු ගිණුමකට අල්ලස් හෝ තුටු පඬුරු වශයෙන් ගෙවා ඇති බව අනාවරණ වන බව නීතිපතිවරයා එහි දන්වා ඇත.

නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මුදල් විශුද්ධිකරණ වරද කපිල චන්ද්‍රසේන විසින් සිදුකර ඇති බවත් ඔහුගේ බිරිඳ එයට අනුබල දී ඇතැයිද පෙනීයන බවයි.

ඒ අනුව කපිල චන්ද්‍රසේන සහ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අය මුදල් විශුද්ධිකරණය කිරීමේ වරදට සැකකරුවන් ලෙස නම් කිරීමට ප්‍රමාණවත් කරුණු ඇති බවට සාධාරණ සැකයක් මතු වී ඇති බවයි නීතිපතිවරයා පවසා ඇත්තේ.

තවද කපිල චන්ද්‍රසේන යන අය අල්ලස් පනතේ ප්‍රතිපාදන යටතේද වැරදි සිදුකර ඇතැයි ප්‍රමාණවත් සාක්ෂි ඇති බැවින් ඊට අදාළ විමර්ශන උධෘත සහ ලේඛන අවශ්‍ය කටයුතු සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත වාර්තාවක් සහිතව ඉදිරිපත් කිරීමට වහාම කටයුතු කරන ලෙස නීතිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා සඳහන් කළේ සැකකාර කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කරන බවයි.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාගෙන් විමසුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වූයේ කුමන වර්ෂයේද යන්නයි.

2016 වසරේ 08 මස 05වන දින මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී ඇති බව විමර්ශන නිලධාරියා එහිදී පිළිතුරු ලබා දුන්නේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2011 වසරේදී ගුවන් යානා 14 ක් මිලදී ගැනීම සඳහා යෝජනාවක් සම්මත වී ඇති අතර එහිදී එයාර් බස් සමාගම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වෙත කොමිස් මුදලක් ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

සිද්ධියේ දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු බවත් ඇය ඔස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අයට බෘනායි රාජ්‍යයේ ලියාපදිංචි කළ ‘බිෂ් සොලූෂන් ඉන්’ නමින් සමාගමක් ඇති අතර එම සමාගමට අයත් සිංගප්පූරුවේ ඇති බැංකු ගිණුමකට එයාර් බස් සමාගම විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් 2013 දෙසැම්බර් මස 27 වන දා යොමු කර ඇති බවයි.

එම මුදල් එම ගිණුමෙන් අවස්ථා 4 කදී කපිල චන්ද්‍රෙස්න නැමැති අයට අයතු ගිණුමකට මුදල් බැර වී ඇති බව ද විමර්ශකයන් කියා සිටියේය.

එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව විමසු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා සඳහන් කළේ සැකකරුවන් අධිකරණය පැහැර හැරීම සඳහා කටයුතු කරන්නේද යන්න පිළීබඳ සාධාරණ සැකයක් මතුවන බැවින් එම ඉල්ලීම සිදුකරන බවයි.

ඒ අනුව කරුණු විමසා බැලු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ නඩු විදාන සංග්‍රහයේ 139.1 (ආ) වගන්තිය ප්‍රකාරව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අද වරෙන්තුවක් නිකුත් කළේය.

ඒ අනුව නඩුව පෙබරවාරි 11 වනදා යළි කැඳවීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් මෙලෙස අදහස් පළ කළේය :

+++++++++++++++++++++

***************************************

03-02-2020
03-02-2020

***************************************

හිරු මාධ්‍ය ජාලයට සහ තමාට අපහාස සිදුකළ බව පවසමින් ඩෑන් ප්‍රියසාද්ගෙන් පැමිණිල්ලක්

(03.02.2020 – 22:37 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍යය ඔස්සේ හිරු මාධ්‍ය ජාලයට සහ තාමාට අපහාස සිදුකළ බව පවසමින් නව සිංහලේ ජාතික සංවිධානය අද (03) පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ගොණු කළා.

ඒ සමාජ මාධ්‍යය ඔස්සේ අපහාස සිදුකළ පුද්ගලයින්ට එරෙහිවයි.

අද (03) පෙරවරුවේ පොලිස් මුලස්ථානයට පැමිණි නව සිංහලේ සංවිධානයේ සභාපති ඩැන් ප්‍රියසාද් මහතා තමාට මෙන්ම හිරු මාධ්‍ය ජාලයට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස සිදුකළ පුද්ගලයින්ට එරෙහිව පැමිණිලි ගොණු කළා.

මේ අතර සමාජ මාධ්‍ය හරහා අපහාස කළ පුද්ගලයෙක් ද පොලිස් මුලස්ථානය අසළට පැමිණ සිටි අතර එහිදි ඩැන් ප්‍රියසාද් මහතා ඔහුගෙන් ප්‍රශ්න කර සිටියා.

***************************************

ඩිව් ගුණසේකරගෙන් හෙළිදරව්වක්

(03.02.2020 – 20:46 +0530 – hirunews.lk/sinhala)

2015 ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය සිදුකිරීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ තමන්ට උපදෙස් දුන් බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටුවේදී සාක්ෂි දෙමින් පිළිගත් බව එවක කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර මහතා පවසනවා.

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ කෙසේ වෙතත් පසුගිය රජය එම සාක්ෂි සටහන් කොමිෂන් සභාවට යොමු නොකළ බවයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

***************************************

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට චෝදනාවක්

(03.02.2020 – 20:18 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රධානතම පුද්ගලයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා චෝදනා කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

***************************************

දුරදිග නොබලා ගෙන ආ නීති හේතුවෙන් පාසල් තුළ විනය පවත්වා ගැනීමට දුෂ්කරතා – අගමැති මහින්ද රාජපක්ෂ

(03.02.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala)

1995 – 2005 අතර කාල වකවානුවේ දුරදිග නොබලා ගෙන ආ නීති හේතුවෙන් ගුරුවරුන්ට පාසල් තුළ විනය පවත්වා ගැනීමේ දැඩි දුෂ්කරතා මතුව ඇති බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද (03) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ අදාළ නීති සමාලෝචනය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.

අධ්‍යාපන සේවා වෘත්තිකයින්ගේ සමුපකාර සකසුරුවම් ණය දෙන සමිතියේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

***************************************

වූහාන් මෙහෙයුමට එක්වූ, ගුවන් නියමුවන් අත්දැකීම් පැහැදිලි කරයි

(03.02.2020 – 19:27 +0530 – hirunews.lk/sinhala)

ජීවිත අවදානම නොතකා වූහාන් නගරයේ සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ඒමට ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති භෝජන සංග්‍රහයකට එක්වෙමින්.

මේ අතර, චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 33 දෙනා මෙරටට රැගෙන ඒමේ කාර්යයට දායක වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාජිකයින් අද (03) කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

එමෙන්ම, ඊයේ (02) රාත්‍රියේ සිට අද (03) අලුයම දක්වා චීනයේ සිට ගුවන් යානා 3 කින් පුද්ගලයින් 61 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා.

ඉන් 50 දෙනෙකු චීන ජාතිකයින් වන අතර, ඉතිරි 11 දෙනා ශ්‍රී ලාංකිකයින් බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, අද (03) දිනයේ තවත් ගුවන් යානා 6 ක් චීනයේ සිට පැමිණිමට නියමිතයි.

මේ අතර, චීනයේ – වුහාන් නගරයේ සිරවී සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් 33 දෙනාගෙන් කිසිවෙකුටත් කොරෝනා වෛරසය වැළදී ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

ඒ කොළඹ අද (03) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, කොරෝනා වෛරසය වැළදී අයි.ඩී.එච්. උණ රෝහලේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ ශරීරයෙන් එම වෛරසය ඉවත්ව ඇති බවට තහවුරු වුව ද, තවදුරටත් රෝහලේ රදවා තබාගෙන අධීක්ෂණය කරන බවයි එම රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

***************************************

‘දෙරණ 360’ – 03.02.2020 – ආචාර්ය නාලක ගොඩහේවා මහතා සමග

මිනිත්තු 74
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • No wonder this traitor has a smile on his face . So, is this is the way batalanda ranil has been secretly collecting money corruptly through his intermediary friends. Once he appointed his friend Mahendran to scam and rob the central bank. And then he appointed his mate Kapila as SLK Airlines CEO to take money out of aircraft purchase deals as commissions, through the friend’s wife’s intermediary company. I could have advised the country for nothing which would have been the best buy, but how come these people that nothing about aircraft acting as aviation experts. The whole thing stinks of robbery and corruption. Arrest the former PM as well because at the end the AG will find that the source of all corruption emanates from the former PM. Even wives are involved in their nefarious activities. Where do they all stop? What a gang of rogues? Robbing the central bank and national assets , peoples reitement pay funds and now corrupt business deals and mega billion ruppee scams against the Public, the tax payers. Lock up these baskets immediately and confiscate all their personal assets in SLK and abroad.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *