අද (06) සිට පාසල් යන ළමයින්, පාසලේ දී මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්ය ද ? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පහදයි

(06.07.2020 – 09:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් අදියර කිහිපයක් යටතේ දින 115 කට පසු අධ්‍යයන කටයුතු සඳහා අද (30) සිට යළි ආරම්භ කෙරුනා.

ඒ අනුව පළමු අදියර යටතේ අද (06) පාසල් ආරම්භ කෙරුනේ 11, 13 සහ 5 ශ්‍රේණි සඳහායි.

අද (06) සිට අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා සුදුසු පරිසරය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සකස් කිරීම මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ප්‍රකාශ කළා.

මේ අතර පාසල් ළමුන් පාසල තුලදී මුඛ ආවරණ පැළඳීම නිර්දේශ කිරීම අනිවාර්ය කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

අද (06) උදෑසන ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකර සිටියා.

යම් දරුවෙකුට උණ, කැස්ස, සෙම්ප්‍රතික්ෂාව වැනි රෝග ලක්ෂණ පවතීනම් එම දරුවන් පාසල් වෙත යොමු නොකරන ලෙස අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

+++++++++++++++++++++++++++++++++++

සෞඛ්‍ය නිර්දේශ අනුව යළි ඇරඹුන පාසල්

(06.07.2020 – 10:46 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තියත් සමඟ වසා දැමු රජයේ සියලු පාසල් දින 115 කට පසු, අද (06) යළි ආරම්භ වුණා.

මෙය පාසල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළේ දෙවැනි අදියරයි.

ඒ, අනුව අද (06) දිනයේ අධ්‍යන කටයුතු සඳහා පාසල් වෙත කැඳවනු ලැබුවේ සියලු පාසල්වල 13, 11 සහ 05 ශ්‍රේණි සිසු දරුවන් පමණයි.

13 සහ 11 ‍ශ්‍රේණිවල දරුවන්ට පෙ.ව 7.30 සිට ප.ව 3.30 දක්වාත්, 5 ශ්‍රේණි සිසුන් සඳහා පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වාත් පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දුන්නේ.

ඒ අනුව අද (06) දිවයිනේ බොහෝ පාසල් සඳහා ළමයින්ගේ කැපීපෙනෙන සහභාගීත්ත්වයක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

සෑම පාසලක් ඉදිරිපිටම ළමයිගේ දෑත් සේදීම සඳහා ජල කරාම සවිකර තිබු අතර, පාසලට පැමිණෙන සියලුම ළමයිගේ ශරීර උෂ්ණත්වයද මැන බැලීමකට ලක් කෙරුණා.

අත් සේදිමේදි පුද්ගල දුරස්ථභාවය රඳා පවත්වා ගැනීමට එම විදුහල්වල විදුහල්පතිවරුන් විසින් කටයුතු කර තිබු අතර පන්ති කාමර තුළද දුරස්ථභාවය රඳා පවත්වා ගනිමින් අධ්‍යයන කටයුතු සිදු කිරීමටත් සෑම පාසල් සිසුවෙකුම පාසලට පැමිණෙන විට මුඛ අවාරණ පැළඳ පැමිණීමටත් කටයුතු කර තිබුණා.

විවෘත කළ පාසල් වල සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද නිසි අයුරින් අනුගමනය කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරීන්ද යොදවා ඇති බවයි අප වාර්තාකරුවන් වැඩිදුරටත් පැවසුවේ.

පාසල් ආරම්භවිමත් සමග ප්‍රධාන මාර්ගවල තරමක රථ වාහන තදබදක් දැකගැනීමට ඇති බවත් එය වැලක්වීම සඳහා පොලිස් නිලධාරින් විශාල ප්‍රමාණයක් රාජකාරියේ යොදවා තිබු බවත් අප වාර්තාකරුවන් පවසනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

සී.අයි.ඩීය ‘කොට්ටාවේ රජිත හෙවත් ලොකූ’ සොයයි

(06.07.2020 – 12:35 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගෙන ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මත්කුඩු අළෙවි කළ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

‘කොට්ටාවේ රජිත හෙවත් ලොකූ’ නැමති ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශයේ පදිංචි මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට මත්කුඩුවලට අමතරව පිස්තෝල 4 ක්ද ලබාදී ඇති බවටයි මේ දක්වා කළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

පසුගිය මැයි මස 14 වනදා වැලිසර – නුගේවත්ත ප්‍රදේශයේ සහල් මළු තුළ සඟවා තිබියදී රුපියල් කෝටි 225 කට ආසන්න මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊට පසුදින සඳහන් කළා.

කෙසේ වෙතත් මේවා ඊට මාස කිහිපයකට පෙර බලපිටිය ප්‍රදේශයෙන් මෙරටට රැගෙන විත් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ටෝලර් යාත්‍රා මගින් එලෙස රැගෙන ආ මත්කුඩුවලට අමතරව පාකිස්ථානයේ නිෂ්පාදිත පිස්තෝල 5 ක්ද, ජාවාරම්කරුවන් විසින් මෙරටට එවා තිබෙනවා.

ඒවා හොර රහසේ මත්කුඩු සමඟ ලබාගෙන කොට්ටාවේ රජිත හෙවත් ලොකූ නැමැත්තාට ලබාදී ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

එම පිස්තෝල පහෙන් එකක්, තවත් මුදල් තොගයක් සමඟ පසුගියදා වැලිවේරිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගනු ලැබුවා.

මේ වනවිට අතුරුදන්ව ඇති බව පැවසෙන අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකාර පොලිස් පරීක්ෂකවරයා මෙම ගිනි අවිය සහ අදාළ මුදල් තොගය නිවෙස් හිමියා වෙත ලබාදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

කෙසේ වෙතත් වැලිසර – නුගේවත්ත ප්‍රදේශයෙන් පසුගිය මැයි මස 14 වනදා සහල් තුළ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් මත්කුඩු ප්‍රමාණය බලපිටිය ප්‍රදේශයේ හෝටලයක් තුළ ඇසුරුම් කර ඇති නමුත් එහි තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මෙරටට රැගෙන විත් ඇති බවට හෙළිවී තිබෙනවා.

ඒවා අත්අඩංගුවේ සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්, කොට්ටාවේ රජිත හෙවත් ලොකූ නැමැත්තාට ලබාදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව රහස් පොලීසියේ නිලධාරීන් පසුගියදා එම සැකකරුගේ දියණියකගෙන්ද ප්‍රශ්ණ කර ඇති බව සඳහන් ෴

***************************************

කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයට අමුත්තන් 05 කට අවසර

(06.07.2020 – 12:40 +0530 – hirunews.lk/sinhala)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය වෙත එක් ගුවන් මගියෙකුට අමුත්තන් පස්දෙනෙකු (5) රැගෙන ඒමට අද (06) සිට අවසර ලබාදී තිබෙනවා.

ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ ගුවන් තොටුපල වෙත පැමිණෙන අමුත්තන් සහ ගුවන් මගීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශවලට අනුව කටයුතු කළ යුතු බවයි.

එහිදී මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි කටයුතු කිරීම අනිවාර්ය බවයි ඔහු පෙන්වා දෙන්නේ ෴

++++++++++++++++++

කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ තීරුබදු රහිත වෙළඳසැල් අද සිට යළි විවෘත කර තිබෙනවා.

ගුවන් තොටුපල කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ මාර්තු 9 වනදා සිට මැයි 31 දක්වා කාලය තුළ දිවයිනට පැමිණි ගුවන් මගීන් සඳහා පමණක් එම වෙළඳසැල් විවෘත කෙරෙන බවයි.

එලෙස භාණ්ඩ මිලදී ගැනීමට පැමිණීමේදී විදේශ ගමන් බලපත්‍රය සමඟ නිරෝධායන මධ්‍යස්ථානය මගින් නිකුත් කළ නිරෝධායන සහතිකයේ මුල් පිටපතක් සහ ස්වයං නිරෝධායනයට ලක්වූ බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නිරෝධායන සහතිකයද රැගෙන ඒම අනිවාර්ය කර තිබෙනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ පසුගිය මාර්තු 9 වනදා සිට ගුවන් තොටුපලේ තීරුබදු රහිත වෙළඳසැල් වසා දමනු ලැබුවා ෴

***************************************

නානුඔයේ දී ලොරියක් ප්‍රපාතයකට පෙරළෙයි

(06.07.2020 – 12:12 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය සිට මස්කෙලිය දක්වා ධාවනය වු ලොරි රථයක් අඩි 100 ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය කෙටි මාර්ගයේ කාල්බර්ග් වත්ත ප්‍රදේශයේදීය.

අද (06) සිදු වූ මෙම අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ රියදුරු සහ රිය සහයකයා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නානුඔය පොලීසිය ප්‍රකාශ කළා .

අනතුරට ලක් වූ පොලොන්නරුව සිට සහල් ප්‍රවාහනය කරන ලද ලොරි රථයක්

රථයේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදු වි ඇති බවයි නානුඔය පොලිසිය කියා සිටියේ.

***************************************

කුසල් මෙන්ඩිස්ට අධිකරණයෙන් ඇප

(06.07.2020 – 11:39 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදාහැරීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළා.

ඒ අනුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමටයි පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය නියෝග කළේ.

මීට අමතරව කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඊයේ (05) අලුයම 5 ට පමණ පානදුර උතුර – හොරේතුඩුව ප්‍රදේශයේ පරණ ගාලුපාරේ දී මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය වූ කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එලෙස මියගිය පුද්ගලයා පානදුර උතුර – ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි සිව් දරු පියෙක්.

අදාළ නඩුව සැප්තැම්බර් 9 වනදා යළි කැඳවීමට නියමිතයි.

***************************************

විශ්වවිද්‍යාල යලිත් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණය උපකුලපතිවරුන්ට

(06.07.2020 – 11:14 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශ 11 ක් මත පදනම්ව නැවත විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් සියලු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ට අද (06) සිට තීරණයක් ගත හැකි බව විශ්වවිද්‍යාලවල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

+++++++++++++++++++++++++++++++++++

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය හමුව (06.07.2020)

(06.07.2020 – 10:53 +0530 – sinhala.adaderana.lk)

+++++++++++++++++++++++++++++++++++

විශ්වවිද්‍යාල ඇරඹීමේදි අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ හා නිර්ණායක 11

(06.07.2020 – 17:52 +0530 – sinhala.adaderana.lk)

ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් සියලු විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා අද (06) දින සිට අවසර දෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිවේදනය කළේය.

එහිදී විශ්වවිද්‍යාලවල අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයන් හා සිසුන් ඇතුලු සියලු පාර්ශ්ව විසින් පිළිපැදිය යුතු මාර්ගෝපදේශ හා නිර්ණායක 11 ක් හඳුන්වා දී ඇත.

ඒ අනුව, විශ්ව විද්‍යාලවල අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයන් හා සිසුන් ඇතුලු සියලු පාර්ශ්ව විසින් පිළිපැදිය යුතු මාර්ගෝපදේශ හා නිර්ණායක 11 ක් නිවේදනය කර ඇත.

එම මාර්ගෝපදේශ හා නිර්ණායක මෙසේය :

  1. එක් පීඨයකින් එක් වරකට විශ්වවිද්‍යාලයට කැඳවිය හැක්කේ අධ්‍යයන වර්ෂ 02 ක සිසුන් පමණි. මෙහිදී අවසන් වසර හා තුන්වන වසර කැඳවීම වඩා යෝග්‍ය වේ.
  2. නේවාසිකාගාර පහසුකම් සැලසීමේදී අනිවාර්යයෙන් එක් සිසුවෙකුට එක් කාමරයක් බැගින් ලබාදිය යුතුය. විභාග දේශන ශාලා, පුස්තකාල, විද්‍යාගාර පහසුකම් භාවිතය හා ප්‍රායෝගික පංති සඳහා සහභාගිවීම ආදී සියලු අධ්‍යයන කාර්යයන්හීදි මීටරයක දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය වේ.
  3. විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීමේදී අධ්‍යයන වාරයන්ට අදාළ දේශන හා ප්‍රායෝගික පංති අවසන්කර සෘජුවම විභාග සඳහා සහභාගි වීමට අපේක්ෂිත සිසුන්ට ප්‍රමුඛතාව ලබාදිය යුතුය.
  4. විභාග පැවැත්වීමට පෙර සිදුකරන ඕනෑම අධ්‍යයන කටයුත්තකදී (දේශන හෝ ප්‍රායෝගික පංති වැනි) යොදා ගත හැකි කාලය අවම කිරීමට කටයුතු කළ යුතු අතර එහි උපරිමය කුමන හේතුවක් නිසාවත් සති 04 කට වැඩි විය යුතු නැත.
  5. අවසන් වසර වෛද්‍ය විද්‍යා උපාධිය හදාරන සිසුන්ට (MBBS) සායනික පුහුණුව ආරම්භ කළ හැකිය. ඒ සඳහා අදාළ වෛද්‍ය පීඨ, ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරුන්, ක්ෂද්‍රජීව විද්‍යාඥයින්, මහාචාර්ය ඒකකයන්හි උපදේශකවරුන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් ලබා ගත යුතුය.
  6. එමෙන්ම, දන්ත වෛද්‍ය, ආයුර්වේද වෛද්‍ය අවසන් වසර සිසුන්ට ද (BDS, BAMS, BSMS) ඉහත අනු අංක 05 හි දක්වා ඇති ආකාරයටම සිය සායනික පුහුණු කටයුතු ආරම්භ කළ හැක.
  7. අධ්‍යයන හා විභාග කටයුතු අවසන් වු වහාම සිසුන් විශ්වවිද්‍යාලවලින් තම පෞද්ගලික නිවෙස් බලා පිටවිය යුතු අතර, කුමන හේතුවක් මතවත් විශ්විද්‍යාලයේ රැඳී නොසිටිය යුතුය. පසුවරු 07:00 න් පසු විශ්වවිද්‍යාල භූමිය තුළ කවර හේතුවක් නිසාවත් සිසුන්ට රැඳී සිටිමට අවසර නැත.
  8. ක්‍රීඩා කටයුතු, සමාජ වැඩ කටයුතු හා ඒ ආකාරයේ කුමන හෝ ඒකාරාශී වීමකට සිසුනට අවසර නොමැත.
  9. සිය නේවාසිකාගාරවල ඇති පහසුකම් පිළිබඳව මනා සැලකිල්ලක් යොදවා වසරකට විශ්වවිද්‍යාලයට කැඳවිය යුතු සිසුන් සංඛ්‍යාව පිළිබඳව අධ්‍යයනයකින් පසු අධ්‍යයන කටයුතු ආරම්භ කළ යුතු බවට සියලුම උපකුලපතිවරුන්ට උපදෙස් ලබාදෙනු ලැබේ.
  10. උසස් අධ්‍යාපන ආයතන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය විධිවිධාන ඇතුළත් චක්‍රලේඛය තවදුරටත් වලංගු වේ.
  11. විශ්වවිද්‍යාලයන්හි කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයන්හි ප්‍රමාණය තීරණය කිරීම සඳහා සියලුම උපකුලපතිවරුන්ට බලය පවරනු ලැබේ.

***************************************

පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් ජනරැළි මාලාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

(06.07.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ජන රැළි මාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) ආරම්භ වුණා.

ඒ, ආනමඩුව – ද.මු. දසනායක ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවකින්.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකටද ජනාධිපතිවරයා ඊයේ (05) එක්වුණා.

බැඳිවැව ප්‍රදේශයේ පැවති ජන හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා ජනතාව මුහුණපා ඇති ගැටළු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක නිරත වුණා.

***************************************

ලංගම හා පුද්ගලික බස් ගැන දැනගන්න ජංගම දුරකථන යෙදවුමක්

(06.07.2020 – 12:12 +0530 – lankadeepa.lk)

මගීන්ට බස් රථයක් පැමිණෙන වේලාව පහසුවෙන් දැනගැනීමේ අවස්ථාව ලබාදීම වෙනුවෙන් නිර්මාණය කළ ‘MyBus-SL’ ජංගම දුරකථන යෙදවුම (Mobile Passenger App) එළිදැක්වීම හෙට (07) සිදුකෙරෙන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

ලංගම හා පුද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ට ඇතැම් අවස්ථාවලදී බස් රථයක් එනතුරු පැය ගණනක් මහමග සිටින්නට සිදුවන අතර බස් රථයක් කාර්මික දෝෂයකට ලක්වීම වැනි අවස්ථාවකදී ඒ බව දැනගැනීමේ ක්‍රමයක් ද මගීන්ට නැත.

මෙම තත්ත්වය සළකා බලා මගීන්ට බස් රථයත් පැමිණෙන වේලාව දැනගැනීමට හැකි අයුරින් මෙම ආසන්නයේම පැමිණෙන බස් රථවල තොරතුරු ලබාගත හැකි මෙම දුරකතන යෙදවුම නිර්මාණය කර තිබෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මගී ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ජාතික ගමනාගමන කොමිසම විසින් මෙම දුරකතන යෙදවුම සකස් කර තිබේ.

ජංගම දුරකථන යෙදවුම සැකසීමේ කටයුතු විශාල මුදලක් ගෙවා පුද්ගලික සමාගමකට පවරා දී තිබුණත් ඔවුන් සකස් කළ යෙදවුම අංගසම්පුර්ණ එකක් නොවීම නිසා එය අසාර්ථක වූ බවත්, පසුව ජාතික ගමනාගමන කොමිසමේ කළමනාකරණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරන තරුණ උපාධිධරයෙක් වන නුවන් සෙනවිරත්න මහතා විසින් මෙම යෙදවුම නිර්මාණය කර ඇති බවත් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම ජංගම දුරකථන යෙදවුම ඔස්සේ බස් රථයක් ආරම්භය හා ගමනාන්තය දැක්වෙන වේලාවන්, මගීන් බස් රථයට ගොඩ වෙන ස්ථානයේ සිට ගමනාන්තය දක්වා අයවෙන බස් ගාස්තුව, තමන් ගමන් ගත යුතු බස් රථය ඒ මොහොතේ පවතින ස්ථානය ආදිය දැනගැනීමට මෙන්ම අන්තර්ජාලය හරහා මගී පැමිණිළි ඉදිරිපත් කිරීමටත්, කාඩ්පතක් මගින් ගෙවීමට ගාස්තු ගෙවීම ආදිය සඳහාත් පහසුකම් සලසා තිබේ.

මෙය නිර්මාණය කළ නුවන් සේනාරත්න මහතා යෙදවුම ජනගත කරන දිනයේදී ඇගයීමට ද පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී ඇත ෴

***************************************

මුහුදු තැපෑලෙන් ආ පාර්සල් 4,000 ක් තවමත් හිර වෙලා

(05.07.2020 – 15:37 +0530 – lankadeepa.lk)

ලිපිනයන් මැකී යාම නිසා බෙදිය නොහැකිවූ මුහුදු තැපැල් පාර්සල් 4000 ක් පමණ තවමත් මධ්‍යම තැපැල් හුවමාරුවේ රඳවා ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව කියයි.

මැලේසියාවෙන් එවා තිබු එම පාර්සල්වලින් 1500 ක පමණ ලිපිනයන් මේ වනවිට මැලේසියානු තැපැල් දෙපාර්තමේන්තුව හා මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරින් එක්ව කළ මෙහෙයුමකින් සොයාගත් ගෙන ඇති බවත් ඒ අනුව අදාල පාර්සල් හිමිකරුවනට භාරදීමට කටයුතු යොදා ඇති බවත් තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා ලංකාදීපයට අද (05) පැවසීය.

කෙසේ වෙතත් ඉතිරි වන පාර්සල්වලින් දෙදහසක් පමණ යලිත් කේත අංක මැලේසියාවට යැවී යැයි කී රණසිංහ මහතා මැලේසියානු තැපැල් දෙපාර්තමේන්තුව ඒවා ද සොයා බලා ලිපිනයන් එවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කීවේය.

මෙම පාර්සල් අතර ඇති 500 ක් පමණ ප්‍රමාණයක කේත අංක පවා මැකී ගොස් ඇති බැවින් ඒවා යලි මැලේසියාවට යවන බවත් එහි දී ඔවුන් ඒවා වෙනුවෙන් යම් පියවරක් ගනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මෙම පාර්සල් අති බහුතරය අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කරන ලද භාණ්ඩ වන අතර කුඩා පාර්සල් බවත් ඒවායේ ලිපින තාවකාලිකව පවතින අන්දමේ ලාභදායි ක්‍රමයකින් මුද්‍රණය කර තිබු බැවින් ඉක්මණින් මැකී ගොස් ඇති බවත් රණසිංහ මහතා සඳහන් කළේය ෴

***************************************

හිඟන්නාගේ ගිණුමේ රුපියල් ලක්ෂ 1400 ක් – අත්තිඩියේ බැංකු ගිණුමක් රටම හොල්ලයි

(05.07.2020 – 05:31 +0530 – truenews.lk)

කුඩු ජාවාරමකු වන මර්වින් ජානාගේ කුඩු සල්ලි රුපියල් ලක්ෂ 1400 ක් තැන්පත් කර තිබූ යාචකයකුගේ බැංකු ගිණුමක් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සිදුකළ විමර්ශනයකදී සොයාගෙන තිබෙනවා.

මෙම යාචකයාගේ නමට අත්තිඩියේ පෞද්ගලික බැංකුවක ගිණුමක් විවෘත කර එහි බැංකු පොත හා කාඩ්පත මර්වින් ජානාගේ බිරිඳ සන්තකයේ තබාගෙන ඇති බව වාර්තා වනවා.

පසුගිය වසරේ ජූලි 15 දා සිට මාස 11 ක් තුළ රුපියල් ලක්ෂ 1400 ක් තැන්පත් කර තිබෙනවා. මර්වින් ජානා දැනට බන්ධනාගාරගතව සිටී ෴

***************************************

පාතාලය මාධ්‍යටත් අත තබයි.. මාධ්‍යකරුවන් මරන්න සුදානම් – ඩුබායි සිට පැමිණි ඇමතුම මෙන්න

(05.07.2020 – 05:24 +0530 – truenews.lk)

පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම වහාම නතර කරන ලෙස සඳහන් කරමින් මෙරට පුවත්පත් කාර්යාලයකට සංවිධානාත්මක කල්ලි විසින් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබා දීමට පටන් ගෙන ඇති බව වාර්තා වනවා.

පසුගිය සතියේ විදේශ රටක සිට ලබා දුන් ඇමතුමකින් කියැවුණේ මාසයක් ඇතුළත එම හෙළිකිරීම් නතර නොකළහොත් අදාළ තොරතුරු පුවත්පතට ලිපි සපයන මාධ්‍යවේදීන් වන තිස්ස රවීන්ද්‍ර පෙරේරා හා හේමන්ත ලියනපතිරණ යන අය නිහඬ කරන බවයි.

ඊට අභියෝග කරන්නේ නම් සති දෙකක් ඇතුළත රටම හෙල්ලෙන ප්‍රවෘත්තියක් ලබා දීමට කටයුතු කරන බව ඔවුහු සඳහන් කර තිබෙනවා.

මාධ්‍යවේදීන්ගේ නම් හා පදිංචි ස්ථානද සඳහන් කරමින් තර්ජනය කළ පුද්ගලයන් සඳහන් කළේ ඔවුන් ඩුබායි සිට මෙම ඇමතුම් ලබාදෙන බවයි. එහෙත් පසුව කළ සොයා බැලීමේදී හෙළිවුණේ නෝර්වේ හා වෙනත් රටවල දුරකථන හැක්කර මෙම ඇමතුම ලබා දී ඇති බවයි ෴

***************************************

හමුදා, පොලිස් 200 කට අධික පිරිසක් කිලිනොච්චියේ හදීසි වැටලීමක්.. නිවාස 400 ක් සෝදිසි කරයි…

(06.07.2020 – 18:48 +0530 – lankacnews.com)

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කලු කොටි දිනය ඊයේ (05) දිනට යෙදීමත් විවිධ වූ සමාජ විරෝධී ක්‍රියාවන් පිළිබඳ තොරතුරු ලැබීමත් හේතුවෙන් කිලිනොච්චිය කණ්ඩාවලෙයි ඇතුලු ප්‍රදේශ කිහිපයක යුදහමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හදීසි සොදිසි මෙහෙයුමක් දියත් කරන ලදි.

කණ්ඩාවලෙයි, ධර්මපුරම් ආදි ප්‍රදේශයන්හි පිහිටි නිවාස 400 කට අධික ප්‍රමාණයක් මෙහිදී හදීසි සොදිසි පරික්ෂාවකට ලක් කල අතර එහිදී සැකකටයුතු පුද්ගලයෙකු පොලිස් භාරයට ගනු ලැබීය.

කෙසේ වෙතත් සිදු කරන ලද සෝදිසි පරික්ෂාවන් වලදී ආයුධ හෝ කිසිවක් හමු නොවී ඇති අතර ඉදිරියේද සැකකටයුතු ප්‍රදේශයන්හි එවැනි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවට ආරක්ෂක අංශ පැවසීය.

කිලිනොච්චියේ කිසිදු ත්‍රස්ත ක්‍රියාකාරකමක් හෝ එවැනි දේකට අනුබල දීමක් හෝ සිදුකරනු ලබන පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වූ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවටද ආරක්ෂක අංශ වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

+++++++++++++++++++

බෝම්බ තුනක් සමගින් කළු කොටි කොඩි අත්අඩංගුවට..

(06.07.2020 – 17:30 +0530 – lankacnews.com)

කිලිනොච්චිය ඉයක්කච්චි ප්‍රදේශයේ නිවසක්තුල තිබී දේශීය නිෂ්පාදිත බෝම්බ 3 ක් සමගින් පුපුරණදුව්‍ය හා කලුකොටි සමරණ කොඩියක් ඇතුලු උපකරණ සමගින් කාන්තාවක් ඊයේ (05) රාත්‍රියේ ත්‍රස්ත විමර්ශන නිලධාරීන් හා පලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල කාන්තාව සිටි නිවසේ මීට පෙර දිනකදී දේශීය බෝම්බයක් සෑදීමට ගත් උත්සහයකදී එය පුපුරා යාමෙන් ඇයගේ ස්වාමිපුරුෂයා බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතරඒ පිළිබඳව වැඩි දුර පරික්ෂා කිරීමේදී නිවසේ සඟවා තිබූ අදාල බෝම්බ හා පුපුරණද්‍රව්‍ය තොගය සොයාගනු ලැබීය.

එහිදී නිවසේ තිබී දේශීය නිශ්පාදිත බෝම්බ 3 ක්, පුපුරණද්‍රව්‍ය තොගයක්, කලුකොටි දිනය සමරමු යනුවෙන් කොඩියක්, කලුකොටි සාමාජිකයෙකුගේ ඡායාරූපයක් ආදි වහයෙන් සොයාගෙන ඇත.

අනතුරුව නිවසේ සිටි 43 හැවිරිදි කාන්තාවද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් වශයෙන්ද සේවය කරන බවට තොරතුරු අනාවරණය කොට ගෙන ඇත.

කෙසේ වෙතත් බෝම්බ පිපිරුමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටින සාමාජිකයා හිටපු කොටි සාමාජිකයෙකු බවටද තොරතුරු ලැබී ඇති අතර අදාල බෝම්බ නිෂ්පාදනය කිරීමට හේතුව සෙවීම සඳහා ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විසින් මේ වන විටත් පරික්ෂණයක් අරඹා ඇත.

සොයාගත් බෝම්බම හා පුපුරණද්‍රව්‍ය අධිකරණ නියෝගයකට අනුව නිෂ්ක්‍රී කිරීම සඳහා පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය සහයද ලබාගන්නා බවට පලෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

ලබන අගෝස්තු මස 5 වන දා පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්දය විමසන කාලසීමාව දීර්ඝ කර තිබෙනවා

(06.07.2020 – 17:37 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ පෙරවරු 7 ට ආරම්භ වන ඡන්දය විමසීම පස්වරු 5 දක්වා පැවැත්වීමට තීරණය කළ බවයි.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව මැතිවරණය පැවැත්වීම ඊට හේතුවයි.

සාමාන්‍යයෙන් ඡන්ද විමසීමේ කාලසීමාව පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා වුවද,පසුගිය ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ද පස්වරු 5 දක්වා පැවැත්වුණා.

එවර ඡන්ද විමසීමේ කාලය දීර්ඝ කෙරුණේ ඡන්ද පත්‍රිකාව අසාමාන්‍ය ලෙස අඟල් 26 ක් දිගුවීම හේතුවෙන් ෴

***************************************

මංගල උත්සව සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව ඉහළ නංවයි

(06.07.2020 – 19:14 +0530 – hirunews.lk/sinhala)

මංගල උත්සව සඳහා උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් සියයට 50 ක් හෝ උපරිම 300 යන දෙකෙන් අඩු සංඛ්‍යාවකට සහභාගී වීමට අද (06) සිට අවසර හිමිවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එම සංඛ්‍යාවට දෙවන මනාලයා / දෙවන මනාලිය ඇතුළු කණ්ඩායම, සංගීත කණ්ඩායම සහ වෙනත් ශිල්පීන් ද ඇතුලත්විය යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

උත්සව ශාලා සඳහා මීට පෙර ලබාදුන් උපදෙස් මේ සඳහා අදාල වන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *