පාස්කු බෝම්බ කරුවෙකු රිෂාඩ් බදියුදින් හමුවී ඇති බව කොමිසමේදී හෙළිවෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

01 • පාස්කු බෝම්බ කරුවෙකු රිෂාඩ් බදියුදින් හමුවී ඇති බව කොමිසමේදී හෙළිවෙයි (විඩියෝ)

02 • සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ හඬ පට සහ දර්ශන පෙළක් එළියට (විඩියෝ)

03 • විල්පත්තු එළි කිරීමට එරෙහි රිෂාඞ් ඇතුළු පිරිසට එරෙහි නඩු තීන්දුව ජුලි මස 31 වනදා (විඩියෝ)

04 • ක්‍රිකට් පාවාදීම ගැන මහින්දානන්ද පොලිසියට දුන් පිටු 6, ලේඛන 8 හා කරුණු 24 මෙන්න (විඩියෝ)

05 • හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවකට හා වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව අධිචෝදනා (විඩියෝ)

06 • ලුණු ආනයනය සම්පූර්ණයෙන්ම නතර කළයුතුයි – ජනපති

07 • කැළණිය සරසවියේ CCTV කැමරා ගැලවූ සිසුන් 9 දෙනාට ඇප

08 • කාදිනල් හිමිපාණන් ගැන හරීන්ගේ ප්‍රකාශයට, අදත් (24) දසතින් විරෝධය (විඩියෝ)

09 • කරුණාගේ ප්‍රකාශයට එරෙහිව අද නැගුණු හඬ (විඩියෝ)

10 • කරුණාගේ ප්‍රකාශයට එරෙහිව පැමිණිලි 2 ක්

11 • මහබැංකුවේ පැහැර හැරීමක් ගැන ETI කොමිසමේදී හෙළිවේ (විඩියෝ)

12 • නිලධාරින් අල්ලස් ගත්තේ දැයි සොයන්න මහබැංකුව අල්ලස් කොමිසමෙන් ඉල්ලයි

13 • මහබැංකුව සියයට 4 ක පොලී අනුපාතයකට බිලියන 28 ක ණය අනුමත කරයි (විඩියෝ)

14 • මිලියන 17 කට වැඩි මුදලක් වැය කර බාහිර නීතීඥවරයෙකුගේ සේවය ලබාගැනීමට විදුලිබල මණ්ඩලය ගත් තීරණය ඇමති අත්හිටුවයි

15 • පාතාලයක් අපේ රටට ඕනෙම නෑ (විඩියෝ)

16 • බන්ධනාගාර පාලනයේ වෙනසක් – ප්‍රධාන ජේලර්ලා 19 කට මාරු

17 • දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ ෆෙඩරල් පාලනයක් – මැතිවරණ හූලා (විඩියෝ)

18 • සෞඛ්‍ය මාර්ගෝපදේශ ප්‍රමාද වීම ගැන, මැතිවරණ කොමිසම කනස්සල්ලෙන් (විඩියෝ)

19 • ඔබගේ විදුලි බිලට වැඩිපුර අයකර ඇත්නම් වෙන දේ

20 • රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරි අභ්‍යාසලාභීන්ගෙන් 15,000 ක් පාසල් අධ්‍යාපන පද්ධතියට

21 • උසස් පෙළ ඇගයීම් පරීක්ෂකවරු සඳහා නිවේදනයක්

22 • අරණායක පොලීසියේ 03 දෙනෙකුගේ වැඩ තහනම්

23 • ගමම පාරට ගෙනා රිදීමාලියද්දේ ගල් කොරිය (විඩියෝ)

24 • වැලිසර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12 ක ජල කප්පාදුවක්

25 • ඇමරිකානු MCC සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අගමැතිට

26 • ‘සිව් පෙති බිනර විශේෂ’ ආරක්ෂාකර ගැනීමට රජයේ අවධානය

+++++++++++++++++++++++++++++++++++

(01) පාස්කු බෝම්බ කරුවෙකු රිෂාඩ් බදියුදින් හමුවී ඇති බව කොමිසමේදී හෙළිවෙයි

(24.06.2020 – 13:52 +0530 – hirunews.lk/sinhala)

වරෙන්තු ලැබ පොලිසීය මගහරිමින් සිටි සහරාන් හෂීම්ට බෝට්ටුවකින් ඉන්දියාවට පළා යාමට උපකාර කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදින් යැයි හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයෙකු ජනාධිපති කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂිය යළි තහවුරු කරනු ලැබුවා.

ඒ මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද එම පුවත අසත්‍ය බවට රිෆ්කාන් බදියුදින් යොමු කළ ලිපියක් ජනාධිපති කොමිසම යළි සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ අවස්ථාවේ දීයි.

2017 වසරේ මාර්තු මස කාත්තන්කුඩි හි ඇතිවූ ගැටුමකින් පසු වරෙන්තු ලැබ සිටි සහරාන් හෂීම්ට ඉන්දියාවට පළා යාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදින් උපකාර කළ බව හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයා පෙරේදා ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කළා.

කෙසේ වෙතත් ඒ පිළිබඳ විකාශය කළ ප්‍රවෘත්තිය අසත්‍ය බව පවසමින් රිෆ්කාන් බදියුදින් ජනාධිපති කොමිසමට ඊයේ (23) පස්වරුවේ ලිපියක් යොමු කර තිබුණා.

එම ලිපිය මගින් රිෆ්කාන් බදියුදින් සඳහන් කර තිබුණේ තම සහෝදර රියාජ් බදියුදින් මේ වන විට අත්අඩංගුවේ පසුවුවද, තමන් කිසිදු දිනක සහරාන් හෂීම් මුණ නොගැසුණු බවයි.

එම ලිපිය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ සහරාන් හෂීම්ට ඉන්දියාවට පළායාමට රිෆ්කාන් බදියුදින් උපකාර කළ බවට ඉතා පැහැදිලි බුද්ධි තොරතුරු ලැබුනේයැයි සාක්ෂි ලබාදුන් හිටපු බුද්ධි අධ්‍යක්ෂකරවයා ඊයේ (23) දෙවන දිනටත් කොමිසමට අවධාරණය කළා

අදාළ තැනැත්තා එවක උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ බවද සාක්ෂිකරු පැවසුවා.

එමෙන්ම තමන් මේ සම්බන්ධයෙන් 2019 මාර්තු 22 වනදා එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ජාතික බුද්ධි ප්‍රධානියා දැනුම්වත් කළ බවයි ඔහු කොමිසම හමුවේ කියා සිටියේ.

මේ අතර, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදි මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි.ආර්.රවින්ද්‍ර ඊයේ (23) ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

එහිදී ඔහු සදහන් කළේ මෙරට ප්‍රසිද්ධ කුළුබඩු ව්‍යාපාරික මොහොමඩ් යුසුෆ් ඊබ්‍රාහිම්ගේ පුතෙකු වන මෙම සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා කොලෝසස් (Colossus) නම් ආයතනයක් හරහා තඹ වයර් නිෂ්පාදනය කර ඉන්දියාවට අපනයනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලය පැවති සමයේ මෙම ආයතනය ලියාපදිංචි කර ඇති බවද අපනයන කටයුතු සම්බන්ධයෙන් ගැටළුකාරි තත්ත්වයක් උද්ගතවු අවස්ථාවක මෙම බෝම්බකරු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා හමුවී එම ගැටළුව නිරාකරණය කරගෙන ඇති බවද සාක්ෂිකරු වැඩිදුරටත් අනාවරණය කළා.

ඔහු කියා සිටියේ කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් අබලි ද්‍රව්‍ය නිකුත් කිරීමේ ප්‍රමාණාත්මක ක්‍රමවේදයක් පවතින අවස්ථාවක අනෙකුත් ආයතන සදහා 0.5% ක ප්‍රතිශතයක අබලි ද්‍රව්‍ය නිකුත් කරමින් මෙම ආයතනයට පමණක් 2017 වර්ෂයේදි 17% ක ප්‍රමාණයක් හා 2018 වර්ෂයේදි 35% ක ප්‍රමාණයක් නිකුත් කර ඇති බවයි.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ ප්‍රහාරකයා වන ඉන්ෂාෆ් අහමඩ් තඹ ව්‍යාපාරයෙන් ඉපයු රුපියල් කෝටි 4.5 ක මුදලක් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් සදහා යොදවා ඇති බවද සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ අදාළ ගිණුමෙන් ඉකුත් වර්ෂයේ අප්‍රේල් මස 10 වන දින අවසන් වශයෙන් මුදල් ලබාගෙන ඇති බවයි.

මේ අතර සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්ෂාෆ් අහමඞ් මරාගෙන මැරෙන ප්‍රහාරයකයාගේ මෙතෙක් නොදුටු ක්‍රියාකාරකම් වලට අදාළ CCTV දර්ශන පෙළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළා.

බෝම්බකරු ප්‍රහාරයට පෙරදින කටුනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපල ඇතුලු‍ ස්ථාන රැසකට ගොස් ඇති බව එම දර්ශනවලින් අනාවරණය වනවා.

+++++++++++++++++++++

(02) සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ හඬ පට සහ දර්ශන පෙළක් එළියට

(24.06.2020 – 20:01 +0530 – sinhala.adaderana.lk)

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්ෂාෆ් අහමඩ්ට අයත් තඹ ව්‍යාපාරයෙන් ඉපැයු රුපියල් කෝටි 4.5 ක මුදලක් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් සදහා යොදවා ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණි.

මේ අතර ප්‍රහාරයට දින දෙකකට පෙර ඉන්ෂාෆ් අහමඩ් රට යන බව හඟවමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ හොර රහසේ නැවතත් දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවස වෙත යන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙලක් ද මාධ්‍ය වෙත නිකුත් කෙරුණි.

2017 දී වරෙන්තු ලැබ සිටි සහරාන් හෂීම්ට ඉන්දියාවට පලායාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාගේ සොහොයුරු රිෆ්කාන් බදියුදින් උපකාර කළ බවට හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු ජනාධිපති කොමිසමේදී කළ ප්‍රකාශය ඊයේ (23) දින අප “දෙරණ අරුණ” සහ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ ඔස්සේ වාර්තා කළේය.

එම වාර්තාකරණය අසත්‍යක් බව රිෂාඩ්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදින් විසින් ජනාධිපති කොමිසමට ඊයේ (23) දින ලිපියක් යොමු කර තිබුණි.

එම ලිපියේ රිෆ්කාන් සඳහන් කර තිබුනේ දෙරණ අරුණ හරහා විකාශය වු ප්‍රවෘත්තිය අසත්‍ය වන බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින තම සහෝදර රියාජ් හෝ තමා කිසිදු දිනක සහරාන් හෂීම් මුණගැසි නොමැති බවය.

එම ලිපියට අනුව හිටපු බුද්ධි අධ්‍යක්ෂකරවයාගෙන් ඊයේ (23) දින ජනාධිපති කොමිසම විමසීමක් කළේය.

එහිදි හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා, සිය සාක්ෂිය තහවුරු කරමින් සඳහන් කළේ සහරාන්ට ඉන්දියාවට පලා යාමට උපකාර කළ බවට තමන් වෙත ලද බුද්ධි තොරතුරේ පැහැදිලි ලෙස රිෆ්කාන් බදියුදින්ගේ නම සටහන් ව තිබූ බවය.

මේ අතර පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි.ආර් රවින්ද්‍ර විමලසිරි මහතා ඊයේ (23) ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

එහිදි ඔහු සඳහන් කළේ මෙරට ප්‍රසිද්ධ කුළුබඩු ව්‍යාපාරික මොහොමඩ් යුසුෆ් ඊබ්‍රාහිම්ගේ පුතෙකු වන, සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා “කොලෝසස් (Colossus)” නම් ආයතනය හරහා තඹ වයර් නිෂ්පාදනය කර ඉන්දියාවට අපනයනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවය.

කාර්මික සංවර්ධන මණ්ඩලය හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා යටතේ පැවති සමයේ කොලෝසස් ආයතනය ලියාපදිංචි කර ඇති බවද අපනයන කටයුතු සම්බන්ධයෙන් පැවැති ගැටලුවක් නිරාකරණය කිරීම සඳහා සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා රිෂාඩ් බදියුදින් මහතා හමුවී ඇති බවද සාක්ෂිකරු මෙහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම අබලි ද්‍රව්‍ය මුදාහැරීමේදී කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කොලෝසස් ආයතනය සඳහා සාපේක්ෂව ඉතා වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇති බව සිය විමර්ශනයේදි අනාවරණය වුයේ යැයි සාක්ෂිකරු පෙන්වා දුන්නේය.

සාක්ෂිකරු ජනාධිපති කොමිසමට පැවසුවේ, සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා තඹ ව්‍යාපාරයෙන් ඉපැයු රුපියල් කෝටි 4.5 ක මුදලක් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් සදහා යොදවා ඇති බවය.

අදාළ ගිණුමෙන් පසුගිය වසරේ අප්‍රේල් මස 10 වන දින අවසන් වරට මුදල් ලබාගෙන තිබේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ වන ෆාතිමා ශිෆ්කා නැමැත්තිය ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 25 වන දින අත්අඩංගුවට ගත් අතර ඇය සන්තකයේ තිබු Pen Drive දෙකක් තුළ තිබි My Final Audio නැමැති Folder ය සොයා ගත් බවය.

එහි අභ්‍යන්තරයේ ඉන්ෂාෆ් අහමඩ් විසින් ඉංග්‍රීසි සහ දෙමළ බසින් පටිගත කරන ලද English Voice to Family නැමැති මිනිත්තු 35 යි තත්ත්පර 16 ක හඩපටයක්ද, Instructions to my wife නමින් මිනිත්තු 18 තත්ත්පර 34 ක හඩපටයක් ද හමු වූ බව සාක්ෂිකරු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මරාගෙන මැරෙන බෝම්බකරු වු ඉන්ෂාෆ් අහමඩ් සිය බිරිඳට ලබාදුන් උපදෙස් ඇතුළත් Instruction to my wife නැමැති දෙවන හඬපටයේ උපුටාගැනීම මෙසේය‍ :

“මා සහ මගේ පියා කොලෝසස් (Pvt) Ltd සමාගමේ අධ්‍යක්ෂවරුන් බවට පත්කර සිටියත් එහි හිමිකාරිත්වයක් නැහැ. එබැවින් මා Colossus (Pvt) Ltd සමාගමේ 100% ක හිමිකාරීත්වය ඔබේ නමට ලියුවා.

වැල්ලම්පිටිය දේපල දරුවන්ගේ නමට ලියුවා. මෙම Pen Drive එක තුළ ඇති දේවල් කිසිවෙක් අතට පත් නොකරන්න.

එසේ කලහොත් අපට හා දේපල වලට විරුද්ධ මෙය සාක්ෂියක් වේවි. ලෑන්ඩ් කෲසර් රථය මුස්ලිම් නොවන සිංහල හෝ දෙමළ, අයෙකුට විකුණන්න.

මා මේ රථය භාවිත කළ නිසා යම් විටක සිසිටීවි දර්ශන මගින් විමර්ශන කිරිමට හැකියාව තියෙනවා.

මල්පාරෙහි (Flower Road) කිසිදු රහසිගත දෙයක් නොතබන්න. සියල්ල ඉවත් කරන්න අශ්ඛාන්ගේ තුවක්කුව ඉවත් කරන්න.

අපි හැමෝටම සඳුදා රාත්‍රී මැලේසියාවට යන්න ගුවන් ටිකට්පත් මිලදී ගත්තා.

මටත් එකක් ගත්තට මම එන්නේ නැහැ. ඔබ හිතනවා නම් මැලේසියාව හොඳයි කියලා මාමත් එක්ක එහේ යන්න.

ශ්‍රී ලංකාව ආරක්ෂිත නම් මෙහේ ඉන්න. නමුත් දුරකථන භාවිතයේදී ප්‍රවේසම් වන්න. දුරකතනය යනු ඔත්තු බලන එකක්.”

මේ අතර ඉන්ෂාෆ් අහමඩ් පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගැනිමට පෙර ආසන්න දින කිහිපය තුළ ආගිය ස්ථාන පිළිබදව මෙතෙක් මාධ්‍ය ඔස්සේ හෙළිදරව් නොවු සිසිටීවි දර්ශන පෙළක් ඊයේ (23) පළමු වරට ජනාධිපති කොමිසම ඉදිරිපත් කෙරුණි.

මේ දර්ශනවලින් පෙන්නුම් කෙරෙන්නේ, ඉන්ෂාෆ් අහමඩ් 2019 අප්‍රේල් 19 වැනි දින සවස 03:30 ත් 04:00 ත් සුදු පැහැති ලෑන්ඩ් කෲසර් ජීප් රථයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණෙන ආකාරයයි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ඉන්ෂාෆ්ගේ බිරිඳ, ෆාතිමා ශිෆ්කා සඳහන් කර ඇත්තේ සිය සැමියා ව්‍යාපාර කටයුත්තක් සදහා සැම්බියාව බලා යන බව සඳහන් කළ බැවින් එදින ඔහු සමග ගුවන් තොටුපොළට ගිය බවය.

එම රථය තුළ ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ, දරුවන් සිවුදෙනා, බිරිදගේ පියාගේ රියදුරා සිට ඇති අතර ඉන්ෂාෆ් අහමඩ්ව ගුවන්තොටුපලට බැහැර කිරීමෙන් පසු බිරිඳ ඇතුළු පිරිස මන්නාරමට පිටවත්ව ගොස් තිබේ.

කෙසේ වෙතත් එම පිරිස පිටත්ව ගිය පසු ගුවන්තොටුපොළ පර්යන්තයෙන් පිටතට පැමිණෙන සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා කුලී රථයක නැග, පැමිණ ඇත්තේ, දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි සිය නිවෙස වෙතය.

අනතුරුව 21 වැනිදා උදෑසන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තැප්‍රෝබේන් ආපන ශාලාවට ඇතුළුවන ඉන්ෂාෆ් අහමඩ් සිය මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හරින්නේ පෙරවරු 09:12 ට පමණය.

***************************************

(03) විල්පත්තු එළි කිරීමට එරෙහි රිෂාඞ් ඇතුළු පිරිසට එරෙහි නඩු තීන්දුව ජුලි මස 31 වනදා

(24.06.2020 – 10:40 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපයේ පරිවාර වනාන්තර කලාපය හෙළිකොට අනවසර ඉදිකිරීම් සිදුකිරීමට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රීට් පෙත්සමට අදාළ තීන්දුව ජුලි මස 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද නිවේදනය කළා.

විල්පත්තුව අවට වනාන්තර විනාශය පිළිබඳව විශාල ආන්දෝලනයක් ඇතිවුණේ ‘හිරු සී.අයි.ඒ.’ හරහා ඒ පිළිබඳව හෙළිදරව් කිරීමත් සමඟයි.

2015 වසරේ අප්‍රේල් මස සිට ‘හිරු සී.අයි.ඒ.’ හරහා විල්පත්තුව අවට සිදුකර තිබූ මහා වන විනාශය පිළිබඳ අවස්ථා ගණනාවකදී වරින් වර හෙළි කළා.

ඒ සම්බන්ධයෙන් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති වූ අතර, සමාජ මාධ්‍යවලද විල්පත්තු වන විනාශය පිළිබඳව කථිකාවක් ඇතිවුණා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ මන්නාරම – සිලාවතුර – මරිච්චකට්ටු රක්ෂිත වනාන්තර කලාපය සුනු විසුනු කිරීම පිළිබඳව අධිකරණයට නඩුවක් ගොනු කළේ ඒ අතරතුරයි.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ අදාළ නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ ජනත් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල රීට් පෙත්සමට අදාළ තීන්දුව ජුලි මස 31 වැනිදා ප්‍රකාශ කරන බව නිවේදනය කළා.

මෙම නඩුවට අදාළව 2018 වසරේ අගෝස්තු 28 වැනිදා තමන් විසින් ගොනු කරනු ලැබූ ලිඛිත දේශන තවදුරටත් අදාළ කර ගන්නා ලෙස එහි වගඋත්තරකරු ලෙස නම් කර සිටින රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබුණා.

පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණයට කරුණු දක්වා තිබුණේ. විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ මරිච්චකට්ටු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388 ක් හෙළි පෙහෙළි කොට එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුළින් විශාල පරිසර හානියක් සිදුව ඇති බවයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව කිහිපයක් නම් කර තිබුණා.

***************************************

(04) ක්‍රිකට් පාවාදීම ගැන මහින්දානන්ද පොලිසියට දුන් පිටු 6, ලේඛන 8 හා කරුණු 24 මෙන්න

(24.06.2020 – 14:27 +0530 – hirunews.lk/sinhala)

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරඟය පාවාදුන් බවට තමන් සිදුකළ ප්‍රකාශය පිටු 6 කින් සමන්විත පැමිණිල්ලක් ලෙස ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකයේ නිලධාරින්ට භාරදුන් බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ නාවලපිටියේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

හිටපු අමාත්‍යවරයා භාරදුන් පැමිණිල්ලට ඔහු සතුව තිබූ තොරතුරු අඩංගු ඇමුණුම් 8 ක් ද ඇතුළත්.

තරඟ පවාදීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකයේ නිලධාරින් නාවලපිටියේ පිහිටි හිටපු අමාත්‍යවරයාගේ කාර්යාලයට පෙරවරු 06:30 ට පැමිණි අතර එහිදි පැය දෙකකට වැඩි කාලයක් ප්‍රකාශය සටහන් කරගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

2019 අංක 24 දරණ මෙරට ක්‍රීඩාව සම්බන්ධයෙන් වැරදි වැලැක්වීමේ පනත පසුගිය වසරේ නොවැම්බර් මස 22 වැනිදා පාර්ලිමේන්තුවේදි සම්මත වූ අතර, ඒ අනුවයි ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකය පිහිටුවා ඇත්තේ.

එම පනතට අනුව ක්‍රීඩා තරඟ පාවාදීම, දූෂණ චෝදනා, නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීම, නීතීවිරෝධී ලෙස මෙහෙයවීම යන කරුණු මත දඬුවම් කිරිමට එම විශේෂ ඒකකයට හැකියාව පවතිනවා.

අදාල වැරදි සඳහා වසර 10 ක සිරදඩුවම් හෝ ලක්ෂ 10 අධික දඩයක් පැනවීමට එම ඒකකයට හැකි බවද සඳහන්.

***************************************

(05) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවකට හා වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව අධිචෝදනා

(24.06.2020 – 11:12 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකරන බව නීතිපතිවරයා අද (24) අධිකරණයට දැනුම් දුන්නා.

ඒ මීට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

අද දිනයේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ එවකට රියදුරු සහ සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සැකකරුවන්ට වෙන් වෙන් වශයෙන් අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කල අතර, පරීක්ෂණ සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාශය දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි.

***************************************

(06) ලුණු ආනයනය සම්පූර්ණයෙන්ම නතර කළයුතුයි – ජනපති

(24.06.2020 – 20:18 +0530 – hirunews.lk/sinhala)

2018 වසරේ සිට පාඩු ලබන ලංකා ලුණු පෞද්ගලික සමාගමට ලාභ පෙන්වීම සඳහා වසරක කාලයක් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ලංකා ලුණු පෞද්ගලික සමාගමේ වත්මන් තත්වය විමසුමට අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

ලංකා ලුණු පෞද්ගලික සමාගමේ 2016 වසරේ ලාභය රුපියල් කෝටි 70 ක් 2017 වසර වන විට ලාභය රුපියල් කෝටි 32 දක්වා අඩු වූ අතර 2018 වසරේ ලක්ෂ 28 ක් සහ 2019 වසරේ එක්කෝටි අනූ එක් ලක්ෂයක් (1,91,00,000) ලෙස ආයතනය පාඩු ලැබුවා.

තෙවසරක් ඇතුළත වූ පාඩුවට හේතු සොයා ලාභ ඉපැයීම වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සතු වගකීමක් බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

1998 වසරේදි පෞද්ගලීකරණයට සැලසුම් කර තිබූ ලුණු සංස්ථාව මහින්ද රාජපක්ෂ මැතිතුමා කම්කරු අමාත්‍යවරයා ලෙස මැදිහත්වී සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF ආයතනය) යටතට ගනු ලැබුවා.

පසුව සමාගමේ ප්‍රාග්ධනයෙන් 90% ක් ETF ආයතනය ද, 10% ක් සේවකයන් ද හිමි කරගත් ලංකා ලුණු පෞද්ගලික සමාගම ඉතා ඉහළ ලාභ ලබන ආයතනයක් බවට පත්වූවා.

ETF ආයතනය යටතේ ඇති සමාගමක් පාඩු ලැබීම කිසිසේත්ම සිදු නොවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිතුමා ඉදිරි මාස 06 ට සහ වසරකට සැලසුම් වෙන වෙනම සකස් කර ලාභ ඉපැයීමට පියවර ගන්නැයි මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ලුණු ආනයනය මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම නතර කළයුතු බවත් 2015 ට පෙර මෙන් සිය නිෂ්පාදන අපනයනය කරන ආයතනයක් බවට ලංකා ලුණු සමාගම පත්කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

පාඩු ලැබීම ගැන නිදහසට කරුණු දක්වනවා වෙනුවට ලාභ ඉපැයීමට ඇති උපායමාර්ග තමාට අවශ්‍ය බව ජනාධිපතිතුමා එහිදී කියා සිටියා.

***************************************

(07) කැළණිය සරසවියේ CCTV කැමරා ගැලවූ සිසුන් 9 දෙනාට ඇප

(24.06.2020 – 10:12 +0530 – hirunews.lk/sinhala)

කැළණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට සවි කර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය ගලවා රුපියල් 26 ලක්ෂයකට අධික අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි එම විශ්වවිද්‍යාලයේ සිසුන් 9 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, ඔවුන් ඊයේ (23) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණා.

පසුගිය පෙබරවාරි මස 24 වන දා සැකකරුවන් විසින් මෙම සී.සී.ටී.වී. කැමරා ගලවා ඉවත් කර තිබූ අතර, පෙරේදා (22) මෙලෙස අත්අඩංගුවට පත්වුණේ 22, 23 සහ 25 යන වයස්වල පසුවන සිසුන් 9 දෙනෙක් ෴

***************************************

(08) කාදිනල් හිමිපාණන් ගැන හරීන්ගේ ප්‍රකාශයට, අදත් (24) දසතින් විරෝධය

(24.06.2020 – 14:04 +0530 – hirunews.lk/sinhala)

හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදත් (24) මහා සංඝ රත්නය ඇතුලු දේශපාලනඥයින්ගේ අප්‍රසාදය පළ වුණා.

***************************************

(09) කරුණාගේ ප්‍රකාශයට එරෙහිව අද නැගුණු හඬ

(24.06.2020 – 23:16 +0530 – hirunews.lk/sinhala)

යුද සමයේදී හමුදා සෙබලුන් ඝාතනය කළ බවට විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්‍රකාශයට එරෙහිව අදත් දේශපාලනඥයින් ඇතුළු විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

එම ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශය සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කළේ මෙවැනි ප්‍රකාශ මෙරට සංහිදියාවට බාධාවක් බවයි.

+++++++++++++++++++++

(10) කරුණාගේ ප්‍රකාශයට එරෙහිව පැමිණිලි 2 ක්

(24.06.2020 – 19:38 +0530 – sinhala.adaderana.lk)

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් මූලස්ථානයට අද (24) පැමිණිලි 2 ක් ඉදිරිපත් වුණි.

ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් සුරකිමු දේශය ජාතික සංවිධානය පොලිස් මූලස්ථානයටත් අද (24) පැමිණිලි ඉදිරිපත් කළා.

පසුගියදා අම්පාර ප්‍රදේශයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ එල්.ටී.ටී.ඊ. නැගෙනහිර සන්නද්ධ අංශ නායක විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් “තමා කොරෝනා වෛරසයට වඩා භයානක වන අතර කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 9 දෙනෙකු පමණක් මිය ගියත් තමන් අලිමංකඩ දි එක රැයකදි දෙදහසත් තුන්දහසත් අතර හමුදාවක් මරා දැමු බව”ත් කියා සිටියේය.

ඒ අනුව මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළ අතර ඊට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කරුණා අම්මාන් එම දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.

නමුත් අසනීප තත්වයක් හේතුවෙන් ඊයේ (23) දිනයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි කරුණා අම්මාන් අද (24) දිනත් එහි පෙනී සිටියේ නැහැ ෴

***************************************

(11) මහබැංකුවේ පැහැර හැරීමක් ගැන ETI කොමිසමේදී හෙළිවේ

(24.06.2020 – 13:20 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. සමාගම සහ ඊට අනුබද්ධ ආයතන විසින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මුදල් තැන්පත් භාරගැනීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීම ශ්‍රී ලංකා මහබැංකුව අවස්ථා කිහිපයකදීම පැහැර හැර ඇති බවට අනාවරණ වුණා.

ඒ, ඊ.ටී.අයි සමාගමේ සිදුවු බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳව සොයබැලීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ඊයේ (23) සිදුකළ සාක්ෂි විමසීමේදියි.

ඊයේ (23) කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ අංශයේ දෙවතාවක් අධ්‍යක්ෂ ධූරය දරා ඇති කේ.එම්.එන්. දවුලගල මහතායි.

එම කාලය තුළ ශ්‍රී ලංකා මහබැංකුවේ මුල්‍ය මණ්ඩලය ලබා දුන් නිර්දේශ වලට අනුව හෝ මුදල් සමාගම් පනතේ විධිවිධාන යටතේ ඊ.ටී.අයි. ආයතනය හෝ ඊට අනුබද්ධ කිසිදු ආයතනයකට විරුද්ධව නිත්‍යානුකුළ ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නොමැති බව කොමිසම දිගින් දිගටම කළ කරුණු විමසීමේදී අනාවරණය වුණා. මේ අවස්ථාවේ ඊ.ටී.අයි. සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ජීවක එදිරිසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට ඇති බවත්, අවශ්‍ය ලේඛන පරීක්ෂා කිරීමට සතියක කාලයක් කොමිසමෙන් ඉල්ලා සිටියා.

ඊට ඉඩ දුන් කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ලියකියවිලිවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා කොමිසමේ නිලධාරින් ඉදිරියේ අවශ්‍ය ලේඛන පරීක්ෂා කර බලන ලෙසයි.

+++++++++++++++++++++++++++++++++++

(12) නිලධාරින් අල්ලස් ගත්තේ දැයි සොයන්න මහබැංකුව අල්ලස් කොමිසමෙන් ඉල්ලයි

(24.06.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ලීසිං සහ මූල්‍ය සමාගම් වලින් මූල්‍ය හා වෙනත් වාසි ලබා ගත් බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස මහබැංකුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මුද්‍රිත මාධ්‍ය හා අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 50 දෙනෙකු පමණ මෙලෙස විවිධ වාසි ලබා ගත් බවට පළ වූ වාර්තා සැලකිල්ලට ගනිමින් අදාළ ඉල්ලීම් සිදුකළ බවයි මහබැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, මූල්‍ය සහ ලීසිං සමාගම්වල සිදුවන්නාවූ අක්‍රමිකතා සහ නීතිවිරෝධී ක්‍රියාවන් සොයා බලා වාර්තා කිරීමට මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුව මහජන අදහස්, යෝජනා හා පැමිණිලි භාර ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ලබන 30 වනදාට පෙර මහබැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට තැපැල් මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් දැනුම් දෙන ලෙසයි එම කමිටුවේ ප්‍රධානී ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්තා රෝහණධීර මහතා ප්‍රකාශ කළේ.

මහ බැංකුවේ නීති අධ්‍යක්‍ෂ කේ.ජී.පී. සිරිකුමාර සහ බැංකු නොවන මූල්‍ය සමාගම් කළමනාකරණය කිරීමේ අංශයේ අධ්‍යක්‍ෂ ජේ.පී. ගම්ලත් යන මහත්වරු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන්.

කමිටු වාර්තාව දින 14 ක් තුළ ලබාදිය යුතු අතර, මහ බැංකු අධිපතිවරයා විසින් කමිටුවට නියෝග කළේ බැංකු ක්‍ෂේත්‍රයේ සහ නීති ක්‍ෂේත්‍රයේ විශාරදයන් හා වෘත්තිකයන් සම්බන්ධ කර ගනිමින් වාර්තාව සකස් කරන ලෙසටයි.

මේ අතර, මහබැංකුවේ මුදල් මණ්ඩලයේ පුරප්පාඩුව පවතින සාමාජිකයින් දෙදෙනා සඳහා ජනාධිපතිවරයා විසින් යොමුකර ඇති නාම යෝජනා සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ද අද (24) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ හිටපු කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන්.

***************************************

(13) මහබැංකුව සියයට 4 ක පොලී අනුපාතයකට බිලියන 28 ක ණය අනුමත කරයි

(24.06.2020 – 21:29 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකුව කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සඳහා 4% ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාර 13,861 ක් සඳහා රුපියල් බිලියන 28 ක මුදලක් අනුමත කර තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර පුනර්ජීවනය කිරීම හා රටේ ආර්ථික කටයුතු යළි ගොඩ නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ නවමු ව්‍යාපෘතියක් ලෙස ‘සෞභාග්‍යා COVID–19 පුනරුද සහන’ ප්‍රතිමූල්‍ය පහසුකම 2020 මාර්තු මස 24 වන දින ප්‍රකාශයට පත් කළා.

ශ්‍රී ලංකා මහ බැංකුව, මෙම ණය යෝජනා ක්‍රමයෙහි පළමු අදියර යටතේ ව්‍යාපාර 13,861 ක් සඳහා රුපියල් බිලියන 27.9 ක මුදලක් අනුමත කර ඇති අතර 2020 ජූනි 24 දිනට බැංකු පද්ධතිය තුළින් දිවයින පුරා ව්‍යාපාර 7,274 ක් සඳහා රුපියල් බිලියන 14.8 ක් මුදා හැර තිබෙනවා.

මෙම ණය යෝජනා ක්‍රමය 4% ක සහනදායී වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ මාස 6 ක සහන කාලයකට යටත්ව මාස 24 කින් ආපසු ගෙවා නිම කළ හැකි වන පරිදි ක්‍රියාත්මක කර ඇති බවයි මහබැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ණය යෝජනා ක්‍රමයෙහි දෙවන අදියර යටතේ රුපියල් බිලියන 120 ක් 1% ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ වාණිජ බැංකු වෙත ලබා දෙනු ලබන අතර එම අරමුදල් බැංකු පද්ධතිය හරහා කොරෝනා ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර යළි ගොඩ නැංවීම සඳහා 4% ක සහනදායී පොලී අනුපාතිකයක් යටතේ මුදා හැරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ පත් කිරීමට අද රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

මුදල් මණ්ඩලයේ පුරප්පාඩුව පැවති සාමාජිකයන් දෙදෙනා සඳහායි මෙම පත්කිරීම් සිදුවන්නේ ෴

***************************************

(14) මිලියන 17 කට වැඩි මුදලක් වැය කර බාහිර නීතීඥවරයෙකුගේ සේවය ලබාගැනීමට විදුලිබල මණ්ඩලය ගත් තීරණය ඇමති අත්හිටුවයි

(24.06.2020 – 17:13 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ නව ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම සඳහා නීති කටයුතු ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 17.5 ක මුදලක් වැයකරමින් බාහිර නීතීඥවරයෙකුගේ සේවය ලබාගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ගත් තීරණයක් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වහා අත්හිටුවා තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ දැනට විදුලිබල මණ්ඩලය තුළ නීති අංශයක් හා නීති නිලධාරීන් සිටින බැවින් ඔවුන්ගේ සේවය ලබාගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර පුත්තලම – නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ අළු, වගාබිම්වලට පතිතවීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව කල්පිටිය – ඉලන්තඩිය ප්‍රදේශයේ ගොවීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය නොරොච්චෝලේ බලාගාරයේ කළමනාකාරීත්වයෙන් විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගල් අඟුරු දැවීමේදී ඇතිවූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් මෙලෙස ගල් අඟුරු අළු වායුගෝලයට නිකුත්වී ඇති බවයි.

එය කෙටි කාලයක් තුළ සකස් කිරීමට කටයුතු කළ බවද එම ප්‍රකාශකයා කියා සිටියා ෴

***************************************

(15) පාතාලයක් අපේ රටට ඕනෙම නෑ

(24.06.2020 – 16:31 +0530 – hirunews.lk/sinhala)

නීතිය තදින්ම ක්‍රියාත්මක කර අපරාධ ක්‍රියා මැඩ පැවත්විය යුතු බව බොහෝ ජනතාව පවසනවා.

බන්ධනාගාර තුල සිට මෙහෙයවන පාතාල ක්‍රියාකාරකම් පමණක් නොව ඉන් පිටත නිහඬව සිදුවන අපරාධ ද ඉක්මනින් මර්ධනය කල යුතු බව ජනතාවගේ අදහසයි.

දරුවන්ට ආරක්‍ෂිත රටක් ඕනේ. පාරේ බැහැලා යන්නත් බයයි. පාතාලයක් අපේ රටට ඕනෙම නෑ.

රට තුල වාර්ථාවන අපරාධ ක්‍රියා පිළිබඳ ජනතා අදහස් ලබා ගැනිම සඳහා මහමග කල සංචාරයකදී ජනතාව මෙම අදහස් අප සමඟ පැවසුවා.

***************************************

(16) බන්ධනාගාර පාලනයේ වෙනසක් – ප්‍රධාන ජේලර්ලා 19 කට මාරු

(24.06.2020 – 17:51 +0530 – sinhala.adaderana.lk)

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජේලර්වරු 19 දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ක්‍රියාකර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ද එම තනතුරෙන් ඉවත්කොට දුම්බර බන්ධනාගාරයට මාරු කළ බවය.

ප්‍රධාන ජේලර් තනතුර සඳහා නිලධාරීන් 06 දෙනෙක් අලුතෙන් පත්කළ බවද ඔහු පැවසීය.

මේ අතර, සිරකරුවෙකුට හෙරොයින් ග්‍රෑම් 07 ක් ලබාදුන් බූස්ස බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම නියාමකගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

එසේම මැගසින් බන්ධනාගාරය තුළ සිදුකළ මෙහෙයුමකදී ජංගම දුරකථන 14 ක් සොයා ගෙන තිබේ ෴

***************************************

(17) දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ ෆෙඩරල් පාලනයක් – මැතිවරණ හූලා

(24.06.2020 – 14:08 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ ෆෙඩරල් පාලනයක් – රත්නජීවන් හූල්

දෙමළ ජනතාවට අවශ්‍ය වන්නේ ෆෙඩරල් පාලනයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, හිරු මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන ‘සූරියන් එෆ්.එම්. හි විලුදුගල්’ වැඩසටහන සමඟ එක්වෙමින්.

***************************************

(18) සෞඛ්‍ය මාර්ගෝපදේශ ප්‍රමාද වීම ගැන, මැතිවරණ කොමිසම කනස්සල්ලෙන්

(24.06.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ග උපදේශ ඇතුළත් ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් නොකිරිම හේතුවෙන් මැතිවරණ කොමිසම් සභාව දැඩි ගැටලුකාරි තත්ත්වයකට මුහුණ පා තිබෙනවා.

ඒ පිළිබඳව තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට, කනස්සල්ල පළ කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ.

මේ අතර, මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ග උපදේශ ඇතුළත් ගැසට් නිවේදනය පසුගිය සිකුරාදා නිකුත් කිරිමට නියමිතව තිබුණත් එය මෙතෙක් මුද්‍රණයට යවා නොමැති බවටයි වාර්තා වන්නේ.

ගැසට් නිවේදනය ප්‍රමාද වීම නිසා මැතිවරණ රාජකාරි කටයුතු වලට ද බාධා එල්ල වී ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ.

මේ හේතුවෙන් අපේක්ෂකයින්ට මැතිවරණ රැළි පැවැත්විමේදි ගැටලුකාරි තත්ත්වයක්ද මතුව ඇති බවයි කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ.

මේ අතර, කොරෝනා වෛරසය අසාදනය වු තවත් නාවික හමුදා සාමාජිකයින් 04 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද (24) පිටව යාමත් සමඟ වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 790 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ තවත් නාවික හමුදා සමාජිකයින් 108 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

එමෙන්ම, කොරෝනා අසාදනය වු 40 දෙනෙකු ඊයේ (23) හදුනා ගැනිමත් සමඟ මෙරට සමස්ත කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 1991 දක්වා ඉහළ ගියා.

ඉන්දියාවේ සිට පැමිණි 29 දෙනෙකුට සහ ඇමරිකාවේ සිට මෙරටට පැමිණි 11 දෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය අසාදනය වි ඇති බවටයි අනාවරණය වුයේ.

එමෙන්ම මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව ද 1548 දක්වා ඉහළ ගියේ තවත් වෛසරය අසාදනය වු 22 ඊයේ (23) දිනයේදි සුවය ලබා පිටව යාමත් සමඟයි.

මේ අතර, අද (24) වනවිට ලොව පුරා රටවල් වලින් කොරෝනා මරණ 4,79,879 ක් වාර්තා වන අතර, අසාදිත සංඛ්‍යාව 93,59,372 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලැබු සංඛ්‍යාව දැක්වෙන්නේ 50,46,272 ලෙසයි.

+++++++++++++++

මෙරට පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂයක් සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඒ, නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කර ඇති දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 500 ක් සිදුකළ හැකි රෝග නිශ්චය කිරීමේ විශේෂිත අනුක ජීව විද්‍යා රසායනාගාරය, විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ෴

+++++++++++++++

කොරෝනා වසංගතය හේතුවෙන් සිංගප්පූරුවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 94 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

++++++++++++++++

මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 169 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ යානයකින් මත්තල ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අද (24) පස්වරු 03:07 ට යූ.එල්. 4102 දරණ විශේෂ යානයෙන් මෙම පිරිස මත්තල ගුවන් තොටුපලට පැමිණි බවයි.

මෙම පිරිස ගුවන් තොටුපල තුළදී පීසීආර් පරීක්ෂණවලට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා ෴

++++++++++++++++

+++++++++++++++

ඉටුකම කොවිඩ් අරමුදලේ ශේෂය ඉහළට

(24.06.2020 – 23:37 +0530 – sinhala.adaderana.lk)

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම කොවිඩ්–19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1407 ඉක්මවා තිබේ ෴

***************************************

(19) ඔබගේ විදුලි බිලට වැඩිපුර අයකර ඇත්නම් වෙන දේ

(24.06.2020 – 16:33 +0530 – sinhala.adaderana.lk)

විදුලි බිල්පත් සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇත්තේ ඒ පිළිබඳව මහජනතාව අතර ඇති අනවබෝධය ‍හේතුවෙන් බව විදුලි බල මණ්ඩලය පවසයි.

විදුලි බිල්පත් ගෙවීම ගැන පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අද (24) පැවති මාධ්‍ය හමුවක දී විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත කරුණු පැහැදිලි කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරින් මේ බව පැවසීය.

ඔවුන් පෙන්වා දෙන්නේ පෙබරවාරි මාසය හා ඊට පෙර මාස වලට සාපේක්ෂව, කොවිඩ් 19 වසංගතයට අදාළව ඇඳිරි නීතිය පැනවීම නිසා මාර්තු, අප්‍රේල් හා මැයි මාසවල ගෘහස්ථ විදුලි පාරිභෝජනය ඉහළ ගොස් ඇති බවය.

අවසානයට නිකුත් කරන ලද බිල්පත නිවැරදි වන අතර එහිදී බැලු බැල්මට වැඩි ගාස්තුවක් අය කර ඇති බව පෙනී ගියත්, බිල්පත් ගාස්තු අය කර ඇත්තේ භාවිත කළ විදුලි ඒකක ගණන සඳහා පමණක් බව ඔවුහු අවධාරණය කළේය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ සෑම විදුලි පාරිභොගිකයෙක් උදෙසාම විදුලි ගිණුමක් විදුලි බල මණ්ඩලය සතුව පවතින හෙයින් ඔවුන් ගෙවන මුදල් බැර වන්නේ එම ගිණුමට බවය.

එම නිසා කිසියම් අයෙක් වැඩිපුර ගාස්තුවක් ගෙවා තිබුණත්, එම ගාස්තුව ඔහුට යළි අයකර ගත හැකි බව විදුලි බල මණ්ඩල නිලධාරීන් පෙන්වා දෙයි.

එසේත් නොවන්නේ නම් ඊළඟ මාසයේ බිල්පතෙන් එම වැඩිපුර මුදල අඩු කිරීමට පියවර ගැනේ.

එමනිසා විදුලි බල මණ්ඩලයට ගෙවනු ලබන මුදල කිසිසේත්ම අපතේ නොයන අතර ඒවා අදාල ගිණුම් හිමියාගේ ගිණුම තුළ තැම්පත් වේ.

එසේම විදුලි ගාස්තු අය කෙරෙනුයේ භාවිතා කළ විදුලි ඒකක ප්‍රමාණයට පමණක් බවත් මාර්තු හා අප්‍රේල් හා මැයි මාසවල බිල්පත් ගෙවීම ප්‍රමාද වුවද ඒ සඳහා ප්‍රමාද ගාස්තුවක් අය නොකෙරෙන බව විදුලි බල මණ්ඩල නිලධාරීන් පවසයි.

මේ අතර දැනට රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් ජුනි මාසයේ විදුලි බිල් ගෙවීම සාමාන්‍ය පරිදි කළ හැකිය.

ලංකා විදුලි බල මණ්ඩලයට මුදල් අය වීමේ දී අප්‍රේල් මාසය තුළ විදුලි පාරිභෝගිකයින්ගෙන් සියයට 50 ක්ද, මැයි මාසයේ දී සියයට 65 ක්ද, හා ජූනි මාසය වන විට සියයට 90 කට වඩා වශයෙන් බිල්පත් ගෙවා ඇති බව වාර්තා වේ.

කොවිඩ් 19 පැවැති කාලය තුළ බිල්පත් ගෙවා ගත නොහැකි වු පුද්ගලයින්ගේ විදුලි විසන්ධි කිරීමක් නොකළ ද, පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා විදුලි බිල්පත් ගෙවා නැති පුද්ගලයින්ගේ විදුලිය විසන්ධි කිරීමට පියවර ගන්නා බවත් විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේය ෴

***************************************

(20) රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරි අභ්‍යාසලාභීන්ගෙන් 15,000 ක් පාසල් අධ්‍යාපන පද්ධතියට

(24.06.2020 – 20:10 +0530 – hirunews.lk/sinhala)

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාර ව රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නා ලද උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් පහලොස් දහසක (15,000) පිරිසක් පාසල් අධ්‍යාපන පද්ධතියට ගුරුවරුන් ලෙස එක්කරගැනීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් පුහුණු කර පාසල් පද්ධතියට යොමු කිරිම සදහා මැතිවරණ කොමිසමේ අනුමැතිය අවශ්‍ය වන බවත් අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළා.

මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති සමය තුළ කිසිදු බඳවා ගැනීමක් සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් ලබා දී ඇති නියෝගය හේතුවෙන් මෙම බඳවාගත් උපාධිධාරී අභ්‍යාසලාභීන් පුහුණු කිරීම සඳහා ද මැතිවරණ කොමිසමේ අනුමැතිය අවශ්‍ය වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මෙරට පාසල් පද්ධතිය තුළ ගුරුවරුන් දෙලක්ෂ හතළිස් දහසකට ආසන්න ප්‍රමාණයක් සිටින නමුත්, විවිධ හේතු මත ගුරුවරුන් පනස් දහසක් (50,000 ක්) දෛනිකව නිවාඩු ලබන බව ද, පුහුණු කටයුතු හෝ වෙනත් සේවා අවශ්‍යතා මත ගුරුවරුන් 16,000 ක් පමණ දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියෙන් පරිබාහිර ව කටයුතු කරන බව ද, ඒ අනුව, ගුරුවරුන් හැට හය දහසක් (66,000) ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා සක්‍රීයව දායක නොවන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ පිළිබඳ ව අතිගරු ජනාධිපතිතුමන් ද දැනුවත් කරන ලද බවත් ඒ අනුව, උපාධිධාරී අභ්‍යාසලාභීන් 15,000 ක් පාසල් පද්ධතියට එක්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන ලද බව ද ප්‍රකාශ කළා.

මීට පෙර අවස්ථාවල දී උපාධිධාරී අභ්‍යාසලාභීන් රජයේ සේවයට ඇතුළත් කර ගන්නා විට වයස් සීමාව, උපාධිය අභ්‍යන්තර ද බාහිර ද යන්න, උපාධියේ ස්වභාවය, උපාධි විෂය, මෙන්ම උපාධි ලාභියාගේ දේශපාලන පක්ෂය පවා නිර්ණායක බවට පත්ව තිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වත්මන් රාජ්‍ය නායකත්වය තුළ උපාධිධාරියාගේ උගත්කම පමණක් ම පත්වීම් ලබා දීමට සුදුසුකමක් ලෙස සලකන ලද බව ද අවධාරණය කළා.

එමෙන්ම ඇතැම් රාජ්‍ය ආයතනවල පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු වැනි තනතුරුවල සේවය කරන උපාධිධාරීන් සිටින බව ද උපාධිධාරී අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ දී එවැන්නන්ට ද සාධාරණය ඉටු කිරීමට හැකිවූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

උපාධිධාරී අභ්‍යාසලාභීන් ගුරුවරුන් ලෙස පාසල් අධ්‍යාපන පද්ධතියට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව දැනට පවත්නා තත්ත්වය අනාවරණය කිරීම වෙනුවෙන් අද (24) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා, අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා ඇතුළු අමාත්‍යාංශ ජේෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

***************************************

(21) උසස් පෙළ ඇගයීම් පරීක්ෂකවරු සඳහා නිවේදනයක්

(24.06.2020 – 15:11 +0530 – sinhala.adaderana.lk)

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා පරීක්ෂකවරු තෝරා ගැනීමේ අයදුම්පත්‍ර කැඳවීම මාර්ගගත (Online) ක්‍රමයට සිදුකරන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ප්‍රධාන පරීක්ෂකවරුන් සහ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරුන් / සහකාර පරීක්ෂකවරුන් සඳහා වන අයදුම්පත්‍ර ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස මාර්ගගත (Online) ක්‍රමයට සම්පූර්ණ කළ යුතුය.

අනතුරුව එම අයදුම්පත්‍රය බාගත කර ලබා ගත් මුද්‍රිත පිටපතේ ඉතිරි කොටස් සම්පූර්ණ කර ආයතන ප්‍රධානියා මඟින් 2020.07.10 දිනට පෙර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඇගයීම් (පාසල් විභාග) ශාඛාව වෙත ලැබීමට සැළැස්විය යුතුය.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 011 278 5231 අංකය හෝ 1911 ක්ෂණික දුරකථන අංකයට ඇමතිය හැකිවේ ෴

***************************************

(22) අරණායක පොලීසියේ 03 දෙනෙකුගේ වැඩ තහනම්

(24.06.2020 – 13:04 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල – අරණායක පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුගේ (02) වැඩ තහනම් කර තිබෙනවා.

ඒ නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය කිරීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු වෙනුවට වෙනත් අයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවකටයි.

ඊයේ (23) අරණායක – පෝඩාපේ ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයකින් යමින් සිටි මෙම පුද්ගලයා මත්පැන් බෝතල් 80 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, සැකකාර පොලිස් නිලධාරින් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ මත්පැන් බෝතල් 25 ක් පමණක් බවයි හෙළි වී ඇත්තේ.

එසේම, එම සැකකරුගෙන් රුපියල් 60,000 මුදලක් ලබා ගත් බවට ද මෙම පොලිස් නිලධාරීන්ට චෝදනා එල්ලවී තිබෙනවා.

ඒ අනුවයි කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් අද (24) දිනයේදි මෙම නිලධාරින් තිදෙනාගේ (03) වැඩ තහනම් කර ඇත්තේ ෴

***************************************

(23) ගමම පාරට ගෙනා රිදීමාලියද්දේ ගල් කොරිය

(24.06.2020 – 23:14 +0530 – hirunews.lk/sinhala)

ගල් කොරියක බලපෑම හේතුවෙන් මහියංගනය – රිදීමාලියද්ද ප්‍රදේශවාසීන් පිරිසක් මුහුණ දෙන පීඩාව සම්බන්ධයෙන් හිරු 11:55 මධ්‍යහ්න පුවත් ඔස්සේ අප අද (24) වාර්තා කළා.

මේ අතර අද (24) පස්වරුව වනවිට එම ගැටලුව උණුසුම් මුහුණුවරක් දක්වා ව්‍යාප්ත වී තිබුණා.

***************************************

(24) වැලිසර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12 ක ජල කප්පාදුවක්

(24.06.2020 – 12:13 +0530 – sinhala.adaderana.lk)

ජල නල පද්ධතියක වැඩි දියුණු කිරීමක් හේතුවෙන් වැලිසර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (25) දින ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට (25) පෙරවරු 9.00 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

වැලිසර, මහබාගේ, මාබෝල, කඳාන – නාගොඩ, කෙරවලපිටිය, මාටාගොඩ, කෙරවලපිටිය කාර්මික ජනපදය, දික්ඕවිට සහ දික්ඕවිට ධීවර වරාය ප්‍රදේශවලට මෙලෙස අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඊට අමතරව බෝපිටිය, පමුණුගම සහ උස්වැටකෙයියාව ප්‍රදේශවලටත් ද ජලය සැපයීම අත්හිටුවනු ලැබේ ෴

***************************************

(25) ඇමරිකානු MCC සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අගමැතිට

(24.06.2020 – 18:54 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ‘සහශ්‍රක අබියෝගතා සමායතන යෝජනාවලිය’ හෙවත් MCC සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව අගමැතිවරයාට භාරදී ඇති බව අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා ෴

++++++++++++++++++

‘සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය’ (MCC) සමාලෝචනය කිරීමේ කමිටු අවසන් වාර්තාව අගමැති අතට

(25.06.2020 – sinhala.news.lk)

‘සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය’ (MCC) සමාලෝචනය කිරීමේ කමිටුව එම කමිටුවේ අවසන් වාර්තාව (24) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙන ලදී.

එම කමිටුව විසින් අදාළ වාර්තාවේ පිටපතක් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙත ද මෙහි දී භාරදෙනු ලැබීය.

‘සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය (MCC) සමාලෝචනය කිරීමේ කමිටුව’ විසින් MCC ගිවිසුම සම්බන්ධයෙන් මාස 06 ක කාලයක් අධ්‍යයනයක නිරත වූ අතර එහිදී විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගනු ලැබීය. ඉන් අනතුරුව සිදු කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පසුව එම කමිටුව විසින් නිර්දේශ සහිත වාර්තාව සකස් කර ඇත.

අද (2020.06.25) දිනයේ දී මෙම කමිටු වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට නියමිත අතර, නිර්දේශ ද සහිත මෙම කමිටු වාර්තාව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරියේ දී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙම කමිටුව පත්කරනු ලැබූ අතර එහි සභාපති ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කටයුතු කළේය. ප්‍රවාහන අර්ථ ශාස්ත්‍රඥ ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන අය සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කළහ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා සහ කමිටු සාමාජිකයින් එක්ව සිටියහ ෴

***************************************

(26) ‘සිව් පෙති බිනර විශේෂ’ ආරක්ෂාකර ගැනීමට රජයේ අවධානය

(24.06.2020 – 12:04 +0530 – hirunews.lk/sinhala)

වඳවීමේ තර්ජනයට ලක්වී ඇති සිව් පෙති බිනර විශේෂ ආරක්ෂාකර ගැනීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ලංකාවේ මෙතෙක් කිසිදු ප්‍රදේශයකින් වාර්තා වී නොමැති ‘එක්සකම් පෙඩන්කියුලාටා’ (Exacum pedunculatum L.) යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන නාඋල – බොබැල්ලේ දැකගත හැකි බිනර ශාකය නිසි ආකාරයෙන් සංරක්ෂණ ක්‍රියාවලියකට පත්කළ යුතු බව මාතලේ මහ දිසාපති එස්.එම්.ජි.කේ.පෙරේරා මහතා පවසනවා.

කලක් තිස්සේ විවිධ මානව ක්‍රියාකාරකම් නිසා තර්ජනයට ලක්ව ඇති බොබැල්ලේ බිනර ශාකය සංරක්ෂණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඊයේ (23) පැවැති විශේෂ රැස්වීමකදීයි ඔහු මේ බව කියා සිටියේ.

වසරේ අප්‍රේල් හා සැප්තැම්බර් මෙන්ම ජූලි මාස වල දී දක්නට ලැබෙන මෙම සුවිශේෂි බිනර ශාකය වසරක පමණ කාලයක සිට වඳවීමේ තර්ජනයට ලක්ව තිබෙන්නේ පාරසරික විපර්යාසවල ප්‍රතිඑලයක් ලෙස විය හැකි බව ද මෙම අවස්ථාවේ දී අදහස් දැක්වු දිසාපති වරයා අවධාරණය කළා.

අවට ප්‍රදේශවල පවත්වාගෙන යන ගල් කොරි කිහිපයක හා අවට පදිංචිකරුවන් කිහිපදෙනෙකුම මෙහිදි අදහස් දැක්වු අතර ඔවුන් කියා සිටියේ බොබැල්ලේ බිනර ව්‍යාප්තියට තමන් අසීමිතව ආදරය කරන බවත් සිය කර්මාන්ත ද ආරක්ෂා වන පරිදි බිනර ව්‍යාපෘති ද ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් සැකසීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි.

%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Hoole is making political statements inciting voters. His action is contrary to the duties of Election Commission. If one of the members of the commission is making political declarations that are not relevant to the duties of the commission, they must be removed from their position of responsibility, as clearly they do not have the capability to maintain the impartiality of the commission and bring suspicion and disrepute to the EC.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *