සඳුදා (16) බැංකු, වෙළඳ සහ රජයේ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරේ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සඳුදා (16) බැංකු, වෙළඳ සහ රජයේ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරේ (විඩියෝ)

• මහජනතාව වැඩි වශයෙන් රැස්වන සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව හෙට (15) සිට දින 14 ක් තහනම්

• මහජනයා ගැවසෙන උත්සව තහනම් – නිරෝධායනයට වි‍රුද්ධ වුණොත් වරෙන්තු නැතුව අත්අඩංගුවට

• විදේශ අමාත්‍යංශයේ නිලධාරියෙකු ස්වයං නිරෝධායනයට

• ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ යයි (විඩියෝ)

• ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන සහ සත්වෝද්‍යාන සති දෙකක කාලයක් වැසේ

• විදේශ රැකියා පුහුණු පාඨමාලා තාවකාලිකව අත්හිටුවයි

• කොරෝනා නිසා පොලිස් නිශ්කාෂණ වාර්තා Online ක්‍රමයට

• කොරෝනා වෛරසයට ආයුර්වේදයේ ප්‍රතිකර්මයන් තිබේද ? (විඩියෝ)

• ‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය පාලනයට නාවික හමුදාවේ සූදානම (විඩියෝ)

• ‘හිරු සී.අයි.ඒ.’ හෙළිදරව්වෙන් පසු ගුවන් අපද්‍රව්‍ය බැහැර කිරීම නිසි මගට (විඩියෝ)

• මුහුදු මාර්ගයෙන් ගෙන ඒමට තැත්කල කේරළ ගංජා කිලෝ 485 ක් නාවික හමුදා අත්අඩංගුවට (විඩියෝ)

• සිරිසේන ගත්තේ පඹයගේ වැඩේ කරවාගන්නයි.. උකුස්සන්ට, කටුස්සන්ට මනාප දෙන්න එපා.. – ප්‍රසන්න රණතුංග

+++++++++++++++++++++++++++++++++++

සඳුදා (16) බැංකු, වෙළඳ සහ රජයේ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරේ

(14.03.2020 – 21:44 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම සැළකිල්ලට ගනිමින් එළඹෙන සඳුදා දින (16) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ඔහු සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය පරිදි අදාළ තීරණය ගත් බවයි.

මේ අතර සඳුදා දිනය (16) බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙසට ද ප්‍රකාශයට පත් කරන බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ.

+++++++++++++++++++++++++++++++++++

මහජනතාව වැඩි වශයෙන් රැස්වන සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව හෙට (15) සිට දින 14 ක් තහනම්

(14.03.2020 – 22:55 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම සැලකිල්ලට ගනිමින් මහජනතාව වැඩි වශයෙන් රැස්වන සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ උත්සව හෙට (15) සිට දින 14 ක කාලයක් තහනම් කෙරෙන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ පොලිස්පතිවරයා විසින් මේ පිළිබඳ මහජනතාව දැනුවත් කරන ලෙස සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇති බවයි.

මේ අතර නිරෝධායන ක්‍රියාවලියට පටහැනිව ක්‍රියාකරන සියලු දෙනා සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බව ඔහු සඳහන් කළා ෴

+++++++++++++++++++++

මහජනයා ගැවසෙන උත්සව තහනම් – නිරෝධායනයට වි‍රුද්ධ වුණොත් වරෙන්තු නැතුව අත්අඩංගුවට

(15.03.2020 – 00:32 +0530 – sinhala.adaderana.lk)

රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු හෝ පෞද්ගලික මට්ටමෙන් පැවැත් වීමට සුදානම් කර ඇති සියලුම ප්‍රසිද්ධ රැස්වීම්, උත්සව ආදිය තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ශබ්ද වාහිනි යන්ත්‍ර යොදා ගනිමින් සෑම පොලිස් බල ප්‍රදේශයකම සියලු ජනතාව දැනුවත් කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශ කර ඇති ‍කොරෝනා වසංගතය ලංකාව තුළ වැළැක්වීම සඳහා 1897 අංක 3 දරණ රෝග නි‍රෝධායන හා වැලැක්වීමේ ආඥා පනතේ විධිවිධානවලට අනුව රෝග නිරෝධායන රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන ඕනෑම තැනැත්තෙකු පොලිස් නිලධාරියෙකු විසින් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රතිපාදන සලසා ඇත.

එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 16 වන පරිච්ජේදයේ මහජන සෞඛ්‍ය හා ආරක්ෂාවට එරෙහිව වැරදි යටතේ 262 දරණ ජීවිතයට අන්තරාදායක වු යම් රෝගයක් බෝවීම පැතිරවීමට තුඩුදෙන නොසැලකිලිමත් ක්‍රියා හා 263 වගන්තියේ සඳහන් ජීවිතයට අන්තරාදායක වු රෝගයක් බෝවීම පැතිර වීමට තුඩු දෙන ද්වේශ සහගත ක්‍රියා මෙන්ම 264 දරණ රෝග නිරෝධායන රීතියකට අකීකරු වීම යන වගන්ති යටතේ රෝග නිරෝධායන සම්බන්ධයෙන් වැරදි දක්වා ඇත.

ඒ සියලුම වැරදි සම්බන්ධව පොලිස් නිලධාරියෙකුට වරෙන්තු නොමැතිව අත්අංඩගුවට ගත හැකි වෙයි.

ඉහත වැරදි ප්‍රතිපාදන යට‍තේ යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගතහොත් ඇප ලබා දීම සම්බන්ධයෙන් ඇප පනතේ ප්‍රතිපාදනවලට අදාල විය යුතු අතර එම පනතේ 6-1 වගන්තිය අනුව සිදු කරන වරදක් සම්බන්ධයෙන් මහජන ප්‍රතිචාරය සාමය කඩවීමක් විය හැකි බවට අදාල ‍පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ මතය වන්නේ නම් ඇප ලබා නොදී සැකකරු හෝ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ හැකියි.

එම පන‍තේ 14 වගන්තිය අනුව එම කාරණා මත මහේස්ත්‍රාත්වරයෙකු විසින් ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාර ගත කිරිමේ හැකියාව ද පවතින බව පොලීසිය පවසයි.

තවද 1979 අංත 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 107 (1) වගන්තිය ප්‍රකාරව යම් සංඥය වරදක් සිදු කිරීමේ වැලැක්වීමේ කාර්ය සඳහා සෑම සාම නිලධාරියෙකු විසින්ම මැදිහත් වී ක්‍රියාකරනු ලැබිය හැකියි.

එය තමාගේ උපරිම හැකියාව යොදා වැලැක්විය යුතුයි.

ඒ අනුව යම් තැනැත්තෙක් රෝග ‍නිරෝධායනය හා වැලැක්වීමේ ආඥා පනත යටතේ ප්‍රතිපාදන ‍හෝ රෝග නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරන්නේ නම් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලීසිය සඳහන් කරයි.

අද වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් තැනැත්තන් 10 දෙනෙකු රොහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි ෴

+++++++++++++++++++++++++++++++++++

විදේශ අමාත්‍යංශයේ නිලධාරියෙකු ස්වයං නිරෝධායනයට

(14.03.2020 – 21:12 +0530 – hirunews.lk/sinhala)

විදේශ අමාත්‍යංශයේ නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් එම නිලධාරියා ස්වයං නිරෝධායනයට ලක්වන බව එම අමාත්‍යංශය පවසනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ යයි

(14.03.2020 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාධිත නව වන (09) සහ දසවන (10) රෝගීන් දෙදෙනා තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

ඉන් එක් අයෙක් ඉතාලියේ සිට පසුගිය 7 වනදා දිවයිනට පැමිණි 56 හැවිරිදි කාන්තාවක්.

ඇය මේවන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

අනෙක් ආසාධිතයා අවුරුදු 17 ක ගැහැණු ළමයෙක්.

ඇය මීට පෙර තහවුරු කරගත් රෝගියෙකුගේ ඥාතියෙක් බවටයි හෙළිවී ඇත්තේ.

+++++++++++++++++++++++++++++++++++

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන සහ සත්වෝද්‍යාන සති දෙකක කාලයක් වැසේ

(14.03.2020 – 18:57 +0530 – hirunews.lk/sinhala)

ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන සහ සත්වෝද්‍යාන ඉදිරි සති දෙකක කාලයක් මහජනතාවට විවෘත නොකරන බව පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යංශයේ ලේකම් සරත් විජේසිංහ මහතා දැනුම් දෙනවා.

මේ අනුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන යටතේ පවතින උද්‍යාන සහ සත්වෝද්‍යාන මෙලෙස ජනතාවට විවෘත නොකෙරෙනු ඇති.

මේ අනුව හෙට (15) සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය මෙන්ම රිදියගම සෆාරි උද්‍යානය යන ආයතන මහජනතාව වෙනුවෙන් විවෘත නොකෙරෙන බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

+++++++++++

මේ අතර දේවස්ථානවල පැවැත්වෙන ඉරුදින සහ අනෙකුත් දිව්‍යපූජා මේ මස අවසානය දක්වා නතර කරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කළා.

කොළඹ අද (14) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ නිවෙස්වල සිට රට සහ ජනතාව වෙනුවෙන් යාඥා මෙහෙයවල නිරතවන ලෙසයි ෴

+++++++++++++++++++++++++++++++++++

විදේශ රැකියා පුහුණු පාඨමාලා තාවකාලිකව අත්හිටුවයි

(14.03.2020 – 14:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ මතු වී ඇති තත්ත්වය සලකා සියළු පුහුණු පාඨමාලා තාවකාලිකව අත්හිටුවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා.

ජනතාව ඒකරාශීවීම වැළැක්වීම සහ සංචරණය වීම අවම කිරීමේ අරමුණින් මෙම තීරණයට එළඹුණු බවයි එම කාර්යාංශය නිවේදනය කළේ.

ඒ අනුව නේවාසිකව රැදී සිටින සියළු පුහුණුලාභීන්ට තම නිවෙස් වෙත යාම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාර්යාංශය දැනුම් දෙනවා.

එසේම කොරෝනා වෛරසය පාලනය වනතුරු ශ්‍රී ලංකා ශ්‍රමිකයින් විදේශ ගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට ද විදෙස් සේවා නියුක්ති කාර්යාංශය තීරණය කළා ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා නිසා පොලිස් නිශ්කාෂණ වාර්තා Online ක්‍රමයට

(15.03.2020 – 00:15 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස පොලීස් නිශ්කාෂණ වාර්තා විද්‍යුත් මාර්ග ගත ක්‍රමයට(Online) ක්‍රමයට පමණක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

අද (15) වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛසරය ආසාදිතව ඇති බවට හඳුනාගත් තැනැත්තන් 10 දෙනෙකු රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම තත්ත්වය මත ආසාදිතන හඳුනා නොගත් තැනැත්තන් සමාජය තුළ ගැවසෙමින් සිටිමේ ඉඩ ප්‍රස්ථාව බැහැර කළ නොහැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ඒ හේතුවෙන් පොලිස් මුලස්ථානය මඟින් නිකුත් කරනු ලබන නිශ්කාෂණ වාර්තා විද්‍යුත් මාර්ග ගත ක්‍රමයට පමණක් නිකුත් කිරිම සඳහා කටයුතු කරනු ලබයි.

නිශ්කාෂණ වාර්තා අයඳුම්පත් බාර ගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසා ‍කාර්යාලයේ ස්ථාපිත කර ඇති කාර්යාලය සති 2 ක කාලයක් වසා තබනු ලබන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පවසයි ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරසයට ආයුර්වේදයේ ප්‍රතිකර්මයන් තිබේද ?

(14.03.2020 – 20:32 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 හෙවත් නව කොරොනා වෛරසය අද වනවිට ලාංකීය ජන සමාජයට දැඩි බලපෑමක් එල්ල කර අවසන්.

මෙතෙක් නිසි ප්‍රතිකර්මයක් සොයාගෙන නොමැති මෙම වෛරසයෙන් වැළකීමට ආයුර්වේදයේ ප්‍රතිකර්මයන් තිබේද ?

මේ ඒ පිළිබද අප කළ සොයා බැලීමක්.

දිගු ජීවිතයකට උසස් දැනගැනීමක්, මගපෙන්වීමක් ලබා දෙන ආයුර්වේදය පැවත එන්නේ ශතවර්ෂ ගණනාවක පෙර සිටයි.

තාක්ෂණයේ දියුණුවත් සමඟ දේශීය ආයුර්වේද ක්‍රම අප සමාජයෙන් ක්‍රම ක්‍රමයෙන් ඈත්වෙමින් පවතිනවා.

නමුත් දේශීය ආයුර්වේද ප්‍රතිකාරයන්, නවීන වෛද්‍ය විද්‍යවටද අභියෝග කළ අවස්ථා පිළිබඳ අපට ඉතිහාසය උදාහරණ සපයා තිබෙනවා.

එසේනම් ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරොනා වෛරසය වැනි වෛරසයන් දේශීය ආයුර්වේදයේ ප්‍රතිකර්මයන් තුළින් මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකාවට හැකිවේවිද ?

මේ අතර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ විෂබීජ හරණය කිරීමේ අරමුණින් දේශීය ඖෂධ යොදා ගනිමින් දුමායනය කිරීමට අද (14) කටයුතු කෙරුණා.

මේ අතර අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපැර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද ආයුර්වේදය සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

+++++++++++++++++++++++++++++++++++

‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය පාලනයට නාවික හමුදාවේ සූදානම

(14.03.2020 – news.navy.lk)

ශ්‍රී ලංකා නාවික හමුදාව, සුව සැරිය ගිලන් සේවය, වරාය ගිණි නිවීමේ අංශය හා වරාය අධිකාරියේ සෞඛ්‍ය නිලධාරීන්, ජාතික නිරෝධායන ඒකකයේ වෛද්‍යවරු පිරිසක් එක්ව 2020 මාර්තු 13 වන දිනකොළඹ වරාය පරිශ්‍රයේදී ‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය ආදනය වූ බවට සැක සහිත පුද්ගලයෙකු නෞකා මගින් පැමිණියහොත් එම රෝගියා නෞකාවේ සිට ගොඩබිම ඇති අදාල රෝහලක් වෙත රැගෙනයාම සහ ගොඩබිම විශේෂ කළාපයක නිරෝධායන කටයුතු නියමිත සම්මත ක්‍රියා පටිපාටියකට අනුව සිදු කළ යුතු ආකාරය පිළිබඳ පෙරහුරුවක් සිදු කරන ලදි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ‘නව කොරෝනා’ හෙවත් ‘කොවිඩ් 19’ වෛරසය ශ්‍රී ලංකාවට පැමිණෙන නෞකා හරහා රට තුලට ඇතුළුවීම පාලනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යාෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකයේ මූලිකත්වයෙන්, සුවසැරිය ගිලන් සේවය, වරාය ගිණි නිවීමේ අංශය හා වරාය අධිකාරියේ සෞඛ්‍ය නිලධාරීන්, ජාතික නිරෝධායන ඒකකයේ වෛද්‍යවරු පිරිසක් හා එක්ව 2020 මාර්තු 13 වන දින කොළඹ වරාය පරිශ්‍රයේදී පෙරහුරු වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. එහිදී, නෞකාවක මෙම වෛරසය ආසාදිත වූ පුද්ගලයෙකු හමුවුවහොත් එම රෝගියා ආරක්‍ෂාකාරීව සහ කඩිනම් ප්‍රථිකාර සඳහා අදාල රෝහලක් කරා යොමු කිරීම, වෛරසය ආසාදිත පුද්ගලයාගෙන් වෙනත් පුද්ගලයන් වෙත අසාදනය වැළැක්වීම සඳහා ක්‍රියා කල යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් සිදු කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් රටතුළ ඇති හදිසි අවශ්‍යතාවය සඳහා කඩිනම් පියවරක් ලෙස ක්‍රියාත්මක කළ මෙම පෙරහුරුව සඳහා, බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ. නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වරාය අධිකාරියේ නිලධාරීන්, හා නාවික හමුදා පුද්ගයින් රැසක් සහභාගී වී සිටින ලදි.

***************************************

‘හිරු සී.අයි.ඒ.’ හෙළිදරව්වෙන් පසු ගුවන් අපද්‍රව්‍ය බැහැර කිරීම නිසි මගට

(14.03.2020 – 20:43 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු ගුවන් මගීන් ඉවතලන සියලු අපද්‍රව්‍ය ජාත්‍යන්තර නීතිරීතිවලට අනුව නිසි පරිදි පුළුස්සා විනාශ කිරීමට කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අදාල ක්‍රියාවලිය පැමිණ නිරීක්ෂණය කරන ලෙසද ගුවන්තොටුපොළ වෘත්තීය සමිති අද (14) ‘හිරු සී.අයි.ඒ.’ වෙතින් ඉල්ලා සිටියා.

‘හිරු සී.අයි.ඒ.’ හරහා ඊයේ (13) අප හෙළිකලේ කටුනායක – නයිකන්ද ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ගුවන් අපද්‍රව්‍ය දහනාගාරය පිළිබදවයි.

විවිධ රෝග කාරක විෂබීජ සංක්‍රමණය විය හැකි බැවින්, ජාත්‍යන්තර ගුවන් නීතිරීතිවලට අනුව ගුවන් මගීන් භාවිත කරන සියලු ඉවතලන දෑ දහනය කළ යුතු බව අනිවාර්ය කරුණක්.

එහෙත් කලක පටන් මෙහි සිදුවූයේ ඉවතලන ප්ලාස්ටික් බෝතල්, පත්තර, බීර කෑන් ආදී දෑ තෝරා වෙන් කර විකිණීම සදහා මෙම ස්ථානයෙන් පිටකිරීමයි.

ජාත්‍යන්තර නිතී පවා උල්ලංඝනය කරමින් සිදුකරනා මෙම ක්‍රියාදාමය හරහා මාරාන්තික කොරෝනා ව්‍යාප්තිය කිසිදු බාධාවකින් තොරව සිදුවිය හැකි බවයි අප ඊයේ (13) ‘හිරු සී.අයි.ඒ.’ හරහා අනාවරණය කළේ.

අපගේ එම අනාවරණයෙන් පසුව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ නිදහස් සේවක සංගමය අද (14) මෙම ස්ථානයට පැමිණ අදාල පරිශ්‍රය නිරීක්ෂණය කරන ලෙස ‘හිරු සී.අයි.ඒ.’ වෙත ආරාධනා කළා.

ඒ අනුව එහි ගිය අපට දැකගත හැකි වුයේ නිසි ක්‍රමවේදයට අනුව මේ වනවිට ගුවන් මගීන්ගේ ඉවතලන සියලු අපද්‍රව්‍ය නියමිත පරිදි දහනාගාරයේදී පුළුස්සා විනාශ කරන අයුරුයි.

පෙරදිනවල කසල තේරීම සදහා භාවිත කළ ස්ථානය මේ වනවිට සම්පුර්ණයෙන්ම සුද්දපවිත්‍ර කර තිබුණා.

ගුවන්තොටුපොළ සභාපතිවරයාගේ උපදෙස් මත ගුවන්තොටුපොළේ සිට දහනාගාරය දක්වා පැමිණෙන කසල ලොරි අධීක්ෂණය කිරීම සදහා ගුවන් හමුදා නිලධාරීන් ද යොදවා තිබෙනවා.

***************************************

මුහුදු මාර්ගයෙන් ගෙන ඒමට තැත්කල කේරළ ගංජා කිලෝ 485 ක් නාවික හමුදා අත්අඩංගුවට

(14.03.2020 – news.navy.lk)

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 14) උතුරු මුහුදේ ක්‍රියාත්මක කල විශේෂ සෝදිසි මෙහෙයුම් දෙකකදී කේරළ ගංජා කිලෝ 485 ක් අත් අඩංගුවට ගැනීමට සමත් විය. ඒ අනුව ගත වූ දින 75 කාලය තුළදී දිවයින වටා මුහුදු තීරයේදී සහ රට අභ්‍යත්තරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් දෙකකට (02) ආසන්න තොගයක් නීතියේ රැහැනට හසු කර දීමට නාවික හමුදාව සමත්වී ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මනල්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු තීරයේ අද (2020 මාර්තු 14) සිදු කල සෝදිසි මෙහෙයුමකදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී එහි තිබී කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික භාරයට ගන්නා ලදි. එසේම සංකානෙයි සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මරදන්කේනි මුහුදු ප්‍රදේශයේද සිදුකල තවත් සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ පාර්සල් කිහිපයක් නිරීක්‍ෂණය කර වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී එහි තිබී තවත් කේරළ ගංජා තොගයක්ද අත්අඩංගුවට ගත් අතර, වැඩිදුර සෝදිසි කිරීම් වලදි වෙරළේ නවතා තිබූ සැක සහිත ඩිංගි යාත්‍රාවක්ද නාවික භාරයට ගැනීමට කටයුතු කරන ලදි. ඒ අනුව සිදු කරන ලදි මෙම මෙහෙයුම් ‍ දෙකෙහිදී කේරළ ගංජා කිලෝ 485 ක්, සැකකරුවන් දෙදෙනෙක් (02), ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත් වී ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 30 සහ 34 වන වියෙහි පසුවන මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට වැඩිදරටත් කරුණු අණාවරණය කරගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය සැකකරුවන් සහ ඩිංගි යාත්‍රා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ කංකසන්තුරය පොලීසිය විසින් සිදු කරනු ලබයි.

තවද, ශ්‍රී ලංක නාවික හමුදාව විසින් ගත වූ දින 75 ක කාලය තුල සිදු කරන මෙහෙයුම් වලින් උතුරු නාවික විධානය මගින් කිලෝ ග්‍රෑම් 1682 කට ආසන්න ප්‍රමාණයක්, වයඹ නාවික විධානය මගින් කිලෝ ග්‍රෑම් 181 කට ආසන්න ප්‍රමාණයක්, දකුණු නාවික විධානය මගින් කිලෝ ග්‍රෑම් 19 කට අධික ප්‍රමාණයක්, උතුරු මැද නාවික විධානය මගින් කිලෝ ග්‍රෑම් 21 කට ආසන්න ප්‍රමාණයක්,සහ සෙසු නාවික විධානයන් මගින් කිලෝ ග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් වශයෙන් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 1913 කට (ටොන් දෙකකට) ආසන්න ප්‍රමාණයක් සහ සැකකරුවන් 69 දෙනෙකු නීතියේ රැහැනට හසු කර දීමට සමත් වී ඇත.

***************************************

සිරිසේන ගත්තේ පඹයගේ වැඩේ කරවාගන්නයි.. උකුස්සන්ට, කටුස්සන්ට මනාප දෙන්න එපා.. – ප්‍රසන්න රණතුංග

(15.03.2020 – 13:20 +0530 – lankacnews.com)

උකුස්සන් හා කටුස්සන් පොහොට්ටුවට එක්වෙමින් සිටින බවත් ඉදිරි මහා මැතිවරණයේ දී උකුස්සන් හා කටුස්සන් පාර්ලිමේන්තුවට යැවීමෙන් වළකින ලෙසත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලයි.

ඔහු පෙන්වා දෙන්නේ අනාගත අභියෝග හා අවධානම ගැන සලකා මහින්ද රාජපක්ෂ මහතා අතහැර නොයන පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීම මේ මොහොතේ ජනතාව සතු යුතුකම හා වගකීම බවයි. පොහොට්ටුවට ලංවී සිටින උකුස්සන් හා කටුස්සන් විශ්වාස කළ නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.

මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධාන රැස්වීමකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා :

“මේ වෙනකොට අපි පොහොට්ටුවෙන් නාම යෝජනා අත්සන් කර අවසන් වෙමින් තිබෙනවා. ලබන බදාදා බ්‍රහස්පතින්දා අපි සෑම දිස්ත්‍රික්කයකටම නාම යෝජනා භාර දෙන්න ලෑස්තියි. අපි ඡන්දය ඉල්ලන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ළකුණින්. සමහර අයට ඕන වුණා වෙන වෙන නම් වලින් වෙන වෙන ළකුණු වලින් ඡන්දය ඉල්ලන්න. නමුත් මහින්ද මහත්තයාගේ කණ්ඩායම විදිහට අපි ඒකට එකඟ වුණේ නෑ. මොකද පොහොට්ටුව තමයි අපේ ජයග්‍රාහි ළකුණ. ජයග්‍රාහී පක්ෂය පොදුජන පෙරමුණ. ඒ ඔක්කොටම වඩා පොහොට්ටුව තමයි මහින්ද මහත්තයාගේ ළකුණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි මහින්ද මහත්තයාගේ පක්ෂය.

පොහොට්ටු පක්ෂය පිහිටෙව්වොත් අපිව පාරක් පාරක් ගාණේ ඇවිද්දවන බව කියපු අයත් අද අපේ පස්සේ එනවා. පොහොට්ටුවට එකතු වන මේ උකුස්සන් හා කටුස්සන් අපිට ශතපහකටවත් විශ්වාස නෑ. මේ අයගේ එක්වීම නිසා අපිට අනාගත අභියෝග හා අවධානම් තියෙනවා. මේ අභියෝග හා අවධානම් සලකා මහින්ද රාජපක්ෂ මහතා අතහැර නොයන පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. ඒක මේ මොහොතේ ජනතාව සතු යුතුකමක් හා වගකීමක්. අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිහින් අපේ ප්‍රතිපත්ති හා මහින්ද මහත්තයාව පාවා දීලා තනතුරු වරදාන වරප්‍රසාද වෙනුවෙන් කටයුතු කරන අය කවුදැයි අප දන්නවා. ඒ අය ගැන ජනතාව වගකීමෙන් තීන්දුවක් ගත යුතුයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොහොට්ටුවට එකතු කර ගැනීම පිළිබද ජනතාව තුළ ඇත්තේ යහපත් හැගීමක් නොවේ. නමුත් අපිට අස්වැන්න වැඩි කරගන්න පඹයොත් කුඹුරේ හිටවන්න වෙනවා. ඒ වගේ දෙයක් තමයි මෙතන සිද්ධ වුණේ.

සජිත් ප්‍රේමදාස මහතා අද කොරෝනා වෛරසය නිසා රට තුළ ඇති වී තිබෙන තත්ත්වයෙන් දේශපාලන වාසි ගන්න හදනවා. ඔහු කියනවා ආණ්ඩුව යුතුකම් පැහැර හරිනවලු. එතකොට පාස්කු ප්‍රහාරය වෙලාවේ එවකට ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වු සජිත් ප්‍රේමදාස නිහඩව සිටියේ යුතුකම් ඉටු කිරීමට ද? මහබැංකු හොරකම වෙලාවේ සජිත් හිටියේ නිදාගෙන ද ? ඒ වේලවේ ඔහු නිශ්ශබ්දව හිටියේ යුතුකම ඉටු කිරීමට ද? කොරෝනා වෛරසය පැතිර යාම මුළු ලෝකයම මුහුණ දෙන තත්ත්වයක්. අපි රජයක් විදිහට ඒ තත්ත්වය පාලනය කිරීම සදහා ගත හැකි සියලු පියවර ගනිමින් තිබෙනවා. මේ වෙලාවේ විපක්ෂය කොරෝනා හරහා දේශපාලන වාසි ගැනීමට දරණ නිර්ලජ්ජිත උත්සාහය අපි දැඩි ලෙස හෙළා දකිනවා. එමගින් තහවුරු වන්නේ සජිත්ලාගේ දේශපාලන කුහකකම මිසක් අන් කිසිවක් නොවේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රට අරාජික කිරීමට ගෙනා ව්‍යවස්ථා සංශෝධනයක්. මේ ව්‍යවස්ථා සංශෝධනය නිසා රටේ ජනපතිටවත්, ආණ්ඩුවටවත් වැඩ කළ නොහැකියි. ඒ නිසයි අපි තුනෙන් දෙකක බහුතර බලයක් ඉල්ලන්නේ. 19 ට අත ඔසවලා කැමති වුණ අයත් කියනවා මේක ශාපයක් කියලා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම ඉදිරියට ගෙන යා හැක්කේ මහින්ද රාජපක්ෂ මහතා වැනි අත්දැකීම් බහුල නායකයෙකුට පමණයි. ගෙදර කට්ටිය සතුටින් ද බලන්න රෑට රෑට ගෙවල් වලට රිංගන්න බලන්ඉන්න කෙනෙකුට නෙමෙයි.”

මිනුවන්ගොඩ ප්‍රා. භාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත් යන මහත්වරුන් ද මෙහිදී කථා කළහ.

– ප්‍රදීප් අනුර කුමාර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *