සියලු ඖෂධහල් ලබන බ්‍රහස්පතින්දා (09) විවෘත වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සියලු ඖෂධහල් ලබන බ්‍රහස්පතින්දා (09) විවෘත වෙයි

• ඇඳිරි නීති බලපත්‍ර අවසන් වන කාලය දීර්ඝ කෙරේ

• ප්‍රදේශ කිහිපයක හෙට (09) තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කෙරේ (විඩියෝ)

• දිස්ත්‍රික්ක 6 ක් හැර සෙසු දිස්ත්‍රික්කවලට හෙට (09) දහවල් පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 තෙක් බලාත්මකයි

• මුලතිව් – ගුරු කන්ද විහාරස්ථානයේ රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ මියයයි

• දඹුල්ල ආර්ථිකය වසා දැමුණත් එළවළු මිලදී ගැනීමට මෙහෙයුම් මැදිරියක්

• අලුත් අවුරුදු සතියේ නිවසින් බැහැරව නොයන්නැයි සංස්කෘතික අමාත්‍යාංශය ඉල්ලයි

• කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 188 ක් දක්වා ඉහළට

• කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක් හෙට (09) වතුර නෑ

• ලබා ගත් ණය පහසුකම් අත්හිටුවීමට නම් අප්‍රේල් 30 ට පෙර බැංකුව දැනුවත් කරන්න (විඩියෝ)

• අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩසටහන් අදත් (08) දිවයින පුරා (විඩියෝ)

• ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් පිරිස 18,000 ක්

• ඇඳිරි නීති තත්ත්වය තවදුරටත් පවත්වාගෙනයාම වැදගත් – වෛද්‍ය අනිල් ජාසිංහ (විඩියෝ)

• ඩොලරය රු. 200 කඩයිම පසුකරයි

• ශ්‍රී ලංකාවෙන් මුදල් පිටකිරීම තුන් මසකට තහනම්

• විශ්‍රාම ගැන්වීමට සහ අයදුම්පත් යොමු කිරීමට නොහැකිවූ විශ්‍රාම හිමිකම්ලාභීන්ට රුපියල් 25,000 ක්

• බළලුන් ඇතුළු සුරතල් සතුන් ගෙදරම තබා ගන්න – ලෝම තුළ කොරෝනා වයිරසය තැන තැන ගෙන යන බව හෙළිවේ

• ලංකාවේ ලොකුම සමාගම් පඩි කපයි – ජෝන් කීල්ස් 60%.. බ්‍රැන්ඩික්ස් 60%.. ශ්‍රී ලන්කන් 25%

+++++++++++++++++++++++++++++++++++

සියලු ඖෂධහල් ලබන බ්‍රහස්පතින්දා (09) විවෘත වෙයි

(07.04.2020 – 22:49 +0530 – sinhala.adaderana.lk)

අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බලකායේ විශේෂ රැස්වීමක් එහි ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවැත්වුනේ සෞඛ්‍ය අමාත්‍යවරියගේ ද සහභාගීත්වයෙන්ය.

එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පහත සඳහන් තීරණ ගෙන තිබේ :

ඒ අනුව එළැඹෙන බ්‍රහස්පතින්දා (09) උදෑසන 9 සිට සවස 5 දක්වා දිවයින පුරා සියලු ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබිය යුතු බවට එහිදී තීරණය වී තිබේ.

එදිනට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරෙන දිස්ත්‍රික්ක 19 පමණක් නොව අවදානම් කලාප ලෙස නම් කර තිබෙන දිස්ත්‍රික් ද ඇතුළුව මුළු දිවයිනේම ඖෂධ සැල් විවෘතව තැබෙනු ඇත.

සියලුම ආයුර්වේද රෝහල් ඇඳිරි නීති කාලය තුළ විවෘතව තැබීමට ද එහි දී තීරණය කෙරුණි.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ලියාපදිංචි වී ඇති එක් බෙහෙත් ශාලාවකට හෝ ඇඳිරි නීතිය කාලය තුළ එම සේවා ජංගමව පවත්වාගෙන යාමටත් අවසර ලබාදී තිබේ.

විශාල පාරිභෝගික ඉල්ලුමක් ඇති කොත්තමල්ලි, ඉඟුරු සහ වෙනිවැල්ගැට ආනයනයට ද පියවර ගෙන ඇති අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ප්‍රතිකාර ලබන රෝගීන්ගේ නිවාස වෙත තැපැල් දෙපාර්තමේන්තුව හරහා ඖෂධ බෙදා හැරීමත් එම තීරණ අතර වෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීති බලපත්‍ර අවසන් වන කාලය දීර්ඝ කෙරේ

(08.04.2020 – 08:08 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 10 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීති බලපත්‍ර අවසන් වන කාලය මෙම මස 30 වන දා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දුන් ඇඳිරි නීති බලපත්‍ර ද මීට අයත් වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

ඊට අමතරව වරාය, නැව් සමාගම, රේගුව, ආගමන විගමන, සෞඛ්‍ය, ඛණිජ තෙල්, විදුලි සංදේශ, දුම්රිය සේවා, මහා භාණ්ඩාගාරය, මහබැංකුව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික බැංකු මෙන්ම මාධ්‍ය හා සම්බන්ධ ආයතනවලට අදාළව නිකුත් කර තිබූ ඇඳිරි නීති බලපත්‍ර සහ රාජකාරී සේවා හැඳුනුම්පත් භාවිතය ද ඒ අනුව මෙම මස 30 වන දින දක්වා තවදුරටත් දීර්ඝ වනු ඇති ෴

+++++++++++++++++++++++++++++++++++

ප්‍රදේශ කිහිපයක හෙට (09) තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කෙරේ

(08.04.2020 – 07:32 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට පැය 10 ක කාලයක් සඳහා තාවකාලිකව ලිහිල් කෙරෙනවා.

හෙට (09) උදෑසන හයට (06) ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරෙන අතර, එදිනම පස්වරු 04 ට යළි පැනවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හදුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වන තුරු අඛණ්ඩව බලාත්මකයි.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් තහනම් වන අතර, අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඇදිරි නිති බලපත්‍ර නිකුත් කිරිමේ ක්‍රමවේදය වෙනස් කිරිමට රජය කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (07) නිවේදනය කළා.

ඒ අනුව පොලිස් මුලස්ථානය, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, කොට්ඨාශ භාර පොලිස් අධිකාරි කාර්යාල සහ පොලිස් ස්ථාන මගින් මෙලෙස ඇදිරි නීති බලපත්‍ර නිකුත් කෙරෙනු ඇති.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් සේවකයන් 50 ඉක්මවු ආයතන සඳහා ඇදිරි නීති බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ පොලිස් මුලස්ථානය මගින් වන අතර, අනෙක් සියළු දිස්ත්‍රික්ක වල සේවකයන් 50 ඉක්මවු ආයතන සඳහා ඇදිරි නීති බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ අදාළ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන්.

එමෙන්ම පොලිස් කොට්ඨාශ බල ප්‍රදේශ වලට අයත් සේවක සංඛ්‍යාව 10 ට වැඩි 50 අඩු ආයතන සඳහා ඇදිරි නීති බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ කොට්ඨාශ භාර පොලිස් අධිකාරි කාර්යාලය විසින් වන අතර, සේවකයන් 10 අඩු ආයතන සඳහා ඇදිරි නීති බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ එම ප්‍රදේශ වල පොලිස් ස්ථාන මගින් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

අතිශය මානුෂිය හේතුන් මත ඇතැම් පුද්ගලයින්ට ඇදිරි නිතී බලපත්‍ර නිකුත් කිරිමට පොලිස් ස්ථාන වලට අවසර ලබා දි තිබෙනවා.

කෙසේ වෙතත් ඇඳිරි නීති බලපත්‍ර ලබාගැනීමේදී ඒවා ඉල්ලුම් කිරීමට හේතුව සහ වාහන ගමන් කරන මාර්ග නිශ්චිතව සඳහන් කළ යුතුවනවා.

එසේම දිවයින පුරාම ගමන් කළ හැකිවන පරිදි ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

රජයේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යා යුතු ආයතනවල සේවකයින් සඳහා රාජකාරි හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිත කිරීමට අවසර ලබාදෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර, ඊයේ (07) උදෑසන 6 සිට අද (08) උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කළ 1815 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 595 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ මාර්තු මස 20 වන දා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 17,717 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 4586 ක්.

එමෙන්ම ආබාධිත පුද්ගලයෙකුට ආබාධිත දීමනාව ලබාදීම සඳහා නිවසකට ගිය හම්බන්තොට – කටුවන – රුක්මල්පිටිය උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයාට පහරදුන් පුද්ගලයන් තුන්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි මෙම පුද්ගලයින් තැපැල් ස්ථානාධිපතිවරයාට පහරදී පලාගොස් තිබුණේ පෙරේදා (06) දිනයේයි.

ඒ සම්බන්ධයෙන් ඔහු කටුවන පොලීසියට පැමිණිලි කර තිබූ අතර, ඒ අනුව සිදුකළ විමර්ශනයේදීයි මෙම සැකකරුවන් ඊයේ (07) රාත්‍රියේ කටුවන – දංගලකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් අවුරුදු 26, 27 සහ 28 යන වයස්වල පසුවන්නන් ෴

+++++++++++++++++++++++++++++++++++

දිස්ත්‍රික්ක 6 ක් හැර සෙසු දිස්ත්‍රික්කවලට හෙට (09) දහවල් පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 තෙක් බලාත්මකයි

(08.04.2020 – 16:56 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට (09) අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ.

මේ දිස්ත්‍රික්කවල එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත ක්‍රියාත්මක කෙරේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙනි.

එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි
රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයනට පමණක් සීමා කරන ලෙස ද අවධාරණය කෙරේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ.

කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ ෴

+++++++++++++++++++++++++++++++++++

මුලතිව් – ගුරු කන්ද විහාරස්ථානයේ රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ මියයයි

(08.04.2020 – 10:07 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් – නයාරු ගුරු කන්ද විහාරස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිඔය – ජනකපුර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක් බවයි පොලීසිය සදහන් කළේ.

මෙම පුද්ගලයා හදිසියේ මියයාම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මොහු දීර්ඝ කාලයක සිට විහාරස්ථානයේ රැදී සිටිමින් භික්ෂුන් වහන්සේට ආවතේව සිදුකරමින් සිටි අයෙකු බව සදහන් ෴

+++++++++++++++++++++

මුලතිව් ගුරුකන්ද පන්සලේ සිටි දායකයෙකු හදීසියේ මියයයි.. මරණය සැක සහිතයි..

(08.04.2020 – 17:30 +0530 – lankacnews.com)

මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නැවතී සිටමින් පන්සල රැක බලාගත් දායකයෙකු හදීසියේම මිය යාම හේතුවෙන් මරණය සැක සහිත බවට ඥාතීන් ප්‍රකාශ කිරීම නිසා අද (08) දින රස පරික්ෂක වාර්ථාවක් ලබාගැනීමට පියවර ගෙන ඇති බවට මුලතිව් පොලීසිය පවසයි.

වැලිඔය ජනකපුර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි නිමල් නැමති පුද්ගලයා මීට පෙර අපවත්වී වදාල ගුරකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ප්‍රධාන උපස්ථායක වශයෙන් කටයුතු කොට ඇත.

කෙසේ වෙතත් පන්සලේ ආවතේව කටයුතු කරමින් සිටි මොහු ආවාස ගෙයි ඉදිරිපස ඊයේ (07) උදෑසන මිය ගොස් සිටියදී හමු වී ඇති අතර හෘදයාබාදයක් හේතුවෙන් මිය යන්නට ඇති බවට මුලතිව් පොලීසිය සැක පල කර ඇති අතර ඥාතීන් විසින් මරණය සැක සහිත බවට ප්‍රකාශ කිරීමෙන් පසුව මුලතිව් මහරෝහලේදී මරණ පරික්ෂණ කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

***************************************

දඹුල්ල ආර්ථිකය වසා දැමුණත් එළවළු මිලදී ගැනීමට මෙහෙයුම් මැදිරියක්

(08.04.2020 – 13:31 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමත් සමග ලැබෙන එළවළු මිලදී ගැනීම සදහා මෙහෙයුම් මැදිරියක් එහි ස්ථාපිත කර තිබෙනවා.

ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් 150 දෙනෙකු සම්බන්ධ කර ගෙන දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලැබෙන එළවළු ඇණවුම් ලබා ගැනීම මෙහිදී සිදුකෙරෙනවා.

මෙලෙස ඇණවුම් භාර ගැනීමට දුරකථන අංක සහ ඊමේල් ලිපියනයක් ද හදුන්වා දී ඇති බවයි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා කියා සිටියේ.

එළවළු විශේෂ තොග මිල ගණන් යටතේ මිලදී ගැනීම ද විශේෂත්වයක්.

ඒ අනුව 066 228 5181 දුරකථන අංකයෙන් සහ dambulladec@gmail.com යන විද්‍යුත් ලිපිනය හරහා එළවළු ඇණවුම් කළ හැකි බවයි ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත්, දඹුල්ල ෂා වාර්තාකරු කියා සිටියේ ඊයේ (07) දිනයේ හදිසියේ වෙළද මධ්‍යස්ථානය වසා දැමීම නිසා එළවළු රැගෙන ආ ගොවීන් තම නිෂ්පාදන මාර්ගය දෙපස තබාගෙන වෙළදුන්ට අලෙවි කරමින් සිටින බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

අලුත් අවුරුදු සතියේ නිවසින් බැහැරව නොයන්නැයි සංස්කෘතික අමාත්‍යාංශය ඉල්ලයි

(08.04.2020 – 12:01 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පැතිර යාමත් සමග මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේදී නිවසින් බැහැරට යාම හෝ විවිධ උත්සව සංවිධානය කිරීම සිදු නොකරන ලෙස බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අලූත් අවුරුදු චාරිත්‍ර හැකි පරිදි නිවසේ සාමාජිකයින් සමග සිදුකිරීමට මෙන්ම සරල ආහාර ද්‍රව්‍ය සකසාගෙන, නිවසේ සිටම ආගමානුකූල කාර්යයන් ඉටු කිරිමට පියවර ගන්නා ලෙසයි අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඉල්ලා සිටින්නේ.

මෙවර අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 13 වන සදුදා අපරභාග 8.23 ට යෙදී ඇති අතර, පුන්‍ය කාලය එදින අපරභාග 1.59 ට ආරම්භ වී අප්‍රේල් 14 වනදා අලුයම 2.47 ට අවසන් වීමට නියමිතව තිබෙනවා.

ආහාර පිසීමේ නැකැත් චාරිත්‍රය යෙදී ඇත්තේ අප්‍රේල් මස 13 වනදා අපරභාග 10.05 ටයි. වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීම 13 වනදා අපරභාග 10.43 ට සිදුකළ යුතු බවයි නැකැත් චාරිත්‍රයේ දැක්වෙන්නේ.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 188 ක් දක්වා ඉහළට

(08.04.2020 – 16:18 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු (02) හදුනාගනෙ තිබේ.

ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති මුළු ආසාදිතයිනක් ගණන 188 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 140 දෙනෙකු මේ වන වට තවදුරටත් ප්‍රතිකාර ලබන බව එම අංශය සඳහන් කළේය.

වෛරස ආසාදනය වී රෝහල්ගතව සිටි පුද්ගලයින් 42 දෙනෙකු පුර්ණ සුවය ලබා මේ වන විට රෝහල් වලින් පිටත්ව ගොස් ඇති බව ද සඳහන්ය.

කොරෝනා වෛරසය ආසාදනයවිමෙන් මේ වන විට පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක් හෙට (09) වතුර නෑ

(08.04.2020 – 16:11 +0530 – sinhala.adaderana.lk)

කොළඹ 09, 14 සහ නවගම්පුර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

හෙට (09) පස්වරු 01 සිට පැය 18 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

ලබා ගත් ණය පහසුකම් අත්හිටුවීමට නම් අප්‍රේල් 30 ට පෙර බැංකුව දැනුවත් කරන්න

(08.04.2020 – 15:05 +0530 – sinhala.adaderana.lk)

බැංකු හා මුල්‍ය ආයතන හරහා තමා විසින් ලබා ගෙන ඇති ණය පහසුකම් ඉදිරි මාසය තුළ කපා හැරිම අත්හිටුවිම සඳහා අනිවාර්යෙන්ම ඒ පිළිබඳ අප්‍රේල් මස 30 වැනිදාට පෙර එම බැංකු දැනුවත් කළ යුතු බව ශ්‍රි ලංකා මහබැංකුව පවසයි.

‘අද දෙරණ බිග් ෆෝකස්’ විශේෂ වැඩසටහනකට එක් වෙමින් ශ්‍රි ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ.කරුණාරත්න මහතා ජනතාවට ලබා දි ඇති තවත් සහන කිහිපයක් සම්බන්ධයෙන්ද කරුණු පැහැදිලි කළේය.

+++++++++++++++++++++++++++++++++++

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩසටහන් අදත් (08) දිවයින පුරා

(08.04.2020 – 14:04 +0530 – sinhala.adaderana.lk)

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩසටහන් අදත් (08) දිවයින පුරා ක්‍රියාත්මක වෙයි.

ඇඳිරි නීතිය පැනවුවද දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබිය යුතු බවට රජය උපදෙස් දී තිබුණේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සඳහාය.

නමුත් ආර්ථික මධස්ථානයට පැමිණෙන වෙළෙඳුන් සහ ජනතාව නියමිත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද භාවිත කරන අයුරු එම කිසිඳු දිනයක දක්නට නොලැබීම හේතුවෙන් අද (08) වැලිසර සහ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට කටයුතු කළා.

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසක් වසා ඇති පසුබිමක අද (08) එළවළු විශාල තොග කොළඹ මැනිං වෙළඳැපොළ වෙත රැගෙනවිත් තිබෙනු දක්නට ලැබුණි.

ඊයේත් (07) එම පරිශ්‍රයේ විෂබීජහරණ කුටියක් ද ඉදි කර තිබුණද කිසිඳු පුද්ගලයකු එය භාවිත කරන ආකාරයක් දක්නට ලැබුණේ නැහැ.

නිපුන සහල් ආයතනය රුපියල් එක්කෝටි හැටල්කෂයක් වටිනා සහල් තොග පීඩාවට පත්ව සිටින පවුල් 20,000 සහ පොළොන්නරු ප්‍රදේශයේ විහාරස්ථාන 300 සඳහා ප්‍රදානය කළේය.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් පිරිස 18,000 ක්

(08.04.2020 – 13:56 +0530 – sinhala.adaderana.lk)

මාර්තු 20 වන දා සිට අද (08) දහවල් 12 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 18,000 ක් බව‍ පොලීසිය පවසයි.

එහිදි වාහන 4667 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අද (08) උදෑසන 6 සිට දහවල් 12 දක්වා පමණක් පුද්ගලයින් 283 ක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් වාහන ගණන 81 ක්.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීති තත්ත්වය තවදුරටත් පවත්වාගෙනයාම වැදගත් – වෛද්‍ය අනිල් ජාසිංහ

(08.04.2020 – 12:52 +0530 – sinhala.adaderana.lk)

‍දැනට රට තුළ පවත්වාගෙන යන ක්‍රමවේදය ලිහිල් කළ හොත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එම නිසා සාමාජ දුරස්ථබාවය පවත්වා ගැනිම සඳහා පනවා ඇති ඇඳිරි නීති තත්ත්වය තවදුරටත් පවත්වාගෙනයාම වැදගත් බව හෙතෙම පවසයි.

අද (08) උදෑසන ‘ටී.වි දෙරණ’ ඔස්සේ විකාශනය වූ ‘දෙරණ අරුණ’ වැඩසටහනට සහභාගී වෙමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව කියා සිටියේය.

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වූවන් සොයා ගැනිමට අදාල පී.සී.ආර් පරික්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට ද අවශ්‍ය පියවර ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එහිදී පැවසුවේය.

+++++++++++++++++++++++++++++++++++

ඩොලරය රු. 200 කඩයිම පසුකරයි

(08.04.2020 – 12:16 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) දිනයේ දී රුපියල් 200 සීමාව ඉක්මවා යනු ලැබීය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.95 ක් හා විකුණුම් මිල රු. 200.46 ක් ලෙසින් වාර්තා විය.

මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) රු. 198.42 ක් ලෙසින් සටහන් විය ෴

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවෙන් මුදල් පිටකිරීම තුන් මසකට තහනම්

(08.04.2020 – colombotoday.com)

විදේශ රටවල ආයෝජන සහ තැන්පත් කිරීම් සඳහා මෙරටින් මුදල් (විදේශ විනිමය) පිටතට ගෙන යෑම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මාස 03 ක කාලයක් සඳහා මෙලෙස ශ්‍රී ලාංකිකයන්ට (ශ්‍රී ලාංකික නේවාසිකයන්ට) රටින් මුදල් පිට කිරීම තහනම් කර තිබේ.

කෙසේ වෙතත් රටින් පිටත සිටින්නන්ගෙන් ලබා ගන්නා විදේශීය මුදල් වෙනත් රටක ආයෝජනය කිරීමට හෝ රටෙහි මේ වන විට පවතින නියාමන අවශ්‍යතාවන් සපුරාදීම සඳහා සිදුකරන ආයෝජන මෙන්ම ව්‍යවහාර මුදල් ගිණුම් හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා සිදු කරන ජංගම ගනුදෙනු සඳහා මුදල් රටින් පිට කිරීම තවදුරටත් සිදු කිරීමට මෙම ගැසට් නිවේදනයෙන් අවකාශ සලසා දී තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

විශ්‍රාම ගැන්වීමට සහ අයදුම්පත් යොමු කිරීමට නොහැකිවූ විශ්‍රාම හිමිකම්ලාභීන්ට රුපියල් 25,000 ක්

(08.04.2020 – 16:06 +0530 – hirunews.lk/sinhala)

විශ්‍රාම ගැන්වීමට නොහැකිවූ සහ විශ්‍රාම ගැන්වූ නමුත් අයදුම්පත් යොමුකිරීමට නොහැකිවූ විශ්‍රාම වැටුප සඳහා හිමිකම් ලබන රජයේ විශ්‍රාමිකයින් 3,189 දෙනෙකු වෙනුවෙන් අද (08) දිනයේ රුපියල් 25,000 බැගින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත යොමුකර තිබෙනවා.

විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා නිවේදනය කළේ එසේ යොමුකරන ලද අප්‍රේල් මස දීමනාව හිමි විශ්‍රාමිකයින්ගේ ලේඛනය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දක්වා ඇති බවයි.

පෙබරවාරි 1 වනදා සහ ඊට පසු විශ්‍රාම වැටුප් අයදුම්පත් යොමුකළ හිමිකම්ලාභීන් වෙනුවෙන් මෙම දීමනාව ලබාදෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

බළලුන් ඇතුළු සුරතල් සතුන් ගෙදරම තබා ගන්න – ලෝම තුළ කොරෝනා වයිරසය තැන තැන ගෙන යන බව හෙළිවේ

(08.04.2020 – 18:22 +0530 – lankaleadnews.com)

බළලුන් ඇතුළු සුරතල් සතුන් තම නිවෙස්වලම තබා ගන්න යැයි බ්‍රිතාන්‍ය පශු වෛද්‍යවරු පිරිසක් විසින් උපදෙස් නිකුත් කර තිබෙනවා..

පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ බළලුන්ට වෙනත් බළලුන්ගෙන් වයිරසය පැමිණිය හැකි බවයි.

සතුන් තුළ ‍වයිරසය තිබේදැයි සොයා ගැනීමට කරන ලද පර්යේෂණ අනුව සුරතල් සතුන් තම ලෝම තුළ මේ වයිරසය තැන තැන රැගෙන ගොස් බෝ කිරීමේ ප්‍රවණතාවක් ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ හේතුවෙන් බ්‍රිතාන්‍ය පශු වෛද්‍ය සංගමයේ සභාපති ඩැනියෙලා ඩොස් සැන්ටොස් සඳහන් කරන්නේ මෙම අවධානනම වළක්වාගැනීම සඳහා සුරතල් සතුන්ගේ හිමිකරුවන් විසින් ඉතා ප්‍රවේශම් සහගත මෙන්ම සතුන් ද ආරක්ෂා කරගෙන තමන්ද ආරක්ෂා වන උපක්‍රම අනුගමනය කළ යුතු බවයි.

“හොඳ සනීපාරක්ෂාවක් පුරුදුවන්න, බළලුන් තම නිවසේම තබාගන්න. ඔබ ඔබේ සුරතල් සතුන් සමඟ අනවශ්‍ය සම්බන්ධතා ඇතිකර නොගන්න. ඔවුන් වැළඳගැනීමෙන් වළකින්න. එමෙන්ම ඔබේ මුහුණ ලෙව කෑමට ඉඩ නොතබන්න. කිසිම අවස්ථාවක නාදුනන සතුන්ට අත නොතබන්න. ඔවුන්ට සමීප නොවන්න.” යනුවෙන් හොංකොං හි වෛද්‍යවරයෙකු වන ඒන්ජල් අල්මේන්ඩ්‍රොස් පවසා තිබෙනවා.

කොරෝනා වයිරසයට ගොදුරු වූ බව තහවුරු කරගත් හොංකොං හි වයස අවුරුදු 17 ක් වූ සුරතල් සුනඛයකුගේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එසේ පවසා තිබුණා.

“නමුත් ඔවුන්ගේ සිරුරේ කොවිඩ්-19 වයිරසය තිබුණත් ඔවුන් අසනීප වන්නේ නැහැ. මීට පෙර 2003 වර්ෂයේ දී හොංකොං හි සාර්ස් රෝගය පැතිර යද්දී සුරතල් සතුන් ගණනාවක් ආසාදනය වී සිටි නමුත් කිසිම අවස්ථාවක අසනීප වුණේ නැහැ..”

මෙම රෝගය මිනිසුන්ගෙන් සතුන්ට සම්ප්‍රේෂණය විය හැකි ආකාරය සම්බන්දව පර්යේෂකයෝ මෙසේ පවසනවා.

“මිනිසුන්ගේ ශ්වසන බිඳිති මගින් බළලුන්ට ආසාදනයවීමට අවස්ථාවක් තිබෙන බව පෙනේ. මිනිසුන් කැස්ස, කිවිසුම් යාම හෝ හුස්ම ගැනීම වැනි ක්‍රියාවන් මගින් අවට පරිසරයට වයිරසය මුදා හැරේ. ඉන් අනතුරුව එය වෙනත් සතුන්ගේ සිරුරු වෙත ඇතුළුවීමට ඉඩ ඇත.”

බෙල්ජියමේ නිවසක සිටි බළලකු රෝග ලක්ෂණ පෙන්නුම් කර සතියකට පමණ පසු කොරෝනා වයිරස පරීක්ෂාවට යොමුකළ අතර ශරීරයේ වයිරසය ඇති බව තහවුරු කෙරුණා.

විද්‍යාඥයන් විසින් මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයෙන් තවුරු වී ඇත්තේ බළලුන් මගින් වයිරසය තවත් බළලුන්ට සම්ප්‍රේෂණය කරන බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

ලංකාවේ ලොකුම සමාගම් පඩි කපයි – ජෝන් කීල්ස් 60%.. බ්‍රැන්ඩික්ස් 60%.. ශ්‍රී ලන්කන් 25%

(08.04.2020 – 16:20 +0530 – truenews.lk)

මෙරට ප්‍රධාන පෙළේ මහා පරිමාණ සමාගම් කිහිපයක්ම මේ වන විට එළඹෙන මාස කිහිපය තුල සේවක වැටුප් කප්පාදු ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ ව්‍යාපාර කටයුතු අකර්මණ්‍ය වීම හේතුවෙන් තම සමාගම්වල පිරිවැය පාලනය කිරීමේ පියවරක් ලෙසින් මෙම තීරණය ගැනීමට අදාළ සමාගම්වලට සිදුව ඇති බව වාර්තා වනවා.

මෙරට ලැයිස්තුගත විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී අප්‍රේල්, මැයි සහ ජූනි මාසවලට බලපැවැත්වෙන පරිදි පිරිවැය පාලන ක්‍රමවේද සඳහා යොමුවීමට පියවර ගෙන ඇති බව එහි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සිය කාර්ය මණ්ඩලය වෙත අභ්‍යන්තර මෙමෝ (Internal Memo) පණිවුඩයක් හරහා දැනුම් දී තිබුණා.

ඒ අනුව සමූහයේ විධායක හා විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ වැටුප් 60% කින්, සමූහ විධායක කමිටුවේ සාමාජිකයින්ගේ මූලික වැටුප 35% කින්, රු, 50,000 ට වැඩි වැටුප් ලබන සියලු දෙනාගේ වැටුප්, වැටුප් මට්ටම් අනුව 5% සිට 35% දක්වා ප්‍රමාණයකින් කප්පාදු කිරීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

මීට අමතරව ඉදිරි මාස 03 ක කාලය සඳහා ගමන් වියදම් දීමනා, නව බඳවා ගැනීම්, පාරිතෝෂිත අරමුදල් ණය යනාදිය ද අත්හිටුවා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟළුම් අපනයනකරුවා වන බ්‍රැන්ඩික්ස් ලිමිටඩ් ද සියලු විධායක ශ්‍රේණිවල නිලධාරීන්ගේ වැටුප්, වැටුප් මට්ටම් අනුව 5% සිට 60% දක්වා කප්පාදු කිරීමට පියවර ගත් අතර සියලු ප්‍රාග්ධන වියදම් අත්හිටුවීමටත්, නව බඳවාගැනීම් අත්හිටුවීම හා තාවකාලික කාර්ය මණ්ඩලය තවදුරටත් රඳවා නොගැනීමට ද තීරණය කළා.

ශ්‍රීලංකන් ගුවන්සේවයේ සේවකයින් සඳහා 2.5% සිට 25% දක්වා මාස 3 ක කාලයක් සඳහා අනිවාර්ය වැටුප් අඩු කිරීමක් පැනවීමට සහ 2020 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම වැටුප් වර්ධක තාවකාලිකව නවතාලීමට කටයුතු යොදා තිබෙනවා.

මෙරට ප්‍රමුඛ පෙළේ දැවැන්ත සමාගම් කිහිපයකම තත්ත්වය මෙසේ වන කල, කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම සෙසු කර්මාන්ත, ව්‍යාපාර හා සමාගම් වෙත එල්ල වීම නොවැළැක්විය හැකි කරුණක් වනු ඇති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *