පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය (විඩියෝ)

• වෛරසය එන එක නවත්වන්න අමාරුයි – ඒත් අපිට ප්‍රමාද කර ගන්න පුළුවන් වුණා

• බස්නාහිර ආණ්ඩුකාරවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වේ

• වන්දනාකරුවන් ගෙන්වා ගන්න විශේෂ ගුවන් යානයක් ඉන්දියාවට

• දඹදිව ගිය හිමිනමටත් කොරෝනා – 1200 ක් දඹදිව ගොස් හිරවේ

• බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් (විඩියෝ)

• රටම කොරෝනා භීතියෙන් සිටිද්දී ‘ඡන්ද රැස්වීමක් පැවැත්වූ’ විශේෂඥ වෛද්‍යවරිය

• සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කර ගන්න සිසුන්ට නිවේදනයක්

• අවදානම දැක දැක රටට වින කරන රටේ මිනිස්සු (විඩියෝ)

• කොරෝනා වෛසරය හා සටන් වඳින අපේ රෝහල්

• විදෙස්වලින් පැමිණි 2000 ක පමණ පිරිසක් තවමත් නිරෝධායනය වී නෑ

• සයුරෙන් එතෙර : A කාණ්ඩයේ රුධිරය ඇති අයට වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක්?

+++++++++++++++++++++++++++++++++++

පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

(18.03.2020 – 13:33 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද (18) පස්වරු 04:30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ මීගමුව කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ද මෙම ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

වෛරසය එන එක නවත්වන්න අමාරුයි – ඒත් අපිට ප්‍රමාද කර ගන්න පුළුවන් වුණා

(18.03.2020 – 13:28 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ජනාධිපති කාර්යය සාධන බලකායක් ජනවාරි මාසයේ දී පිහිටුවීම හේතුවෙන් පෙර සූදානමකින් කටයුතු කිරීමේ හැකියාව ලැබුණු බව එම බලකායේ සාමාජික බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පවසයි.

‘අද දෙරණ බිග් ෆෝකස්’ වැඩසටහන සමඟ එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇය පවසා සිටියේ, මෙම ජනාධිපති කාර්යය සාධන බලකාය පිහිටුවා බොහෝ කාලයක් වු නමුත් ජනතාව ඒ ගැන දැනුවත් නොමැති බවයි.

ආසන්න දිනයන්හි දී සිදු කරනු ලැබුවේ එහි මෙහෙයුම් මැදිරියක් ඇති කිරීම පමණක් බවත් පැවසු ඇය, සියලු වගකිව යුතු පාර්ශවයන්ගේ එකමුතුවෙන් ලොව කිසිදු රටක නොමැති ලෙස ව්‍යවසනය රටට ඇතුළු වීමට පෙර මෙම කාර්යය සාධන බලකාය පිහිටුවා ඇතැයි ද කියා සිටියාය.

දියුණු රටවල්වලට පවා වෛරසය රටට ඇතුළු වීම වැළැක්විය නොහැකි වු බවත් පැවසු වෛද්‍යවරිය, ලංකාවට එම තත්ත්වය ප්‍රමාද කර ගැනීමට හැකියාව ලැබුණු බවත් පැවසීය.

ජනතාව සිය සහයෝගය මුලික අවස්ථාවේ දී ලැබුණේ නම් මෙම තත්ත්වයට මුහුණ නොදී බේරිමේ හැකියාව තිබු බවත් වෛද්‍යවරිය මෙහිදී පැවසීය ෴

+++++++++++++++++++++

බස්නාහිර ආණ්ඩුකාරවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වේ

(19.03.2020 – 08:49 +0530 – hirunews.lk/sinhala)

විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ, ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට නම් කිරීම හේතුවෙන්.

ඇය ඊයේ (18) ජාතික ලැයිස්තුව සඳහා අත්සන් කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

වන්දනාකරුවන් ගෙන්වා ගන්න විශේෂ ගුවන් යානයක් ඉන්දියාවට

(18.03.2020 – 11:23 +0530 – sinhala.adaderana.lk)

දඹදිව වන්දනාව සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ ගුවන් යානයක් අද (18) දිනයේ පිටත් කර හැරීමට නියමිත බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ අදාල ගුවන් යානය අද (18) පස්වරුවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිත බවයි.

ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් මෙම කටයුතු සිදුකෙරෙන බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

මේ වනවිට දඹදිව වන්දනාව සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් 225 දෙනෙකු ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් දිල්ලි නුවරට රැගෙනවිත් ඇති අතර අද (18) පස්වරුවේ ඔවුන් විශේෂ ගුවන් යානයෙන් දිවයිනට පැමිණීමට නියමිත බව බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේය ෴

+++++++++++++++++++++

දඹදිව ගිය හිමිනමටත් කොරෝනා – 1200 ක් දඹදිව ගොස් හිරවේ

(18.03.2020 – 07:48 +0530 – truenews.lk)

කොරෝනා වෛරස් ලක්ෂණ තිබූ බවට හඳුනාගෙන ඇති දඹදිව වන්දනාවේ ගොස් මෙරටට පැමිණි සැකකටයුතු හිමි නමක් ඊයේ (17) පෙරවරුවෙහි තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම හිමිනම දැඩි ආරක්ෂක ක්‍රමවේදයක් යටතේ හම්බන්තොට දිස්ත්‍රික් රෝහල වෙත යැවීමට තිස්සමහරාම රෝහල් බලධාරීන් කටයුතු කර තිබුණා.

තිස්සමහරාම ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වාසය කරනු ලබන මෙම හිමිනම දඹදිව වන්දනාවේ ගොස් නැවත පසුගිය 11 වැනිදා ලංකාවට පැමිණ ඇති බව අනාවරණය වනවා.

මෙම හිමිනම තිස්සමහාරාම රෝහලට රැගෙන ආ ත්‍රීවීල් රථ රියැදුරුව පොලිසිය විසින් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර දඹදිව වන්දනාවේ ගොස් දැනට ඉන්දියාවේ රැඳී සිටින වන්දනාකරුවන් එක්දහස් දෙසීයක් මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීමට ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ චෙන්නායි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විදේශ සබඳතා සහ බුද්ධශාසන අමාත්‍යාංශය එක්ව කටයුතු සූදානම් කරමින් සිටිනවා.

වන්දනා නඩ විසි දෙකක පිරිසක් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින අතර මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසුවත් විශේෂ ගුවන් යානා චෙන්නායි සහ නවදිල්ලි ගුවන් තොටුපොළවල් වෙත යවා මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි ෴

+++++++++++++++++++++++++++++++++++

බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක්

(18.03.2020 – 10:01 +0530 – sinhala.adaderana.lk)

නව කෙරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

නව කෙරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා, බූස්ස නාවික හමුදා කඳවුරේ මහල් හතරකින් (04) යුත් ගොඩනැඟිල්ලක් නිරෝධායන කටයුතු සඳහා මෙසේ සූදානම් කර ඇත.

මේ සඳහා නාවික හමුදා පුද්ගලයින් වෙත අවශ්‍ය උපදෙස් හා පුහුණුවීම් ලබා දීම කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය්‍ය මණ්ඩලයක් විසින් සිදු කර තිබේ.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 136 දෙනෙකු හට නිරෝධායන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ඇත.

නිරෝධායන මධ්‍යස්ථානය වෙත පැමිණෙන පුද්ගලයින් හට අවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, වයිෆයි පහසුකම්, රූපවාහිනී, විදුලි පංකා, රෙදි සෝදන යන්ත්‍ර ආදී සියලු පහසුකම් ලබා දීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.

නාවික හමුදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ නාවික හමුදා සූපවේදීන් විසින් පිසින ලද පෝෂ්‍යදායි ආහාර නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නන් හට ලබා දීමටද අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත.

+++++++++++++++++++++++++++++++++++

රටම කොරෝනා භීතියෙන් සිටිද්දී ‘ඡන්ද රැස්වීමක් පැවැත්වූ’ විශේෂඥ වෛද්‍යවරිය

(18.03.2020 – 12:44 +0530 – truenews.lk)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මැතිවරණය ඉලක්ක කරගනිමින් ප‍්‍රචාරක රැස්වීමක් පවත්වා තිබෙනවා.

කොරෝනා අවධානම නොතකා එම ස්ථානයට පැමිණි එම පිරිසට ස්තුති කරන බවද ඇය එහිදී සඳහන් කර තිබෙනවා.

‘කොරෝනා ව්‍යාප්ත වේ’ යයි සලකා ප්‍රසිද්ධ ජනහමු පැවැත්වීම රජය විසින් දැනටමත් තහනම් කර තිබියදීත් විශේෂඥ වෛද්‍යවරියකද වන හිටපු රාජ්‍ය ඇමතිනිය මෙවන් ජන හමුවක් පැවැත්වීම ගැන දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

***************************************

සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කර ගන්න සිසුන්ට නිවේදනයක්

(18.03.2020 – 12:25 +0530 – sinhala.adaderana.lk)

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට විදුහල් ප්‍රධානීන්ගෙන් අයඳුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය සියලු අපේක්ෂකයින් ඒ සඳහා මාර්තු 27 වන දින සිට අප්‍රේල් 09 වන දා දක්වා කාලය තුළ අදාළ පාසල් වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වයි.

ඒ අනුව සියලු පාසල්වල එම කාලවකවානුව තුළ සිසුන්ට අදාළ අයදුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන්ද විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ ෴

***************************************

අවදානම දැක දැක රටට වින කරන රටේ මිනිස්සු

(18.03.2020 – 19:15 +0530 – sinhala.adaderana.lk)

නව කොරෝනා වෛරසය රට තුළ පැතිරීම පාලනය කිරීමේ වගකීම පැවරෙන්නේ රජයට හෝ සෞඛ්‍ය අංශවලට පමණක් නෙවෙයි. ඇත්තටම එහි වැඩි වගකීමක් පැවරෙන්නේ අපටමයි.

මේ බව නිරන්තරයෙන් මතක් කර දෙමින් නිවෙස්වල රැඳී සිටීම සඳහා රජයෙන් නිවාඩු ලබා දුන්නත් වගකීම් විරහිත ලෙස කටයුතු කරන පිරිස් ගැන අපි අද සොයා බැලීමක් කළේය.

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය ඉහළ යාමක් පෙන්නුම් කිරීමත් සමඟ රජය පසුගිය සඳුදා සිට දින 4 ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කළේය.

ඒ ජනතාවට නිවෙස්වලම රැඳී සිටීමට ඉඩ ලබා දෙමින් වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහායි.

එම කාලය තුළ අත්‍යවශ්‍යම හේතුවකට හැර නිවසින් බැහැරට නොයන ලෙසයි සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබුණේය.

නමුත් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නැතිව, වගකීම් විරහිතව ක්‍රියා කරන්නන් පිළිබඳ අපට තොරතුරු වාර්තා විය.

ඔවුන් පිළිබඳ අප මෙලෙස වාර්තා කරන්නේ ජනතාවගේ ආරක්ෂාව මේ මොහොතේ ප්‍රමුඛම කාරණය වන නිසයි.

මේ හැටන් දුම්රිය ස්ථානය. “කොහේද මේ ගියේ ?”,- “සිරීපාදේ…..”

එමෙන්ම අද (18) තවත් පිරිසක් සිරිපා වන්දනාවේ ගොස් තිබූ ආකාරයත් අපට දක්නට ලැබුණි.

කළුතර කැලිඩෝ වෙරළ තීරයේදීත් අද (18) අපට දක්නට ලැබුණේද මෙවැනිම තත්ත්වයකි.

රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කිසිදු තැකීමක් නොකරන එවන් මිනිසුන් අතරේ තවත් පිරිසක් තම වගකීම මැනවින් හඳුනාගනිමින් නිවෙස් තුළටම වී සිටීම නිසා කොළඹ නගරයේ ඇතැම් ස්ථාන අද (18) පාළු ස්වාභාවයක් ගෙන තිබූණි.

තමාගේත්, අනෙකාගේත් සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ තැකීමක් නොකර, අවදානම් අවස්ථාවේ රට පුරා සැරිසරමින් විනෝද වන්නන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද? ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛසරය හා සටන් වඳින අපේ රෝහල්

(18.03.2020 – 19:10 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරසය ආසාදනය වූ වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතුවල නිරත වෙයි.

මහනුවර ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට සහ පැමිණෙන රෝගීන්ට අවශ්‍ය මුඛ ආවරණ රෝහල තුළම නිෂ්පාදනය කරගැනීමට පියවර ගෙන ඇත.

එමෙන්ම රෝගීන් අසලට යාම සඳහා විශේෂ ශරීර ආවරණයන්ද රෝහල තුළම නිෂ්පාදනය කරගැනීම විශේෂත්වයක්.

මේ අතර රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී භාවිත කළ හැකි විශේෂ ශරීර ආවරණයක් රුපියල් 100 ක් වැනි අවම පිරිවැයකින් නිෂ්පාදනය කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු සමත් වී තිබේ.

එම ඇඳුම යුදහමුදා නිලධාරීන් විසින්ද පරික්ෂා කිරීමෙන් අනතුරුව භාවිතය සඳහා සුදුසු බවට නිර්දේශ කර තිබීමත් විශේෂත්වයක්.

+++++++++++++++++++++++++++++++++++

විදෙස්වලින් පැමිණි 2000 ක පමණ පිරිසක් තවමත් නිරෝධායනය වී නෑ

(18.03.2020 – 19:08 +0530 – sinhala.adaderana.lk)

මේ වනවිට විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයින් ගණන 2258 ක්.

කෙසේවෙතත් විදේශයන්ගේ සිට පැමිණි 1500 – 2000ත් අතර පුද්ගලයින් සංඛ්‍යාවක් නිරෝධායනය සඳහා යොමු නොවී සිටින බව අනාවරණ වී තිබේ.

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ජනාධිපති කාර්යය සාධන බළකායේ සාමාජිකා විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ මහත්මිය පවසා සිටියේ, ස්වයං නිරෝධනායකට යොමු වීම තරම් රට වෙනුවෙන් කළ හැකි වෙනත් දෙයක් තවත් නොමැති බවයි.

තමන්ගේ කම හෝ හිතට ගෙන නිසි ලෙස නිරෝධායන ක්‍රියාවලියට යොමු වන ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නිරෝධායන මධ්‍යස්ථාන ගණන 16 දක්වා පුළුල් කිරීමට යුද හමුදාව පියවර ගෙන තිබෙන අතර අලුතින් එක්කළ නිරෝධායන මධ්‍යස්ථාන අතරට බූස්ස නාවික හමුදා කඳවුරේ සිව්මහල් ගොඩනැගිල්ලක්ද අයත්.

ආහාර, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, වයිෆයි පහසුකම්, රූපවාහිනී, විදුලි පංකා, රෙදි සෝදන යන්ත්‍ර ආදී සියලු පහසුකම් එම මධ්‍යස්ථානයට ලබා දීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

එමෙන්ම වැලිකන්ද මූලික රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂ රෝහලක් බවට පරිවර්තනය කිරීම යුද හමුදා සාමාජිකයින් විසින් සිදුකරනු ලබයි ෴

+++++++++++++++++++++++++++++++++++

සයුරෙන් එතෙර : A කාණ්ඩයේ රුධිරය ඇති අයට වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක්?

(18.03.2020 – 18:27 +0530 – sinhala.adaderana.lk)

“A” කාණ්ඩයේ රුධිරය ඇති පුද්ගලයින්ට නව කොරෝනා ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බව චීන වෛද්‍ය කණ්ඩායමක් සිදුකළ නවතම පර්යේෂණයක මූලික අදියරේ දී සොයාගෙන ඇතැයි ‘සවුත් චයිනා මෝර්නිංග් පෝස්ට්’ වෙබ් අඩවිය පවසයි.

පරීක්ෂණය සිදු කර ඇත්තේ වුහාන් සහ ෂෙන්සෙන් නගරවල ආසාදිතයින් දෙදහසකට වැඩි පිරිසක් යොදා ගනිමින්.

එම පර්යේෂණයෙන් හෙළි වූ තවත් කරුණක් නම් “O” රුධිර කාණ්ඩයට අයත් පුද්ගලයන් වෛසරයට වඩාත් ප්‍රතිරෝධී වන බවයි.

කෙසේවෙතත් මෙය තව දුරටත් අධ්‍යනය කළ යුතු බව පර්යේෂකයන් පවසයි.

කොරෝනා වෛරසයට ප්‍රතිකාර සඳහා නිපදවූ එන්නතක් සායනිකව අත්හදාබැලීමට චීනය අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව එන්නත මේ සතිය තුළ දී අත්හදා බැලීම් සඳහා යොදාගැනීමට නියමිත බවද එරට වාර්තා සඳහන් කළේය.

නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසයට ප්‍රතිකාර ලෙස චීන මහජන හමුදාවට අනුබද්ධ හමුදා වෛද්‍ය විද්‍යා ඇකඩමියේ පර්යේෂකයන් පිරිසක් එන්නතක් නිපදවා තිබේ.

අදාළ එන්නත මුල් අවධියේ සායනික අත්හදාබැලීම් සඳහා භාවිත කිරීමට මේ වන විට අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව මේ සතිය තුළ දීම අත්හදාබැලීම ආරම්භ කරන බව පර්යේෂකයන් පවසයි.

චීන සායනික අත්හදාබැලීම් ලියාපදිංචි දත්ත වලට අනුව පළමු අදියර යටතේ අදාළ එන්නත පුද්ගලයන් 108 දෙනෙකු යොදාගෙන පරීක්ෂා කෙරෙනු ඇති.

චීන හමුදා වෛද්‍ය විද්‍යා ඇකඩමියේ සහ හොංකොංහි ලැයිස්තුගත ජෛව තාක්ෂණ ආයතනයක් වන කැන්සිනෝ බයොලොජික් ආයතනවල අධීක්ෂණය යටතේ එන්නත අත්හදා බැලෙනු ඇති.

මේ අතර අමෙරිකාවද නව කොරෝනා වෛරසය සඳහා එන්නතක් අත්හදා බලමින් සිටියි.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පවසන්නේ ලබන වර්ෂයේ මැද භාගය තෙක් කිසිදු අනුමත හෝ සම්පූර්ණයෙන් පරීක්ෂා කරන ලද එන්නතක් වෙළඳපලට නිකුත් කිරීමට අපේක්ෂා නොකරන බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *