බදියුදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තුරු සටන අත්නොහරින බව ගම්මන්පිළ කියයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• බදියුදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තුරු සටන අත්නොහරින බව ගම්මන්පිළ කියයි (විඩියෝ)

• කිලෝ 4 ක හෙරොයින් සමඟ විදේශිකයින් දෙදෙනෙක් ඇතුළු 6 ක් අත්අඩංගුවට

• අනතුර සිදුකළේ මම නොවෙයි – පාඨලීගේ රියැදුරු කියයි (විඩියෝ)

• බන්දුලගෙන් සජිත්ට අභියෝගයක් (විඩියෝ)

• ජගත් මහලේකම්ගෙන් ක්‍රියාකාරී සැලැස්මක් මානව හිමිකම් කොමිසමට (විඩියෝ)

• පුරවැසියන් 2500 කට රන්බිම් ඔප්පු ප්‍රදානය කෙරේ (විඩියෝ)

• කොළඹ රථ වාහන හසුරුවන්න, හමුදා පොලීසිය

• ආණ්ඩුවට දින 100 යි

• ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් බිහි කරන බව අධ්‍යාපනය ඇමති කියයි (විඩියෝ)

• තුර්කි ත්‍රස්ත කල්ලියක් මෙරට ජාත්‍යන්තර පාසලකට මුදල් ආයෝජනය කරලා

• වසර හතරක් අරගල කළේ මුස්ලිම් අන්තවාදයට කප්පම් දෙන්නද – මතුගම සෙනෙවිරුවන්

• ජාඇල අවට හෙට (26) වතුර නෑ

• හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ නඩුවට අදාල ලිපිගොනු දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමට

+++++++++++++++++++++++++++++++++++

බදියුදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තුරු සටන අත්නොහරින බව ගම්මන්පිළ කියයි

(24.02.2020 – 19:30 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තුරු අඛණ්ඩව සටන් කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද (24) වැඩිදුර ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

+++++++++++++++++++++

24-02-2020

+++++++++++++++++++++++++++++++++++

24-02-2020
19-02-2020

***************************************

කිලෝ 4 ක හෙරොයින් සමඟ විදේශිකයින් දෙදෙනෙක් ඇතුළු 6 ක් අත්අඩංගුවට

(25.02.2020 – 07:47 +0530 – sinhala.adaderana.lk)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දෙහිවල සහ මහරගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 290 ක් සමඟ සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින් දෙදෙනෙක් මාලදිවයින් ජාතිකයින් වන අතර, අනෙක් සිව් දෙනා ශ්‍රී ලාංකීකයන් වෙයි.

අත්අඩංගුවට පත් පුද්ගලයින් සතුව තිබු මෝටර් රථ දෙකක් ද මෙහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 හා 28 වයස්වල පසුවන බව ද පොලීසිය පවසයි.

සැකකරුවන් අද (25) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

***************************************

අනතුර සිදුකළේ මම නොවෙයි – පාඨලීගේ රියැදුරු කියයි

(24.02.2020 – 20:12 +0530 – hirunews.lk/sinhala)

2016 වර්ෂයේදී පාඨලී චම්පික රණවක මහතාගේ ජීප් රථයේ තරුණයෙකු ගැටුනු අවස්ථාවේදී එම ජීප් රථය පැදවූයේ තමා නොවන බවත්, තමන්ට ලැබුණු උපදෙස් මත බොරැල්ල පොලීසියට පැමිණ පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු ලෙස ඉදිරිපත් වූ බවත්, රියැදුරු දිලුම් තුසිත කුමාර මහතා ප්‍රකාශ කර ඇතැයි අධිකරණයේදී අද (24) අනාවරණ වුණා.

මෙහිදි දිලුම් තුසිත කුමාර වන රියැදුරා පවසා ඇත්තේ, අදාළ රිය අනතුර සිදුවන අවස්ථාවේ තමා රිය පැදවූ බව පැවසුවේ, එවකට පාඨලී අමාත්‍යවරයාගේ තවත් රියැදුරෙකු වන නිශාන්ත ප්‍රදීප් නමැත්තා දුන් උපදෙස් අනුව බවයි.

කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ, ඒ අනුව පසුගිය 12 වැනිදා දක්වා දිලුම් තුසිත කුමාර, පාඨලී චම්පික මන්ත්‍රීවරයාගේ නිවසේ රැඳී සිට ඇති බවට ද ප්‍රකාශ කළ බවයි.

කෙසේ වෙතත්, 2016 වසරේ පෙබරවාරි 9 වැනිදා ඇප හිමි වූ දිනයේදී තමා එවකට අමාත්‍ය පාඨලී චම්පික රණවක හමුවීමට ගිය බවත් එයිදී ‘තුසිත ඔයාට මොකුත් වෙන්නේ නැහැ; බය වෙන්න එපා’ යැයි අමාත්‍යවරයා තමාන් හමුවේ පැවසූ බවත්, සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසයට පවසා තිබෙනවා.

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරින් විසින් රාජගිරිය සිදු වු රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය නොමඟ යවන සුළු ප්‍රකාශ ලබා දි ඇති බවත් ඔවුන්, ඉදිරියේ දි විත්තිකරුවන් ලෙස නම් කිරිම සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අද (24) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නේරංජනා ද සිල්වා මහත්මිය වෙත දැනුම් දුන්නා.

රජයේ අධිනිතිඥ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අධිකරණය වෙත දැනුම් දුන්නේ සිද්ධියට අදාල දුරකථන වාර්තා කැදවා ඒ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරින් වන පොලිස් සැරයන් කරුණාරත්න හා පොලිස් පරික්ෂක කුමාර ප්‍රකාශ ලබා ගත් බවත් ඔවුන් විමර්ශනය නොමඟ යවන අසත්‍ය ප්‍රකාශ ලබා දී ඇති බවට කරුණු අනාවරණය වි ඇති බවයි.

+++++++++++++++++++++

අනතුර සිදු වූ අවස්ථාවේ පාඨලීගේ රිය පැදවූයේ තමා නොවන බවට රියදුරුගෙන් ප්‍රකාශයක්

(24.02.2020 – 19:29 +0530 – sinhala.adaderana.lk)

2016 වසරේදී පාඨලී චම්පික රණවක මහතාගේ ජීප් රියෙහි තරුණයෙකු ගැටුණු අවස්ථාවේදී එම ජීප් රථය පැදවූයේ තමා නොවන බවත්, තමාට ලැබුණු උපදෙස් මත බොරැල්ල පොලීසියට පැමිණ රියදුරා ලෙස ඉදිරිපත් වූ බවත් පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු දිලුම් තුසිත කුමාර ප්‍රකාශ ලබාදෙමින් පවසා ඇතැයි අද (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණ වුණි.

ඒ අද (24) පෙරවරුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පීරිස මහතා විමර්ශනයට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අවස්ථාවේදීයි.

2016 වසරේදී පාඨලී චම්පික රණවක මහතා විසින් භාවිතා කළ ජීප් රථයක රාජගිරිය ප්‍රදේශයේදී යතුරු පැදියක් පැදවූ තරුණයෙකු ගැටීම පිළිබඳ සිදුකරන විමර්ශනයට අදාළ නීතී කෘත්‍ය අද (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබුවේය.

කෙසේවෙතත් එම විමර්ශනයේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින 2016 වසරේදී පොලීසියට ඉදිරිපත් වූ රියදුරා වන දිලුම් තුසිත කුමාර නැමැත්තා අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදුකිරීමට නීතීඥවරයෙකු මාර්ගයෙන් ඉල්ලීමක් කළේය.

අනතුරුව ජනවාරි 22 වනදා සැකකාර දිලුම් තුසිත කුමාර විසින් අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේදී සිද්ධිය සම්බන්ධයෙන් රහසිගත ප්‍රකාශයක් සිදුකළේය.

මේ අතර විමර්ශනයට අදාළ නීතී කෘත්‍ය අද (24) යළිත් කැඳවනු ලැබූ අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් කරුණු දක්වනු ලැබුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතායි.

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර නැමැත්තාගෙන් සිද්ධියට අදාළව නැවත ප්‍රකාශයක් සටහන් කරගත් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

එමෙන්ම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ විමර්ශනයේ දෙවන සැකකාර දිලුම් තුසිත කුමාර විසින් මේ වනවිට අධිකරණයටද ප්‍රකාශයක් සිදුකර ඇති පසුබිමක එම සැකකරුට අදාළව ගන්නා ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බවයි.

මේ අතර 2016දී රිය අනතුර සම්බන්ධයෙන් පොලීසියට භාරවුණු රියදුරු දිලුම් තුසිත කුමාර දෙවන වරට විමර්ශකයින්ට සිදුකළ ප්‍රකාශයේ අන්තර්ගතව තිබූ කරුණු කිහිපයක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිය කරුණු දැක්වීම අතරතුරදී විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.

ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ දිලුම් තුසිත කුමාර මෙම රිය අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය නොපැදවූ බවත් ඔහුට සිදුකළ දැනුම්දීම මත බොරැල්ල පොලීසියට පැමිණ රියදුරා ලෙස ඉදිරිපත් වූ බවත් දිලුම් තුසිත කුමාර ප්‍රකාශ ලබාදෙමින් පවසා ඇති බවයි.

දිලුම් තුසිත කුමාරට බොරැල්ල පොලීසියට පැමිණෙන ලෙස දන්වා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ තවත් රියදුරෙක් වන අල්විස් නැමැත්තා විසින් අනතුරට පත්වූ ජීප් රථය දිලුම් තුසිත කුමාරට ගෙනැවිත් භාරදී තිබු බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

කිසිදු ලෙසකින් බිය නොවී පොලීසියට ඉදිරිපත් වන ලෙසත්, වැඩි කල් නොගොස් ඔහුව නිදහස් කරගැනීමට කටයුතු කරන බවත් දිලුම් තුසිත කුමාරට උපදෙස් ලැබී තිබුණ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට අනාවරණ කළේය.

එලෙස පොරොන්දු වූ ආකාරයටම එම අවස්ථාවේ පොලීසියට ඉදිරිපත් වූ සැකකරුට යම් සහනයක් ලැබෙන සේ පොලීසිය කටයුතු කර ඇති බව පෙනී යන බවත් කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේදී මහේස්ත්‍රාත්වරයා ලබාදුන් තීන්දුව මේ දිනවල නීතීපති දෙපාර්තමේන්තුව අධ්‍යනය කරමින් සිටින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නේය.

එමෙන්ම 2019 වසරේදී ආරම්භ කළ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා දිලුම් තුසිත කුමාරට කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවීමක් සිදුකළ අවස්ථාවේ ඔහුව පාඨලී චම්පික රණවක මහතාගේ බත්තරමුල්ල නිවසේ සඟවාගෙන සිට ඇති බව ඔහුගේ ප්‍රකාශයේදී පවසා අතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව සැකකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා, සිය සේවාදායකයාට සති දෙකක කාලයක් සඳහා පෞද්ගලික කටයුත්තකට ඔස්ට්‍රේලියාවට යාම සඳහා සිදුව ඇති බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙන්වා දුන්නේ විදෙස් ගතවීමට අවසර ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශ්වයේ ස්ථාවරය දැනුම් දීමට පෙර එම ඉල්ලීමට අදාළ ලිපිලේඛන පරිශීලනය කිරීමට අවශ්‍යව ඇති බවයි.

ඒ අනුව පළමු සැකකාර පාඨලී චම්පික රණවක මහතා විදෙස්ගතවීම සඳහා සිදුකළ ඉල්ලීමට අදාළ නියෝගය මාර්තු මස 04 වනදා සිදුකරන බව අධිකරණය ප්‍රකාශ කළේය.

***************************************

බන්දුලගෙන් සජිත්ට අභියෝගයක්

(24.02.2020 – 20:01 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුව ගත වූ කෙටි කාලසීමාව තුළ රුපියල් බිලියන 600 ක මුදලක් නාස්ති කර ඇති බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නඟන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු විපක්ෂනායකවරයාට අභියෝගයක් ලෙස ප්‍රශ්න 5 ක් ද යොමු කළා.

***************************************

ජගත් මහලේකම්ගෙන් ක්‍රියාකාරී සැලැස්මක් මානව හිමිකම් කොමිසමට

(25.02.2020 – 06:58 +0530 – sinhala.adaderana.lk)

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය සදහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කර තිබේ.

කරුණු හතකින් යුත් එම ක්‍රියාකාරී සැලැස්ම මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් මහතා විසින් ඉදිරිපත් කළ බව වාර්තා වෙයි.

මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ඊයේ ආරම්භ වුණි.

මේ අතර සමුළුවට සහභාගී වන මෙරට නියෝජිත පිරිසක් ඊයේ (24) ජිනීවා නුවරට පිටත්ව ගිය බව වාර්තා වෙයි.

එමෙන්ම අද අලුයම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් දිවයිනෙන් පිටත්ව ගිය බව අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

පුරවැසියන් 2500 කට රන්බිම් ඔප්පු ප්‍රදානය කෙරේ

(24.02.2020 – 19:25 +0530 – hirunews.lk/sinhala)

ඉඩම් ප්‍රතිසංස්කරණ සභාව යටතේ පුරවැසියන් 2500 කට රන්බිම එල්.ආර්.සී ඔප්පු හිමිකම් ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

මේ අතර, ශ්‍රී ලාංකීය නර්තන කලාවේ පුනරුදය උදෙසා දශක හතරකට අධික කාලයක් කටයුතු කළ ආචාර්ය පණීභාරත ශුරීන්ගේ සියවැනි ඡන්ම දිනය නිමිති කරගනිමින් 2020 ජාතික නර්තන දින සැමරුම් උත්සවය ද අද (24) පෙරවරුවේ පදනම් ආයතනයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

***************************************

කොළඹ රථ වාහන හසුරුවන්න, හමුදා පොලීසිය

(24.02.2020 – 16:15 +0530 – hirunews.lk/sinhala)

අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ නගරයට ඇතුළු වන සහ නගරය තුළ පවතින වාහන තදබදය අවම කිරීම සඳහා යුද හමුදා පොලිසිය යෙදවීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස්වලට අනුව උදෑසන සහ පස්වරුවේ මෙලෙස යුද හමුදා පොලීසිය යෙදවෙන්නේ පොලීසියේ රාජකාරී කටයුතුවලට සහය වීම සඳහායි.

+++++++++++++++++++++

***************************************

ආණ්ඩුවට දින 100 යි

(25.02.2020 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයේ වැඩ ආරම්භ කොට අදට දින 100 ක් සපිරෙනවා.

ගත වූ කාලසීමාවේදී සෞභ්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛත්වය දෙමින් ජනතා අපේක්ෂා ඉටු කිරීමට රජයේ අවධානය යොමුවුණා.

අධ්‍යාපනය සහ අනාගත දරු පරපුර වෙනුවෙන් පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම, වයස අවුරුදු 20 වන විට උපාධිලාභී තරුණ තරුණියන් රැකියා සඳහා සුදානම් කිරීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දීම ඒ අතර වනවා.

එමෙන්ම, දිළිඳු පවුල්වල සුදුසුකම් නොලත් තරුණ තරුණියන්ට කාර්ය සාධන බලකායක් යටතේ රැකියා ලක්ෂයක් බිහි කරමින් ආර්ථික වශයෙන් නගා සිටුවීමේ වැඩපිළිවෙල ජනවාරි 15 වන දා සිට ක්‍රියාවට නංවනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඊට අමතරව රැකියා අපේක්ෂිත සියළු උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන් ද මේ වන විට ක්‍රියාත්මකයි.

රාජ්‍ය සේවය වෙනුවෙන් රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරිමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම, රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පය මත ක්‍රියාත්මක වනවා.

එමෙන්ම, රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය ද මේ වන විට ක්‍රියාත්මකයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයේ වැඩ ආරම්භ කිරිමෙන් පසු රුපියල් මිලියන 300 නොඉක්ම වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති ණය ආපසු අය කර ගැනීමේදී ඇපයට තබා ඇති දේපල වෙන්දේසිය ද වහාම අත්හිටුවීමටයි උපදෙස් ලබාදුන්නේ.

පොදුජනතාවගේ ජන ජීවිතයේ යහපත වෙනුවෙන් ද මෙම දින 100 ඇතුළත වැදගත් තීන්දු තීරණ රැසකට එළඹ තිබෙනවා.

සියයට 15 ක් පැවති වැට් බද්ද සියයට 8 දක්වා පහත හෙලීම, දුරකථන ගාස්තු මත අය කර තිබූ බද්ද සියයට 25 කින් පහත දැමීම සහ මාර්තු 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් කිරීම ඊට අයත්.

එමෙන්ම, උද්ගත වූ හදිසි අවස්ථාවලදී කඩිනම් විසදුම් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබුණා.

කොරෝනා වෛරසය පැතිර යමින් තිබූ චීනයේ වෙසෙන සියළු සිසුන් ගෙන්වා ගැනිමට කඩිනම් පියවර ගැනීම සහ මෙරට ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වැදගත් තීන්දු ගැනීම ද එවැනි පියවර ලෙස සැලකිය හැකියි ෴

***************************************

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් බිහි කරන බව අධ්‍යාපනය ඇමති කියයි

(24.02.2020 – 19:01 +0530 – sinhala.adaderana.lk)

මෙරට අධ්‍යාපනය ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් බවට පත් කිරීමේ අභියෝගය රජය සතුව පවතින බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරා මේ බව ප්‍රකාශ කළේ ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ අද (24) පැවති උත්සවයකදීයි.

මෙම අවස්ථාවට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක්ව සිටියේය.

***************************************

තුර්කි ත්‍රස්ත කල්ලියක් මෙරට ජාත්‍යන්තර පාසලකට මුදල් ආයෝජනය කරලා

(25.02.2020 – 06:59 +0530 – lankaleadnews.com)

තුර්කියේ ක්‍රියාත්මක වන ‘ෆෙටෝ’ ත්‍රස්ත කණ්ඩායම ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලය මගින් මෙරට ජාත්‍යන්තර පාසලකට මුදල් ආයෝජනය කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමේදී අනාවරණය විය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිත්‍රස්ත අංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂා භාරතී ජයවර්ධන පසුගියදා (21 වැනිදා) එම කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි අනුව ඒ බව අනාවරණය විය.

එම ත්‍රස්ත කල්ලියේ සාමාජිකයන් පනස් දෙනකු 2016 වසරේ අගෝස්තු 05 වැනිදා මෙරටට පැමිණ ඇති බවත්, එම ත්‍රස්තවාදීන්ගේ තොරතුරු විදෙස් ගමන් බලපත්‍ර අංක සමග පිටු 12 ක රහස්‍ය ලිපියකින් තුර්කියේ මෙරට තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදී ඇති බවද ඇය කොමිසම හමුවේ පැවැසුවාය.

එම රහස්‍ය ලිපිය විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබුණු බවට 2016 වර්ෂයේ අගෝස්තු 12 වැනිදා නිල මුද්‍රා තබා ඇති බවද ඇය කොමිසම හමුවේ කීවාය.

එල්ටීටීඊ ජාත්‍යන්තර ක්‍රියාකාරකම් ඇතුළු ජාත්‍යන්තර ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා 2008 වසරේ ජනවාරි 16 වැනිදා පිහිටවනු ලැබූ ප්‍රතිත්‍රස්ත අංශයට ෆෙටෝ ත්‍රස්තවාදීන් පනස් දෙනා ගැන තුර්කි තානාපති කාර්යාලය විසින් යොමු කළ ලිපිය නොලැබුණු බවද ඇය සඳහන් කළාය.

එසේ වුවද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා එම ලිපියේ සඳහන් කරුණු සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට 2016 වසරේ අගෝස්තු 24 වැනිදා නීතිය හා සාමය අමාත්‍යාංශයට යොමු කළ බවද ඇය පැවැසුවාය.

එම ගොනුව ප්‍රතිත්‍රස්ත ඒකකයට ලැ​බෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසුව බවත්, එවකට සිටි විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක ඒ සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍ය හමුවකදී සඳහන් කිරීම පිළිබඳවද කොමිසමේදී හෙළිවිය.

එතෙක් ලිපි ගොනුව තිබී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ මධ්‍යම ආසියාතික රටවල්වල දේශපාලනික ක්‍රියාකාරකම් පිළිබඳ අංශයේය.

නීතිය හා සාමය අමාත්‍යාංශයට ​යොමු කළ තුර්කි තානාපතිවරයාගේ ලිපියකට කුමක් සිදුවීදැයි මෙතෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සොයා බැලීමක් සිදුකර නොමැති බවද ඇය පැවැසුවාය.

මෙහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ ප්‍රතිත්‍රස්ත ඒකකයට එම ගොනුව ලැබෙන තුරු අදාළ ලිපි ගැන නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීමත්, එම තොරතුරු සම්බන්ධයෙන් එවකට විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක 2019 වර්ෂයේ අප්‍රේල් 30 වැනිදා මාධ්‍යයට කරුණු පැහැදිලි කළ දිනයේම අදාළ ලිපිගොනුව ප්‍රතිත්‍රස්ත ඒකකයට ලැබීමත් විමතියට කරුණක් බවයි.

මහේෂා භාරතී ජයවර්ධන සාක්ෂි ලබාදෙමින් පැවැසුවේ ​​ෆෙටෝ සංවිධානයට සම්බන්ධ පිරිස මෙරට ත්‍රස්ත ක්‍රියාවල යෙදෙන බව රාජ්‍ය බුද්ධි සේවය සහ මෙරට නීති ආයතනවලට දැනුම් දී තිබූ බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් එම 50 හා සම්බන්ධයෙන් තොරතුරු ලබාගත්තේ කවදාදැයි කොමිසම ඇගෙන් ප්‍රශ්න කළේය.

එම තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරයෙන් පසුව බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අදාළ තොරතුරු 2019 වසරේ අගෝස්තු 12 වැනිදා ලැබුණු බවත් ඇය කීවාය.

අදාළ පුද්ගලයන් 50 දෙනා මෙරටින් ඉවත් කරන ලෙස තුර්කිය බලපෑම් කළ බවත්, එහෙත් භෞතික සාක්ෂි නොමැති බැවින් එම 50 කගේ වීසා බලපත්‍ර අවලංගු කිරීමට නොහැකි බව ආගමන විගමන නිලධාරීන් පවසා තිබූ බවද ඇය කොමිසමේදී හෙළි කළාය.

තවමත් එම ත්‍රස්තවාදීන් 50 මෙරට රැඳී සිටින්නේදැයි කොමිසම ඇයගෙන් ප්‍රශ්න කළේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඔවුන්ගෙන් 49 දෙනකු මේ වනවිට මෙරට නැති බව ඇය කොමිසමට පැවැසුවාය.

නීතිය හා සාමය අමාත්‍යාංශයේ පොලිස් විෂය සම්බන්ධ වැඩ බලන අතිරේක ලේකම් මාලිකා ශ්‍රීමතී පීරිස් සූරියප්පෙරුමද මෙදින කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නාය.

ෆෙටෝ ත්‍රස්තවාදීන් 50 දෙනකු මෙරටට පැමිණ ඇති බවට විදේශ කටයුතු අමාත්‍යාංශය යොමු කරන ලද ලිපිය 2016 වසරේ අගෝස්තු 26 වැනිදා නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලැබී ඇති බව ලියකියවිලි පරීක්ෂාවේදී දැන ගැනීමට ලැබුණු බව ඇය කොමිසමට ප්‍රකාශ කළාය.

එවකට පොලිස් විෂය භාරව කටයුතු කළේ තමන් වුවද, එම ලිපිය තමන්ට නොලැබුණ බවත්, අමාත්‍යාංශය සහ පොලිසිය සම්බන්ධීකරණය කිරීමට පත්කර සිටි පොලිස් නිලධාරියකු මගින් එම ලිපිය එවකට සිටි අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දරට යොමුකර තිබූ බවද ඇය සඳහන් කළාය.

එම කාලයේ තමා අමාත්‍යාංශයේ සේවයේ නිරතව සිටියේ පොලිස් විෂය භාර ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය බවද ඇය පැවැසුවාය.

එම ලිපිය තමාගේ අංශයට යොමු නොවූ බවත්, එවැනි ලිපියක් අමාත්‍යාංශයට ලැබී ඇති බව තමා දැනගත්තේද ඒ ගැන පාස්කු කොමිසම විසින් තමාගෙන් කරුණු විමසූ විට බවද ඇය කීවාය.

එම ලිපිය සම්බන්ධයෙන් නියමිත කාර්යාල ක්‍රමවේදය අනුගමනය කළේ නම් ඒ පිළිබඳව පසු විපරමක් පවා කරන්නට තිබූ බව ඇය කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළාය.

අදාළ ලිපිය සොයා ගැනීමට වෙහෙසක් දැරූ බවත්, එහිදී අමාත්‍යාංශයේ ඇති 118 පොලිස් අංශයේ තිබූ ලිපිගොනුවක අදාළ ලිපියේ පිටපතක් තිබී හමුවූ බවද ඇය පැවැසුවාය. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් 2016 වසරේ අගෝස්තු 26 වැනිදා නීතිය හා සාමය අමාත්‍යාංශයට ලැබුණු ෆෙටෝ ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් වන ලිපිය 2016 වර්ෂයේ අගෝස්තු 30 වැනිදා අදාළ පොලිස් නිලධාරියා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දරට යොමුකර ඇති බවට එම ලිපි ගොනුවේ තිබී හමුවූ ලිපිවලින් දැනගන්නට ලැබුණු බවද ඇය සඳහන් කළාය.

මෙම ලිපිය සම්බන්ධයෙන් නිරීක්ෂණ, අමාත්‍යාංශයට පොලිස්පතිවරයාගෙන් ලැබුණු බවක් අමාත්‍යාංශ ලේඛනවලින් සොයා ගැනීමට නොහැකි වූ බවද ඇය කීවාය.

ඒ අනුව වැඩ බලන පොලිස්පතිවරයාගෙන් පසුගිය පෙබරවාරි 2 වැනිදා විමසීමක් කළ බවත්, ඊට පිළිතුරු ලිපියක් තමාට පොලිස් මූලස්ථානයෙන් ලැබුණු බවද ඇය කීවාය.

එම ලිපිය පාස්කු කොමිසමට පොලිස් මූලස්ථානය විසින් යොමු කළ ලිපියක පිටපතක් බවත්, එහි සඳහන්ව ඇත්තේ අමාත්‍යාංශයෙන් ලද ලිපිය පොලිස්පති කාර්යාලයට 2016 වසරේ සැප්තැම්බර් 1 වැනිදා ලැබී ඇති බවත්ය. එය 6 වැනිදා රාජ්‍ය බුද්ධි සේවයට යොමු කර ඇති බවද ඇය පැවැසුවාය ෴

***************************************

වසර හතරක් අරගල කළේ මුස්ලිම් අන්තවාදයට කප්පම් දෙන්නද – මතුගම සෙනෙවිරුවන්

(25.02.2020 – 10:06 +0530 – lankaleadnews.com)

පැවති යහපාලන රජය විදේශ න්‍යාය පත‍්‍රයක් සමග බලයට පත් වීමෙන් මෙරට ජාතික ආරක්ෂාවත් ජාතික උරුමයත් බරපතල ලෙස අර්බුදයට ගිය ආකාරය පසුගිය කාලයේ දී දැක ගත හැකි විය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හා එකඟව 30/1 යෝජනාවලියට සම අනුග‍්‍රහය දැක්වීම මින් පළමුවැන්නයි. ඉන් පසු එම න්‍යාය පත‍්‍රය ප‍්‍රකාරව රට බෙදීමට අවශ්‍ය නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ආරම්භ විය. හමුදා බුද්ධි අංශ අකර්මණ්‍ය කරනු ලැබූ අතර උතුරේ දෙමළ අන්තවාදී දේශපාලනඥයන් හට වරදාන ලැබුණි. රටට අහිතකර නොයෙකුත් පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ දී සම්මත කරනු ලැබූවේ ඉතාම හිතුවක්කාර පරිදිය. අතුරුදන් තැනැත්තන් පිළිබඳ පනත එම කාර්යාලීය පනත ආදිය සම්මත කර ගැනීමට කළ උත්සාහය නිසා කොටි ත‍්‍රස්තයන් ගේ පවුල්වලටද අද වන්දි ගෙවීමට සිදු ව තිබේ. එසේම රණවිරුවන් රාශියක්ද ස්වාමීන් වහන්සේලා රාශියක්ද සිරගත කරනු ලැබිණ. යහපාලන රජයේ මේ අමන තකතීරුකම් වළක්වාලීමට කළ අරගලය 2015 වසරේ සිටම ආරම්භ විය. ගෙදර යැවූ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා දෙස සානුකම්පිකව බැලූ ජනතාව යළි ඔහුගේ දේශපාලන ආගමනය බලාපොරොත්තු වූයේ රටම අසරණ වී ඇතැයි සිතූ නිසාය. එම තත්වය මත, විමල් ගම්මන්පිල ආදීන් ගේ මෙහෙයවීමෙන් නුගේගොඩින් ඇරඹී මහින්ද සුළඟ දේශපාලන පක්ෂයක් බවට පත් වී පැවති පළාත් පාලන මැතිවරණයෙන් මහා ජයග‍්‍රහණයක් ලබා ගත්තේය. මේ අරගලය දේශපාලන අරගලයක් පමණක් නොවේ. එය දේශපේ‍්‍රමය ජාතිකත්වය කුළු ගන්වා රටේ අනාගතය සුරක්ෂිත කර ගැනීමට ඇරඹි ජාතික සටනක් බවට පත් විය.

චන්ද්‍රිකා ජනපතිනිය සමයේ ඇරඹි මුස්ලිම් අන්තවාදයේ කූට ප‍්‍රාප්තිය සිදු වූයේ පැවති යහපාලන සමයේ දීය. ආරාබි විදුහල් මද්‍රසා පාසල් ආදිය පාර්ලිමේන්තු කෙටුම්පත්වලින් ආවරණය වී ශක්තිමත් වූ මේ අන්තවාදය තුළ මත්ද්‍රව්‍ය සහ වෙනත් අනාචාරයන් වේගයෙන් වර්ධනය විය. රජයේ නිලධාරීන්ද දේශපාලකයන්ද තරගයට මෙන් මේ මුස්ලිම් අන්තවාදීන්ට නතු වීමෙන් රජයේ ආයතන හරහා පවා මත්ද්‍රව්‍ය වෙළෙඳාම ප‍්‍රචලිත වූ බව නොරහසකි. විල්පත්තු පරිවාර රක්ෂිතයක් වූ මරිච්චකට්ටුව කපා මුස්ලිම් අන්තවාදීන් ගේ ජනාවාසයක් ස්ථාපිත කරලීම 2012-13 කාල වකාවානුවේ සිදු වුණද එයට අවශ්‍ය පසුබිම නිර්මාණය වූයේ අනූව දශකයේ දීය. කෙසේ වෙතත් විල්පත්තුව කැපූ දේශපාලනඥයාගේ අන්තවාදී අත්පත් කිරීම් සහ මූලධර්මවාදී බලාපොරොත්තු සියල්ල දැන් හෙළි වී අවසන්ය. ඇමරිකාවේ අවශ්‍යතාවය මත මේ අන්තවාදීන් ට නොයෙකුත් ආධාර උපකාර ලැබුණේ රට අස්ථාවර කරනු පිණිස ය. සහරාන්ලා බිහි වූයේ ඒ නිසාය. පාස්කු ප‍්‍රහාරය තුළින් ජන හදවත් දෙදරුම් කෑ අතර මේ ව්‍යසනයට එකම පිළියම යහපාලනය පෙරළා දමා නව පාලනයක් පිහිටුවා ගැනීම බවට මහා අවශ්‍යතාවයක් පැන නැගිණ. රනිල් වික‍්‍රමසිංහ කෙතරම් උත්සාහ කළද මේ ජන රැල්ල ආපසු හැරවිය නොහැකි විය. 2019 ජනපතිවරණය සමය වන විට විදෙස් ගත දේශපේ‍්‍රමීන් පවා මෙරටට පැමිණෙමින් රට දැය සමය ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වූයේ 2009 යුද්ධ කාලයේ මෙන් පෙළ ගැසුණු ජාතිමාමක බලවේග ආදර්ශයට ගනිමිනි. මේ අරගලයේ අවසාන බලාපොරොත්තුව ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ නායකත්වයට පත්වීම සැනසුම් සුසුමක් බවට පත් වූයේ ඔහු රුවන්මැලි මහා සෑ රදුන් අභියසදී කළ දිවුරුමත් කළ ප‍්‍රකාශයත් හේතු කොටගෙනයි.

දැන් නව ජනපතිවරයෙක් යටතේ නව ආණ්ඩුවක් බලයට පත්ව මාස තුනක් ඉක්මවා යමින් ඇත. පසුගිය යහපාලන සමයේ මහ බැංකුව කොල්ල කමින් කළ ආර්ථික ඝාතනයන් නිසා රට බංකොලොත්ව තිබෙන ආකාරය ඇස් පනා පිට ප‍්‍රදර්ශනය වන්නේ සංවර්ධන කටයුතු සඳහා පවා මදි පාඩු නැතිව වියදම් කරලීමට මහා භාණ්ඩාගාරයට හැකියාවක් නොමැති බැවිනි. එය ජනතාව නොදන්නවා නොවේ. සහල් මිල ගණන් එළවළු මිල ගණන් අහස උසට යමින් පීඩාවක් ඇති කළද ජනතාව ඉවසා දරාගෙන සිටින්නේ රට සුරක්ෂිත වේ යැයි පවතින විශ්වාසය මතය. නමුත් නව රජයේ අගමැති මහින්ද සිය කැබිනට් මණ්ඩලය තුළ කරන කටයුතු දෙස මේ මොහොතේ විමතියෙන් බලා ඉන්නට සිදුව තිබේ. නව රජය පත් වූ අලුතම ගල් වැලි ප‍්‍රවාහනයට පනවා තිබූ බලපත‍්‍ර ක‍්‍රමය අහෝසි කෙරුණි. කඳු වැටි කපා වෙල් ගොඩ කරන්නට සිය ජාවාරම් මගින් ලාභ උපයන්නට සිටි පුද්ගලයන්ට එය රජ මගුලක් විය. පනතේ කෙසේ සඳහන් වුවද කැබිනෙට්ටුවේ ක‍්‍රියාකලාපය නීතියට පිටින් යෑමක් බවට පත්ව තිබේ. දිනෙන් දිනම ඔවුන් ගන්නා තීරණ ප‍්‍රගතිශීලී නොවේ. වසර හතරක් පුරාවට අරගල කොට දේශපේ‍්‍රමය අවදි කරමින් සිටි දේශමාමක ජනතාවට මෙය ඉවසුම් දෙන්නක් නොවේ.

2015 ට පෙර මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරයාව සිටි සමයේ මුස්ලිම් අන්තවාදය පෝෂණය කළ ආකාරය ඉතා ඛේදජනක ය. රිෂාඞ් බදියුදීන් ට අවශ්‍ය ආකාරයට ආයතන පවරා දෙමින් නීති විරෝධීව ජාවාරම් කරන්නට උඩගෙඩි දුන් ආකාරය රහසක් නොවේ. අලුත්ගම දර්ගා නගරයේ ඇතිවූ සිද්ධිය රාජිත සේනාරත්න ඇතුලු කුමන්ත‍්‍රණකරුවන් විසින් ඇවිල වූවක්ය. එම ගින්න නිසා ඇතිවූ ගැටුම තුළ මුස්ලිම් ජනතාවට වඩා සිංහල ජනතාව මහින්ද කෙරෙන් බිඳුණි. මෙය මහින්ද තේරුම් ගත්තේ නැත. ඔහුගේ හිතුවක්කාර ආධිපත්‍ය නිසා බස්නාහිර පළාතේ ඡන්දවලින් ඔහු පරාජයට පත් වූ ආකාරය අදටත් පිළිගන්නේ නැති බව නිසැකය. අද වන විට මහින්ද මේ රටේ අගමැතිවරයා වෙයි. නව ජනපතිවරයෙකු යටතේ නව ගමනක් යා යුතු මොහොතක ඔහුගේ හැසිරීම ගැන අපට සතුටු විය හැකි නොවේ. යම් යම් පත්වීම් ලබා දීමට ඔහු කටයුතු කරන ආකාරය මෙන්ම මුස්ලිම් අන්තවාදය නැවත පෝෂණය කරලීමට ගන්නා උත්සාහය ඉතා පිළිකුල් සහගතය. පැවති රජය හෙබවූ අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉන්දීය අගමැතිවරයාගේ වුවමනාව මත අඹගමුව ප‍්‍රාදේශීය සභාව තුනකට කඩා ජාතිවාදී පදනමින් මස්කෙළිය සහ නෝර්වුඞ් ප‍්‍රාදේශීය සභා දෙකක් ඇති කළේය. ඒ අති විශේෂ ගැසට්ටුවක් උපයෝගී කරගනිමිනි. මේ සඳහා සීමා නිර්ණ කොමිසමේ නිර්දේශය පවා නොලැබී තිබුණි. දැන් මහින්ද රාජපක්ෂ රජය සයින්දමරුදු සඳහා නගර සභාවක් ලබා දී ඇත. කලින් කල්මුණේ නගර සභාව බිහිවන්නේ 1987 වසරේ දීය. පසුව 1999 දී එය මහ නගර සභාවක් බවට පත් වන්නේ සිංහල දේශපාලනඥයන් ගේ ඡන්ද අවශ්‍යතාවය මතය. කල්මුණේ උතුර හැරුන කොට සයින්දමරුදු සහ කල්මුණේ සියයට සියයක් සිටින්නේ මුස්ලිම් අයයි. මේ පෙදෙස සඳහා වෙනම මුස්ලිම් පරිපාලනයක් ඉල්ලා සිටීම කාලයක් තිස්සේ සිදුවූවක්ය. අනාගත මුස්ලිම් දේශයක් කරා යන ගමනේ අනිවාර්ය අවශ්‍යතාවයක් ලෙසට එය ඔවුන් විසින් සළකන බව පෙනේ. මහින්ද රාජපක්ෂ ජනපතිවරයා යටතේ 2014 දක්වා ද රනිල් වික‍්‍රමසිංහ රජය යටතේ 2019 දක්වා ද එය සිදු කළ නොහැකි විය. එයට හේතුව වූයේ ඒ රජයයන් අප‍්‍රසාදයට පත් වේ යැයි තිබූ බිය නිසාය. නමුත් දැන් මහින්ද රජය කිසිම බියක් නොමැතිව සයින්දමරුදු සඳහා මුස්ලිම් අන්තවාදී පාලන පෙදෙසක් ලබා දී ඇත. මෙය ඉතාම කනගාටුදායකය. වවුනියාවේ බෝගස්වැවට සහකාර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ස්ථාපිත නොකර, වැලිඔයට තනි ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයක් අනුමත නොකර, ආණ්ඩුව මුස්ලිම් බහුතරයක් වෙසෙන පෙදෙස්වලට අති විශේෂ ගැසට් ප‍්‍රකාශයට පත් කරති. එයින් අදහස් වන්නේ සිංහල බහුතරයකගේ ඡන්ද ලැබීම බලයක් බවට පත් නොවී ඇති බවයි.

පසුගිය පාස්කු ප‍්‍රහාරය සිදුවූ කාලවකවානුවේ සයින්දමරුදු නගරයේ මුස්ලිම් අන්තවාදය හා ත‍්‍රස්තවාදය ඉතාමත් ඉහළ මට්ටමක පැවතුණි. මේ බැව් ගෝඨාභය රාජපක්ෂ මහතාද නොදන්නවා නොවේ. එහෙත් මේ සම්බන්ධව පරිපාලන තීරණ ගැනීමකදී එයට බාධකයක් එල්ල නොවිණ. මෙයට හේතුව ලබන මැතිවරණයේ දී මුස්ලිම් ඡන්ද බලාපොරොත්තු වීමයි. නැවතත් බදියුදීන් වැනි අන්තවාදීන් තුරුලට ගැනීමට මුස්ලිම් ඡන්ද වැඩි ප‍්‍රතිශතයක් ලබා ගත යුතුය. බදියුදීන්ලා ගේ කුඩු සල්ලි වලින් මෙරට දේශපාලනය පමණක් නොව නිලධාරි තන්ත‍්‍රයද පාලනය කරන බවට තිබෙන තවත් උදාහරණයක් ලෙසට මෙම පියවර හඳුනාගත හැකිය. කෙසේ වුවත් මෙම පියවර අප වහා පරාජයට පත් කළ යුතු අතර දේශයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සහ නව රජය සුරක්ෂිත කරලීමේ වගකීම තිබෙන නමුත් ඔවුන් ගන්නා අමන තීරණ ආපසු හැරවීමටත් මේ අවස්ථාවේ දී නව අරගලයකට සූදානම් විය යුතුය. එසේ නැතහොත් මේ රටේ සිංහල බෞද්ධ ජනතාව කබලෙන් ළිපට වැටෙනවා නිසැකය.

– මතුගම සෙනෙවිරුවන්

***************************************

ජාඇල අවට හෙට (26) වතුර නෑ

(25.02.2020 – 11:09 +0530 – sinhala.adaderana.lk)

ජාඇල, කටුනායක, සීදුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට(26) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (26) පෙරවරු 09:00 සිට බ්‍රහස්පතින්දා අළුයම 03:00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේය.

ජා ඇළ සහ කටුනායක සීදුව නගර සභා බල ප්‍රදේශ, ජා ඇළ – ඒකල, කඳාන, ආනියා කන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මාඑළිය, කෙරවලපිටිය, මාටාගොඩ, වැලිසර, මාබෝල, ඇලපිටිවල, මහබාගේ, දික්ඕවිට, උස්වැටකෙයියාව, පමුණුගම සහ බෝපිටිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවිමට නියමිතයි ෴

***************************************

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ නඩුවට අදාල ලිපිගොනු දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමට

(25.02.2020 – 10:04 +0530 – sinhala.adaderana.lk)

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩුවට අදාල ලිපිගොනු දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාල ලිපිගොනු ජනාධිපති කොමිසම වෙත භාරදී ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පලිගැනීමේ චේතනාවෙන් තමන්ට එරෙහිව නඩු පවරා ඇති බවට හිටපු නාවික හමුදාපතිවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පසුගියදා ප්‍රකාශ කළේය.

ඒ අනුව වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව සම්බන්ධයෙන් වන ලිපිගොනු ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ජනාධිපති කොමිසම දැනුම් දී තිබුණි.

මීට අමතරව වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි නඩුවට අදාල ලිපිගොනු ලබා දීම සඳහා ලබන 27 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ ෴

***************************************

චීන වසංගතයට බලපෑ ප්‍රධානතම අකුසලය… – මහ රහතුන් වැඩි මග ඔස්සේ (09-02-2020)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *