ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබු රෝසා කොටුවෙයි

(01.06.2020 – 20:32 +0530 – sinhala.adaderana.lk)

• ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීම එල්ල කළ රෝසා නැමැති පාතාල කල්ලි සාමාජිකයා අද (1) මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේය.

• මාලිගාවත්ත පොලිස් වසමට අයත් ලක්සෙත සෙවණ මහල්නිවාස සංකීර්ණයේදී ඊයේ (31) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමට අදාළව අද (01) එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී හෝටලයක හිමිකරුගෙන් කප්පම් ඉල්ලා එම හෝටලයට කඩුවලින් පහරදී පසුව වෙඩි තැබීම සිදුකිරීමට මොහොතකට පෙර එම අපරාධ කල්ලිය ඩුබායි හි සිට මෙහෙයවූ ප්‍රබල පාතාල කල්ලි නායාකයකු ලෙස සැළකෙණ අඟුලානේ අංජු නොහොත් කුඩු අංජුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.

හෝටලයේ හිමිකරුට හඬන්නටයැයි පැවසීමත් සමඟ විනාඩි කිහිපයකින් අදාල හෝටලයට අංජුගේ ගෝලයන් යොදවා ප්‍රහාරය එල්ල වෙයි.

පාතාල නායක අඟුලානේ අංජුගේ ගෝලයකු වන ධර්මේ අයියා නැමැත්තෙත් ලබාදුන් තර්ජනාත්මක දුරකථන ඇමතුමක් අප ඊයේ (31) වාර්තා කළ අතර එම ඇමතුමේ සඳහන් වන රෝහණ නැමැත්තා ඔහුන්ගේ ඝාතන ඉලක්කයක් වී තිබේ.

ඝාතකයන්ගේ ඉලක්කයක් වී ඇති රෝහණව මීට පෙර ගල්කිස්ස උසාවි සංකීර්ණය තුලදී ඝාතනය කිරීම සඳහා සැළසුම් කිරීමට ඩුබායිහි සිටින අඟුලානේ අංජු රෝසා නැමැත්තෙකු යොදාගෙන තිබූ අතර එය අසාර්ථක වූයේ එම අවි ආයුධ ආරක්ෂක අංශ සතු වීම හේතුවෙන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (01) අත්අඩංගුවට පත්වූ රෝසා ඇප මත නිදහස්ව සිටියදී කොණ්ඩ ජනියා සමඟ එක්වී සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමට යොදාගෙන තිබුණි.

ඒ අනුව ඊයේ (31) දිනයේදී හෝටලයට වෙඩි තැබීමට අදාල කොණ්ඩ ජනියා අත්අඩංගුවට ගත් අතර අද (01) මාතර ප්‍රදේශයේදී රෝසා නැමැති පාතාල කල්ල සාමාජිකයා ද කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් විසින් අත්අංගුවට ගෙන ඇත.

රෝසා නැමැත්තා අද (01) පස්වරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා තබා ප්‍රශ්න කිරීමට නියෝග කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර මාළිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාසයට ඇතුලුවී රාවුෆ් නැමැත්තකුට වෙඩි තැබීමේ සිදුකළ කණ්ඩායමේ එක් අයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාළිඟාවත්ත ආර්.බී. වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 600 ක් ද සොයා ගෙන තිබුණි.

https://www.youtube.com/watch?v=tVIho3SzDNQ#t=6

+++++++++++++++++++++

මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට

(01.06.2020 – 22:47 +0530 – hirunews.lk/sinhala)

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් මාතර, අකුරැස්ස බලකාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

***************************************

රවීන්ද්‍ර විජේගුණවර්ධන සහ රාජිත, තමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට නිශ්ශංක සේනාධිපතිගෙන් චෝදනා

(01.06.2020 – 21:36 +0530 – hirunews.lk/sinhala)

හිටපු නාවික හමුදාපතිවරයෙකු වන රවීන්ද්‍ර විජේගුණවර්ධන හා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන් තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය දියත් කළ බව ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් සොයාබැලීම ස්ථාපනය කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

2015.01.15 සිට 2019.11.16 දක්වා සිදුවූ බව කියන දේශපාලන පලිගැනිම් සම්බන්ධයෙන් සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සාක්ෂි දුන්නේ දෙවන දිනටයි.

එහිදී නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කළේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීමට උපකාර කරන්නේ නම් තමාට නඩු නොපවරන බවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහුගේ ලේකම්වරයෙකු මාර්ගයෙන් තමාට යෝජනා කළ බවයි.

එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු තමාගෙන් පලි ගැනීමට ක්‍රියා කළ බවද සේනාධිපති මහතා ජනාධිපති කොමිසම හමුවේ පැවසුවා.

රාජිත සේනාරත්න මහතා විසින් එවකට ඇවන්ට්ගාඩ් නෞකාව තිබූ ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලවා තමාට බලපෑම් කළ බවද ඔහු ජනාධිපති කොමිසම හමුවේ පෙන්වා දුන්නා.

නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කළේ, ගාල්ල මහේස්ත්‍රාත්වරයා සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඇවන්ට්ගාඩ් සමාගම නීත්‍යානුකූල බවට ප්‍රකාශ කර තිබියදී එම නියෝග නොතකා එම්.වී. මහනුවර නෞකාව නාවික හමුදාව යටතට ගත් බවයි.

එවකට නාවික හමුදාපති වූ රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා මීළඟ තනතුර අපේක්ෂාවෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග එක්ව තමා ඝාතනය කිරීමට සිදුකළ උත්සහයක් පිළිබඳවද ඔහු අනාවරණ කළා.

2015 වසරේ දෙසැම්බර් 31 වැනිදා හිටපු නාවික හමුදාපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂකයින් දෙදෙනෙකු 9 mm වර්ගයේ ගිනි අවි සමඟ තමාව ඝාතනය කිරීමට පැමිණි බවත්, තම ආරක්ෂකයින් හේතුවෙන් එම උත්සාහය වැළකී ගිය බවත් ඔහු ප්‍රකාශ කළා.

නිශ්ශංක සේනාධිපති මහතා කොමිසම හමුවේ පැවසුවේ, ඊට අදාළ CCTV දර්ශනද සමග තමා මිරිහාන පොලීසියට පැමිණිලි කළද මෙතෙක් විමර්ශන සිදු නොවූ බවයි.

ඉන් අනතුරුව ඇවන්ට්ගාඩ් සමාගමට අදාළව තමා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කඳවූ බවත්, එහිදී විමර්ශන සිදුකළ නිලධාරීන් දෙදෙනා විසින් මෙම සිද්ධියේ කිසිදු ගැටලුවක් නොමැති බව තමාට පැවසූ බවත් ඔහු ප්‍රකාශ කළා.

ඇවන්ට්ගාඩ් සභාපතිවරයා පෙන්වා දුන්නේ, ඉන් අනතුරුව රාජිත සේනාරත්න මහතා ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් තමා නැවතත් අල්ලස් කොමිසම හමුවට කැඳවූ බවයි.

ඉන් අනතුරුව දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය අධ්‍යක්ෂ ජනරාල් ධුරය හෙබවූ සමයේ විමර්ශන සිදුකළ නිලධාරීන් දෙදෙනා තමාට තර්ජනය කළ බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට මුදල් දී තිබේදැයි පරීක්ෂා කළ බවත් නිශ්ශංක සේනාධිපති මහතා පැවසුවා.

එහිදී නිශ්ශංක සේනාධිපති මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා විමසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදල් දුන් බවට ඔවුන් ප්‍රශ්න කළේද යන්න පිළිබඳවයි.

අදළ නිලධාරීන් එසේ සිදුකළ බව පැවසූ ඇවන්ට්ගාඩ් සභාපතිවරයා, ගෝනියක දාලා රුපියල් මිලියන 200 ක් දුන්නා කියා දිවුරුම් ප්‍රකාශයක් ලබාදුනහොත් තමා නඩුවලින් මුදාහරින බවට යෝජනා කළ බවද ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළා.

මෙහිදී ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට අවස්ථාවක් ලැබුණේද යන්නයි.

වසර 2 ක සිට ලිපි 8 ක් පමණ යොමු කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ නිල නිවසේදී හමුවූ බවත්, ඊට එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද සහභාගී වූ බවත් නිශ්ශංක සේනාධිපති මහතා පැවසුවා.

ඇවන්ට්ගාඩ් සමාගම නාවික හමුදාවට පවරා ගැනීමෙන් පසු රුපියල් බිලියන 10 ක පමණ ආදායමක් රටට අහිමි වී ගැන තමා ජනාධිපතිවරයාට පෙන්වා දුන් අවස්ථාවේදී ඇවන්ට්ගාඩ් සමාගම යළි ආරම්භ කරන ලෙසට ඔහු උපදෙස් දුන් බවද සාක්ෂිකරු ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

ඇවන්ගාඩ් සභාපති අද ජනාධිපති කොමිසම හමුවට

(01.06.2020 – 21:06 +0530 – sinhala.adaderana.lk)

හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න මහතා තමාව ඝාතනය කිරීමට දැරූ උත්සාහයකට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ද සම්බන්ධ බවට ප්‍රකාශයක් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (01) ජනාධිපති කොමිසම හමුවේ සිදු කළේය.

ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ සිදුවු දේශපාලන පළිගැනීම් පිළිබද සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි විමසීම සදහා අද (01) දින ඔහු කැඳවා තිබුණි.

ආන්දෝලනාත්මක ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ඉකුත් යහපාලන ආණ්ඩුව තමන්ගෙන් දේශපාලනිකව පළිගැනීමට උත්සහ කළ බවට නිශ්ශංක සේනාධිපති මහතා ගොනුකර තිබු පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබාදීමට ඔහු අද (01) දෙවන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

ඇවන්ගාඩ් සිද්ධියට හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයැයි සාක්ෂි ලබාදෙන ලෙස රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයෙකු තමන්ට බලපෑම් කළ බව එහිදී ඔහු කොමිසම හමුවේ සඳහන් කළේය.

එසේම 2015 වර්ෂයේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමග ආරක්ෂක අමාත්‍යශයේ සහ ගාල්ල මහේස්ත්‍රාත්වරයාගේ උපදෙස් නොසලකා හරිමින් ඇවන්ගාඩ් සමාගමට අයත් “එම්.වී. මහනුවර පාවෙන අවි ගබඩාව ” නාවික හමුදා භාරයට ගත් බවයි.

කෙසේ වෙතත් නිත්‍යානුකූල නොවන බව සදහන් කරමින් නාවික හමුදා භාරයට ගත් අදාළ නෞකාව ඉන් පසුවද ඉකුත් යහපාලන ආණ්ඩුව විසින් පෙර පැවති තත්ත්වයෙන්ම ඉදිරියට ගෙන ගිය බව නිශ්ශංක සේනාධිපති මහතා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ කාල පරාසය තුළ එවකට සම කැබිනට් ප්‍රකාශව සිටි රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ඇවන්ගාඩ් සමාගම විවේචනය කළ බවත්, අවිගබඩාව සිය භාරයට ගත් එවකට ගාල්ල දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.සී.ඩී. ගුණවර්ධන සමග හිටපු අමාත්‍යවරයා විමර්ශන සම්බන්ධයෙන් සෘජු සාකච්ඡා වල නිරත වී ඇති බවත් ඔහු කොමිසම හමුවේ කියා සිටියේය.

එසේම හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීමට උපකාර කළහොත් තමන්ව සියලු නෛතික ක්‍රියාමාර්ග වලින් නිදහස් කරන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයෙකු තමන්ට පැවසු බවද සේනාධිපති මහතා කොමිසම හමුවේ අනාවරණය කළේය.

එවකට නාවික හමුදාපතිව සිටි රවින්ද්‍ර විජේගුණරත්න විසින් ඉහළ තනතුරු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් 2015.12.31 වන දින තමන් ඝාතනය කිරීමට මිලිමිටර් 9 පිස්තෝල සහිතව පුද්ගලයින් දෙදෙනෙකු එවා තිබු බව කොමිසම හමුවේ අනාවරණය කළ නිශ්ශංක සේනාධිපති මහතා වැඩිදුරත් සදහන් කළේ එම සිදුවීමටද රාජිත සේනාරත්න මහතා සෘජුවම සම්බන්ධ බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සී.සී.ටී.වී කැමරා දර්ශන සහිතව තමන් මිරිහාන පොලීසියට පැමිණිල්ලක් කළද අද (01) දක්වා කිසිදු විමර්ශනයක් සිදු වී නැතැයිද ඔහු පෙන්වා දුන්නේය.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම ඇවන්ගාඩ් ගනුදෙනු වලට අදාළව තමන් සම්බන්ධයෙන් සිදුකළ මුල් පරික්ෂණයෙන් තමාව නිදොස් කළද පසුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ බලපෑම මත එවකට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ විසින් යළි පරික්ෂණයක් ආරම්භ කළ බව ඒ මහතා පැවසුවේය.

එහිදි හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 200 ක මුදලක් ගෝනියක දමා දුන් බවට දිවුරුම් ප්‍රකාශයක් දෙන්නේ නම් තමාව සියලු නඩුවලින් නිදහස් කරන බව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ මෙහෙයවීම මත විමර්ශන නිලධාරියෙක් තමන්ට පැවසුවේ යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පසු අවස්ථාවක තමන් අමතා සමාව ඉල්ලමින් දේශපාලන බලපෑම් නොවන්නට තමන් කිසිදිනක එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂට හෝ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට විරුද්ධව නඩු පවරන්නේ නැතැයිද වික්‍රමසිංහ මහත්මිය සදහන් කළ බව නිශ්ශංක සේනාධිපති මහතා අනාවරණය කළේය.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද තමන් කැඳවා, කාලකන්නි දේශපාලඥයින් ඔහුව බිත්තියට හේත්තු කළ බව පවසමින් නැවතත් ඇවන්ගාඩ් සමාගම සමග ගිවිසුමකට එළඹෙන ලෙස රජයට දැනුම්දුන් බවයි.

***************************************

වැසිකිලි වළ පුපුරාගොස් 13 හැවිරිදි දැරියකගේ දිවි අහිමි වූ දෙල්ගොඩ ඛේදවාචකය

(01.06.2020 – 20:40 +0530 – hirunews.lk/sinhala)

නිවසේ වැසිකිලි වළේ දුඟද වැළැක්වීමට නොසැලකිලිමත් ලෙස කාබයිට් දැමීමෙන් පසු ඇති වූ පිපිරීමකින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වූ පුවතක් අපට දෙල්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පොලීසිය සඳහන් කළේ පිපිරීමෙන් ඇයගේ මව බරපතළ තුවාල ලබා ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

කඩවත – දෙල්ගොඩ ඉසිකිලිකන්ද ප්‍රදේශයේ පිහිටි මෙම නිවස පිටුපස ඇති වැසිකිළිවල මීයන් හෑරීම නිසා දින කිහිපයක සිට දුගඳ හමමින් තිබූ බවත් එම දුගඳ නැති කිරීම සදහා ඊට කාබයිට් යොදා තිබුණේ පියා විසින්.

ඒ වන විට පුංචි තක්ෂිලා වැසිකිලිවලට යොදා තිබූ කොන්ක්‍රීට් ලෑල්ල මත සෙල්ලම් කරමින් සිට ඇති අතර පියා විසින් වැසිකිළිවලට යෙදූ කාබයිට් ක්ෂණිකව පුපුරායාමෙන් ඇය එම වළ තුළට වැටී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

පිපිරීමෙන් නිවසටද හානි සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලීසිය පරීක්ෂණ සිදුකරනවා.

***************************************

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි – සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා

(01.06.2020 – 22:36 +0530 – hirunews.lk/sinhala)

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර ගනිමින් කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථක මට්ටමේ පවතින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා චෝදනා කරනවා.

***************************************

ගල්කිස්සේ පිරවූ වෙරළ තීරය අසාර්ථක ව්‍යාපෘතියක් නොවේ – වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව

(01.06.2020 – 20:23 +0530 – hirunews.lk/sinhala)

ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු දෙස් විදෙස් සංචාරකයින් අතර බොහෝ සෙයින් ජනප්‍රිය ගල්කිස්ස වෙරළ තීරයේ ඛාදනය (මූදු කෑම) අවම කර ගැනීම සඳහා රුපියල් මිලියන ගණනක වියදමින් ඉදිකළ කෘත්‍රිම වැලිපෝෂණ ව්‍යාපෘතිය අසාර්ථක නොවන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය දින කිහිපය තුළම හිරු ප්‍රවෘත්ති අංශය ඒ පිළිබඳව සොයා බැලීමක් සිදුකළ අතර එහිදී දැක ගත හැකි වූයේ ඉදිකළ කෘත්‍රිම වැලිපෝෂක මුහුදු ඛාදනයට (මූදු කෑමට) ලක්ව ඇති බවයි.

ගල්කිස්ස කෘත්‍රිම වැලිපෝෂණ ව්‍යාපෘතිය පසුගිය අප්‍රේල් මස 16 වනදා ආරම්භ වූ අතර, අප්‍රේල් 22 වනදා එය නිමාවට පත් වුණා.

රත්මලාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 6 ක් ඈතින් පිහිටි වැලි නිධියකින් ගල්කිස්ස වෙරළ තීරයට වැලි මීටර් කියුබ් එක්ලක්ෂ 50,000 ක් පමණ පොම්ප කිරීම සිදුවූයේ ඒ අනුවයි.

ඒ සඳහා රුපියල් කෝටි 89 ක් වැය වී ඇති බව ද සඳහන්.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ද මේ පිළිබඳව අදහස් පළ වූ අතර එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේ මෙම ක්‍රියාවලිය නිසි නීතිමය පටිපාටියකට අනුව සිදුව ඇත්දැයි සොයා බලන බවයි.

+++++++++++++++++++++

***************************************

පළගැටි උවදුර තවදුරටත් පැතිරේ

(01.06.2020 – 19:14 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – මාවතගමින් පසුගිය දා වාර්තා වූ පළගැටි විශේෂය එහි තවත් ග්‍රාම සේවා වසම් කිහිපයක මේ වනවිට වාර්තා වන බව කෘෂිකර්ම බලධාරීන් පවසනවා.

මාවතගම – ෆ්‍රැන්සිස්කා වත්ත ප්‍රදේශයෙන් මෙම පළගැටි විශේෂය පළමු වරට හඳුනා ගැනුණු අතර, ඊයේ (31) දිනයේදී ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් ද එම ප්‍රදේශයට පැමිණ තිබුණා.

අදාළ පළගැටි විශේෂය මෙතෙක් නිශ්චිත හඳුනාගෙන නොමැති අතර, එම සත්ත්වයින් මඤ්ඤොක්කා, පොල්, බඩඉරිඟු, කෙසෙල්, කෝපි, අඹ ඇතුළු වගාවන් රැසකට හානි සිදුකර තිබූ බවයි අධ්‍යයන වලින් අනාවරණ වී ඇත්තේ.

පිටෙහි කහ පැහැති ඉරි සහිත මෙම පළගැටියන් ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකින් වාර්තා වූ පළගැටි විශේෂයට සමාන ද යන්න සෙවීම සඳහා මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, අද දිනයේදී පළාත් කෘෂිකර්ම බලධාරීන් පළගැටි විශේෂය සිටින ස්ථානය හඳුනාගෙන මර්දනය කිරීම සඳහා පළිබෝධනාශක ඉසීම සිදුකළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවට එක්වෙමින් වයඹ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබලිව්.ඒ. සීලරතන මහතා ප්‍රකාශ කළේ මෙම පළගැටියන් විදෙස් රටකින් පැමිණි විශේෂයක් නොවන බවයි.

භෝග වගාවට අමතරව විශාල ගස් මත ද මෙම පළගැටියන් දක්නට ලැබෙන බවයි මාවතගම ප්‍රාදේශීය ලේකම් ස්වර්ණා එදිරිසිංහ මහත්මිය ප්‍රකාශ කළේ.

පසුගිය කාලසීමාව තුළ ද බඩඉරිඟුවලට හානි කරන ‘සේනා’ නැමති දළඹු විශේෂයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණා.

කුරුණෑගල – මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ පළගැටි විශේෂය මේ වන විට තවත් ප්‍රදේශ කිහිපයකට පැතිර ගොස් තිබෙන බව වාර්තා වනවා.

මේ අතර පොලොන්නරුව – වැලිකන්ද ප්‍රදේශයෙන් තවත් වගා හානිකරන සමනල විශේෂයක් ගැන තොරතුරු වාර්තා වුණා.

කුරුණෑගල – මාවතගම ප්‍රදේශයේ වගාබිම් වලට හානි කරන පළඟැටි විශේෂයක් පිළිබඳව පසුගියදා අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ කළා.

ඒ අප්‍රිකානු රටවල සහ උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම කාන්තාර පළඟැටි විශේෂයක් ව්‍යාප්ත වෙමින් තිබූ පසුබිමකයි.

නමුත් එම පළඟැටි විශේෂය මෙරට සත්ව විශේෂයක ව්‍යාප්තියක් බවයි කෘෂි නිලධාරීන් සඳහන් කළේ.

කෙසේවෙතත් අද වන විට මාවනැල්ල – අත්නගොඩ ප්‍රදේශය පුරාද මෙම පළඟැටි උවදුර පැතිර ගොස් තිබෙන බව වාර්තා වුණා.

***************************************

පාඨලී චම්පික සම්බන්ධ රාජගිරියේ රිය අනතුරට වැලිකඩ හිටපු OIC අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් දැනුම්දීමක්

(01.06.2020 – 16:17 +0530 – hirunews.lk/sinhala)

පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රිය අනතුරට අදාළ නඩුවේදී සිදුකර ඇති වැරදි මත වැලිකඩ හිටපු ස්ථානාධිපති සහකාර පොලිස් අධිකරී සුදත් අස්මඩල මහතා වරෙන්තු ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළා.

රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න (නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී) :

“මෙම සිද්ධියට අදාළ රිය අනතුර සිදුකරන ලද්දේ පාඨලී චම්පික විසින් බවට ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙකු විසින් අනතුරෙන් සුළු මොහොතකට පසුව වැලිකඩ පොලිස් ස්ථානයට ප්‍රකාශ ලබාදෙන අවස්ථාවේදී අනතුර සිදුකළේ පාඨලී චම්පික විසින් බව එකී ප්‍රකාශයේ සටහන් නොකරන ලෙසට සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල විසින් ස්ථානාධිපති, රථවාහන පොලිස් පරීක්ෂක පෙරේරා වෙත උපදෙස් ලබාදී ඇති බවද විමර්ශනයේදී අනාවරණය විය. පොලිස් පරීක්ෂක පෙරේරා විසින් පොලිස් කොස්තාපල් සුරේෂ් සහ පොලිස් කොස්තාපල් ලක්මාල් වෙත උපදෙස් ලබාදී ඇත්තේ අනතුර සිදුකළේ පාඨලී චම්පික විසින් බව එකී ප්‍රකාශයේ සටහන් නොකරන ලෙසට සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල විසින් ස්ථානාධිපති රථවාහන පොලිස් පරීක්ෂක පෙරේරා වෙත උපදෙස් ලබාදී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඒ අනුව පොලිස් පරීක්ෂක පෙරේරා විසින් පොලිස් කොස්තාපල් සුරේෂ් සහ පොලිස් කොස්තාපල් ලක්මාල් වෙත උපදෙස් ලබාදී ඇත්තේ අනතුර සිදුකර ඇත්තේ පාඨලී චම්පික විසින් බව ප්‍රකාශයේ සටහන් නොකරන ලෙසටය. මේ අනුව මුල් අවස්ථාවේදීම රිය අනතුර සිදුකළ පුද්ගලයා වූ පාඨලී චම්පික යන අය සම්බන්ධව තොරතුරු කරුණු සහ සාක්ෂි වසන් කිරීමට සහකාර පොලිස් අධිකාරී අස්මඩල ක්‍රියාකර ඇත. ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනා විසින් 2016-04-20 වන දින වැලිකඩ පොලිස් ස්ථානය වෙත නැවත ප්‍රකාශයක් ලබාදෙමින් රිය අනතුර සිදුකළේ පාඨලී චම්පික විසින් බව පැහැදිලිවම සඳහන් කර තිබියදී සහකාර පොලිස් අධිකාරී අස්මඩල විසින් ඒ පිළිබඳ කිසිදු කරුණක් 2016-04-27 වන දින මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට ඔහු විසින් කරුණු දක්වන අවස්ථාවේදී ප්‍රකාශ කර නැත. ඒ අනුව සහකාර පොලිස් අධිකාරි අස්මඩල විසින් සිද්ධියට අදාළ සාක්ෂි සහ කරුණු මහේස්ත්‍රාත්වරයාගෙන් වසන් කිරීමට කටයුතු කර ඇති බවට අනාවරණය වී ඇත. මෙම රිය අනතුරට අදාළ විමර්ශන වෙනත් නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් සිදුකරමින් තිබූ අවස්ථාවක සහකාර පොලිස් අධිකාරි අස්මඩල විසින් විමර්ශන අවසන් නොවී තිබූ අවස්ථාවක හදිසියේම 2017-01-04 දින දිලුම් තුසිත කුමාර යන අයට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරමින් පාඨලී චම්පික යන අය චෝදනාවකින් සහ වරදකරු වීමෙන් වසන්කිරීමට කටයුතු කර ඇති බවද විමර්ශනයේ අනාවරණය වී ඇත. මෙම කරුණු අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 190, 198 සහ 215 වගන්තීන් යටතේ වන වැරදි සහකාර පොලිස් අධිකාරි අස්මඩල විසින් සිදුකර ඇති බව පැහැදිලිවන අතර මෙම නඩුවේ සැකකරුවන්වන පාඨලී චම්පික සහ දිලුම් තුසිත කුමාර යන අය සමඟ එකී වරද කිරීම සදහා කුමන්ත්‍රණය කර ඇති බවද අනාවරණය වී ඇත.”

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අයත් ජීප් රථයක් රාජගිරිය ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් සන්දීප් සම්පත් නැමති තරුණයෙකු බරපතළ තුවාල ලැබුවේ 2016 වසරේ පෙබරවාරි 28 වැනිදායි.

එම අවස්ථාවේදී ජීප් රථය පැදවූ රියදුරා ලෙස පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරෙකු වූ දිලුම් තුසිත කුමාර නැමැත්තා පොලිසියට ඉදිරිපත් වූ අතර පසුව ඔහුට ඇප හිමිවී තිබුණා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කළ කොළඹ අපරාධ කොට්ඨාසය දිලුම් තුසිත කුමාර නැමැත්තාගෙන් යළි ප්‍රකාශ ලබාගෙන තිබුණා.

ඒ, පසුගිය දෙසැම්බර් 14 වැනිදා එම සැකකරු අධිකරණයට භාරවීමෙන් අනතුරුවයි.

අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කරමින් සදහන් කර තිබුණේ සැකකරු මුල් අවස්ථාවේදී දුන් ප්‍රකාශය අනුව රිය අනතුර සිදුවන විට තමා ජීප් රථය පැදවූ බවට ප්‍රකාශ කර තිබුණද, පසුගිය ජනවාරි 4 වැනිදා ලබාදුන් ප්‍රකාශ අනුව එම මුල් ප්‍රකාශ අසත්‍ය බව සැකකරු විසින් සඳහන් කළ බවයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය වසරේ දෙසැම්බර් 18 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ අනතුරින් පසු රියදුරු මාරු කර පලා යාම යන චෝදනා යටතේයි.

එවක වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ මෙම සිදුවීමට අදාළව සාක්ෂි වසන් කිරීමේ චෝදනා යටතේයි ෴

+++++++++++++++++++++

චම්පිකගේ රිය අනතුරේ වැලිකඩ හිටපු OIC අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ගැන, නියෝගය හෙට (03)

(02.06.2020 – 12:50 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරී, සුදත් අස්මඩල අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කිරීම ගැන තීන්දුව හෙට (03) ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා අද (02) තීරණය කළා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය සහ නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (02) සිදුකළ ඉල්ලීමකට අනුවයි.

මෝසමක් ගොනු කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය සහ නීතිපති දෙපාර්තමේන්තුව අද (02) මෙම ඉල්ලීම සිදුකළ බව හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළා.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සම්බන්ධ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරී, සුදත් අස්මඩල අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයා මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දී තිබුණේ ෴

***************************************

සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු රැගත් ගුවන්යානයක් දිවයිනට

(02.06.2020 – 16:34 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු අද (02) පස්වරුවේ දිවයිනට පැමිණියා.

ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින්. ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම මේ වනවිට සිදු කෙරෙන බව කටුනායක ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළා.

මීට අමතරව ලබන සෙනසුරාදා (06) ද එක්සත් රාජධානියේ රැදී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට රැගෙන ඒමට නියමිතයි ෴

***************************************

රතු මිනිත්තුව : උඩවලව – දිග්ගල පාලමක් නැති මිනිසුන්ගේ කදුළු කතාව

(02.06.2020 – 14:12 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩවලව – දිග්ගල – මලබොටු ආර ඇල හරහා සමෘධි විශේෂ ව්‍යාපෘති යටතේ 2006 වසරේ දී පාලමක් ඉදි කර තිබෙනවා.

අඩි 40 ක් දිග අඩි 15 ක් පළල මෙම පාලම අධික වර්ෂාවත් සමඟ විනාශ වී ගොස් ඇති අතර ඒ හේතුවෙන් දිග්ගල ප්‍රදේශයේ ගොවි පවුල් 100 කට වැඩි පිරිසක් සිය ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීමේදී දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා.

ඔවුන් පවසන්නේ සිය කෘෂි නිෂ්පාදන වෙළඳ පොළට ගෙනයාම මෙන්ම දරුවන් පාසල් වෙත යැවීම හා රෝගීන් රෝහල් වෙත රැගෙන යාමේදී ද තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.

***************************************

නොමිනිස් කමට මනුෂත්වයෙන් පිළිතුරු දුන් හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම (21.05.2020)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *