ලංකා‍වේ කොරෝනා ආසාදිතයින් ගණන 199 ක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ලංකා‍වේ කොරෝනා ආසාදිතයින් ගණන 199 ක්

• දෙවන පාසල් වාරයේ ආරම්භය මැයි 11 දක්වා කල් යයි (විඩියෝ)

• ඇඳිරි නීතිය උල්ලංගණය කළ 22,000 ක් අත්අඩංගුවට

• ලොව වැඩිම කොරෝනා වෛරස් මරණ ඇමරිකාවෙන් (විඩියෝ)

• ගොවීන්ගේ එළවළු තොග මිලදී ගැනීම ඇරඹේ

• කොරෝනා නිසා වසා දැමුණු තවත් රටවල් කිහිපයක් විවෘත කිරීමට සූදානමින් (විඩියෝ)

• සැප්තැම්බරය වනවිට කොවිඩ් 19 එන්නතක් නිපදවන ලකුණු

• විදෙස් ගත තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසකගෙන් ඉල්ලීම් (විඩියෝ)

• ඇඳිරි නීතිය ඉවත් කෙරෙන කාලසීමාව ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ඉඟියක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ලංකා‍වේ කොරෝනා ආසාදිතයින් ගණන 199 ක්

(12.04.2020 – 06:28 +0530 – sinhala.adaderana.lk)

ඊයේ (11) රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කො‍රෝනා ආසාදිතයින් ගණන 199 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට රෝගීන් 138 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

වෛරසය ආසාදනය වු බවට සැකපිට රෝහල් ගතව සිටින පුද්ගලයින් ගණන 224 ක්.

එමෙන්ම අද වන විට පුද්ගලයින් 54 දෙනකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

අප්‍රේල් (10) දිනයේ දී වාර්තා වු ආසාදිතයින් 7 දෙනාගෙන් 6 දෙනෙකුම ජා ඇල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයා ළඟින් ඇසුරු කළ පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි ෴

+++++++++++++++++++++++++++++++++++

දෙවන පාසල් වාරයේ ආරම්භය මැයි 11 දක්වා කල් යයි

(11.04.2020 – 21:32 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ දෙවන පාසල් වාරයේ ආරම්භය මැයි 11 වනදා සඳුදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර තීරණය වී තිබුනේ දෙවන පාසල් වාරය මෙම මස 20 වනදා සඳුදා ආරම්භ කිරීමටයි.

කෙසේවෙතත් කොරෝනා වෛරසය පැතිර යාමත් සමග එය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යමින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුයි මෙලෙස පාසල් ආරම්භ කරන දිනය දීර්ඝ කිරීමට තීරණය වී ඇත්තේ.

පාසල් නොපැවැත්වෙන කාලය තුල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිය අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාම සඳහා දුරස්ථ පහසුකම් හැකි උපරිමයෙන් සැලසීමට රජය සැලසුම් කර තිබෙනවා.

විශ්ව විද්‍යාල ආරම්භ කරන දිනය වත්මන් තත්වය සමාලෝචනය කර විශ්වවිද්‍යාල බලධාරීන්ගේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ එකඟත්වය අනුව තීරණය කරන ලෙසටයි උසස් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම්දී ඇත්තේ.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය උල්ලංගණය කළ 22,000 ක් අත්අඩංගුවට

(11.04.2020 – 20:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ රාජකාරිවල නිරත ප්‍රධාන පොලිස් පරීක්ෂක හා ඉන් පහළ තනතුරුවල නිලධාරින්ට රුපියල් පන්දහස (5000) බැගින් මුදල් පරිත්‍යාග ලබාදීමට තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ එම මුදල් ගෙවීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා විසින් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත මේ වනවිට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි.

ඒ අනුව පසුගිය මාර්තු 11 වනදා සිට ඊයේ (10) දිනය දක්වා කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ රාජකාරි නොපිරිහෙළා ඉටුකළ නිලධාරීන්ට පොලිස් ත්‍යාග අරමුදල යටතේ මෙම විශේෂ මුදල් ත්‍යාග පිරිනැමෙනු ඇති.

එසේම, අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි අවසර සහිතව මහා මාර්ගවල ගමන් කරන සියළු සියළු දෙනා මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කර තිබෙනවා.

ඇඳිරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයින් 22,000 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 5750 ක්.

මේ අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පෙලිස්පතිවරයෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු, පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4 දෙනෙකු සේවා අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා.

ඒ අනුව, මධ්‍යම පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ඊ.ආර්.එල්. ප්‍රනාන්දු මහතා කොරෝනා මර්දන රාජකාරි සඳහා පොලිස් මූලස්ථානය වෙත කැඳවා ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

මේ වන විට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින අතර, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ වෙත පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වන තුරු අඛණ්ඩව බලාත්මකයි.

කෙසේ වෙතත්, අදාළ දිස්ත්‍රික්ක හැර අනෙකුත් සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ලබන 16 වන බ්‍රහස්පතින්දා පෙරවරු හයට ඉවත් කෙරෙන අතර, යළි එදිනම සවස හතරේ සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර සඳහන් කළේ.

එසේම, කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සුළු වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අනෙකුත් රැඳවියන් ඇප මත නිදහස් කිරීමට අදාළ මාර්ගෝපදේශ, නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ලොව වැඩිම කොරෝනා වෛරස් මරණ ඇමරිකාවෙන්

(11.04.2020 – 21:22 +0530 – hirunews.lk/sinhala)

මේ දක්වා ලොව වැඩිම කොරෝනා වෛරස් ආසාදිත මරණ ඇමරිකාවෙන් වාර්තාවී තිබෙනවා. එම සංඛ්‍යාව 18,850 ක් ලෙසටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එය ඉතාලියේ වාර්තාවූ මරණ සංඛ්‍යාවටත් වඩා වැඩි අගයක්. ඉතාලියෙන් වාර්තාවී ඇත්තේ මරණ 18,849 ක සංඛ්‍යාවක්.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් මේවන විට ලොව පුරා මියගොස් ඇති සංඛ්‍යාව 104,881 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

ගොවීන්ගේ එළවළු තොග මිලදී ගැනීම ඇරඹේ

(11.04.2020 – 20:57 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීති තත්ත්වය හමුවේ අලෙවි කර ගැනීමට නොහැකි ගොවීන්ගේ එළවළු තොග ප්‍රාදේශීය මට්ටමින් මිළදී ගැනීමේ වැඩපිළිවෙල අද (11) ආරම්භ කෙරුණා.

ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා එම වැඩසටහන ක්‍රියාත්මක වූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ යටතේ එළවළු ඇණවුම් ලබාගෙන තොග මිලට මිලදී ගැනීම සිදුකෙරෙනවා.

මේ අතර, බණ්ඩාරවෙල එළවළු තොග වෙළඳ මධ්‍යස්ථානය වසා දැමීමත් සමග බණ්ඩාරවෙල සහ ඒ අවට ප්‍රදේශවල තමන්ගේ අස්වනු විකුණා ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින බව එම ගොවීන් ප්‍රකාශ කළා.

එමෙන්ම, ගොවීන්ගේ එළවළු මිලට ගැනීම සඳහා රජය ගත් තීරණයත් සමග දඹුල්ල හා ඒ අවට ප්‍රදේශ වල ගොවීන් සිය අස්වනු අලෙවි කිරීම සඳහා අද (11) දිනයේ අදාළ ස්ථානවලට පැමිණ තිබුණා.

එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවුණා ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා නිසා වසා දැමුණු තවත් රටවල් කිහිපයක් විවෘත කිරීමට සූදානමින්

(11.04.2020 – 20:52 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා වාර්තා වෙද්දී, වසා දමා තිබූ ඇතැම් රටවල් යළි විවෘත කිරීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.

චෙක් ජනරජය වෙළඳසැල්, ක්‍රීඩාංගන, පිහිනුම් තටාක මෙන්ම, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් මේ වනවිටත් විවෘත කර ඇති අතර, ඩෙන්මාර්කය ද පාසල් සහ පෙර පාසල් ඉදිරි සතියේදී විවෘත කිරීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම, ඕස්ටි‍්‍රයාව ද, කුඩා සාප්පු පාස්කු ඉරිදා යෙදෙන හෙටින් පසුව යළි විවෘත කිරීමට නියමිතයි.

නෝර්වේ රාජ්‍යයේ ද පෙර පාසල් ලබන සතියේදී යළි විවෘත කරන බව නිවේදනය කර තිබෙනවා.

අදාළ රටවල් එම තීරණයට එළඹ ඇත්තේ කොරෝනා වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය ස්ථාවර වීම හේතුවෙන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට දාහත්ලක්ෂ 13,971 ක් වන අතර, මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 3772 ක් ලෙසයි දැක්වෙන්නේ.

+++++++++++++++++++++++++++++++++++

සැප්තැම්බරය වනවිට කොවිඩ් 19 එන්නතක් නිපදවන ලකුණු

(12.04.2020 – 09:19 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වැළැක්වීමේ සාර්ථක එන්නතක් මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට නිෂ්පාදනය කළ හැකිවනු ඇතැයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරියක පවසනවා.

එහි එන්නත්කරණ පිළිබඳ මහාචාර්යවරිය වන සාරා ගිල්බර්ට් මහත්මිය කියා සිටියේ සිය කණ්ඩායම මගින් එලෙස කොවිඩ් 19 එන්නතක් නිපදවීමට හැකිවනු ඇති බවට තමාට 80% ක විශ්වාසයක් පවතින බවයි.

මේ වනවිට ලොව පුරා ජීවිත එක්ලක්ෂ 9,000 ක් පමණ බිලිගෙන ඇති කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් නිෂ්පාදනය කිරීම සඳහා ලොව පුරා විද්‍යාඥයන් ප්‍රයත්නයක නිරත වන අතර, මහාචාර්ය සාරා ගිල්බර්ට් මහත්මියගේ කණ්ඩායම ඒ අතරෙන් ප්‍රමුඛයි.

සියල්ල සාර්ථකව සිදුවුවහොත් කොවිඩ් එන්නතක් නිපදවීම ගැටළුවක් නොවූවද එය ක්‍රියා කරන ආකාරය ගැන මෙතෙක් කිසිවෙකුට සහතිකයක් ලබාදිය නොහැකි බව ඇය සඳහන් කළා.

බ්‍රිතාන්‍යය කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් නිපදවීමේ ජාත්‍යන්තර අරමුදලට පවුම් මිලියන 210 ක් පරිත්‍යාග කර තිබෙනවා.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ කණ්ඩායම හැරුණුකොට අනෙකුත් වෛද්‍ය විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ කොවිඞ් 19 එන්නත නිපදවීම සඳහා තවත් වසරක් පමණ ගතවනු ඇති බවයි.

බ්‍රිතාන්‍යයේ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව මේ වනවිට 9,875 දක්වා ඉහළ ගොස් ඇත්තේ ඊයේ දිනයේ තවත් මරණ 917 ක් එරට රෝහල්වලින් වාර්තා වීමත් සමඟයි.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.

කෙසේ නමුත්, පූර්ණ සුවය ලැබීමට ඔහු විවේක ගත යුතු බවයි බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ප්‍රීටි පටේල් මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

විදෙස් ගත තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසකගෙන් ඉල්ලීම්

(11.04.2020 – 20:26 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන, ව්‍යාපාරික සහ සංචාරක අරමුණු ඇතිව කෙටිකාලින සංචාර සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස්, එරට සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීමට නිරන්තරයෙන් කටයුතු කරන බව නවදිල්ලි නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ උතුරු ඉන්දියාවේ පමණක් එවැනි කෙටි කාලීන සංචාරය සඳහා ගිය ශ්‍රී ලාංකිකයින් 107 දෙනෙකු රැදී සිටින බවයි.

මේ අතර, අධ්‍යාපන පාඨමාලාවක් සඳහා ඉන්දියාවට ගොස් මුම්බායි හි සිරවී සිටින ගුරු උපදේශිකාව සම්බන්ධයෙන් ද මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිරන්තරයෙන් සොයා බැලීම් සිදුකරනවා.

ඇයගේ විදේශ ගමන් බලපත්‍රයේ කාලය ඉකුත් වීමේ ගැටලූවක් හේතුවෙන් එහි කාලය දීර්ඝ කිරීමට ද කොන්සල් ජනරාල් කාර්යාලය කටයුතු කළ බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වසංගතය හමුවේ රුමේනියාවේ ආයතනයක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික සේවකයන් 20 දෙනෙකු වැටුප් නොගෙවා රැකියාවලින් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

එමෙන්ම, මාලදිවයිනේ සිරවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ද මේ වනවිට ගැටලු රැසකට මුහුණදී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම සිංගප්පූරුවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් ද අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් සියලූදෙනාම යළි දිවයිනට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් සිදුකළා.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය ඉවත් කෙරෙන කාලසීමාව ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ඉඟියක්

(12.04.2020 – 09:03 +0530 – hirunews.lk/sinhala)

මේවන විට පවතින තත්වය අනුව ඇඳිරි නීතිය මෙම මස අවසන් වන විට ඉවත් කළ හැකිවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

‘හිරු ටීවී පත්තරේ විස්තරේ’ වැඩසටහන සමග සජීවීව එක්වෙමින් ඔහු කියාසිටියේ ඇඳිරි නීතිය ඉවත් කළ ද සමාජ දුරස්ථභාවය ඇතුලු පිළිවෙත් ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් තිබිය යුතු බවයි.

අලුත් අවුරුද්දේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අදහස් පළකළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *