නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 තෙක් දීර්ඝ කෙරේ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 තෙක් දීර්ඝ කෙරේ (විඩියෝ)

• පුණ්‍ය කාලය පස්වරු 01:59 සිට, අලුත් අවුරුද්ද රාත්‍රී 08:23 ට උදාවෙයි

• ඉවත් කළ බදු කිහිපයක් යලි එයි

• ජා-ඇල සුදුවැල්ලෙන් තවත් පිරිසක් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමේ තීරණයක්

• විදේශීය වෙළඳ නෞකාවක සිටි නැවියෙකු ආරක්ෂිතව කොළඹ වරායට

• පූනානි කදවුරෙන් සොයාගත් බේරුවල කොරෝනා රෝගීන් සමඟ සබඳතා පැවැත්වූවන් ගැන සොයයි

• ගොවීන්ගෙන් එළවළු මිලදී ගන්න සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මැදිහත් වෙයි (විඩියෝ)

• ගැබිණි මව්වරුන්ගේ ගැටළු දැනුම් දීමට දුරකථන අංකයක්

• අලුත් අවුරුද්දේ, අධ්‍යාපන ඇමතිගෙන් පාසල් දරු දැරියන්ට විශේෂ ඇරයුමක්

• පැය 24 ක් තුළ ඇඳිරි නීතිය කැඩූ තවත් 1,512 ක් අත්අඩංගුවට

• නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද (13) නිවෙස් වෙත

• මහාචාර්ය මලික් පීරිස් ප්‍රධානියා වෙන්න හිටිය බයෝ තාක්ෂණ ආයතනය කෝ ? (විඩියෝ)

• කොරෝනා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරූ තවත් 07 ක් අත්අඩංගුවට

• මුහුණු ආවරණ අපනයනය සහ ප්‍රතිඅපනයනය වළක්වාලමින් පනවා තිබූ නියමයන් ඉවතට

• ජෝර්දානයේ ඇඟළුම් කම්හලක ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් අසරණ වෙයි (විඩියෝ)

• යුධ හමුදාවෙන් වවුනියාව රෝහලේ ලේ බැංකුවට ලේ (විඩියෝ)

• පොලිස් සැරයන් සහ කොස්තාපාල්වරයෙකුගේ වැඩ තහනම් (විඩියෝ)

• හිත්‍රෝ ගුවන්තොටුපලේ රැඳී සිටි ලාංකිකයින් දෙදෙනෙක් දිවයිනට

• කොරෝනා බලපෑමට ලක්ව සිටින රක්ෂණ ඔප්පු හිමියන් සඳහා සහන දෙන්න තීරණයක්

• කොරෝනා ආසාදිතයෙක් නිසා පන්ජාබ්හි සිටින මෙරට සිසුන් 104 ක් බරපතළ ගැටළුවක

+++++++++++++++++++++++++++++++++++

නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 තෙක් දීර්ඝ කෙරේ

(13.04.2020 – 10:50 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 වනදා සඳුදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

පසුගිය සතියේ සිට රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන ලෙසට රජය දැනුම්දී තිබූ අතර, එම කාලය අප්‍රේල් මස 10 වනදා අවසන් වුණා.

+++++++++++++++++++++

නිවසේ සිට වැඩ කරන කාලය අප්‍රේල් 20 තෙක් දීර්ඝ කෙරේ

(13.04.2020 – 10:47 +0530 – sinhala.adaderana.lk)

කොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 සඳුදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

දෙවැනි වාරය සඳහා සියලු පාසල් යළි විවෘත කිරීම දැන් මැයි මස 11, සඳුදාට නියම කර ඇත.

පාසල් නොපවැත්වෙන කාලය තුළ හැකිසෑම විටම ශිෂ්‍ය ශිෂ්‍යාවනට දුරස්ථ අධ්‍යාපන පහසුකම් සැලසේ.

මේ අතර වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇතිඇඳිරි නීතිය අප්‍රේල් 16 දා බ්‍රහස්පතින්දා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ.

මේ දිස්ත්‍රික්කවල උදේ 6.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 4.00 ට යළි පනවනු ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ගගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

භාණ්ඩ මිලදී ගැනීම් ඉතාමත් අත්‍යාවශ්‍යද්‍රව්‍යයන්ට පමණක් සීමා කරන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින ලෙසත් අවධාරණය කෙරේ.

අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කරන මෙන් රජය තවදුරටත් ඉල්ලා සිටී.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි අඛණ්ඩව සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.

කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩකරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ සහ ධීවර කර්මාන්තයේ නිරතජනතාවට එකී වැඩ කිරීමට අවසර හිමි වේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙනයනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

කවර හෝ දිස්ත්‍රික්කයක හුදකලා ප්‍රදේශලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ.

කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීමහෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ ෴

***************************************

පුණ්‍ය කාලය පස්වරු 01:59 සිට, අලුත් අවුරුද්ද රාත්‍රී 08:23 ට උදාවෙයි

(13.04.2020 – 13:49 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අනුව පුණ්‍ය කාලය යෙදී තිබෙන්නේ අද (අප්‍රේල් මස 13 වනදා සඳුදා) අපර භාග 01:59 සිට 14 වැනිදා අඟහරුවාදා එනම් හෙට අළුයම 02:47 දක්වායි.

එබැවින් අද (13) අපරභාග 01:59 ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්.

නැකැත් සීට්ටුවට අනුව අලුත් අවුරුද්ද උදාවන්නේ අද (අප්‍රේල් මස 13 වනදා සඳුදා) අපරභාග 08:23 ටයි.

ආහාර පිසීමේ චාරිත්‍රය යෙදී ඇති අද (13) අපරභාග 10:05 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දී කිරි මිශ්‍ර කිරිබතක් ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙල කිරීම මැනවි යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන්.

වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය සදහා වන නැකත අද (13) අපරභාග 10:43 යෙදී තිබෙනවා.

ඒ අනුව නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ එකී නැකතට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට, ආහාර අනුභව කිරීම මැනවි යනුවෙන්.

හිසතෙල්ගෑමේ නැකැත අප්‍රේල් මස 17 වැනිදා බදාදා පූර්වභාග 09:17 ට යෙදී ඇති අතර පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන්.

අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම අප්‍රේල් මස 17 වැනිදාට සිකුරාදාට යෙදී තිබෙනවා.

එදින ලා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල හා හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කර පූර්වභාග 07:56 ට නැගෙනහිර දිශාව බලා රැකී රක්ෂා සදහා පිටත්ව යාම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන්.

මීට අමතරව අප්‍රේල් මස 19 වන ඉරිදා පූර්වභාග 11:38 ට තඹ වර්ණය හෙවත් රතු, කහ මිශ්‍ර වර්ණයෙන් සැරසී දකුණු දිශාව බලා පැල සිටුවීමේ චාරිත්‍රය ඉටුකිරීම මැනවි යනුවෙන් ද නැකැත් සීට්ටුවේ සඳහන්.

කෙසේ වෙතත් කොඩිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා වෙමින් සමරන ලෙසය රජය සහ සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.

මෙවර අලුත් අවුරුද්දේ බොහෝ නැකැත් චාරිත්‍ර දවසේ රාත්‍රී කාලයේ යෙදී තිබීමද විශේෂත්වයක්.

***************************************

ඉවත් කළ බදු කිහිපයක් යලි එයි

(13.04.2020 – 12:44 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ජනවාරි මාසයේ සිට අත්හිටවනු ලැබූ උපයන විට ගෙවීමේ බද්ද යළි අයකරගැනීමට රජය තීරණය කර තිබෙනවා.

රටේ පවතින තත්ත්වය සහ සේවාදායකයින්ගේ ඉල්ලීම මත ‘අත්තිකාරම් බද්ද’ නමින් මෙය යළි ක්‍රියාත්මක බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා කියා සිටියේ.

එමෙන්ම දැනට අහෝසි කර ඇති මාසික පොලී ආදායම රුපියල් 250,000 ක් හිමි තැන්පතු හිමියන් සඳහා ‘තැන්පතු රඳවාගැනීමේ බද්ද’ ද යළි ක්‍රියාත්මක බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

ජා-ඇල සුදුවැල්ලෙන් තවත් පිරිසක් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමේ තීරණයක්

(13.04.2020 – 13:38 +0530 – hirunews.lk/sinhala)

ජා-ඇල – සුදුවැල්ල ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 32 දෙනෙකු නාවික හමුදාවේ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නියමිත බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊට අදාළ පරික්ෂා කිරීම් මේ වනවිටත් සිදුකෙරෙමින් පවතින බවයි.

මේ අතර, ජා-ඇල වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.ඒ.ඩී.ජයකොඩි මහතා සඳහන් කළේ රාගම රෝහලට ඇතුළත් කළ සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (12) රාත්‍රියේ තහවුරු වීමත් සමඟ ඔහු ඇසුරු කළ පිරිස සොයා මෙම පරික්ෂා කිරීම් සිදුකෙරෙන බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

විදේශීය වෙළඳ නෞකාවක සිටි නැවියෙකු ආරක්ෂිතව කොළඹ වරායට

(13.04.2020 – 13:28 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර බහලුම් නෞකාවක් වන එම්.එස්.සී. ටැරෙන්ටෝ නෞකාවේ රාජකාරි කරමින් සිටි නාවිකයෙකු කොරෝනා බවට සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ඒමට නාවික හමුදාව අද අලුයම කටයුතු කර තිබෙනවා.

කොළඹ වරායට මුහුදු සැතපුම් 5 ක් පමණ ආසන්නයට පැමිණි එම නෞකාව වෙත ළඟාවූ නාවික හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් සියලු ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර මෙලෙස මොහු ගොඩබිමට ගෙන්වා ගැනීමට කටයුතු කළ බවයි නාවික හමුදාව පැවසුවේ.

පසුව වරාය පරිශ්‍රය තුළදීම පූර්ණ විෂබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව එම නාවිකයා කොළඹ ජාතික රෝහල වෙත යොමුකර තිබෙනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ පිලිපීන ජාතිකයෙකු වන 36 හැවිරිදි පුද්ගලයෙක් ෴

+++++++++++++++++++++++++++++++++++

පූනානි කදවුරෙන් සොයාගත් බේරුවල කොරෝනා රෝගීන් සමඟ සබඳතා පැවැත්වූවන් ගැන සොයයි

(13.04.2020 – 12:42 +0530 – hirunews.lk/sinhala)

පූනානි කඳවුරේ නිරෝධායනයට ලක් කර සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (12) තහවුරු වූ පුද්ගලයන් සමඟ සබඳතා පැවැත්වූ බේරුවල ප්‍රදේශයේ ජීවත්වන තවත් 11 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද (13) දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකිරීමට නියමිතයි.

පසුගිය මස 30 වනදා බේරුවල – පන්නිල ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙකු හමුවීමත් සමඟ ඔහු සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන් 219 දෙනෙකු නිරෝධායනය සඳහා පූනානි කඳවුර වෙත යොමුකළා.

ඊයේ (12) රාත්‍රීයේ මෙලෙස වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූයේ එම පුද්ගලයන් අතරින් පස්දෙනෙක් (05).

මේ අතර හුදකලා කර ඇති බණ්ඩාරගම – අටළුගම ගම්මානයේ ස්වයං නිරෝධායනයට ලක් කළ පුද්ගලයන් විසිදෙනෙකු (22) අද (13) සිය නිරෝධායනය අවසන් කර තිබෙනවා.

අටළුගම ගම්මානයේ පිහිටි සර්වෝදය ගොඩනැගිල්ලේ මොවුන් මෙලෙස දින 16 ක කාලසීමාවක් නිරෝධායනයට ලක් කර තිබුණා.

අද (13) දිනය තුළ තවමත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු මේ වනතෙක් වාර්තාවී නැහැ.

ඒ අනුව තවදුරටත් මෙරට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව සටහන් වන්නේ 210 ක් ලෙසයි ෴

+++++++++++++++++++++++++++++++++++

ගොවීන්ගෙන් එළවළු මිලදී ගන්න සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මැදිහත් වෙයි

(13.04.2020 – 12:20 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ගොවි නිෂ්පාදන අලෙවි සම්බන්ධීකරණ කාර්යාලයක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් මිහින්තලය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කඳවුරේ ස්ථාපනය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව එම ප්‍රදේශ වල ගොවීන්ගේ එළවළු සහ පළතුරු ගොවින්වෙතම ගොස් මිලදී ගැනීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කයුතු ආරම්භ කර තිබෙනවා.

තම ප්‍රදේශවල එළවළු සහ පළතුරු අවශ්‍යතා, 071 317 6870 , 071 317 6928 , 071 317 6929 , 071 317 6795 යන දුරකථන අංක වෙත දන්වා ඔබ ප්‍රදේශ වෙත එවා ගෙන්වා ගැනීමට කටයුතු කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව දන්වන්නේ.

මේ අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (12) දිනයේ දී මැදවච්චිය, පූනෑව යන ප්‍රදේශවල සිටින ගොවීන් වෙත ගොස් එළවළු මිලදී ගැනීමට කටයතු කළ බව අප වාර්තාකරු පවසා සිටියා.

අප කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් පී.කේ.එන්.ආර්. රත්නසිංහ මහතා පවසා සිටියේ නුවරඑළිය, බණ්ඩාරවෙල සහ වැලිමඩ යන ප්‍රදේශවල සිටින ගොවීන්ගේ එළවළු මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් කැප්පෙටිපොල ආර්ථික මාධ්‍යස්ථානයේ නුදුරේදීම පිහිටුවීමට අපේක්ෂා කරන බවයි.

මේ සඳහා සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සහාය සහ සම්බන්ධීකරණය අපේක්ෂාකරන බවයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මාධ්‍ය අංශය පවසා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++

ගැබිණි මව්වරුන්ගේ ගැටළු දැනුම් දීමට දුරකථන අංකයක්

(13.04.2020 – 11:39 +0530 – hirunews.lk/sinhala)

රට තුළ මේ වන විට පවතින තත්ත්වය මත ගැබිණි මව්වරුන්ට මතුවන ගැටලු විසඳා ගැනීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ගැබිණි මව්වරුන්ට 071 030 1225 අංකය අමතා සිය ගැටළු ඉදිරිපත් කළ හැකි බව ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසන්නවා.

පැය 24 පුරා ක්‍රියාත්මක මෙම සේවය යටතේ විශේෂඥ වෛද්‍යවරුන්ට ගැටළු සඳහා පිළිතුරු ලබා දීමට මෙන්ම අවශ්‍ය යොමු කිරීම් සිදු කිරීම සඳහා මැදිහත් වනු ඇති බව එම සංගමය පවසනවා ෴

+++++++++++++++++++++++++++++++++++

අලුත් අවුරුද්දේ, අධ්‍යාපන ඇමතිගෙන් පාසල් දරු දැරියන්ට විශේෂ ඇරයුමක්

(13.04.2020 – 11:36 +0530 – hirunews.lk/sinhala)

සිංහල දෙමළ අලුත් අවුරුදු වැඩ ඇල්ලීමේ නැකත ඉලක්ක කර ගනිමින් අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා සියලුම පාසල් සිසුන්ගෙන් ඉල්ලීමක් කරන්නේ මෙවර අලුත් අවුරුදු වැඩ ඇල්ලීමේ නැකතේ දී පැන්සල හෝ පෑන අතට ගෙන පොතක් ලිවීමට පියවර ගන්නා ලෙසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සංවිධානයෙන් ක්‍රියාත්මක කෙරෙන “අකුරු කරන නිවාඩුවෙන් – රටක් වටින පොතක් ” යන වැඩසටහනට අදාලව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම ඉල්ලීම කර තිබෙනවා.

මෙවර අලුත් අවුරුදු වැඩ ඇල්ලීමේ නැකත යෙදී ඇත්තේ අද (13) අපරභාග 10:43 ටයි ෴

+++++++++++++++++++++++++++++++++++

පැය 24 ක් තුළ ඇඳිරි නීතිය කැඩූ තවත් 1,512 ක් අත්අඩංගුවට

(13.04.2020 – 11:23 +0530 – hirunews.lk/sinhala)

අද (13) පෙරවරු හයෙන් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,512 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාලසීමාව තුළදී රථවාහන 354 ක් පොලීසිය තම භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඒ අනුව ඇඳිරි නීතිය පැනවූ පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුල පුද්ගලයින් 25,031 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගනුලැබූ වාහන සංඛ්‍යාව 6,426 ක් ෴

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද (13) නිවෙස් වෙත

(13.04.2020 – 10:43 +0530 – hirunews.lk/sinhala)

දින 14 ක නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද (13) නිවෙස් වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව, 60 දෙනෙකු අද (13) පිටත්ව යන බවයි.

වයික්කාල නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි මීගමුව රෝහලේ සෞඛ්‍යය කාර්ය මණ්ඩලයේ 25 දෙනා ද, අද (13) නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි.

මේ අතර තවදුරටත් පුද්ගලයින් 1506 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවද යුද හමුදාපතිවරයා සදහන් කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ක්‍රියාත්මක කරන මධ්‍යස්ථාන 14 කදී සහ නාවික හමුදාව මගින් ක්‍රියාත්මක මධ්‍යස්ථාන 03 කදීයි ෴

+++++++++++++++++++++++++++++++++++

මහාචාර්ය මලික් පීරිස් ප්‍රධානියා වෙන්න හිටිය බයෝ තාක්ෂණ ආයතනය කෝ ?

(13.04.2020 – 10:34 +0530 – hirunews.lk/sinhala)

තමන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාව සිටියදී සියලු පහසුකම් සලසා දී ආරම්භ කිරීමට සූදානම් කර තිබූ ජීව තාක්ෂණ ආයතනය, ඉන්පසුව ආරම්භ කර තිබුණේ නම් කොරෝනා වෛරසය සම්බන්ධ පරීක්ෂණවලට එම තාක්ෂණය විශාල පිටිවහලක් වීමට ඉඩ තිබූ බව, මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ද හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මහාචාර්ය තිස්ස විතාරණ මහතා මේ බව කියා සිටියේ හිරු සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

මෙම බයෝ තාක්ෂණ ආයතනය ස්ථාපිත කළේ නම් එහි ප්‍රධානියා ලෙස පත් කිරීමට යෝජනා කර තිබුණේ දැනට හොංකොං විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙකු වන මලික් පීරිස් නමැති කීර්තිමත් ශ්‍රී ලාංකිකයා බවද තමන්ට දැනගන්නට ලැබුනේ යැයි තිස්ස විතාරණ මහතා සඳහන් කළා.

මලික් පිරිස් මහතා යනු මිට පෙර ලොව පුරා පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනා ගත් මහාචාර්යවරයා ලෙස පිළිගැනෙනවා.

හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා සමග පැවැත්වූ සාකච්ඡාව :

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරූ තවත් 07 ක් අත්අඩංගුවට

(13.04.2020 – 08:38 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරූ තවත් 07 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති සංඛ්‍යාව 16 ක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ පසුගිය 10 වනදා සිට ඊයේ (12) දිනය දක්වා කාලය තුළ බෙලිගල, කටුගස්තොට, වැලිමඩ, කඩවත, රාගම සහ නොච්චියාගම ප්‍රදේශවලදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

එවැනි අසත්‍ය ප්‍රචාර සිදුකරන සහ හුවමාරු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

මුහුණු ආවරණ අපනයනය සහ ප්‍රතිඅපනයනය වළක්වාලමින් පනවා තිබූ නියමයන් ඉවතට

(13.04.2020 – 08:20 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය සහිතව මුඛ ආවරණ අපනයනය සහ ප්‍රතිඅපනයනය කළ හැකි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පවසනවා.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇගවීම් හමුවේ මුඛ ආවරණ අපනයනය සහ ප්‍රතිඅපනයනය තහනම් කිරීමටයි රජය පසුගිය දා පියවර ගනු ලැබුවේ.

කෙසේ වෙතත්, අදාළ තහනම හමුවේ දේශීයව මුඛ ආවරණ නිපදවන සහ අපනයන හා ප්‍රතිඅපනයනය සිදුකරන කර්මාන්තකරුවන්ට මුහුණදීමට සිදුවූ ගැටළුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිසි ප්‍රමිතියක් සහිත මුඛ ආවරණ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව අපනයනයට සහ ප්‍රති අපනයනයට අවස්ථාව සලසා දී තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ජෝර්දානයේ ඇඟළුම් කම්හලක ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් අසරණ වෙයි

(13.04.2020 – 07:45 +0530 – hirunews.lk/sinhala)

ජෝර්දානයේ අල්දුලෙල් නගරයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවයේ නියුතු ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 200 කට වැඩි පිරිසක් අපහසුතාවට පත්ව සිටින බවට හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා.

ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ඔවුන් සේවය කළ ඇඟලුම් කර්මාන්තශාලාව වසා දමා ඇති අතර, ඔවුන්ට වැටුප් පවා ගෙවා නොමැති බවද සඳහන්.

+++++++++++++++++++++++++++++++++++

යුධ හමුදාවෙන් වවුනියාව රෝහලේ ලේ බැංකුවට ලේ

(13.04.2020 – 06:32 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව රෝහලේ රුධිර බැංකුවේ රුධිර අවශ්‍යතාව වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඊයේ (12) වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන යුධ හමුදා රෝහලේදී පැවැත්වුණා.

මේ සඳහා රුධිරය පරිත්‍යාග කිරීමට යුධ හමුදා නිලධාරීන් 60 දෙනෙකු එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි මහතාගේ මෙහෙයවීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

+++++++++++++++++++++++++++++++++++

පොලිස් සැරයන් සහ කොස්තාපාල්වරයෙකුගේ වැඩ තහනම්

(13.04.2020 – 14:49 +0530 – hirunews.lk/sinhala)

ඇදිරි නීතිය උල්ලංගණය කරමින් මාර්ගයේ ගමන් කළ පුද්ගලයන් සිව් දෙනෙකුට (04) වෙනස් ආකාරයේ දඬුමක් ලබාදුන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මරදාන – ඩාලි පාර ප්‍රදේශයේදී ඊයේ (12) දින මාර්ගයේ ගමන් ගත් පුද්ගලයන් සිව් දෙනෙකුට (04) අත් දෙක මාරු කර සිය දෙකන්වලින් අල්ලා අවස්ථා කිහිපයකදී නැගිට වාඩිවීමට නියෝග කිරීම සම්බන්ධයෙනුයි ඔවුන් වැඩ තහනමට ලක් කර ඇත්තේ.

කොළඹ නාගරික රථ වාහන කොට්ඨාශයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස වැඩ තහනමට ලක් කර තිබෙනවා.

ඔවුන්ට විරුද්ධව අණට අකීකරුවීම, අපකීර්තිදායක හැසිරීම යන චෝදනා යටතේ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

හිත්‍රෝ ගුවන්තොටුපලේ රැඳී සිටි ලාංකිකයින් දෙදෙනෙක් දිවයිනට

(13.04.2020 – 15:14 +0530 – sinhala.adaderana.lk)

මෙරටට පැමිණීමට නොහැකිව එංගලන්තයේ ලන්ඩන් නුවර හිත්‍රෝ ගුවන්තොටුපලේ රැඳී සිටි කාන්තාවක් ඇතුළු ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු දිවයිනට පැමිණ ඇත.

හිත්‍රෝ ගුවන්තොටුපලේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල් 504 දරණ ගුවන් යානයෙන් ඔවුන් දෙදෙනා අද (13) දහවල් මෙරටට පැමිණි බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා නිරෝධායනය සඳහා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරිමට පියවර ගත් බව ද ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

ඊයේ (12) දිනයේ ද සිංගප්පූරුව සහ ඩුබායි හි ගුවන්තොටුපලවල රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු මෙරටට පැමිණියේය.

විදෙස් රටවල ගුවන්තොටුපල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණි ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා බලපෑමට ලක්ව සිටින රක්ෂණ ඔප්පු හිමියන් සඳහා සහන දෙන්න තීරණයක්

(13.04.2020 – 15:04 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින රක්ෂණ ඔප්පු හිමියන් සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ මත මෙම සහන හිමි වන බවයි එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

රක්ෂණ සමාගම් සමඟ සාකච්ඡා කිරිමෙන් පසු සියලුම රක්ෂණ ඔප්පු හිමියන් වෙත අදාල සහන ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව රක්ෂණ වාරික ගෙවිම සඳහා මාස 03 ක සහන කාල සීමාක් ලබාදීමට කටයුතු කර ඇති බව සඳහන්.

එම සහන කාල සීමාව සාමාන්‍ය රක්ෂණ ඔප්පු හිමියන්ට මෙන්ම ජිවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ද අදාල වන බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේය.

සහන කාල සීමාව තුළ රක්ෂණ ඔප්පු ප්‍රාණවත්ව පවතින බැවින් රක්ෂණ ඔප්පුවේ ප්‍රතිලාභ වලට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයෙක් නිසා පන්ජාබ්හි සිටින මෙරට සිසුන් 104 ක් බරපතළ ගැටළුවක

(13.04.2020 – 12:30 +0530 – sinhala.adaderana.lk)

ඉන්දියාවේ පන්ජාබ්හි පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුවියන් පිරිසක් සිටින නේවාසිකාගාරයක සිටි ඉන්දියානු ශිෂ්‍යාවකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමත් සමඟ එම නේවාසිකාගාරයේ සිටින මෙරටට සිසුවියන් බරපතළ ගැටළුවකට මුහුණදී සිටින බව වාර්තා වෙයි.

එම නේවාසිකාගාරය තුළ මෙරට සිසුවියන් සිව් දෙනෙකු (04) රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ ශිෂ්‍යාවක් හමුවීමත් සමඟ එම නේවාසිකාගාරයේ සියලු ශිෂ්‍යාවන් නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන තිබේ.

නිරෝධායනය සඳහා ලක් කෙරුණ ද එම කටයුතු නිසි අධික්ෂණයක් යටතේ සිදු නොවන බැවින් නේවාසිකාගාරය තුළ රැඳී සිටිම ගැටළුවක් වී ඇති බව නේවාසිකාගාරය තුළ රැදී සිටින ධනංජලි සිරිවර්ධන ශිෂ්‍යාව ‘අද දෙරණ’ට සඳහන් කළේය.

මේ අතර පන්ජාබ් හි පිහිටි අදාල පෞද්ගලික විශ්වවිද්‍යාලය තුළ මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 104 දෙනෙකු අධ්‍යාපන ලබන අතර ඔවුන් සියලු දෙනා දිවයිනට පැමිණිමට නොහැකිව රැඳී සිටින බව වාර්තා වෙයි.

අදාල සිසුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් ‘අද දෙරණ’ විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකම් රවිනාත ආරියසිංහ මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ එම සිසුන්ගේ ගැටළුව සම්බන්ධයෙන් ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *