මෙරට ආසාදිතයින් ගණන 824 ක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මෙරට ආසාදිතයින් ගණන 824 ක් (විඩියෝ)

• ඊයේ (07) වාර්තා වු ආසාදිතයින්ගෙන් 25 ක් නාවික හමුදා සාමාජිකයින් (විඩියෝ)

• PCR පරීක්ෂණ වාර්තාවල දෝෂවලට හේතුව පිළිබඳ පැහැදිලි කිරීමක්

• මෙරට වැඩිම ආසාදිතයන් පිරිසක් වර්තාවන්නේ නාවික හමුදාවෙන්

• ඉදිරියේ දී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල ගැන විශේෂ ගැසට් පත්‍රයක් (විඩියෝ)

• 11 වනදා සිට ජනජීවිතය යථා තත්වයට පත්කරගැනීමේ මාර්ගෝපදේශ සංග්‍රහය (විඩියෝ)

• දුරබැහැර සිට මහරගම අපේක්ෂා රෝහලට එන රෝගීන්ට ප්‍රවාහන පහසුකම්

• ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් ලාභීන්ට 5000 දීමනාව ගෙවීම තැපැල් කාර්යාල 4200 කදී

• COVID – 19 අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 900 දක්වා ඉහළට

• රාජ්‍ය සේවකයින්ගේ වැටුප ලබාදිය යුත්තේ කැමැත්තෙන් පමණයි – ඇමති බන්දුල ගුණවර්ධන

• වීසා වලංගු කාලය ඉක්මවු විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගන්න රජයේ අවධානය

• කොරෝනා මර්දනයට සහය නොදුන්නැයි, කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාට මාරුවක්

• ස්ථාන මාරුව දේශපාලන පළිගැනීමක් – කුරුණෑගල ශික්ෂණ රෝහලේ හිටපු අධ්‍යක්ෂ

• මෙරට ගුවන් යානා අලුත්වැඩියාවට ඉංජිනේරුවන් ගෙනා යානයෙන් යුක්රේන ජාතිකයන් 116 ක් රැගෙන යයි

+++++++++++++++++++++++++++++++++++

මෙරට ආසාදිතයින් ගණන 824 ක්

(08.05.2020 – 06:31 +0530 – sinhala.adaderana.lk)

තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 824 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

ඊයේ (07) දිනය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 27 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඊයේ (07) පස්වරුවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනෙකු හදුනාගැනුණු අතර රාත්‍රී තවත් පුද්ගලයින් 20 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

ඊයේ (07) පස්වරුවේ හදුනාගත් රෝගීන් 07 දෙනාගෙන් 06 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා නාවික හමුදා සාමාජිකයෙකු ලඟින් ඇසුරු කළ පුද්ගලයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.

මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 232 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර පුද්ගලයින් 583 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

කොවිඩ් නයින්ටීන් වෛරසය වැළදීමෙන් මේ වන විට පුද්ගල මරණ 09 ක් වාර්තා වී තිබේ.

+++++++++++++++++++++

ඊයේ (07) වාර්තා වු ආසාදිතයින්ගෙන් 25 ක් නාවික හමුදා සාමාජිකයින්

(08.05.2020 – 08:48 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (07) දිනයේ හදුනාගත් රෝගීන් 27 දෙනා අතර නාවික හමුදා සාමාජිකයින් 25 දෙනෙකු සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ නාවික හමුදා සාමාජිකයෙකුගේ අවුරුදු එක හමාරක් වයසැති කුඩා දරුවෙකු සහ ඩුබායි හි සිට පැමිණි පුද්ගලයෙකු ද ඊයේ (07) දිනයේ වෛරසය ආසාදනය වූ රෝගීන් අතර වන බවයි.

ඊයේ (07) දිනය තුළ පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 1553 ක් සිදුකර ඇති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 824 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් 232 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

PCR පරීක්ෂණ වාර්තාවල දෝෂවලට හේතුව පිළිබඳ පැහැදිලි කිරීමක්

(08.05.2020 – 06:56 +0530 – sinhala.adaderana.lk)

මෙතෙක් සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවලින් 13 ක් දෝෂ සහිත බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනය පවසයි.

එම ආයතනයේ සභාපති රවී කුමුදේෂ් මහතා සදහන් කළේ එම වැරදි වාර්තා නිකුත් වීම පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති බවයි.

කොරෝනා ආසාදිතයින් බවට පසුගියදා තහවුරු කෙරුණු පුද්ගලයින් කිහිපදෙනෙකුට පසුව සිදුකළ පරීක්ෂණවලින් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු විය.

අදාල තත්ත්වය පිළිබදව පැහැදිලි කරමින් වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේෂ් මහතා සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ ඇති කිසිදු වෛද්‍ය රසායානගාරයක් මගින් මෙවැනි වාර්තා නිකුත් වී නොමැති බවයි.

පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවලින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් බවට හදුනාගැනුණු පුද්ගලයින් ආසාදිතයින් නොවන බවට යලි තහවුරු වීම පිළිබදව අද දෙරණ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගෙන් විමසීමක් කළේය.

ඔහු සදහන් කළේ මෙම වෛරසයේ ක්‍රියාකාරීත්වය මත පදනම්ව අදාල පරීක්ෂණ වාර්තාවල වෙනස්කම් සිදුව ඇති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

මෙරට වැඩිම ආසාදිතයන් පිරිසක් වර්තාවන්නේ නාවික හමුදාවෙන්

(07.05.2020 – 21:49 +0530 – sinhala.adaderana.lk)

රෝග විනිශ්චය සිදුකරන අවස්ථාවට දින 07 කට පෙර රෝගියා පදිංචිව සිටි ස්ථානය පිහිටි දිස්ත්‍රික්කය හෝ නිරෝධායන මධ්‍යස්ථානය සැලකිල්ලට ගනිමින් වසංගත රෝග විද්‍යා අංශය නිකුත්කරන දෛනික වාර්තාවට අනුව මෙරට වැඩිම ආසාදිතයන් පිරිසක් වර්තාවන්නේ නාවික හමුදාවෙන්.

එම ආසාදිතයින් සංඛ්‍යාව 367 ක්.

කොළඔ දිස්ත්‍රික්කයෙන් අද (07) වන විට වාර්තා වී තිබෙන ආසාදිතයන් ගණන 150 ක්.

කොළඹ 15 මෝදර පිහිටි මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ කොවිඩ් 19 ආසාදිතයන් මියගිය කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් 60 දෙනෙකු පමණ ඊයේ පී.සී.ආර් පරික්ෂණයට ලක් කළද ඔවුන් කිසිවකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වි තිබේ.

කොළඹ 15 මෝදර පිහිටි මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයෙන් පදිංචිව සිටි මියගිය කාන්තාව මසකට ආසන්න කාලයක් ශ්වසන රෝගයකින් පීඩා විඳ ඇති අතර ඇය ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකින් ප්‍රතිකාරද ලබාගෙන තිබුණි.

කෙසේවෙතත් එම කාන්තාව කොවිඩ් 19 වෛරසය ආසාදිතව මියගිය බවට තහවුරු කරගැනිම හෙතුවෙන් ඇගේ ඥාතින් එදිනම පී.සි.ආර් පරික්ෂණයට ලක් කළේය.

එහිදි ඔවුන් කිසිවකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වි තිබේ.

එමෙන්ම කොවිඩ් 19 ආසාදිතයන් මියගිය කාන්තාගේ ආශ්‍රිතයන් මෝදර පිහිටි මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේදි ඊයේ පී.සී.ආර් පරික්ෂණයට ලක් කළ අතර ඔවුන් කිසිවකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව එහිදි තහවුරු වී තිබේ.

අද (07) වන විට ශ්‍රී ලංකාවෙන් හඳුනාගැනුණු කොවිඩ් ආසාදිතයන් ගණන 800 ඉක්මවා ඇත.

ඒ අතර ආසාදිතයන් 17 දෙනකු අද පූර්ණ සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබූ ගණන 232 ක් බවට පත්ව තිබේ.

ජා-ඇල සුදුවැල්ල ප්‍රෙද්ශයේ ආසාදිතයන් හඳුනාගැනීමේ නිරත වූ නාවික හමුදා භටයන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය විමෙන් පසුව පළමු නාවික හමුදා ආසාදිත සෙබළා හඳුනාගැනුණු ඉකුත් අප්‍රේල් 22 වැනිදා සිට අද දහවල් 12:30 දක්වා කාලය තුළ අලුතින් හදුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් ගණන 489 ක්.

ඊට ඇතුළත් නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ගණන 400 ක් වේ.

එනම් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට වැළඳීමෙන් පැතිර ගිය නියැදිය හැරුණු කොට ගෙවුණු දින 15 ක කාලය තුළ බාහිර නිරෝධායන කඳවුරු හා ක්ෂේත්‍ර පරීක්ෂණයන්ගෙන් හමු වී ඇත්තේ කොවිඩ් ආසාදිතයන් 89 දෙනකු පමණයි.

කොවිඩ් 19 ආසාදිතයන් 29 දෙනකු ඊයේ (06) දිනයේ හඳුනාගත් අතර ඒ අතරින් 24 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් ෴

+++++++++++++++++++++++++++++++++++

ඉදිරියේ දී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල ගැන විශේෂ ගැසට් පත්‍රයක්

(08.05.2020 – 09:44 +0530 – sinhala.adaderana.lk)

ලබන 11 වන දින සිට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ ගැසට් පත්‍රයක් රජය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව විශේෂ සාකච්ඡා කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත බවයි.

පෞද්ගලික අංශයේ ආයතන පෙරවරු 10:00 ට විවෘත කළ යුතු අතර සේවයට කැඳවන සේවක සංඛ්‍යාව ආදිය තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරී තිබේ.

අදාළ කටයුතු නිසි නීතිමය රාමුවක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි නියෝජ්යය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

මේ අතර ලබන 11 වනදා සිට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මේ වන විටත් සූදානමින් සිටින බව එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.

ඔහු පැවසුවේ සෞඛ්‍ය අංශ උපදෙස්වලට අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

එටමන්ම ලබන 11 වන දින සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ සියයට 20 ක පමණ කාර්ය මණ්ඩලයක් සේවයට කැඳවා අදාල කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර 11 වනදා ඇඳිරි නීතිය ඉවත්කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, බස්නාහිර පළාත විවෘත නොකර රටේ ආර්ථිකයට යහපත් ප්‍රතිචාරයක් දැක්විය නොහැකි බවයි.

නමුත් අද දිනය තුළ තවත් ආසාදිතයින් පොකුරු වශයෙන් නිර්මාණය වුවහොත් ඒ ගැන වැඩි ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතු බවද ඒ මහතා පැවසීය.

දැනට පවතින වාතාවරණය අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් බස්නාහිර පළාතේ වැඩ කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කිරීමට සිදුවන බවද පැවසු අජිත් රෝහණ මහතා, සෙසු පළාත් සාමාන්‍ය පරිදි දහවල් කාලයේ දී විවෘතව පවතින බවද කියා සිටියේය.

+++++++++++++++++++++

11 වනදා සිට ජනජීවිතය යථා තත්වයට පත්කරගැනීමේ මාර්ගෝපදේශ සංග්‍රහය

(08.05.2020 – 12:35 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 11 වනදා සිට ජන ජීවිතය යථා තත්වයට පත්කිරීම සිදුවන ආකාරය පැහැදිලි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මාර්ගොපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා.

එහි කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය විය හැකි ක්‍රම සඳහන් වන අතර නිෂ්පාදන කර්මාන්ත, රාජ්‍ය සහ පෞද්ගලික කාර්යාල, ආගන්තුක සත්කාරක කර්මාන්ත, ආපන ශාලා සහ අවන්හල්, සුපිර් වෙළඳසැල්, පොදු ප්‍රවාහනය, සත්කාරක සිදුවීම්, ආර්ථික මධ්‍යස්ථාන සහ විශ්වවිද්‍යාල මෙන්ම තාවකාලිකව තහනම් කරන ලද මහජන ක්‍රියාකාරකම් පිළිබඳව ද සඳහන් වනවා.

සනීපාරක්ෂක ද්‍රාවනයන් පිළියෙළ කරගන්නා ආකාරය මෙන්ම දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ ලැයිස්තුව ද එහි දැක්වෙනවා.

ඊට අනුගත වෙමින් රට යථා තත්වයට පත්කරගන්නා ක්‍රියාවලියේදී කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මාර්ගොපදේශ සංග්‍රහය (pdf file)

+++++++++++++++++++++++++++++++++++

දුරබැහැර සිට මහරගම අපේක්ෂා රෝහලට එන රෝගීන්ට ප්‍රවාහන පහසුකම්

(08.05.2020 – 09:11 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල සිට මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගී ජනතාවට දැනට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් ප්‍රවාහණ පහසුකම් සලසා ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන බව රෝගීන් විශාල පිරිසක් ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට පැමිණිළි කර තිබේ.

එම රෝගී ජනතාවට මහරගම අපේක්ෂා රෝහලට සායන සඳහා පැමිණීමටත්, ආපසු ඔවුන් නිවෙස්වලට යාමටත් අවශ්‍ය ප්‍රවාහණ පහසුකම් සැලසීමට කඩිනමින් විදිමත් වැඩ පිළිවෙළක් සකසන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

දැනට මාස දෙකක පමණ කාලයක සිට එම පිරිස සායන සඳහා පැමිණීමේ අපහසුතාවයෙන් පෙළෙමින් සිටින බව වාර්තා වේ.

ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි අයවලුන් වන අතර ඉතාමත් දුරැබැහැර ප්‍රදේශවල සිට දිනපතා සායන සඳහා මහරගම රෝහලට සැලකිය යුතු පිරිසක් සායන සඳහා පැමිණෙති.

ප්‍රවාහණ පහසුකම් නොමැතිවීම හේතුවෙන් එකී පිරිස මහත් අසීරුතාවයට පත්ව සිටින අතර සායන සඳහා පැමිණීමෙන් අනතුරුව ලබා ගත යුතු ඖෂධ ලබා ගැනීමට ද ඔවුන්ට නොහැකි වී තිබේ.

එමනිසා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ දිවයිනේ සෑම පළාතකම සිට මේ සඳහා යෙදවීමට අවධානය යොමු කරන ලෙසත්, රෝගීන්ට අපහසුතාවයක් නොවන ආකාරයටත්, ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහණ කටයුතු සඳහා බලපෑමක් නොවන ආකාරයටත් වැඩ පිළිවෙළක් සැකසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

11 වන දින ඇදිරි නීතිය ඉවත් කළද, ප්‍රවාහණ සේවා රාජ්‍ය හා පුද්ගලික අංශයේ අත්‍යවහ්‍ය සේවා සඳහා පමණක් ක්‍රියාත්මක කරන හෙයින් මෙම රෝගීන්ට ඉන් පසුවත් මෙම අපහසුතාවය මුහුණ දීමට සිදුවේ.

මෙම අසීරු අවස්ථාවේ දී ලාබපාඩු සළකමින් කටයුතු කිරීම රජයේ වැඩ පිළිවෙළ නොවන බව කී අමාත්‍යවරයා කොවිඩ් 19 නිසා අසරණභාවයට පත්ව සිටින රටේ ජනතාවට උපරිම සේවාවන් සැලසීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ තීරණය බව ද කීය ෴

+++++++++++++++++++++++++++++++++++

ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් ලාභීන්ට 5000 දීමනාව ගෙවීම තැපැල් කාර්යාල 4200 කදී

(08.05.2020 – 14:41 +0530 – hirunews.lk/sinhala)

සියලුම ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප්ලාභීන් සඳහා මැයි මාසයට අදාළ රුපියල් පන්දහසේ (5000) දීමනාව ලබාදීම තැපැල් කාර්යාල 4200 කදී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ලබන සඳුදා (11) සිට සිකුරාදා (15) දක්වා ඒවා ලබාගැනීමට හැකියාව පවතින බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප්ලාභීන් එක්ලක්ෂ හැට දෙදහසකට (1,62,000) සහ ධීවර විශ්‍රාම වැටුප්ලාභීන් හාරදහස් නවසිය හත් දෙනෙකුට (4907) රුපියල් මිලියන 831 ක පමණ මුදලක් මැයි මාසය සඳහා බෙදා දීමට සැලසුම් කර තිබෙනවා.

ඔවුන්ට රුපියල් පන්දහසේ දීමනාව ගෙවීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට තැපැල්පතිවරයාගේ විශේෂ අනුග්‍රහය යටතේ තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු සුදානම් කර ඇතැයි ද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කළා.

කිසියම් හෝ හදිසි තත්වයක් මත තම බල ප්‍රදේශයන්ට අදාළ දිනවලදී ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවහොත් තම විශ්‍රාම වැටුප් ගිණුම් පොත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකියි.

කිසියම් හෝ ප්‍රවාහන අපහසුතාවක් එම විශ්‍රාම වැටුප්ලාභීන්ට පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල මගින් ආරක්ෂක අංශ සමග එක්ව සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන බවයි සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා කියාසිටියේ.

+++++++++++++++++++++++++++++++++++

COVID – 19 අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 900 දක්වා ඉහළට

(08.05.2020 – 13:19 +0530 – sinhala.adaderana.lk)

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 900 දක්වා ඉහළ ගොස් තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන්ගේ සංගමය රුපියල් මිලියන 2.8 ක පරිත්‍යාගයක් COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගියදා පිළිගන්වා තිබේ.

සබරගමුව පළාත් සභා අරමුදල රුපියල් මිලියනයක්, රත්නපුරයේ ජානක රණවක මහතා රුපියල් ලක්ෂයක් සහ රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රුපියල් එක් ලක්ෂ පනස් පන්දහසක් ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබූ අතර ඊට අදාළ චෙක්පත් පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ජනාධිපතිවරයා වෙත පිළිගැන්වු බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික නිලධාරීන්ගේ සංගමය රුපියල් ලක්ෂ 05 ක් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් බෞද්ධ සංගමය රුපියල් ලක්ෂ 03 ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

ඒ අනුව ලංකා සීනි පෞද්ගලික සමාගම ඝෘජුව තැන්පත් කළ රුපියල් මිලියන 3.5 ක් සමඟ COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 900 ඉක්මවා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ.

නීත්‍යානුකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්රේ ෂණ මඟින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 235 4479 / 011 235 4354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගත හැකියි ෴

+++++++++++++++++++++++++++++++++++

රාජ්‍ය සේවකයින්ගේ වැටුප ලබාදිය යුත්තේ කැමැත්තෙන් පමණයි – ඇමති බන්දුල ගුණවර්ධන

(08.05.2020 – 13:27 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුපෙන් කොටසක් වැන්දඹු හා අනත්දරු අරමුදලට බැර කරන ලෙසට ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා රාජ්‍ය සේවකයින්ගෙන් කළ ඉල්ලීමට ඇතැම් පාර්ශව එල්ල කරන චෝදනා පදනම් විරහිත බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රට මුහුණ දී ඇති තත්ත්වය හමුවේ ජනාධිපති ලේකම්වරයා වශයෙන් ඔහුට රාජ්‍ය නිලධාරීන්ගෙන් එලෙස ඉල්ලීමක් සිදුකිරීමට හැකියාව පවතින බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

වීසා වලංගු කාලය ඉක්මවු විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගන්න රජයේ අවධානය

(08.05.2020 – 12:44 +0530 – sinhala.adaderana.lk)

වීසා වලංගු කාලය ඉක්මවා ඇති විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි.

ඊට අදාල වැඩපිළිවෙල මේ වන විට සකස් කරමින් පවතින බව විදේශ ලේකම්වරයා පවසයි.

ඇතැම් විදේශීය රටවල සිටින සංක්‍රමණික ශ්‍රමිකයින් දැඩි අර්බුදයකට ලක්ව ඇති බව පෙන්වා දෙන රවිනාථ ආරියසිංහ මහතා, මාලේ දූපතෙහි සිටින 1200 ත් 1500 ත් අතර පිරිසක් ඇතුළුව ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සිටින මාලදිවයින වඩාත්ම අවදානම් සහගත ස්ථානයක් ලෙස හඳුන්වා දී තිබේ.

මැදපෙරදිග සෙසු රටවලට පොදුවේ බලපාන කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳ අවදානමට අමතරව කුවෙට් රජය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාව අහිමි වුවහොත් ඔවුනට එරටින් පිටතට පැමිණීමට මෙන්ම යම් දිනෙක නීත්‍යානුකූලව නැවත එහි යාමටත් අපහසු වනු ඇති බව විදේශ ලේකම්වරයා පෙන්වා දෙයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් එරට විදේශ අමාත්‍යවරයා සමඟ පොදු සමාව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් සිදුකළ හැකි ක්‍රියාවලියක් පිළිබදව සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි.

එමෙන්ම කොවිඩ් නයින්ටීන් වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බංග්ලාදේශයේ සේවය කරන දහසකට වැඩි ශ්‍රී ලාංකිකයින් පිළිබඳ ගැටළුව සහ මැදපෙරදිග හා වෙනත් රටවලින් අවදානමට ලක්විය හැකි සංක්‍රමණික ශ්‍රමික කාණ්ඩයක් නැවත මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි ද අවධානය යොමුව ඇති බව සඳහන්.

මීට අමතරව කෙටිකාලීන සංචාරවල යෙදී අතරමඟ සිරවී සිටින පුද්ගලයින් 3000 දෙනෙකු පමණ නැවත මෙරටට රැගෙන එන කණ්ඩායම්වලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.

කෙසේවෙතත් විදේශ ලේකම්වරයා විසින් විදෙස්ගත ශ්‍රමිකයින්ට පෙන්වා දෙන්නේ තමාට අදාල වන තත්ත්වයන් පිළිබඳව විෂය මූලික තක්සේරුවක් සිදුකරන ලෙසයි.

ඒ අනුව විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන සහ එම කාලසීමාව අවසන් නොවූ රටක සිටින ශිෂ්‍යයින් නැවත මෙරටට ඒමට උත්සාහ කලහොත් තම අධ්‍යාපන අවස්ථාව අහිමි වීම සිදුවිය හැකි බව රවිනාථ ආරියසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මැදපෙරදිග හෝ ඕනෑම රටක සේවයේ නියුතු අයෙකු නම් මේ වන විට එම රටවල් කාර්ය මණ්ඩල සාමාජිකයින් අඩු කරමින් සිටින අවස්ථාවක ඔවුන්ට රැකියා අහිමි වීමක් සිදුවිය හැකි බව විදේශ ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම අවස්ථාවේ දී විදේශයන්හී සිටින ශ්‍රමිකයින් ආපසු මෙරටට රැගෙන ඒම පිළිබඳව සලකා බලන්නේ ඔවුන් නැවත දිවයිනට පැමිණීමේ සැබෑ අවශ්‍යතාවය හි නිරෝධායනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව බව විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කළේය.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේ දී රටට අහිතකර බලපෑමක් සිදුනොවිය යුතු අතර ඔවුන් රට තුළට පැමිණෙන අතරතුර දී අනවශ්‍ය ලෙස අහිතකර බලපෑමකට නිරාවරණය නොවිය යුතු බව විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා මර්දනයට සහය නොදුන්නැයි, කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාට මාරුවක්

(08.05.2020 – 13:19 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයට මාරු කර තිබෙනවා.

කොවිඩ්-19 වසංගත රෝග මර්දන ක්‍රියාවලිය විධිමත් ලෙස පවත්වාගෙන යාමට බාධාකාරී ලෙස කටයුතු කිරීම ඊට හේතුව බවයි එම අමාත්‍යාංශයේ ලේකම්වරියගේ අත්සනින් යුක්තව රෝහල් අධ්‍යක්ෂවරයා වෙත යොමු කර ඇති ලිපියක දැක්වෙන්නේ.

කෙසේ වෙතත්, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ මෙය දේශපාලන පළි ගැනීමක් මත සිදුකරන ලද්දක් බවයි.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාරොත්තු වන බව ද ඔහු සඳහන් කළා ෴

+++++++++++++++++++++

ස්ථාන මාරුව දේශපාලන පළිගැනීමක් – කුරුණෑගල ශික්ෂණ රෝහලේ හිටපු අධ්‍යක්ෂ

(09.05.2020 – 08:10 +0530 – sinhala.adaderana.lk)

තමාව ස්ථාන මාරු කිරීම දේශපාලන පලිගැනීමක් බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශයක් මත කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා තාවකාලිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.

කෙසේවෙතත් සරත් වීරබණ්ඩාර මහතා පවසන්නේ අදාළ ස්ථාන මාරුවීම දේශපාලන උවමානවක් මත සිදුකළ කටයුත්තක් බවයි.

මැතිවරණයක් කැදවා ඇති අවස්ථාවක රාජ්‍ය සේවකයෙකු මෙලෙස ස්ථාන මාරුකිරීම නීති විරෝධී ක්‍රියාවක් බව ද ඔහු සදහන් කළේය.

තම ස්ථාන මාරුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැදවමින් වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා මේ බව පැවසීය.

කෙසේවෙතත් කුරුණෑගල රෝහල සුරැකීමේ සංවිධානය සදහන් කළේ රෝහල් අධ්‍යක්ෂවරයාට ලබාදුන් ස්ථාන මාරුව ක්‍රියාත්මක නොවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

මෙරට ගුවන් යානා අලුත්වැඩියාවට ඉංජිනේරුවන් ගෙනා යානයෙන් යුක්රේන ජාතිකයන් 116 ක් රැගෙන යයි

(08.05.2020 – 13:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටනොව් වර්ගයේ ගුවන් යානා අලුත්වැඩියා කිරීම සඳහා යුක්රේන ජාතික ඉංජිනේරුවන් 6 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද (08) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

එම ඉංජිනේරුවන්ට යුක්රේනය මගින් නිරෝධායන සහතික ලබාදී තිබූ නමුදු නැවතත් ශ්‍රී ලංකාව තුළ නිරෝධායනය සඳහා මීගමුවේ සංචාරක හෝටලයක් වෙත යොමු කර තිබෙනවා.

එම නිරෝධායනය අවසන් වූ පසු යුක්රේන ඉංජිනේරුවන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ජීවන කාලය අවසන් වූ ඇන්ටනොව් ඒ.එන්. 32 වර්ගයේ ගුවන් යානා 3 පරීක්ෂා කොට සම්පූර්ණ අලුත්වැඩියාවන් සඳහා යුක්රේනය වෙත රැගෙන යාමට නියමිතයි.

යුක්රේන ඉංජිනේරුවන් රැගෙන ආ ගුවන් යානය අද අලුයම නැවතත් කියෙව් නුවර බලා නික්මුණේ කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් සිය රට බලා යාමට නොහැකිව දිවයිනේ රැඳී සිටි යුක්රේන ජාතිකයන් 116 දෙනෙකු ද රැගෙනයි.

එමෙන්ම, යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලැබූ නිරෝධායන කඳවුරුවල සිටි 237 දෙනෙකු ඊයේ (07) දිනයේ සිය නිරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව නිවෙස් බලා ගොස් තිබෙනවා.

අද (08) දිනයේ ද තවත් 168 දෙනෙකු නිරෝධායන කටයුතු සහ පී.සී.ආර්. පරීක්ෂණ අවසන් වීමෙන් පසු නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිතයි.

ඒ අතරට මරදාන, සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 19 දෙනෙකු ද සිටිනවා.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 5442 සාර්ථක ලෙස නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් අවසන්.

නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 5217 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ.

මේ අතර, කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද (08) අලුයම මෙල්බර්න් නුවර බලා පිටත්ව ගියා.

එම යානයෙන් එරට රැඳී සිටින සිසුන් පිරිසක් දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.

මීට පෙර එංගලන්තයේ සහ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් දිවයිනට රැගෙන ඒමට පියවර ගනු ලැබුවා.

මීට පෙර ද පාකිස්තානය, බංග්ලාදේශය සහ ඉන්දියාව යන රටවල උසස් අධ්‍යාපනය සඳහා පිටත්ව ගොස් යළි පැමිණීමට නොහැකිව රැඳී සිටි සිසුන් දිවයිනට ගෙන්වා ගැනීමට රජය පියවර ගනු ලැබුවා.

පසුගිය පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයින් 859 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර, ඒ අනුව සිදුකළ පරීක්ෂා කිරීම්වලදියි මෙම පිරිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ.

එහිදී පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 206 ක්. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලසීමාව තුළ මේ දක්වා පුද්ගලයින් 49,000 කට ආසන්න පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, වාහන 12,654 ක් සිය භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *