ජනපති සේයාරුව මැතිවරණ ප්‍රචාරණයට භාවිත නොකරන්නැයි ජනපතිගෙන් නියෝගයක්

(01.07.2020 – 21:22 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන මහමැතිවරණයට තරඟවැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා.

එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයන් කිසිවකුත් දේශපාලන වැඩ නොකළ යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙවර මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකයන් සිය ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපතිතුමාගේ ඡායාරූපය භාවිත කරන බවටත් යුධ හමුදා සහ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගන්නා බවටත් විවිධ පත්වීම් ලබාදෙන බව ප්‍රකාශ කරන බවටත් තොරතුරු වාර්තා වී ඇතැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සියලු ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්, සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ සෙසු අංශ ප්‍රධානීන් වෙත අද (01) යැවූ ලිපියක සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ ප්‍රචාරණයට ජනාධිපතිවරයාගේ ඡායාරූපය භාවිත නොකරන ලෙසත් රාජ්‍ය සේවකයන්ට දේශපාලනය නොකරන ලෙසත් තරයේ උපදෙස් දෙනලෙස ජනාධිපතිවරයා විසින් ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.

සියලු රාජ්‍ය සේවකයන් මේ උපදෙස් පිළිපදින බවට වගබලා ගන්නා ලෙසයි ජනාධිපති ලේකම්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිටද පිටපතක් සහිතව, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුලු ආයතන ප්‍රධානීන් වෙත යැවු ලිපියෙන් ප්‍රකාශකර ඇත්තේ ෴

***************************************

ඩී වී චානක කියන MCC ගිවිසුම එක්වරම අවලංගු බැරි හේතුව

(01.07.2020 – 20:05 +0530 – hirunews.lk/sinhala)

MCC ගිවිසුමට දෙවරක් අත්සන් කොට පසුගිය ආණ්ඩුව රුපියල් කෝටි 180 ක මුදලක් ලබා ගෙන තිබීම හේතුවෙන් එක්වරම ගිවිසුම අවලංගු කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පවසනවා.

මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා මේ බව සඳහන් කළ අතර, එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි මහතා ද අදහස් පළ කළා.

***************************************

බහුතර බලයක් නොලැබුණත් සරළ බහුතරයකින් කළ හැකි සෑම වෙනස්කමක්ම සිදුකරනවා – විමල් වීරවංශ

(01.07.2020 – 22:00 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මහ මැතිවරණයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා තුනෙන් දෙකක බහුතර බලයක් නොලැබුණත් සරළ බහුතරයකින් කළ හැකි සෑම වෙනස්කමක්ම සිදුකරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

***************************************

දෙවනගල බැතිමතුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වූ අන්‍යාගමික ‘තෙවැනි ඇස’

(01.07.2020 – 20:54 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරා විද්‍යා ස්මාරකය වෙත පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස අන්‍යාගමික පුද්ගලයෙකු සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවිකර තිබෙනවා.

දෙවනගල භාරකාරී පුජ්‍ය මැදිරිගිරිය පුණ්‍යසාර හිමියන් පවසන්නේ පුදබිමට පැමිණෙන පිරිස් කවුදැයි හඳුනා ගැනීම සදහා මෙලෙස ආරක්ෂක කැමරා සවිකර ඇති බවයි.

හිරු සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබදවයි.

සබරගමුව පළාතට අයත් මාවනැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති දෙවනගල ඓතිහාසික පුදබිම පුරා විද්‍යා ස්මාරකයක් ලෙසයි නම් කර ඇත්තේ.

බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මහනුවරට වැඩමවන අතරතුර එක් දිනක් දෙවනගල පුදබිමේ සමවත් සුවයෙන් ගත කළ බව සාසනික ඉතිහාසයේ සදහන්.

අක්කර 72 ක වපසරියකින් යුත් ගල් තලාවක පිහිටි මෙම පුදබිමේ වටිනා සෙල් ලිපිවලට පසුගිය කාලයේ අන්තවාදී පිරිස් විසින් ඇසිඩ් හා විවිධ රසායනික ද්‍රව්‍ය යොදා විනාශ කිරීමට උත්සාහ දරා තිබුනා.

එයින් ද නොනැවතී, පසුගියදා ඇදිරිනීතිය පනවා තිබියදීත්, පුදබිමටම පැමිණි සංවිධානාත්මක පිරිස් විහාරාධිපති හිමියන්ට තර්ජන සිදුකළ අතර මේ සියල්ල ‘හිරු සී.අයි.ඒ.’ හරහා අප හෙලි කළා.

එවන් පසුබිමක් තුල මාවනැල්ල – ගම්පොල මාර්ගයේ දෙවනගල පුදබිමට පිවිසෙන ප්‍රධාන පිවිසුම පිහිටා ඇති කටුගහවත්ත ප්‍රදේශයේ පඩිපෙල ආවරණය වන පරිදි අන්‍යාගමිකයෙකු ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකර තිබෙනවා.

අදාළ පුද්ගලයාගේ ඉඩමේ ඇති ගසක අදාළ කැමරා සවිකර ඇති අතර, එමඟින් පුද බිමට පැමිණෙන බැතිමතුන් නිරීක්ෂණය කරන බවයි දෙවනගල භාරකාරී පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් ප්‍රකාශ කරන්නේ.

පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමි – දෙවනගල විහාරාධිකාරී දෙවනගල පුදබිමේ ඉතිහාසය මකා දැමීමට කලකට පටන් පිඹුරුපත් සැකසූ සංවිධානාත්මක පිරිස් තවදුරටත් තම අරමුණු හකුලා ගෙන නොමැති බව මේ හරහා පැහැදිලි වන කරුණක්.

පුදබිමකට පැමිණෙන බැතිමතුන් පවා මෙලෙස නිරීක්ෂණයට ලක් කරන්නේ කුමන අරමුණක් ඇතිවද?

පසුගිය කාලයේ මාවනැල්ල ප්‍රදේශය අවට බුදුපිළිමවල ප්‍රහාර එල්ල කරමින් අනවශ්‍ය ජාතිවාදී ගැටුම්වලට අන්තවාදී පිරිස් පාර කැපූ අයුරු අමතක කළ නොහැකි කරුණක්.

මෙරට නීතිය කරවන බලධාරීන් දෙවනගල පුදබිම අවට සිදුවන මෙම ක්‍රියාකාරකම් වහාම සොයා බැලීමට කාලය පැමිණ ඇති බවයි අපගේ හැඟීම.

දෙවනගල පුදබිමට අනාගත පරපුරට රැකදීම සඳහා ‘හිරු සී.අයි.ඒ.’ අවධි නෙත ඉදිරියේදීත් නිරන්තර අවධානයෙන්.

***************************************

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ක් සහ රුපියල් මිලියන 40 ක කේරල ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් දැලේ

(01.07.2020 – 21:16 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 2 කට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකක් (2) සමඟ සැකකරුවෙකු යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පේදුරුතුඩුවේ සිට කොළඹ බලා වෑන් රථයකින් මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරන බවට යුද හමුදා බුද්ධි අංශය ඊයේ (30) ලබාදුන් තොරතුරකට අනුවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහිදි යාපනය – වැල්වැටිතුරේ ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වූ අතර, මොහු කොළඹ ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකු වෙත මෙම මත්ද්‍රව්‍ය ලබාදීම සඳහා පැමිණ ඇති බවටයි හෙළිව ඇත්තේ.

එමෙන්ම වවුනියාව – පරයානකුලම් පෙරියකට්ටු ප්‍රදේශයේදීද රුපියල් කෝටි 2 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 201 ක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනයේ සිට මැදවච්චිය දක්වා කුඩා ලොරි රථයක සූක්ෂම ලෙස සඟවා මෙම කේරළ ගංජා තොගය ප්‍රවාහනය කර ඇති අතර, එහිදී අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 22 ක්.

මේ අතර යාපනය – වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 25 ක් සොයාගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙම කේරළ ගංජා දිවයිනට රැගෙනවිත් ඇති බවටයි සැක පළ කරන්නේ ෴

***************************************

කොවිඩ් හඳුනාගැනීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක්

(02.07.2020 – 06:36 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 හඳුනාගැනීම වේගවත් කිරීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් අන්තර්ජාතික රොටරි සමාජය රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට පරිත්‍යාග කර තිබෙනවා.

PCR යන්ත්‍රය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීම ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

සම්පූර්ණ ස්වයංක්‍රීය නව PCR යන්ත්‍රයේ වටිනාකම රුපියල් දෙකෝටි විසිලක්ෂය ඉක්මවන අතර එමඟින් පර්යේෂණවලදී මුහුණපාන මානව සම්පත් හිඟය මඟහැරවීමට හැකිවීම විශේෂත්වයකි.

වේගවත් බව, ඉහළ නිරවද්‍යතාව සහ කාර්යක්ෂමතාව වැඩිකිරීමට ද නව යන්ත්‍රයට හැකි බව වෛද්‍යවරු පවසන අතර ඉදිරියේදී මුහුණ පෑමට සිදුවිය හැකි වෙනස් ආකාරයක වෛරසයක් හඳුනාගැනීමට ද නව PCR යන්ත්‍රය යොදාගත හැකිය.

කොවිඩ් මර්දනය උදෙසා වෛද්‍ය පර්යේෂණ උපකරණ සහ පහසුකම් සැපයීමට රොටරි සමාජය රුපියල් කෝටි 12 කට අධික පරිත්‍යාග කර තිබෙනවා.

ඒ පිළිබඳව ජනාධිපතිතුමා රොටරි සමාජයේ නියෝජිතයන්ට සිය ස්තූතිය පළ කළ අතර එම අවස්ථාවට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, වෙද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, රොටරි සමාජයේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ අධිපති සෙබස්තියන් කරුණාකරන්, හිටපු සභාපති කේ.ආර්. රවින්ද්‍රන්, යෝජිත සභාපති පුබුදු ද සොයිසා යන මහත්ම මහත්මීහූ සහ රොටරි සමාජයේ නියෝජිතයෝද මේ අවස්ථාවට එක්ව සිටි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ ෴

***************************************

සෞන්දර්ය විෂය අධ්‍යයනය සාමාන්‍ය පෙළ දක්වා ඉගැන්වීමට ජනපතිට යෝජනාවක්

(02.07.2020 – 06:58 +0530 – hirunews.lk/sinhala)

COVID මර්දනය කර ලෝකය විවෘත වන තෙක් නොසිට කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහාය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශකර තිබෙනවා.

කලාකරුවන් මුහුණු පා සිටින ගැටළු පිළිබඳව ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ.

මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ බොහෝ අවස්ථාවල කලාකරුවන් එසේ සම්බන්ධ කරගැනීම සිදුවූ බවත් එමඟින් සෑම මට්ටමකම කලාකරුවාට සිය නිර්මාණ දායකත්වය දීමට හැකි වූ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

ගතවූ කාලයේදී සහ COVID වසංගතය නිසා මඟහැරුණු අවස්ථා යළි ඇතිකිරීමට පසුබිම සකසන බවයි ජනපතිවරයා ප්‍රකාශ කළේ.

මේ අතර 9 ශ්‍රේණියේදී නතර කෙරෙන සෞන්දර්ය විෂය අධ්‍යයනය අ.පො.ස. (සා.පෙළ) දක්වා දරුවාට ඉගැන්වීමේ අවශ්‍යතාව මෙහිදී මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා පෙන්වා දී තිබෙනවා.

එම යෝජනාව ‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්’ වෙනුවෙන් වූ කාර්ය සාධක බලකා වෙත ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

කලාකරුවාට සහන පොළී අනුපාතයකට ණය මුදලක් ලබාදීමට රජය ගත් පියවර ප්‍රශංසාවට ලක් වූ අතර රාජ්‍ය බැංකු මඟින් එය නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම කණගාටුදායක බවද මෙහිදී පෙන්වා දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, අමාත්‍යංශ ලේකම්වරු සහ නිලධාරීහූ, චිත්‍රපට අධ්‍යක්ෂකවරු, රංගන ශිල්පීහූ, ගායක ගායිකාවෝ, ගීත රචකයෝ ඇතුළු කලා ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්ව නියෝජනය කරමින් කලාකරුවෝ රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා ෴

***************************************

හෝමාගම – පිටිපන ගිනි අවි සිද්ධියට අදාළ තවත් ටී 56 ක් අතුරුගිරියෙන් සොයාගැනේ

(02.07.2020 – 07:37 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – පිටිපන ප්‍රදේශයේ වෙළඳසැලක සඟවා තිබියදී අතුරුදන් වූ බවට සැක කෙරෙන ටී 56 වර්ගයේ ගිනි අවියක් අතුරුගිරිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබෙනවා.

ඊයේ (01) රාත්‍රියේ සිදුකළ මෙහෙයුමකදීයි මෙම ගිනි අවිය සොයාගෙන ඇත්තේ.

මීට පෙර අදාළ වෙළඳසැලේ තිබී ටී 56 ගිනි අවි 11 ක් ඇතුළු තවත් ගිනි අවි 12 ක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගනු ලැබුවා.

කෙසේ වෙතත් පසුව අනාවරණ වී තිබුණේ එහි තිබූ තවත් ගිනි අවි 7 ක් අතුරුදන්වී ඇති බවටයි ෴

***************************************

ප්‍රවීණ කලාකරු නිහාල් නෙල්සන්ගේ, ආදරණිය බිරිද අභාවප්‍රාප්ත වෙයි

(02.07.2020 – 07:40 +0530 – hirunews.lk/sinhala)

නිහාල් නෙල්සන් කියන්නේ එදත් අදත් ප්‍රාසංගික වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්.

වේදිකාව දෙවනත් කරන සුපිරි හඩක් හිමි ඔහු ආදරණිය බිරිද මාලි නෙල්සන් වෙනුවෙනුත් ගීත ගැයුවා.

ඔහුගේ ජිවිත වේදිකාවට ගොඩ වූ දයාබර බිරිද මාලි නෙල්සන් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

තරංග නෙල්සන්ට ආදරණිය මවක් වූත් ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන්ට ආදරණිය බිරිදක් වූත් ඇයගේ අවසන් කටයුතු ගැන තවමත් දැනුම් දී නෑ.

+++++++++++++++++++++

***************************************

දිවා සුරැකුම් මධ්‍යස්ථාන අද (02) සිට යළි විවෘතයි

(02.07.2020 – 08:00 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු දිවා සුරැකුම් මධ්‍යස්ථාන අද (02) සිට යළි විවෘත කිරීමට අවසර ලබාදී තිබෙනවා.

දෙමාපියන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැළකිල්ලට ගෙනයි මෙම තීරණයට එළඹ ඇත්තේ.

ඊයේ (01) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් හයදෙනෙකු (06) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2054 දක්වා ඉහළ ගියා.

ඔවුන්ගෙන් හතරදෙනෙකු (04) බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණ ඇති අතර, අනෙක් තුන්දෙනා (03) ඉන්දියාව, බ්‍රිතාන්‍ය සහ ඩුබායි සිට පැමිණි අය වනවා.

ඒ අනුව කොරෝනා ආසාදිතයන් 295 ක් තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 1748 ක්.

එමෙන්ම කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය නෞකාවක සේවය කළ කාර්ය මණ්ඩලයේ නැවියන් 54 දෙනෙකු රැගෙන විශේෂ යානයක් මත්තල ගුවන් තොටුපලේ සිට එංගලන්තය බලපා අද (02) අලුයම 05:50 ට පිටත්ව ගියා.

මෙම ගුවන් යානය තුළ ගුවන් කාර්ය මණ්ඩලය ලෙස 15 දෙනෙකු සේවයේ යෙදී සිටින අතර, එම යානය ඊයේ (01) උදෑසන 10:20 ට රෝමයේ සිට කොළඹ වරායේ ඇති නැවක් සඳහා නැවියන් 155 දෙනෙකු රැගෙන මත්තල ගුවන් තොටුපල වෙත පැමිණ තිබුණා.

කොවිඩ් 19 හඳුනාගැනීම වේගවත් කිරීමට සම්පූර්ණ ස්වයංක්‍රීය පීසීආර් යන්ත්‍රයක් අන්තර්ජාතික රොටරි සමාජය රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට පරිත්‍යාග කර තිබෙනවා.

එම යන්ත්‍රය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කිරීම ජනාධිපති කාර්යාලයේදී ඊයේ (01) පස්වරුවේ සිදු කෙරුණා.

මේ අතර ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 10793,057 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව දැක්වන්නේ 518,046 ක් ලෙසයි.

ගතවූ පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තාවූ අතර, එය සැළකෙන්නේ මෙතෙක් එරටින් දිනක් තුළ වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි.

ගතවූ පැය 24 තුළ බ්‍රසීලයෙන් මරණ 1,057 ක් වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 60,713 ක් ලෙසයි.

නව ආසාදිතයන් 44,884 ක් සමඟ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 14,53,369 ක් ලෙස සටහන් වනවා.

දෛනික ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් ඇමරිකාවේ ගතවූ පැය 24 තුළ ආසාදිතයන් 50,312 ක් එරටින් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වන්නේ 27,78,165 ක් ලෙසයි.

දෛනික මරණ 667 ක් සමඟින් ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 130,789 ක් දක්වා ඉහළ ගියා.

ඉන්දියාවේ නව මරණ 438 ක් වාර්තාවී ඇති අතර, එරට සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 17,848 ක් ලෙසයි.

නව ආසාදිතයන් 19,428 ක් සමඟ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 605,220 ක් ලෙස දැක්වුණා ෴

***************************************

ලෝකෙම ලංකාවේ ක්‍රිකට් ගැන කතාවෙද්දී සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගෙන් අමුතු හෙළිදරව්වක්

(02.07.2020 – 09:54 +0530 – hirunews.lk/sinhala)

තමන් දේශපාලනයට පිවිසීමට අකමැති වීම හේතුවෙන් තම සහෝදරයා දේශපාලනයට යොමුකළ බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පැවසුවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරඟ කරන ඔහු සහොදරයා වන මුත්තයියා ප්‍රභාකරන් මහතාගේ මස්කෙලිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුත්තයියා මුරලිදරන් මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙලෙස ඔහු තම සහෝදරයා දේශපාලනයට යොමුකළ බවයි.

“මම ඇත්තටම දේශපාලනයට කැමති නෑ, අපේ පවුලේ කවුරුත් හිතුවේ මගේ සහෝදරයා දේශපාලනයට එයි කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වෙන්න කලින් මට ඉල්ලිමක් කරා වියත් මගට ඇවිල්ලා මට වැඩ කරන්න පුළුවන් කියලා. මම ඒක හරි සන්තොසෙන් පිලි ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ කරන නායකයෙක් , වැඩ කරන්න පුළුවන් නායකයෙක් , එ නිසා මම ජනතාව අතර ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්න කටයුතු කලා.

ඊට පස්සේ මැතිවරණය ඉවර වෙලා ජනාධිපතිවරයා මට කතා කරලා තියෙනවා , ‘මුරලි ඔයාට හොදට වැඩ කරන්න පුළුවන් ඒ නිසා උතුරේ ආණ්ඩුකාර ධුරය ගන්න’ කියලා. මම එතුමාට කිව්වා ‘සර් මට ඇත්තටම දේශපාලනය තේරෙන්නේ නෑ , මම ක්‍රිඩකයෙක්, මම මිනිස්සුන්ට උදව් කරන්න තමයි කැමති. ඒ නිසා මම දේශාපලනය කරන්න කැමති නෑ. මාත් එක්ක තරහා වෙන්න එපා’ කියලා. එතුමා ඊට පස්සේ හිනාවෙලා කිව්වා කමක් නැ එහෙනම් මම වෙන පුද්ගලයෙක් දාන්නම් කියලා.

මාස දෙකකට පස්සේ ආයෙත් කතා කරලා කිව්වා ‘මට උදව්වක් වශයෙන් මේ පාර මැතිවරණයට තරඟ කරන්න’ කියලා. මම කිව්වා ‘සර් මම කොහොමත් දේශපාලනයට කැමති නෑ’ කියලා. ඊට පස්සේ සර් කිව්වා ‘ඔයාලා වගේ කට්ටය මාත් එක්ක වැඩ කරේ නැත්තම් මේ රට ගොඩ ගන්න බෑ’ කියලා. මම කිව්වා ‘එහෙනම් සර් මම මගේ බාල සහොදරයා ඉදිරිපත් කරන්නම්, එයා දක්ෂයි , මම එයාගේ පිටිපස්සෙන් ඉදන් උදව් කරන්නම්’ කියලා. ඒ නිසා තමයි මගේ මල්ලි දේශපාලනය ඇවිල්ලා තියෙන්නේ. අපිට දේශපාලනය එන්න උවමනාවක් නෑ. සල්ලි තියෙනවා , කොම්පැනිස් තියෙනවා, ඕන රටක් පිලිගන්න නමක් හදාගෙන තියෙනවා. ගොඩාක් අය දේශපාලනයට එන්නේ නම හදා ගන්නත් , සල්ලි හම්බ කරන්නත්. අපිට ඒ දෙකම අවශ්‍යය නෑ. අපිට ඕනේ ජනතාවට සේවය කරන්න කොහොම හරි.”

+++++++++++++++++++++++++++++++++++

***************************************

හෝමාගම කැන්දලන්දෙන් අත්බෝම්බ 04 ක් සමඟ තවත් ආයුද හමුවෙයි

(02.07.2020 – 10:43 +0530 – hirunews.lk/sinhala)

පිටිපන ප්‍රදේශයේ වෙළඳසැලක අවි සගවා තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් හෙළිවූ තොරතුරු මත හෝමාගම – කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අද (02) අළුයම තවත් අත්බෝම්බ සහ ගිනි අවි තොගයක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අත්බෝම්බ 4 ක්, පිස්තෝලයක්, වායු රයිපලයක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ඩෙටනේටර් දෙකක් (2), රිපීටර් උණ්ඩ 10 ක්, මාංචු ජෝඩුවක් සහ ඞීවීආර් යන්ත්‍ර තුනක් (3) මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි.

එමෙන්ම හෝමාගම – පිටිපන ප්‍රදේශයේ වෙළඳසැලක සඟවා තිබියදී අතුරුදන් වූ බවට සැක කෙරෙන ටී 56 වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අතුරුගිරිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01) අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර පාතාල කල්ලි නායක ‘වැල්ලේ සුරංග’ගේ ගෝලයෙකු මෝදරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද (02) පෙරවරුවේ එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදි මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ‘අරුලානන්ද සුරාජ් නිමන්ත’ හෙවත් ‘නිමේෂ්’ නැමැත්තෙකු බවයි.

කප්පම් ගැනීමේ සිද්ධිවලට සම්බන්ධ බවට සැකපිට පාතාල නායක බැරල් සංඛ නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු පෑලියගොඩ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4.5 ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර පාතාල කල්ලි නායක ‘වැල්ලේ සුරංග’ නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු වන ‘අරුලානන්දන් සුරාජ් නිමන්ත’ නොහොත් ‘නිමේෂ්’ නැමැත්තා අද (02) උදෑසන මෝදර පොලිසිය විසින් හෙරොයින් මිලිග්‍රෑම් 1150 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

MCC ඇතුළු රටට එරෙහි ගිවිසුම්වලට අත්සන් තබන්නේ නැහැ – රජයෙන් ප්‍රකාශයක්

(02.07.2020 – 11:01 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ රටේ පවතින නීතීයට හෝ ජාතික ආරක්ෂාව අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් පත්කල කමිටුවේ පුර්ණ වාර්තාව ඊයේ (01) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි.

පාසල් ආරම්භ වීමත් සමඟ විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ දැනුම් දෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

2020-07-01 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ විශේෂ තීරණ පහතින් :

• Click on Image.
• Use ‘Ctrl’ + ‘+’ keys to increase the size (and font size) of the Image.
• Use ‘Ctrl’ + ‘-‘ keys to decrease the size (and font size) of the Image.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *