කොළඹ, ගම්පහ හැර පළාත් අතර බස් ධාවනය, අනිද්දා (26) සිට – දුම්රියෙන් යන්න මගීන් 16,000 ක් අවසර ඉල්ලයි

+++++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොළඹ, ගම්පහ හැර පළාත් අතර බස් ධාවනය, අනිද්දා (26) සිට – දුම්රියෙන් යන්න මගීන් 16,000 ක් අවසර ඉල්ලයි (විඩියෝ)

• මෙරට COVID-19 ආසාදිතයින් ගණන 1140 දක්වා ඉහළට

• රිස්වාන් වෙනුයෙන් ‘මනුසත් දෙරණ’ යුතුකම් ඉටුකරයි (විඩියෝ)

• නිරෝධායනය අතර දුටු තුන් නිවුන් දරු උපත (විඩියෝ)

• ඇඟලුම් කර්මාන්තය යළි ගොඩ නංවන්නේ කෙසේ ද? (විඩියෝ)

• යතුරු පැදියක් ගේට්ටුවක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට (විඩියෝ)

• අන්තවාදී කරවල කඩකාරයන්ගෙන් මුහුදු මහා විහාරය මුදාගත් මෙහෙයුම… පන්සලට ගල්මුල් ගැහුවා, අපිට ගහන්න ආවා. දැන් මේ සේරම නතරවෙලා…

+++++++++++++++++++++++++++++++++++++

කොළඹ, ගම්පහ හැර පළාත් අතර බස් ධාවනය, අනිද්දා (26) සිට – දුම්රියෙන් යන්න මගීන් 16,000 ක් අවසර ඉල්ලයි

(24.05.2020 – 18:59 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල, අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ලංකා ගමනාගමන කොමිසමට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, අද (24) එම කොමිසමේදී පැවති සාකච්ඡාවකදියි. එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැමිණෙන බස් රථ කොට්ටාව දක්වා පමණක් ධාවනය කෙරෙනු ඇති. බස් රථ ධාවනය පෙරවරු 04:30 ට ආරම්භ කෙරෙන අතර, එය අවසන් වන්නේ පස්වරු 06:00 ටයි.

මෙහිදී ගාස්තු අයකළ යුත්තේ එම බස් රථ නවත්වන ස්ථානය දක්වා පමණක් වන අතර, ගමනාන්තය ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කළ යුතුයි.

එමෙන්ම බස් රථවල දැනට බලපත්‍ර වලංගු කාලසීමාව ජූනි 30 දක්වා දීර්ඝ කිරීමටද ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබෙනවා.

සාකච්ඡාවේදී එළඹුණු තීරණ සම්බන්ධයෙන් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් කරුණු පැහැදිලි කළා.

• මාර්ග පහක් (05) ඔස්සේ කොළඹට පැමිණෙන බස් රථ කොළඹ දක්වා ධාවනය නොකිරීම,

• නුවර මාර්ගයේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ ධාවනය නිට්ටඹුවට සීමා කිරීම,

• කොළඹ 5 මාර්ගයේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ මිනුවන්ගොඩ දක්වා පමණක් ධාවනය කිරීම සහ

• ගාලු පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ පානදුර දක්වා පමණක් සීමා කිරිම,

• අවිස්සාවේල්ල හරහා කොළඹ, හයිලෙවල් හා ලෝ ලෙවල් මාර්ගයේ ගමන් කරන අන්තර් පළාත් බස් රථ අවිස්සාවේල්ලෙන් නතර කිරීම,

• අනුරාධපුර – පුත්තලම සහ කුලියාපිටිය සිට මීගමුව පාරෙන් කොළඹට පැමිණෙන අන්තර් පළාත් බස් රථ මීගමුවෙන් නතර කිරීම ද වනවා.

මේ අතර, අන්තර් පළාත් බස් ධාවනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සිය විරෝධය පළ කරනවා.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව කියා සිටියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් සමඟ අද (24) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ වෙතත්, පෞද්ගලික බස් සංගම් මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර සිටියේ ගාස්තු සියයට 50 කින් ඉහළ දැමීමට කටයුතු කරන්නේ නම් නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව ධාවන කටයුතු බාධාවකින් තොරව සිදුකිරීමේ හැකියාවක් බවයි.

එමෙන්ම, ඉදිරි දිනවලදී දුම්රියෙන් ගමන් කිරීම සඳහා මගීන් 16,600 කට වැඩි ප්‍රමාණයක් අයදුම්පත් යොමු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එළඹෙන අඟහරුවාදා සිට ධාවනය සඳහා දුම්රිය 29 ක් ද සූදානම් කර ඇති බව එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ කලින් අවසර ලබාගත් මගීන්ට මූලිකත්වය ලබාදෙමින් දුම්රිය ගමනාගමන කටයුතු සිදුකරන බවයි.

මේ අතර, දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (25) දිනයේත් එලෙසම පවතින අතර, අනිද්දා (26) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කද ඇතුළුව මුළු දිවයිනේම ඇඳිරි නීතිය ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා පමණයි.

++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

මෙරට COVID-19 ආසාදිතයින් ගණන 1140 දක්වා ඉහළට

(24.05.2020 – 23:35 +0530 – sinhala.adaderana.lk)

අද (24) දිනයේ රාත්‍රී 11:00 වන විට නව ආසාදිතයින් දෙදෙනෙකු (02) හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1140 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් දැනට රෝගීන් වාර්තා වන්නේ නාවික හමුදා නියැදියෙන් සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය අතරින් පමණයි.

ඊයේ (23) දිනයේ පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 1998 ක් සිදුකළ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේය.

ඊයේ (23) දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 21 ක්.

ඒ අතරින් 19 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර සෙසු දෙදෙනා (02) ඩුබායිහි සිට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳීසිටි අයයි.

ඒ අනුව නාවික හමුදාවෙන් මෙතෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 626 ක්.

ඒ අතරින් තවත් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 293 දක්වා ඉහළ ගියේය.

ඉකුත් අප්‍රේල් 22 වැනිදා පළමු ආසාදිත නාවික සෙබළා හඳුනාගැනීමෙන් දින 32 කට පසුවත් එම නියැදියෙන් තවදුරටත් ආසාදිතයින් වාර්තා වෙයි ෴

*****************************************

රිස්වාන් වෙනුයෙන් ‘මනුසත් දෙරණ’ යුතුකම් ඉටුකරයි

(24.05.2020 – 22:04 +0530 – sinhala.adaderana.lk)

ඉහළ කොත්මලේ ජලාශයට පැන දිවි හානි කරගැනීමට උත්සාහ කළ තරුණියක් බේරා ගැනීමට ගොස් ජීවිතය අහිමි වූ හමීඩ් රිස්වාන් මහතා පිළිබඳව අද මුළු රටම කතාබහ කරයි.

රිස්වාන් මහතාට උපහාරයක් ලෙස ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වන්නට ‘මනුසත් දෙරණ’ අපි ඉදිරිපත් වුණේ මනුෂ්‍යත්වයේ දෑත් දිගුකරමින්.

දිවි නසාගැනීමට ගිය තරුණියක් බේරාගැනීම සඳහා කොත්මලේ ජලාශයට පැනීමේන ජීවිතය අහිමි වූ 28 හැවිරිදි හමීඩ් රිස්වාන් මහතා දෙදරු පියෙක්.

වෘත්තියෙන් පෙදරේරු අත්උදව්කරුවෙකු ලෙස කටයුතු කළ රිස්වාන් මහතාට දිවි අහිමිවීමත් සමඟ ඔහුගේ පවුලට තිබූ එකම ආදායම් මාර්ගයද අහිමිව ගියේය.

එම නිසාම දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු අවසන් වනතෙක් ශිෂ්‍යත්ව පිරිනැමීමට ‘මනුසත් දෙරණ’ තීරණය කළේ ‘ඔබ අසීරුතාවයට පත්වන සෑම අවස්ථාවකදීම ජාති බේද නොසලකා ඔබ වෙනුවෙන් අප සිටින’ බව නැවත නැවතත් සනාථ කරමින්.

ඒ අනුව ‘මනුසත් දෙරණ’ කණ්ඩායම අද (24) ලිඳුල රත්නගිරි ජනපදයේ හමීඩ් රිස්වාන් මහතාගේ නිවසට ගියේ එම පොරොන්දුව ඉටුකිරීම සඳහායි.

මේ අතර මෙම සිද්ධියේදී සියදිවි නසාගැනීමට තැත්කළ තරුණියගේ ජීවිතය බේරාගත්තේ තලවකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතා විසින්.

රාජකාරියට එහා ගිය සමාජ වගවීමක් ඉටුකළ ඒ පොලිස් නිලධාරීයාවද අමතක නොකළ ‘මනුසත් දෙරණ’ අප ඔහුට උපහාර දැක්වූවේය.

සෑම විටම සමාජ වගකීම හිස මත දරාගත් ‘මනුසත් දෙරණ’ අපි ඉදිරියටත් මනුෂ්‍යත්වයේ දෑත් දිගුකරමින් ශ්‍රී ලංකාවාසි ඔබ සමඟ එක්ව ඉදිරියට යාමට සූදානම්.

*****************************************

නිරෝධායනය අතර දුටු තුන් නිවුන් දරු උපත

(24.05.2020 – 19:29 +0530 – sinhala.adaderana.lk)

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ නාවික හමුදා සාමාජිකයෙකුගේ බිරිඳ තුන් නිවුන් දරු ප්‍රසුතියක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී සිදුකර තිබුණි.

කෙසේ වෙතත් නිරෝධායනයේ මධ්‍යස්ථානයේ සිටීම හේතුවෙන් සිය දරුවන් සියැසින් දැකබලා ගැනීමට අදාළ නාවික හමුදා සාමාජිකයාට අවස්ථාව හිමිවී නැහැ.

එබැවින් බිරිඳ ඒ පිළිබඳව දුරකතනය ඔස්සේ ඔහුට දැනුම් දුන් තිබේ.

+++++++++++++++++++++++++++++++++++++

ඇඟලුම් කර්මාන්තය යළි ගොඩ නංවන්නේ කෙසේ ද?

(24.05.2020 – 18:38 +0530 – sinhala.adaderana.lk)

මෙරට ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් සැපයූ ඇඟලුම් කර්මාන්තය ද කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මේ වන විට දැඩි බලපෑමකට ලක්ව තිබේ.

ඒ අනුව අභියෝග රැසකට මුහුණ දෙන ඇඟලුම් කර්මාන්තය යළි ගොඩ නංවන්නේ කෙසේද අප ඒ පිළිබඳව සොයා බැලුවේය.

1977 න් පසු ආර්ථිකයේ සිදු වූ ව්‍යුහාත්මක පරිවර්තනයත් සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් ප්‍රභවයක් බවට ඇඟලුම් කර්මාන්තය පත් වූ අතර ඉතා කෙටි කාලයක් තුළ ලෝකයේ අංක එකේ ඇඟලුම් නිෂ්පාදකයකු බවට පත්වීමට ද ශ්‍රී ලංකාවට හැකි විය.

විශ්වසනීය හා ගුණාත්මකභාවය හේතුකොට ගනිමින් මෙරට ඇඟලුම් කර්මාන්තය ජාත්‍යන්තර කීර්තියක් ලැබූ අතර මෙරට සමස්ත අපනයන ආදායමෙන් සියයට 48 ක් උපයන්නේද එම කර්මාන්තයෙන්.

2017 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 4819 ක ආදායමකට හිමිකම් කියූ ඇගලුම් කර්මාන්තය 2018 දී ලබාගන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 5050 ක ආදායමක්.

2019 වසරේ ඇගලුම් ආනයනය කිරීමෙන් ලද ආදායම රුපියල් බිලියන 5305 ක් ලෙස වාර්තා වුවද පවතින කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ගත වූ මාස 4 තුල දී ඇඟලුම් අපනයනය කිරීමෙන් උපයා ගත හැකි වී ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 1248 ක් පමණයි.

මහා පරිමාණ ඇඟලුම්හල් 200 ක් පමණ මෙරට පැවතියත් අද වන විට එයින් විවෘතව ඇත්තේ 50% පමණ කර්මාන්ත ශාලා ප්‍රමාණයක්.

වෙනදාට රෙදිපිළිවලින්, ජනතාවගෙන් පිරී ඉතිරී යන මංමාවත්වල අද දක්නට ලැබෙන තත්ත්වයයි මේ.

ඇඟලුම් කර්මාන්තයේ ඍජු ආදායම්ලාභීන්ට මෙන්ම වක්‍ර ආදායම්ලාභීන්ට ද මෙම වසංගතය එකලෙස බලපා තිබෙනු දක්නට ලැබෙයි.

*****************************************

යතුරු පැදියක් ගේට්ටුවක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට

(24.05.2020 – 16:47 +0530 – sinhala.adaderana.lk)

අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ගේට්ටුවක ගැටි සිදු අනතුරකින් තරුණයෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බව හැටන් පොලීසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් ඩන්බාර් විදියේ පදිංචි ප්‍රසාද් බුද්ධික නිරෝෂන් නැමති 30 හැවිරිදි තරුණයකි.

ජිවිතක්ෂයට පත් තරුණයා යතුරුපැදිය සොදා නිවස වෙත ධාවනය කරන අවස්ථාවේ අතුරු මාර්ගයක පිහිටි නිවසක ගේට්ටුවක ගැටී මෙම අනතුර සිදු වි ඇත.

යතුපරුපැදිය ලිස්සාගොස් ගේට්ටුවේ ගැටී මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය කියා සිටියේය.

අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලැබු තරුණයා රෝහල් ගත කරන විටත් ජීවිතක්ෂයට පත් වී ඇති බව හැටන් පොලීසිය කියා සිටියේය.

*****************************************

අන්තවාදී කරවල කඩකාරයන්ගෙන් මුහුදු මහා විහාරය මුදාගත් මෙහෙයුම… පන්සලට ගල්මුල් ගැහුවා, අපිට ගහන්න ආවා. දැන් මේ සේරම නතරවෙලා…

(24.05.2020 – divaina.com)

• උපවාස කළේ නඩු ගියේ පන්සලට අයිති ඉඩම් අක්කර 72 ගන්න. අපිට ඒ ඉඩම් කොටස ඕන…

• ලංකාවේ ඇවිදින වැටවල් තියෙනව නම් ඒ මුහුදු මහා විහාරය වටේ…

පොතුවිල් මුහුදු මහා විහාර භූමිය වැඩ බිමක් බවට පත් වෙමින් තිබෙන අයුරු පෙනේ. ඒ පසුගියදා රජය විසින් මේ ස්ථානයේ නාවික අණු ඛණ්ඩයක් ස්ථාපිත කිරීමත් සමඟය. විහාරයට පිවිසුම ආසන්නයේ නාවික විරුවන් කඳවුරු බඳිමින් සිටිති. විරුවන් පිරිසක් විහාර භූමියේ බලහත්කාරයෙන් ඉදිකර පාළුවට ගිය නාමික පෙර පාසල් ගොඩනැඟිල්ල ලහි ලහියේ අලුත්වැඩියා කරමින් සිටිති. තවත් පිරිසක් එම ගොඩනැඟිල්ල පිහිටි භූමිය සුද්ධ පවිත‍්‍ර කරමින් සිටිති. මගේ දෙනෙත්වලට විසුමක් නැත. ඉදිවෙමින් පවතින කඳවුරු භූමියෙත්, ඔබ්බටත් දෑස් ඉගිලෙයි. පහළ සිට චෛත්‍ය වහන්සේ පිහිටි කඳු ගැටය දෙසට මහරහතුන් වහන්සේලා වඩින මඟ දෑස් නතර විය. මහරහතුන් වහන්සේලාගේ පිළිමවල තවමත් වැඩ අවසාන වී නැත. පිළිම වහන්සේලාගේ වැඩ අවසාන වී වර්ණවත්ව කහ පැහැයෙන් බැබළෙන විට මේ පින්බිම පුරා විසිරුණු සිරියාව ඉතිරී ඉහිරි යන බව නොකිවමනාය.

මීට වසර හතකට පෙර ඉදි වූ සම්බුද්ධ ප‍්‍රතිමා මන්දිරය වැඳ පුදාගෙන, විහාර මහා දේවියගේ පිළිමය දැක බලාගෙන කඳු ගැටය පහළට බහින විට බිම්තැන්නේ පිහිටි ගොඩනැඟිලි සමූහයක් දෑස් හි රැඳිණි. විහාර ගෙය, ධර්ම ශාලාව, බෝධින් වහන්සේ එකිනෙකට යාව පිහිටා තිබේ. ගහ කොළ බහුල එම ඉසව්ව තරමක් ගුප්ත ය. මළ හිරුගේ කිරණින් ආලෝකවත් වූ ප‍්‍රතාපවත් ගල් කණු අතර මගේ දෙනෙත් නතර විය. උස් පාදමක් මත පිහිටි ගල් කණුවලින් විද්‍යමාන වන්නේ ඉපැරැණි ගොඩනැඟිල්ලක නටබුන් කොටස්ය. එමෙන්ම එම පාදම මත ගල් කණුවලට මැදිව පිහිටි පිළිම තුනකි. කැඩි බිඳී පුරාවස්තු බවට තැන්පත්ව තිබෙන එම පිළිම, බුදුරජාණන් වහන්සේගේ පිළිමයත්, කාවන්තිස්ස රජුගේ සහ විහාර මහා දේවියගේ පිළිම බව පුරාවිද්‍යා කැණීම්වලදී තහවුරු වී ඇත.

එමෙන්ම මේ පින්බිමේ පැවති තවත් බොහෝ පුරාවිද්‍යා ස්මාරක අන්තවාදී පිරිස් විසින් විනාශ කර දමා ඇති බව ද රහසක් නොවේ. පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමිය මුස්ලිම් අන්තවාදීන් විසින් කොල්ල කාගෙන සිටින බව ද රහසක් නොවේ. ප්‍රෞඪ අභිමානය විදහාපාමින් අදටත් වැඩ සිටින පිළිම වහන්සේලාට හිස නමා නමස්කාර කර ඉවත හැරුණු විට යාබද ස්ථානයක නොඋස් ගල් කණු පොකුරකි. එම ගල් කණු වැසී ඇත්තේ පිහිටක් ප‍්‍රාර්ථනා කරමින් මිනිසුන් විසින් ගැට ගැසූ භාරවලිනි. සියලු දේ සුපරීක්‍ෂාකාරීව දකිමින් සිටි මගේ දෙනෙත් බෝධීන් වහන්සේ අසලට ගමන් කරන පඩිපෙළ පිරිසිදු කරමින් සිටි සමණේර හිමිනමක් අසල නතර විණි. තවත් ස්වාමීන් වහන්සේ නමක් කොළ රොඩු එකතු කර දැමූ විල්බැරෝවක් තල්ලු කරගෙන යන්නාහ. එම විහාරස්ථානයේ සිටින ගිහි පැවිදි සියලු දෙනා කුමක් හෝ වැඩක නියැළී සිටින බව වැටහී ගියේ මුහුදු මහා විහාරයේ නායක හාමුදුරුවෝ පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි හිමි විහාරය පහළ කෙළවරේ එළවළු කොරටුවේ පැළවලට වතුර දමන අයුරු දුටු විටය.

“අපේ මහත්තෙලා දුර බැහැර ඉඳලා ඇවිත් තියෙන්නේ. ටිකක් ගිමන් හරින්න මම එන්නම්…” උන්වහන්සේගේ කතාව සැබෑය. එහෙත් එම පින්බිම පුරා පැතිරුණු බුදු සිසිලෙන් ගමනේ විඩාව දුරු වූ බව නොකිවමනාය. එහෙත් අපි නායක හාමුදුරුවන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කුඩා ධර්ම ශාලාවේ කෙටි අසුන් මතට බර තැබුවෙමු. ඒ ඇසිල්ලට මගේ සිත මුහුදු මහා විහාරයේ ආරම්භයට දිව ගියේය.

මුහුදු මහා විහාරයේ ඉතිහාසය…

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත‍්‍රික්කයේ පොතුවිල් ප‍්‍රදේශයේ මුස්ලිම් ගම්මාන මැදි කරගෙන පිහිටි එකම සිංහල බෞද්ධ සංකේතය මුහුදු මහා විහාර පින්බිමයි. සුදෝ සුදු වෙරළ තීරයකට මායිම්ව පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත ථෙරවාදී පන්සලකි. එමෙන්ම මෙම විහාරස්ථානය අනාදිමත් ඉතිහාසයකට උරුමකම් කියන පුදසුනකි. එනම් ක‍්‍රි.ව. පළමුවන සියවසේදී මහදැළියමානා නොහොත් මහාදාඨික මහා නාග රජු විසින් ඉදිකරන ලදැයි ජනප‍්‍රවාදයේ කියැවෙන මුහුදු මහා විහාරය රුහුණු රජ පෙළපතේ වන්දනාමානයට පාත‍්‍රව තිබූ ප‍්‍රධාන සිද්ධස්ථානයකි.

ජනප‍්‍රවාදයට අනුව ක‍්‍රි.ව. දෙවන සියවසේදී දිනක මුහුද ගොඩ ගැලූ අවස්ථාවකදී මුහුදු රකුසාගෙන් රට බේරාගැනීම සඳහා කැලණිතිස්ස රජුගේ දූ කුමරිය වන දේවී කුමරිය මුහුදට බිලි වුවද දෛවයේ හාස්කමකින් කුමරිය රැගත් යාත‍්‍රාව සැඩ රළ පහරට මැදිව කිරින්දට පාවී ගිය ද ගල් කුළු නිසා ගොඩ බසින්නට නොහැකි වී ඇත. යළිත් මුහුදට පා වී ගිය කුමරිය සහිත රත්තරං ඔරුව පොතුවිල් ප‍්‍රදේශයෙන් වෙරළට ගොඩ බට බව ජනප‍්‍රවාදයේ කියැවෙන කතාවකි. යාත‍්‍රාව ගොඩ බැස ඇත්තේ වෙරළට මායිම් වූ තොට්ටල විහාරය තුළටය. ජනප‍්‍රවාදයේ පවතින පරිදි එම විහාරස්ථානය ඉදි වී ඇත්තේ තොටුලූපොත වරායට එන යන යාත‍්‍රාවල අයට වන්දනා කිරීමටය. එම විහාරස්ථානයේ රහතන් වහන්සේ නමක් වැඩ සිටියහ. සුන්දර කුමරියක් සහිත මුහුදේ පාවෙන යාත‍්‍රාව ගැන ධීවරයන් මුලින්ම පවසා සිටින්නේ තොට්ටල විහාරයේ වැඩ සිටි රහතන් වහන්සේටය.

එමෙන්ම එකල මාගම රජ කළ කාවන්තිස්ස රජුට ද දේවි කුමරිය ගසාගෙන එන බව සැල වන්නේය. සැල වූ ආරංචියත් සමඟ උස් ස්ථානවල අට්ටාල ගසාගෙන ඔරුව පාවෙන දිසාව බලා සිටින ලෙසට රජු විසින් රාජපුරුෂයන්ට නියම කරන ලදී. එදා අට්ටාල ගසාගෙන සිටියා යැයි විශ්වාස කරන ස්ථානය අද හඳුන්වනුයේ අට්ටාලච්චේන ලෙසය. එදා අට්ටාල ගසාගෙන සිටි පිරිසට රජු විසින් නින්දගම් ලබාදෙන ලදී. එම ස්ථානය නින්දූර් වූ බව ජනප‍්‍රවාදයේ කියැවේ. නින්දගම් යනු අක්කර දහයකි. එහෙයින් මේ වන විට එම ප‍්‍රදේශය හඳුන්වනුයේ අක්කරෙයිපත්තුව නමිනි. කාවන්තිස්ස රජු රාජපුරුෂයන් සමඟ පැමිණ ‘කෝ කුමරිය’ යැයි ඇසූ තැන අද හඳුන්වනුයේ කෝමාරිය නමිනි. රාජපුරුෂයින් විසින් කුමරිය සිටි ස්ථානය රජුට පවසා ඇත්තේ අර ගමේ බොක්ක ලෙසය. අද එම ප‍්‍රදේශය හඳුන්වනු ලබන්නේ අරුගම්බෙ නමිනි. එකල බෝධිවිල ලෙසින් හැඳින්වූ පොතුවිල් ප‍්‍රදේශයට දෙමළ ජනතාව සංක‍්‍රමණය වීමත් සමඟ බෝධිවිල පොතුවිල් බවට පත් වී ඇත්තේ දෙමළ භාෂාවේ ‘බ’ ශබ්දය නැති නිසා බව ද ජනප‍්‍රවාදයේ එයි.

කාවන්තිස්ස රජු විසින් දේවී කුමරිය පිළිගෙන තම බිසෝ තනතුරෙහි පිහිටුවා ගත් බව කියැවෙන තවත් කතාවකි. විහාරයකට ගොඩ බට නිසා දේවී කුමරියට විහාර මහා දේවිය කියා නම පටබැඳිණි. කාවන්තිස්ස රජු විසින් කුමරිය ගොඩ බට තොට්ටල විහාරය දියුණු කරමින් ලංකා විහාරය ලෙස නම වෙනස් කර ඇති බවත්, පසු කාලීනව එය මුහුදු මහා විහාරය නම් විය. මේ ඉතිහාස කතාව සඳහන් යැයි අනුමාන කරන සෙල් ලිපියක් අදට ද මුහුදු මහා විහාරය භූමිය තුළ නටබුන්ව පවතින්නේය. එමෙන්ම මුහුදු මහා විහාරස්ථාන භූමියේ බුදු පිළිම වහන්සේ ඉදිරිපස, දෙපස කාන්තා සහ පිරිමි පිළිම යුවළක් නෙළා තිබේ. එම පිළිම දෙක කාවන්තිස්ස රජු හා විහාර මහා දේවියගේ යැයි විශ්වාස කෙරෙති. එවැනි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන මුහුදු මහා විහාරය පසු කාලීනව කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය. අනතුරුව බි‍්‍රතාන්‍ය පාලන සමයේදී සුදු ජාතීන් විසින් කළ පුරාවස්තු ගවේෂණයේදී නැවත මුහුදු මහා විහාරය සොයාගනු ලැබිණි. එකල පානම් පත්තුවේ ජීවත් වූ ජන ඝනත්වය හත්අට සියක්වත් නැත. සෙනරත් රජුගේ අණින් මෙරටට පැමිණි මුස්ලිම් වර්ගයට අයත් මට්ටයන් ජනවාස පිහිටුවාගෙන සිටියේ ද මුහුදු මහා විහාරය අවට ප‍්‍රදේශ තුළය. මුහුදු මහා විහාරය සතුව පැවති ඉඩකඩම් ද මට්ටයන් අල්ලාගෙන තිබිණි.

අන්‍ය ආගමික කෙනෙහිලිකම්…

1950 දශකයේදී මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මූලිකත්වයෙන් නැගෙනහිර පළාතේ කළ ගවේෂණයන්හි ප‍්‍රතිඵලයක් ලෙස, 1951 අවුරුද්දේ ජනවාරි 26 වැනිදා ගැසට් පත‍්‍රය මගින් මුහුදු මහා විහාරයට අයත් බිම් කඩ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කරන ලදී. අක්කර හැත්තෑ දෙකකුත් රූඩ් තුනකුත් පර්චස් දහතුනක් (72A 03R 13P) එම රක්ෂිතයට ඇතුළත් විය. රක්ෂිතය හඳුනාගැනීමෙන් පසු මෙහි ගවේෂණ කටයුතු සහ කැණීම් කටයුතු ආරම්භ කරන ලද්දේ 1975 වර්ෂයේදීය. ඒ වන විට එම භූමි ප‍්‍රමාණය අන් සන්තකව ඇති බවට සාක්‍ෂි හමු වීමත් සමඟ නැවත වරක් මැනීම් කටයුතු සිදු කරමින් 1965 වර්ෂයේ මැයි 28 වන දින නැවත මුහුදු මහා විහාරය සතු භූමි භාගය රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී. එහි වපසරිය අක්කර තිහකුත් රූඩ් තුනකුත් පර්චස් දහතුනක් (30A 03R 13P)විය. ඊට පසුව කළ කැණීම් කටයුතුවලදී අනුරාධපුර යුගයේ පසු භාගයට අයත් පිළිම ගෙයක් සහ මුල් භාගයට අයත් පිළිම ගෙයක් සොයාගනු ලැබිණි. රාජ ලීලාවෙන් සිටින බෝධිසත්ව ප‍්‍රතිමාවක් ද, මෛත‍්‍රි බෝධිසත්ව පිළිමයක් ද මෙම පිළිම ගේ තුළ තිබුණු අතර කැණීම්වලින් පසු එම පිළිම සංරක්‍ෂණය කර තැබීමට පියවර ගැනිණි. බුදු පිළිමයේ හිස කිසියම් පුද්ගලයකු විසින් ගලවාගෙන ගොස් තිබූ අතර පසුව එහි පුරාවිද්‍යා මුරකරුගේ නිවසේ ලිප් ගලකට තබා තිබියදී සොයාගෙන ඇත. එමෙන්ම පොතුවිල් මුහුදු තීරයේ වැල්ලෙන් වැසී ගිය නටබුන් වූ දාගැබ් දෙකක් ද හඳුනාගෙන ඇත. 1978 වර්ෂය වන විට මෙහි තහවුරු කිරීම අවසන් වූ බැවින් පිළිම ගෙයට යාබද සීමා පවුර ද ලකුණු කර තිබිණි.

එහෙත් අසූව දශකයෙන් පසුව කොටි ත‍්‍රස්තවාදීන්ගේ ත‍්‍රස්ත ක‍්‍රියා හේතුවෙන් මෙම ප‍්‍රදේශයේ කැණීම් කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා විය. එහෙත් මුහුදු මහා විහාරස්ථානයේ ඓතිහාසික වටිනාකම වටහා ගත් පූජ්‍ය තංගල්ලේ සිරි සුනන්ද ස්වාමීන් වහන්සේ 1980 වර්ෂයේදී එහි වැඩම කර පුරාණ බෝධීන් වහන්සේ සමීපයෙහි කුඩා ආවාස ගෙයක් තනවා ලැගුම් ගත්හ. එහෙත් මුස්ලිම් ජාතික පුරාවිද්‍යා මුරකරුගේ කෙනෙහිලිකම් නිසා උන්වහන්සේට වැඩි කාලයක් එහි වැඩ සිටීමට නොහැකි වූහ. අනතුරුව පූජ්‍ය තංගල්ලේ ජීවානන්ද සහ පූජ්‍ය සද්ධානන්ද යන ස්වාමීන් වහන්සේ දෙනම වරින් වර වැඩ වාසය කළහ. ටික කාලයක් යන විට උන්වහන්සේලාගේ ගමන ද නතර වූහ. පසුව පූජ්‍ය කතරගම සිරිරතන හිමියන් මුහුදු මහා විහාරයට වැඩම කොට ත‍්‍රස්තවාදයේ ගිනි පුපුරු මැද දුක සේ වැඩ සිටියහ. එහෙත් පෙර කී මුස්ලිම් ජාතික පුරාවිද්‍යා මුරකරු පූජ්‍ය සිරිරතන හිමියන්ට ද කෙනෙහිලිකම් කළේය. එමෙන්ම ප‍්‍රදේශවාසීහු විහාරස්ථානයට පිවිසෙන මගෙහි සවි කර තිබූ දැන්වීම් පුවරුව ද ගලවා මස්ජිතුල් පලාෆ් මාවත යනුවෙන් නම පුවරුවක් සවි කිරීමට තරම් ආගම්වාදී කුහකයන් වූහ. එමෙන්ම මුහුදු මහා විහාරයට පැමිණෙන මගෙහි වාහනයක් ගමන් කිරීමට නොහැකි වන ලෙස මග දෙපස ඇහිරීහ. විටෙක මේ විහාරස්ථානයේ වැඩ සිටි ස්වාමීන් වහන්සේ තුන්නමකගේ කටට සිවුරු ඔබා විහාරස්ථානය ඉදිරිපිට සියඹලා ගසේ එල්ලා තිබේ. විහාර භූමියේ ඉඩම් කොල්ලකෑමට එරෙහි වූ එවකට විහරාධිපති පූජ්‍ය කතරගම සිරිරතන හිමියන්ට රෝහල්ගතව නේවාසික ප‍්‍රතිකාර ගැනීමට සිදු වන ලෙසට අන්තවාදීහු පහරදී තිබුණහ. රාත‍්‍රී කාලයට විහාරස්ථානයට ගල් මුල් පහර එල්ල කිරීම පුරුද්දක් වී තිබුණු බව ද රහසක් නොවේ.

පූජ්‍ය කතරගම සිරිරතන හිමියන්ගෙන් පසු මුහුදු මහා විහාරයේ විහාරාධිපති ධුරයට පත් වූයේ පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි හිමියන්ය. උන්වහන්සේට ද අන්‍ය ආගමික ගෝත‍්‍රිකයන් විසින් සිදු කරන කෙනෙහිලිකම් අඩු නොවිණි. 2012 අවුරුද්දේ දිනක මුස්ලිම් මිනිස්සු පැමිණ වැල්ලට යට වී තිබූ පැරැණි චෛත්‍ය ඩෝසර කිරීමට යෑමෙන් ප‍්‍රදේශයේ නොසන්සුන්තාවයක් ඇති විය. පැවති ආණ්ඩුවේ මැදිහත්වීම මත එම සිද්ධිය දුරදිග නොගියේය. එතැනින් නොනැවතී එවකට පැවති රජයේ අම්පාර දැයට කිරුළට සමගාමීව මුහුදු මහා විහාරය සංවර්ධනය කිරීම ආරම්භ කළේය. විහාරස්ථානයට පැමිණීමට අලුත් මාර්ගයක් ඉදිකෙරිණි. නව බුදු මැඳුරක් ඉදිකෙරිණි. විහාරස්ථානය ගොඩනැඟීම බලා සිටීමට නොහැකි කුහක ආගම්වාදීන් සංවිධානගතව ආවාස ගෙයට ගිනි තැබීය. එදා සිට විහාරස්ථානය ආරක්‍ෂාව සඳහා සිවිල් ආරක්‍ෂක බල ඇණියක් යොදවනු ලැබිණි. අදටත් එම ආරක්‍ෂක සේවය ස්ථාපිතය. එහෙත් පන්සල අවට මුස්ලිම් ජාතීන්ගේ කෙනෙහිලිකම් නැති කිරීමට ඔවුන්ට ද අසීරු වී ඇත. තත්ත්වය පෙරටත් වඩා බරපතළ විය.

පන්සල අවට සිටින අන්තවාදී කරවල කඩකාරයෝ මුහුදු මහා විහාරයේ වාහන නැවතුම්පොළ කරවල මඩුවක් කරගත්හ. පන්සලට යන වාහන නතර කිරීමට කුණු කරවල කඩකාරයන්ගෙන් අවසර ගැනීමට සිදු විය. කරවලවල මිල අසා කරවල නොගත් විට උන් සැදැහැවතුන්ට බැණ වැදුනහ. පන්සලේ ශබ්ද විකාශනවල ශබ්දය වැඩියි, ළමයින්ට පොත් පාඩම් කරන්න බෑ කියමින් පොලිසිය මාර්ගයෙන් උදේ සවස පිරිත් කියවීම නතර කළහ. මේ වන විට මුහුදු මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි හාමුදුරුවන්ට ද අන්තවාදීහු පහරදීමට තැත් කළහ. අන්‍ය ආගමිකයන් විසින් නිරන්තරයෙන් සිදු කරන මේ කෙනෙහිලිකම් නිසා දැඩි සේ පීඩාවට පත් වූයේ මුහුදු මහා විහාරස්ථානයේ විහාරාධිපති සහ පොඩි හාමුදුරුවෝය. එහෙත් උන්වහන්සේ අන්තවාදීන්ගේ තර්ජන, ගර්ජනවලට බිය නොවූහ. තාඩන, පීඩන ඉවසා දරාගෙන මුහුදු මහා විහාරය සංවර්ධනය කිරීමේ පුණ්‍යකර්මය ඉදිරියට කරගෙන ගියහ. උන්වහන්සේගේ අපරිමිත කැප කිරීම්වල මල් ඵල ගැන්වී තිබේ. ඒ ආඩම්බර කතාව අපේ වචනවලින් කියනවාට වඩා මුහුදු මහා විහාරයේ නායක හාමුදුරුවන්ගේ වචනවලින් ඇසීම වඩාත්ම සංවේදීය. මේ පෙළගැසෙන්නේ නැගෙනහිර පළාතේ ප‍්‍රධාන සංඝනායක මුහුදු මහා විහාරාධිපති, සිංහල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, අක්කරෙයිපත්තු ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි නායක හාමුදුරුවෝ කියන කතාවය.

“අපේ රටට ඇවිදින වැටවල් හඳුන්වා දීලා තියෙන්නේ පොතුවිල්වලින්. මේ පන්සල වටා තියෙන වැටවල් අද තියෙන තැන නෙමෙයි හෙට තියෙන්නේ. වැටවල් ඇවිද්දට කමක් නෑ. ගොඩනැඟිලි ඉදි කළාට කමක් නෑ. 1951 අවුරුද්දේ ජනවාරි 26 වැනිදා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ගැසට් පත‍්‍රයක් මගින් මුහුදු මහා විහාරයට අයත් අක්කර හැත්තෑ දෙකකුත් රූඩ් තුනකුත් පර්චස් දහතුනක් පුරාවිද්‍යා රක්‍ෂිතයක් විදිහට නම් කරලා තියෙනවා. අපිට ඕනෑ ඒ භූමිය. අපි ඉල්ලන්නේ එච්චරයි. අපි උපවාස කළේ, නඩු ගියේ අපේ උරුමය අනාගත පරපුරට ආරක්‍ෂා කර තබන්න…”

“අපගේ ඉල්ලීම සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපතිතුමාගෙත්, අගමැතිතුමාගෙත් අවධානය යොමු වෙලා තියෙනවා. පන්සලට අයිති ඉඩම් ලබාදෙන්න ආණ්ඩුව ක‍්‍රියා කරගෙන යනවා. ඒ පණිවිඩය අරගෙන ආරක්‍ෂක ලේකම්, යුද හමුදාපති, නාවික හමුදාපති, පොලිස්පති පන්සලට ඇවිත් අපිව දැනුවත් කළා. සාංඝික දේපළ කොල්ලකාගෙන තිබෙන අයුරු එතුමන්ලා අවබෝධ කරගත්තා. මේ වෙනකොට පන්සලට අයිති ඉඩම් කට්ටි කරලා ජයභූමි ඔප්පු හතළිස් එකක් දීලා තියෙනවා. මේ අක්කර හැත්තෑදෙක තුළ පවුල් තුන්සිය හැටක් විතර ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ට අසාධාරණයක් නොවෙන ආකාරයට ඉවත් කරලා මේ බෞද්ධ උරුමය ආරක්‍ෂා කර දෙන්න කියලා කාරුණිකව මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ පන්සල දියුණු කරගන්න මුස්ලිම් ජනතාවගෙත් සහාය ඕනෑ. පුරාවස්තු කියන්නේ සිංහල ජාතියට පමණක් අයිති දෙයක් නෙමෙයි. මේ රටේ ජීවත් වෙන සියලු පුරවැසියන්ට අයිති වස්තුව. ඒ වගේම මේ පන්සල දියුණුවීමෙන් වාසි අත්වෙන්න බෞද්ධ ජනතාවට නෙමෙයි. පන්සල වටේ ජීවත් වෙන මුස්ලිම් මිනිස්සුන්ට. පන්සලට බැතිමතුන් පැමිණෙනකොට සාක්කු, ලාච්චු පිරෙන්නෙ ඒ අයගේ. ඒකත් පින්කමක්. අපි හිතන්නේ එහෙමයි. කවුරු ගහන්න, බණින්න ආවත් අපි මෛත‍්‍රිය කරනවා…”

“ඒ වගේම මුහුදු මහා විහාරයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් පිරිවෙනක් ආරම්භ කරලා තියෙනවා. මේ වන විට පොඩි හාමුදුරුවෝ පහළොස් නමක් (15) වැඩ සිටිනවා. ඒත් පිරිවෙන පවත්වාගෙන යෑමට ශාලා පහසුකම්, ආවාස පහසුකම් අපිට නෑ. මේ පහසුකම් ඇති කරගැනීමට ලෝකවාසී බෞද්ධ ජනතාවගේ දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා…” මුහුදු මහා විහාරාධිපති පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි හාමුදුරුවෝ කාරුණික ඉල්ලීමක් කරමින් ගලා ගිය කතාවට විරාමය තැබූහ.

මුහුදු මහා විහාරය යනු අන්තවාදී ග‍්‍රහණයේ පැවති එක් බොදුබිමක් පමණි. අන්තවාදී යකඩ සපත්තුවට පෑගුණු තවත් බොදුබිම් තිබේ. එම පුරාවිද්‍යා බිම් ද අන්තවාදයෙන් නිදහස් කරගත යුතුය.

– තරංග රත්නවීර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *