කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිවාඩු ගිය උපදේශකයන් 08 ක් යළි කැඳවයි

(10.07.2020 – 07:40 +0530 – hirunews.lk/sinhala)

= කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිවාඩු ගිය උපදේශකයන් 08 ක් යළි කැඳවයි – ආසාදිත උපදේශකවරියගේ මව, පියා ඇතුළු පවුල් 07 ක් ස්වයං නිරෝධායනයට =

නාත්තන්ඩිය – කොට්රාමුල්ල ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත 27 හැවිරිදි තරුණියගේ මව, පියා ඇතුළු ආශ්‍රිත පවුල් 10 ක පිරිස් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

අදාළ තරුණිය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කරන අයෙක් වන අතර, ඇය නිවාඩු ලබා නිවසට පැමිණ ඇත්තේ පසුගිය 28 වැනිදායී.

නිවසට පැමිණීමේදී ඇය පොදු ප්‍රවාහන සේවා භාවිත කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

නිවසට පැමිණීමෙන් පසු ඇය උණ, කැස්ස වැනි රෝග ලක්ෂණ හේතුවෙන් නිවස ආසන්නයේ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, එහිදී අදාළ රෝග ලක්ෂණ ඇය වෙතින් පහව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් 56 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ නිවාඩු ලබා ගොස් සිටි එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ පිරිස්ද පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කර තිබෙනවා.

ඒ අනුව නාත්තන්ඩිය – කොට්රාමුල්ල ප්‍රදේශයේ අදාළ තරුණියට කොරෝනා ආසාදිත බව ඊයේ (09) තහවුරු වුණා.

මේ අතර, පවතින තත්ත්වය හමුවේ කොරෝනා වෛරසය සමාජයට ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ගත යුතු සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය අධිකරණ අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සඳහා පමණක් ක්‍රියාත්මක වන මධ්‍යස්ථානයක් බවයි යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ.

අක්කර 70 ක පමණ ප්‍රදේශයක ව්‍යාප්ත වී පවතින කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 472 දෙනෙකු සිටින අතර, නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 204 දෙනෙකු එහි සේවය කරනවා.

පසුගිය මාසයේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර වෛරසය ආසාදිත නොවන බවට තහවුරු කර ගැනීමෙන් පසු පුනරුත්ථාපනය සඳහා මෙම මධ්‍යස්ථානය වෙත යොමුකර තිබුණා.

ඔවුන්ගෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි අදාළ පිරිසට මෙම වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

ඊයේ (09) දිනයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු මධ්‍යස්ථානයෙන් වාර්තා වූ ආසාදිතයින් 57 දෙනාට අමතරව තවත් ආසාදිතයින් 03 දෙනෙකු වාර්තා වුණා.

ඔවුන් අතර නාවික හමුදා සාමාජිකයෙක්, බංග්ලාදේශයේ සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2154 ක් වන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 164 ක්.

සම්පූර්ණයෙන්ම සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1979 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ෴

+++++++++++++++++++++

කන්දකාඩු නිරෝධායනන මධ්‍යස්ථානය කොවිඩ් නයින්ටීන් රෝහලක් වෙයි

(10.07.2020 – 08:29 +0530 – hirunews.lk/sinhala)

කන්නකාඩු කොවිඩ් නයින්ටීන් නිරෝධායන මධ්‍යස්ථානය එම වෛරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීමේ රෝහලක් බවට පරිවර්තනය කර තිබෙනවා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාදියතන්ට එමගින් ප්‍රතිකාර කිරීමට කටයුතු යොදා ඇති බවයි.

+++++++++++++++++++++

මාරවිල ප්‍රදේශයේ නිවාස 10 ක පිරිසක් ස්වයං නිරෝධායනයට

(10.07.2020 – 06:50 +0530 – sinhala.adaderana.lk)

හලාවත, මාරවිල ප්‍රදේශයේ නිවාස 10 ක පුද්ගලයින් 40 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

කොවිඩ් නයින්ටීන් ආසාදිත බවට හඳුනාගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාව අසුරු කළ පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව වාර්තා වේ.

එම කාන්තාවගේ පවුලේ සමාජිකයින්ද මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර ඔවුන් සියලු දෙනා පි.සි.ආර්. පරික්ෂණ සඳහා යොමුකිරීමට නියමිතව තිබේ.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කරන නිවාඩු ගොස් සිටි උපදේශක උපදේශිකාවන් 08 දෙනෙකු නැවත ගෙන්වා ගැනීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් සඳහා වෙන්කොට ඇති මධ්‍යස්ථානයක් වන අතර එම මධ්‍යස්ථානයට පුද්ගලයන් ඇතුළත් කරන්නේ පි.සි.ආර්. පරික්ෂණවලින් අනතුරුවය.

එහෙත් එහි සමාජිකයන් ආසාදනයට ලක්වුයේ කෙසේද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2154 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (09) දිනය කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 60 දෙනෙකු හඳුනාගැනීමත්, සමගය.

කන්දකාඩු මත්‍ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ගේ පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් ආසාදිතයන් 57 දෙනෙකු සහ කටාර් රාජ්‍යයෙන් සහ බංගලාදේශයෙන් පැමිණි දෙදෙනෙකු (2) ඊයේ ආසාදිතයින් බවට හදුනාගෙන තිබුණි.

නාවික හමුදා නිලධාරියෙකු ද (1) ආසාදිතයෙකු ලෙස ඊයේ (09) දිනයේ හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

එමෙන්ම කොවිඩ් නයින්ටීන් ආසාදිත පුද්ගලයින් 12 දෙනෙකු ඊයේ (09) සුවය ලබා පිටව ගොස් තිබුණි.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ වැලිකන්ද, මිනුවන්ගොඩ, තෙල්දෙණිය සහ කාත්තන්කුඩි යන රෝහල්වල ප්‍රතිකාර ලමින් සිටි රෝගීන් 12 දෙනෙකු මෙලෙස සුවය ලබා පිටව ගිය බවය.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් 2154 දෙනාගෙන් 1979 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබේ.

තවත් ආසාදිතයින් 164 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

නිරෝධායන නිතිරීති ලිහිල් කිරීමත් සමග සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ පිළිබඳ මහජනතාවගේ සැලකිලිමත්භාවය ගිළිහෙමින් පවතින බවට නිරික්ෂණය වන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

+++++++++++++++++++++

කොවිඩ් වැළඳුණු කාන්තාව හඳුනාගත් හැටි – ගෙදර එනකොටත් කැස්ස තිබිලා

(09.07.2020 – 19:02 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට අද (9) දිනයේ තහවුරු වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශක කාන්තාව පසුගිය 03 වන දා නිවාඩු ලබා නාත්තන්ඩිය, කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ ඇති බවට අනාවරණය වී තිබේ.

මාරවිල රෝහලේ සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයේ දී ඇයට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසීය.

මේ වන විට ඇයගේ සමීපතමයින් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමු කිරිමට පියවර ගෙන ඇති බව වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය ‘අද දෙරණ’ කළ විමසුමකදී තවදුරටත් පැවසීය.

අදාළ කාන්තාව 27 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

ඇය පසුගිය 03 වන දා නිවාඩු ලබා නාත්තන්ඩිය, කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණි පසු උණ, කැස්ස වැනි කොවිඩ්-19 රෝග ලක්ෂණ පහළ වී ඇති අතර පසුව ඇය සිය නිවස ආසන්නයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන තිබේ.

වෛද්‍ය ප්‍රතිකාරවලින් අනතුරුව ඇයගේ රෝග ලක්ෂණ යටපත් වී ඇති නමුත් ඇය කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිට පැමිණි අයෙකු බැවින් ඇය පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමට කටයුතු කළ බව වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසීය.

පසුව අදාළ කාන්තාව පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර අද (09) දිනයේ ඇය කොවිඩ්-19 ආසාදිතයෙක් බව හඳුනාගෙන ඇත.

මේ අතර අදාළ කාන්තාව නිවාඩු ලබා නිවසට පැමිණ ඇත්තේ පොදු ප්‍රවාහන සේවය භාවිත කරමින් බවත් වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසීය.

එහිදී ඇය කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අයත් කැබ් රථයකින් පොළොන්නරුව බලා පැමිණ ඇති අතර පොළොන්නරුවේ සිට බස් රථයකින් කුරුණෑගලට පැමිණ ඇත.

පසුව කුරුණෑගල-මීගමුව බස් රථයකින් ඇය දංකොටුවට පැමිණ ඇත.

දංකොටුවේ සිට නැවතත් බස් රථයකින් ඇය නාත්තන්ඩියට පැමිණ තිබේ.

කෙසේවෙතත් ඇය මුඛ ආවරණයක් පැළඳගෙන මෙම බස් රථවල ගමන් කර ඇති බවත් වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසීය.

මෙම ආසාදිත කාන්තාවගෙන් කොවිඩ්-19 වෛරසය සමාජයට පැතිරයාම වැළැක්විම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

+++++++++++++++++++++

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව ආසාදිතයන් 196 ක් හමුවෙයි – තවත් ආසාදිතයන් හමුවීමේ ප්‍රවණතාවක්

(10.07.2020 – 09:22 +0530 – hirunews.lk/sinhala)

කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයන් තවත් කොරෝනා ආසාදිතයන් 196 දෙනෙකු හමුවී තිබෙනවා.

ඒ අනුව ඊයේ (09) එම මධ්‍යස්ථානයෙන් වාර්තාවූ ආසාදිතයන් 56 දෙනාත් සමග එහි හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 252 ක්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ 338 ක ප්‍රතිඵල මේ වන විට ලැබී ඇති බවයි.

තවදුරටත් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින අතර ඒ අනුව කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ තවදුරටත් ආසාදිතයන් වාර්තාවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියාසිටියේ.

එමෙන්ම අදාළ කාලය තුලදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයෙන් පුනරුත්ථාපනය අවසන් කර පිටතට යවන ලද රැඳවියන් සහ ආශ්‍රිතයන් ද හඳුනා ගනිමින් පී.සී.ආර්. පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව මෙම ස්ථානයෙන් සමාජයට කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට සියලු පියවර ගනිමින් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

+++++++++++++++++++++

***************************************

පදික මාරුවේ දී පුද්ගලයෙකු මෝටර් රථයක ගැටෙන හැටි

(09.07.2020 – 19:26 +0530 – sinhala.adaderana.lk)

ගාල්ල – මාගාල්ල සම්බෝධි පාසල ඉදිරිපිට ඇති පදික මාරුවේ දී පුද්ගලයෙකු මෝටර් රථයක ගැටී අනතුරට ලක්ව ඇති අතර එම පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අදාළ අනතුරින් තුවාල ලැබූවේ 72 හැවිරිදි පුද්ගලකු වන අතර ඔවුන් මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මෝටර් රථයේ රියදුරු ගාල්ල වරාය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිදුවීමේ සී.සී.ටි.වී. දර්ශන :

***************************************

දකුණට කුඩු බෙදූ ‘කළු මල්ලී’ අල්ලයි – වසරක් තුළ රුපියල් කෝටි 10 ක මත්කුඩු අලෙවි කර ඇති බවට තොරතුරු

(10.07.2020 – 07:43 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොස්ගොඩ තාරක’ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ ප්‍රධානතම පුද්ගලයා ලෙස සැලකෙන ‘රොහාන් ප්‍රදීප්’ හෙවත් ‘කළු මල්ලි’ පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (09) රාත්‍රියේ ඔහු මෙලෙස අංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් මත්කුඩු සමඟයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ආදුරුප්පුවීදිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් මගින් මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා අත්අඩංගුවට ගනු ලැබුවා.

අපරාධ ක්‍රියා රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ‘රොහාන් ප්‍රදීප්’ හෙවත් ‘කළු මල්ලි’, ‘කොස්ගොඩ තාරක’ හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර ගත වූ අවස්ථාවකදියි.

එහිදී ‘කොස්ගොඩ තාරක’ විසින් සිය මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලය ‘කළු මල්ලි’ට භාර දීමට කටයුතු කර තිබෙනවා.

පසුව මෙම සැකකරු තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගේ ද සහය ඇතිව දිවයින පුරා මත්කුඩු බෙදා හැරීම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ප්‍රධාන වශයෙන් දකුණු පළාතට මත්කුඩු තොග වශයෙන් රැගෙන යාම ‘රොහාන් ප්‍රදීප්’ හෙවත් ‘කළු මල්ලි’ විසින් සිදුකර තිබෙනවා.

මොහුට අයත් රත්නපුර – පැල්මඩුල්ල ප්‍රදේශයේ නිවසක තිබූ සේප්පුවක් පරීක්ෂාවට ලක් කිරීමේදී බැංකු ගිණුම් පොත් කිහිපයක් හමුවී ඇති බවයි පොලීසිය පවසන්නේ.

එම ගිණුම් පොත් පරීක්ෂා කිරීමේදී මාස 4 ක කාලසීමාව තුළ රුපියල් කෝටි 4 යි ලක්ෂ 28 ක් එම ගිණුම්වලට බැර වී ඇති බව හෙළි වී තිබෙනවා.

එමෙන්ම, වසරකට වැඩි කාලසීමාවක් තුළ දී රුපියල් කෝටි 10 කට වැඩි මුදලක් ‘රොහාන් ප්‍රදීප්’ හෙවත් ‘කළු මල්ලී’ගේ බැංකු ගිණුම්වලට බැරවී ඇති බව ද අනාවරණ වී ඇති බව සඳහන්.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තැබූ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නඩුභාණ්ඩ ගබඩාවෙන් ලබාගත් මත්කුඩු අද (10) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන යනු ලැබුවා.

ඒ, මුද්‍රා තබා තිබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ ගබඩාව රස පරීක්ෂක නිලධාරීන් විසින් ඊයේ (09) දිනයේ පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

පොලිස් භාරයට ගැනුණු හෙරොයින්, ජාවාරම්කරුවන්ට විකිණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් නිලධාරීන් ඇතුලූ 21 දෙනෙකු රහස් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 12 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කෙරුණේ ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගත් හෙරොයින් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් නොකර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ ගබඩාවේ රඳවාගෙන සිට ඇති බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළා.

+++++++++++++++++++++

‘කළු මල්ලි’ දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

(10.07.2020 – 13:47 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් ‘කළු මල්ලි’ නැමැත්තා දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

බන්ධනාගාරගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොස්ගොඩ තාරක’ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ ප්‍රධානතම පුද්ගලයා ලෙසටයි ‘රොහාන් ප්‍රදීප්’ හෙවත් ‘කළු මල්ලි’ සැලකෙන්නේ ෴

***************************************

ටිරාන් අලස් ඇතුළු සිව් දෙනා, රාඩා නඩුවෙන් නිදහස්

(10.07.2020 – 11:10 +0530 – hirunews.lk/sinhala)

සුනාමියෙන් අවතැන් වූ උතුරු – නැගෙනහිර ජනතාවට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට වූ සියලු චෝදනාවලින් ‘රාඩා’ ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (10) තීන්දු කළා.‍

ඒ, අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

2006 වසරේදී උතුරු හා නැගෙනහිර පළාත්වල සුනාමි ව්‍යසනයෙන් නිවාස අහිමි වූ ජනතාවට නිවාස ව්‍යාපෘතියක් ඉදිකරදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබූ අතර, ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් රාඩා හෙවත් ‘පුනරුත්ථාපන හා සංවර්ධන නියෝජිතායතනය’ වෙත රුපියල් මිලියන 124 ක් වෙන්කර තිබුණා.

නමුත් අදාළ නිවාස ඉදිනොකර එම මුදල් අවභාවිත කළ බවට රාඩා ආයතනයේ සභාපති ටිරාන් අලස්, එම ආයතනයේ ප්‍රධාන විධායක සාලිය වික්‍රමසූරිය, එහි ගණකාධිකාරීවරයෙකු වන ජයන්ත ඩයස් සමරසිංහ සහ ඇන්තනී එමිල් කාන්තන් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණේ 2016 වසරේ එනම් ඉකුත් යහපාලන රජය සමයේදීයි.

අදාළ නඩුව අද (10) කැඳවූ අවස්ථාවේදී රාඩා ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිනියක ලෙස කටයුතු කළ චන්ද්‍ර කාන්ති ප්‍රනාන්දු නැමැත්තිය මෙම නඩුවට පාදක වන ඇතැම් ලේඛනවල මුල් පිටපත් තමන් දැක නොමැති බවත් ඡායාපිටපත් පමණක් තමන් පොලිසිය වෙත භාරදුන් බවත් ප්‍රකාශ කළා.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ සාක්ෂිකාරිය පැමිණිල්ලට අදාළ විමර්ශන සිදුකරන අවස්ථාවේ දැරූ ස්ථාවරයට පටහැනි ස්ථාවරයක් දරන බැවින් ඇය පැමිණිල්ලට අගතිදායක සාක්ෂිකාරියක ලෙස නම්කර සාක්ෂි මෙහෙය වීමට අවසර දෙන ලෙසයි.

ඒ අනුව අදාළ සාක්ෂිකාරියගෙන් වැඩිදුරටත් සාක්ෂි මෙහෙයවීමට විනිසුරුවරයා රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට අවසර ලබාදුන්නා.

එම සාක්ෂි මෙහෙය වීමෙන් අනතුරුව අධිකරණය ඇමතූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම විත්තිකරුවන්ට එරෙහිව තවදුරටත් නඩුව පවත්වාගෙන නොයන බවටත් පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කරන බවටත් අධිකරණයට දන්වා සිටියා.

එමෙන්ම, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම සාක්ෂිකාරිය සම්බන්ධයෙන් ඉදිරියේදී සුදුසු පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා, ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් හතර දෙනා නිදහස් කරන ලෙස නියෝග කළා.

එමෙන්ම විත්තිකරුවන් වෙත පනවා තිබු විදෙස් ගමන් තහනමද ඉවත් කරන ලෙස නියෝග කෙරුණා.

නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි ඇන්තනී එමිල් කාන්තන් වෙනුවෙන් නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමටද විනිසුරුවරයා මෙහිදී අවසර ලබාදුන්නා.

***************************************

වැඩ තහනමකට ලක්ව සිටි නාකොටික් රංගජීව, උසාවි පරිශ්‍රයේදී ම මාධ්‍යවේදියෙකුට තර්ජනය කර ඇදගෙන යයි

(10.07.2020 – 12:06 +0530 – hirunews.lk/sinhala)

වැඩ තහනමට ලක්ව සිට යළි සේවයේ පිහිටුවා ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (නාකොටික්) පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, අද (10) කොළඹ මහාධිකරණ පරිශ්‍රයේ දී මාධ්‍යවේදියෙකුට තර්ජනය කර, ඇදගෙන ගොස් උසාවි පොලිස් මුරපොළට භාරදී, තිබෙනවා.

එම පුවත්පත් ඡායාරූප මාධ්‍යවේදියා පැවසුවේ තමන් මාධ්‍යවේදියෙකු බව අනන්‍යතාව තහවුරු කරද්දී පොලිස් පරීක්ෂක රංගජීව මෙසේ සිදු කළ බවයි.

පොලිස් මුරපොලේ දී තම කැමරාවේ ඡායාරූප චිපය ඉවත් කරගත් බවයි ඔහු පැවසුවේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අගතියට පත් මාධ්‍යවේදියා විසින් අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ පිහිටි පොලිස් මුරපොලට සහ කොළඹ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා ෴

***************************************

රට සංවර්ධනය කිරීමේ කාර්යය අපට භාර දෙන්න – අගමැති දැදිගම දී ඉල්ලයි

(10.07.2020 – 12:49 +0530 – hirunews.lk/sinhala)

රට සංවර්ධනය කිරීමේ කාර්යය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට භාර දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරනවා.

එම වැඩපිළිවෙල සඳහා ශක්තිමත් පාර්ලිමේන්තු කණ්ඩායමක් අවශ්‍ය බවයි කෑගල්ල – දැදිගම ප්‍රදේශයේ ඊයේ (09) පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *