ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 210 දක්වා වැඩිවෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 210 දක්වා වැඩිවෙයි

• සිංහල – දෙමළ කොරෝනා අවුරුද්ද (විඩියෝ)

• කොරෝනා අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන්ට සීමා කරන්න

• අලුත් අවුරුදු දා රාත්‍රීයේ බොජ්ඣඬග පිරිත දේශනා කරන්නැයි මහාසංඝරතනයට ඉල්ලීමක්

• දිස්ත්‍රික්ක දෙකකින් වෙන් වු දරු පවුල (විඩියෝ)

• සංචාරක මඟ පෙන්වන්නෙකු කොරෝනාවලින් සුවය ලබා ගෙදර ඇවිත් කියු කථාව (විඩියෝ)

• මුහුදු සීමාවල ආරක්ෂාව තර වෙයි

• කොරෝනා ආසාදනය වු ළාබාලතම බිළිඳාටත් සුවයි

• රත්නපුරේ ආසාදිතයා ඇසුරු කළ 67 දෙනා නිරෝධායනයෙන් පසු නිවෙස්වලට

• ජා ඇල ප්‍රදේ‍‍ශයෙන් නිරෝධායනයට යොමු කළ පිරිස සමඟ සබඳතා පැවැත්වූ තවත් 52 ක් නිරෝධායනයට

+++++++++++++++++++++++++++++++++++

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 210 දක්වා වැඩිවෙයි

(12.04.2020 – 22:34 +0530 – sinhala.adaderana.lk)

තවත් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් හත් දෙනෙක් (07) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව අද දිනයට පමණක් රෝගීන් 11 දෙනෙක් වාර්තා වී තිබේ.

මේ වන විට ලංකාවේ ‍සමස්ත කොරෝනා වෛරසය ආසාදනය වු පිරිස 210 ක් වෙයි.

පුද්ගලයින් 56 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද‍ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට වෛරසය ආසාදනය වී පුද්ගලයින් 07 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

රෝගීන් 147 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි ෴

***************************************

සිංහල – දෙමළ කොරෝනා අවුරුද්ද

(12.04.2020 – 19:43 +0530 – hirunews.lk/sinhala)

වෙනස් මුහුණුවරකින් සමරන්නට සිදුවන මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුද්ද

හෙට (13) උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙන කවරදාටත් වඩා වෙනස් මුහුණුවරකින් සමරන්නට අපිට සිදුවෙලා.

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ නෑදෑ හිත මිතුරන්ගෙන් දුරස් වුණත් පවුලේ හැමෝටම එකට ඉඳන් අලුත් අවුරුද්ද සමරන්න මෙවර අවස්ථාව උදාවෙලා තිබෙනවා.

අපි මේ විමසා බලන්නේ හෙට උදාවන, හැමෝම ගෙදර ඉන්න අලුත් අවුරුද්ද ගැන.

අතීතයේ සිටම සිංහල සහ දෙමළ ජනතාව, බක් මහේ උදාවන අලුත් අවුරුද්ද සැමරුවේ නෑදෑ හිතවතුන් පිරිවරාගෙන, චාරිත්‍ර – වාරිත්‍ර, ජ්‍යොතිෂ නැකැත් මුල් කරගනිමින්.

කොඩිව් 19 වෛරසය රට තුළ ව්‍යාප්තවීමේ පසුබිමක් තුළ සමාජ දුරස්ථභාවය පවත්වා ගතයුතු නිසා මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුද්දේදි අපිට නෑදෑ හිතවතුන්ගෙන් ඈත්වෙලා ඉන්න සිද්ධවෙලා.

නමුත් මෙවර අලුත් අවුරුද්දේදි පවුලේ හැමෝටම නිවාඩුවක් ලැබිලා තියෙනවා.

ඒ නිසා මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුද්ද හැමෝම ගෙදර ඉන්න අවුරුද්දක්.

චාරිත්‍ර – වාරිත්‍ර, ජ්‍යොතිෂ්‍ය, නැකැත් සමඟ බැඳී පවතින සිංහල – දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් සීට්ටුවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්.

මෙවර අලුත් අවුරුද්දේ බොහෝ නැකැත් චාරිත්‍ර දවසේ රාත්‍රී කාලයේ යෙදී තිබීම විශේෂත්වයක්.

ඒ අනුව අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ පුණ්‍ය කාලය යෙදී තිබෙන්නේ අප්‍රේල් මස 13 වනදා සඳුදා එනම් හෙට අපර භාග 01:59 සිට එදින රාත්‍රී 02:47 එනම් 14 වැනිදා අඟහරුවාදා අළුයම දක්වායි.

එබැවින් හෙට (13) අපරභාග 01:59 ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්.

නැකැත් සීට්ටුවට අනුව අලුත් අවුරුද්ද උදාවන්නේ අප්‍රේල් මස 13 වනදා සඳුදා එනම් හෙට අපරභාග 08:23 ටයි.

ආහාර පිසීමේ චාරිත්‍රය යෙදී ඇති හෙට (13) අපරභාග 10:05 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දී කිරි මිශ්‍ර කිරිබතක් ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙල කිරීම මැනවි යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන්.

වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය සදහා වන නැකත හෙට (13) අපරභාග 10:43 යෙදී තිබෙනවා.

ඒ අනුව නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ එකී නැකතට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට, ආහාර අනුභව කිරීම මැනවි යනුවෙන්.

හිසතෙල්ගෑමේ නැකැත අප්‍රේල් මස 17 වැනිදා බදාදා පූර්වභාග 09:17 ට යෙදී ඇති අතර ‘පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි’ යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන්.

අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම අප්‍රේල් මස 17 වැනි සිකුරාදාට යෙදී තිබෙනවා.

එදින ලා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල හා හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කර පූර්වභාග 07:56 ට නැගෙනහිර දිශාව බලා රැකී රක්ෂා සදහා පිටත්ව යාම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන්.

මීට අමතරව අප්‍රේල් මස 19 වැනි ඉරිදා පූර්වභාග 11:38 ට තඹ වර්ණය හෙවත් රතු, කහ මිශ්‍ර වර්ණයෙන් සැරසී දකුණු දිශාව බලා පැල සිටුවීමේ චාරිත්‍රය ඉටුකිරීම මැනවි යනුවෙන් ද නැකැත් සීට්ටුවේ සඳහන්.

අලුත් අවුරුද්දේ රටම එකම නැකතකට චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම සුවිශේෂි කරුණක්.

මෙවර අවුරුද්දේ අපි එකිනෙකාට ගතින් දුරස් වුණත් හදවතින් එකාවන්ව එකම ප්‍රාර්ථනාවක් හිතින් දරාගෙන නැකැත් චාරිත්‍ර එලෙසින්ට ඉටු කරමු.

කොවිඩ් 19 වෛරසය රටතුළ පැතිර යාම වැළැක්වීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙලට සහය දක්වමින් ඔබත් නිවසේ රැඳී සිටිමින් අලුත් අවුරුද්ද සමරන්න.

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන්ට සීමා කරන්න

(12.04.2020 – 21:51 +0530 – sinhala.adaderana.lk)

අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන්ට සීමා කරන්න

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හෙටින් (13) උදාවීමට නියමිතයි.

එසේවුවද කොඩිඩ් 19 වෛරසය පාලනය ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා වෙමින් සමරන ලෙස රජය ඉල්ලා සිටියි.

මෙම වාතාවරණය තුළ වෙනදා දකින්නට ලැබෙන අලුත් අවුරුදු සූදානම මෙවර දකින්නට ලැබුණේ නැහැ.

ඒ සෑම වසරකම අවුරුදු කාලෙට ජනතාවගෙන් පිරී යන නගර අද හුදකලා වී ගොස්ය.

අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගෙන් පිරිනු කොළඹ අද (12) පාලුවට ගිහින්.

දිගු පෝලීම්වල සිටි මඟින් වෙනුවට අද (12) දක්නට ලැබෙන්නේ ගාල් කර තිබෙන දුම්රිය හා බස් රථ පමණයි.

අලුත් ඇඳුම් මළු හා බඩු බාහිර ආදිය අතැතිව වීථිපුරා සැරිසැරු ජනතාව වෙනුවට අද (12) එහි ඇත්තේ පාළු ස්වභාවයක්.

එමෙන්ම කොවිඩ් 19 වෛසරයේ බලපෑම නිසා අන් කවරදාවකවත් නැති මතින් තොර අලුත් අවුරුද්දක් නිර්මාණය වී තිබේ.

වෙනදා මත්පැන් මිලදී ගැනීමට මත්පැන් අලෙවි සැල් ඉදිරිපිට පොදී ගැසී සිටියත් මෙවර ඇඳිරි නිතීය පැනවූ දිනයේ සිට අද (12) දක්වාම මත්පැන් අලෙවි සැලක් විවෘත කිරීමට රජය ඉඩ දුන්නේ නැහැ.

අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට එළෙස ඇතැම් පුරුදු අත්හැරීමට සිදුවෙද්දි, සෑම වසරකම අවුරුද්දට හඬදෙන කොහාගේ හඬ අද (12) දිනයේදීත් අපට අසන්නට පුළුවන් විය.

ඒ වෙනදට වඩා ශබ්දය ඉතාම පැහැදිලි වී ඇත්තේ මුළු පරිසරයට නිහඬවීම හේතුවෙන්.

ඒ වගේම අවුරුදු කැන්දන රතිඤ්ඤා හඬ මෙවර ඇසෙන්නේ නැහැ.

නමුත් වසරකට අවස්ථා කිහිපයකදී පමණක් රතිඤ්ඤා අලෙවි කරන ව්‍යාපාරිකයින් ද අද (12) බලපෑමට ලක් වී තිබේ.

අලුත් අවුරුද්දේ සෑම නිවසකටම පාහේ එන නැවුම් හට්ටි මුට්ටි වලං මිලදී ගන්නට අද (12) ජනතාවට නොහැකි වෙලා.

ඒ නිසා මාස ගණනක් තිස්සේ මැටි කර්මාන්තකරුවන් අතින් නිමවූ මේ හට්ටි මුට්ටි වලන් වෙළෙඳ සැල් තුළම ගොඩ ගැහිලා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

අලුත් අවුරුදු දා රාත්‍රීයේ බොජ්ඣඬග පිරිත දේශනා කරන්නැයි මහාසංඝරතනයට ඉල්ලීමක්

(12.04.2020 – 19:01 +0530 – sinhala.adaderana.lk)

සිංහල හා හින්දු අවුරුදු දා රාත්‍රීයේ විහාරස්ථානවල ආශිර්වාදාත්මක බොජ්ඣඬග සුත්‍ර දේශනාවක් පවත්වන්නැයි සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් මහාසංඝරතනයෙන් ඉල්ලීමක් කරයි.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය වෙනුවෙන් එහි නියෝජ්‍ය සභාපති තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි හා ප්‍රධාන ලේඛනාධිකාරී ගෝණදූවේ ශ්‍රී ගුණානන්ද හිමි විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර අවුරුදු චාරිත්‍ර නිවෙස්වලට පමණක් සීමාවී ඇති බැවින් ජනතාවට ආශිර්වාද කිරීමට මෙලෙස පිරිත් දේශනා කරන්නැයි මෙලෙස මහාසංඝරතනයෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව අප්‍රේල් 13 වන දා රාත්‍රී 8.23 ට නව අවුරුදු උදාව සිදුවන බැවින් රාත්‍රී 7.30 ට සෑම විහාරස්ථානයකම පහත සඳහන් චාරිත්‍ර සිදු කරන්නැයි දැනුම් දෙයි.

රාත්‍රී 7.25 ට – ඝාණ්ඨාරය තෙවරක් නාද කිරීම.

රාත්‍රී 7.30 ට – අවට නිවෙස්වල වෙසෙන ගම්වාසීන් පංචසීලය සමාදන් වීම.

පසුව තුන් සුත්‍රය, බොජ්ඣඬග සුත්‍රය, මහාමොග්ගල්ලානත්ථෙර බොජ්ඣඬග සුත්‍රය, මහාචුන්දත්ථෙර බොජ්ඣඬග සුත්‍රය, ගිරිමානන්ද සුත්‍රය දේශනා කර දෙවියන්ට පින් අනුමෝදනා කරන්න ෴

(බොජ්ඣඬග = බොජ්ජංග)

***************************************

දිස්ත්‍රික්ක දෙකකින් වෙන් වු දරු පවුල

(12.04.2020 – 22:20 +0530 – sinhala.adaderana.lk)

පානදුර නල්ලූරුව බෝධිරුක්ඛාරාම මාවතේ නිවසක වයස අවුරුදු 19,17,15 සහ 14 යන වයස්වල දරුවන් සිව්දෙනෙකු අසරණ වී සිටින පුවතක් ‘අද දෙරණ’ට වාර්තා විය.

ඔවුන් මෙලෙස නිවසේ තනිව සිටින්නේ ඇඳිරි නීතිය පැනවූ ඉකුත් මාර්තු 20 වැනිදා සිටයි.

මව්පියන් විවාහ මංගල්‍යයකට සහභාගි වීම සඳහා මහනුවර ගලහ ප්‍රදේශයට ගොස් සිටින අවස්ථාවේ දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමත් සමඟ දරුවන් සහ මව්පියන් දිස්ත්‍රික් දෙකක වෙන් වී සිටියි.

ඒ දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබීම හේතුවෙන්.

+++++++++++++++++++++++++++++++++++

සංචාරක මඟ පෙන්වන්නෙකු කොරෝනාවලින් සුවය ලබා ගෙදර ඇවිත් කියු කථාව

(12.04.2020 – 20:49 +0530 – sinhala.adaderana.lk)

සංචාරක මඟ පෙන්වන්නෙකු ලෙස කටයුතු කරමින් සිටියදී වෛරසය වැළඳී දැන් පූර්ණ සුවය ලබා සිටින තලංගම ශිරාත් වීරසිංහ මහතා තමා ලැබූ අත්දැකීම විස්තර කළේ මෙසේය :

“මම සංචාරකයින් පිරිසක් සමඟ සංචාරය කරමින් සිටියදී මට හෙම්බිරිස්සාවක් හැඳුණා. මම දැනගෙන හිටියා කොවිඩ් 19 වල මූලික ලක්ෂනයක් හෙම්බිරිස්සාව කියලා.

ඒ නිසා මම නිවසේ සිට ස්වයං නිරෝධායනයට ලක් වුණා.

පසුව පී එච් අයි මහතා නිවසට පැමිණ මාව රෝහල්ගත කළා.

ඉන් පසු මම කොව්ඩ් ආසාදිතයෙක් බව දැනගත්තා. ඒ වෙලාවේ මගේ හිතට පොඩි චකිතයක් ඇති වුණා.

නමුත් රෝහලේ දී මට ලබා දිය යුතු ඉහළම ප්‍රතිකාර ලබා දිය යුතු නිසා දින 9ක් ගත වන විට මම නිරෝගී පුද්ගලයෙකු බවට පත් වුණා.

ඉන්පසු මම ගෙදරට පැමිණිලා තවත් දවස් 14 ක් නිරෝධායනයට ලක් වෙලා දැන් සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස ජීවත් වෙනවා”

+++++++++++++++++++++

මුහුදු සීමාවල ආරක්ෂාව තර වෙයි

(12.04.2020 – 20:05 +0530 – sinhala.adaderana.lk)

විදෙස් රටවල සිටි මුහුදු මාර්ගයෙන් මෙරටට කොවිඩ් ආසාදිතයින් ඒම වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ මුහුදු සීමාවල ආරක්ෂාව තර කර ඇත.

එම වාතාවරණය තුළ ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු තීරයේ පවතින පාලතිව් දූපත නිරෝධායන කටයුතු වලට යොදා ගැනීමේ සූදානමක් පිළිබඳව ප්‍රචාර පැතිර යයි.

කෙසේ වෙතත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහා ප්‍රකාශ කළේ ඒ සඳහා තවමත් තීරණයක් ගෙන නැති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදනය වු ළාබාලතම බිළිඳාටත් සුවයි

(12.04.2020 – 20:03 +0530 – sinhala.adaderana.lk)

මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත ළාබාලතම රෝගියා වන මාස 4 ක් වියැති බිළිදාත් සුවය ලබා ඇත.

පස්දෙනෙකුගෙන් යුත් සාමාජිකයින් සිටින එම පවුල නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි අතර අදාල බිළිඳාට වෛරසය ආසාදිත බවට තහවුරු කර ගැණුනේ ඉකුත් මාර්තු 30 වැනිදායි.

ඒ අනුව IDH රෝහලේ දින ගණනක් ප්‍රතිකාර ලැබූ බිළිදා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

රත්නපුරේ ආසාදිතයා ඇසුරු කළ 67 දෙනා නිරෝධායනයෙන් පසු නිවෙස්වලට

(12.04.2020 – 19:58 +0530 – sinhala.adaderana.lk)

රත්නපුරෙන් වර්තා වු පළමු කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත මැණික් ව්‍යාපාරිකයා, වෛරසය ආසාදනය වු ඔහුගේ මව සහ පුත්‍රයා සමිපව ඇසුරු කළ පුද්ගලයන් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටියේය.

ඔවුන් PCR පරික්ෂණයට යොමු කිරීමෙන් පසුව කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ පසු ඔවුන් නිරෝධායනය මධ්‍යස්ථානයෙන් පිටත් කර නිවෙස් වෙත යොමු කෙරුණි ෴

+++++++++++++++++++++++++++++++++++

ජා ඇල ප්‍රදේ‍‍ශයෙන් නිරෝධායනයට යොමු කළ පිරිස සමඟ සබඳතා පැවැත්වූ තවත් 52 ක් නිරෝධායනයට

(12.04.2020 – 19:42 +0530 – sinhala.adaderana.lk)

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මඟහැර හැසිරෙමින් සිටීම හේතුවෙන් අප්‍රේල් 09 වන දින නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනය සඳහා ඔලුවිල් හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළේය.

නාවික හමුදා භාරයට ගෙන ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලද එම පුද්ගලයින් 28 දෙනාගෙන් 06 දෙනෙකු මේ වන විට කොරෝනා ආසාධිතයින් බවට තහවුරු කරගෙන ඇත.

ඒ හේතුවෙන් එම 06 දෙනා ඇතුළු අනෙකුත් පුද්ගලයින් සමග සමීප සම්බන්ධකම් පවත් වන ලද තවත් පුද්ගලයින් සොයා 2020 අප්‍රේල් 11 වන දින නාවික හමුදා බුද්ධි අංශය සහ ජා-ඇල පොලිසිය එක්ව ජා-ඇල සහ මාකේවිට යන ප්‍රදේශයන් කේන්ද්‍ර කර ගනිමින් මෙහෙයුමක් දියත් කරන ලදි.

එහිදී ජා-ඇල ප්‍රදේශයෙන් පුද්ගලයින් 43 ක් සහ මාකේවිට ප්‍රදේශයෙන් පුද්ගලයින් 09 දෙනෙකු වශයෙන් පුද්ගලයින් 52 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින්ගෙන් 42 ක් පිරිමි පුද්ගලයින් වන අතර, කාන්තාවන් 10 ක් සිටී.

මෙම පිරිසට කුඩා පිරිමි දරුවන් 03 දෙනෙක් හා කුඩා ගැහැණු දරුවන් 03 දෙනෙක්ද අයත් වේ.

පවතින තත්වය හමුවේ ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත මෙම පුද්ගලයින් මූලික සෞඛ්‍ය පරීක්‍ෂණ වලින් පසු ඔලුවිල් හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *