‘බැටිකලෝ කැම්පස්’ අරමුදලට ලැබුණු රුපියල් කෝටි 400 යේ විස්තර පොලිසියට දෙන්න

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

01 • ‘බැටිකලෝ කැම්පස්’ අරමුදලට ලැබුණු රුපියල් කෝටි 400 යේ විස්තර පොලිසියට දෙන්න

02 • විදේශයන්හි සිට ලැබුණු පාර්සල්වල ලිපින මැකුණේ ඒවා මුද්‍රණයට භාවිතා කළ තාක්ෂණයේ දෝෂයකින්

03 • රුවන්වැලි සෑයේ පැරණි චුඩා මාණික්‍ය බැතිමතුන්ගේ ප්‍රදර්ශනයට

04 • අර්ධ සූර්යග්‍රහණයක් ජුනි 21 දා

05 • “දායකයන්ට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරන්න” – ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගෙන්, භික්ෂුන් වහන්සේට පණිවුඩයක්

06 • “කළා කියලා දන්නවා නම් කරපු අය දන්නවා නම් ඔප්පු කරන්න” – තරඟ පාවාදීමේ චෝදනාවට මාලිගෙන් සැර පිළිතුරක් (විඩියෝ)

07 • ජනපතිගේ ඡන්ම දිනය අදයි (20) (විඩියෝ)

08 • ETI තැන්පත්කරුවන්ගේ සූදානම (විඩියෝ)

09 • බෙලිගල රාජමහා විහාරයේ ඉපැරණි බිතුසිතුවම් විනාශ මුඛයට (විඩියෝ)

10 • පොහොර නොමැතිව දුක් විදින ඇඹිලිපිටිය කෙසෙල් ගොවියෝ (විඩියෝ)

11 • වසර 15 ක සිට ගරාවැටෙන, මිදිගම ග්‍රාමීය රෝහල (විඩියෝ)

12 • මැතිවරණ කොමිසමේ ඇතැම් නීති නිසා අපේක්ෂකයින් අර්බුදයක – අගමැති (විඩියෝ)

13 • කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට කොළඹ සරසවියෙන් නව දුරකථන මෘදුකාංගයක් (විඩියෝ)

14 • වෑන් රථයක්, බස් රථයක ගැටී අවුරුදු 3 ක දරුවෙක් ජීවිතක්ෂයට

15 • “මම කොරෝනාවට වඩා භයානකයි, එක දවසේ හමුදාවේ දෙතුන් දහසක් මැරුවා” – කරුණා අම්මාන් අතීතය හෙළිකරයි

+++++++++++++++++++++++++++++++++++

(01) ‘බැටිකලෝ කැම්පස්’ අරමුදලට ලැබුණු රුපියල් කෝටි 400 යේ විස්තර පොලිසියට දෙන්න

(19.06.2020 – 12:25 +0530 – lankadeepa.lk)

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.එම්. හිස්බුල්ලා මහතාට අයත් බව කියන ‘බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගම’ මඩකලපුව පූනානි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විශ්වවිද්‍යාලය වෙනුවෙන් ආරම්භ කර තිබූ බැංකු ගිණුම් තුනකට (03) ආරාබියෙන් ලද රුපියල් කෝටි 400 කට (බිලියන 4 කට) අධික මුදලක් බැරවීමට අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය කාත්තන්කුඩි ලංකා බැංකු ශාඛාවේ කළමණාකරු වෙත ඊයේ (18) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ඊයේ (18) මෝසමක් මගින් අධිකරණයට කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙම බැංකුවේ ගිණුම් තුනකට විදෙස් රටවලින් රුපියල් කෝටි 400 (බිලියන 4 කට) අධික මුදලක් බැරවී ඇති බවත් මේ වන විට එක් ගිණුමක ඉතිරි වී ඇත්තේ මුදල් රුපියල් තිස් හය දහසක මුදලක් පමණක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ඊයේ (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කරුණු වාර්තා කළේය.

ඒ අනුව ඉකුත් 2016 වර්ෂයේ ජනවාරි මස 14 වන දින සිට 2019 මැයි මස 31 වැනිදා දක්වා අතර කාලසීමාවේදී අවස්ථා 206 කදී රුපියල් කෝටි 444 ක (රු. 4,436,282,426.71 ක) මුදලක් බැරවී ඇති බවත් එම මුදලින් අවස්ථා 825 කදී මුදල් ඉවත් කර ගෙන ඇති අතර මේ වන විට එම එක් ගිණුමක ශේෂය රුපියල් 36,298.47 ක් බව ද එම ඒකකය අධිකරණයට වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේය.

මෙම එක් ගිණුමකට බැරවී ඇති මුදල් අතරින් රුපියල් කෝටි 364 ක් (රු. 3,640,939,488.72 ක) මුදලක් අවස්ථා හතරක (04) දී සවුදි අරාබියේ ඉන්හෙරිටන්ස් අලි අබ්දුල්ලා අල්ජුෆාලි ජෙඩා නමැති ආයතනය විසින් යොමු කර ඇතැයි ද මෙම ගිණුමට අදාළ මුදල් ලැබීම සිදුවී ඇති ආකාරය සහ එම මුදල් වියදම් කර ඇති ආකාරය ගැන වැඩිදුරටත් විමර්ශනය කරමින් පවතින බව ද එම ඒකකය සිය බී වාර්තාව මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

අධිකරණයෙන් ලබාගත් නියෝග ප්‍රකාරව ‘බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගම’ නමින් කොල්ලුපිටිය ලංකා බැංකුව අධිශ්‍රේණි ශාඛාවේ අංක 78445137 දරන ගිණුමට අදාළ ගිණුම් ප්‍රකාශ හරහා බැරපත් චෙක්පත් මැන්ඩේට් පත්‍ර අත්සන් කාඩ්පත් ගනුදෙනු කිරීමට බලය පවරා ඇති පුද්ගලයින් සම්බන්ධ තොරතුරු ලබා ගත් බවත්, එම තොරතුරු පරීක්ෂා කිරීමේ දී ඉකුත් 2016 ජනවාරි මස 04 වන දින එම සමාගම විසින් ශ්‍රී ලංකා රුපියල් මගින් ගනුදෙනු කළ හැකි ජංගම ගිණුමක් ආරම්භ කර තිබූ බවත් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

ඒ අනුව එම ගිණුම ආරම්භ කිරීම සඳහා එහි සභාපති මොහොමඩ් ලෙබ්බේ අලි මොහොමඩ් හිස්බුල්ලා යන අය ද එහි අධ්‍යක්ෂවරයා වන හිරජ් හිස්බුල්ලා යන අය සම්බන්ධ වී ඇති බව ද එම ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
‘බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගම’ නමැති මඩකලපුව පූනානි ප්‍රදේශයේ ඉදිකරමින් පවතින විශ්වවිද්‍යාලය සඳහා එම ඉඩම බදු පදනම මත ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් බවත්, එම බදු ගිවිසුම 2013 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි 2018 වර්ෂයේ දී අත්සන් තබා ඇත්තේ හිටපු ජනාධිපතිවරයා බවත් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මඩකලපුව පූනානි ජයන්තියාය ග්‍රමයේ පිහිටි අක්කර 35 ක පමණ ඉඩමක් අංක 10/18 ලේක් ඩ්‍රයිව්, කොළඹ 08 ලිපිනයේ පවත්වාගෙන යන ශ්‍රී ලංකා හීරා පදනම වෙත බැහැර කර, පසුව එම ඉඩම බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත බැහැර කර ඇති ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී මෙම කරුණු අනාවරණය වී ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

ඒ අනුව ‘බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගම’ සහ හිරා පදනම යන ආයතන දෙකේ ආරම්භක අධ්‍යක්ෂවරුන් වන මොහොමඩ් හිස්බුල්ලා අහමඩ් හිරාස් සහ මොහොමඩ් ලෙබ්බේ අලි මොහොමඩ් හිස්බුල්ලා යන අය ‘බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගම’ , බැටික්ලෝ යුනිවර්සිටි කොලේජ්, හිරා පදනම සහ මලික් අබ්දුල්ලා යුනිවර්සිටි නමැති ආයතන නමින් සැකකටයුතු ලෙස ගිණුම් පවත්වාගෙන යන බවට ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් ඉකුත් 2019 වර්ෂයේ ජුලි මස 22 වැනිදා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත දැනුම් දී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව මෙම සැකකටයුතු ගිණුම් 03 සම්බන්ධයෙන් බැංකු වාර්තා කැඳවිය යුතු බවටත් එම ගිණුම්වලට මුදල් ලැබීම් සහ ඒවා වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුව ඇති බවටත් සඳහන් කළ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ඒ සඳහා අවසර ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අධිකරණ නියෝග ලබා දෙමින් සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙසට මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනතේ වගන්ති 03 යටතේ සහ 2013 අංක 3 දරන පනතින් හා 2011 අංක 41 දරන පනතින් සංශෝධිත 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්මුති පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව වරදවල් සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් ද විමර්ශනය ආරම්භ කර අතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මින් ඉහත දී අධිකරණයට සිය බී වාර්තාව මගින් කරුණු සඳහන් කර තිබිණ.

මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මඩකලපුව පොලිස් අධිකාරි කාර්යාලය වෙත ඉකුත් 2018 ජුනි මස 12 වැනිදා සිදුකළ පැමිණිල්ලකට අදාළව පොලිස්පතිවරයා තම කොට්ඨාසයට එම විමර්ශනය යොමු කරනු ලැබූ බව එවකට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

(නිමන්ති රණසිංහ)

***************************************

(02) විදේශයන්හි සිට ලැබුණු පාර්සල්වල ලිපින මැකුණේ ඒවා මුද්‍රණයට භාවිතා කළ තාක්ෂණයේ දෝෂයකින්

(19.06.2020 – 18:42 +0530 – lankadeepa.lk)

විදේශයන්හි සිට ලැබුණු පාර්සල් 45,000 ක පමණ ලිපින මැකී ගොස් ඇත්තේ ඒවා මුද්‍රණයට භාවිතා කර ඇති ක්‍රමවේදයේ පවතින දෝෂ නිසා යැයි නියෝජ්‍ය තැපැල්පති තුසිත හුළංගමුව මහතා පැවසීය.

මේ පාර්සල් ගුවන් තැපෑලට භාර දී මාස තුනකට (03) වඩා ගතවී ඇති බවත්, ගුවන් ගමන් ක්‍රියාත්මක නොවීම නිසා නෞකාවක් මගින් එවීමේදී කාලය ගතවීම සමඟ පාර්සල් මත මුද්‍රණය කර තිබූ ලිපින මැකී ගොස් ඇති බවත් නියෝජ්‍ය තැපැල්පතිවරයා කීවේය.

එම පාර්සල් මත අලවා ඇති ලිපින මුද්‍රණය කිරීමට යොදාගෙන ඇති ක්‍රමවේදය අනුව එම ලිපිනවල අකුරු මාස කිහිපයක් යාමේදී මැකීයාම සාමාන්‍ය තත්ත්වයක් බව ද ඔහු සඳහන් කළේය.

මෙම ලිපින මැකී ගොස් ඇති පාර්සල් හිමිකරුවන්ට ලබාදීම සඳහා මේ වන විට පියවර ගනිමින් සිටින බව ද නියෝජ්‍ය තැපැල්පතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වන විටත් එම පාර්සල්වල කේත (බාකෝඞ්) අංක එම පාර්සල් එවූ මැලේසියානු තැපැල් පරිපාලනය වෙත යවා තිබෙන බවත්, ඒ හරහා මෙම පාර්සල් හිමියන්ගේ ලිපින ලබාගැනීමට හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේය.

අන්තර්ජාලය හරහා විදෙශයන්ගෙන් අයදුම් කළ භාණ්ඩ තොගයක් මෙසේ ලැබී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ලිපින වලින් අඩක් පමණක් මැකීගොස් ඇති නමුත් ඉතා අපහසුවෙන් කියවාගත හැකි පාර්සල් 5000 ක් පමණ මේ අතර තිබෙන බව කී හුලංගමුව මහතා ඒවා හැකි ඉක්මනින් අයිතිකරුවන් වෙත බෙදීමට කටයුතු කරන බව ද කීවේය ෴

***************************************

(03) රුවන්වැලි සෑයේ පැරණි චුඩා මාණික්‍ය බැතිමතුන්ගේ ප්‍රදර්ශනයට

(18.06.2020 – 23:21 +0530 – lankadeepa.lk)

රුවන්වැලි මහා සෑයට සවිකර තිබු වසර 80 ක් පැරණි ගලවා ඉවත්කළ චුඩා මාණික්‍ය සැදැහැවතුන්ට වන්දනා මාන කිරීම සඳහා රුවන්වැලි මහා සෑ භුමිය තුළ ඉදිකළ සුගන්ධ කුටියේ තැන්පත් කිරීමේ ආගමික උත්වය අද (18) දින රාත්‍රී අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

බුරුම රජයෙන් ලැබුණ මෙම චුඩා මාණික්‍ය 1940 ජුනි 14 දින රුවන්වැලි මහා සැයේ නව ප්‍රතිසංස්කරණයෙන් පසුව චුඩා මාණික්‍ය මහා සැයේ පලදවනු ලැබීය.

පසුව එම චුඩා මානික්‍ය කාලයත් සමඟ දුර්වල තාවයට පත්විමේ හේතුවෙන් ඒ සඳහා නව චුඩා මානික්‍යයක් 2019 නොවැම්බර් මාසයේදි සවිකරනු ලැබීය. ඒ සඳහා විශ්ව පාරමි පදනමේ ප්‍රධානි ප්‍රභාත් නානායක්කාර මහතාගේ දායකත්වය හිමිවිය.

මෙම නව චුඩා මාණික්‍ය කොත් වහන්සේට පැලද විමෙන් පසුව ගලවා ඉවත් කරනු ලැබූ, වසර අසුවක් (80) පැරණි චුඩා මානික්‍ය බැතිමතුන්ගේ වන්දනාව පිණිස රුවන්වැලි මහා සෑ භුමියේ අභිනවයෙන් ඉදිකළ සුගන්ධ කුටියේ තැන්පත් කිරිම අටමස්ධානාධිපති පුජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම අවස්ථාව සඳහා රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් ඇතුළු අටමස්ථානයේ නා හිමිවරු ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

***************************************

(04) අර්ධ සූර්යග්‍රහණයක් ජුනි 21 දා

(18.06.2020 – 22:23 +0530 – lankadeepa.lk)

වලයාකාර සූර්යක්ග්‍රහණයක් අර්ධ සූර්යක්ග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල සිටින ජනතාවට නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙම මස (21) වැනි ඉරිදා දින උදාවන බව නවීන තාක්ෂණය පිළිබඳව ආතර් සී ක්ලාක් ආයතනය කියයි.

මෙම සූර්යග්‍රහණයේ ආරම්භක අවස්ථාවේ යාපනයේ ඩෙල්ෆ් දුපත ආශ්‍රීත ප්‍රදේශයට (21) වන ඉරිදා දින උදෑසන 10:30 ට පමණ දිස් වීමට නියමිතය.

එදින චන්ද්‍රයා මඟින් සූර්යයාගේ මුහුණත ආවරණය වීමේ උපරීම ප්‍රමාණය 24% වන අතර එය කයිට්ස්, කන්කසන්තුරෙයි, වැල්වැටිතුරෙයි හා පේදුරුතුඩුව ආශ්‍රීත ප්‍රදේශවලදී දිස්වන බව ආතර් සී ක්ලාක් ආයතනය පවසයි.

මෙම සූර්යග්‍රහණය කොළඹ ප්‍රදේශයට උදෑසන 10:29 ට පමණ දිස්වීමට නියමිත අතර උදෑසන 11:51 පමණ වන විට එහි උපරිමයට ළඟා වී දහවල් 01:29 ට පමණ අවසන් වේ.

එසේම කොළඹ සිට සූර්යග්‍රහණය නිරීක්ෂණය කරන විට උපරිම වශයෙන් සූර්යයාගේ මුහුණතෙහි 16.5% ක ප්‍රමාණයක් චන්ද්‍රයා මඟින් ආවරණය වන බව ද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සූර්යග්‍රහණය අර්ධ සූර්යග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට දිස් වූවත් මෙය වලයාකාර සූර්යග්‍රහණයක් ලෙස අප්‍රිකානු මහද්වීපයෙන් ආරම්භ වන අතර එහි වලාකාර තත්ත්වය මෙන්ම අර්ධ සූර්යග්‍රහණ තත්ත්වය කොන්ගෝ රාජ්‍ය ආදී අප්‍රිකා රටවල් කිහිපයකටත් සෞදි අරාබිය, යේමනය හා ඕමානය ආදී මැදපෙරදිග රටවල් කිහිපයකටත් පාකිස්ථානය, ඉන්දියාව, චීනය ආදී රටවල්වලටත් දැකබලා ගත හැකිය.

එසේම ශ්‍රී ලංකාව ඇතුලු ඉතාලිය, තුර්කිය, ජපානය, කොරියාව, සිංගපුරුව, මැලේසියාව හා ඔස්ට්‍රේලියාව ආදී රටවල් සඳහා මෙහි අර්ධ සූර්යග්‍රහණ තත්ත්වය පමණක් දිස්වන බව ද ආතර් සී ක්ලාක් ආයතනය පවසයි.

මෙම අර්ධ සූර්යග්‍රහණය කිසිසෙත්ම පියවි ඇසින් නිරීක්ෂණය නොකළ යුතු අතර සූර්යග්‍රහණ නිරීක්ෂණය කරන විශේෂිත කණ්නාඩියකින් හෝ නොම්බර 14 වෑල්ඩින් වීදුරුවකින් නිරීක්ෂණය කිරීම ආරාක්ෂා සහිත වේ.

ආරක්ෂිත සූර්ය ආවරණයක් නොමැතිව දුරදක්නයකින් හෝ ප්‍රිස්මදෙනේතකින් කිසිසෙත්ම සූර්යග්‍රහණය නිරීක්ෂණය නොකරන්නැයි ආතර් සී ක්ලාක් ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම සූර්යග්‍රහණය නවීන දුරේක්ෂ ආධාරයෙන් පරීක්ෂණ මට්ටමින් නිරීක්ෂණය කරන අතර එය ආතර් සී ක්ලාක් ආයතනයේ www.accimt.ac.lk වෙබ් අඩවිය මඟින් ජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව සලසා ඇතැයි ආතර් සී ක්ලාක් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි ෴

***************************************

(05) “දායකයන්ට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරන්න” – ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගෙන්, භික්ෂුන් වහන්සේට පණිවුඩයක්

(20.06.2020 – 07:52 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවත්නා මෙම ආපදා අවස්ථාවේ බුදු රජාණන් වහන්සේ භික්ෂූත්වයට නුසුදුසු යැයි අනුදැන වදාළ අගෝචර කටයුතු වලින් වැළකී සිටීම වඩාත් උචිත බව ත්‍රෛනිකායික මහානාහිමිවරුන් පවසනවා.

ඒ, ඇතැම් භික්ෂුන් වහන්සේ නොගැලපෙන අන්දමින් අගෝචර කටයුතුවල යෙදෙන බවට පළවු ජනමාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

අස්ගිරි මල්වතු මහානාහිමිවරුන් මෙන්ම අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි මහානාහිමිවරුන් විසින් ඒ සඳහා නිකුත් කර ඇති සංදේශයේ මාතෘකාව වන්නේ “ශාසන චිරස්ථිතිය පිණිස ධර්ම විනය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම” යන්නයි.

***************************************

(06) “කළා කියලා දන්නවා නම් කරපු අය දන්නවා නම් ඔප්පු කරන්න” – තරඟ පාවාදීමේ චෝදනාවට මාලිගෙන් සැර පිළිතුරක්

(20.06.2020 – 08:38 +0530 – hirunews.lk/sinhala)

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දී සචින් තෙන්ඩුල්කාර් සහ විරේන්ද්‍ර ෂෙවාග් පළමු කඩුලු දෙක ලෙස දවාලූ ලසිත් මාලිංග ද මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය මුහුණු පොතට සටහනක් එක් කරමින් අදහස් දක්වා තිබෙනවා.

මේ අතර 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේ කණ්ඩායම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ එවකට සිටි ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත්ව එළඹුණු ඒවා බව එවකට ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ප්‍රකාශ කළා.

හිරු ක්‍රීඩා අංශය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

***************************************

(07) ජනපතිගේ ඡන්ම දිනය අදයි (20)

(20.06.2020 – 06:59 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (20) සිය ජන්ම දිනය සමරනවා.

1949 වසරේ ජුනි 20 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, උපත ලබන අතර, කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගත්තා.

1971 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳෙන ඔහු හමුදා සේවයේ නිරතව සිටියදී, මැඩ‍්‍රාස් විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යාපන විෂය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ගන්නවා.

පාකිස්ථානයේ, ඉන්දියාවේ මෙන්ම, ඇමරිකාවේ පැවති උසස් පුහුණු පාඨමාලාවන්ට එක්වන ඔහු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව රට වෙනුවෙන් කළ අපරිමිති මෙහෙවර වෙනුවෙන් රණ වික්‍රම සහ රණ ශූර යන පදක්කම්වලින් ද පිදුම් ලැබුවා.

ලුතිනන් කර්නල්වරයෙකු ලෙස 1991 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණ විෂය හදාරා ඇමරිකාවට යන ඔහු කැලිෆෝනියා ලොයෙලා නීති විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදියෙකු ලෙස ද කටයුතු කර තිබීම විශේෂත්වයක්.

2005 නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේදී සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ මෙරට ආරක්ෂක ලේකම්වරයා ලෙස රාජකාරි ආරම්භ කරන වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රස්තවාදයට එරෙහි සටන මානුෂීය මෙහෙවරක් ලෙස නිම කරන්නට දැක්වූ දායකත්වය වදනින් කැටිකළ නොහැකියි.

2006 වසරේදී එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඉලක්කයක් බවට ඔහු පත්වෙන්නේ ද එබැවින්.

රටට සාමය උදා කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු කළ කාර්යභාරය අගයමින් කොළඹ විශ්වවිද්‍යාලය ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් ද පිරිනමනු ලැබුවා.

2015 වසරෙන් පසු රටේ බහුතර ජනතාවගේ හැඟීම් සහ ඉල්ලීම් වෙනුවෙන් කැපවෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වන ඔහු පසුගිය වසරේ නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීක සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණා.

ඒ සිය ප්‍රතිවාදියාට වඩා ඡන්ද මිලියන 1 යි දශම 3 ක් හිමිකර ගනිමින් ෴

+++++++++++++++++++

ආගමික වතාවතට සීමා වූ ජනපති උපන්දිනය

(20.06.2020 – 12:44 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චිරාගත ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සිය 71 වන ජන්ම දිනය සමරා තිබේ.

අද (20) උදෑසන ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වැඳ පුදාගත් ජනාධිපතිවරයා සෑ රඳුන් අභියස පහන් දල්වා කිරි ආහාර පූජාව පැවැත්වූ අතර මෙහිදී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි ආගමික වතාවත් සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අනතුරුව චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා කප්රුක් පූජාවක් සිදුකළ අතර චෛත්‍ය මහ මළුවේ කිරි ඉතිරවීමේ චාරිත්‍රය ද සිදුකර තිබේ.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ ඥාතීන් පිරිසක් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) පස්වරුවේ අභයගිරි, පූර්වාරාම මහා විහාරය වැඳපුදාගෙන විහාරාධිපති උතුරුමැද පළාතේ සංඝනායක පූජ්‍ය පොතානේ ධම්මානන්ද හිමි බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.

ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට කැප වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගනිමින් කළ මෙහෙවර පූජ්‍ය පොතානේ ධම්මානන්ද හිමිගේ ප්‍රශංසාවට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

***************************************

(08) ETI තැන්පත්කරුවන්ගේ සූදානම

(20.06.2020 – 15:04 +0530 – hirunews.lk/sinhala)

ETI ආයතනයේ මුදල් තැන්පත් කළ සියළු තැන්පත් කරුවන්හට සාධාරණයක් ඉටු නොවන්නේ නම් අඛණ්ඩ උපවාසයක නිරතවීමට සූදානම් බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය පවසනවා.

ඔවුන් මෙම අදහස් පැවසූවේ අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.

***************************************

(09) බෙලිගල රාජමහා විහාරයේ ඉපැරණි බිතුසිතුවම් විනාශ මුඛයට

(20.06.2020 – 14:52 +0530 – hirunews.lk/sinhala)

මෙරට රජවරුන් දෙදෙනකු රැඳී සිටි ස්ථානයක්, ලෙස මෙම බෙලිගල් පුරාණ රාජමහා විහාරස්ථානය සැලකෙනවා.

වලගම්බා රජතුමා යුද්ධයෙන් පැරදී වසර 14 පසු යුද්ධයෙන් ජයග්‍රහණය කර මෙම ස්ථානය අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරමින් භික්ෂූන් වහන්සේට පූජා කර තිබෙනවා.

පසුව කාලයාගේ ඇවෑමෙන් මෙම ස්ථානය විනාශ වෙමින් පවතින බව අවබෝධ කර ගත් පළමුවන සීතාවක රාජසිංහ රජතුමා විසින් නැවත එය ප්‍රතිසංස්කරණය කර ඇති බව ඉතිහාස වාර්තාවල සඳහන්.

මෙරට පුරාණ දායදායේ වටිනාකම රජවරුන් පවා දැන සිටියදී වත්මන් බලධාරීන්ගේ අවධානය ඒ වෙත යොමු නොවීම හේතුවෙන්, වසර 400 කටත් වඩා ඉපැරණි බිතු සිතුවම් මේ වනවිට විනාශ මුඛයට යමින් පවතින්නේ මෙලෙසයි.

මෙහි තැන්පත් කර ඇති වසර එකසිය විස්සක් පමණ පැරණි සැතපෙන බුදුපිළිමය නිදන් හොරුන්ගේ ග්‍රහණයටද හසුවී ඇති බවත් සඳහන් කළ නායක හිමියන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු විය යුතු බවයි.

***************************************

(10) පොහොර නොමැතිව දුක් විදින ඇඹිලිපිටිය කෙසෙල් ගොවියෝ

(20.06.2020 – 14:46 +0530 – hirunews.lk/sinhala)

උඩවලව ජලාශයෙන් පෝෂණය වන, ඇඹිලිපිටිය, වලව කලාපයේ හෙක්ටයාර 4,500 ත් 5,000 ත් අතර බිම් ප්‍රදේශයක කෙසෙල් වගාකෙරෙනවා.

ඒ, කෙසෙල් වගාව සිය ජීවිකාව කරගත් 20,000 කට වැඩි ගොවින් ප්‍රමාණයකගේ දායකත්වයෙන්.

කොවිඩ් 19 වසංගතයත් සමග පසුගිය ඇඳිරි නීති සමයේදීද මෙම ගොවීන් දැඩි දුෂ්කරතාවට ලක්වූයේ සිය අස්වැන්න අලෙවි කර ගැනීමේ ක්‍රමවේදයන් සියල්ල ඇහිරී යාම නිසයි.

එම කාල වකවානුවේදි කෙසෙල් අස්වැන්න කිලෝව රුපියල් 10 ත් 12 ත් අතර මුදලකට අලෙවි කිරීමට සිදුවූ බව ගොවින් පෙන්වා දෙනවා.

ඊට පිළියමක් ලෙස රජයේ මැදිහත් වීමෙන් අදාළ කාලසීමාවේදී සාධාරණ මිලට කෙසෙල් අස්වැන්න මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත් මේ වනවිට ඇඹිලිපිටිය, වලව කලාපයේ ගොවින් මුහුණ දී සිටින ප්‍රධාන ගැටලුව වන්නේ පොහොර හිඟයයි.

කෙසෙල් ගොවීන් පෙන්වා දෙන්නේ වී ගොවින්ට රජයෙන් ලැබෙන සහනය තමන්ටද ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවිය යුතු බවයි.

***************************************

(11) වසර 15 ක සිට ගරාවැටෙන, මිදිගම ග්‍රාමීය රෝහල

(20.06.2020 – 14:39 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වසංගතයත් සමග ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට මෙරටින් පමණක් නොව පිටරටින්ද පැසසුම් ගලා ආ පසුබිමක් තුළ සෞඛ්‍ය බලධාරින්ගේ අවධානයෙන් මිදුණු රෝහල් පිළිබඳවද වාර්තා වනවා.

මාතර – මිදිගම ග්‍රාමීය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයක් සහ නේවාසික පහසුකම් සඳහා ගොඩනැගිලි පවා ඉදිකර තිබුණද මේ වන විට එයින් නිසි ප්‍රයෝජන ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

ඒ කලක පටන් එම රෝහල ගරාවැටෙමින් පැවතීම හේතුවෙන්.

ගම්මුන් පෙන්වා දෙන්නේ විශාල මුදලක් වැය කර ඉදි කර ඇති මෙම රෝහල මේ වන විට ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි.

මේ හේතුවෙන් සිය රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ගැනීම සඳහා ගම්මාන කිහිපයක ජනතාවට කිලෝ මීටර් ගණනක් දුර පිහිටි රෝහල් වෙත යාමට සිදුව ඇත්තේ බලධාරීන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන්.

ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම රෝහල පෙර තිබු පරිදි සකසා දෙන ලෙසයි.

***************************************

(12) මැතිවරණ කොමිසමේ ඇතැම් නීති නිසා අපේක්ෂකයින් අර්බුදයක – අගමැති

(20.06.2020 – 13:34 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිසම ක්‍රියාත්මක කර ඇති ඇතැම් නීති හේතුවෙන් නව අපේක්ෂකයන් ගැටළු රැසකට මුහුණදී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කුරුණෑගල ඊයේ පස්වරුවේ (19) පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

***************************************

(13) කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට කොළඹ සරසවියෙන් නව දුරකථන මෘදුකාංගයක්

(20.06.2020 – 13:29 +0530 – hirunews.lk/sinhala)

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකය මගින් කොරෝනා රෝගීන් හඳුනාගැනීමට නව දුරකථන මෘදුකාංගයක් හඳුන්වාදී තිබෙනවා.

මෙම මෘදුකාංගය ජංගම දුරකථනයට ඇතුලත් කරගත් පසු අසළ සිටින පුද්ගලයා කොරෝනා රෝගය ආසාදනය වී සුවය ලැබූවෙක්ද, නිරෝධායනය වන පුද්ගලයෙක්ද, නැතහොත් විදේශ රටක සිට පැමිණි අයෙකු ද යන්න සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට හැකියි.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූවෙකු ළඟ සිටීනම් දුරකථනයෙන් යම්කිසි නාදයක් නිකුත් වන බවයි.

මෙම මෘදුකාංගය ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය හේමන්ත දොම්පොල මහතාගේ උපදෙස් හා එම ආයතනයේ පර්යේෂන ආධාර මත නිර්මාණය කර ඇති අතර, ඉදිරියේදී මෙම මෘදුකාංගය ජංගම දුරකථන භාවිත කරන්නන්ට නොමිලේ ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

***************************************

(14) වෑන් රථයක්, බස් රථයක ගැටී අවුරුදු 3 ක දරුවෙක් ජීවිතක්ෂයට

(20.06.2020 – 10:17 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර, පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගයේ දිප්පිටිගල ප්‍රදේශයේදී වෑන් රථයක් බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකදී වෑන් රථයේ සිටි වයස අවුරුදු 3ක් පමණ වයසැති පිරිමි දරුවෙක් අද (20) අලුයම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වේගයෙන් පැමිණි වෑන් රථය බස් රථය ඉස්සර කිරීමට යාමේදී වෑන් රථයේ කවුලුවකින් ඔලුව එලියට දමාගෙන සිටි කුඩා දරුවා බස් රථයේ ගැටී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා ෴

***************************************

(15) “මම කොරෝනාවට වඩා භයානකයි, එක දවසේ හමුදාවේ දෙතුන් දහසක් මැරුවා” – කරුණා අම්මාන් අතීතය හෙළිකරයි

(20.06.2020 – 11:20 +0530 – hirunews.lk/sinhala)

තමන් කොවිඩ් 19 වසංගතයට වඩා භයානක බවත් එක රාත්‍රියකින් හමුදාවේ දෙතුන් දහසක් අලිමංකඩදී මරා දැමූ බවත් දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක හා එහි අම්පාර දිස්ත්‍රික් අපේක්ෂක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා.

ඔහු මෙම අදහස් පළකර සිටියේ අම්පාර, නාවදින්වේලි ප්‍රදේශයේ දී පැවති ජනහමුවකට එක්වෙමින්.

“කාර්තිව් සභාපතිවරයා කියා තිබෙනවා මම කොරෝනාවට වඩා භයානකයි කියලා. ඔව් ඒක ඇත්ත. මම කොරෝනාවට වඩා භයානකයි. මම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටින කාලයේ අලිමංකඩ කඳවුරේ හිටපු හමුදාවේ 2000 – 3000 ක් අතර පිරිසක් එක රැයින් මරා දැමුවා. ඒ වගේමයි කිලිනොච්චි වලදීත්, ඊට වඩා මරා දැමුවා. එය කොරෝනා වෛරසයෙන් මෙරට මැරුණ සංඛ්‍යාවට වඩා වැඩියි” යනුවෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එම ජනහමුවේදී කියා සිටියා ෴

(කරපු අපරාධ වලට නියමිත දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක තවම ලැබී නැත ! – අමරසර)

+++++++++++++++

++++++++++++++++

කරුණා අම්මාන් වහා අත්අඩංගුවට ගන්න – පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි

(20.06.2020 – colombotoday.com)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක කරුණා අම්මාන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස නව සිංහල රාවයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීම පිළිබඳව කරුණා අම්මාන් විසින් ඊයේ සිදුකල ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඒ හිමියෝ මේ බව සඳහන් කර සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය මගල්කන්දේ සුදත්ත හිමියෝ :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *