ප්‍රහාරයක් එල්ලවන බවට පාස්කු ඉරිදා දිනයේ ලැබුනු පණිවුඩයක දින වෙනස් කිරීමට එල්ලවූ බලපෑමක් ගැන හෙළිවෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ප්‍රහාරයක් එල්ලවන බවට පාස්කු ඉරිදා දිනයේ ලැබුනු පණිවුඩයක දින වෙනස් කිරීමට එල්ලවූ බලපෑමක් ගැන හෙළිවෙයි (විඩියෝ)

• පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හෙළි වූ කරුණු මත සැකකරුවන් ලෙස නම්කළ හැකි පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි (විඩියෝ)

• විල්පත්තුවේ කෝමාරිකා වගාව ගැන විවාදයකට පුජ්‍ය පාහියංගල ආනන්ද හිමිගෙන් වනජීවී ඇමතිට අභියෝගයක් (විඩියෝ)

• යහපාලන රජය විහාරස්ථානවල සංවර්ධනයට නිසි පරිදි මුදල් නොදුන් බව අගමැති කියයි (විඩියෝ)

• ETI තැන්පත්කරුවන් අදත් සත්‍යග්‍රහයේ (විඩියෝ)

• නියෝග නොතකා අන්තරේ අදත් (29) සත්‍යග්‍රහයේ (විඩියෝ)

• UGC ඉදිරිපිට සත්‍යග්‍රහක නිරත වූ රත්කරව්වේ ජිනරතනයා ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 22 ක් අත්අඩංගුවට

• සාෆිගේ නිවසේ CCTV මකා දැමීම ගැන පරීක්ෂණ මෙහෙයවූ තිසේරාගෙන් CIDය ප්‍රශ්න කරයි (විඩියෝ)

• හතළිස් දහසක් පත්වීම් ලිපි තැපැල් කළා – අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම (විඩියෝ)

• අනුමැතිය නැති මද්‍රසා ආයතන 800 ක් රටපුරා (විඩියෝ)

• කටුපොල් විරෝධයේ පියසටහන් (විඩියෝ)

• ක්‍රිස්තුදේව සිසුවා දියේ ගිලී මිය යන විට නාවික හමුදාව කැමරා කරලා – බේරා ගන්න උදවු කර නෑ

• මෛත්‍රී පාස්කු බෝම්බ නිසා ලංකාවට පැමිණීම පමා කරලා – තේරීම් කාරක සභාවේදී කියූ බොරු මෙන්න

• ‘දෙරණ උකුස්සා’ : කබලෙන් ලිපට වැටුණු වකුගඩු රෝගීන් (විඩියෝ)

• බිළිඳු දරුවන් ප්‍රතික්ෂේප කිරීම සහ ඝාතනය කිරීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක්

+++++++++++++++++++++++++++++++++++

ප්‍රහාරයක් එල්ලවන බවට පාස්කු ඉරිදා දිනයේ ලැබුනු පණිවුඩයක දින වෙනස් කිරීමට එල්ලවූ බලපෑමක් ගැන හෙළිවෙයි

(29.02.2020 – 20:27 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා දින ප්‍රහාරයක් එල්ල වන්නේ යැයි ප්‍රහාරය එල්ල වූ දින ලැබුණු පණිවුඩයේ දින වෙනස් කිරීමට සිය ඉහළ නිලධාරියා ලෙස කටයුතු කළ කොළඹ – උතුර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා බලපෑම් කළ බව එවක ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපතිවරයා අද (29) අනාවරණයක් සිදුකළා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්.

එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා අද කැඳවා තිබුණේ පාස්කු ප්‍රහාරය සිදුවූ සමයේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ඒකනායක මහතායි.

සහරාන් නම් පුද්ගලයකු ප්‍රහාරයක් එල්ල කරන බවට සිය පොලිස් ස්ථානයට VPN පණිවුඩ හුවමාරු ක්‍රමය හරහා පණිවඩයක් මුල්වරට ලැබුණේ ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් 21 වැනිදා දිවා කාලයේදී බව ඔහු එහීදී ප්‍රකාශ කළා.

ස්ථානාධිපතිවරයාගෙන් එහිදී ප්‍රශ්න විමසීම සිදුකළේ ප්‍රහාරය සිදූවූ සමයේ ඔහුගේ ඉහළ නිලධාරියා ලෙස කටයුතු කළ කොළඹ – උතුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියයි.

ප්‍රහාරයක් එල්ලවන බවට ලැබුණු තොරතුර පහළ නිලධාරීන්ට ලබා නොදීම සම්බන්ධයෙන් මීට පෙර කොමිසමේදී පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා චෝදනා එල්ල වුණා.

ඔහුගේ නීතිඥවරිය එහිදී ප්‍රශ්න කළේ ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු පණිවුඩය ප්‍රහාරයට පෙර ලැබුණා යැයි දිනය වෙනස් කිරීමට උපදෙස් දුන්නේ කවුරුන්ද යන්නයි.

අවස්ථා කිහිපයකදීම පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා දුරකථනයෙන් සහ පොලිස් ස්ථානයට පැමිණ දිනය වෙනස් කිරීම සඳහා උපදෙස් දුන් බව ස්ථානාධිපතිවරයා එහිදී සඳහන් කළා.

අනතුරුව නිතීඥවරිය විමසා සිටියේ මීට පෙර පොලිස් විශේෂ විමර්ශන ඒකකයට සාක්ෂි දෙමින් අදාළ පණිවුඩය අප්‍රේල් 13 වැනි දින ලැබුණේ යැයි ප්‍රකාශ කළේ ඇයිද යන්නයි.

ඊට පිළිතුරු දුන් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ තමන් පළමු අවස්ථාවේදී එවැන්නක් කියූ බවත් එය අසත්‍යයක් බව තමන් පිළිගන්නා බවයි.

පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ බලපෑම මත එම ප්‍රකාශය කළ බවත්, පොලිස් විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටීමට පෙරද, සිය ඉහළ නිලධාරියා තමන්ගෙන් ඒ පිළිබඳ විමසිම් කළ බව ස්ථානාධිපතිවරයා එහිදී සඳහන් කළා.

එවිට නීතිඥවරිය විමසා සිටියේ සිය ඉහළ නිලධාරියාගෙන් එවැනි බලපෑමක් එල්ල වුණේදැයි පොලිස් ස්ථානයේ සටහන් පොතේ සටහනක් තැබුවේද යන්නයි.

සිය ඉහළ නිලධාරියා පිළිබඳ මෙවන් සාක්ෂියක් දීමට වේ යැයි නොසිතූ නිසා අදාළ උපදෙස ක්‍රියාත්මක කළ බවත්, ඔහුට ප්‍රශ්නයක් වේයැයි සිතා තමා එය ක්‍රියාත්මක කළ බවත්, ස්ථානාධිපතිවරයා කොමිසම හමුවේ සංවේදී වෙමින් පැවසුවා.

නීතිඥවරිය යලි විමසා සිටියේ ඉහළ නිලධාරීන්ගෙන් බලපෑම් තිබුණේ නම් ඒ පිළිබඳ සටහනක් නොතැබුවේ ඇයිද යන්නයි.

ස්ථානාධිපතිවරයා එහිදී හැඟීම්බර වෙමින් කොමිසම ඉදිරියේ රැඳී සිටි සිය උසස් නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා දෙසට හැරී ‘සමාවෙන්න සංජීව සර්, ඔබ මේ විදියට කටයුතු කරනවා කියා දන්නවානම් මා මේ පිළිබඳ සියලු සටහන් තබා ගන්නා බවත්, දුරකථන ඇමතුම් පටිගත කරගන්නා බවත්, ඉහළ නිලධාරීන්ගේ උපදෙස් පිළිපැදීමට ගොස් තමාට දැන් අංගුලිමාලට සිදුවූ දේ වී ඇති බවත්’ ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ තමා කළ දේ වැරදි බවත්, තමන් යටතේ සිටිනා නිලධාරීන් කිසිවකුත් මේ අකාරයෙන් අමාරුවේ දැමීමට තමා කටයුතු කර නොමැති බවයි.

කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතා අනතුරුව සාක්ෂි ලබාදීම සඳහා කොමිසම හමුවට කැඳවා තිබුණා.
.
ඔහුටද ප්‍රහාරය සම්බන්ධයෙන් පණිවුඩය ප්‍රහාරය සිදුවූ දිනයේ ලැබී තිබූ අතර එම පණිවුඩයේ දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

නීතිඥවරිය ඔහුගෙන් විමසා සිටියේ ඔබට සිදුවූ බලපෑම් පිළිබඳව පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැනි ඉහළ නිලධාරීන් දැනුවත් නොකළේ ඇයිද යන්නයි.

ඉහළ නිලධාරීන්ට එවැන්නක් පවසනවානම් දින වෙන්කර ගැනීමක් කළ යුතු බවත්, එසේ පැවසීමට යාමේදීම ඒ පිළිබඳ තොරතුර ප්‍රචාරය වී අවසන් වන බවත්, ඒ අනුව තමාට වෙන්න අවශ්‍ය දේ වී අවසන් වන බවත් ස්ථානාධිපතිවරයා කොමිසම ඉදිරියේ සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ පොලිස් දෙපාර්තමේන්තුව යනු නිලධාරීවාදය හොඳින්ම ක්‍රියාත්මක වන තැනක් බවයි.

මේ අතර ඊයේ (28) දිනයේදී ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශ කිහිපයක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අදහස් පළ කළා.

මේ අතර, ඊයේ (28) දිනයේදී ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂී ලබාදුන් හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් කොමිසම හමුවේ සිදුකළ බවට මාධ්‍ය වාර්තාකල ප්‍රකාශ දෙකක් සංශෝධනය විය යුතු බව මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා.

ඔහු පැවසුවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධවූ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ඊබ්‍රාහිම් පවුල සමීප සබඳතා පැවැතුවූයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා නොව රිෂාඩ් බදියුදීන් මහතා ලෙස නිවැරදි විය යුතු බවයි.

ඊට අමරතව, එවක ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ජමෙයිතුල් උලමා සංවිධානය පියවර 4 ක් ඔස්සේ ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් කිරීමට සැලසුම් සකසා තිබූ බවට පළවූ මාධ්‍ය වාර්තාවල ශ්‍රී ලංකාව පියවර 4 කින් මුස්ලිම් රාජ්‍යයක් බවට පත් කිරීමට කටයුතු කළ පුද්ගලයින් පසුව ජමෙයිතුල් උලමා සංවිධානයටද ඇතුළත් වී සිටි බවට නිවැරදි විය යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හෙළි වූ කරුණු මත සැකකරුවන් ලෙස නම්කළ හැකි පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

(29.02.2020 – 22:32 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම හමුවේ දැනට හෙළි වූ කරුණු මත සැකකරුවන් ලෙස නම්කළ හැකි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

***************************************

විල්පත්තුවේ කෝමාරිකා වගාව ගැන විවාදයකට පුජ්‍ය පාහියංගල ආනන්ද හිමිගෙන් වනජීවී ඇමතිට අභියෝගයක්

(29.02.2020 – 20:09 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය ආශ්‍රිතව කෝමාරිකා වගාවක් සදහා අනවසරයෙන් වැවක් කැපීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් වනජීවී අමාත්‍යවරයාට අභියෝග කරනවා.

අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අභියෝගය සිදුකළා.

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පරිදි විල්පත්තුව වනෝද්‍යානය විනාශ කරමින් පෞද්ගලික සමාගමක් විසින් කෝමාරිකා වගාවක් සිදුකරන්නේ දැයි සොයා බැලීමට අප ඊයේ (28) පරිසර සංවිධාන සමග එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

එහිදී අනාවරණය වුනේ කෝමාරිකා වගාව සදහා යොදාගෙන ඇති භූමිය විල්පත්තුව ප්‍රේරණ කලාපයෙන් බැහැරව පවතින භූමියක් බවයි.

එහෙත් එම වගාව සදහා ජලය ලබාගැනීමට විශාල වැවක් හා ඇල මාර්ගයක් ඉදිවන අතර ඒ සම්බන්ධයෙන් අනුමැතියක් ලබාගෙන නොමැති බව එහිදී හෙළි වුණා.

පරිසර සංවිධාන මේ පිළිබද පෙන්වාදීමත් සමග කෝමාරිකා ව්‍යාපෘති ආයෝජක නන්දික විරාජ් මහතා වැව ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව නතර කර තිබුනා.

එම ඉදිකිරීම් නතර කිරීමත් සමග ගම්වාසීන් පිරිසක් අනුරාධපුර – පුත්තලම ප්‍රධාන මාර්ගය රාජාංගනය නගර මධ්‍යයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා.

පැය දෙකකට ආසන්න කාලයක් පැවති විරෝධතාව අවසන් වුයේ ව්‍යාපෘති ආයෝජකයා පැමිණ උද්ඝෝෂකයින්ට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුවයි.

එම ආයෝජකයා විසින් කෝමාරිකා වගා ව්‍යාපෘතිය පිළිබඳ අද (29) දිනයේ ද ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබුනා.

මෙම කෝමාරිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතයන් පළ කලේ මෙවන් අදහසක්.

***************************************

යහපාලන රජය විහාරස්ථානවල සංවර්ධනයට නිසි පරිදි මුදල් නොදුන් බව අගමැති කියයි

(29.02.2020 – 19:17 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය වෙහෙර විහාරස්ථානයන්හි සංවර්ධන කටයුතුවලට නිසි පරිදි මුදල් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (29) පෙරවරුවේ තංගල්ල – වගේගොඩ ප්‍රදේශයේ විහාර ස්ථානයක පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින්.

එම අවස්ථාවට වැඩම කර සිටි ගොඩකවෙල මහින්දාරාම පරිවේණාධිපති පූජ්‍ය හෝම්පිටියේ සුසීල හිමියන් අනුශාසනාවක් ද සිදුකළා.

අනතුරුව, අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ දිවයිනේ සෑම විහාරස්ථානයකම අභිවෘද්ධිය වෙනුවෙන් තම රජය කටයුතු කරන බවයි.

***************************************

ETI තැන්පත්කරුවන් අදත් සත්‍යග්‍රහයේ

(29.02.2020 – 19:13 +0530 – hirunews.lk/sinhala)

තම තැන්පතු මුදල් ලබාදෙන ලෙස ඉල්ලා බොරැල්ල – වෝඩ් පෙදෙස අවහිර කරමින් ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සිදුකළ සත්‍යග්‍රහයට භාවිත කළ උපකරණ කිහිපයක් තම භාරයට ගැනීමට පොලීසිය කටයුතු කිරීමත් සමග එම ස්ථානයේ අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

සත්‍යග්‍රහයට භාවිත කළ පුටු, බංකු කිහිපයක් සහ බැනර් කටවුට් ඇතුළු තවත් උපකරණ කිහිපයක් මෙලෙස පොලිස් භාරයට ගෙන තිබෙනවා.

තම තැන්පතු මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින් ඊ.ටී.අයි. තැන්පතුකරුවන් බොරැල්ල ඊ.ටී.අයි. ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 5ක් ගත වනවා.

***************************************

නියෝග නොතකා අන්තරේ අදත් (29) සත්‍යග්‍රහයේ

(29.02.2020 – 19:30 +0530 – hirunews.lk/sinhala)

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අට්ටාලයක් ඉදිකර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අවසන් කරන ලෙස දැනුම්දීම සඳහා පොලීසිය අදත් (29) එම ස්ථානයට පැමිණි අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එහිදී විනය හා නීති කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගය පිළිබඳව සිසුන් දැනුවත් කළා.

ඊට සිසුන් විරෝධය පළ කිරීමත් සමග ඇතිවූයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

කෙසේ වෙතත්, සිසුන් ප්‍රකාශ කළේ තම ගැටලුවලට විසඳුමක් ලැබෙනතුරු සත්‍යග්‍රහයේ නිරත වන බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

UGC ඉදිරිපිට සත්‍යග්‍රහක නිරත වූ රත්කරව්වේ ජිනරතනයා ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 22 ක් අත්අඩංගුවට

(01.03.2020 – 09:08 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්)

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතනයා ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 22 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහජනතාවට අවහිර වන පරිදි කටයුතු කිරීම හේතුවෙන් ලබාගත් අධිකරණ නියෝගයක් උල්ලංඝණය කිරීම් මත අද (01) උදෑසන ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේය.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අට්ටාලයක් ඉදිකරමින් සත්‍යග්‍රහයක නිරත වුණි.

මේ හේතුවෙන් මහජනතාවට අවහිරයක් වන බව පවසමින් පොලීසිය පවසා ඇත්තේ වහාම එම සිසුන්ට අදාළ ස්ථානයෙන් ඉවත් වන ලෙසයි ෴

***************************************

සාෆිගේ නිවසේ CCTV මකා දැමීම ගැන පරීක්ෂණ මෙහෙයවූ තිසේරාගෙන් CIDය ප්‍රශ්න කරයි

(29.02.2020 – 18:47 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ගේ නිවසේ සී.සී.ටී.වී දත්ත මකා දැමීමේ සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පොලිස් අධිකාරි බී.එස්. තිසේරාගෙන් රහස් පොලීසිය මේ වනවිට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටිනවා.

වෛද්‍ය සාෆිගේ සිද්ධියේ විමර්ශන මෙහෙයවූයේ ඔහු විසින්. පෙරවරු 8.40 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති අතර, ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර ඇත්තේ පෙරවරු 10 සිටයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ අදාළ සී.සී.ටී.වී දර්ශන අඩංගු දත්ත රඳවනය අධිකරණයේ නිසි අවසරයකින් තොරව විත්තිකාර පාර්ශවය අතට පත් කර ඇති බව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සිදුකළ කරුණු දැක්වීමකදී අනාවරණ වුණා.

+++++++++++++++++++++

***************************************

හතළිස් දහසක් පත්වීම් ලිපි තැපැල් කළා – අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

(29.02.2020 – 20:42 +0530 – sinhala.adaderana.lk)

රැකියා විරහිත උපාධිධාරීන් හතළිස් දහසක් සඳහා මේවනවිට පත්වීම් ලිපි තැපැල් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඊයේ (28) පස්වරුවේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ පැවසීය.

“ජනාධිපතිතුමා පොරොන්දු වුණා මාර්තු දෙවෙනිදාට කලින් පත්වීම් දෙන බව නිළධාරීන්ට ජනාධිපතිතුමා කිව්වා. දරුවන් දෙස පාට කණ්නාඩියෙන් බලන්න එපා කියලා. හතළිස් දහසක් පත්වීම් ලිපි තැපැල් කළා.”

මේ අතර කඩුවෙල ප්‍රදේශයේ පැවති ‘ගමට ගෙයක් රටට හෙටක්’ වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය විමල් විරවංශ මහතා, පසුගිය ආණ්ඩුවේ නිවාස අමාත්‍යවරයාව සිටි සජිත් ප්‍රේමදාස මහතාගේ රැකියා ලබාදිමේ වැඩපිළිවෙළ විවේචනයට ලක්කළේය.

***************************************

අනුමැතිය නැති මද්‍රසා ආයතන 800 ක් රටපුරා

(29.02.2020 – 19:33 +0530 – sinhala.adaderana.lk)

මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැති මද්‍රසා ආයතන 800 කට ආසන්න ප්‍රමාණයක් රට තුළ පවතින බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මලිත් ජයතිලක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අද (29) කළුතරදි ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගිවෙමින්ය.

මේ අතර, ඊයේ (28) පාස්කු ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ, යළි එවැනි ප්‍රහාරයක් එල්ලවීමේ අවධානම පහව ගොස් නැතැයි තමාට හැඟෙන බවයි.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉස්ලාමීය ආගමික ඉගැන්වීම් සිදු කරන මද්‍රසා ආයතන සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කථා බහක් ඇති වුණි.

ඒ අනුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සමාජය පැන නැගි ඇති එවන් ගැටලුවලට විසඳුම් යෝජනා කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගිය 19 වැනිදා යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අදාළ යෝජනාවලියේ සඳහන් කරුණු සම්බන්ධයෙන් අද මාධ්‍ය හමුවක් කැඳවිමන් එහි සභාපති මලිත් ජයතිලක මහතා කරුණු පැහැදිලි කළේය.

මේ අතර, පාස්කු ජනාධිපති කොමිසමේදී සාක්ෂි දුන් හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ, රාජ්‍ය නොවන සංවිධානවල ඇතැම් පිරිස් නීතිය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඉකුත් ආණ්ඩු සමයේදි උපදෙස් දුන් බවයි.

එම පුද්ගලයින් කවුරුන්ද යන්න කොමිසම විමසු අවස්ථාවේ මන්ත්‍රිවරයා පැවසුවේ මෑතකදි පාර්ලිමේන්තුවට තේරි පත් වු සමන් රත්නප්‍රිය, මහාචාර්ය සරත් විජේසුරිය හා ජනාධිපති නීතිඥ ජේ.සි. වැලිඅමුණ යන අය එලෙස උපදෙස් ලබාදුන් අතර, තමා ඒ දෙස කණගාටුවෙන් බලා සිටි බවයි.

තමා ඒ සම්බන්ධයෙන් එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ද දැනුම් දුන් බව මන්ත්‍රිවරයා කොමිසමට ප්‍රකාශ කළේය.

එමෙන්ම පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගන්නා ලෙස තමා පාස්කු දින ප්‍රහාරයෙන් පසු ලිපි මගින් පාර්ශ්ව රැසකට දැනුම් දුන් බවද විජයදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා පැවසුවේ, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා සොයාබැලූ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් හරහා සිදුවූයේ ත්‍රස්තවාදයට සහාය දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හොඳ චරිත සහතික ලබා දිම පමණක් බවයි.

මෙහිදි විජේදාස රාජපක්ෂ මන්ත්‍රිවරයාගෙන් හරස් ප්‍රශ්න ඇසිම සඳහා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයාට අවස්ථාව හිමි වුණි.

එහිදි නිතිඥවරයා විමසුවේ පොලිස්පතිට, ආරක්ෂක ලේකම්ට ඉහළින් සිටි ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු නොවේ ද යන්නයි.

ප්‍රහාරයට පෙර තොරතුරු ඔවුන්ට ලැබි තිබුණේ නම් ක්‍රියාත්මක විමේ වගකිම ඔවුන්ට තිබු බව මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

තවමත් නැවත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානම පහව ගොස් නැතැයි තමාට හැඟෙන බව නිතිඥවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ රට තුළ ආරක්ෂාව උපරිමයෙන්ම පවතින බවයි.

+++++++++++++++++++++

***************************************

කටුපොල් විරෝධයේ පියසටහන්

රංගිරි ශ්‍රීලංකා – නින්නාද – 2020.02.21

***************************************

ක්‍රිස්තුදේව සිසුවා දියේ ගිලී මිය යන විට නාවික හමුදාව කැමරා කරලා – බේරා ගන්න උදවු කර නෑ

(28.02.2020 – 10:03 +0530 – truenews.lk)

ගුරුවරුන් ලෙඩ නිවාඩු දැමූ දිනයේ ගිංගඟේ මුල්කඩ පාලම අසල දියනෑමට ගොස් දියේ ගිලීමෙන් මියගිය බද්දේගම ක්‍රිස්තුදේව සිසුවා බේරා ගැනීමේ අවස්ථාවක් තිබූ බව හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් තරිඳු සූරිආරච්චි නම් පාසල් සිසුවා සඳහන් කර තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ නාවික හමුදාවේ බෝට්ටුවක් එතැනට පැමිණ සිදුවීම කැමරා කළ අතර කිසිම සහායක් නොදුන් බවයි.

“නාවික හමුදාවේ අය මට පොඩ්ඩක් හරි උදවු කළා නම් ඒ අයගේ ජැකට් එකක් හරි වතුරට දැම්මා නම් එහෙම නැතිනම් බෝට්ටුව ළඟටම ආව නම් මට ඒ මොකක හරි එල්ලිලා රුසිත්ව බේරා ගැනීමට තිබුණා. ඒ බව මට හොඳටම විශ්වාසයි” යැයි ගිංගඟේ මුල්කඩ පාලම අසල දියනෑමට ගොස් දියේ ගිලීමෙන් මියගිය පාසල් සිසුවකුගේ හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් තරිඳු සූරිආරච්චි පාසල් සිසුවා සඳහන් කළා.

දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ රුසිත් තනුජය දිසානායක (15) නමැති බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලැබූ පැඟිරිදුව වත්ත, උනන්විටිය බද්දේගම ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.

මියගිය සිසුවාගේ හදිසි මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පෙ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පවත්වනු ලැබුවා. එහිදී තවදුරටත් සාක්ෂි දෙමින් පාසල් සිසුවා මෙසේද සඳහන් කළා.

“මා යනවිට ඒ අය වතුරේ බැහැලා හිටියේ. රුසිත්, රුසිත් කියලා අනික් අය හයියෙන් කෑගසනවා මට ඇසුණා. එවෙලේම මා දැක්කා රුසිත් වතුරේ ගිලෙන්න යනවා වගේ. මං ඉක්මන්ට කලිසම හා කමිසය ගලවා දමා ගඟට පැනලා රුසිත් ළඟට පිහිනුවා. එතකොට රුසිත්ගේ අත්දෙක විතරයි පේන්න තිබුණේ. මා ඉක්මනට එයා වතුරෙන් ඉස්සුවා. ටික වෙලාවකින් ආපසු එයා යටට යන්න ගියා. ආපසු මා යටට ගිහින් එයාව උස්සලා ගත්තා. දෙවැනි වතාවේ ඔසවා ගන්න විට එතැනට නේවි බෝට්ටුවක් ආවා. මා කෑගහලා කීවා මෙයාව උඩට ගන්න කියලා.

මේ වනවිට මගේ උරහිස් රිදෙන්න ගත්තා. ඒ වනවිට නේවි එකේ අය මේ සිද්ධිය වීඩියෝ කරමින් හිටියා. මට හරි අමාරුයි මා ගොඩට යනවා කොහොම හරි මෙයාව ගන්න කියලා කීවා. මා ගොඩට ගිහින් විනාඩි තුනකට පමණ පසු එක් අයෙක් බැහැලා කීවා මෙතැන නම් පේන්න නැහැ කියලා. සමහරවිට පහළට ගසාගෙන ගිහින් ඇති කියලා කීවා. අපි කෑගහලා ගමේ අය මෙතැනට ගෙන්වා ගත්තා. ඒ ආපු අයගෙන් එක් අයෙක් වතුරට බැහැලා බැලුවා. එයාට පේන්නේ නැති නිසා මාස්ක් එකක් තියෙනවා නම් දෙන්න කියලා නේවි එකේ අයගෙන් ඉල්ලුවා. මා එවිට බලන්නම් කියලා ඔහු කීවා. ඒවා අපේ ළඟ නැහැ කීවා. ඊට පසු ගමේ වෙනත් කට්ටියක් එතැනට ආවා. ඉන් දෙදෙනකු වතුරට බැස්සා.

ඒ අතර අපි පොලිසියට හා 1990 ට කතා කළා. පස්සේ තව කට්ටියක් ආවා. ඒ අය කිහිපදෙනකු ගඟට බැස්සා. සියලුදෙනා එකතුවෙලා රුසිත් උඩට ගත්තා. 1990 ගිලන් රථයකින් රෝහලට ගෙන ගියා. පස්සේ ආරංචි වුණා රුසිත් නැතිවෙලා කියලා. නාවික හමුදාවේ අය මට පොඩ්ඩක් හරි උදවු කළා නම් ඒ අයගේ ජැකට් එකක් හරි වතුරට දැම්මා නම් එහෙම නැතිනම් බෝට්ටුව ළඟටම ආවා නම් මට ඒ මොකක හරි එල්ලිලා රුසිත්ව බේරාගැනීමට තිබුණු බව මට හොඳටම විශ්වාසයි. මට ගොඩක් දුකයි.

මියගොස් සිටින්නේ මගේ අල්ලපු පන්තියේ ඉන්න මගේ යාළුවෙක්. අපි දෙදෙනාගේ ගෙවල් අතර කිලෝමීටරයක් පමණ තමයි දුර තියෙන්නේ. මමත් අද උදේ වෙනදා වගේ පාසල් ගියා. ගේට්ටුවේ අංකල් කීවා අද වර්ජනයක් නිසා ගෙදර යන්න කියලා. ඊට පසු මා ගෙදර ගියා. උදෑසන 8.30 ට විතර මගේ පාපැදිය හදාගන්න රුසිත්ගේ ගෙදරට එහා තියෙන ගරාජයකට ගියා. එතැන වසා තිබූ නිසා මා කොටගොඩ තැනකට යන්න ආවා. ඒ එන ගමන් සකිලගේ ගෙදර ළඟදි රුසිත් තව යාළුවන් දෙදෙනකු සමඟ හමුවුණා. එවිට රුසිත් නාන්න යමු කියලා කීවා. මම බැහැ කියලා කීවා. බයිසිකලය හදාගෙන එන්නම් කියලා. ඊට පසු රුසිත් කීවා බයිසිකලය පස්සේ හදාගමු ඔයගොල්ලන්ගේ ගෙදර ගිහින් තැඹිලිත් බීලා යමු කියලා.

නමුත් ඔහු අපේ ගෙදර ආවේ නැහැ. අපි ගඟ ළඟට යන්නම් ඔයත් එන්න කියලා. ඊටපසු මම බයිසිකලය සකිලගේ ගෙවල් ළග දමලා ගඟ ළඟට ගියා. මා යනවිට රුසිත්, එයාගේ අයියා, අනුෂ්ක අයියා හා සකිලයි එතැන හිටියා. මේ ඔක්කොම පාසලේ යාළුවන්” යැයිද පාසල් සිසුවා කීවේය.

මියගිය පාසල් සිසුවාගේ වැඩිමහල් සහෝදරයා වන නෙත්සර ප්‍රභාත් දිසානායක (17) පාසල් සිසුවා සාක්ෂි දෙමින් මෙසේ සඳහන් කළා.

“මියගොස් සිටින්නේ මගේ මල්ලී. අම්මා, තාත්තා, මල්ලි, ආච්චි සහ මා ගෙදර පදිංචිවෙලා ඉන්නවා. මල්ලි බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබනවා. මල්ලිට මුකුත් අසනීප තිබුණේ නැහැ. ඔහු වෙනදා විධියට පාසල් ගියා. පාසලේ ගුරුවරු වර්ජනයේ කියලා ගෙදර ආවා. නිවෙසට එනවිට උදෑසන 8.15 ට විතර ඇති. අම්මා හා තාත්තා ගෙදර හිටියේ නැහැ. ගෙදර ටිකක් ඉඳලා මෙයාට නාන්න යන්න ඕන කියලා කීවා. යාළුවන් වගයක් එනවා කියලා කීවා.

මා එයාට යන්න එපා කියලා කීවා. නමුත් මල්ලිට නෑමට යන්න ලොකු වුවමනාවක් තිබුණා. මා මේ ගැන අල්ලපු ගෙදර ඉන්න අනුෂ්කට කීවා මල්ලිලා නාන්න යන්න ඕන බව කියනවා යමුද පොඩ්ඩක් බලන්න කියා. මොකද මේ අය පොඩි අය නිසා. අපි 05 දෙනෙක් එකට ගියා. ටික වෙලාවකට පසු තරිඳු එතැනට ආවා. අපේ ගෙදර ළඟ සිට නෑමට ගිය තැනට කිලෝමීටර් 02 ක් පමණ ඇති.

නිවෙසින් 11.30 ට විතර පිටත්වුණා. පාපැදිවලින් තමයි එතැනට ගියේ. මුලින්ම මල්ලිලා වතුරට බැස්සා. ඊට පසු අනික් අයත් බැස්සා. මාත් ඊට පසු වතුරට බැස්සා. අපි ගඟට බහිනවිට මල්ලි පීනාගෙන එහාට ගියා. අපි මීට කලින් දෙවතාවක් මෙතැනට දිය නෑමට ගිහින් තියෙනවා. මල්ලිට සාමාන්‍යයෙන් පිහිනීමට පුළුවන්. අපි ගඟට බැහැපු තැන ඉඳලා මීටර් 10 ක් පමණ මල්ලි පිහිනලා ගියාට පසු අපි දැක්කා මල්ලි ගිලෙන්න වගේ යනවා.

වතුරේ උඩ යට යනවා. ඒ වනවිට තරිඳු ඇවිත් හිටියා. ඔහු ඉක්මනට මල්ලි ගිලෙන තැනට පීනාගෙන ගියා. මා දැක්කා තරිඳු තුන්පාරක් විතර මල්ලිව වතුරෙන් උඩට ගන්නවා. එතකොටත් තරිඳුට මොකක්ද වෙනවා වගේ දැක්කා. තරිඳු අපිට කථා කරලා කීවා මගේ ඇඟ ගල්වෙනවා වගේ කියලා. එවිට තරිඳු මල්ලිව අත්හැරියා. එම අවස්ථාවෙම නේවි බෝට්ටුවක් ආවා. අපි ඒ අයට කෑගහලා කීවා මල්ලිව ගොඩට ගන්න කියලා. එක් අයෙක් වතුරට බැහැලා කීවා මෙතැන නැහැ කියලා. අපි කැගැසුවා. ගමේ අයියලා දෙදෙනෙක් එතැනට ආවා. එතැනට ආපු අයියා කෙනෙක් නේවි එකේ අයගෙන් මාක්ස් එකක් ඉල්ලුවා වතුර යට බලන්න කියලා. අපේ ළඟ නැහැ කියලා ඒ අය කීවා. ටික වෙලාවකට පසු ගමේ අය එකතුවෙලා මල්ලිව ගොඩට ගත්තා. මල්ලි බද්දේගම රෝහලට රැගෙන ගියා ටික වෙලාවකින් දැනගත්තා මල්ලි නැතිවෙලා කියලා.”

+++++++++++++++++++++

***************************************

මෛත්‍රී පාස්කු බෝම්බ නිසා ලංකාවට පැමිණීම පමා කරලා – තේරීම් කාරක සභාවේදී කියූ බොරු මෙන්න

(29.02.2020 – 11:27 +0530 – truenews.lk)

පාස්කු බෝම්බ ප්‍රහාරය සිද්ධවී අදට මාස 10 යි දින 8 ක් ගතවනවා.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ තේරීම් කාරක සභාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසත්‍ය ප්‍රකාශ කර ඇති බවත් ඔහු ප්‍රහාරය සිදුවූ පසු ලංකාවට පැමිණීම පමා කළ බවත් මේ වනවිට තහවුරු වී තිබෙනවා.

2019 අප්‍රේල් 21 වැනි දින උදෑසන 08.15 – 08.45 අතර රටේ ජනතාවට භයානක ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වෙත්දී සිංගප්පූරුවේ සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා , සිංගප්පූරුවෙන් සවස 3.07 ට පිටත්වී ලංකාවට සවස 4.26 ට හා රාත්‍රී 08.30 ට පිටත්වී ලංකාවට රාත්‍රි 9.41 ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකේම නොපැමිණ රාත්‍රි 12.00 ට පමණ ලංකාවට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානයේ පැමිණියේ ඇයි දැයි තේරීම් කාරක සභාවේදී විමසූ විට සඳහන් කර ඇත්තේ එදින වෛද්‍ය පරීක්‍ෂණයක් තිබුණු බවයි.

එමෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකේ ආසන පිරී තිබුණු බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර තිබුණා.

කෙසේ වුවත් වෛද්‍ය පරීක්‍ෂණයක් තිබුණද ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකෙන් විමසූ විට ආසන පිරී තිබුණා යැයි කීමෙන් පෙනී යන්නේ වෛද්‍ය පරීක්‍ෂණය නොකර ඒමටද හැකියාව තිබුණු බවයි.

තවද එය සාමාන්‍ය වෛද්‍ය පරීක්‍ෂණයක් විය යුතුය. කෙසේ වුවද, ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ලබාගත් තොරතුරු අනුව ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකම පිරී පැවැති බව අසත්‍යයක් බව හෙළිවී තිබෙනවා.සවස 4.26 ට ලංකාවට පැමිණි ගුවන් යානයේ ව්‍යාපාරික (BUSINESS) අංශයේ ආසන 6 කුත් පිරිමැසුම්දායක (ECONOMY) අංශයේ ආසන 5 කුත් හිස්ව තිබී ඇති බව තහවුරු වී තිබෙනවා.

රාත්‍රී 9.41 ට පැමිණි ගුවන් යානයේ ව්‍යාපාරික (BUSINESS) අංශයේ ආසන 3 කුත් පිරිමැසුම්දායක (ECONOMY) අංශයේ ආසන 37 කුත් හිස්ව තිබී ඇති අතර මෙයින් පෙනී යන්නේ ජනාධිපතිතුමන් එම ගුවන් යානා දෙකෙන්ම ලංකාවට ඒමට උත්සාහ දරා නොමැති බව හා තේරීම් කාරක සභාවට දැන දැනම සත්‍ය නොවන කරුණක් ප්‍රකාශ කර ඇති බවත්ය.

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තේරීම් කාරක සභාවේදී පැවසූයේ ආරක්‍ෂාව ගැන ප්‍රශ්නයක් නිසා ශ්‍රී ලන්කන් යානාවල ආසන නොතිබුණේ නම් කිහිප දෙනකු බස්සවා හෝ ඔවුනට වන්දි ගෙවා ජනාධිපතිතුමන් ලංකාවට වහාම ආ යුතුව තිබුණු බවයි.

රටේ ආරක්‍ෂාව ප්‍රමුඛත්වයේ පළමු තැන නිසා එසේ කළ යුතුව තිබුණු බව පැවසූ විට ජනාධිපතිතුමන් පවසා ඇත්තේ ඔහු එවැනි දේ කවදාවත් ජීවිතයටම නොකරන බවත් ඊට පෙර සිටි අය නම් එසේ කරනු ඇති බවත්ය.

ඊළඟට ජනාධිපතිතුමන් කවුරුන් බැස්සවිය හැකි දැයි ලිහිල් ප්‍රශ්නයක් මතු කර තිබෙනවා.

රටේ ආරක්‍ෂාවට ප්‍රමුඛත්වය දිය යුතු යැයි කීවිට ඔහු පවසා සිටියේ ‘ඔබතුමාලා එහෙම බස්සවාලා එනවා ඇති. මට නම් එහෙම බැහැ’ යනුවෙන් ව්‍යංගාර්ථයකි.

තවද ජනාධිපතිතුමන් ජෙට් යානයක් ඇණවුම් කරන ලෙසට තානාපතිවරයාට කී බවද සඳහන් කර ඇති අතර එය ලබාගෙන එනවාට වඩා කලින් සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානයකින් ලංකාවට ළඟා විය හැකි බව ද පසුව ඔහුම සඳහන් කර තිබෙනවා ෴

***************************************

‘දෙරණ උකුස්සා’ : කබලෙන් ලිපට වැටුණු වකුගඩු රෝගීන්

(29.02.2020 – 20:53 +0530 – sinhala.adaderana.lk)

ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින උතුරුමැද පළාත් වකුගඩු රෝගීන්ගේ ජීවිත තවදුරටත් අවදානමේ හෙලන ක්‍රියාවක් සම්බන්ධයෙන් අද ‘දෙරණ උකුස්සා’ට තොරතුරු අනාවරණ වුණි.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි.

වකුගඩු රෝගයෙන් වැඩිම පීඩාවට පත්ව සිටින්නේ උතුරුමැද පළාතේ වෙසෙන ජනතාවයි.

වකුගඩු රෝගියෙකු යනු, නිරෝගී පුද්ගලයෙකු මෙන් සාමාන්‍ය පරිදි තම ශරීරයේ පවතින නයිට්‍රජනීය බහිස්‍රාවී අපද්‍රව්‍ය හා අමතර ජලය ඉවත් කර ගත නොහැකි පුද්ගලයෙකි.

ඒ අනුව උතුරුමැද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය 2015 දී වකුගඩු රුධිර කාන්දු පේරණ ඒකක 4 ක් ස්ථාපිත කරන්නේ වකුගඩු රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහායි.

ඒ අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික් රෝහල්වල.

එම ඒකකවලට අවශ්‍ය ජල පිරිපහසු යන්ත්‍ර, ජීව වෛද්‍ය ඉංජිනේරුවරයාගේ නිර්දේශ නොතකා ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකුගේ පිරිවිතරයක් යටතේ මිලදී ගනු ලබයි.

රුපියල් මිලියන 15 ක් වැයකර උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ කමිටුවක නිර්දේශවලට අනුව මිලට ගන්නා එම ජල පිරිපහදු යන්ත්‍ර හිඟුරක්ගොඩ, මැදවච්චිය, මැදිරිගිරිය, තඹුත්තේගම, කැබිතිගොල්ලෑව යන රෝහල්වල සවිකරයි.

කෙසේ වෙතත් එම ජලපිරිපහදු යන්ත්‍ර ආරම්භයේ සිටම බිඳ වැටීම්වලට ලක්වීම හේතුවෙන් අදාළ පද්ධතිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නොමැත.

ඒ පිළිබද සොයාබැලීම සඳහා උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පත්කර කමිටුවේ නිර්දේශය වන්නේ, එම ජලපිරිපහදු යන්ත්‍ර දෝෂ බැවින් ඒවා ඉවත් කළ යුතු බවයි.

එම යන්ත්‍ර අලුත්වැඩියා කිරීමට උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා උත්සාහය ද ව්‍යර්ථ ව යන්නේ වකුගඩු රෝගීන් තවදුරටත් අපේක්ෂාභංගත්වයට පත්කරමින්ය.

කෙසේ වෙතත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජල ජලපිරිපහදු යන්ත්‍ර අලුත්වැඩියා කොට යළිත් ඒවා රෝගීන්ගේ රුධිර කාන්දු පෙරණ සඳහා යළි යොදවනු ලබයි.

නමුත්, මැදවච්චිය රෝහලේ ඇති ජල පිරිපහදු පෙරණයක යම්කිසි තැන්පත් වීමක් සිදුවීම නිසා ඊට හේතුව සොයාබැලීම සඳහා කාර්මික තාක්ෂණික ආයතනය වෙත එහි ජල සාම්පල යොමුකරන අතර එහිදී අනාවරණ වන්නේ මෙහි බැක්ටීරියා හා දිලීර ඇති බවටයි.

අනතුරුව තවදුරටත් එය තහවුරු කර ගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතය වෙත යොමුකරන අතර එහිදී ද තහවුරු වන්නේ බැක්ටීරියා හා දිලීර් ජල සාම්පලවල ඇති බවයි.

මැදවච්චියේ සහා මැදිරිගිරියේ දින 40 ට වැඩි වැඩි කාලයක් ගතවීමෙන් පස්සේ ඒවායේ විෂබීජ හරනය කරයි.

විෂබීජ හරනය කිරීමෙන් පසුව යළි වතාවක් ජල සාම්පල ගෙන පරීක්ෂා කිරීමේදී නැවත වාර්තා වී ඇත්තේ විෂබීජ ප්‍රමාණය 100 ට වඩා වැඩී වීම නිසා එම යන්ත්‍ර වහාම ඉවත්කල යුතු බවටයි.

කෙසේ වෙතත් විෂබීජ ඇතුළත් එම යන්ත්‍ර හරහා මැදවච්චියේ රෝහලේ වකුගඩු ඒකකයේ තවමත් ප්‍රතිකාර සිදුවන බව එහි ගිය අද දෙරණ උකුස්සාට දැකගත හැකිවුණි.

උතුරුමැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධරයිනි, රෝගීන්ගේ ජීවිත තවදුරත් අවදානමට දමන මෙවැනි ක්‍රියා නැවැත්වීම ඔබ සතු වගකීම නොවේ ද?

***************************************

බිළිඳු දරුවන් ප්‍රතික්ෂේප කිරීම සහ ඝාතනය කිරීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක්

(01.03.2020 – 11:05 +0530 – hirunews.lk/sinhala)

දෙමව්පියන් විසින් බිලිඳු දරුවන් ප්‍රතික්ෂේප කිරීම සහ ඝාතනයට ලක් කිරීම වළක්වා ගැනීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශේෂ වැඩපිලිවෙලක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

එහි මූලික යෝජනාව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඒ අනුව මව්වරුන් විසින් ප්‍රතික්ෂේප කරන දරුවන් දිවයිනේ ප්‍රධාන රෝහල්වල ස්ථාපිත කරන විශේෂ ළදරු ඒකකයක් හරහා රැකබලා ගැනෙනවා.

ඔවුන් නිසි වයසට එළැඹුණු පසු පරිවාස භාරයට පත් කිරීම මෙමඟින් සිදුකරනු ඇති බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *