යහපාලන ආණ්ඩුව මානව හිමිකම් කොමිසමට එකඟ වූ යෝජනා දෙකකින් ඉවත් වීමට දිනේෂ් ජිනීවා යයි

(18.02.2020 – 18:19 +0530 – hirunews.lk/sinhala)

යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ එකඟතාව පළ කළ 30-1 සහ 40-1 යෝජනා ද්විත්වයෙන් ශ්‍රී ලංකා රජය ඉවත්වන බව දැනුම්දීමට විදේශ කටයුතු අමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම මස 25 දා ජිනීවා බලා යාමට නියමිත බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, යුධ අප‍රාධ චෝදනා ලත් හමුදා සෙබළුන් ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම හා නඩු පැවරවිම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම සහ අතුරුදහන්වුවන් සම්බන්ධ කාර්යාලයක් ස්ථාපිත කිරීම මෙම යෝජනා දෙක ට ඇතුළත්වනවා.

ජනාධිපති කාර්යාලයේදී මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර ඒ සදහා ජනාධිපති වරයා ඇතුළු රජයේ ඇමති වරු කිහිප දෙනෙක් සහභාගිවී තිබෙනවා .

මෙම යෝජනා දෙක මගින් අපේක්ෂා කර ඇත්තේ පවත්නා ව්‍යවස්ථා තත්වය අබිබවා පුළුල් ලෙස බලය බෙදීමක් බවයි වාර්තාවන්නේ .

මේ අතර මෙම යෝජනා දෙකෙහි ඇතුළත් එම කාරණාවලට රජයට එකග විය නොහැකි භයානක කාරණා බැවින් වහාම එම යෝජනා දෙකෙන් ඉවත් වීමට රජය තීරණය කර තිබෙනවා.

පසුගිය රජය මෙම යෝජනා දෙක පාර්මේලින්තුවට හෝ කැබිනට් මණ්ඩලයට පවා ඉදිරිපත් නොකර ක්‍රියාත්මක කිරීමට කටුතු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

ජිනීවා 30/1 යෝජනාවෙන් ඉවත්වීම ඉතා හොඳයි – නමුත් ඒ මඟින් පමණක් යුද අපරාධ චෝදනා වලින් ගැලවෙන්න බැහැ – ආචාර්ය ගුණදාස අමරසේකර

(18.02.2020 – 12:00 +0530 – lankaleadnews.com)

ජනාධිපතිතුමා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවැත්වූ සාකච්ඡාවකට පසු ජිනීවා 30/1 යෝජනාවෙන් ඉවත්විය යුතු බවට තීන්දු කිරීම ඉතා ඉහළින්ම අගය කරන බව වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමරසේකර මහතා මේ බව කියා සිටියේය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ 30/1 යෝජනාවෙන් ඉවත්වූ පමණින් OISL හෙවත් මහකොමසාරිස් වාර්තාවෙන් රණවිරුවන්ට එරෙහිව එල්ල කළ යුද අපරාධ චෝදනා වලින් ගැලවිය නොහැකි බවය.

ඒ සඳහා එම චෝදනා වලට පිළිතුරු බැඳ ඒවා නිශ්ප්‍රභා කළ යුතු බවට ඔහු අවධාරණය කර සිටියේය ෴

+++++++++++++++++++++

***************************************

විශ්‍රාමිකයන්ට හෙට සිට තවත් සහනයක්

(18.02.2020 – 17:43 +0530 – hirunews.lk/sinhala)

විශ්‍රාමිකයන්ට තම ජාතික හැඳුනුම්පත ඍජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමේ ක්‍රමවේදය හෙට (19) සිට ක්‍රියාත්මකයි.

ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක්ව මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන බවයි ෴

***************************************

ප්‍රමිතියෙන් තොර ලිහිසි තෙල් ගැන තොරතුරු දෙන්නැයි පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක්

(18.02.2020 – 17:13 +0530 – hirunews.lk/sinhala)

ලැබෙන පැමිණිලි සළකා බලා මෙරට තුළ ලිහිසි තෙල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය, නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය පූර්ණ පරීක්ෂාවට ලක් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධීකාරිය පවසනවා.

දිවයින පුරා ඊයේ (17) එලෙස සිදුකළ වැටලීම්වලදී ප්‍රමිතියෙන් තොර ලිහිසි තෙල් නිෂ්පාදන තොගයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 25 ක් ෴

***************************************

කොළඹ පාසල් සිසුන් 230,000 ක් මත්ද්‍රව්‍ය භාවිතයේ

(18.02.2020 – 16:35 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුන් මත් උවදුරෙන් මුදා ගැනීමට ක්‍රියාත්මක විශේෂ වැඩපිලිවෙලට අදාළව සෑම පාසලක් වෙනුවෙන්ම වෙනම පොලිස් නිලධාරියෙක් යෙදවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වනවා.

මීට අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය, පොලීසිය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ඒකාබද්ධවයි.

පළමු අදියර යටතේ පාසල් අතර වැඩිම මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් සිදුවන බවට හඳුනාගෙන ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 49 ක් ඉලක්ක කරගනිමින් සුරක්ෂිත හෙට දවසක් යන තේමාවෙන් ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය විරෝධී විශේෂ වැඩසටහන හඳුන්වාදීම අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද ආරම්භ කෙරුණා.

ඊට එක්වෙමින් බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වලින් පමණක් මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිත කරන බවට වාර්තා වී ඇති මුළු පාසල් සිසුන් සංඛ්‍යාව දෙලක්ෂ 30,982 ක් බවයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දරුවන් නිවැරදිව දැනුවත් කරමින් ඔවුන් පූර්ණකාලීනව නියාමනය කිරීමේ වගකීම පාසල් මට්ටමින් සිදුකිරීමට අපේක්ෂා කෙරෙනවා.

මෙහිදී එක් පාසලකට එක් පොලිස් නිලධාරියෙකු බැගින් යොදවමින් මෙම ක්‍රියාවලිය නියාමනයට සහ සම්බන්ධීකරණයට කටයුතු සම්පාදනය කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

එමෙන්ම, පාසල් පරිශ්‍ර හෝ ඒ අවට පරිසරවල කිසියම් මත්ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකමක් සිදුවන්නේ ඒ පිළිබඳව දැනුම්දීමට 077 712 8128 යන දුරකතන අංකයක් ද අද හඳුන්වා දුන්නා ෴

***************************************

සයින්දු මරුදු නඟරසභාව පිහිටුවීම මුස්ලිම් බෙදුම්වාදීන්ගේ උවමනාවක් – ජාතික සංවිධාන

(18.02.2020 – 15:11 +0530 – lankaleadnews.com)

මුස්ලිම් ජනතාව 100% ක් වාසය කරන සයින්දු මරුදු ප්‍රදේශය වෙනම නඟරසභාවක් බවට පත් කළ යුතු බවට මුස්ලිම් කොන්ග්‍රසය විසින් ඉල්ලීම් කරනු ලැබුවේ 1987 සිටය.

1986 මුස්ලිම් කොන්ග්‍රසය බහිවූ දා සිට උතුරු නැගෙනහිර ප්‍රදේශ ඒකාබද්ධ කිරීමට දකුණු නැගෙනහිර පළාත් සභාව නම් මුස්ලිම් පාලන ප්‍රදේශයක් අවශ්‍ය බවට ඉදිරිපත් කළ ඉල්ලීම සමග සයින්දු මරුදු නගරසභාවක් කිරීමේ ඉල්ලීම ගැට ගැසී ඇති බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එම නගරසභාව කල්මුණේ, සමන්තුරේ සහ පොතුවිල් මැතිවරණ කොට්ඨාශ ඒකාබද්ධකොට පිහිටුවීමට නියමිත මුස්ලිම් පළාත්සභාවේ ‘උච්ච භූමිය’ ලෙස සැලකෙන බව සදහන් කරන ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතා හෝ මෛත්‍රීපාල සිරිසේන මහතා පය නොතැබූ උගුලකට මහින්ද රාජපක්ෂ මහතා පය තැබූ බවට චෝදනාවක් ඉදිරිපත් කරයි.

***************************************

රට පුරා හොර දොස්තරලා 40,000 ක්

(18.02.2020 – 10:53 +0530 – lankaleadnews.com)

ව්‍යාජ වෛද්‍යවරුන් හතලිස්දහසක් (40,000) පමණ දිවයිනපුරා ප්‍රතිකාර කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ව්‍යාජ වෛද්‍යවරුන් දසදහසක් පමණ හදුනාගෙන ඇති බවයි එම සංගමය නිවේදනය කළේ.

ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සඳහන් කරයි ෴

***************************************

බාධා ඉවත්කර දේශීය කර්මාන්ත නඟා සිටුවීමට පියවර ගන්න! -ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්…..

(18.02.2020 – 10:00 +0530 – lankaleadnews.com)

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

කර්මාන්ත ඇරඹීමට සහ පවත්වාගෙන යාමට බලපාන ගැටලු හඳුනාගත යුතුය. එමෙන්ම විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කම ද කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සමග ඊයේ (17) පස්වරුවේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මෝටර් රථ එකලස් කිරීම, ලෝහ, පාවහන් හා සම්භාණ්ඩ, ඇගළුම්, ඖෂධ, කුළු බඩු, විදුලි උපකරණ, දැව සහ රූපලාවන්‍ය නිෂ්පාදකයෝ සහ කර්මාන්තකරුවෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

නිෂ්පාදනකරුවෝ සහ ආයෝජකයෝ බදු ගෙවීමේ දී හා රේගුවේ දී මුහුණපාන ගැටලු සහ පරිසර ප්‍රශ්න ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළහ. විධිමත් ආකාරයෙන් කර්මාන්ත ඇරඹීමේ දී විවිධ පාර්ශ්ව වෙතින් මතු කෙරෙන සෙසු ගැටලු රටේ අභිවෘද්ධියට විශාල බාධාවකි. අවිධිමත් සහ අනවසර ක්‍රියාකාරකම් හමුවේ පරිසර සංවිධාන මෙන්ම සමාජ මාධ්‍යයන් ද නිහඩව සිටීම කණගාටුවට කරුණකි. රටේ උන්නතිය වෙනුවෙන් නිසි අවබෝධයකින් ආයෝජන අවස්ථාවන්ට සහයවීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරු ප්‍රමුඛ අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

***************************************

මහ මැතිවරණයේ වියදම මිලියන 6000 ඉක්මවන ලකුණු – මහින්ද කියයි

(18.02.2020 – 11:57 +0530 – lankaleadnews.com)

පාර්ලිමේන්තු මැතිවරණයේ වියදම රුපියල් මිලියන 6000 ඉක්මවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙන්නේ අපේක්‍ෂකයින් හා දේශපාලන පක්‍ෂ සංඛ්‍යාත්මකව ඉහළ ගියහොත් ඇතැම්විට මැතිවරණයේ වියදම රුපියල් මිලියන 7500 ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවයි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාල වියදම් සම්පාදනය කරන ලෙස මහාභාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති බවත්, එබැවින් මැතිවරණ වියදම් පිළිබඳ කිසිදු ගැටළුවක් ඇති නොවන බවද සභාපතිවරයා පවසයි.

දේශපාලන පක්‍ෂ ලියාපදිංචිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ මේ වන විට ලියාපදිංචි දේශපාලන පක්‍ෂ 70 ක් පවතින බවයි.

එහෙත් එම පක්‍ෂ අතරින් දේශපාලන පක්‍ෂ 06 ලියාපදිංචිය තාවකාලිකව අත්හිටටුවා ඇතැයිද එම පක්‍ෂ අභ්‍යන්තරයේ පවතින ගැටළුකාරී තත්ත්වයන් ඊට හේතු වී ඇති බවද හෙතෙම පැවැසීය.

එමෙන්ම මේ වන විට ලියාපදිංචිය සඳහා පක්‍ෂ 144 න් ඉල්ලීම් ලැබී ඇතැයිද ඒ පිළිබඳ මේ සතිය තුළ විමසා බලා සුදුසුකම් සහිත කණ්ඩායම් වෙත අවස්ථාව ලබාදීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටියේය.

දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීම මැතිවරණ කොමිසමට සිදුකළ හැකි වුවද එම පක්‍ෂ හා එම පක්‍ෂවලින් ඉදිරිපත්වන නියෝජිතයින් පිළිගැනීමේ වගකීම ඇත්තේ මහජනතාවට බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවැසීය ෴

***************************************

උගතුන් සහ උපාධිධාරීන් පමණක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි යන මතයට එකඟ නෑ – මහින්ද දේශප්‍රිය

(18.02.2020 – 22:34 +0530 – hirunews.lk/sinhala)

උගතුන් සහ උපාධිධාරීන් පමණක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි යන මතයට තමන් එකඟ නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති උත්සවයකදී.

***************************************

විල්පත්තු වන විනාශය සිදුවන විට පරිසර බලධාරින් සිටියේ කොතැනද – ජනපති ප්‍රශ්න කරයි

(18.02.2020 – 22:31 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තු වන විනාශය සිදුවන විට පරිසර බලධාරින් සිටියේ කොහේදැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රශ්න කරනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පරිසර සහ වනජීවී අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග අද (18) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී.

***************************************

විවිධ මත දැරූ පිරිස් නව සන්ධානයට එක් කිරීමේ ගෞරවය අගමැතිට හිමිවිය යුතුයි

(18.02.2020 – 20:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනැගූ නව සන්ධානයට විවිධ මත දරමින් සිටි පිරිස් එක් කිරීමේ ගෞරවය අග්‍රාමාත්‍යවරයාට හිමිවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.

මේ අතර, පිහිටවූ සන්ධානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද අදහස් පළ කළා.

***************************************

අනුලා විදුහලේ විගණන වාර්තාව සිදුකළ නිලධාරීන්ට බලපෑම් පවතින බවට චෝදනා

(18.02.2020 – 19:55 +0530 – hirunews.lk/sinhala)

නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදුකළ නිලධාරීන්ට මේ වනවිට විවිධාකාරයෙන් බලපෑම් සිදුකරමින් පවතින බව ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ සේවා සංගමය පවසනවා.

මේ සම්බන්ධයෙන් මිරිහාන පොලීසියට පැමිණිල්ලක් සිදුකරමින් ඔවුන් අද (18) පැවසුවේ විගණන පනත හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂයක දඩයක් සහ වසර 3 ක සිර දඬුවම් නියම කළ හැකි බවයි.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිනිය වන ජයනි ප්‍රියංගිකා සිදුකළ බවට පැවසෙන අක්‍රමිකතා රැසක් පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධයෙන් අප පසුගිය දින කිහිපයේම තොරතුරු වාර්තා කළා.

තත්ත්වය එසේ පවතිද්දී පාසලේ ආදි සිසුවියන් පිරිසක් සහ පාසල් සංවර්ධන සමිතියේ පිරිසක් අද (18) දිනයේත් විදුහල්පතිනියට පක්ෂපාතීව පාසල ඉදිරිපිට විරෝධතාවයේ නිරතවුණා.

මෙම විරෝධතාව සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පළ කරමින් කියා සිටියේ පාසලේ කීර්තිනාමයට හානි සිදුකරන්නේ විරෝධතා පවත්වමින් විදුහල්පතිනිය රැකගැනීමට කටයුතු කරන පිරිස බවයි.

මේ අතර ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ සේවා සංගමයේ සංවිධායක ලේකම් එච්.එම්.කේ. හේරත් මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් අද (18) මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

***************************************

පැහැරගැනුනු කඩවත කොස්තාපල්ගේ සෙරෙප්පුවක් පන්නල රක්ෂිතයේ

(18.02.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala)

පැහැර ගැනීමට ලක්වූ කඩවත පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා පැළඳ සිටි පාවහන් යුගලයෙන් වම් සෙරෙප්පුව මෙහෙයුම් සිදුකළ පන්නල – කංකානියංමුල්ල රක්ෂිතයේ තිබී පොලීසියට හමුවී තිබෙනවා.

එසේම, එහි තිබී හමුවූ ලේ පැල්ලම් මිනිස් රුධිරය බවටයි අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරින් තහවුරු කර ඇත්තේ.

ඊයේ (17) අළුයම සිට මෙලෙස අතුරුදන්ව ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දෙදරු පියෙකු වන අතර, ඔහු කඩවත පොලීසියට අනුයුක්තව රියදුරෙකු ලෙස සේවය කරන කොස්තාපල්වරයෙක්.

පොලිස් සුනඛයින් ද යොදවා අද (18) දිනය පුරා අදාළ රක්ෂිතයේ මෙහෙයුම් සිදුකළ ද කොස්තාපල්වරයාව මෙතෙක් හමුවී නැහැ.

මොහු 2018 පෙරබවාරි 23 වනදා වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ඩී. මංජු නමැත්තාගේ බිරිඳගේ නැන්දණිය සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

47 හැවිරිදි එම කාන්තාව ඩී. මංජුගේ බිරිඳගේ නිවසේ නතර වී සිට ඇති අතර පෙරේදා රාත්‍රියේ ඇය පොලිස් කොස්තාපල්වරයාට දුරකතන ඇමතුමක් ලබාදී ප්‍රකාශ කර ඇත්තේ සිය වැඩිමහල් පුතු වන බන්ටි තමන්ව ඝාතනය කිරීමට සූදානම්ව සිටින බවයි.

ඒ අනුව එදින රාත්‍රියේම අදාල පොලිස් කොස්තාපල්වරයා එම නිවසට පැමිණ තිබෙනවා.

කොස්තාපල්වරයා නිවසේ සිටින බවට තොරතුරු ලැබීමෙන් අනතුරුව බන්ටි නමැත්තාද නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරයා නිවසේ සැඟව සිට ඇති බවටයි මූලික විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව අතුරුදන්ව සිටින පොලිස් කොස්තාපල්වරයා අදාල කාන්තාව සමඟ කිරිබත්ගොඩ – හුණුපිටිය ප්‍රදේශයේ හෝටලයක් වෙත ගොස් ඇති අතර පසුදා අළුයම එම කාන්තාව ඩී මංජුගේ බිරිඳට දුරකතන ඇමතුමක් දී සඳහන් කර ඇත්තේ තමාට ආහාර රැගෙන පැමිණෙන ලෙසයි.

ඒ අනුව ඩී මංජුගේ බිරිඳ සහ ඇගේ සහෝදරයා යතුරුපැදියකින් රොටි සහ දුම්වැටි කිහිපයක් රැගෙන ගොස් ඇති අතර පොලිස් කොස්තාපල්වරයාට අදාල කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ හෝටලයෙන් මඳ දුරක් ගොස් එම ආහාර භාරගන්නා ලෙසයි.

ඒ අනුව යතුරුපැදියෙන් පැමිණි ඩී මංජුගේ බිරිඳගෙන් ආහාර ලබා ගන්නවාත් සමඟ ඊට පිටුපසින් ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් පිරිසක් අදාල පොලිස් කොස්තාපල්වරයාට පහර දී පැහැරගෙන ගොස් තිබෙනවා.

එම සිදුවීම සී.සී.ටී වි කැමරාවල ද සටහන් වී ඇති අතර ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ අදාල කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා වන බන්ටි නමැත්තා සහ තවත් පිරිසක් එලෙස ත්‍රීරෝද රථයෙන් පැමිණ ඇති බවයි.

පසුව ඔවුන් මෙම කොස්තාපල්වරයා පන්නල ප්‍රදේශයේ සිටින අදාල කාන්තාවගේ බාල පුතුගේ නිවසට රැගෙන ගොස් ඇති අතර එතැන් සිට කොස්තාපල්වරයා අතුරුදන් බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරන පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

අතුරුදන්ව සිටින කොස්තාපල්වරයා පැළඳ සිටි දකුණු පාදයේ සෙරෙප්පුව පැහැර ගත් ස්ථානයේ තිබී සොයාගත්තා.

ලේ පැල්ලම් සහ වම් පාදයේ සෙරෙප්පුව රක්ෂිතයේ තිබී හමුවීමත් සමඟ මොහු පන්නල – කංකානියංමුල්ල රක්ෂිතයට රැගෙන එන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

මේ වනවිටත් පොලිස් කොස්තාපල්වරයා අනියම් සබඳතාව පැවැත් වූ කාන්තාව සහ ඩී මංජුගේ බිරිඳ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, පැහැර ගැනීම සිදුකළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

අදාළ කාන්තාවගේ සැමියා මේ වනවිට මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට බන්ධනාගාර ගතව සිටින අතර පොලිස් කොස්තාපල්වරයා ද මත්කුඩු අලෙවි කිරීමට එම කාන්තාවන්ට සහය ලබාදී ඇති බවටයි පොලිසිය සැක කරන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *