පූජිත සහ හේමසිරි යලිත් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

(09.07.2020 – 13:45 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද (09) පෙරවරු 10 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඔහු මේ වනවිටත් එම දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශය ලබා දෙමින් සිටින බවයි එහි සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ.

එමෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත ප්‍රකශායක් ලබාදීම සඳහා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අදත් (09) පැමිණියා.

පූජිත සහ හේමසිරි

පෙරවරු 09:30 ට පමණ පැමිණි ඔවුන්ගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා.

ඊයේ (08) පෙරවරුවේද මෙම ඒකකයට මොවුන් දෙදෙනා පැමිණ තිබූ අතර එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මාධ්‍ය මඟ හැර දිව යන අයුරු කාගේත් අවධානයට යොමු වුණා.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (08) සාක්ෂි ලබාදුන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, දැනට වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වායි.

ඔහු සාක්ෂි දෙමින් කියා සිටියේ තමන් රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රතිත්‍රස්ත ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ කාලසීමාවේදී එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර දෙකක් වළක්වා ගැනීමට හැකි වූ බවයි.

ඉන් අනතුරුව 2014 වසරේදි පමණ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රතිත්‍රස්ත ඒකකය තමන්ට භාර දීමෙන් පසු මුල්වරට ඉස්ලාම් අන්තවාදය පිළිබඳ තොරතුරු දැනගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

එහිදි තොරතුරු ලැබී ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ වෙසෙන සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට එරෙහිව වෙනස් මගක ගමන් කළ අබ්දුල් රාසික් නැමැත්තෙකු සම්බන්ධයෙන්.

කෙසේ වෙතත් අබ්දුල් රාසික් නැමැත්තා විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ කාත්තන්කුඩි ප්‍රදේශයේ අයෙකු ලෙස සහරාන් හෂීම් රාජ්‍ය බුද්ධි සේවය විසින් හඳුනාගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නා.

2017 වසරේදී කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට පැමිණි වලිඋල්ලා නමැති සංවිධානයක් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රචණ්ඩ හැසිරීම පිළිබඳ දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර දැනුවත් කර තිබුණා.

ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් තමන් ඇතුළු කණ්ඩායම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ 2017 වසරේ කාන්තන්කුඩි ප්‍රදේශයේ තවත් සංවිධානයක් සමඟ ඇතිකරගත් ගැටුමකින් පසු සහරාන් අතුරුදන් ව සිටි බවයි.

කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ ඇතිවු අදාළ ගැටුමෙන් පසු සහරාන් හෂිම් අන්තවාදයෙන්, ප්‍රචණ්ඩ අන්තවාදය දක්වා පැමිණ ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

එබැවින් ඔහු ජාතික ආරක්ෂාවට පැහැදිලි තර්ජනයක් වන බවට තේරුම්ගත් බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කොමිසම හමුවේ කියා සිටියේ.

සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවේ අදාළ කරුණු හේතුවෙන් 2018 වසරේ ජූලි 09 වනදා අධිකරණයට කරුණු වාර්තාකර සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තුවක් ලබාගැනීමට කටයුතු කළ බවයි.

කෙසේ වෙතත්, එතැන් පටන් තමන්ව අනිවාර්යය නිවාඩු යැවු සැප්තැම්බර් 20 වැනි දින දක්වා, ගතවූ වු මාස 03 කට ආසන්න කාලය තුළ සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කොමිසම හමුවේ කියා සිටියා.

විවෘත වරෙන්තුව ලබාගත් පසු සතිපතා කරුණු වාර්තා කිරීමට තමන් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර හමුවු අවස්ථාවේදී ‘ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ’ යනුවෙන් සහරාන් පිළිබද විමසූ බවත්, ‘සොයාගන්නට නැහැ’ යනුවෙන් තමන් පිළිතුරු දුන් බවත් නාලක ද සිල්වා කියා සිටියා.

සාක්ෂිකරු වැඩිදුරටත් සදහන් කළේ තමන්ව අනිවාර්යය නිවාඩු යැවු දිනය දක්වා සහරාන් හෂිම් සහ වෙනත් මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වාර්තා 87 ක් පොලිස්පතිවරයා වෙත ලබා දී තිබූ බවයි.

කෙසේ වෙතත් තමන් පොලිස් සේවයෙන් වසරකට ආසන්න කාලයක් වැඩ තහනමකට ලක්ව සිටීම හා රක්ෂිත බන්ධනාගාර ගතව සිටීම හේතුවෙන් තමන්ට සාක්ෂි ලබා දීමට අදාළ ඇතැම් කරුණු අමතක වී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

+++++++++++++++++++++

***************************************

රාජසන්තක කර ඇති මෝටර් රථ ගැන රජය හදිසියේම ගත් විශේෂ තීරණය මෙන්න

(09.07.2020 – 13:54 +0530 – hirunews.lk/sinhala)

විවිධ හේතූන් මත රාජසන්තක කර ඇති මෝටර් රථ යුද හමුදාව සහ රාජ්‍ය ආයතන වෙත මුදා හැරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

මේ අතර අත්අඩංගුවට ගන්නා නීතිවිරෝධී බීඩිකොළ ටෙන්ඩර් පටිපාටියකින් තොරව විනාශ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව මාධ්‍ය හමුවට එක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියා.

එමෙන්ම, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවල විදුලිබිල සඳහා සියයට 25 ක සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

එමෙන්ම, කිසිදු හේතුවක් මත විදුලිය විසන්ධි නොකිරීමටත්, ගෙවීම් සිදුකිරීම සඳහා අමතර මාස 3 ක කාලසීමාවක් ලබාදීමටත් අමාත්‍ය මණ්ඩලයට යෝජනා වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

මේ අතර එම්.සී.සී. ගිවිසුම ගැන සොයා බැලූ කමිටුව ලබා දුන් වාර්තාව පිළිබඳව අධ්‍යයනය කර වාර්තා කිරීමට ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය වෙත තවත් සති දෙකක (2) කාලයක් ලබාදී තිබෙනවා.

***************************************

ඡායාරූප ප්‍රදර්ශණය කළ හැක්කේ අපේක්ෂකයාගේ වාහනයේ පමණයි

(09.07.2020 – 13:59 +0530 – hirunews.lk/sinhala)

මහමැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් ගමන් කරන පෞද්ගලික වාහනයේ හැර වෙනත් වාහනවල පක්ෂ කණ්ඩායම් අපේක්ෂක ප්‍රවර්ධන වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් බැනර් සහ ස්ටිකර් ප්‍රදර්ශනය තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා සෙසු පෞද්ගලික වාහනවල එවැනි ස්ටිකර් අලවා ඇත්නම් ඒවා වහාම ඉවත් කිරීමට ක්‍රියා කළ යුතු බවයි එම කොමිසම නිවේදනය කළේ.

එලෙස අලවා ඇති ස්ටිකර් ගලවා ඉවත් කිරීමට සහ සෑම පොලිස් බලප්‍රදේශයක්ම ආවරණය වන ආකාරයෙන් හදිසි පරීක්ෂා කිරීම් සිදුකිරීමටද පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා ෴

***************************************

බලංගොඩ දී අපයෝජනයට ලක් වූ දැරිය මරුට

(09.07.2020 – 14:22 +0530 – sinhala.adaderana.lk)

බලංගොඩ, රාවණා කන්ද ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියක් අමානුෂික ලෙස අපයෝජනය කර සිටිය දී, බලංගොඩ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (07) සවස සිදුකර ඇති අතර, එහිදී අධිකරණ වෛද්‍යවරයා විසින් දැරියගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර එහි වාර්තාවක් ලබා ගන්නා ලෙස දැනුම් දී ඇත.

සිදුවීම සම්බන්ධයෙන් 24 හැවිරිදි බලංගොඩ, සින්නවල, ගයිවත්ත ප්‍රදේශයේ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

උසස් පෙළ සඳහා බලංගොඩ ප්‍රසිද්ධ පාසලක් වෙත ඇතුළත් වීමට තිබු බැවින් අලුත් ඇඳුමක් මැසීමට දී එය ලබා ගැනීමට බලංගොඩ නගරයට ගිය අවස්ථාවේ දී ඇය අතුරුදන්ව තිබේ.

පසුව දෙමාපියන් විසින් පොලීසියට දැරිය අතුරුදන්ව ඇතැයි පැමිණිලි කර ඇති අතර, පසුදින දැරිය සිටින ස්ථානයක් පිළිබඳව ද දෙමාපියන්ට දැනගැනීමට ලැබී ඇත.

ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කළත් ඔවුන් දැරිය ඇති ස්ථානයට නොගිය බැවින් තමා හා තවත් පිරිසක් අදාළ ස්ථානයට ගිය බව මියගිය දැරියගේ පියා පවසයි.

නිවසක ඇඳක් මත තම දියණිය වැතිර සිටි බවත් එහිදී සැකකරු අල්ලා බලංගොඩ පොලීසියට බාර දුන් බවත් පැවසු ඔහු, දැරිය වහාම බලංගොඩ රෝහල වෙත ඇතුළත් කළ බවද ‘අද දෙරණ’ට පැවසීය.

පසුව ඇයට සැත්කමක් සිදුකර ඇති බව රෝහලෙන් පැවසු බව ද කියාසිටි මියගිය දැරියගේ පියා ඉන්අනතුරුව දැරිය මියගොස් ඇතැයි පැවසු බව ද හැඬු කඳුළින් කියා සිටියේය.

“ළමයා කතා කරේ නෑ. ඇස් දෙක ඇරලා බැලුවා” යැයි ද ඔහු පැවසීය.

සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 22 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

***************************************

අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන්ගේ බැංකු ගිණුම් ගැන විස්තර හෙළිවේ

(08.07.2020 – 21:34 +0530 – sinhala.adaderana.lk)

අත්අඩංගුවට ගෙන දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට අයත් බැංකු ගිණුම් 43 ක් අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අද (08) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

දැනට රැඳවුම් භාරයේ පසුවන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කරුණු වාර්තා කර තිබූ පැමිණිල්ලක් අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා මේ බව දැනුම් දුන්නේය.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ දන්වා සිටියේ දැනට රැඳවුම් භාරයේ පසුවන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් පස් දෙනෙකුට අයත් බැංකු ගිණුම් 43 ක් මහාධිකරණයෙන් ලබාගත් නියෝග මත තහනම් කර ඇති බවය.

එසේ තහනම් කරන ලද ගිණුම්වල ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 46 කට ආසන්න බව ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ එම තහනම් නියෝග ලබාගෙන තිබෙන බවද ඔහු අධිකරණයට දැන්වීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *