තුර්කි ත්‍රස්ත සංවිධානයක් පිලිබඳ ලැබුනු තොරතුරු ගැන නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනපති කොමසම හමුවේ හෙළිවෙයි

(21.02.2020 – 22:53 +0530 – hirunews.lk/sinhala)

තුර්කියේ ක්‍රියාත්මක ‘ෆෙටෝ’ නැමැති ත්‍රස්ත සංවිධානයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකවීම පිළිබඳ තොරතුරු ඇතුලත් රහසිගත ලිපි ගොණුවක් 2016 වසරේදී එරට රජය විසින් යොමුකර තිබියදීත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනපති කොමසම හමුවේ අද (21) අණාවරණ වුණා.

කොමිසම හමුවේ අද (21) සාක්ෂි ලබා දුන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බලන අතිරේක ලේකම්වරිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරියයි.

***************************************

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි විෂය භාර ඇමති ඉල්ලයි

(22.02.2020 – 07:47 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර, පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හොත් ඉදිරියේදී පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුවන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පෙන්වා දෙනවා.

එම මණ්ඩලය සඳහන් කළේ ඒ අනුව උස් බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයන් ඇතිවිය හැකි බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

වියළි කාලගුණයෙන් දෙලක්ෂ 28,000 කට පීඩා – කැළණි ගඟටත් ලවණ මුසුවීමේ අවදානමක්

(21.02.2020 – 12:58 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 8 ක පුද්ගලයන් දෙලක්ෂ 28,454 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය මාර්තු 2 වන සතිය දක්වා අපේක්ෂා කළ හැකි බවයි.

මේ වන විටත් ජලාශ කිහිපයක ජල මට්ටම පහළ බැස ඇති අතර, කොත්මලේ ජලාශයේ ජල මට්ටම සටහන් වන්නේ සියයට 51.6 ක් ලෙසයි.

බෝවතැන්න ජලාශයේ ජල මට්ටම සියයට 36 දක්වා අඩු වී ඇති අතර, කලාවැවේ ජල මට්ටම ද සියයට 55 දක්වා අඩු වී තිබෙනවා.

කෙසේ වෙතත්, පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල, මින්නේරිය, කන්තලේ සහ මාදුරුඔය ජලාශවල තවමත් ඉහළ ජල මට්ටමක් පවතිනවා.

මේ අතර, කැලණි ගඟේ වැලි ගොඩදැමීම හේතුවෙන් මුහුදු මට්ටමට වඩා අඹතලේ සහ කඩුවෙල ප්‍රදේශවලින් ජල මට්ටම පහල යෑම නිසා කොළඹට සැපයෙන ජලයට ඉදිරියේදී ලවණ මිශ්‍රවීමේ අවදානම තවදුරටත් ඉහල යා හැකි බවට කැලණි ගං දියවර සුරැකීමේ ජනතා පදනම අනතුරු අඟවනවා.

මේ වනවිට පවතින වඩදිය තත්ත්වයත් සමඟ අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා ස්ථානය දක්වා දැනටමත් අධික ලවණ ගතියෙන් යුත් මුහුදු ජලය මිශ්‍ර වී ඇති බවයි එම පදනම පෙන්වා දෙන්නේ.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අඹතලේ ජල පවිත්‍රාගාරයේ ප්‍රකාශකයෙකු ද එය තහවුරු කළා.

ඊට විසඳුමක් ලෙස ජල සම්පාදන නිලධාරීන් ගඟ හරස්කර වැලි කොට්ට දමා තාවකාලික වේල්ලක් සකස් කර ඇතත්, වැලි ගොඩදැමීම ඉදිරියටත් සිදුවුවහොත් ලවණ ජලය අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජලයට ලවණ මුසුවීමේ දැඩි අවදානමක් පවතින බවයි කැළණි ගං දියවර සුරැකීමේ පදනමේ සභාපති අසිත නිරෝෂණ ප්‍රකාශ කළේ.

මේ වන විටත් කළු ගඟේ ජලයට ලවණ මුසුවීමේ ගැටළුව පවතින අතර කළුතර ප්‍රදේශ රැසකට පානීය ජලය ලබාදෙන්නේ බවුසර් මගින් ෴

***************************************

දියේ ගිලී මිය ගිය හාලිඇල සිසුන් ගැන, විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

(22.02.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන චාරිකාවක නිරතව සිටියදී පාසල් සිසුන් සිව් දෙනෙකු දියේ ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, සන්ධ්‍යා අඹන්වෙල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේගේ උපදෙස් මත තමන් පත් කළ එම කමිටුවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස නියෝග කළ බවයි.

බදුල්ල – හාලිඇල විද්‍යා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 68 දෙනෙකු අධ්‍යාපන චාරිකාවක් සඳහා පසුගිය බදාදා ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගොස් තිබූ අතර ඊට ගුරුවරුන් 7 දෙනෙකු ද එක්ව සිටියා.

පසුව ඔවුන් ගෝමරන්කඩවල ප්‍රදේශයේ විහාරස්ථානයක නවාතැන්ගෙන තිබෙනවා.

එහිදී සිසුන් පිරිසක් විහාරස්ථානයට යාබදව පිහිටි මැදවච්චිය වැවේ නෑමට ගොස් තිබූ අතර, එහිදී මෙම අනතුර සිදුව තිබුණා.

සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්වූ සිසුන් සිව් දෙනාගේ අවසන් කටයුතු අද (22) සිදුකිරීමට නියමිතයි.

ඒ බදුල්ල, ඇල්ල, ඇටම්පිටිය සහ ගලඋඩ යන සුසාන භූමිවලදීයි.

මියගිය සිසුන් සිව්දෙනාගේ හදිසි මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ සාක්ෂි මත චාරිකාවට සහභාගි වූ ගුරුවරුන්ගේ නොසැලකිල්ල මෙම අනතුරට හේතුවූ බව හදිසි මරණ පරීක්ෂක ඒ.එස්.එම්.රූමි මහතා නිගමනය කර තිබූ අතර, ඔහු මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද නියමිතයි ෴

***************************************

‘හිරු CIA’ ඇසට හසුවූ තවත් ජාවාරමක් : පරිභෝජනයට නුසුදුසු මිරිස් කුඩු හා තුනපහ කුඩු

(21.02.2020 – 20:56 +0530 – hirunews.lk/sinhala)

වැල්ලම්පිටිය – සේදවත්ත ප්‍රදේශයේ කලක පටන් පවත්වාගෙන යන පරිභෝජනයට නුසුදුසු මිරිස් කුඩු හා තුනපහ කුඩු සැකසුම් මධ්‍යස්ථානයක් පිළිබඳ ‘හිරු සී.අයි.ඒ.’ වෙත අවස්ථා කිහිපයකදී තොරතුරු ලැබුණා.

ඒ අනුවල ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම අදාළ ස්ථානය පිළිබඳ ඉතා සූක්ෂමව සොයා බැලීමට කටයුතු කළා.

‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම සිදුකළ සොයාබැලීමේදී තහවුරු වූයේ අදාළ ස්ථානයේ සෞඛ්‍යාරක්ෂිතව මිරිස් කුඩු හා තුනපහ කුඩු නිෂ්පාදනය නොකරන බවටයි.

මේ අතර, ඊයේ (20) දිනයේදී මෙම ස්ථානයට පරිභෝජනයට නුසුදුසු වියළි මිරිස් කරල් කිලෝ ග්‍රෑම් 20,000 ක තොගයක් රැගෙන එන බවට ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරක් ලැබුණා.

කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් හා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සමග එක්ව හිරු ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම අදාළ ස්ථානය වටලනු ලැබුවේ ඒ අනුවයි.

මෙම වැටලීමේදී එළැඹෙන උත්සව සමය ඉලක්ක කරගනිමින් නිෂ්පාදනය කළ පරිභෝජනයට නුසුදුසු මිරිස් කුඩු හා පුස් බැඳුණු වියළි මිරිස් කරල් තොගයක් සොයා ගැනීමට හැකිවුණා.

වැටලීම සිදුවන අතරතුර එහි හිමිකරුද එම ස්ථානයට පැමිණියා.

මේ වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා අඹරණ ලද වියළි මිරිස් කුඩු තොගයක් සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයට බිම අතුරාතිබූ ආකාරයයි.

වැටලීම සිදුකළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් සඳහන් කළේ මෙම ස්ථානයේ සිදුකළ නිෂ්පාදන සඳහා පිළිකාකාරක සහිත රසායනික වර්ණක එක්කර ඇති බවටද සාධක පවතින බවයි.

වැටලීම අතරතුර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාද අදාළ ස්ථානයට පැමිණියා.

විමර්ශනයේදී අනාවරණ වුණේ වසර ගණනාවක සිට මෙම ස්ථානයේ හිමිකරු විසින් විවිධ ලිපිනයන් සහ වෙළෙඳ නාම යටතේ ජනතාවගේ සෞඛ්‍යයට හානිකර මිරිස් කුඩු හා තුනපහ කුඩු ඇතුළු ද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි.

පසුව විමර්ශන නිලධාරීන් මෙම ස්ථානයට මුද්‍රා තැබුවා.

මිනිස් සමාජයට තර්ජනයක්වන මෙවන් ජාවාරම් පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ නිරන්තරයෙන් අවධානයෙන්.

***************************************

CID හිටපු අධ්‍යක්ෂට නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි සිංහලේ සංවිධානයෙන් ප්‍රශ්නයක්

(21.02.2020 – 20:42 +0530 – hirunews.lk/sinhala)

දුරකථන හඬපට සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නීතිය ක්‍රියාත්මක වුවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකරට නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා ප්‍රශ්න කරනවා.

අද පොලිස් මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී ඔහු මේ අදහස් පළකළා.

සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව අද පොලිස් මූලස්ථානයට පැමිණි‍යේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන හඬපට සම්බන්ධයෙන් එම සංවිධානය පොලිස් මූලස්ථානයට කළ පැමිණිලි වලට අදාලව සිදුකරන විමර්ශන වල තත්ත්වය සොයාබැලීම සඳහායි.

***************************************

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ගැන විවිධ අදහස්

(21.02.2020 – 20:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය එක්ව නිර්මාණය කෙරුණු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිළිබඳ විවිධ ස්ථානවලදී දේශපාලනඥයින් අදහස් පළ කළා.

***************************************

උණුසුම් වූ ‘හිරු ටී.වී. බලය’ දේශපාලන සංවාදය

(21.02.2020 – 20:05 +0530 – hirunews.lk/sinhala)

හිරු ටී.වී. ඔස්සේ ඊයේ (20) රාත්‍රීයේ විකාශය වූ ‘බලය දේශපාලන සංවාදයේදී’ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

තත්ත්වය දුරදිග යාමෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජීව සේනසිංහ සහ මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරුන් වැඩසටහන අතරතුර ඉවත්ව ගියා.

+++++++++++++++++++++

***************************************

කඩවත පොලිස් කොස්තාපල් ඝාතනය ගැන සැකකරුවෙකුගෙන් පාපොච්චාරණයක්

(21.02.2020 – 18:45 +0530 – hirunews.lk/sinhala)

තම ලොකු අම්මාගේ උපදෙස් මත කඩවත පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයා පැහැර ගෙන ගොස් ඝාතනය කළ බව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන සුද්දා නමැත්තා පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඝාතනය සිදුකළ ස්ථානයට කොස්තාපල්වරයා සමග අනියම් සබඳතාවය පැවැත්වූ තම ලොකු අම්මාද පැමිණි බවයි.

23 හැවිරිදි මෙම සැකකරු සමග සිද්ධියට තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, පැහැර ගැණුනු පොලිස් කොස්තාපල්වරයාගේ නරක් වූ මළ සිරුර පන්නල – වේරහැර මාර්ගයේ බුලුගහවත්ත ප්‍රදේශයේදී ලඳු කැලෑවක තිබී අද (21) උදෑසන පොලීසිය සොයා ගනු ලැබුවේ දින 5 ක මෙහෙයුමකින් අනතුරුවයි.

එසේම, පොලිස් කොස්තාපල්වරයා පැහැර ගෙන පැමිණි ත්‍රිරෝද රථය ද පන්නල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක් අසල තිබී අද (21) සොයා ගත්තා.

එය පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් බවට හෙළි වී තිබෙනවා.

මීට මාස කිහිපයකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩී.මංජු නමැත්තාගේ බිරිඳගේ ඥාතී කාන්තාවක් සමග වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දෙදරු පියෙකු වන මෙම පොලිස් කොස්තාපල්වරයා අනියම් සබඳතාව පවත්වා තිබුණා.

අදාළ කාන්තාව සමග කිරිබත්ගොඩ – හුණුපිටිය ප්‍රදේශයේ හෝටලයක රැදී සිට ආහාර රැගෙන යාම සඳහා පිටතට පැමිණි අවස්ථාවේදීයි පසුගිය 17 වනදා අලුයම මොහු පැහැර ගැනීමට ලක් වුණේ.

පුද්ගලයින් 4 දෙනෙකු අදාළ ත්‍රිරෝද රථයේ පැමිණ තිබූ අතර, කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා වන බන්ටි සහ ඇගේ නැගණියගේ පුත්‍රයා වන සුද්දා ද ඊට අයත්.

එම ස්ථානයේ සිට කිලෝමීටර් 100 ක් පමණ, දුරින් පන්නල පිහිටි අදාළ කාන්තාවගේ බාල පුත්‍රයා රැදී සිටි නිවසට පැහැර ගැණුනු පොලිස් කොස්තාපල්වරයා රැගෙන විත් තිබුණේ ත්‍රිරෝද රථයේ දෙපස වැසි ආවරණවලින් වසාගෙනයි.

ඝාතනයට සම්බන්ධ බන්ටි නමැත්තා සහ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන සිදුකරනවා.

පොලිස් කොස්තාපල්වරයාගේ දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් කැලුම් හෙට්ටිගමගේ ඉදිරියේ අද (21) පස්වරුවේ සිදුකෙරුණා.

පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය රැගෙන එන ලැබුවේ කුලියාපිටිය මූලික රෝහල වෙතයි.

පොලිස් කොස්තාපල්වරයා සමග අනියම් සබඳතාවය පැවැත්වූ කාන්තාවගෙන් ද, පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

සිද්ධියට ඇයගේ ඍජු සම්බන්ධයක් ඇත්දැයි සොයා තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පරීක්ෂණ සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

+++++++++++++++++++++

***************************************

දඹුල්ල – නාලන්දේ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස්, 45 කට තුවාල

(21.02.2020 – 08:29 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදුවූ අනතුරෙන් දස හැවිරිදි පිරිමි දරුවෙකු සහ කාන්තාවක් මිය ගොස් 45 කට වැඩි පිරිසක් තුවාල ලබුවා.

දඹුල්ලේ සිට සිරිපා වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක්, කන්ටේනර් රථයක් පසුකර යාමට උත්සහ කිරිමේදී ඉදිරියෙන් පැමිණි මහනුවර – සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

පොලීසිය සදහන් කළේ බස් රථ දෙකෙහි ගමන් ගත් පුද්ගලයින් 50 ආසන්න පිරිසක් තුවාල ලබා නාලන්ද, මාතලේ සහ දඹුල්ල රෝහවලට ඇතුළත් කෙරුණු බවයි.

සිරිපා වන්දනාවේ යමින් සිටි බස්රථයේ රියදුරුගේ අපරික්ෂාකාරි ධාවනය අනතුරට හේතුව බව පොලිසිය වැඩිදුරටත් කියා සිටයා.

සිද්ධියෙන් මියගිය කාන්තාව සහ පිරිමි දරුවා සිරිපා වන්දනාවට එක්ව අය වන අතර, ඔවුන් දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

***************************************

දුවට මාස 2 කයි … බීමත් කාවිංගගේ රියට යටවූ වසන්තගේ පවුලේ අය කියන සංවේදි කතාව මෙන්න

(21.02.2020 – 00:00 +0530 – hirunews.lk/sinhala)

තලවතුගොඩ ප්‍රදේශයේදී ඉකුත් 18 වැනි දින රාත්‍රි ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරාගේ මෝටර් රථයේ ගැටීමෙන් මාර්ග සංවර්ධන නඩත්තු සේවකයකු මරණයට පත්ව ඇත.

මෙසේ මරණයට පත්වූ වූයේ මීගහතැන්න, වෙලපහළ, මාවතවත්ත ප්‍රදේශයේ පදිංචි ගම්මන ලියනගේ වසන්ත උදය කුමාර නමැති හතළිස් දෙහැවිරිදි එක් දරු පියෙකි.

තලවතුගොඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පදික මාරුවේ නඩත්තු කටයුතු සිදු කරමින් සිටියදී රාත්‍රි 12.40 ට පමණ වේගයෙන් පැමිණ ඇති මෝටර් රථය අනතුර සිදුකර පලා ගොස් ඇති බවත්, එම ස්ථානයේ සිටි පිරිසක් මෝටර් රථය පසුපස කිලෝමීටර් භාගයක් පමණ දුර හඹාගොස් රංගන ශිල්පියා අල්ලා ගෙන ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අනතුරට ලක් වී බරපතළ තුවාල ලැබූ වසන්ත උදය කුමාර මහතා රෝහලට ඇතුළත් කරනා විටද මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධියෙන් මරණයට පත්වූ අයට මාස දෙකක් වයසැති දියණියක සිටින අතර සිද්ධිය වූ ස්ථානයේ සිටි මියගිය අයගේ වැඩිමහල් සොයුරු වන ගම්මන ලියනගේ නිලන්ත මහතා මෙසේ පැවසීය :

“මියගොස් සිටින මගේ මල්ලී සහ මම ජී.එන්.එල්. සුපර්ලේයර් කියන පෞද්ගලික ආයතනයට අනුයුක්තව මාර්ග සංවර්ධනයේ වැඩ කළේ. ඒ වෙලාවෙ අපි ෂෙඩ් එක ඉස්සරහ පදික මාරුවේ තීන්ත ආලේප කරමින් සිටියේ. අපි හත්දෙනෙක් පමණ එම ස්ථානයේ නඩත්තු කටයුතු කරමින් සිටියා.

මම පදික මාරුව ලකුණු කර දී මඳක් ඉදිරියට ගිහින් අනිත් වැඩ කටයුතු සොයා බලද්දී එකපාරටම මල්ලී මෝටර් රථයේ වැදුණු සද්දෙ ඇසුණා. ඒ සමඟම මම මල්ලී ළඟට දුවගෙන ගියා. එවිටම මෝටර් රථය පලා ගියා. එතැන සිටි පිරිසක් මෝටර් රථය පසුපස හඹා ගොස් අල්ලා ගෙන තිබෙනවා. අනතුරේදී මෝටර් රථයේ යම් ආබාධයක් සිදුවී ඇති බැවින් වේගෙන් යන්න බැරිවෙලා තියෙන බවත් එසේ නොවන්නට මෝටර් රථය පලායන බවත් දැනගන්න ලැබුණා. පසුව දැන ගත්තේ අනතුර සිදු කළ අය රංගන ශිල්පියෙක් කියලා. ඔහු බීමත්ව සිටි බව වෛද්‍ය පරීක්ෂණවලදී සනාථ වූ බව ද දැනගන්නට ලැබුණා.

මල්ලී බොහොම අහිංසක චරිතයක් එයාගේ දුවට මාස දෙකයි වයස. ලොකු අපරාධයක් වුණේ. බීමත්ව මෙවන් අනතුරු කරන සෑම කෙනකුටම තරාතිරම නොබලා උපරිම දඬුවම් දිය යුතුයි.”

මියගිය අයගේ සොයුරිය වන ගම්මන ලියනගේ චන්ද්‍රලතා මහත්මිය මෙසේ පැවසුවාය :

“අනේ මගේ මල්ලී හරිම අහිංසකයෙක් බව ගමේ හැමෝම දන්නවා. මේ දුක අපේ පවුලේ අයට වාවගන්න බෑ. මේ අවාසනාවන්ත අනතුරු නිසා මාස දෙකක දුවත්, මල්ලිගෙ නෝනාත් ඉතා අසරණ තත්ත්වයට පත්වෙලා. මල්ලී ජීවත් වෙන්න ලොකු සටනක් කරගෙන ගිය කෙනෙක්. රැයක් දවාලක් නොබලා රස්සාව කළේ දරු පවුල රැකගන්න සැලකිය යුතු ආදායම් මාර්ගයක් නොමැති නිසා.

අපිට දැනගන්න ලැබුණා අනතුරට සම්බන්ධ රංගන ශිල්පියා ඒ අවස්ථාවේ බීමතින් සිටි බව. බීමත්කම නිසා මේ රටේ සිදුවන අනතුරුවලින් පවුල් කීයක් අනාථ වෙනවාද. දැන් අපිට මල්ලි අහිමිවෙලා ඉවරයි. ඒත් මේ දේ තවත් කෙනකුට නොවන්නට උපරිමයෙන් නීති ක්‍රියාත්මක කළ යුතු යැයි අපි ඉල්ලා සිටිනවා.”

මිය ගිය අයගේ බිරිය තම සැමියා අහිමි වූ කම්පනය නිසා කිසිවක් ප්‍රකාශ කරගත නොහැකිව සිටියාය.

අනතුරින් මියගිය අය නිරතුරුවම අසල්වාසීන් සහ ප්‍රදේශවාසීන්ද සමඟ ඉතා සුහදව කටයුතු කළ, කිසි කෙනකුට වරදක් නොකරන අයකු බව ප්‍රදේශවාසීහු බොහෝ දෙනෙක් පවසා සිටියහ.

අනතුරට සම්බන්ධ රංගන ශිල්පියා උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර කර ඇති අතර තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴

***************************************

දක්ෂිණ අධිවේගයේ මාතර සිට මත්තල දක්වා දිගුව හෙට ජනතා අයිතියට

(22.02.2020 – 07:28 +0530 – sinhala.adaderana.lk)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ, මාතර සිට මත්තල දක්වා දිගුව හෙට (23) දින ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා දිගුව ජනතා අයිතියට පත්කිරීමට නියමිතව ඇත.

ඒ සඳහා වන 2020 පෙබරවාරි මස 20 දින අංක 2163/25 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • About the drunk actor causing a fatal accident> In Sri Lanka new found riches and posh cars make people swollen headed as if they are kings. They do not have the maturity to use either of these assets sensibly, and getting drunk in groups in functions and clubs, they behave like maniacs on the road. There are all kinds of road users but these ignorant monkeys think that the road is a race track, that they own it, and so if they are speeding then everyone else should keep out of THEIR WAY. Mr President, Mr PM, both of you must bring in new legislation to send these killers directly to gallows, so that they think better in future before they indulge in this kind murder. Sending to gallows those drug addicts caught with a pinch of drugs is truely disproportional punishment bvecause they kill themselves, whereas posh and wellshod monkeys like this are the real menace to our society. Discipline them proper, and this total lack of self discipline in individuals and groups is one reason that Sri Lanka is unable to develop itself.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *