රිෂාඩ් බදියුදීන් සහ කබීර් හෂීම් ගැන පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දී හෙළිදරව්වක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රිෂාඩ් බදියුදීන් සහ කබීර් හෂීම් ගැන පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දී හෙළිදරව්වක් (විඩියෝ)

• ‘මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට’ කෘතිය එළිදැක්වෙයි (විඩියෝ)

• විධිමත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් වහා සම්පාදනයට ජනපති අවධානය

• හැඳල නිරෝධායනය ඉරිදා (08) සිට සූදානම් (විඩියෝ)

• කොරෝනා ආසාදිතයින් 93,000 ඉක්මවයි

• කොරෝනා රසායනාගාර පරීක්ෂා සඳහා තවත් මධ්‍යස්ථාන 03 ක්

• ශ්‍රී ලංකාවේ නිපදවූ VEGA සුපිරි මෝටර් රථය ජිනීවාහිදී කරළියට (විඩියෝ)

• චන්ද්‍රිකා තාක්ෂණයෙන් මෙහෙයවු මහා පරිමාණ මත්කුඩු ජාවාරම (විඩියෝ)

• නාවික හමුදාව දියත් කල අති සාර්ථක මෙහෙයුමකින් ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ ධීවර යාත්‍රාවන් දික්ඕවිට ධීවර වරායට සේන්දු වෙයි (විඩියෝ)

• කෝටි හයසියයක මත්ද්‍රව්‍ය ගෙනා ‘බොරලැස්ගමුවේ ප්‍රසන්න’ පොලිසියටම බාර වෙයි – ඩුබායි ජාලය හෙළි වේ

• උපාධිධාරීන්ගේ රැකියා පුහුණුව මැයි මාසයට (විඩියෝ)

• උපාධිධාරී පුහුණුව අත්හිටුවීම පදනම් විරහිතයි – ජනපති (විඩියෝ)

• රාජිතගේ සමයේ ඖෂධ ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතාවයන් අත්හිටුවීමට රජය ක්‍රියාත්මක විය යුතුයි – අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි (විඩියෝ)

• නිලධාරීන්ගේ නිද්‍රාශීලී පිළිවෙත් හමුවේ සිඳීයාමට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජයේ දිය දහරා පද්ධති (විඩියෝ)

• දේශපාලන අර්බුද ගැන මැති ඇමතිවරු කියන කතා (විඩියෝ)

• මගීන් සමඟ එන අමුත්තන්ට අද (06) සිට යළි ගුවන් තොටුපළ විවෘතයි

+++++++++++++++++++++++++++++++++++

රිෂාඩ් බදියුදීන් සහ කබීර් හෂීම් ගැන පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දී හෙළිදරව්වක්

(05.03.2020 – 22:30 +0530 – sinhala.adaderana.lk)

තුර්කියේ තහනම් ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ පිරිසක් මෙරට ව්‍යාපාර කටයුතු සිදු කරන බවට තුර්කි තානාපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යංශය දැනුවත් කිරිමට යාමේදි එවකට අමාත්‍යධූර දැරූ රිෂාඩ් බදියුදින් හා තවත් මුස්ලිම් අමාත්‍යවරයක් ඊට බාධා කළ බවට තානාපතිවරයා තමාට පැවසුවේ යැයි හිටපු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (05) අනාවරණ කළේය.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින්.

කෙසේ වෙතත් කොමිසම හමුවේ සාක්ෂි දුන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ මධ්‍යම ආසියානු කලාපය භාර අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රීයානි ධම්මිකා සේමසිංහ මහත්මිය පැවසුවේ ෆෙටෝ සංවිධානයට මුදල් සැපයීම් සිදු කරන ව්‍යාපාර කටයුතුවලට රිෂාඩ් බදියුදීන් සහ කබීර් හෂිම් යන දෙදෙනාම මැදිහත්විම් සිදු කර ඇති බවයි.

අද (05) දිනයේදි කොමිසම හමුවේ සාක්ෂී දෙමින් හිටපු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවැසුවේ මෙරට හිටපු තුර්කි තානාපතිවරයා ඔහුගේ නිවසට කැඳවා තුර්කියේ තහනම් ත්‍රස්ත සංවිධානයක් වු ෆෙටෝ සංවිධානයට සම්බන්ධ තොරතුරු තමන්ට ලබාදුන් බවයි.

ශ්‍රී ලංකාවේ පිරිසක්ද එම සංවිධානය සමග සම්බන්ධ සිටි අතර ඔවුන් මෙරට ව්‍යාපාර කටයුතු සිදුකරන බවත් තානාපතිවරයා තමාට පැවසුවේ යැයි වසන්ත සේනානායක මහතා කොමිසමට සඳහන් කළේය.

එම ලේඛන අතර තුර්කිය් තහනම් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ඇතැමෙකුගේ නම්, ගුවන්ගමන් බලපත්‍ර අංක සහ ව්‍යපාර තොරතුරු ඇතුලත් ලේඛනයක් සහ අධ්‍යාපන ආයතන කිහිපයක නම්ද එහි තිබු බවට සේනානායක මහතා කියා සිටියේය.

එහිදි රජයේ අධිනිතිඥවරිය එම ලේඛන වලට කුමක් කලේද යන්න විමසු අවස්ථාවේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ එම ලේඛන එවක ජනාධිපති ලේකම්වරයා සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා වෙත යොමුකළ බවයි.

මෙම කරුණ සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලය වෙත යොමුකර කඩිනමින් තීරණයක් ගන්නා බව ජනාධිපති ලේකම්වරයා වෙත යැවු ලිපියට පිළිතුරු ලිපියක් ලැබුණු බවයි සේනානායක මහතා කොමිසමට කියා සිටියේ.

2017 වර්ෂයට ආසන්න වසරකදී තමන් පිලිපීනයේ සමුළුවකට සහභාගි වු අවස්ථාවේ තුර්කියේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවි, මෙවැනි තොරතුරු ලබාදී තිබියදීත් ක්‍රියාත්මක නොවිම පිළිබදව තමාගෙන් විමසා සිටි බවත් වසන්ත සේනානායක මහතා ප්‍රකාශ කළේය.

මෙම ලිපිගොනුව එවක විදේශ කටයුතු ලේකම්වරයා ලෙස කටයුතු කළ ප්‍රසාද් කාරියවසම් මහතාට ලැබි තිබු අතර අමෙරිකාව විසින් මෙම ෆෙටෝ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස පිළිනොගන්නා බව ඔහු තමාට පැවසු බවද සේනානායක මහතා කොමිසමට පවසා සිටියේය.

එවක විදේශ කටයුතු ලේකම්වරයා එම ලිපිගොනු සම්බන්ධයෙන් ගත් ක්‍රියමාර්ග ගැන විමසීමක් කළේද යන්න කොමිසම විමසු අවස්ථාවේ හිටපු රාජ්‍ය අමාත්‍යවරය පවසා සිටියේ තමන්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යධූරය ලැබීමේදි ගැටලු රැසක් පැනනැගුණු බවත් ඊට ප්‍රසාද් කාරියවසම් මහතාද මැදිහත් වි තිබු නිසා නැවත ගැටුමක් ඇතිවන හෙයින් තමන් ඒ පිළිබඳ විමසීමක් නොකළ බවයි.

කොමිසම විමසා සිටියේ මුලින් ලබාදුන් ලිපිගොනු සහ ෆෙටෝ සංවිධානය සම්බන්ධයෙන් සිදුකළ විමර්ෂන සඳහා දේශපාලන බාධා කිරීම් සිදුවුණේද යන්නයි.

සාක්ෂි ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ තුර්කි තානාපතිවරයා මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කිරිමට යාමේදී කැබිනට් මණ්ඩලයේ සිටි ප්‍රබල මුස්ලිම් අමාත්‍යවරුන් දෙදෙනෙකු එය වැලැක්විමට කටයුතු කළ බවට තානාපතිවරයා තමාට පැවසු බවයි.

එම දේශපාලනඥයින් කවුද යන්න කොමිසම විමසු අවස්ථාවේ සේනානයක මහතා කියා සිටියේ එක් අමාත්‍යවරයෙක් රිෂාඩ් බදියුදීන් වන අතර අනෙක් මුස්ලිම් ආමාත්‍යවරයා පිළිබදව තානාපතිවරයා තමන්ට සඳහන් නොකළ බවයි.

ඉන් පසුව කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ මධ්‍යම ආසියානු කලාපය භාර අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රීයානි ධම්මිකා සේමසිංහ මහත්මියයි.

තුර්කියේ සිට මෙරටට පැමිණි ‍ෆෙටෝ සංවිධානයේ සමාජිකයින් සහ මෙරට ව්‍යාපාර කටයුතු කරමින් ෆෙටෝ සංවිධානය සමග සබදතා පැවැත්වු ශ්‍රී ලාංකිකයින් එම මුදල් වලින් එම සංවිධානය පෝෂණය කිරිමට කටයුතු කළ බව ඇය සාක්ෂි ලබා දෙමින් කියා සිටියේය.

එමෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ කබීර් හෂිම් ෆෙටෝ සංවිධානයට මුදල් සැපයීම් සිදු කරන ව්‍යාපාර කටයුතුවලට මැදිහත්විමක් සිදු කර ඇති බවද ශ්‍රියානි ධම්මිකා සේමසිංහ මහත්මිය කියා සිටියේය.

එහිදි ශ්‍රීයානි ධම්මිකා සේමසිංහ මහත්මිය ලිපිගොනුවක් දෙස බලමින් සාක්ෂි ලබාදීම මෙහිදි කොමිසමට නිරික්ෂණය වු අතර එම ලිපිගොනුව ඉවත් කර සාක්ෂි ලබාදෙන ලෙස කොමිසම නියෝග කරනු ලැබුවේය.

+++++++++++++++++++++

***************************************

‘මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට’ කෘතිය එළිදැක්වෙයි

(05.03.2020 – 21:16 +0530 – sinhala.adaderana.lk)

පිවිතුරු හෙළඋරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් රචිත ‘මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට’ කෘතිය එළිදැක්වීම අද (05) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

2015 ජනවාරි 08 වැනි දින බලයට පැමිණි ආණ්ඩුව වෙනස්කර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම දක්වා වූ ගමන් මග ‘මහින්ද සුළඟින් ගෝඨාභිෂේකය’ කෘතියෙහි අන්තර්ගතය වී ඇත.

කෘතිය මහා සංඝරත්නයට පිළිගැන්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට අමාත්‍ය විමල් වීරවංශ මහතාට හා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට පිළිගැන්වනු ලැබීය.

ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා කෘතිය පිළිබඳ හැඳින්වීම සිදු කළේය.

නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, මැති ඇමතිවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

+++++++++++++++++++++

***************************************

විධිමත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් වහා සම්පාදනයට ජනපති අවධානය

(05.03.2020 – 20:38 +0530 – sinhala.adaderana.lk)

කාලීන වෙනස්වීම්වලට ගැළපෙන විධිමත් අධ්‍යාපනයක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් වහා සකස් කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එය ජනාධිපතිවරයා හෝ අධ්‍යාපන ඇමතිවරයාහෝ පවතින රජය හෝ මාරුවන විට වෙනස් නොවන දැයේ අනාගත පරපුර වෙනුවෙන් වූ ක්‍රමයක් වියයුතු බව ද එතුමා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි සැලැසුම් පිළිබඳව අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

‘අධ්‍යාපන ප්‍රතිපත්තියක්’ සැකසීමේ දී ගනු ලබන ක්‍රියාමාර්ග ගැන කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව සහ මහජනතාව පූර්ණ වශයෙන් දැනුවත් කළ යුතු බවත් අධ්‍යාපනඥයින්ගේ සහ අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ උපදෙස් සහ අන්තර්ජාතික ක්‍රම සැලකිල්ලට ගෙන එය සකස් විය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

දේශපාලන පණිවිඩ සහ ඡායාරූප පාසල් පෙළපොතෙන් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන ඇති තීරණය ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්ව ඇත.

ග්‍රාමීය ප්‍රදේශවල පවතින ඉංග්‍රීසි, ගණිත සහ විද්‍යා ගුරු හිඟයට පිළියමක් ලෙස පරිගණක තාක්ෂණය උපයෝගී කර ගැනීමේ හැකියාව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇති අතර විධිමත් සැලසුමක් මඟින් නාගරික දරුවන්ට ලැබෙන දැනුම ගමේ දරුවාට ද ඉන් ලබාදිය හැකි බවත් සඳහන් කර ඇත ෴

***************************************

හැඳල නිරෝධායනය ඉරිදා (08) සිට සූදානම්

(05.03.2020 – 20:17 +0530 – sinhala.adaderana.lk)

‘කොවිඩ් නයින්ටීන්’ හෙවත් නව කොරෝනා වෛරසය පැතිර ගොස් තිබෙන ඉරානය, දකුණු කොරියාව, ඉතාලිය යන රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා හැඳල ලාදුරු රෝහලේ ස්ථාපිත කරන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු එළඹෙන ඉරිදා (08) සිට ඇරඹීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නව කොරෝනා වෛරසය ශීඝ්‍රෙයන් පැතිර යන ඉරානය, දකුණු කොරියාව, ඉතාලිය යන රටවල සිට මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්කිරීමට කොරෝනා වෛරසය පිළිබඳ ජාතික ක්‍රියාකාරී කමිටුව සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ රැස්ව පසුගියදා තීරණය කළේය.

හැඳල ලාදුරු රෝහල ඊට යොදාගන්නා ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කිරීමට පියවර ගැනුනේ ඒ අනුවයි.

කෙසේ වෙතත් ඊයේ (04) දිනයේ ඊට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය එල්ල වු අතර අද (05) දෙවන දිනටත් විරෝධය පළ වුණි.

පිරිස විරෝධතාවයේ නිරත වුණේ හැඳල ලාදුරු රෝහල ඉදිරිපිට මාර්ගය එක් මංතීරුවක්ද අවහිර කරමින්.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ නිරෝධායන මධ්‍යස්ථානයේ එළඹෙන ඉරිදා (08) සිට නිරෝධායන කටයුතු ඇරඹීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර දකුණු කොරියාවේ සිට සිය මව සහ පියා සමඟ මෙරටට පැමිණ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව යන රෝගී ලක්ෂණ සහිතව බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ අටමස් වයසැති බිළිඳා වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව එම රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයින් 93,000 ඉක්මවයි

(05.03.2020 – 20:19 +0530 – sinhala.adaderana.lk)

චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් ව්‍යාප්තිය ආරම්භ වුණු නව කොරෝනා වෛරසය අද වනවිට අමෙරිකාව, එංගලන්තය , ප්‍රංශය , ඉතාලිය ඇතුළු ලෝකයේ රටවල් 76 ක් පුරා ව්‍යාප්ත වී ඇත.

මේ වන විට නව කොරෝනා ආසාදිතයින් 93,000 කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 3275 ක්.

චීනයට අමතරව නව කොරෝනා ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමක් දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රාජ්‍යයන් වෙත එල්ල වී ඇත.

සැලකිය යුතු ශ්‍රී ලාංකිකයන් පිරිසක් වෙසෙන දකුණු කොරියාවෙන් අද වන විට කොරෝනා ආසාදිතයන් 6088 ක් පමණ හමුවී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 35 ක්.

කොරියාවේ සංචාරක ආකර්ශනය දිනාගත් ජේජු දූපතින්ද වෛරස ආසාදිතයින් හමුව තිබේ.

මේ තත්ත්වය හමුවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා චීන සංචාරකයන්ට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම වළක්වමින් ක්‍රියාත්මක කර තිබූ තහනම දකුණු කොරියානු සංචාරකයින්ට ද ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා රසායනාගාර පරීක්ෂා සඳහා තවත් මධ්‍යස්ථාන 03 ක්

(06.03.2020 – 06:34 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පරීක්ෂා කිරීමේ පහසුකම් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ අවස්ථාවේදී අදාළ රසායනාගාර පහසුකම් පැවතියේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පමණක් බවයි.

කෙසේ වෙතත්, පවතින සැලකිල්ලට ගනිමින් මහනුවර ජාතික රෝහලේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේද මේ වනවිට එම රසායනාගාර පහසුකම් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම, නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් බදුල්ල පළාත්බද මහරෝහලට ඇතුළත් කර සිටින බිළිඳාගේ ජෛව සාම්පල පිළිබඳ වාර්තාව අද (06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එමෙන්ම, උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ සහිත අවුරුද්දක් වයසැති ගැහැණු දරුවෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර තම දෙමව්පියන් සමඟ ඉතාලියේ සිටයි මෙරටට පැමිණ ඇත්තේ.

ඒ අනුව ඇයගේ ජෛව සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය වෙත යොමුකර ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා කියා සිටියා.

මේ අතර, කොරෝනා වෛරස් රෝගය හේතුවෙන් සිදුවූ බ්‍රිතාන්‍යයේ පළමු මරණය වාර්තා වී තිබෙනවා.

මේ වන විට කොරෝනා වෛරස් රෝගය හේතුවෙන් පුද්ගලයින් 3348 ක් මිය ගොස් ඇති අතර වෛරසය රෝගය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 97,886 ක් ෴

***************************************

ශ්‍රී ලංකාවේ නිපදවූ VEGA සුපිරි මෝටර් රථය ජිනීවාහිදී කරළියට

(05.03.2020 – 19:54 +0530 – sinhala.adaderana.lk)

සියයට සියයක්ම ශ්‍රී ලාංකේය ඉන්ජිනේරුවන් මෙරටදීම නිපදවූ VEGA EVX සුපිරි මෝටර් රථය පසුගියදා ජීනිවා මෝටර් රථ ප්‍රදර්ශනයේදී ලොවට එළිදැක්වුණි.

VEGA EVX රථය දකුණු ආසියාවේම නිර්මාණය වූ විද්‍යුත් බලයෙන් ධාවනය වන පළමු සුපිරි මෝටර් රථයයි.

විද්‍යුත් බලයෙන් ධාවනය වන සුපිරි මෝටර් රථ තාක්ෂණයේ නව පෙරලියක් ඇතිකිරීමේ අරමුණ ඇතිව VEGA නමින් සියයට සියයක්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව මෝටර් රථයක් නිපදවීම තරුණ කණ්ඩායමක් විසින් ආරම්භ කර තිබුණේ 2013 වර්ෂයේදීයි.

වේගා නිර්මාණකරුවන්ගේ කණ්ඩායම සමන්විත වී තිබුණේ මෙරට පාසැල් සහ විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවන්ගෙන් පමණක් වීම විශේෂත්වයක්.

ඔවුන් වසර 06 ක කාලයක් මුළුල්ලේ සිදුකළ වෙහෙසකර ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස වේගා සුපිරි මෝටර් රථය 2020 ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදැක්වීම සඳහා වැඩ අවසන් කෙරුණි.

එය ජිනීවා වෙත රැගෙන යාමට පෙර මෝටර් රථයේ විශේෂත්වය සහ අද්වීතීය ගුණාංග පිළිබඳව වේගා කණ්ඩායම දෙරණ රූපවාහිණියේ ‘ටෝක් විත් චතුර’ වැඩසටහනට එක්වෙමින් කරුණු පැහැදිළි කළේය.

ලොව පුරා පැතිර ගිය කොරෝනා වෛරසයත් සමඟ මෙවර ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයට ජනතාව සහභාගී වීම වැළැක්වීමට එහි සංවිධායකයින් තීරණය කළ අතර ඒ අනුව ප්‍රදර්ශනයේදී එළි දැක්වීම සඳහා ජීනීවා වෙත රැගෙන ආ මෝටර් රථ සියල්ල ලොවට එළිදක්වනු ලැබුවේ අන්තර්ජාලය හරහායි.

එහිදී VEGA EVX මෝටර් රථයේ තාක්ෂණය පිළිබඳව VEGA INOVATIONS අධ්‍යක්ෂ බේෂාන් කුලපාල විසින් ලොවට පැහැදිළි කළේය.

මුළුමනින්ම විද්‍යුත් බලයෙන් ධාවනය වන VEGA EVX රථයේ මෝටරය මෙන්ම ධාවනයට විද්‍යුත් බලය සපයන බැටරියද මෙරට ඉංජිනේරුවන්ගේ නිෂ්පාදනයක් වීම විශේෂත්වයක්.

මෙම මෝටර් රථයට පැයට කිලෝමීටර් 0 සිට 100 ක වේගයක් ලබාගැනීමට ගතවන්නේ තත්පර 3.1ක තරම් සුළු කාලයක් පමණයි.

මෙම රථයට වඩාත් ආකර්ශනීය පෙනුමක් සපයන ඉදිරිපස විද්‍යුත් ලාම්පු සහ පසුපස විද්‍යුත් ලාම්පුද ශ්‍රී ලංකාවේ වේගා නිෂ්පාදනාගාරයේම නිපදවා ඇති අතර මෝටර් රථයට බරින් අඩු කිරීමේ අරමුණ ඇතිව මෙහි බඳ නිර්මාණය කර ඇත්තේ කාබන් ෆයිබර් අමුද්‍රව්‍ය යොදාගෙනයි.

සුපිරි මෝටර් රථ සඳහා ලොව පවතින ඉල්ලුම අවබෝධ කරගෙන මෙම රථය 2022 දී නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරන බවයි එහි නිර්මාණකරුවන් පවසන්නේ.

එලෙස නිෂ්පාදනය අරඹන VEGA EVX රථයේ බැටරිය සම්පූර්ණයෙන්ම ආරෝපණය කිරීමෙන් පසු කිලෝමීටර් 750ක දුරක් ධාවනය කිරීමට හැකි වන පරිදි සහ පැයට කිලෝමීටර් 380ක උපරීම වේගයක් ලඟාකරගත හැකි පිරිදි නිපදවීමට නියමිතයි.

ඉතා බලසම්පන්න මෙන්ම වේගවත් VEGA EVX රථය නිපදවීම සඳහා ලෝකයේ වෙනත් රටවල ආයෝජකයින් සහ ව්‍යාපාර සබඳතාකරුවන් ගේ සහය වේගා නිශ්පාදකයින් අපේක්ෂා කරන අතර එය දැනටමත් මෝටර් රථ ලෝලීන්ගේ දැඩි ආකර්ශනය දිනාගැනීමට සමත්ව තිබීම සුවිශේෂී කරුණක්.

ඒ අනුව නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවත් ලොව සුපිරි මෝටර් රථ නිපදවන රටවල් අතලොස්ස අතරට එක්වුන නොඅනුමානයි !

+++++++++++++++++++++

***************************************

චන්ද්‍රිකා තාක්ෂණයෙන් මෙහෙයවු මහා පරිමාණ මත්කුඩු ජාවාරම

(05.03.2020 – 19:51 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා ඉතිහාසයේ මුහුදු සීමාවේ සිදු කළ මෙහෙයුමකදී සොයාගැනුණු විශාලතම මත්කුඩු තොගය සිය භාරයට ගනිමින් මහාපරිමාණ ජාවාරමක් අනාවරණය කරගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.

මෙලෙස ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍ය තොගය කිලෝ ග්‍රෑම් 450 කට ආසන්නයි.

ශ්‍රී ලාංකිකයකු විදේශයක සිට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මෙම සමස්ත මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇතැයි මේ වනවිට අනාවරණ වී ඇත.

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ගාල්ල මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 75 කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 65 ක තොගයක් සිය භාරයට ගත් අතර පුද්ගලයින් පස්දෙනෙකුද සැක පිට අත්අඩංගුවට ගැනුණි.

අනතුරුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් නාවික යාත්‍රා දෙකක් පිළිබඳව ආරක්ෂක අංශ විසින් අනාවරණ කර ගෙන ඇත.

ඒ අනුව නාවික හමුදාව දකුණු මුහුදේ සිට කිලෝ මීටර් දහසකට වඩා දුරින් පිහිටි ජාත්‍යන්තර මුහුදු සීමාවේදී දැවැන්ත මෙහෙයුමක් සිදුකර ඇත්තේ නාවික හමුදාවේ සමුදුර ‍නෞකාව හා සයුරල නෞකාව එක්කරගනිමින්.

එහි ප්‍රතිඵලයක් ලෙස අනන්‍යතාවය තහවුරු කිරීමට අසමත් වූ ‘ඩව්’ නමින් හඳුන්වන විදේශීය ධීවර ය්‍රාතා දෙකක් සෝදිසි කර ඇත.

එහිදී අනාවරණ වී ඇත්තේ පසුගියදා මෙරට මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත්වූ යාත්‍රාවේ සිටි පිරිස හා මෙම යාත්‍රා දෙකෙහි සිටි පිරිස අතර සන්නිවේදනයක් තිබී ඇති අතර එම යාත්‍රා දෙකෙන් , පසුගිය දා ආරක්ෂක අංශ භාරයට ගැනුණු ශ්‍රී ලාංකික යාත්‍රාව වෙත මත්ද්‍රව්‍ය ලබාදී ඇති බවයි.

ඒ අනුව අදාල යාත්‍රා දෙක පරීක්ෂා කළ නාවික හමුදා සාමාජිකයින් එහි තිබී හෙරෝයින් බවට සැකකෙරෙන කුඩු කිලෝ එකකට වඩා බරින් වැඩි පැකට්ටු 329 ක් හා කිලෝ එකකට වඩා බරින් වැඩි අයිස් බවට සැකකෙරන මත්ද්‍රව්‍ය පැකට් 50 ක් සොයා ගෙන තිබේ.

අනතුරුව එම යාත්‍රා දෙකෙහි සිටියදී පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඉරාන සහ පාකිස්ථාන ජාතිකයන්ය.

මෙම සමස්ත මත්ද්‍රව්‍ය ජාවාරම චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මෙහෙයවා ඇත්තේ විදෙස්ගතව සිටින මෙරට පුද්ගලයෙකු විසින් බවට අනාවරණ වී තිබේ.

අනතුරුව අදාල යාත්‍රා දෙක දික්ඕවිට වරායට ගෙනඑනු ලැබුවේය.

එහිදී තහවුරු වූයේ පසුගියදා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ හා මෙම මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝ ග්‍රෑම් 450 ට ආසන්න බවයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතරම් මත්ද්‍රව්‍ය තොගයක් මුහුදු සීමාවේ සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙයයි.

එමෙන්ම මෙය මෙරට ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගත් විශාලතම අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙයයි.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 600 ට ආසන්න බව නාවික හමුදාව පවසයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

නාවික හමුදාව දියත් කල අති සාර්ථක මෙහෙයුමකින් ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ ධීවර යාත්‍රාවන් දික්ඕවිට ධීවර වරායට සේන්දු වෙයි

(05.03.2020 – navy.lk)

ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් යොදවා ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 600 (ක්‍රි.මී 1111) පමණ දුරක සිදුකල සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද කෝටි 600 කට ආසන්න මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාවන් අද (2020 මාර්තු 05) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලදි.

පොලී‍ස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද බුද්ධිමය තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් වන ‘ශ්‍රී ලංනානෞ සමුදුර’ සහ ‘ශ්‍රී ලංනානෞ සයුරළ’ යන නෞකාවන් මසකට ආසන්න දීර්ඝ මෙහෙයුමක යොදවන ලද අතර, මෙහිදී ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු සීමාවේදී හෙරෝයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ. 75 ට ආසන්න ප්‍රමාණයකුත් අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ. 66 කට ආසන්න ප්‍රමාණයකුත් ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රි ලාංකික ධිවර යාත්‍රා දෙකක් සහ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සිදුවිය.

වැඩිදුර විමර්ෂණයේදී ශ්‍රී ලංකාවෙන් බහුදින ධීවර කටයුතු කරන මුවාවෙන් පිටත්වූ ධිවර යාත්‍රාවන් හට මත්ද්‍රව්‍ය ලබාදීමට ගැඹුරු මුහුදේ රැදීසිටි ධජ හිමි රාජ්‍ය (Flag State) රහිත යාත්‍රාවක් ප්‍රථමයෙන් අත්අඩංගුවට ගන්නා ලද අතර, පසුව එහිදී ලබාගත් තොරතුරු මත එලෙසම ගැඹූරු මුහුදේ රැදී සිටි තවත් එවැනිම ධජ හිමි රාජ්‍ය (Flag State) රහිත මුහුදු යාත්‍රාවක් දින 04 ක දීර්ඝ මෙහෙයුමක් අතරතුර අත්අඩංගුවට ගැනීමට හැකිවිය. එහිදී සිදුකල පරීක්‍ෂාවේදී එම යාත්‍රා තුල තිබී හෙරෝයින් බවට සැක කෙරෙන තවත් මත්ද්‍රව්‍ය පැකට් 329 ක ප්‍රමාණයකුත් අයිස් බවට සැකකෙරෙන තවත් මත්ද්‍රව්‍ය පැකට් 50 ක ප්‍රමාණයකුත් සොයා ගන්නා ලදි. ඒ අනුව මෙම සමස්ත මෙහෙයුමේදී පැකට් 397 ක් තුල අසුරා තිබූ හෙරෝයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ. 400 ක පමණ ප්‍රමාණයක්ද පැකට්100 තුල අසුරා තිබූ අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ. 100 පමණ ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි විය. මෙය මෙතෙක් මුහුදේදී සිදුකරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් ඉහළම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වන අතර, ඒ අනුව එලෙස අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය. සැකකරුවන් සහ යාත්‍රාවන් අද (2020 මාර්තු 05) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදි.

මේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් පැමිණ සිටි අතර, මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් යාත්‍රාව, සැකකරුවන් 21 දෙනා සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණය සහ ඉදිරි නීතිමය කටයුතු පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යාංශය මඟින් සිදු කිරීමට නියමිතව ඇත.

+++++++++++++++++++++

+++++++++++++++++++++

කෝටි හයසියයක මත්ද්‍රව්‍ය ගෙනා ‘බොරලැස්ගමුවේ ප්‍රසන්න’ පොලිසියටම බාර වෙයි – ඩුබායි ජාලය හෙළි වේ

(06.02.2020 – 05:30 +0530 – truenews.lk)

මුහුදු මගින් රුපියල් කෝටි හයසියයක මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වා බෙදාහැරීමේ සමස්ත සැලසුම භාරව සිටි ‘බොරලැස්ගමුවේ ප්‍රසන්න’ නමැති මත්ද්‍රව්‍ය බෙදාහරින්නා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ඊයේ (05) භාරවී තිබෙනවා.

මොහුගේ පුතා තවත් ජාවාරම්කරුවකු සමග නුවරඑළියට පලායද්දී මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් වරකාපොළ ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත්තා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර වූ බොරලැස්ගමුවේ ප්‍රසන්න නමැත්තා රාත්‍රී සමාජ ශාලාවලට කොකේන්, අයිස් නමැති මත්ද්‍රව්‍ය බෙදාහරින්නකු බවත්, ඩුබායි පාතාලයෙන් ඔහුට මෙවර මත්ද්‍රව්‍ය තොගය එවා ඇති බවත් හෙළිවී තිබෙනවා.

කුඩා වැල්ලට රැගෙන එන මත්ද්‍රව්‍ය තොගය රැගෙන ඒමට අඹුසැමි යුවළක් යවා ඇත්තේ ඔහු බව හෙළිවී තිබුණා.

සැකකරුවන්ගේ දුරකථන අංක ඔස්සේ ඩුබායි මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගැනීමට පරීක්ෂණ අරඹා තිබෙනවා ෴

***************************************

උපාධිධාරීන්ගේ රැකියා පුහුණුව මැයි මාසයට

(05.03.2020 – 19:06 +0530 – sinhala.adaderana.lk)

දැනට පත්වීම් ලිපි ලද උපාධිධාරීන්ගේ පුහුණුව මැයි මස පළමු සතියෙන් අනතුරුව අරඹන බවට මැතිවරණ කොමිසම දැනුම් දුන් බව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පවසයි.

රැකියා විරහිත උපාධිධාරින්ට පත්විම්වලට අදාල පුහුණුව ලබාදීම තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව කළ දැනුම් දීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය, රැකියා විරහිත උපාධිධාරී සංගමය, බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව, ඌණ සේවා උපාධිධාරී සංගමය අද (05) දහවල් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමු විය.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි චන්දන සූරියආරච්චි මහතා මේ බව පැවසුවේ.

ඒ අනුව දැනට පත්වීම් ලිපි ලද උපාධිධාරීන් තමන්ට ආදාළ සේවා ස්ථානයට ගොස් ආයතන ප්‍රධානියාට සේවයට වාර්තා කළ බව ලිපියකින් දැනුම් දිය යුතු බවත් අදාළ පුහුණුව මැයි මස මුල ආරම්භ කරන බවට කොමිසමේ සභාපතිවරයා දැනුම් දුන් බවත් චන්දන සූරියආරච්චි මහතා කියා සිටියේය.

+++++++++++++++++++++++++++++++++++

උපාධිධාරී පුහුණුව අත්හිටුවීම පදනම් විරහිතයි – ජනපති

(05.03.2020 – 18:24 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරින් පුහුණු කිරීම නවත්වන ලෙස මැතිවරණ කොමිසම කළ දැනුම්දීම පදනම් විරහිත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (05) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන්හමුවූ අවස්ථාවේ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

මැතිවරණ කොමිසමේ සභාපති විසින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා පුහුණුව අත්හිටුවීම ගැන කුමක් කරන්නේ දැයි මාධ්‍යවේදියෙක් විසමු ප්‍රශ්නයකට පිළතුරු දුන් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

“රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දීම මගේ ජනාධිපතිවරණ ප්‍රතිඥාවක්. එතැන දේශපාලනයක් නැහැ. සුදුසුකම් ඇති සියලුදෙනා රැකියාලාභීන් ලෙස තෝරාගත්තා. දැනට සැලසුම් කර ඇත්තේ ඔවුන් පුහුණු කිරීම. රැකියාවක් කරන්න පුහුණුවක් අවශ්‍යයි. එබැවින් මේ ගැටලුව නිරාකරණය සඳහා මැතිවරණ කොමිසම සමඟ සාකච්ජා කරනවා.”

+++++++++++++++++++++

***************************************

රාජිතගේ සමයේ ඖෂධ ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතාවයන් අත්හිටුවීමට රජය ක්‍රියාත්මක විය යුතුයි – අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි

(05.03.2020 – 20:32 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරණ සමයේ ඖෂධ ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතාවයන් අත්හිටුවීමට රජය ක්‍රියාත්මක විය යුතු බව බෞද්ධ තොරතුරු කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් පවසනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළා.

***************************************

නිලධාරීන්ගේ නිද්‍රාශීලී පිළිවෙත් හමුවේ සිඳීයාමට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජයේ දිය දහරා පද්ධති

(05.03.2020 – 20:18 +0530 – hirunews.lk/sinhala)

වන සංරක්ෂණ නිලධාරීන්ගේ නිද්‍රාශීලී පිළිවෙත් හමුවේ ලෝක උරුම සිංහරාජයේ දිය දහරා පද්ධති සිඳීයාමට පටන් ගෙන තිබෙනවා.

පිටදෙණිය පිවිසුම යනු දෙස් විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් සිංහරාජය නැරඹීමට ඇතුල්වන ස්ථානයයි.

ඊට හේතුව වන්නේ ගිංගඟට මායිම් පිහිටා ඇති පිටදෙණිය පිවිසුමෙන් ඇතුලු වී කෙටි වේලාවකින් අලංකාර දිය ඇලි කිහිපයකම සුන්දරත්වය නැරඹීමට හැකිවීමයි.

එහෙත් මේ වනවිට මෙම දිය ඇලි වලට ජලය සැපයෙන ජලදහරා කොන්ක්‍රීට් යොදා හරස්කර තිබීම හේතුවෙන් බොහෝ දිය ඇලිවල ජලය සීදී ඇත්තේ මෙලෙසින්.

ගම්වාසීන් පවසන්නේ, ස්වාභාවික ජල දහරා හරස්කර මෙලෙස ලබාගන්නා ජලය සිංහරාජය ඇතුලතින්ම බට යොදා කිලෝ මීටර් ගණනාවක් දුරකට ගෙන ගොස් පෞද්ගලික හෝටල්වල ජල තටාක හා පොකුණුවලට පුරවා ගන්නා බවයි.

එසේම මෙම සංචාරක හෝටල්වලින් පිටකරන මළ අපද්‍රව්‍ය සෘජුවම මුදාහැරෙන්නේ ගිංගඟටයි.

***************************************

දේශපාලන අර්බුද ගැන මැති ඇමතිවරු කියන කතා

(05.03.2020 – 20:23 +0530 – hirunews.lk/sinhala)

+++++++++++++++++++++

***************************************

මගීන් සමඟ එන අමුත්තන්ට අද (06) සිට යළි ගුවන් තොටුපළ විවෘතයි

(06.03.2020 – 08:22 +0530 – hirunews.lk/sinhala)

ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන් සඳහා කටුනායක ගුවන් තොටුපළ අද සිට යළි විවෘත කර තිබෙනවා.

ඒ අනුව ගුවන් තොටුපළේ පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත ඇතුළු ශාලා වෙත ගුවන් මගියෙකුට එක් අමුත්තෙකු කැදවාගෙන පැමිණිය හැකියි.

ඒ සඳහා රුපියල් 300 ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු බව ද ගුවන් තොටුපළේ හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.

පසුගිය ජනවාරි 28 වන දා සිට ගුවන් මගීන් හැර අනෙකුත් පුද්ගලයන්ට ගුවන් තොටුපළ පරිශ්‍රයට ඇතුළුවීම සීමා කර තිබුණේ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමත් සමඟයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *