මහ මැතිවරණයේ දී දේශපාලන වැඩ එපා – ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි

(08.06.2020 – sinhala.news.lk)

රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුට හෝ වෙනත් නිලධාරියකුට හෝ යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනයෙහි නිරතවීමට අවශ්‍ය නම් නීත්‍යානුකූලව සිය තනතුරෙන් ඉවත්ව එසේ කළ හැකි බව එතුමා තවදුරටත් කියා සිටී.

රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් රජය වෙනුවෙන් දේශපාලනය කළයුතු යැයි ජනාධිපතිතුමා කිසිවිටෙකත් අපේක්ෂා කරන්නේ නැත. ඔවුන් කළයුත්තේ තමන් භාරගත් ආයතනය කාර්යක්ෂම, දූෂණයෙන් තොර, ඵලදායී, විනයගරුක සහ ලාබ උපයන ආයතන බවට දියුණු කිරීමය. රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ මහජන මුදලිනි. එබැවින් ඒවා කිසිදු ලෙසකින් මහජනතාවට බරක් නොවිය යුතුය.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සතු වාහන, උපකරණ වැනි භෞතික සම්පත් හෝ මූල්‍ය සම්පත් හෝ එළැඹෙන මහ මැතිවරණයේ දී කවර පක්ෂයක හෝ දේශපාලන වැඩට භාවිතා නොකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

මේ නියමයන් කඩ කරන රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට හා නිලධාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනු ලැබේ.

පටු දේශපාලන අරමුණුවලින් බැහැරව ශක්තිමත් රාජ්‍යයක්, දියුණු ආර්ථිකයක්, සාධාරණ සමාජයක් සහ ජනහිතකාමී දේශපාලන සංස්කෘතියක් ස්ථාපනය කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය අධිෂ්ඨාන සහගතව කැපවි සිටි. මේ අරමුණු සපුරා ගැනීම පිණිස රාජ්‍ය ආයතනවල, ඒවායේ ප්‍රධානීන් සහ නිලධාරීන් ප්‍රමුඛ සේවකයන්ගේ පූර්ණ සහයෝගය එතුමා අපේක්ෂා කරයි ෴

***************************************

ශ්‍රී ලංකාවේ ප්‍රථම හා විශාලතම තාක්ෂණ පිඨය සිසු අයිතියට පත්කෙරේ

(08.06.2020 – 19:21 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් රුපියල් බිලියන 3 වැය කරමින් ඉදි කල ශ්‍රී ලංකාවේ ප්‍රථම හා විශාලතම තාක්ෂණ පිඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨය අද (08) දින සිසු අයිතියට පත්කෙරුනා.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

නව තාක්ෂණික පිඨය විවෘත කිරීමට සමගාමීව විශේෂ සමරු මුද්දරයක් නිකුත් කල අතර එහි මුල් දින කවරය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අගමැතිවරයාට සහ කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමග්‍රී ධර්ම සභාවේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේකුලපති පුජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්ම්ලංකාර නාහිමියන්ට පිළිගන්වනු ලැබුවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

අතුරුගිරිය, මිලේනියම් සිටි, ඔරුවල සහ පෝරේ ප්‍රදේශවලට හෙට පැය 24 ක ජල කප්පාදුවක්

(08.06.2020 – 18:53 +0530 – hirunews.lk/sinhala)

හෙට (09) උදෑසන 8 සිට පැය 24 ක කාලයක් සඳහා අතුරුගිරිය, මිලේනියම් සිටි, ඔරුවල සහ පෝරේ ප්‍රදේශ සඳහා ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ප්‍රකාශ කළා ෴

***************************************

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1849 දක්වා ඉහළට

(08.06.2020 – 18:18 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 07 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1849 දක්වා ඉහළගොස් තිබෙනවා.

මෙම ආසාදිතයන්ගෙන් 4 දෙනෙකු චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර තිදෙනෙකු (3) නාවික හමුදා සාමාජිකයන් බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ ෴

***************************************

මෙරට සිටින විදේශිකයන්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය ජුලි මස 11 වනදා දක්වා දීර්ඝ කෙරේ

(08.06.2020 – 17:03 +0530 – hirunews.lk/sinhala)

දැනට දිවයිනේ සිටින සියළුම විදේශිකයන් හට ඔවුන්ගේ වීසා බලපත්‍ර විධිමත් කර ගැනීම සඳහා ලබාදී තිබූ කාලය මේ මස 11 වන දා සිට ලබන ජුලි මස 11 වන දා දක්වා තවත් දින 30 කින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ බොහෝ රටවල ගුවන් තොටුපළ තවදුරටත් වසා තැබීම හේතුවෙන් දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන් රැසකට මෙතෙක් මෙරටින් පිටව යාමට නොහැකිවීම ඊට හේතුවයි.

වීසා බලපත්‍ර වලංගු කාලය විධිමත් කරගැනීම සඳහා මේ මස 11 වන දා දක්වා කාලය ලබාදී තිබූ නමුදු ඔවුන් බොහොමයකට ඒ සඳහා අවස්ථාව නොලැබී ගොස් ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

***************************************

ඡන්ද දිනය මේ සතියේ, මනාප අංක ගැසට් නිවේදනය හෙට (09)

(08.06.2020 – 16:33 +0530 – hirunews.lk/sinhala)

මහමැතිවරණය පැවැත්වෙන දිනය මේ සතිය ඇතුළත දී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

මැතිවරණ දිනය සහ ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් අද (08) පැවති සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ මැතිවරණ දිනය ඇතුළත් ගැසට් නිවේදනය ලබන 10 වන දා, 11 වන දා හෝ 12 වන දා නිකුත් කරන බවයි.

කෙසේ වෙතත්, අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය හෙට (09) දිනයේදී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ එහි සාමාජිකයින් අතර පෙරවරු 11 ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව පැය 5 ක පමණ කාලයක් පැවතුණා.

ඊට කොමිසමේ සාමාජිකයින්ට අමතරව අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස්, මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල්. රත්නායක සහ එම කොමිසමේ ලේකම් එච්.එම්.ටී.ඩී. හේරත් යන මහත්වරුද එක්ව සිටියා.

පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු මැතිවරණ කොමිසමේ සාමාජිකයින් රැස්වූ පළමු අවස්ථාව ද මෙයයි.

එමෙන්ම, සෞඛ්‍ය අංශ ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව ලබන සති අන්තයේ සියළුම දිස්ත්‍රික්කවල පෙරහුරු මැතිවරණ පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බවයි අද (08) පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියේ ෴

***************************************

පොලිසියෙන් සතුන්ට ලැබුණු සංග්‍රහය

(08.06.2020 – 14:38 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව ගල්විහාර පූජා භූමිය ආශ්‍රිත සැරිසරන සුනඛයන්ට සහ රිලවුන්ට ආහාර සහ ජලය ලබා දීමට පොලීසිය වනජීවී නිලධාරීන් හා එක්ව මෙලෙස කටයුතු කළා.

***************************************

වල් වැදෙන රත්නපුර රජයේ කාර්යාල දෙක

(08.06.2020 – 14:26 +0530 – hirunews.lk/sinhala)

2017 වසරේ රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය සහ වන සංරක්ෂණ කාර්යාලය ලෙස ආරම්භ කළ මෙම ගොඩනැගිලි ද්විත්වයට අද අත්ව ඇති ඉරණමයි මේ.

අධික වැසි සහිත කාලගුණයක් පැවැති අවස්ථාවක ඉහළින් පිහිටි ගල් කිහිපයක් අදාළ ගොඩනැගිලි ආසන්නයට පතිතවීමත් සමඟ මෙම කාර්යාල ඉවත් කර ගැනීමට බලධාරීන් පියවර ගෙන තිබුණේ ආරක්ෂාව හේතුකොට ගනිමින්.

කෙසේ වුවත් ගම්වැසියන් පවසන්නේ අදාළ ගොඩනැගිලි ආසන්නයේ ජනතාව ද විශාල වශයෙන් පදිංචිව සිටින බවයි.

අදාළ ගොඩනැගිලි පිහිටා ඇති ස්ථානයට ආසන්නයේ ප්‍රදේශයේ ප්‍රධාන පාසල් කිහිපයක් පිහිටා ඇති අතර හුදෙකලාවට ලක්ව ඇති ගොඩනැගිලි තුළ විවිධ අපචාර ක්‍රියා සිදුවන බවට ගම්වැසියන් චෝදනා කරනවා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය අදාළ ස්ථානයට පැමිණ ගොඩනැගිලි සඳහා ගත යුතු ආරක්ෂිත පියවර පිළිබඳ දැනුම්වත් කර තිබෙන පසුබිමක මෙම රාජ්‍ය දේපළ වසර ගණනාවක සිට භාවිතයට නොගෙන අතහැර දමා තිබෙනවා.

***************************************

මුතුපන්තියේ මුහුදු ඛාදනය (මූදු කෑම)

(08.06.2020 – 14:17 +0530 – hirunews.lk/sinhala)

මුතුපන්තිය දූපත මේ වන විට දරුණු ලෙස මුහුදු ඛාදනයට ලක්ව තිබෙනවා.

මේ මුහුදින් හා කලපුවෙන් වටවූ මුතු පන්තිය දූපතයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මුතුපන්තිය දූපතේ පවුල් 135 ක පුද්ගලයින් 500 කට ආසන්න පිරිසක් ජීවත් වනවා.

දශකයකට ආසන්න කාලයක් තුළදී මුතුපන්තිය දූපත අවස්ථා ගණනාවක් දරුණු ලෙස මුහුදු ඛාදනයට ලක්ව ඇති අතර එය වළක්වා ගැනීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණ ද එම කටයුතු අවසන් නොකිරීම හේතුවෙන් නැවතත් මෙම දූපත වෙරළ ඛාදනයට ලක්වෙමින් පවතින්නේ මෙලෙසින්.

මුතුපන්තිය දූපතේ සිදු වන වෙරළ ඛාදනය බලධාරීන්ගේ නිසි අවධානයට ලක් නොවීම හේතුවෙන් එම ප්‍රදේශයේ ධීවරයින් පත්ව ඇත්තේ දැඩි අසිරුතාවයකටයි.

***************************************

විනිසුරු පිලපිටියගේ නඩුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාග කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

(08.06.2020 – 14:14 +0530 – hirunews.lk/sinhala)

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ නඩුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාග කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා ෴

***************************************

‘හිරු රතු මිනිත්තුව’ ඵල දරා නාමල් ඔය පාලමේ වැඩ ඇරඹේ

(08.06.2020 – 13:57 +0530 – hirunews.lk/sinhala)

වසර 8 ක් පුරා බලාපොරොත්තුවේ සිහින දුටු ජනතාවකගේ එම සිහිනය යථාර්ථයක් බවට පත්වූ පුවතක් පිළිබඳ හිරුට වාර්තා වුණා.

ඒ ඉදිකිරීම් ඇණහිට තිබූ අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්ක යා කරන පාලමේ වැඩකටයුතු හිරු රතු මිනිත්තුව අනාවරණ හරහා යළි ආරම්භ කිරීමට බලධාරීන් පියවර ගැනීමත් සමඟයි.

අම්පාර දිස්ත්‍රික්කය සහ මොනරාගල දිස්ත්‍රික්කය යා කරමින් නාමල් ඔය හරහා මෙම පාලමේ ඉදි කිරීමේ කටයුතු මීට වසර 8 කට පෙර ආරම්භ කෙරුණද එය නිම කිරීමට මේ දක්වා හැකියාවක් ලැබී තිබුණේ නැහැ.

පාලම මතින් සිය දෛනිකව කටයුතු ඉටු කර ගැනීමට ගමන්ගන්නා ගම්වැසියන් මේ හේතුවෙන් පත්ව තිබුණේ දැඩි අසීරුතාවකටයි.

***************************************

බෝරා මුස්ලිම් නායකයා ඇතුළු පිරිස කොරෝනාවෙන් බේරෙන්න ලංකාවට එයි

(08.06.2020 – colombotoday.com)

ඉන්දියාවේ කොවිඩ්-19 වසංගතය සමනය වනතුරු ‘ඩාවුඩ් බෝරා ප්‍රජාවේ’ ආධ්‍යාත්මික ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයන් හතළිස් පස්දෙනකුට (45) මෙරටට පැමිණ රැඳී සිටීම සඳහා අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකාව අනුමැතිය ලබාදී ඇත.

ශ්‍රී ලංකා පාර්ශ්වය සමග මේ පිළිබඳව කරන ලද සාකච්ඡාවකින් අනතුරුව ඒ සඳහා එම පිරිසට විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇති බවත් ඔවුන් අදාළ කාලයේදී ශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ නවාතැන් ගැනීමේ සූදානමින් පසුවන බවත් පැවසේ.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේගෙන් මාද්‍ය වේදීන් කල විමසීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එවැනි ඉල්ලීමකට රජය අවසර ලබාදී ඇති බවයි.

“බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායකයා සහ අනුගාමිකයන් හතළිස්පහක පිරිසක් ලංකාවට එන්න අවසර ඉල්ලා තිබෙනවා. ඒ නායකයන්ට සලකන්නේ රටක නායකයෙක් විදිහට. ඔවුන්ගේ නිවාඩු නිකේතනයක් බණ්ඩාරවෙල තියෙනවා. එතනට එන්න අවසර ඉල්ලා තියෙනවා. අපි ඒකට අවසර ලබාදීල තිබෙනවා.”

මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ කොවිඩ්-19 වයිරසය වැළැක්වීම සම්බන්ධයෙන් රජයෙන් පනවා ඇති සියලු මාර්ගෝපදේශයන්ට අනුකූලව බවද අතිරේක ලේකම්වරයා පැවසීය.

“ඒගොල්ලෝ දැනට ඉන්නේ මුම්බායිවල. එහෙන් පිටත්වෙන්න පැය හතළිස් අටකට කලින් පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කරලා වාර්තාවක් ගන්න කියලා අපි ඔවුන්ට උපදෙසා ලබාදුන්නා. එතකොට අපි දන්නවා ඒ දවස් දෙක ඇතුළත ඔවුන්ට වයිරසය ආසාදනය වෙලා නැහැ කියලා. ඊට පස්සේ අපි කෙළින්ම ඔවුන්ව ඔවුන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයට (බණ්ඩාරවෙල) යවනවා. එතන ඔවුන් නිරෝධානය වෙන්නේ යුද්ධ හමුදාවේ අධීක්ෂණය යටතේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව. නිවාඩු නිකේතනයක් කියල ඔවුන්ට කැමති විදිහට එතන ඉන්න බැහැ.

නිරෝධායන කාලය අවසන් වෙන්න කලින් නැවත වතාවක් ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකළ යුතුයි. ඒක අපි ඔවුන්ට සූදානම් කර දෙනවා. එතන කාර්යමණ්ඩලයටත් අපි උපදෙස් ලබාදීල තියෙනවා සියලුම ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුයි කියලා. ඒ අනුව ඒ නිවාඩු නිකේතනයේ සේවක පිරිසක් පෞද්ගලික ආරක්ෂක උපකරණවලින් සැරසිලා තමයි අදාළ සේවා සපයන්නෙ.”

කෙසේ වෙතත් මෙම පැමිණීමට මෙතෙක් දිනනියමවී නොමැති බවත්, ඔවුන් මෙරට රැඳී සිටින කාලය පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් නොමැති බවත් අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත ෴

+++++++++++++++++++++

***************************************

මැතිවරණ කොමිසද ව්‍යවස්ථාව කඩයි.. රට අරාජික කිරීමේ කුමන්ත‍්‍රණයක..

(09.06.2020 – 03:32 +0530 – lankacnews.com)

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

සාමාන්‍යයෙන් මැතිවරණයකට නාමයෝජනා භාර ගැනීම අවසන් වී දින තුනක් ඇතුලත එක් එක් අපේක්ෂකයාගේ මනාප අංකය ප්‍රසිද්ධ කිරීම මෙතෙක් මැතිවරණ කොමිසම විසින් අනුගමනය කළ පිලිවෙතයි. පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම 2020 මාර්තු 19 දින අවසන් වුවත් එයින් මාස තුනකට ආසන්න කාලයක් ගත වී තිබිය දී තවමත් අපේක්ෂකයින්ගේ මනාප අංක කොමිසම විසින් ප්‍රසිද්ධ කරලා නෑ.

මැතිවරණය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළ විපක්ෂ දේශපාලකයෝ 2020 මැයි 20 දින ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් මැතිවරණ කොමිසම විසින් මැයි 21 දින මනාප අංක ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන හෙයින් මැතිවරණ ඉදිරි කටයුතු වලක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය සුපුරුදු ලෙස තම කටයුතු කරන මෙන් මැතිවරණ කොමිසමට දැනුම් දුන්නා. නාමයෝජනා භාර ගැනීමේ නීත්‍යානුකූලත්වය පිළිබඳ නීතිපතිගේ මතය විමසූ අවස්ථාවේ දී නීතිපති පැවසුවේ පවතින ක්‍රියා පටිපාටිය අනුව කටයුතු කරන මෙන්. ඒ නිසා මැතිවරණ කොමිසම විසින් මනාප අංක ප්‍රසිද්ධ කිරීම ඇතුළු මැතිවරණයට අදාළ සිය රාජකාරි කටයුතු මාස තුනකට ආසන්න කාලයක් නවතා දමා තිබුණේ කිසිම සාධාරණ හේතුවක් නොමැතිවයි.

2020 මැයි 27 දින මැතිවරණ කොමිසම විසින් මැතිවරණයට අදාළ ලියැවිලි මුද්‍රණය සඳහා ආණ්ඩුවේ මුද්‍රණාලයට යැව්වත් ඒවා ප්‍රමාද කර මුද්‍රණය කරන මෙන් මැතිවරණ කොමිසම විසින් වාචිකව උපදෙස් දී ඇති බැවින් මුද්‍රණ කටයුතු සිදු වන්නේ මන්දගාමිව බව ආණ්ඩුවේ මුද්‍රණාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වෘත්තීය සමිතිය චෝදනා කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103 වගන්තිය යටතේ මැතිවරණය සාධාරණව පැවැත්වීම මැතිවරණ කොමිසම සතු ව්‍යවස්ථාපිත වගකීමක්. මැතිවරණ කොමිසම එම වගකීම පැහැර හැරලා මැතිවරණය තව දුරටත් කල් දමා රට අරාජික කිරීමේ කුමන්ත්‍රණයක කොටස්කරුවන් වී ඇති බවට ජනතා මතයක් තිබෙනවා. එකී මුද්‍රණ කටයුතු යුහුසුළුව සිදු වන බවට වග බලා ගැනීම කොමිසමේ වගකීමක් බැව් අපි සිහිපත් කරනවා.

මේ කරුණු අඩංගු කරලා වහාම මනාප අංක ප්‍රසිද්ධ කරන ලෙසත් මැතිවරණයට ඉක්මන් දිනයක් නියම කරන ලෙසත් ඉල්ලා සිටිමින් අද (08) උදෑසන මැතිවරණ කොමිසම රැස්වන වෙලාවට පෙර ලැබෙන පරිදි මම ලිපියක් යැව්වා. මොකද මැතිවරණ නොපැවැත්වීම හරහා මේ රටේ ජනතා පරමාධිපත්‍යයට තමයි මැතිවරණ කොමිසම අභියෝග කරන්නේ. මැතිවරණ කොමිසම ද, මැතිවරණ නො පැවැත්වීමේ කොමිසම ද යන ප්‍රශ්නය අද සමාජයට මතුවී තිබෙනවා. මේ නිසා මැතිවරණ කොමිසම වහාම මනාප අංක ප්‍රසිද්ධ කිරීමටත් යුහුසුළුව හැකි ඉක්මනින් මැතිවරණ පැවැත්වීමටත් කටයුතු කළ යුතුයි. ‘අපට රජකාරි ගොඩක් කරන්නට තිබෙනවා. ඒ නිසා ඔය කියන ඉක්මනින් මැතිවරණය පවත්වන්න බෑ’යයි මැතිවරණ කොමිසමට කියන්න හැකියාවක් නැහැ. මොකද මාර්තු මස දෙවැනි දා තමයි ජනාධිපතිතුමා ගැසට් නිවේදනයකින් මෙම ඡන්දය ප්‍රකාශයට පත් කළේ. දැන් මාස තුනකට වැඩි කාලයක් මැතිවරණ කොමිසම නිදාගෙන ඉඳලා හදිසියේ නැගිටලා ‘මේ කියන ඉක්මනින් මැතිවරණ තියන්න බෑ’ කියන කතාව අපට පිළිගන්නට බැහැ. ඒ නිසා තවදුරටත් බොරු හේතු ඉදිරිපත් නොකර මේ රටේ ජනතාවගේ පරම අයිතිය වන ඡන්ද බලය පාවිච්චි කිරීමට ජනතාවට අවස්ථාව සලසා දෙන්න කියලා අප මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා.

ජනපතිගේ ධූර කාලයෙන් 10% ක් නාස්ති වුණා

ගෝඨාභය ජනාධිපතිතුමා පත් වුණේ මාස 60 කට. දැන් එතුමාගේ ධූර කාලයෙන් 10% ක් ඉවරයි. මැතිවරණ කල් දැමීම නිසා එතුමාට සහය දක්වන පාර්ලිමේන්තුවක් නොතිබීම නිසා එතුමාගේ ධූර කාලයෙන් 10% ක් නාස්ති වුණා. රටක් ගොඩ දාන්න පුළුවන් යුග පුරුෂයෙකු නායකයා කරලා එතුමාට වැඩක් කරන්න නොදී, ඒ සදහා පසුබිම හදන්නේ නැතුව බලා ඉන්න එක කෙතරම් අසාධාරණ ද? මේක හරියට අධිබලැති විදුලි පන්දමක් අතේ තියාගෙන ඒකට බැටරි දාන්නේ නැතුව අඳුරේ ඉන්නවා වගේ වැඩක්නෙ. ඒ නිසා ජනාධිපතිතුමාට බලාත්මක වෙලා මේ හැට නම ලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කරවීමට එතුමාට සහාය දෙන පාර්ලිමේන්තුවක් පත්කරගැනීමට ජනතාවට තිබෙන අයිතිය තවදුරටත් කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු නොකල යුතුයි කියන එක අප මැතිවරණ කොමිසමට සිහිපත් කරනවා.

ඇමෙරිකානු ගිවිසුම්වලට අපේ විරෝධය නිවැරදි බව ඇමෙරිකාව හැසිරීමෙන් පෙන්නුවා

අද ඇමෙරිකාව එකම මළ ගෙයක්. “මට හුස්ම ගන්න බෑ” කියමින් කෙඳිරි ගාපු ජෝජ් ෆ්ලොයිඩ්ගේ හඬ ඇමෙරිකානු ජනතාවගේ හඬ බවට පත් වෙලා සමස්ත ඇමෙරිකාව පුරා ලතෝනි දෙනවා. පසුගිය ආණ්ඩුවට ඇමෙරිකානු එක්සත් ජනපදය සමග සෝෆා ගිවිසුම අත්සන් කරන්නට එම්සීසී ගිවිසුම අත්සන් කරන්නට අපි ඉඩ දුන්නා නම් අද අපේ රටත් එකම මළ ගෙයක් නේද? එම්සීසී ගිවිසුමේ 6.8 වගන්තිය අනුව එහි නිලධාරින් ශ්‍රී ලංකාව තුල කරන කිසිම අපරාධයකට එරෙහිව නඩු පවරන්න දඬුවම් කරන්න බෑ. ඒ වගේම සෝෆා ගිවිසුමේ තුන් වන වගන්තිය අනුව ලංකාවට පැමිණෙන ඇමෙරිකානු හමුදාව රට තුල කුමන අපරාධ කළත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න බෑ.

මේ ගිවිසුම් අත්සන් කළා නම් රටට ගොඩ බහින්නේ ෆ්ලොයිඩ්ගේ ගෙල සිර කරපු, සාමකාමි උද්ඝෝෂකයින් තල්ලු කරලා බිමට ඇද දාපු, සාමකාමි උද්ඝෝෂණ මැදට වාහන ධාවනය කරපු ඇමෙරිකානුවන්. මේ ගිවිසුම් මගින් ඇමෙරිකානුවන් කරන අපරාධ වලට මුක්තියේ රැකවරණය ලබා ගෙන තිබෙන්නේ ඇයි? ඇමෙරිකානුවන් ලංකාවේ දී අපරාධ කිරීමට ඉඩ ඇති බවට ඔවුන් දන්නා නිසා. ජපානයේ පිලිපීනයේ දකුණු කොරියාවේ දැනටමත් අපරාධ කරමින් සිටින නිසා. මේ ගිවිසුම් නතර කිරීමට අප කටයුතු කිරීම නිවැරදි බව ඇමෙරිකානු නිලධාරින් ඇමෙරිකානු පුරවැසියන්ට කරන ම්ලේච්ඡ ප්‍රහාර වලින් ඔප්පු වී තිබෙනවා.

ඇමෙරිකානු නිලධාරියෙකු රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද වලට මුවා වෙලා ගුවන් තොටුපලේ දී පීසීආර් පරීක්ෂණයකට ලක් වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. තමන්ගේ උද්දච්ච භාවය ප්‍රදර්ශනය කර තියෙනවා. අර ගිවිසුම් අත්සන් තැබුවා නම් බුරුතු පිටින් ලංකාවට ගොඩ බහින්නේ මෙවැනි උද්ධච්ඡ නිලධාරින් නේද කියන එක මෙම ගිවිසුම් කළයුතුයැයි විපක්ෂයේ සිට හඬ නගන මංගල සමරවීර මැතිතුමාට අපි සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++++++

එජාපයට කඩේ යන හූල් කොටි හිතවාදියෙක්

(08.06.2020 – 04:42 +0530 – lankaleadnews.com)

“මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස රත්නජීවන් හූල්ට පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි ප‍්‍රසිද්ධියේ කියන්න කිසිදු අයිතියක් නෑ. හූල් කොහොමත් කොටි හිතවාදියෙක්. බෙදුම්වාදියෙක්. ඔහුගේ පැටිකිරිය බලපුවාම ඒක පැහැදිලියි. ඔහු 1980 නයිජීරියාවේදී කොටින්ට අරමුදල් එකතු කළා කියලා චෝදනා තියෙන අයෙක්. කොටින්ගේ සැඟවුණු මහමොළය ලෙස සමහරු හඳුන්වන රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට පත් කරන්නේ රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිවරයායි.”

එක්සත් ජාතික පක්ෂයට කඩේ යන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් කොටි පිල්ලියක් බව කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඔහු පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන ලෙස ඔහු ප‍්‍රසිද්ධියේ කළ ප‍්‍රකාශයෙන් මැතිවරණ කොමිසම පිළිබඳ විශ්වාසය තවදුරටත් කඩ වන බවයි.

නාරාහේන්පිට දාබරේ මාවතේ ප‍්‍රජාශාලාවේ පෙරේදා (06දා) පැවති ‘ගම දැනුවත් කරමු – අපි යළිත් නැගිටිමු’ රැස්වීම් මාලාවේ පළමුවැන්නාට සහභාගි වීමෙන් පසු මාධ්‍යවේදීන් මතුකළ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

“මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස රත්නජීවන් හූල්ට පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි ප‍්‍රසිද්ධියේ කියන්න කිසිදු අයිතියක් නෑ. හූල් කොහොමත් කොටි හිතවාදියෙක්. බෙදුම්වාදියෙක්. ඔහුගේ පැටිකිරිය බලපුවාම ඒක පැහැදිලියි. ඔහු 1980 නයිජීරියාවේදී කොටින්ට අරමුදල් එකතු කළා කියලා චෝදනා තියෙන අයෙක්. කොටින්ගේ සැඟවුණු මහමොළය ලෙස සමහරු හඳුන්වන රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට පත් කරන්නේ රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිවරයායි.

මෙවැනි පුද්ගලයකු ස්වාධීන මැතිවරණ කොමිසමට පත් කළේ මොකටද? කාගේ වුවමනාවටදැයි දැන් පැහැදිලියි. රත්නජීවන් හූල් කොමිසම තුළ මේ ක‍්‍රියාත්මක කරන්නේ කාගේ වුවමනාවද? කොටින්ගේ, එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව මිස වෙන කිසිවක් නෙමෙයි. යහපාලන ආණ්ඩුව පත් කරපු ස්වාධීන කොමිසම නමට විතරක් ස්වාධීන බව හූල්ගේ මේ ප‍්‍රකාශයෙන්ම තහවුරු වෙනවා. ඒකයි අපි කියන්නේ මේ වගේ කොටි පිල්ලි ඉන්න මැතිවරණ කොමිසමෙන් අපි ස්වාධීනත්වය බලාපොරොත්තුවෙන එක හරියට ඉබ්බන්ගෙන් පිහාටු හොයනවා වගේ වැඩක්.

කටුනායක ගුවන් තොටුපළේ පී.සී.ආර්. පරීක්ෂණවලට පෙනී සිටීම ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියකු ප‍්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ ඔහු රාජතාන්ත‍්‍රික වරප‍්‍රසාදවලට මුවා වී මෙය සිදු කර ඇති බවයි. ඒ පිළිබඳව ඇමෙරිකානු තානාපති කාර්යාලය සම්පූර්ණයෙන්ම වගකීම භාරගත යුතු බවද ඇමැතිවරයා කීවේය. කෙසේ වෙතත් රාජතාන්ත‍්‍රික නිලධාරියා එම ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් නිරෝධායනයට ලක්කරන බව පවසා ඇති බවත්, ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ දැඩි ලෙස අවධානය යොමු කර ඇති බවත් පැවසූ ප‍්‍රසන්න රණතුංග මහතා මේ සම්බන්ධයෙන් රජය ඉදිරි පියවර ගනිමින් සිටින බව ද අවධාරණය කළේය ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

නීතියට පටහැනි, සදාචාර විරෝධී ක්‍රියා වල නිරත වන මානසික ආබාධයකට ලක් වූ අයකුගේ හැසිරීමක් පෙන්වන හූල් මැතිවරණ කොමිසමේන් එලවා දමන්නැයි කරු ජයසූරියට කියයි.

(08.06.2020 – colombotoday.com)

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මානසික ආබාධයකට ලක් වූ අයකුගේ හැසිරීමක් පෙන්නුම් කරන බවත් ඔහු අවසන් වශයෙන් මෙරට උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද හෑල්ලුවට ලක්කොට ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.

මෙරට ජාතික පුවත්පතකට හා විද්යුත් මාධ්‍ය කිහිපයකට ප්‍රකාශයක් සිදු කරමින් “පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා” යනුවෙන් සිදු කළ ඔහුගේ අදහස් දැක්වීම දැඩි සේ හෙළා දකිමින් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය දරන අතර මැතිවරණ කල් දමා ගැනීමට උසාවි යන, මහ මැතිවරණය පැවැත්වීම අඩාල කිරීම සඳහා නිරෝධායන නීති කඩමින්, නිරෝධායනයට ලක් කර සිටි තම දියණිය මැතිවරණ කොමිසමේ වාහනයකින් එම ආයතනයට රැගෙන ගිය මෙම තැනැත්තා තම නීතියට පටහැනි හා සදාචාර විරෝධී ක්‍රියවලිය තවදුරටත් ත්‍රීව්‍ර කරමින් ඉහත ප්‍රකාශය සිදුකර ඇති බවට ද ජයන්ත සමරවීර මහතා චෝදනා කළේය.

ස්වාධීන මැතිවරණ කොමිසම ද ඊට සාමාජිකයන් පත් කරන ව්‍යවස්ථාදායක සභාව පමණක් නොව ව්‍යවස්ථාදායක සභාව පත්කරනු ලබන උත්තරීතර පාර්ලිමේන්තුව හා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද හෑල්ලුවට ලක් කිරීමට කටයුතු කළ රත්නජීවන් හූල්ට එරෙහිව දැන්වත් නිසි පියවර ගැනීමට ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානී, හිටපු කථානායක කරු ජයසූරිය කටයුතු කළ යුතු බව ද ජානිපෙ ජාතික සංවිධායකවරයා පෙන්වා දුන්නේය.

මහ මැතිවරණය කෙසේ හෝ කල් දමා ගැනීමේ උවමනාවෙන් පෙළෙන, සැමවිටම ශ්‍රී ලංකාව අස්ථාවර කර තම රූකඩයක් කර ගැනීමට මාන බලන රාජ්‍යයට සතුරු කල්ලියේ උවමනාව ඉටු කර දීමේ කොන්ත්‍රාත්තුවක් ලබා ගෙන ඇති හූල් එය කෙසේ හෝ තම හාම්පුතාලාට ඉටු කරදීමේ සිහිනයක් දකිමින් සිටින බවත් එය කිසිදා සැබෑ නොවන සිහිනයක් බවට පත් කිරීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සැමගේ වගකීමක් බව ද ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය ෴

+++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

  • I am glad to read about the President’s announcement regarding involvement of government instiute heads in political activities. Now let us see some disciplinary action be taken againt Hoole that violated the neutrality of the Election Commission by his poltically biased declarations to a TV company in the North. That man is a LTTE activist and plant in camouflage.

  • Bora kaarayo lankaawata ema gaena nam mama kamathi nae. Mae chandaya langa thiyena kaalawala oyagolla awilla kolany hadaagena aegollange mudal balayen rate chanda daayakyinta allas dee chanda prathipala wenas karanna hadai. Emanisaa karunaakara kiyanna mae awasthaawe ratata awith deerga kaalayak sitina ekata awasara nathi bawa.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *