‘හිරු සී.අයි.ඒ.’ : දෙවනගල රජ මහා විහාරයට සංවිධානාත්මක ආක්‍රමණිකයන්ගෙන් එල්ලවූ බලපෑම අවසන් වන ලකුණු

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

(01) • ‘හිරු සී.අයි.ඒ.’ : දෙවනගල රජ මහා විහාරයට සංවිධානාත්මක ආක්‍රමණිකයන්ගෙන් එල්ලවූ බලපෑම අවසන් වන ලකුණු (විඩියෝ)

(02) • විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 2000 කට ආසන්න පිරිසකට කොරෝනා – 21 ක් ජිවිතක්ෂයට (විඩියෝ)

(03) • ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ තවත් බොරුවක් හෙළිවේ

(04) • අපරාධ සිදුකිරීම සඳහා වූ අභ්‍යාස විද්‍යාලයක් බවට බන්ධනාගාරය පත්වී ඇති බව නීතිපති කියයි (විඩියෝ)

(05) • කිලෝ 3200 ක ශෛලමය බුදු පිළිමයක් ගුවනින් වැඩම කරවයි (විඩියෝ)

(06) • රජය කිසිවිටක එම්.සී.සී. ගිවිසුමට අත්සන් නොකරන බව ඇමති විමල් කියයි (විඩියෝ)

(07) • වසර 15 ක් පුරා බලධාරීන්ගේ ඇස නොගැටුණු මාර්ගයක් (විඩියෝ)

(08) • වනාතේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිවිල් වැසියෙකුට පහර දෙයි – පහර කෑ දෙදරු පියා ICU (විඩියෝ)

(09) • මහනුවර පෙරහැරේ සියලු කලාකරුවන් හා ඇත්ගොව්වන් වෙනුවෙන් වෛද්‍ය පරීක්ෂණ (විඩියෝ)

(10) • අපරාධ කල්ලි සාමාජික සකීත අත්අඩංගුවට

(11) • උසස් පෙළ විභාග දිනය පාසල් ඇරඹීමෙන් පසු (විඩියෝ)

(12) • පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනය දියුණු කිරීමට රාජ්‍ය අනුග්‍රහය (විඩියෝ)

(13) • සිනමා ශාලා නැවත විවෘත කරන දිනය ප්‍රකාශයට පත්කෙරේ

(14) • මහ බැංකුවේ වැඩ ගැන හිටපු අධිපති කථා කරයි (විඩියෝ)

(15) • වැලිසර නාවික හමුදා කඳවුර යළි විවෘත කරන්න අවසර (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

(01) ‘හිරු සී.අයි.ඒ.’ : දෙවනගල රජ මහා විහාරයට සංවිධානාත්මක ආක්‍රමණිකයන්ගෙන් එල්ලවූ බලපෑම අවසන් වන ලකුණු

(19.06.2020 – 20:21 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල ඓතිහාසික දෙවනගල රජ මහා විහාරස්ථානයට කලක්තිස්සේ සංවිධානාත්මක ආක්‍රමණිකයන්ගෙන් එල්ලවූ බලපෑම අවසන් වන ලකුණු පහළවී තිබෙනවා.

ඒ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රදේශවාසීන් සමග එක්ව දෙවනගල පුදබිමට අයත් ඉඩම් මැනීම් කටයුතු සිදුකර නිරාකරණය කිරීමට එකඟවීමත් සමගයි.

මෙරට සිදුවන පරිසර විනාශයන්, පුරාවිද්‍යා උරුමයන් වැනසීම් වැනි ජාතික අපරාධ රට හමුවේ හෙළි කිරීමට ‘හිරු සී.අයි.ඒ.’ කිසිවිටෙකත් පසුබට වන්නේ නැහැ.

එවැනි අක්‍රමිකතා නොදුටු දෑසින් පසුවන වගකිව යුතු බලධාරීන්ගේ දෑස් විවිර කරවන්නට අපට හැකිවූයේ වරක් දෙවරක් නොවේ.

ඊට ආසන්නතම උදාහරණය වන්නේ දෙවනගල විහාරස්ථානයට අයත් ඉඩම් කොල්ලයයි.

පසුගිය දින කිහිපය පුරාම ‘හිරු සී.අයි.ඒ.’ මෙම අනවසර ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව විටින් විට හෙළිකළා.

ඒ අනුවයි පුරාවිද්‍යා, බෞද්ධ කටයුතු, මිනින්දෝරු දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය නිලධාරීන් දෙවනගල පුදබිමට පැමිණියේ.

ප්‍රදේශවාසීන් සහභාගීවූ රැස්වීමකදී ඔවුන් දෙවනගල විහාරස්ථානයට අයත් ඉඩම් නිරාකරණය කිරීම පිළිබඳව අදහස් දැක්වුවා.

***************************************

(02) විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 2000 කට ආසන්න පිරිසකට කොරෝනා – 21 ක් ජිවිතක්ෂයට

(19.06.2020 – 19:12 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ තවත් පුද්ගලයින් 25 දෙනෙකු අද (19) රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1446 දක්වා ඉහළ ගියා.

එමෙන්ම, අද (19) දිනයේ ඉන්දියාවේ සිට පැමිණි ආසාදිතයෙකු (01) මේ වනවිට වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, මෙරටින් හමුවූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1948 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එමෙන්ම, විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 2000 කට ආසන්න පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් සේවා නියුක්ති කාර්යාංශය අද ප්‍රකාශ කළා.

මේ අතර, කොරෝනා වෛරසය හේතුවෙන් දින 105 ක කාලයක් වසා දමා තිබූ මෙරට සිනමා ශාලා මේ මස 27 වනදා නැවත විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා.

සංස්කෘතික අමාත්‍යාංශය සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඒ සඳහා අනුමැතිය ලබා දුන් බවයි.

එසේම, ලොවපුරා කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව මේ වනවිට 8,616,193ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය සංඛ්‍යාව 456,968 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

***************************************

(03) ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ තවත් බොරුවක් හෙළිවේ

(19.06.2020 – 19:00 +0530 – hirunews.lk/sinhala)

පාඩු ලබමින් සිටි ඊ.ටී.අයි. සමාගම නව ව්‍යාපාරික සැලැස්මක් ක්‍රියාත්මක කරමින් සිටින බවට එවක එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයට දන්වා තිබුණත්, ඔවුන් එවැනි සැලැස්මක් ක්‍රියාත්මක කර නොමැති බව අද (19) අනාවරණ වුණා.

ඒ ඊ.ටී.අයි. සමාගමේ සිදුවූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ දීයි.

එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අද (19) පැමිණියේ ඊ.ටී.අයි. සමාගම සහ ස්වර්ණමහල් ෆයිනෑන්ස් සමාගම වෙනුවෙන් ශ්‍රී ලංකා මහබැංකුව පත් කළ විශේෂ කළමනාකරණ මණ්ඩලයේ සභාපති, හිටපු සහකාර මහබැංකු අධිපති සිරිසේන සේපාල රත්නායක මහතායි.

අඛන්ඩව පාඩු ලබමින් සිටි ඊ.ටී.අයි. සමාගම, නැවත යථාවත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් විට ඔවුන් නව ව්‍යාපාරික සැලැස්මක් මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව දන්වා තිබුණ ද, එවකට ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලය කිසිදු ව්‍යාපාරික සැලැස්මක් ඉදිරිපත් නොකළ බවයි ඔහු අද (19) කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ.

එහිදී කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් කළ නීතිඥවරුන්, ඊ.ටී.අයි. සමාගමේ කොටස් විකිණීම සිදුවූයේ මහබැංකුවේ අවශ්‍යතාවයට හා අධීක්ෂණය යටතේ බව ප්‍රකාශ කළා.

එහෙත් එම කරුණු තරයේ ප්‍රතික්ෂේප කළ සාක්ෂිකරු සඳහන් කළේ විකිණීම පිළිබඳ සියලු විස්තර පවතින්නේ එවකට ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කළ අය සතුව බවයි ෴

***************************************

(04) අපරාධ සිදුකිරීම සඳහා වූ අභ්‍යාස විද්‍යාලයක් බවට බන්ධනාගාරය පත්වී ඇති බව නීතිපති කියයි

(19.06.2020 – 18:51 +0530 – hirunews.lk/sinhala)

අපරාධ සිදු කිරීම සඳහා වූ අභ්‍යාස විද්‍යාල බවට බන්ධනාගාර පත්ව ඇති බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා චෝදනා කරනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (19) පෙරවරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවට එක්වෙමින්.

එම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ද එක්ව සිටියා.

+++++++++++++++++++++

***************************************

(05) කිලෝ 3200 ක ශෛලමය බුදු පිළිමයක් ගුවනින් වැඩම කරවයි

(19.06.2020 – 22:24 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික මුල්කිරිගල රජමහා විහාරස්ථානයේ උඩමළුවේ තැන්පත් කිරීම සඳහා කිලෝ 3200 ක් බරැති සහ උස අඩි හතහමාරකින් යුත් ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගුවන් යානාවක් මඟින් අද (19) වැඩම කරනු ලැබුවා.

මෙම ශෛලමය බුදු පිළිමය වීරකැටිය මන්දාදුව ක්‍රීඩාංගණයේ සිට ගුවන් සැතපුම් 3 කට ආසන්න දුර ප්‍රමාණයක් ගුවනින් රැගෙන ගොස් තැන්පත් කළ බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියාසිටියේ.

මේ සඳහා එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් භාවිත කරනු ලැබුවා.

මෙය මෙතෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ එම්.අයි. 17 වර්ගයේ යානයකින් ගුවනින් රැගෙන ගිය වැඩිම බර ප්‍රමාණයයි.

+++++++++++++++++++++

***************************************

(06) රජය කිසිවිටක එම්.සී.සී. ගිවිසුමට අත්සන් නොකරන බව ඇමති විමල් කියයි

(19.06.2020 – 22:33 +0530 – hirunews.lk/sinhala)

කිසිවිටකත් රජය අමෙරිකාව සමඟ එම්.සී.සී. ගිවිසුමට එළඹෙන්නේ නැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (19) බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණි අවස්ථාවේදීයි.

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් බෙල්ලන්විල රජමහා විහාරය වෙත පැමිණ අද (19) මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

වීරවංශ මහතා බෙල්ලන්විල බෝධීන් වහන්සේ ඉදිපිටදී කරුණු 19 කින් සමන්විත ප්‍රතිඥාවක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා.

+++++++++++++++++++++

***************************************

(07) වසර 15 ක් පුරා බලධාරීන්ගේ ඇස නොගැටුණු මාර්ගයක්

(19.06.2020 – 19:54 +0530 – sinhala.adaderana.lk)

මෙරට මාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යෝධ ව්‍යාපෘති රැසක් පසුගිය සමයන්හි දියත් කෙරුණි.

නමුත් වසර 15 ක් පුරාවට කිසිඳු බලධාරියෙකුගේ ඇස නොගැටුණු මාර්ගයක් පිළිබඳව ‘අද දෙරණට’ දැරණියගල හිඟුරන ප්‍රදේශයෙන් වාර්තා විය.

ඒ දැරණියගල තලාව – හිඟුරන මාර්ගයයි.

හිඟුරන ගම්මානයේ පවුල් 400 ක පමණ ජනතාවට දැරණියගල නගරයට යාමට ඇති එකම මාර්ගය වන්නේද මෙයයි.

නමුත් වසර 15 ක පමණ සිට කිසිඳු පිළිසකර කිරීමට භාජනය නොවූ මෙම මාර්ගයට අත්ව ඇති ඉරණම ඉතා ඛේදනීයයි.

හිඟුරන ගම්මානයේ ඇති එකම පාසැලේ ළමුන් 300 ක් පමණ අධ්‍යාපනය ලබන අතර ඔවුන්ට පාසැලට යන්නට සිදුව ඇත්තේද මෙම මාර්ගයෙන්.

තේ කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් මෙම ගම්මානයේ ජනතාව නෙලා ගත් තේ දළු ද මෙම මාර්ගයෙන් කර්මාන්ත ශාලාව වෙත ප්‍රවාහනය කරයි.

මේ මාර්ගයේ ධාවනය වනඑකම බස් රථය මාර්ගය මධ්‍යයේ ඇති මඩ වලක එරී තිබූණි.

ගම්වැසියන්ගේ එකම බලාපොරොත්තුව නගර සිසාරා විහිද යන සංවර්ධනයේ අරුණැල්ලෙන් බිඳක්වත් තමන්වෙත උදා වීමයි.

***************************************

(08) වනාතේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිවිල් වැසියෙකුට පහර දෙයි – පහර කෑ දෙදරු පියා ICU

(19.06.2020 – 19:12 +0530 – sinhala.adaderana.lk)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකගේ ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයෙකු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

සිද්ධිය හටගෙන තිබුණේ, බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී යි.

පසුගිය 12 වනදා බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී පිරිසක් පැමිණ පුද්ගලයෙකුට පහරදෙන ආකාරය සී.සී.ටී.වි. දර්ශන පෙළක සනිටුහන්ව තිබුණි.

සිද්ධියෙන් තුවාල ලබන්නේ, වනාතමුල්ලේ පදිංචි උදේෂ් චතුරංග නැමැති දෙදරු පියෙක්.

සිය නිවස ආසන්නයේම පහරකෑමට ලක්වන උදේෂ් මහතා බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරෙයි.

උදේෂ් මහතාගේ බිරිඳ පවසන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙම පහරදීම සිදුකළ බවයි.

ඇය පවසන්නේ තම සැමියා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබා දුන්නේ යැයි සැක සිතා ජාවාරම්කරුවන් මෙම පහර දීම සිදුකළ බවයි.

මේ සම්බන්ධයෙන් අප බොරැල්ල පොලීසියෙන් විමසීමක් කළා.

එහි සිටි ප්‍රකාශකයෙකු සඳහන් කළේ , මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවත් වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් පොලිස් ස්ථානාධිපතිවරයා හමුවන ලෙසයි.

පසුව අප මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසීමක් කළා.

එහි නිලධාරියෙකු පැවසුවේ එක් සැකකරුවෙකු පසුගිය 12 වෙනිදාම අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් තිදෙනා පැමිණ අද (19) දිනයේ දී පොලිසියට භාර වීමෙන් අනතුරුව අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබන දෙවැනිදා (02) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

කෙසේ වෙතත් බොරැල්ල වනාතමුල්ලේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ප්‍රදේශවාසීන් දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටී.

***************************************

(09) මහනුවර පෙරහැරේ සියලු කලාකරුවන් හා ඇත්ගොව්වන් වෙනුවෙන් වෛද්‍ය පරීක්ෂණ

(19.06.2020 – 15:07 +0530 – sinhala.adaderana.lk)

මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගයේ ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා සහභාගි වන සියලු කලාකරුවන් හා ඇත්ගොව්වන් දෛනික වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමට පියවර ගෙන ඇති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

ඇසළ පෙරහැර මංගල්‍යය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (18) මහනුවර දී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් දියවඩන නිළමේවරයා මේ බව සඳහන් කළේය‍.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, 2020 ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භය ලෙස සිව් මහ දේවාල කේන්ද්‍ර කර ගනිමින් ජූලි මස 20 වන දින කප් සිටුවීමේ මංගල්‍යය සිදු කරන බවයි.

ජූලි 25 වන දින පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි.

අවසන් රන්දෝළි පෙරහැර අගෝස්තු මස 03 වන පොහොය දින වීදි සංචාරය කර අගෝස්තු 04 වන දින දිවා පෙරහැර පවත්වා මෙවර ඇසළ පෙරහැර නිමා වීමට නියමිතයි.

මෙවර පෙරහැර ජනතා සහභාගීත්වයෙන් තොරව පවත්වනු ලබන අතර, අවම කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පෙරහැර මංගල්‍යය පවත්වනු ලබයි.

ගිය වසරේ පෙරහැර සඳහා අලි ඇතුන් 100 ක් පමණ සහභාගී වුවද මෙවර අලි ඇතුන් 50-60 කට පමණ සීමා කර තිබේ.

සියලු කලාකරුවන්ගේ වෛද්‍ය වාර්තාවක් දින දෙකකට (02) පෙර ලබා ගන්නා බවද පැවසු දියවඩන නිළමේවරයා, සියලු දෙනා සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කරන බවද පැවසීය.

***************************************

(10) අපරාධ කල්ලි සාමාජික සකීත අත්අඩංගුවට

(19.06.2020 – 14:53 +0530 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සකීත නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

රාගම, හොරපෙ දුම්රියපොළ ආසන්නයේ සිදුකළ අදාළ වැටලීමේදී ජීව අත්බෝම්බයක්, කිණිස්සක් සහ කේරළ ගංජා ළඟ තබාගෙන සිටි මෙම සැකකරු මෝටර් රථයක් ද සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

එම සැකකරු 2016 වසරේ රාගම ප්‍රදේශයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවෙකු වන අතර පුද්ගලයෙකුට මරණ තර්ජන සිදුකිරීම, පුද්ගලයෙකු පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීම හා මුදල් කොල්ලකෑමේ සිද්ධියකට ද අවශ්‍යව සිටි සැකකරුවෙකු බව සඳහන්ය.

සැකකාර සකීත දිනේෂ් කුමාර නොහොත් සකීත නමැත්තා අත්අඩංගුවට ගැනීමට ගම්පහ සහ වැලිසර අධිකරණ විසින් වරෙන්තු ද නිකුත් කර තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රාගම පොලීසිය වෙත බාර දී තිබේ ෴

***************************************

(11) උසස් පෙළ විභාග දිනය පාසල් ඇරඹීමෙන් පසු

(19.06.2020 – 14:11 +0530 – sinhala.adaderana.lk)

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පාසල් ඇරඹීමෙන් පසු තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මාතර පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

උසස් පෙළ සති කිහිපයකට කල් දමන ලෙස දරුවන් විසින් ඉල්ලීම් කළ බවත් ඒ වන විටත් අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව විසින් උසස් පෙළ විභාගය පවත්වන දිනය තීරණය කර තිබූ බවත් ඔහු පැවසීය.

මේ පිළිබඳව දරුවන්ගේ දෙසින් බලන ලෙස අධ්‍යාපන අමාත්‍යශයේ නිලධාරීන්ට සහ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තමා විසින් උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුටත් පැවසීය.

***************************************

(12) පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනය දියුණු කිරීමට රාජ්‍ය අනුග්‍රහය

(19.06.2020 – 12:19 +0530 – sinhala.adaderana.lk)

පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණ දැනුම පිරිවෙන් විෂය මාලාව තුළ සෙසු විෂයන්ට සමගාමීව හැදෑරීමේ අවස්ථාව සලසා දිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

සෑම මසකම තෙවන සතියේ පැවැත්වෙන බෞද්ධ උපදේශක සභාව තෙවන වරටත් ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියන්ගොඩ විජිතසිරි නාහිමි පැවසුවේ සුරක්ෂිත රටක්, නීතිගරුක සහ විනයගරුක සමාජයක් උදෙසා හා පුරාවිද්‍යා ස්ථාන සුරැකීමට කාර්ය සාධක බලකා දෙකක් පත් කිරීම සම්බන්ධයෙන් මහා සංඝ රත්නයේ ප්‍රශංසාව පළ කරන බවය.

මේ අතර ඉරිදා දිනවල පෙරවරු 06:00 සිට පස්වරු 02:00 දක්වා හා පොහොය දිනයන්හි උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන් නතර කර ආගමික පසුබිම කෙරෙහි දරුවන් යොමු කිරීමේ වැදගත්කම මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබේ.

පස්වරු 05:00 න් පසුව උපකාරක පන්ති පැවැත්වීම නතර කර දෙමාපියන් ඇසුරෙහි දරුවන් රඳවා ගැනීමට අවස්ථාව සැලසිය යුතු බවට ද මහා සංඝරත්නය මෙහිදී සඳහන් කළේය.

***************************************

(13) සිනමා ශාලා නැවත විවෘත කරන දිනය ප්‍රකාශයට පත්කෙරේ

(19.06.2020 – 09:09 +0530 – sinhala.adaderana.lk)

සියලු සිනමා ශාලා ජුනි 27 වනදා සිට විවෘත කිරීමට තීරණය කර තිබේ.

සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බි. හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කර පවත්වාගෙන යාමට අවසර දි ඇති බවය.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට සිනමා ශාලා වසා දමා තිබුණි ෴

***************************************

(14) මහ බැංකුවේ වැඩ ගැන හිටපු අධිපති කථා කරයි

(19.06.2020 – 07:39 +0530 – sinhala.adaderana.lk)

බැංකු හා මුල්‍ය ආයතනවල ගැටලු විසඳීමේ කාර්යය තුළ ශ්‍රි ලංකා මහ බැංකුව වගකීම් විරහිතව ක්‍රියාකර ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ශ්‍රි ලංකා මහ බැංකුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරින් හිතුවක්කාර ලෙස රටේ පවතින මුල්‍ය ගැටලු නිරාකරණය සඳහා මැදිහත් නොවී මුනිවත රැකීම අනුමත කළ නොහැකි බවය.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා මහා බැංකුවේ මුල්‍යමය හෝ පරිපාලනමය අර්බුධ ඇති වීමට ප්‍රධාන වගකිවයුත්තා පවතින රජය බවය.

***************************************

(15) වැලිසර නාවික හමුදා කඳවුර යළි විවෘත කරන්න අවසර

(19.06.2020 – 21:35 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් ව්‍යාප්තිය නිසා හුදකලා කෙරුණු වැලිසර නාවික හමුදා කඳවුර සාමාන්‍ය රාජකාරී සඳහා යළි විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවසර ලබා දී තිබේ.

නාවික හමුදාව පවසන්නේ පියවර කිහිපයක් යටතේ කඳවුරේ රාජකාරී යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

අද (19) දින මෙරටින් හඳුනා ගැනුණේ එක් ආසාදිතයෙකු පමණක් වන අතර ඔහු දෝහා කටාර් බලා යාම සඳහා මුම්බායි නගරයේ සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ඉන්දිය ජාතිකයෙකි.

මෙරටින් හඳුනාගැනුණු සමස්ත කොවිඩ් ආසාදිතයින් අතරින් 1446 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

491 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *