කැප්රුක එන්න – මල්පිපී දැයි බලන්න

(17.04.2020 – Lead Lanka News)

කැප්රුක නමින් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කළ ව්‍යාපාරික ආයතනය පසුගිය දා සිදුකළ තක්කඩි ක්‍රියාවට සුදු හුණු ගාන පිරිසක් දැන් දැන් ඉස්මතු වෙමින් තිබීම මේ ලිපිය ලිවීමට හේතුවයි. ඒ සමහරු මගේ මිතුරන්. සමහරු මුහුණු පොතේ මිතුරන්. සමහරු කැප්රුක සේවකයන්. සමහරු කැප්රුක හිමිකරුගෙ පඩුරු පාක්කුඩම්වලට ලියන කුලී හේවායන්. ඔවුන් ඡන්ද කාලෙටත් ෆේස්බුක් කැම්පේන් බාරගෙන ගනුදෙනුවක් කපා ගන්න බලා ඉන්න බඩජාරින්. කැප්රුක සේවකයන් තම ආයතනය වෙනුවෙන් පෙනී සිටින හේතුව අපට තේරුම් ගත හැකි වෙතත් ඕනෑම ජරා ගොඩක් මුදලට අයිසින් කිරීම බඩ රස්සාව කරගත් කුලී හේවායන් මේ වසුරු වෙළඳකුල ආධිපත්‍යට ඔක්සිජන් සපයමින් කරන්නේ කැප්රුක කළදේට නොදෙවෙනි සමාජ අපරාධයක්.

මුලින්ම කැප්රුකේ ඉලක්ක පාරිභෝගිකයන් වුයේ විවිධ රැකියා සඳහා මව්බිමෙන් බැහැරව වෙසෙන ශ්‍රී ලාංකිකයන්. ඒ ඔවුන්ගේ පවුලේ හෝ වෙනත් ආදරණිය කෙනෙකුගේ විශේෂිත දවසකට මල් කළඹක්, කේක් ගෙඩියක්, හෝ වෙනත් ත්‍යාගයක් පූර්ව දැනුම් දීමකින් තොරව නිවසට යවා විස්මයට පත්කරවන මානසික ෆැන්ටසියක් සංතෘප්ත කරදීම වෙනුවෙන්. පිටකොටුවෙන් හාර පන්සියකට ගතහැකි මල් කළඹක් කේක්ගෙඩියක් හෝ ත්‍යාගයක් වෙනුවෙන් හාර පන්දාහක් වැනි එහි වටිනාකමට වඩා අධික මුදලක් කපා ගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මේ Online Business එක සරුවට ගෙන ගියේය. එහෙත් එය කිසිවෙකු ප්‍රශ්නයක් කර නොගත්තේ මේ සේවාව ලබා ගත්තේ ලෝකය පුරා විසිරුණු තනි තනි පුද්ගලයන් වීමත්, ස්ව කැමැත්තෙන් තමුන්ට අවශ්‍ය නම් පමණක් සේවය ලබාගැනීමත්, ලංකාවේ රුපියල්වලින් ඉහළ මිලක් වුවත් විදෙස්ගත අයට එය ඩොලර් 30 ක් 40 ක් වීමත්, අනික තමන්ට විශේෂිත අවස්තාවක හැර දෛනිකව මේ සේවාව ලබා නොගැනීමත් වැනි හේතු කරනකොට ගෙනය. එනිසා කැප්රුක යනු තමන්නට කැමති වෙලාවට උදව්වක් ගත හැකි සේවාවක් මෙන්ම එය මුදලට සිමාකළ නොහැකි උදව්වක් ලෙසද ඔවුන් දුටුවහ. දෛනිකව ගනුදෙනු නොකරන ඔවුන් විශේෂ අවස්ථාවක තම ආදරණියන් වෙනුවෙන් තම උවමනාව ඉටුකරදීම ගැන කැප්රුක කෙරෙහි විශාල ප්‍රසාදයකින් ද පසුවු හ.

එවැනි සේවාවක් සපයපු කැප්රුක එළවලු, පලතුරු, කුළුබඩු, වියළි ආහාර ද්‍රව්‍ය බෙදාහරින්නට පටන් ගත්තේ කවදා ඉදන්දැයි අපි නොදනිමු. ඒ කල දුටු කල වල ඉහගැනීමේ අර්ථයෙන් මේ වසංගත තත්වයත් එක්ක ද නැත්නම් ඊට පෙර සිටම ද යන්න නොදනිමු. ඒ කොහොම වුණත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අධික මිලකට විකිණූ කප්රුකේ නරුම ක්‍රියාව සාධාරණය කිරීමට ඉදිරිපත් වන අයගේ එක් තර්කයක් වන්නේ ශැංග්‍රිල්ලා එකේ මාළුපාන් එකක් රු 600 බවත් කැමති අය පමණක් ඒ මිලට ගන්නවා මිස ඊට විරුද්ධ වෙන පිරිස් නැති බවයි.ශැංග්‍රිල්ලා, Kinsbery, වැනි වැනි ඉහළ ගණයේ හෝටල්වල ඇති අහාර පානවල මිල ගණන් අපට පෙන්වමින් පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝණය වුණා යැයි කවුරුවත් මැරෙන්න හැදුවේ නැතිබව පවසමින් කප්රුකේ කලුකඩ වෙළඳාම සාධාරණය කරන බව පෙනේ. ශැංග්‍රිල්ලා මිල ගණන්වලට මිනිස්සු විරුද්ධ නොවූබව කියන තර්කය ඉතාම නොමේරූ බොළඳ තර්කයක් වන්නේ එහි මාළුපාන් කෑමට සාමාන්‍ය මිනිසුන්ට උවමනාවක් නැති අතර ඔවුන්ට රු. 50 ටත් මාලුපාන් ගැනීමට කඩවල තිබීමයි. අනික ඉහත කි හෝටල්වල ආහාර පාන ඔවුන්ට ආවේනික ඔවුන්ගේම ප්‍රමතියකින් සකස් කරන ඒවා වන අතර ඔවුන් කරන්නේ සාමාන්‍ය කඩවල රු. 50 ට ඇති මාළුපාන් රු. 600 ට අලෙවි කිරීම නොවේ. කැප්රුක කලේ එවැන්නක් නොව සාමාන්‍ය වෙළඳපොලේ 100 ට සහ 220 තිබු සැමන් ටින් එකක්‌ රු. 500 ට අලෙවි කිරීමයි.

covID-19 වැනි ගෝලීය වසංගතයකින් ලොවපුරා මිනිස්සු බිලිගනිද්දී , ලංකාවද එහි බලපෑම අවම කරගන්න හිටිගමන් ඇදිරිනිතිය දැමුවිට, අත්‍යවශ්‍ය අහාර බෙදන යාන්ත්‍රණයක් රජය ද සකස්කොට නොතිබූ පසුබිමක ඉහළ මිලකට බඩු අලෙවි කළ හැක්කේ නරුම පාදඩයකුට පමණයි. එය සමාන වන්නේ සුනාමියට ගහගෙන ගිය කාන්තාවගේ බෙල්ලේ තිබුණු මාලය කඩාගත් නරුමයාගේ ක්‍රියාවටයි. මිනිස්සු අසරණ වෙච්ච වෙලාවක සාමාන්‍ය මිලට ගත් බඩු කැප්රුක කොතරම් අසාධාරණ ලෙස අලෙවි කලේද යන්නට උදාහරණ කිහිපයක් මෙසේය. අල කිලෝ එකක් රු. 530 කි. ලූණු කිලෝ එකක් රු. 500 කි. පාන්පිටි කිලෝව රු. 350 කි. සැමන් එකක් රු. 500 කි. සාලයෝ මාළු කිලෝවක් රු. 1800 කි. ඉස්සෝ කිලෝ එකක් රු. 5220 කි. ඊළගට දෙහි 400g , අමුමිරිස් 400g, මාළු මිරිස් 500g ක් සහ ගෝවා, කැරට්, බීට්, බෝංචි, වට්ටක්කා, කරවිල, වැටකොළු, කොහිල යන සියල්ලෙන් කිලෝ එකක් වනලෙස ඇති එළවලු මල්ලක් රු. 6440 කි. මිනිසුන්ගේ අතට සල්ලි ලැබෙන සියලු මාර්ග ඇණහිට තිබෙන වෙලාවක වෙළඳාම හා බැඳුණු කිසිම මානුෂීය කාරණාවක්, ආචාර ධර්මයක් නොසලකා මේ තමයි කැප්රුක අපේ රටේ මිනිස්සුන්ගේ අසරණකමත් වවාගෙන කන්න හදපු විදිහ. කැප්රුක කරපු මේ නරුම වැඩේට සුදුහුණු ගාන්නන් කියන කතාව වන්නේ පාරිභෝගිකයන් කැමතිනම් පමණක් ඒ මුදලට ගෙන්වාගත හැකිව තිබූ බවයි. මිනිසුන්ට ඕනෑම කඩයක් විවෘත්තව රට සුපුරුදු ලෙස තිබුනේ නම් ඒ මුදලට කැමති කෙනෙක්ට බඩු ගෙන්වා ගත්තාට අපටද රුදාවක් නැත. නමුත් මිනිස්සුන් ගෙවල්වලට හිරවෙලා, මේවගේ ඔන්ලයින් සේවා සපයන ආයතනවල පිහිට හැර අන් විකල්ප නැති තැන, ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට වැඩි මිලට විකිණීම අමනුස්ස වැඩක්. ඒ මොහොත කීයක් කිව්වත් මිනිස්සු ජිවත් වෙන්න බඩු ටිකක් එකතු කරගන්න හදපු මොහොතක්. ඒ බව දැන දැනම මිනිසුන්ගේ අසරණකමෙන් ගසාකන්න හදපු එක පහත් ක්‍රියාවක්. සිංහල ව්‍යාපාරයක් යැයි පම්පෝරි ගසමින් සිංහලයින්ම කබලෙන් ලිපට වැටුණු මොහොතකත් ‘පට් පට් ගා සම්තිං එකක්’ හොයාගන්න හදන මේ සූරසේනලා ගැන සෝමවීර සේනානායක වැනි විශිෂ්ට නිර්මාණකරුවන් ඉසිවර දැක්මෙන් දුටුවේ 80 දශකයේ මුලදී. එතුමන් මිට අවුරුදු 35 කට පමණ ඉහත ‘පළිගු මැණිකේ’ නම් ටෙලිනාට්‍යයේ සූරසේන නමින් චරිතයක් නිර්මාණය කරමින් පෙනුවේ මේ වසල වෙළඳ කුලයේ නැගීමයි. වෙනසකට ඇත්තේ අද ඒ සුරසේනලා ටයිකෝට් ඇදීම පමණයි.

කැප්රුක කරපු මේ තක්කඩි වැඩේට මතුවූ සමාජ විරෝධය සුක්ෂමව වෙන අතකට හරවන්න හදන්නේ ‘තක්කඩියාගේ අවසාන නවාතැන ජාතිය හා ආගම’ යන කියමන මනාවට සනාත කරමින් ‘ඌ අපේ එකෙක්’ ‘කැප්රුක සිංහල ව්‍යාපාරයක්’ බව කියමින්. එපමණක් නොව මේ ව්‍යාපාරය බිඳ වැට්ටවීමට උවමනාව ඇත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයින්ට බවත්, මෙය ඔවුන්ගේ දිගුකාලින කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවත්, කැප්රුක වටලනු ලැබුවේ පාරිභෝගික අධිකාරියේ මොහොමඩ් බවත් සමාජ කැන්වසය මත ඇදි චිත්‍රයයි. මාගේ සම්භාව්‍ය මිතුරෙකු ද මේ කතාව පුනරුච්ඡාරණය කොට කැප්රුකට හුණුගෑමේ උත්සහයක් ගෙන තිබෙනු දුටුවෙමු. ඔවුන් කියන්නේ ජාතියේ නාමයෙන් කැප්රුක හිමිකරු කරන ඕනෑම කලුකඩ වෙළදාමක් අප ඉවසා සිටිය යුතු බවද ? ඔහුට ජාතිය පිළිබඳ හැගීමක් ඇත්නම් මෙවැනි ව්‍යවසනයකට ගොදුරු වූ විට ඒ මිනිසුන්ගේ රීරිමාංශය උරාබොන වැඩ කරයිද ?

පාරිභෝගික සේවා අධිකාරියේ බලධාරියා කවර ජනවර්ගයක කෙනෙක් වුවද කැප්රුක ඩිලිවරි කරන භාණ්ඩවල අසාධාරණ මිලට එරෙහිව මහජන පැමිණිලි ලැබෙන්නේ නම් නීතිය ක්‍රියාත්මක කළ යුතු නැද්ද? ඇත්ත වශයෙන්ම දුලිත් රත්-හේ ලා කළේ රටේ ඇති මුස්ලිම් විරෝධයට මුවා වී තම තක්කඩි ක්‍රියාව වසන්කර ගැනීමට උත්සාහ දැරීමයි. මුස්ලිම් නමක් ගෑවුණ තැන ඉන් එහාට දෙයක් නොසොයා ඔහුව සෝදන්න හදන අපේ අයගේ දැනගැනීම පිණිස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ඩි.එම්.එස්. දිසානායක මහතා බවත්, එහි ඉහළ තනතුරු දරන බොහෝ අය සිංහලයන් බවත් කිව යුතුයි. ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂවරු හයදෙනාගෙන් එක් අයකු පමණක් මුස්ලිම් ජාතිකයකු බවත් මේ වැටලීම් කිසිවක් ඔහුගේ තනි අභිමතයට සිදු නොවෙන බවත් කිව යුතුයි. කැප්රුක වැටලීම සිදුකලේ සමාජ ජාල ඔස්සේ ඔවුන්ගේ මිල ගණන්වලට එල්ල වූ විරෝධය හා මහජන පැමිණිලි සැලකිල්ලට ගනිමිනුයි. ඔවුන්ට තිබුනේ මහජනතාවට සාධාරණය ඉටුකිරීම මිස මිස සිංහල ව්‍යාපාරයක් බිඳ දමන ජාතිවාදී අභිලාශයක් නොවේ. ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂවරු පස් දෙනෙක් අත්හැර එක් මුස්ලිම් ජාතිකයකු සිටීම පවා දුලිත් රත්-හේ ලා ජාතිවාදී ආවරණයක් කරගැනීම ඔවුන්ගේ තරම කියාපාන තවත් නිදසුනක් වෙයි. රටේ ඇතිවූ හසිසි අපදා තත්ත්වය උපයෝගී කරගෙන මෙවැනි මජර වැඩක් සිදු නොකළේ නම් මේ කිසිවක් සිදු නොවෙන බව දුලිත් රත්-හේ හා ඔහුට කවි ගී ගයන්නන් දත යුතුය. මේ ලිපිය ලියන අතරතුර පාරිභෝගික අධිකාරියේ එම නිලධාරීන්ම ඊයේ කඩුවෙල කොරතොට ප්‍රදේශයේ වෙළඳ සැලක්ද වැඩි මිලට සහ භාවිතයට නුසුදුසු කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම හේතුවෙන් වටලනු ලැබීය.(බලන්න 2020-04-15 Hiru News 6.55 PM ) කැප්රුකට පමණක් නොව පාරිභෝගික නිතිය රටේ වැරදි කරන සියලු කලුකඩ මුදලාලිලාට පොදු බව මින් පෙනේ. ඒ අතින් මේ මොහොතේ මහජනතාව වෙනුවෙන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සිදු කරන්නේ ඉතා විශිෂ්ට මෙහෙවරකි.

“ලංකාවේ ජැක් මා” ලෙස දුලිත් රත්-හේ ව උත්කර්ෂයට නංවමින් ඔහුට ප්‍රශස්ති ගී ගැයූ කොටසක් ද සිටිති. ඔහුගේ මාකටින් කැම්පේන් වෙනුවෙන් යොදවන ධනයෙන් ප්‍රතිලාභ ලබන ෆේස්බුක් පේජ් ක්‍රියාකරුවන්, යු ටියුබ් චැනල් අටවාගත් හුජ්ජ කොල්ලන් සහ ඔහුගේ ෆේස්බුක් මිතුරන් ඒ අතර වෙයි. සෘජු හා වක්‍ර ප්‍රතිලාභ නොලබන රැල්ලට ආවඩන්නෝ ද කැප්රුක වෙනුවෙන් ප්‍රශස්ති ගී ගයනු දක්නට ලැබෙයි. Jack Ma යනු චීනයට අලිබබා ව්‍යාපාරය හදුන්වා දුන් පුද්ගලයාය. ඔහු මේ වසංගත තත්ත්වය හමුවේ මිනිසුන්ගේ අසරණකමින් ගසා කන්නට උත්සාහ නොකර covID-19 උවදුර දුරලීමට චීන රජයට මිලියන ගණනින් මුල්‍ය ආධාර දුන්නේය. තම රටට පමණක් නොව ලංකාව ඇතුළු රටවල් පනස් ගණනකට මුඛ ආවරණ ඇතුළු භාණ්ඩ පරිත්‍යාග කළේය. අප්‍රේල් 16 දා ජැක්මා නැවතත් ලංකාවට covID-19 වෛරසය හදුනාගත හැකි උපකරණ 20,000 ක් පරිත්‍යාග කළේය. එහෙත් ලංකාවේ Jack Ma යයි පම්පෝරි ගසාගත් දුලිත්ලා කලේ රුපියල් 150 වන බී ලූණු කිලෝව රුපියල් 500 කටත් , රුපියල් 65 ක් වන පරිප්පු කිලෝව රුපියල් 180 කටත්, රුපියල් 92 ක් වන පාන්පිටි කිලෝව රුපියල් 350 කටත් රු 100 ට මිල නියම කර තිබු සැමන් ටින් එක 500 ටත් විකුණා මඩිය තරකර ගැනීමයි.

එම ක්‍රියාවෙන් පසු කැප්රුකට අත්වූ සමාජ අපකිර්තිය අකා මකා ගැනීමට ඔවුන් අංගොඩ IDH රෝහලේ සුළු සේවකයන් ඇතුළු කාර්ය මණ්ඩයලයට අවුරුද්ද වෙනුවෙන් කියා අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ලබා දුන්නේය. ඉන්පසු කුලී ලියන්නන් ලවා දැන් අපට බලකර සිටින්නේ “පසුගිය දවස් වල පතුරු ගහලා විවේචනය කරපු කැප්රුක ගැන ලිවා වගේ මේ හොද වැඩේත් මතක් කරලා ලියන්න.” යනුවෙනි. එය හරියට හොරට කසිප්පු පෙරළා අහු වුණාම අපකීර්තිය නැතිකර ගන්න දන්සලක් දුන්නා හා සමානය. මිනිසුන් හදුනා ගත හැක්කේ වැරදුණු පසු හොඳ හිත පෙන්වීමට අල්ලන මෙවැනි කුරුමානම්වලින් නොව මිනිස්සු මරණ බියෙන් ඇලලී කන්නට බොන්නට යමක් සොයනා විට ඔවුන්ට කොතරම් මානුෂික වූයේ ද යන කාරණය මතයි. එනිසා දුලිත්ලා සමාන වන්නේ චීනයේ Jack Ma ට නොව පට් පට් ගා සම්තිං හොයන වසල වෙළඳ කුලයක නැගීම දැක්වෙන පළිගු මැණිකේ ටෙලිනාට්‍යයේ සුරසේනටයි.

රත්තනදෙණියේ නන්ද-මේධා හිමි
2020-04-17.

***************************************

හිජාස් හිස්බුල්ලාගේ නීතිඥභාවය අත්හිටුවන ලෙස බොදු බල සේනා අගවිනිසුරුගෙන් ඉල්ලයි

(17.04.2020 – colombotoday.com)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ නීතිඥභාවය අහෝසි කරන මෙන් බොදු බල සේනා සංවිධානය අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේන් ඉල්ලා ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය :

ගරු අග විනිසුරු ජයන්ත ජයසූරිය මැතිතුමා,
සභාපති,
අධිකරණ සේවා කොමිෂන් සභාව,
කොළඹ.
(අධිකරණ සේවා කොමිෂන් සභාවේ ගරු ලේකම් තුමාගේ මාර්ගයෙන්)
2020/04/17

ගරු මැතිතුමනි,

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ථ ප්‍රහාරයන් සම්බන්ධ සැකකරුවෙකුගේ නීතීඥභාවය අත්හිටුවීම පිළිබද ඉල්ලීමකි.

නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා 2019 අප්‍රේල් මස 21වන පාස්කු ඉරුදින සිදු කරන ලද ත්‍රස්ථ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි අත්අඩංගුවට පත්ව ඇති බව මේ වන විට අප සියලු දෙනාම දැනුවත් කරුණකි.

මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව 2020 අප්‍රේල් මස 15වන දින කරුණු පැහැදිලි කරමින් සඳහන් කර සිටියේ එම නීතීඥවරයා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු සමග සබඳතා පැවැත් වූ බවටත්, බෝම්බකරුවන් සමග විවිධ සංවිධානවල නිළතල දරා ඇති බවත් එපමණක් නොව පාස්කු ඉරුදින සිය ගණනක් වන අහිංසක ජනතාව සමූල ඝාතනය කරනු ලැබූ ම්ලේච්ඡ ත්‍රස්ථ ප්‍රහාරයෙහි සැලසුම් ක්‍රියාවලියට පවා දායක වී ඇති බවටත් කරුණු අනාවරණය වී ඇති බවයි.

ගරු අග විනිසුරුතුමනි,

යමෙක් අධිකරණයක් මගින් වරදකරුවෙකු කරනු ලබන තෙක් එකී තැනැත්තාගේ නිර්දෝෂීභාවය පිළිබදව පූර්ව නිගමනයක් ඇති බව අප දනිමු. නමුත් මෙම නීතිඥවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවන්ගේ බරපතළ භාවය හමුවේ විමර්ෂණ නිලධාරීන් ඔහුගේ නිර්දෝශී භාවය තහවුරු කරන තෙක් හෝ අධිකරණයක් ඉදිරියෙහි ඔහුගේ නිරවද්‍යභාවය ඔප්පු කරන තෙක් හෝ මෙම නීතීඥවරයාට නීතීඥ වෘත්තියෙහි නියැලීමට ඉඩකඩ සැලැසීම භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි කරුණක් බව අප විශ්වාස කරමු.

විශේෂයෙන්ම ආගමික මුලධර්මයකින් ආරම්භ වූ ත්‍රස්ත කණ්ඩායමක් විසින් එල්ලකළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති තත්වයක් යටතේ මෙම පුද්ගලයාට අධිකරණ පද්ධතියට ඇතුළත් වීමට ඉඩකඩ සැලැසීම විනිශ්චයකාරවරුන් ඇතුළු අධිකරණ නිලධාරීන්ගේ මෙන්ම නීතීඥවරුන් හා සාමාන්‍ය ජනතාවගේ ද ජීවිත අනතුරෙහි හෙළිමක් බව අප තරයේ විශ්වාස කරමු.

විශේෂයෙන්ම ඉස්ලාම් අන්තවාදීන් විසින් ෂරියා නීති පද්ධති ක්‍රියාත්මක කිරීම සදහා ඇති බාධකයක් වශයෙන් සාමාන්‍ය නීතින් ක්‍රියාත්මක කරනු ලබන අධිකරණ පද්ධති සළකන බව ද ඔබතුමන්ගේ අවධානයට යොමු කරමු. මේ සම්බන්ධයෙන් එක් පූර්ව නිදර්ශනයක් වශයෙන් 2005 වසරේ ජමාත් උල් මුජහිදීන් සංවිධානය විසින් බංගලාදේශ ජනරජයේ අධිකරණ පද්ධතියට එල්ල කරන ලද මරාගෙන මැරෙන ත්‍රස්ථ ප්‍රහාර මාලාව පිළිබදව ද සිහිපත් කරමු.

තවද මෙවන් තැනැත්තෙකු හට ඔහුගේ නිර්දෝෂීභාවය තහවුරු වන තෙක් නීතීඥ වෘත්තියෙහි නියැලීමට ඉඩකඩ සැලසුනහොත් අධිකරණ පද්ධතිය කෙරෙහි පවත්නා ජනතා විශ්වාසය බිද වැටීමකට ලක්වනු ඇති බව ද ගරු මැතිතුමන්ට සිහිපත් කර සිටිමු.

ගරු අගවිනිසුරුතුමනි,

මෙකී කරුණු සියල්ලම සළකා බලා නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ නීතීඥභාවය විමර්ෂණ නිලධාරීන් ඔහුගේ නිර්දෝශී භාවය තහවුරු කරන තෙක් හෝ අධිකරණයක් ඉදිරියෙහි ඔහුගේ නිරවද්‍යභාවය ඔප්පු කරන තෙක් හෝ අත්හිටුවීමට පියවර ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි,

මෙයට විශ්වාසී,රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි,
මහ ලේකම් – බොදු බල සේනා

පිටපත් :
අතිගරු ජනාධිපතිතුමා,
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ගරු ලේකම් තුමා,
අධිකරණ අමාත්‍යවරයා.

***************************************

“අපේ ආණ්ඩුවෙන් දෙන මුදල් අපිට ඕන විදියට දෙන්න ඕන..බැරිනම් කියාපිය බැල්ලී” – පන්දහසේ දීමනාව ගසා කන්න ගිය මන්ත්‍රීවරු ග්‍රාම නිලධාරිනියට ඇමතූ හැටි

(17.04.2020 – 11:28 +0530 – truenews.lk)

අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස සමෘද්ධි පොරොත්තු ලේඛන සකස් කරමින් සිටි ග්‍රාම නිලධාරිනියකට ගෝනාපීනුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය තුළ දී තමන්ට අවශ්‍ය පරිදි එම ලේඛන සකස් කරන ලෙස බලපෑම් කර එසේ නොකිරීම හේතුවෙන් පරුෂ වචනයෙන් බැණ මරණ තර්ජනය කරන බව කියන අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් දෙදෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක් ලැබී තිබෙන බව තෙලිකඩ පොලිසිය සඳහන් කළා.

අංක 66 ඊ, තිලකඋදාගම ග්‍රාම නිලධාරිනි, කේ. ඩී. නිශාන්ති මහත්මිය ඉකුත් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය 14 වන දින දහවල් මෙම සිද්ධිය ඇතිව ඇතිව තිබෙන බවත් එදිනම සවස 6.30 ට පමණ පැමිණිල්ල ඉදිරිපත්කර තිබෙන බවත් දැන ගන්නට තිබෙනවා. පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනිමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළා.

ගෝනාපිනුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය තුළ දී රජයෙන් ගෙවනු ලබන රුපියල් 5000 දීමනාව සදහා පොරොත්තු ලේඛන සමෘද්ධි ලාභින්ට සුදුසුකම් අනුව සකස් කරමින් සිටිය දී අපේ ආණ්ඩුවෙන් දෙන මුදල් අපිට ඕන විදියට දෙන්න ඕන යනුවෙන් තර්ජනය කර උඹට බැරිනම් කියාපිය බැල්ලි යනුවෙන් හා තවත් පරුෂ වචන වලින් බැන තමන්ට පහර දීමට උත්සාහ කළේ යැයි එම ග්‍රාම නිලධාරනිය විසින් කරන ලද පැමිණිල්ලේ සදහන්.

මරණ තර්ජනය කිරීම් ඇතුළු බැන වැදීම් සියල්ලම හා සියලු සිද්ධින් සහකාර ප්‍රාදේශිය ලේකම් තුමියගේ හා තවත් නිලධාරින්ගේ ජංගම දුරකථන වල විඩියෝ ගත කල බවත් ඒවා ඉදිරිපත් කිරිමට තමන්ට හැකියාව ඇති බවත් අදාල ග්‍රාමනිලධාරීතුමිය විසින් තෙලිකඩ පොලීසියට කලන ලද පැමිණිල්ලේ සදහන් වන බවද තෙලිකඩ පොලිසියේ නිලධාරියෙක් සදහන් කර සිටියා.

ග්‍රාම නිලධාරිනියට පරුෂ වචනයෙන් බැන තර්ජනය කල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරිය ඇතුළු කණ්ඩායම, මන්ත්‍රීවරියට පහර දීමට කල උත්සාහයක්ද එහි නිලධාරින් විසින් වලක්වා තිබෙන බව සදහන් කර ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් වි සිටින අපේක්ෂකයකු මැදිහත් වී මේ සිද්ධිය සමාව ගෙන යටපත් කිරිමට උත්සාහ ගන්නා බවද දැන ගන්නට තිබෙනවා.

මේ සදහා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයා රජයේ නිලධාරීන් හා හිටපු මන්ත්‍රිවරයකුද මැදිහත් කරුවන් ලෙස යොදාගෙන තිබෙන බවද ගෝනාපිනුවල ප්‍රාදේශිය ලෙකම් කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කළා.

මේ සම්බන්ධව ගෝනාපිනුවල ප්‍රාදේශිය ලේකම් පියුමලී ලියනගේ මහත්මියගෙන් අප කල විමසීමකදී ඇය පැවසුවේ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වු තත්ත්වය සමථයකට පත් කිරිමට ගාල්ල අතිරේක දිසාපති තුමන් හා මොහාන් පී ද සිල්වා හිටපු මන්ත්‍රිතුමන් ඇතුල් කණ්ඩායමක් මැදිහත් වූ බවත්ය.

මේ වන විට සිද්ධිය සමථයකට පත් කරගෙන තිබෙන බවත් ග්‍රාම නිලධාරිනිය පොලිසියට කල පැමිණිල්ල සම්බන්ධයෙන් රාජකාරි ඉදිරියේදි සිදු කෙරෙන බවත් ප්‍රාදේශීය ලේකම්තුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *