‘හිරු සී.අයි.ඒ.’ : මුහුදු මහා විහාරයේ ඉඩම් මැණීම් කටයුතුවලට සංවිධානාත්මක පිරිසකගෙන් අදත් (18) බාධා

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ‘හිරු සී.අයි.ඒ.’ : මුහුදු මහා විහාරයේ ඉඩම් මැණීම් කටයුතුවලට සංවිධානාත්මක පිරිසකගෙන් අදත් (18) බාධා (විඩියෝ)

• මැලේසියාවෙන් ආ, අන්තර් ජාලය ඔස්සේ ඇනවුම් කළ භාණ්ඩවල ලිපිනයන් මුද්‍රණයේ දෝෂයක්

• තම සිඟිති දියණිය තමන්ගෙන් වෙන් නොකරන ලෙස 14 හැවිරිදි බාලවයස්කාර මවක් අධිකරණයෙන් ඉල්ලයි

• අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ කිහිපයක හිඟයක් (විඩියෝ)

• කංජිපානිගේ පියාට පහරදුන් 03 ක් අත්අඩංගුවට (විඩියෝ)

• හිඟයට පිළියම් සෙවීමට හෙක්ටයාර් 2200 ක කහ වගා කරයි

• 2011 ලෝක කුසලානය මුදලට පාවා දුන් බවට මහින්දානන්ද කළ ප්‍රකාශයට මහේල සහ සංගා ප්‍රතිචාර දක්වයි (විඩියෝ)

• කොරෝනා වෛරසයට එරෙහි ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙල චීන ජනපතිගේ ප්‍රශංසාවට

• යුරෝපා සංගමයෙන් ජනපතිට ධනාත්මක ප්‍රතිචාර

• බන්ධනාගාරවල ආරක්ෂක තත්වය ගැන ආරක්ෂක ලේකම්ගෙන් පැහැදිළි කිරීමක් (විඩියෝ)

• මැතිවරණය යහපාලන බොරුව සහ වංචාව පිටුදැකීමට මහඟු අවස්ථාවක් – අගමැති කියයි (විඩියෝ)

• මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 1946 දක්වා ඉහළට

• ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් ජගත් සංවිධානයට වාර්තාවක් (විඩියෝ)

• ජනතාවට විවෘත නොවුණත් මෙවරත්, දළදා පෙරහැර සාම්ප්‍රදායානුකූලව

+++++++++++++++++++++++++++++++++++

‘හිරු සී.අයි.ඒ.’ : මුහුදු මහා විහාරයේ ඉඩම් මැණීම් කටයුතුවලට සංවිධානාත්මක පිරිසකගෙන් අදත් (18) බාධා

(18.06.2020 – 21:48 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම මෙරට නීතියට යළිත් අභියෝග කරමින් නැගෙනහිර පළාතේ සංවිධානාත්මක පිරිස් අද (18) දිනයේත් පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉඩම් මැණීම් කටයුතුවලට බාධා එල්ල කළා.

රාජ්‍ය නිලධාරින්ට තම රාජකාරී කටයුතු සිදුකිරීමට පවා බාධා කරන එම සංවිධානාත්මක පිරිස් යළි යළිත් මේ පෙන්වන්නේ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන්නේ වෙනම නීතියක් බව ද ?

අද (18) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි :

***************************************

මැලේසියාවෙන් ආ, අන්තර් ජාලය ඔස්සේ ඇනවුම් කළ භාණ්ඩවල ලිපිනයන් මුද්‍රණයේ දෝෂයක්

(18.06.2020 – 17:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකිකයන් විසින් ඊ වාණිජ (E Commerce) මඟින් විවිධ වෙබ් අඩවි මාර්ගයෙන් විදේශ රටවලින් ඇනවුම් කර ඇති, තැපැල් භාණ්ඩ අඩංගු බහාලුම්වල ඇති ලිපිනයන් මුද්‍රණය සඳහා යොදාගෙන ඇති තාක්ෂණයේ දෝෂයක් පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

මෙලස ලිපිනයන්හි මුද්‍රණ දෝෂයක් ඇත්තේ මැලේසියානු තැපැල් පරිපාලනය විසින් මෙරටට එවන ලද තැපැල් භාණ්ඩ තොගයකයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන් ගමන් පහසුකම් නොමැති වීම හේතුවෙන් 2020 මැයි මස අග දී මුහුදු මගින් ශ්‍රී ලංකා තැපැල් පරිපාලනය වෙත මෙලෙස තැපල් භාණ්ඩ 45,000 ට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති අතර මාස තුනකට (03) අධික කාලයක් ප්‍රමාද වී මෙරටට භාණ්ඩ ලැබෙන විට එම භාණ්ඩවල ලිපිනයන් කියවිය නොහැකි තත්ත්වයක පැවති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මෙම තැපැල් භාණ්ඩවල බා(ර් )කෝඩ් අංක භාවිතාකර අදාළ ලිපිනයන් ලබාදෙන ලෙස මැලේසියානු තැපැල් පරිපාලනයෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.

එම උත්සාහය සාර්ථක නොවුනහොත්, මෙම භාණ්ඩ ආපසු මැලේසියානු තැපැල් පරිපාලනය වෙත යොමු කර නිවැරදි ලිපිනයන් සහිතව නැවත ලබා ගැනීමට පියවර ගන්නා බව තැපැල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෙම තත්වය මත සිදුවන ප්‍රමාදය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පාලනයෙන් තොර වන බව වැඩිදුරටත් තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා ෴

***************************************

තම සිඟිති දියණිය තමන්ගෙන් වෙන් නොකරන ලෙස 14 හැවිරිදි බාලවයස්කාර මවක් අධිකරණයෙන් ඉල්ලයි

(18.06.2020 – 19:20 +0530 – hirunews.lk/sinhala)

තම සිඟිති දියණිය තමන්ගෙන් වෙන් නොකරන ලෙස 14 හැවිරිදි බාල වයස්කාර මවක් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙලස දියණියක් බිහිකර ඇත්තේ මවගේ අනියම් සැමියාගෙන් අපයෝජනයට ලක්ව ඇති බාල වයස්කාර දැරියක්.

14 හැවිරිදි බාල වයස්කාර මව සහ ඇයගේ, දින 12 ක් වයසැති දියණිය රඳවා තබා ගැනීම සඳහා සුදුසු ස්ථානයක් සොයා බලන ලෙස ගම්පහ පරිවාස නිලධාරිනියට නියම කළ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කර තිබෙනවා.

මෙම බාල වයස්කාර දැරිය සහ ඇය බිහි කළ බිළිඳිය සුදුසු භාරකාරත්වයකට පත්කරන ලෙසට වැලිවේරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

දෙදෙනාවම එකම ස්ථානයක රඳවා තබා ගැනීම සඳහා සුදුසු ස්ථානයක් ලැබෙන තෙක් ඔවුන් දෙදෙනා ගම්පහ රෝහලට ඇතුලත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලිසියට නියෝග කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ කිහිපයක හිඟයක්

(18.06.2020 – 19:39 +0530 – hirunews.lk/sinhala)

පිළිකා රෝගීන් සඳහා ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක හිගයක් පවතින බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

අප කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ එම ඖෂධ අතරින් එක් ඖෂධයක් වන පැක්ලිටැක්සල් නම් ඖෂධය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ තිබියදීත්, මෙතෙක් රෝහල් වෙත නිකුත් කර නොමැති බවයි.

පිළිකා රෝගින් සඳහා ප්‍රතිකාර සිදුකරන මෙරට ප්‍රධානම රෝහල වන මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ කිහිපයක හිගයක් පවතින බවට අවධානය යොමුකරමින් පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පසුගිය මැයි 15 වනදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් ද යොමුකර තිබුණා.

පිලිකා ප්‍රතිකාර සදහා අත්‍යාවශ්‍ය ඖෂධවල ඩොක්සොරුබිසින්, ඩොසෙටැක්සල්, පැක්ලිටැක්සල්, මිතොටි‍්‍රක්සේට්, වින්බ්ලාස්ටින් ඇතුළු ඖෂධ 07 ක හිගයක් පිළිබද අදාළ ලිපිය මගින් පෙන්වා දී තිබූ බව සදහන්.

මේ වනවිට අදාළ ඖෂධ අතරින් කිහිපයක් සපයා තිබුණ ද, පැක්ලිටැක්සල්, ඩොක්සොරුබිසින් සහ මිතොටි‍්‍රක්සේට් වැනි ඖෂධ තවදුරටත් හිඟවීම හේතුවෙන් පිළිකා රෝගීන් මේ වනවිට දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින බවයි වාර්තා වන්නේ.

ඒ අතරින්ද බහුල වශයෙන් පියයුරු පිළිකා, පෙනහළු පිළිකා සහ ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා සඳහා භාවිත කරන පැක්ලිටැක්සල් නම් ඖෂධය වෛද්‍ය සැපයුම් අංශයේ තිබියදීත් මෙතෙක් රෝහල් වෙත ලබානොදීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සොයා බැලීමක් සිදුකළා.

එහිදී අනාවරණ වුණේ එම ඖෂධය රෝගීන්ට ලබාදීමේදී අවශ්‍ය වීදුරු බෝතල්වල හිඟයක් ඇති බැවින් එය බෙදාහැරීම අත්හිටුවා ඇති බවයි.

ඊට විකල්ප ලෙස භාවිත කළ හැකි ක්‍රමයක් සම්බන්ධයෙන් ඖෂධ සැපයුම් අංශය පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් විමසීමක් කර ඇති අතර, ඊට පිළිතුරු දෙමින් ඔවුන් පසුගිය 29 වැනිදා වෛද්‍ය සැපයුම් අංශයට අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබුණා.

ජාත්‍යන්තර මාර්ගෝපදේශ අනුව එම ඖෂධය වීදුරුමය නොවන විශේෂිත ප්ලාස්ටික් බෝතල් හරහා රෝගීන්ට ලබාදිය හැකි බවටයි ඔවුන් නිර්දේශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, අදාළ නිර්දේශ ලබාදී දින 18 ක් ගතව තිබියදී මේ දක්වා පැක්ලිටැක්සල් ඖෂධය රෝහල් වෙත ලබාදී නොමැති බව අදාළ රෝහල්වලින් අප කළ විමසීම්වලදී තහවුරු වුණා.

***************************************

කංජිපානිගේ පියාට පහරදුන් 03 ක් අත්අඩංගුවට

(18.06.2020 – 19:52 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරගතව සිටින කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු (02) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රහාරයට පැමිණි ත්‍රීරෝද රථය සහ මන්නා පිහි තුනක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශනද මේ වනවිට මාධ්‍යයට නිකුත් කර අවසන්.

ඊයේ (17) පස්වරුවේ මාලිගාවත්ත සද්ධර්ම මාවත අසලදී පාගමනින් යමින් සිටි කංජිපානි ඉම්රාන්ගේ පියාට ත්‍රීරෝද රථයකින් පැමිණි තුන්දෙනෙකු (03) තියුණු ආයුධවලින් පහර දී තිබුණා.

පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් දෙදෙනෙකු (02) අද (18) කාක දූපතේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බෝට්ටුවකින් පළායෑමට උත්සාහ කිරීමේදීයි.

පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් හතර දෙනා (04) අතර, මාරිමුත්තු ගනේෂන් රාජා හෙවත් මන්න කන්නා සහ මහේන්ද්‍රන් ප්‍රදීප් හෙවත් බාචා යන සැකකරුවන්ද සිටිනවා.

ඔවුන් නාට්ටාමිවරුන් ලෙස කටයුතු කරමින් සිටින බවටයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, එක් සැකකරුවෙකු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දුන්නා.

***************************************

හිඟයට පිළියම් සෙවීමට හෙක්ටයාර් 2200 ක කහ වගා කරයි

(18.06.2020 – 20:03 +0530 – hirunews.lk/sinhala)

දැනට වෙළදපොලේ පවත්නා කහ කුඩු සහ කහබීජ හිඟයට පිළියමක් ලෙස දිවයින පුරා හෙක්ටයාර් 2200 ක අලුතින් කහ වගා කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

කහ ආනයනය සීමා කිරීමෙන් අමුකහ කිලෝග්‍රෑමයක් රුපියල් 250 ත් 300 ත් අතර මිලකට අලෙවි වූ අතර, වියළි කහකුඩු කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 750 ක පාලන මිලක් රජය විසින් නියම කර තිබුණේ කහ කුඩු හිඟයට පිළියමක් ලෙසින්.

කහකුඩු සදහා ඉල්ලූම ඉහළ යාම සහ ඇතැම් ව්‍යාපාරිකයින් විසින් වැඩි මිලට විකිණීම සදහා කහ සගවා තබා ගැනීම නිසා රට තුළ කෘත්‍රිම කහ හිඟයක් පවතින බවද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා ෴

***************************************

2011 ලෝක කුසලානය මුදලට පාවා දුන් බවට මහින්දානන්ද කළ ප්‍රකාශයට මහේල සහ සංගා ප්‍රතිචාර දක්වයි

(18.06.2020 – 20:04 +0530 – hirunews.lk/sinhala)

2011 – ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති අවසන් මහා තරඟය මුදලට පාවා දුන්නේ නම්, සාක්ෂි ඉදිරිපත් කරන ලෙස එම තරඟයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා සහ මහේල ජයවර්ධන මහතා පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ මෙම තරඟය මුදලට පාවා දුන් බවට තරඟාවලිය පැවැත්වෙන අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා අද (18) කළ අනාවරණයට ප්‍රතිචාර දක්වමින්.

ඉන්දියාවේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවති අවසන් තරඟය ශ්‍රී ලංකාව පරාජය වුණේ කඩුළු 06 කින්.

තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06 ක් දැවී ලකුණු 274 ක් රැස්කළ අතර, මහේල ජයවර්ධන මහතා නොදැවී ලකුණු 103 ක් සහ නායක කුමාර සංගක්කාර මහතා ලකුණු 48 ක් රැස්කළා.

එම ඉලක්කය පන්දුවාර 48 යි පන්දු 02 ක් තුළ ඉන්දියාව පසුකර ගියේ කඩුළු 04 ක් දැවී ගොස් තිබියදීයි.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මෙලෙස චෝදනා කිරීමත් සමඟ ට්වීටර් පණිවුඩයක් නිකුත් කළ මහේල ජයවර්ධන මහතා සඳහන් කළේ මැතිවරණය ආසන්නවත්ම සර්කස් ආරම්භ වී ඇති බවයි.

තරඟය මුදලට පාවා දුන්නේ නම් ඒ කවුරුන් විසින්ද සහ ඊට අදාළ සාක්ෂි හෙලිකළ යුතු බවද මහේල මහතා එමඟින් සඳහන් කළා.

එසේම, හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එවක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර මහතා කියා සිටියේ තරඟ පාවාදීම සම්බන්ධයෙන් තොරතුරු පවතින්නේ නම් ඒවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලබාදිය යුතු බවයි.

***************************************

කොරෝනා වෛරසයට එරෙහි ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙල චීන ජනපතිගේ ප්‍රශංසාවට

(18.06.2020 – 20:52 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සාර්ථක වැඩපිළිවෙළ චීන ජනාධිපතිවරයාගේ ඉමහත් ප්‍රසාදය දිනා ගෙන ඇතැයි චීන දූත පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුනා.

ජූනි 20 වෙනිදාට යෙදෙන ජනාධිපතිවරයාගේ උපන්දිනයට සුබපතමින් චීන ජනාධිපති ෂී ජින්ග් පිං මහතා යොමු කළ ලිපියක් ඔහු රාජපක්ෂ මහතාට පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ශ්‍රී ලංකාවේ වෛරසය පාලනයට සහාය වීම වෙනුවෙන් චීන රජයෙන් වෛද්‍යධාර තොගයක් එවා තිබෙනවා.

ඒවා දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී ඇති තර ආධාර තොගයේ ලැයිස්තුවක් වැඩබලන තානාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබුවා.

දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය දීම පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජින්ග් පිං මහතා, චීන ජනතාව සහ චීන සමාගම් වෙත සිය ස්තූතිය පුද කර තිබෙනවා.

චීනය හා ශ්‍රී ලංකාව කොවිඩ්-19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා එක හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවයි චීන දූත පිරිස සඳහන් කර ඇත්තේ.

අර්බුදය සාර්ථකව පාලනය කිරීමට දෙරටම සමත් වූයේ දෙරටේ ආරක්ෂක හා බුද්ධි අංශ නිලධාරීන්ගේ කැපවීම හේතුවෙන් වන අතර ගෝලීය වසංගතය හමුවේ දෙරට එකිනොකට ඉමහත් සේ උපකාර කළ බව මෙම හමුවේදී සඳහන් කෙරුනා.

***************************************

යුරෝපා සංගමයෙන් ජනපතිට ධනාත්මක ප්‍රතිචාර

(18.06.2020 – 22:01 +0530 – hirunews.lk/sinhala)

යුරෝපා සංගමයේ කොළඹ තානාපතිවරුන් අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී කොවිඩ්-19 අර්බුදයෙන් පසු ආර්ථිකය නැවත ගොඩනැංවීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

වසංගතය හේතුවෙන් උද්ගත වූ සෞඛ්‍ය අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය සේවාව කඩිනමින් යොදා ගැනීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළ බවයි මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

පොලීසියේ සහ ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් නිවැරදිව ආසාදිතයන් පමණක් නොව ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් ද හඳුනා ගැනුණු අතර ඔවුන් නිරෝධායනය සඳහා යොමු කල බව මෙහිදී සඳහන් කෙරුණා.

ශ්‍රී ලංකාවට වෛරසය සාර්ථකව පාලනය කිරීමට මෙම වැඩපිළිවෙළ ඉවහල් වූ බවද ප්‍රකාශ කෙරුණා.

රට ඉදිරියේ ඇති ඊළඟ අභියෝගය ආර්ථිකය නැවත ගොඩනැංවීම බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ.

වත්මන් ආර්ථික වර්ධන වේගය ඉතා පහළ අගයක් ගන්නා බව සහ ජාතික ණය ප්‍රමාණය ඉහල ගොස් ඇති බව ද සඳහන් කළා.

***************************************

බන්ධනාගාරවල ආරක්ෂක තත්වය ගැන ආරක්ෂක ලේකම්ගෙන් පැහැදිළි කිරීමක්

(18.06.2020 – 21:19 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ බන්ධනාගාරවල පවතින ආරක්ෂක තත්වය ගැන ආරක්ෂක ලේකම් කමල් ගුණරතන මහතා පැහැදිලි කළා.

***************************************

මැතිවරණය යහපාලන බොරුව සහ වංචාව පිටුදැකීමට මහඟු අවස්ථාවක් – අගමැති කියයි

(18.06.2020 – 21:29 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මහමැතිවරණය අත්දුටු හැකියාවට මුල්තැන දීමටත්, යහපාලන බොරුව සහ වංචාව පිටුදැකීමටත් මහගු අවස්ථාවක් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මහමැතිවරණය අපහසුවෙන් ලබා ගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව සදහන් කරන අග්‍රාමාත්‍යවරයා ඡන්ද ව්‍යාපාරයේදී යහපාලන ආණ්ඩුවේ නියෝජිතයන් පවසන කරුණු පිළිබදව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ද සදහන් කරනවා.

අග්‍රාමාත්‍යවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය, අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් අද (18) මාධ්‍ය ආයතනය වෙත නිකුත් කර තිබුණා.

මේ අතර, වතු සේවකයින්ගේ මූලික වැටුප සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වතු සමාගම් හිමිකරුවන් අතර හමුවක් ඊයේ (17) පැවැත්වුණා.

ඊට ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.

එහිදී වතු සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් වතු සමාගම් හිමිකරුවන් අවසන් එකගතාවයකට නොපැමිණි අතර, අවසන් තීරණයක් ලබාදීම සදහා එළඹෙන 25 වන බ්‍රහස්පතින්දා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළා.

***************************************

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 1946 දක්වා ඉහළට

(19.06.2020 – 00:06 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 1946 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (19) තවත් ආසාදිතයන් 18 ක් හඳුනා ගැනීමත් සමගයි.

අද (19) දිනයේ මෙරටින් හමුවූ ආසාදිතයන් ගණන 22 ක්.

මේවන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ආසාදිතයන් අතුරින් 514 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 1421 ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11 ක් ෴

ඊයේ (18) දිනයතුළ වාර්තාවූ කොරෝනා ආසාදිතයන් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශය වාර්තාකර තිබෙනවා.

ඒ අනුව ඊයේ (18) දිනය තුළ කොරෝනා ආසාදිතයන් 22 ක් වාර්තාවී ඇති අතර ඉන් 18 දෙනෙකු (02) ම ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයන්.

පුද්ගලයන් දෙදෙනෙකු (02) කටාර් සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් දෙදෙනා (02) එංගලතයෙන් සහ රුසියාවෙන් මෙරටට පැමිණි පුද්ගලයන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ ෴

***************************************

ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් ජගත් සංවිධානයට වාර්තාවක්

(18.06.2020 – 23:05 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකා යස්මින් සූකා මහත්මිය තමන් වෙත අසත්‍ය චෝදනා එල්ල කර අපහාසාත්මකව කටයුතු කිරීමක් හේතුවෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්, තම ජීවිතයට තර්ජනයක් විය හැකි බවත් සඳහන් කරමින් මෙරට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ යුරෝපා සංගමයට අද (18) වාර්තාවක් ඉදිරිපත් කළා.

ඔහු එම වාර්තාවෙන් වැඩිදුරටත් සඳහන් කරන්නේ අදාළ අසත්‍ය චෝදනා එක්සත් ජාතීන්ගේම අයි.සී.සී.පී.ආර්. ගිවිසුමේ කරුණුවලට පටහැනි බවයි.

***************************************

ජනතාවට විවෘත නොවුණත් මෙවරත්, දළදා පෙරහැර සාම්ප්‍රදායානුකූලව

(19.06.2020 – 07:24 +0530 – hirunews.lk/sinhala)

මෙවර ඇසල පෙරහර ජනතාවට විවෘත නොවුණත්, පැරණි සාම්ප්‍රදායානුකූලව චාරිත්‍ර ඒ ආකාරයෙන්ම ඉටු කරමින් පෙරහර මංගල්‍යය පවත්වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.

පෙරහර මංගල්‍යය පිළිබඳව පැවති මූලික සාකච්ඡාවකින් අනතුරුව ඊයේ (18) දළඳා මාලිගාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

ඒ අනුව එළැඹෙන ජූලි මස 21 වැනිදා කප් සිටුවීමෙන් අනතුරුව ජූලි මස 25 වැනිදා ප්‍රථම කුඹල් පෙරහර වීථි සංචාරය කෙරෙන බවයි දියවඩන නිලමේවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • About Muhudu Maha Vihara dispute, three or four policemen cannot control the situation involving hundreds of aggressive locals that were invading temple land. It is time that the government deploy either the STF or the Army to get the situation under control so that authorized government surveyors could place markers and boundaries of the archaeological site. The current situation is ridiculous as the Defence Secretary promises one thing and the poltical rabble rousers do another thing. Let us have the authority acting with a sense of responsibility.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *