මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 935 ක් දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 935 ක් දක්වා ඉහළට

• කොවිඩ් අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් බිලියනය ඉක්මවයි (විඩියෝ)

• රාජ්‍ය නොවන සංවිධානයක කුමන්ත්‍රණයක් ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක් (විඩියෝ)

• චීනයෙන් තවත් වෛද්‍ය ආධාර තොගයක් දිවයිනට

• නැවත දැනුම් දෙන තුරු මුහුදු යන්න එපා (විඩියෝ)

• විදුලිය බිඳ වැටුණු ප්‍රදේශවලට පැය 24 ක් තුළ නැවත විදුලිය ලබාදෙන්නැයි ඇමති අමරවීරගෙන් උපදෙස්

• දියේ ගසාගෙන යාමෙන් සහ පස් කණ්ඩියක් කඩා වැටී කෑගල්ලේ දෙදෙනෙකු ජිවිතක්ෂයට

• ජලයෙන් යට වූ ගාල්ලේ ස්ථාන කිහිපයක ජලය බැස යයි (විඩියෝ)

• රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් නව සංකේත ඇතුළත් නිර්නායක

• මියන්මාරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 74 දෙනෙකු දිවයිනට රැගෙන එයි

• ජපානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 235 දෙනෙකු දිවයිනට රැගෙන එයි (විඩියෝ)

• බස් රථ තුලදී කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බවට තොරතුරු (විඩියෝ)

• රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලේ මැද මළුවේදී

• සංඝ කල්ලි සිටින බවට හිටපු මුදල් ඇමති මංගල කළ ප්‍රකාශය ගැන විවිධ අදහස් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 935 ක් දක්වා ඉහළට

(15.05.2020 – 23:50 +0530 – sinhala.adaderana.lk)

අද (15) රාත්‍රී 11:30 වන විට කොරෝනා ආසාදිතයින් 10 ‍දෙනෙක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 935 ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර අද (15) දිනය තුළ කොවිඩ් නයින්ටීන් වෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 32 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

අයි.ඩී.එච්, මුල්ලේරියාව, හෝමාගම සහ වැලිසර නාවික හමුදා යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 477 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 935 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් ආසාදිතයින් 449 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගතරෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ දක්වා කාලය තුළ වාර්තා වූ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගෙන් සියයට 50 කට අධික පිරිසක් සුවය ලබා තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ් අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් බිලියනය ඉක්මවයි

(15.05.2020 – 23:16 +0530 – sinhala.adaderana.lk)

COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අරමුදලට රුපියල් මිලියන 50 ක් ප්‍රදානය කර තිබේ.

ඊට අදාළ චෙක්පත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානීහු ඊට එක්ව සිටියහ.

මේ අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ මොබිටෙල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය රුපියල් මිලියන 50 ක් පරිත්‍යාග කර තිබේ.

ඊට අදාළ චෙක්පත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා විසින් අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබිණ.

මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ඊට එක්ව සිටියහ.

Naturub Industries පෞද්ගලික ආයතනය රුපියල් මිලියන 10 ක්, මහාධිකරණ විනිසුරුවන්ගේ සංගමය රුපියල් ලක්ෂ 03 ක් සහ ටිසිල් කුරේ මහතා රුපියල් ලක්ෂයක්, හිටපු කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සංගමය රුපියල් මිලියනයක්, ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ රුපියල් මිලියනයක්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය රුපියල් මිලියන 02 ක්, BhartiAirtel Lanka පෞද්ගලික සමාගම රුපියල් මිලියන 1.2 ක් , Certis Lanka Security Solution පෞද්ගලික සමාගම රුපියල් මිලියනයක්, රිචඩ් ප්‍රනාන්දු මහතා රුපියල් මිලියනයක්, එස්.ඒ. සමරතුංග මහතා රුපියල් පනස්දහසක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

අද (15) පස්වරු වන විට COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් බිලියනය ඉක්මවා ඇත.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ.

දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති.

නීත්‍යානුකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.

චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 235 4479 / 011 235 4354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට පිළිවන.

***************************************

රාජ්‍ය නොවන සංවිධානයක කුමන්ත්‍රණයක් ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්

(15.05.2020 – 23:09 +0530 – sinhala.adaderana.lk)

මෙරට ඇතැම් දේශපාලනඥයින්ගේ ප්‍රකාශ පිළිබඳ සාවද්‍ය තොරතුරු මාධ්‍ය ඔස්සේ පළ කිරීම සඳහා ‘වෙරිටේ රිසර්ච්’ නම් රාජ්‍ය නොවන සංවිධානයක් මුදල් යොදා ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක් ගැන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (15) හෙළිදරව්වක් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, අමෙරිකාන් අතපෙවීමක් මේ දිනවල එක්සත් ජාතික පක්ෂය හරහා රටේ ජනතාවගේ මනසට සිදු කරනු ලබන බලපෑම පිළිබඳව විශේෂ හෙළිදරව්වක් සිදු කරන බවයි.

දේශපාලනඥයින්ගේ ප්‍රකාශ ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා නව රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ඇතැයි ද ඒ මහතා මෙහිදී පැවසීය.

විවිධ දේශපාලනඥයින්ගේ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය ගැන මාධ්‍යවල විවිධ වාර්තා පළකිරීමක් පසුගිය කාලයේ සිදු කළ බව ද පැවසු ඒ මහතා මේ ගැන පර්යේෂණයක් කළ බවද කියා සිටියේය.

ඒ අනුව 2018 ජූලි මාසයේ සිට මෙම රාජ්‍ය නොවන සංවිධානය විසින් ජනාධිපතිවරණය දක්වා කාලසීමාවේ දී දේශපාලනඥයින්ගේ ප්‍රකාශවල නිවැරදි බව පිළිබඳ පුවත්පත් දැන්වීම් 51 ක් පළ කර ඇති බවද ගම්මන්පිල මහතා පැවසීය.

ජනතාව ගෙදර යැවු දේශපාලඥයින් 51 දෙනකුගේ ප්‍රකාශ 17 ක් සත්‍ය බවට මේ අය දැන්වීම පළ කරද්දී තමන්ගේ පිලේ කිසිවෙක් කල ප්‍රකාශයක් සත්‍ය යැයි පැවසීමට මොවුන්ට හැකියාව නොලැබුණ බවද ගම්මන්පිල මහතා කියා සිටියේය.

තම පිල විසින් සත්‍ය කරුණු අසත්‍ය යැයි පළ කර ඇතැයි ද ගම්මන්පිල මහතා මෙහිදි කියා සිටි අතර, මේ සංවිධානය නඩත්තු කරනු ලබන්නේ ‘වෙරිටේ රිසර්ච්’ නැමති රාජ්‍ය නොවන සංවිධානයෙන් බවත් ඔවුන් යුරෝපයෙන්, අමෙරිකාවෙන් ආධාර ලබා ගන්නා බවත් පැවසීය.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

චීනයෙන් තවත් වෛද්‍ය ආධාර තොගයක් දිවයිනට

(15.05.2020 – 22:54 +0530 – sinhala.adaderana.lk)

චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින කොරෝනා වසංගතයට සාර්ථකව ප්‍රතිකාර කිරීම සඳහා සිව්වන වතාවටත් වෛද්‍ය ආධාර තොගයක් රැගෙන තවත් ගුවන් යානයක් අද (15)සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම වෛද්‍ය ආධාර තොගය අද (15) සවස 06:20 ට චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ. 231 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි.

මෙහි වෛද්‍ය ආධාර අතර ආරක්ෂිත මුඛ ආවරණ සහ හදිසි ප්‍රතිකාර සඳහා යොදා ගනු ලබන ඖෂධ මෙන්ම උපකරණ ඇතුළත් කිලෝ ග්‍රෑම් 9,680 ක් බර ඇසුරුම් 1006 ක් මෙම ගුවන් යානයෙන් රැගෙන විත් තිබේ.

මෙම වෛද්‍ය ආධාර තොගය කටුනායක ගුවන් තොටුපළ ගුවන් බඩු ගම්මානය තුළ ගොඩ බානු ලැබූ අතර හෙට (16) දිනයේ මෙම ආධාර තොගය ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මඟින් ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට නියමිත බව, චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++

නැවත දැනුම් දෙන තුරු මුහුදු යන්න එපා

(15.05.2020 – 22:28 +0530 – sinhala.adaderana.lk)

නැවත දැනුම් දෙන තුරු ගැඹුරු සහ නොගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සියලුම ධීවරයන්ට අනතුරු ඇඟවීමක් කරයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය ඊට හේතුවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලට ඉදිරියේදී ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බවයි.

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (15) උදෑසන සිට අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති විය.

කොළඹ, කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසක් අද (15) ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිත වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් ඇති වීම මෙම කාලගුණ වෙනසට හේතුව බවයි.

මේ අතර කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර ඉහල යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ නිසා දැනට ගැඹුරු සහ නොගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත ව සිටිනන්න්ට වහා ගොඩබිමට පැමිණෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

+++++++++++++++++++++++++++++++++++

විදුලිය බිඳ වැටුණු ප්‍රදේශවලට පැය 24 ක් තුළ නැවත විදුලිය ලබාදෙන්නැයි ඇමති අමරවීරගෙන් උපදෙස්

(16.05.2020 – 13:42 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක සිදුව ඇති විදුලිය බිද වැටීම් පැය 24 ක් තුළ යථා තත්ත්වයට පත් කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා.

අයහපත් කාලගුණයත් සමඟ විදුලි රැහැන් පද්ධතියට සිදුවූ හානි හේතුවෙන් මේ වන විට ප්‍රදේශ ගණනාවක පවුල් 44,000 ක් පමණ විදුලිය නොමැතිව පීඩා විදින බවට වාර්තා වී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේ නමුත්, අධිබල විදුලි රැහැන්වලට හානි සිදුවීම නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 780 කට විදුලිය සැපයීම හෙට දිනය දක්වා කල් යනු ඇති.

එහෙත් දිවයිනේ හානියට පත්ව ඇති සෙසු ප්‍රදේශවලට විදුලිය ලබාදීමේ අලුත්වැඩියා කිරීම් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

දියේ ගසාගෙන යාමෙන් සහ පස් කණ්ඩියක් කඩා වැටී කෑගල්ලේ දෙදෙනෙකු ජිවිතක්ෂයට

(16.05.2020 – 12:07 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල – වට්ටාරම ඇල මාර්ගයේදී දියේ ගසාගෙන යෑමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධස්ථානය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 48 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර කෑගල්ල-වල්දෙණියේ නිවසක් මතට පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් 65 හැවිරිදි කාන්තාවක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

ජලයෙන් යට වූ ගාල්ලේ ස්ථාන කිහිපයක ජලය බැස යයි

(16.05.2020 – 09:01 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල දිස්ත්‍රික්කයට ඊයේ (15) ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ජලයෙන් යටවී තිබූ ස්ථානවල මේ වන විට ජලය බැස යමින් පවතින බව වාර්තා වනවා.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ අද (16) දිනයේ ගාල්ල ප්‍රදේශයේ පැහැබර කාලගුණයක් දක්නට ලැබෙන බවයි.

***************************************

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් නව සංකේත ඇතුළත් නිර්නායක

(16.05.2020 – 13:21 +0530 – hirunews.lk/sinhala)

යළි රට විවෘත කර ඇති අවස්ථාවේදී ජනතාව අනුගමනය කළ යුතු නව සංකේත ඇතුළත් නිර්නායක කිහිපයක් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය විසින් සකස් කර තිබෙනවා.

අද (16) පෙරවරුවේ හිරු ටී.වි. ඔස්සේ විකාශනය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙම කරුණු හෙළිදරව් කළා.

එමෙන්ම කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා කොළඹ නගරාශ්‍රිත වතු නිවාසවල සිදුකෙරෙන පී.සී.ආර්. පර්ක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වනවා.

ඒ අනුව කොළඹ-12, බණ්ඩාරනායක මාවතේ නියැදි වශයෙන් පී.සී.ආර්. පර්ක්ෂණ අද (16) සිදුකෙරුණා.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 935 ක් වන අතර, අලුතින් වාර්තා වු කොරෝනා වෛරස් ආසාදිතයින් දස (10) දෙනාගෙන් 09 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

අනෙක් ආසාදිතයා ඔවුන්ගේ සමීපතමයෙකු වනවා.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ වෛද්‍ය අධිකෂණය යටතේ පුද්ගලයින් 449 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඉන් 337 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන්.

ඒ අනුව නාවික හමුදා සාමාජිකයන් හැරුණු විට දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වී මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 111 ක්.

සුවය ලබා පිටව ගොස් ඇති මුළු සංඛ්‍යාව 477 ක් වනවා ෴

+++++++++++++++++++++++++++++++++++

මියන්මාරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 74 දෙනෙකු දිවයිනට රැගෙන එයි

(16.05.2020 – 12:29 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මියන්මාරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 74 දෙනෙකු අද (16) යළි මෙරටට රැගෙන එනු ලැබුවා.

ඒ, පස්වරු 12:05 ට පමණ මියන්මාර ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්.

මියන්මාරයේ යැන්ගුන් ගුවන් තොටුපළේ සිට පැමිණි මෙම ශ්‍රී ලාංකිකයින් සියළු දෙනා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබීජහරණයට ලක් කළ බව හිරු කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළා.

පසුව ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

ජපානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 235 දෙනෙකු දිවයිනට රැගෙන එයි

(16.05.2020 – 06:41 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ නරීටා ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු රැගත් යූ.එල්. 455 දරණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

එම පිරිස විෂබීජහරණය කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙනු ඇති.

+++++++++++++++++++++++++++++++++++

බස් රථ තුලදී කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බවට තොරතුරු

(15.05.2020 – 20:59 +0530 – hirunews.lk/sinhala)

බස් රථ තුල කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියට බලපෑ හැකි කරුණු මෙන්ම එය වළක්වා ගැනීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් සකස්කළ පර්යේෂණයක් මොරටුව විශ්වවිද්‍යාලයට සම්බන්ධ ආචාර්යවරුන් කිහිප දෙනෙකු විසින් සිදුකර තිබෙනවා.

එම පර්යේෂණය අනුව බස් රථයක් ගමන් කරන විට ජනෙල් විවෘතව පවතින බැවින් බස් රථය තුළට ඇතුලත්වන සුළං ධාරාවන්හි වැඩිම බලපෑම පවතින්නේ පසුපස ආසනවල සිටින අයටයි.

එසේම පසුපස කොටසේ සිට සුළං ධාරාවන් සුළියක් සේ කැරකෙමින් බස් රථයේ ඉදිරි පසට යලි හමා ඒමක් සිදු වන බව පර්යේෂකයින් පෙන්වා දෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ බස් රථයක් තුළ කොඩිඩ් 19 ආසාදිතයෙක් සිටින්නේනම් ඔහුගෙන් නිකුත්වන කිවිසුමක් තුළින් සමස්ත බස් රථයේම ගමන් ගන්නා මගීන් වෙත බලපෑමක් එල්ල විය හැකි බවයි.

එම නිසා බස් රථය තුළ ගමන් කිරීමේ දී සැම මගියෙක්ම මුව ආවරණ පැළඳීම මෙන්ම විශබීජ නාශක දියර මගින් අත් පිරිසිදු කර ගැනීම අතිශයින්ම වැදගත් බව අදාළ පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙනවා.

එසේම බස් රථයක් තුල සිටගෙන යාමෙන් කොඩිඩ් 19 වෛරසයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින බවයි එම පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

***************************************

රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලේ මැද මළුවේදී

(16.05.2020 – 13:12 +0530 – hirunews.lk/sinhala)

මෙරට රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර – මිහින්තලේ මැදමළුවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පොසොන් කමිටුව රැස්වූ අවස්ථාවේදියි.

‘ආරෝග්‍යා පරමා ලාභා’ තේමාව යටතේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

මිහිඳුමහ රහතන් වහන්සේ මෙරටට වැඩම කර වසර 2328 ක් සපිරෙන මෙවර පොසොන් පොහොය කොරෝනා වෛරස තත්ත්වය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට හානි නොවන ආකාරයෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සැමරීමටයි පොසොන් කමිටුවේදී තීරණය වී ඇත්තේ ෴

***************************************

සංඝ කල්ලි සිටින බවට හිටපු මුදල් ඇමති මංගල කළ ප්‍රකාශය ගැන විවිධ අදහස්

(15.05.2020 – 20:45 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දී අවතැන් වූවන් පුත්තලමේ සිට මන්නාරමට ශ්‍රී ලංගම බස්රථ මගින් රැගෙන යාමට අවශ්‍ය මූල්‍ය පහසුකම් තම අනුමැතිය යටතේ රජයේ මුදල්වලින් ලබාදුන් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (14) පිළිගනු ලැබුවා.

ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

කෙසේ වෙතත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ අදාළ මුදල් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ලබා දී තිබූ බවටයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී අවතැන් වූවන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුත්තලමේ සිට මන්නාරමට ශ්‍රී ලංගම බස්රථ මගින් රැගෙන යාමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (14) පැය 5 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.

මේ අතර මෙරට තුළ ‘සංඝ කල්ලි’ සිටින බවට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදුකළ ප්‍රකාශය සිංහලේ ජාතික සංවිධානය අද (15) තරයේ හෙළා දකිනු ලැබුවා.

මහා සංඝරත්නය සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා සිදුකළ ප්‍රකාශය පිළිබඳ අද (15) තවත් දේශපාලනඥයින් අදහස් පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *