රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින්න

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින්න (විඩියෝ)

• රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් සහ වෙළඳසැල් වසා දැමීමට පියවර (විඩියෝ)

• ඖෂධ මිල දී ගෙන නිවසටම ලබා දීමේ ක්‍රියාවලියක්

• ගර්භනී මව්වරුන්ගේ සෞඛ්‍ය ගැටළු කියන්න 24 පැයේ ක්‍රියාත්මක දුරකථන සේවාවක්

• දිස්ත්‍රික් 5 ඉවත් වු ඇඳිරි නීතිය නැවතත්

• ස්විට්සර්ලන්තයේ දී මිය ගිය ලාංකිකයා පුන්කුඩතිව්හි පදිංචිකරුවෙක් (විඩියෝ)

• ජනාධිපති කාර්ය සාධන බලකායෙන් අත්‍යාවශ්‍ය බඩු ගෙදරටම

• කොරෝනා මැඩපැවැත්වීමේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික කමිටුවේ වාර්තාව අමාත්‍යවරියට

• යුද හමුදාපති දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක

• ‘වොයිස් ඔෆ් ඇමරිකා’ මධ්‍යස්ථානය ඉක්මනින්ම COVID-19 ප්‍රතිකාර රෝහලක් බවට (විඩියෝ)

• නිරෝධායනය සාර්ථකව නිම කළ 4 වැනි කණ්ඩායමත් පිටව යයි (විඩියෝ)

• කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවකයින් නිවෙස් බලා පිටත් කරයි (විඩියෝ)

• වැට් බදු ගෙවීමට සහන කාලයක්

• තැපැල්පතිගෙන් සියලු තැපැල් කාර්යාලවලට දැනුම්දීමක්

• උතුරේ දූපත්වාසි ජනතාවට නාවික හමුදාවෙන් සහන (විඩියෝ)

• ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය සදහා විෂබීජහරණ කුටියක් හදුන්වා දෙයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින්න

(27.03.2020 – 15:27 +0530 – sinhala.adaderana.lk)

දැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි.

ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිසය.

ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට, අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කළමනාකරණය භාර කාර්ය සාධක බලකාය සියලු විධිවිධාන සලසා ඇත.

ඇඳිරි නීති කාලය තුළ කිසිවකු සිය අභිමතයට මාර්ගවලට පැමිණීම නොකළ යුතුය.

කාර්ය සාධක බලකාය විසින් අවසර දී ඇති ඩිලිවරි වාහන පමණක් මාර්ග වල ධාවනය කිරීමට පිළිවන. අන් කිසිඳු වාහනයක් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ධාවනය නොකළ යුතුය.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙනයාම මුළුමනින් තහනම් වෙයි.

කුමන දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ, කුඩා තේ වතු ඇතුළු වැවිලි වගා වැඩ සහ ධීවර කර්මාන්තයට අවසර ඇත.

ගුවන් තොටුපොළ සහ වරාය සේවා පවත්වාගනෙ යනු ලැබෙයි.

පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කළ යුතුය.

+++++++++++++++++++++++++++++++++++

රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් සහ වෙළඳසැල් වසා දැමීමට පියවර

(27.03.2020 – 14:47 +0530 – sinhala.adaderana.lk)

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට අවසර දී ඇති වුව ද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බැවින් වහාම එම වෙළෙඳසැල් වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

නැවත දැනුම්දෙනතුරු රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලු ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

එසේම ඖෂධහල් මගින් ඖෂධ නිවෙස්වලට බෙදාහැරීම සඳහා ඉඩ ලබා දී ඇත.

+++++++++++++++++++++++++++++++++++

ඖෂධ මිල දී ගෙන නිවසටම ලබා දීමේ ක්‍රියාවලියක්

(27.03.2020 – 16:34 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 ව්‍යප්ති වැලැක්වීම සඳහා, ඖෂධ හල් (pharmacy) වෙත මහජනතාව පැමිණීම සීමා කිරීමට, පුද්ගලික ඖෂධ හල් මඟින් ඖෂධ නිවසටම ගෙනවිත් දීම සඳහා ක්‍රියාවලිය රජය මඟින් හදුන්වා දී ඇත.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දිවයින පුරා ඖෂධ හල් (pharmacy) හඳුනාගෙන ඇති අතර මෙම ඖෂධ හල් ලැයිස්තුව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය http://www.health.gov.lk/ මඟින් හෝ http://bit.ly/slpharm මඟින් හෝ දැන ගත හැක.

තෝරාගත් ඖෂධ හල් වල ලිපිනය, දුරකථන අංකය (whatsapp / Viber / Imo අංකය) හා ඖෂධවේදියාගේ නම එමඟින් ඔබට දැන ගත හැක.

මෙහිදී ඖෂධ සඳහා මුදල් අයකරන අතර එම බිලට සාධාරණ ප්‍රවාහන ගාස්තුව ද ඇතුලත් කරනු ලැබේ.

ඖෂධ සඳහා ගෙවීම අත්පිට මුදලට හෝ අන්තර් ජාලය හරහා සිදුකල හැක.

ඔබට ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය නම් පළමු පියවර ලෙස සුදුසුකම් ලත් වෛද්‍යවරයකු විසින් මෑතකදී නිර්දේශිත බෙහෙත් වට්ටෝරුවේ ඡායාරුපයක් ගෙන එම ඡායාරුපය (whatsapp / Viber / Imo අංකය) හරහා තෝරාගත් ෆාමසිය වෙත යොමු කරන්න.

ෆාමසිය මඟින් එම ඖෂධ පැය 24 ක් ඇතුලත ඔබ ගේ නිවසටම ගෙනවිත් දෙනු ඇත.

ඖෂධ ලබා ගැනීමට උපදෙස් සහ ඖෂධවේදියාගේ දුරකථන අංකය ඖෂධ පැකට්ටුවේ සඳහන් කරනු ලබන අතර ඔබට යම් ගැටළුවක් මතු වුවහොත් ඖෂධවේදියා අමතන්න.

වැඩි විස්තර සඳහා :
072 072 0720 (සිංහල / ඉංග්‍රීසි) ; 072 060 6060 (දෙමළ) අමතන්න ෴

+++++++++++++++++++++++++++++++++++

ගර්භනී මව්වරුන්ගේ සෞඛ්‍ය ගැටළු කියන්න 24 පැයේ ක්‍රියාත්මක දුරකථන සේවාවක්

(27.03.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala)

ගර්භනී මව්වරුන්ගේ සෞඛ්‍ය ගැටලු සඳහා පිළිතුරු දීමට ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය 24 පැය පුරා ක්‍රියාත්මක දුරකථන උපකාරක සේවාවක් ආරම්භ කර තිබෙනවා.

071 030 1225 අංකය ඔස්සේ ගර්භණී මව්වරුන්ට තමන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් විමසීමක් සිදුකළ හැකි බවයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය යූ.ඩී.පී. රත්නසිරි මහතා සඳහන් කළේ.

ඇඳිරි නීතිය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවීම නිසා මාතෘ සායන වෙත පැමිණීමේදී ගැටලුවලට මුහුණදීමට ඇතැම් මව්වරුන්ට සිදුව තිබෙනවා. එමෙන්ම, ඇතැම් මව්වරුන් රෝහල් වෙත පැමිණීමට බියක් ද දක්වනවා.

මේ අතර, හදිසි අවශ්‍යතාවක් මතුවන අවස්ථාවලදී 1990 අංකය ඔස්සේ සුවසැරිය ගිලන් රථ සේවය සම්බන්ධ කර ගත හැකි බවයි සුවසැරිය ප්‍රධාන විධායක නිලධාරි සොහාන් ද සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ෴

+++++++++++++++++++++++++++++++++++

දිස්ත්‍රික් 5 ඉවත් වු ඇඳිරි නීතිය නැවතත්

(27.03.2020 – 14:21 +0530 – sinhala.adaderana.lk)

පුත්තලම දිස්ත්‍රික්කයට සහ උතුරු පළාතේ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරි නීතිය අද 27) සවස 2 සිට යළි ක්‍රියාත්මක කර තිබේ.

නව කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා බස්නාහිර පළාතට සහ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකවෙයි.

සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු 30 වන සඳුදා පෙ.ව 6.00 දක්වා බලැපැවැත්වෙන අතර එදින දහවල් 2.00 සිට යළි ඇඳිරි නීතිය පැනවෙයි.

ඒ අතරින් පුත්තලම දිස්ත්‍රික්කයට සහ උතුරු පළාතේ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරි නීතිය අද (27) පෙ.ව. 6.00 ට තාවකාලිකව ඉවත් කෙරුණේ ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් ලබාගැනීම සඳහායි.

බොහෝ ස්ථානවල ජනතාව මෙහිදී සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරනු දක්නට ලැබීය.

ඇඳිරි නීතිය ඉවත් කළද දිස්ත්‍රික්ක හරහා ගමනාගමනය සම්පුර්ණයෙන්ම තහනම් කෙ‍රිණි.

මේ අතර පසුගිය 20 වනදා සිට අදක්වා නිවසේ සිට වැඩ කිරිමේ කාලයක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබූ අතර එය ඉදිරි සතිය තුළ ද එනම් ලබන 30 වනදා සිට අප්‍රේල් මස 03 වනදා දක්වා ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මිට අයත් වන අතර එම කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසැළකෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර රට තුළ පවතින තත්ත්ව හමුවේ සියලුම පොලිස් නිලධාරීගේ නිවාඩු අප්‍රේල් මස 10 දක්වා අවලංගු කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

එමෙන්ම සියලුම පොලිස් නිලධාරින්ගේ දින විවේකයද අප්‍රේල් මස 10 වනදා තෙක් අවලංගු කර තිබේ.

මේ අතර රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනතා පැමිණිලි භාර ගැනිම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24 පුරාම විවෘත කර තැබීමට පියවර ගෙන තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

ස්විට්සර්ලන්තයේ දී මිය ගිය ලාංකිකයා පුන්කුඩතිව්හි පදිංචිකරුවෙක්

(27.03.2020 – 14:16 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ.

අද දෙරණ කළ විමසීමකදී විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ වෛරසය ආසාදනය විමෙන් 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු පසුගිය 25 වනදා මියගොස් ඇති බවයි.

එම ශ්‍රී ලාංකිකයා මියගොස් ඇත්තේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය විමෙන් බවට ස්විට්සර්ලන්ත බලධාරින් විසින් තහවුරු කර ඇති බව ඇය සදහන් කළේය.

මියගිය පුද්ගලයා පුන්කුඩතිව් ප්‍රදේශයේ සිට ස්විට්සර්ලන්තයට ගොස් එරට නේවාසික විසා මත පදිංචිව සිටි අයෙකු බව ද සදහන්.

මෙම පුද්ගලයා කොරෝනා වෛරසයට ගොදුරු වී මියගිය පළමු ශ්‍රී ලාංකිකයායි.

+++++++++++++++++++++++++++++++++++

ජනාධිපති කාර්ය සාධන බලකායෙන් අත්‍යාවශ්‍ය බඩු ගෙදරටම

(27.03.2020 – 13:40 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා මර්දනය පිළිබඳ ජනාධිපති කාර්යය සාධන බලකාය විසින් ඇඳිරි නීතිය සමය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවගේ නිවෙස් වෙත රැගෙන යාම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන අද (27) ආරම්භ ක‍ළේය.

ඒ අනුව ප්‍රදේශ කිහිපයක ප්‍රාදේශීය සභා ඔස්සේ භාණ්ඩ ජනතාවගේ නිවෙස් වෙත රැගෙන යාමේ කටයුතු අද (27) සිදු කෙරුණි.

කොරෝනා මර්දනය පිලිබඳ ජනාධිපති කාර්යය සාධන බලකාය විසින් ඇඳිරි නීතිය සමය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවගේ නිවෙස් වෙත රැගෙන යාම සඳහා වැඩපිලිවෙලක් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය.

ඒ අනුව කෝට්ටේ සහ නුගේගොඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් එම වැඩපිළිවෙලේ එක් අදියරක් අද (27) ආරම්භ ක‍ළේය ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මැඩපැවැත්වීමේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික කමිටුවේ වාර්තාව අමාත්‍යවරියට

(27.03.2020 – 13:23 +0530 – sinhala.adaderana.lk)

කාය චිකිත්සාව සහ ප්‍රජා සෞඛ්‍ය ප්‍රධාන කොට ගත් ආයුර්වේද වෛද්‍යවරුන් 14 දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් කොරෝනා උවදුර මැඩපැවැත්වීම සඳහා විශේෂ වාර්තාවක් සකසා ඇත. එම වාර්තාවේ කෙටි කාලීනව සහ දිගු කාලීනව ගතයුතු විසඳුම් හා ක්‍රියාමාර්ග ඇතුළත් වී ඇත.

කෙටි කාලීන විසඳුම් වශයෙන් වර්තමාන තත්ත්වයට මුහුණ දෙමින් දැනට නිවෙස්වල නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින්ගේ ප්‍රතිශක්තීකරණය වැඩි කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තිබෙන දැනුම උපයෝගී කර ගනිමින් අවශ්‍ය උපදෙස්, ආහාර, ගති පැවතුම් සහ ඖෂධ මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කිරීම මෙම වාර්තාවේ අඩංගු වී ඇත.

මෙම වැඩපිළිවෙල ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙහිදී ප්‍රතිශක්තිකරණ වර්ධන ඖෂධ නිවෙස්වල නිරෝධායනයට ලක්වන 21,000 කට පමණ ලබා දීමට සැලසුම් කර ඇත.

එමෙන්ම බටහිර වෛද්‍ය අංශය සමඟ සහයෝගිතා වැඩපිළිවෙලක් දිවයිනේ ප්‍රධාන ආයුර්වේද රෝහල් කිහිපයක් මගින් දියත් කිරීමට යෝජනා කර ඇත.

දිගු කාලීන වැඩපිළිවෙල මගින් දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික කමිටුව යටතේ පිහිටුවා ඇති ආයුර්වේද පර්යේෂණ අනු කමිටුව මගින් කොරෝනා රෝගය මැඩපැවැත්වීම සඳහා විශේෂ පර්යේෂණ පැවැත්වීම සහ දේශීය හා විදේශියන්හි සිටින පුද්ගලයින් විසින් අත්හදා බලනු ලබන කොරෝනා රෝගයට හොඳයැයි ප්‍රකාශ කරන ලද ඖෂධ වර්ග විධිමත් පර්යේෂණ වලට යොමු කිරීමටද කටයුතු කර තිබේ.

මෙම කමිටුව විසින් සකසන ලද වාර්තාව ඊයේ (26) පෙරවරුවේ කමිටුවේ කැඳවුම්කරු ආයුර්වේද විශේෂඥ වෛද්‍ය ටී. වීරරත්න මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාර දෙන ලදී. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණි ජයවර්ධන, රාජ්‍ය ලේකම් විජිතා සෙනෙවිරත්න, ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති සාගලා අබේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ද සහභාගි වූහ ෴

+++++++++++++++++++++++++++++++++++

යුද හමුදාපති දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක

(27.03.2020 – 13:10 +0530 – sinhala.adaderana.lk)

ඉහළ ගිය එළවළු මිල පිළිබඳව සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි වෙළඳ කණ්ඩායම් පිළිබඳව සොයා බැලීම සඳහා යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (27) දහවල් හදිසියේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වන්නට විය.

කිසිඳු අයෙකුට දැනුම් දීමකින් තොරව හදිසියේම යුද හමුදාපතිවරයා ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වී වෙළෙන්දන් සමඟ සහ ගොවීන් සමඟ ද කෙටි පිළිසදරක නිරත විය.

ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී කියා සිටියේ එලවළු අලෙවි කිරීමේදී සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ විශාල තදබදයක් පවතින බවත් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මාධ්‍ය වල ප්‍රචාරය වීම පිළිබඳව සොයා බැලීමට පැමිණි බවය.

මෙහිදී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියේ ජනතාවගෙන් මීටරය දුර පවත්වාගෙන යමින්මෙය පාලනය කරගැනීම අවශ්‍ය බවත් ඇඳිරි නීතිය යොදවා ඇත්තේ රටක් හැටියට ආරක්ෂා වීම සඳහා බවය.

බැසිල් රාජපක්ෂ මහතා එළවලු ප්‍රවාහනය කිරීම සඳහා නිවෙස් වලට ගෙන ගොස් දීමට ක්‍රමවේදයක් සකසා තිබෙන බවත් ඉදිරියේදී නිවෙස් වලට එළවළු ප්‍රමාණය යැවීම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් සඳහන් කළේය ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

‘වොයිස් ඔෆ් ඇමරිකා’ මධ්‍යස්ථානය ඉක්මනින්ම COVID-19 ප්‍රතිකාර රෝහලක් බවට

(27.03.2020 – 12:24 +0530 – sinhala.adaderana.lk)

හලාවත ඉරණවිල ‘වොයිස් ඔෆ් ඇමරිකා’ සම්ප්‍රේශණ මධ්‍යස්ථානය COVID-19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් බවට ඉතා ඉක්මණින් පරිවර්ථනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

හලාවත ඉරණවිල පිහිටි ‘වොයිස් ඔෆ් ඇමරිකා’ සම්ප්‍රේශණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය භූමියේ ඇති ගොඩනැගිලි කොරෝනා වෛරස් ආසාදිතයින්ට (COVID-19) ප්‍රතිකාර සිදු කරනු ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරිමට රජය තීන්දු කිරීමත් සමග එහි සිදු කරනු ලබන පරිවර්ථනයන් පිළිබදව සොයා බැලීම සදහා ඊයේ (26) සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

රෝගීන් 50 කට පමණ ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇති ‘වොයිස් ඔෆ් ඇමරිකා’ සම්ප්‍රේශණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාව සදහා යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද එක් විය.

මෙම නිරීක්ෂණ චාරිකාවෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය : “විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා විසින් යුධ හමුදාපතිතුමාට දැනුම් දී තිබුනා මෙම ස්ථානය තාවකාලිව COVID-19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන මධ්‍යස්ථානයක් බවට පරිවර්ථනය කිරීමට කටයුතු කරන ලෙස.

ඒ අනුව යුධ හමුදාපති තුමා සහ යුධ හමුදාවේ සම්පූර්ණ මැදිහත්වීම යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයත් ඇතිව මෙම ස්ථානය ඉතා ඉක්මණින් COVID-19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරනු ලබන මධ්‍යස්ථානයක් රෝහලක් බවට පරිවර්ථනය කරන්න කටයුතු කරනවා. මෙම ස්ථානයේ COVID-19 රෝගීන් 50 කට ප්‍රතිකාර ලබාදිය හැකියි.

ජනාධිපතිතුමාගේ තීරණයට අනුව පාර්ලිමේන්තු, ප්‍රාදේශීය සභා පළාත් සභා දේශපාලන නියෝජිතයින් කටයුතු කිරීම කැපී පෙනෙන කරුණක්.”

‘වොයිස් ඔෆ් ඇමරිකා’ 1980 දශකයේ මුලින්ම ආරම්භ කිරීමට සැළසුම් කර තිබුනේ පුත්තලම දිස්ත්‍රික්කයේ මහකුඹූක්කඩවල ප්‍රදේශයේය. නමුත් ජනතා විරෝධතාවයත් සමග එය 1991 වර්ෂයේ දී හලාවත ඉරණවිල ප්‍රදේශ‌යේ ස්ථාපිත කරන ලදි.

ශ්‍රී ලංකා රජයේ බදු පදනම මත ලබාගෙන තිබෙන අක්කර 400 ක භූමි ප්‍රමාණයක පිහිටි මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය 2017 වර්ෂයේ දී නැවැත ශ්‍රී ලංකා රජයට බාරදෙන ලදි. ලොව පුරා වෙසෙන මිලියන 236.6 වැඩි ජනගහනයකට භාෂා 47 කින් ‘වොයිස් ඔෆ් ඇමරිකා’ ගුවන් විදුලිය ප්‍රවෘත්ති හා තොරතුරු බෙදා හරින ලදි. මෙහි විශාල ප්‍රමාණයෙන් යුත් ගොඩනැගිල් 04 ක් ද ස්ථාපිත කරන ඇත.

මෙම අවස්ථාවට හිටපුපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරුන්දික ප්‍රනාන්දු , ප්‍රයන්කර ජයරත්න, සනත් නිශාන්ත යන මහත්වරුන්ද පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යෂ දිනූෂා ප්‍රනාන්දු මෙම ස්ථාන භාර වෛද්‍ය නිළධාරි ලෙස කටයුතු කරන වෛද්‍ය නිළධාරි වෛද්‍ය දිමුත් පොන්වීර මහතා ඇතුලු නිළධාරින් පිරිසක් සහභාගි වූහ.

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායනය සාර්ථකව නිම කළ 4 වැනි කණ්ඩායමත් පිටව යයි

(27.03.2020 – 12:01 +0530 – sinhala.adaderana.lk)

බැටික්ලෝ කැම්පස් නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනය සාර්ථකව නිම කළ 4 වැනි කණ්ඩායම අද (27) නිවෙස් බලා පිටත් කර යැවුණි. එම පිරිසට පුද්ගලයින් 163 දෙනෙක් ඇතුළත්.

බැටික්ලෝ කැම්පස් නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14 ක කාලයක් මෙම පිරිස නිරෝධායනයට ලක් කර තිබුණි.

අද (27) නිවෙස් බලා පිටත් කර යැවුණු 163 දෙනෙකුගෙන් සමන්විත එම පිරිසට කුඩා ළමුන්ද ඇතුළත්.

ඔවුන් ඉතාලිය, දකුණු කොරියාව ඇතුළු රටවලින් යළි දිවයිනට පැමිණ තිබුණි.

ඔවුන් කොළඹ, කටුනේරිය. හලාවත, මාතර සහ කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

+++++++++++++++++++++++++++++++++++

කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවකයින් නිවෙස් බලා පිටත් කරයි

(27.03.2020 – 11:09 +0530 – sinhala.adaderana.lk)

කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවය කරමින් සිටි පිරිස් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යෑමේ වැඩසටහන අද (27) ආරම්භ කර ඇත.

ඒ අනුව 5,000 කට අධික පිරිසක් කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත අලුයම 5.00 සිට පැමිණ සිටි බව ‘අද දෙරණ’ වාර්තාකරු පවසයි.

කටුනායක පොලීසිය ඊයේ (26) ද රාත්‍රී ශබ්දවාහිනී යන්ත්‍ර උපයෝගී කර ගනිමින් මේ පිළිබඳ පුවත ප්‍රදේශය පුරා ප්‍රචාරය කර ඇත.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය , කටුනායක පොලීසිය , ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් , කර්මාන්තශාලා හිමිකරුවන් සහ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කර තිබූ අතර , මෙම සේවක පිරිස් කටුනායක අපනයන සැකසුම් කළාප ප්‍රධාන ගේට්ටුව අසළට පැමිණීමෙන් පසු , ඔවුන් තම නිවෙස් කරා රැගෙන යනතෙක් සියලු කාර්යයන් ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත භාර වී තිබේ.

ඒ අනුව මෙසේ කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත පැමිණි සේවක පිරිස් මුලින්ම කටුනායක පොලීසිය පිහිටුවා ඇති මධ්‍යස්ථානයේ ලියාපදිංචි විය යුතුය.

ඉන් අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සෞඛ්‍ය පරීක්ෂණයකට ලක් කර ඔවුන්ගේ පදිංචිය අනුව , නම් කර සූදානම් කර ඇති බස් රථ වෙත ඇතුළු කිරීම සිදු කරයි.

+++++++++++++++++++++++++++++++++++

වැට් බදු ගෙවීමට සහන කාලයක්

(27.03.2020 – 09:56 +0530 – sinhala.adaderana.lk)

2020 පෙබරවාරි සහ මාර්තු මාස සඳහා වැට් බදු ගෙවිය යුතු දිනය 2020 අප්‍රේල් 30 දින දක්වා දීර්ඝ කරන ලද බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මේ අනුව පෙබරවාරි මාසය සඳහා වැට් බදු ගෙවීම 2020 මාර්තු 20 වන විටත්, මාර්තු මාසය සඳහා වැට් බදු ගෙවීම 2020 අප්‍රේල් 30 වන විටත් සිදුකළ යුතුව තිබුණු අතර අදාළ මාස දෙක සඳහා ම 2020 අප්‍රේල් 30 දක්වා මෙලෙස ගෙවීම් දීර්ඝ කර ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

තැපැල්පතිගෙන් සියලු තැපැල් කාර්යාලවලට දැනුම්දීමක්

(26.03.2020 – 17:37 +0530 – hirunews.lk/sinhala)

ඇඳිරි නීතිය ඉවත් කෙරෙන කාලසීමාව තුල අඩු වශයෙන් පැය දෙකක පමණ කාලයක් හෝ තැපැල් කාර්යාල විවෘතව තබන ලෙසට තැපැල්පතිවරයා සියළු තැපැල් කාර්යාලවලට දැනුම්දී තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

උතුරේ දූපත්වාසි ජනතාවට නාවික හමුදාවෙන් සහන

(26.03.2020 – 23:11 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (26) යාපනය අර්ධද්වීපයේ දූපත්වාසී ජනතාව වෙනුවෙන් වියලි ආහාර සළාක බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

‘නව කොරෝනා’ වෛරසය මෙරට තුළ පාලනය සිදු කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තම සහය ලබා දෙමින් සිටියි.

ඒ අනුව යාපනය අර්ධද්වීපයේ දූපත්වාසී අසරණ ජනතාව වෙනුවෙන් වියළි සළාකයන් ලබා දීමේ වැඩසටහනක් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ අධීක්‍ෂණය යටතේ අද (26) පැවැත්වීමට කටයුතු කෙරිණි.

එහිදී නයනතිව් සහ එළුවතිව් දූපත්වාසී අසරණ ජනතාව වෙත අත්‍යාවශ්‍ය වියලි සළාක පාර්සල් 698 කට අධික ප්‍රමාණයක් බෙදාදීම සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා උතුරු නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා ආයතනවලට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ සියළුම නාවිකයින්ගේ සහයෝගය හිමිවූ අතර, ඉදිරියේදී මෙවැනි සමාජ සුභසාධන කටයුතු සඳහා තම දායකත්වය ලබා දීමට නාවික හමුදාව තවදුරටත් සූදානමින් සිටියි ෴

https://news.navy.lk/eventnews-si/2020/03/26/202003262030-si/

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය සදහා විෂබීජහරණ කුටියක් හදුන්වා දෙයි

https://news.navy.lk/eventnews-si/2020/03/26/202003262110-si/
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *