අසාද් සාලිගේ බාධාවක් ගැන ජනපති කොමිසමේදී හෙළිවෙයි

(10.07.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

මද්‍රසා පාසල් වල ඉගැන්වීම කටයුතු සදහා මෙරටට පැමිනෙන විදේශිකයින් නියාමනය කිරීමට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් ක්‍රියාත්මක කිරීමට ගිය වැඩපිළිවෙළට එවකට බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයාව සිටි අසාද් සාලි බාධා එල්ල කළ බව පාස්කු ප්‍රහාරය විමසන ජනාධිපති කොමිසමේදී අනාවරණ වුනා.

ඒ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙක් ඊයේ (09) ලබාදුන් සාක්ෂි හමුවේයි.

විවිධ ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ පුද්ගලයින් මෙරටට පැමිණීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සුදුසු පියවර අනුගමනය කරන ලෙස එවකට පොලිස්පතිව සිටි පූජිත් ජයසුන්දර වෙත ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා 2017 වසරේදී ලිපියක් යොමු කළ බව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධරියා සිය සාක්ෂි ලබාදීම ආරම්භ කරමින් පැවසුවා.

ඒ පිළිබඳව ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් අතර ලිපියේ අඩංගු කරුණු කිසිදු තැකීමකට ලක් නොකළ බැවින් නැවතත් 2018 වසරේදීත් තමන් පොලිස්පතිවරයා දැනුවත් කළ බවයි සාක්ෂිකරු කියා සිටියේ.

විවිධ රටවල සිට මෙරටට පැමිණ ආගම් ප්‍රචාරය කරන පුද්ගලයින් සහ IS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධවී සිට නැවතත් මෙරටට පැමිණි පුද්ගලයින් සම්බන්ධයෙන් 2017 සිට 2019 වසර දක්වා කාලය තුළ සතිපතා පැවැත්වෙන බුද්ධි සමාලෝචන රැස්වීම්වලදී සාකච්ඡා වූ බවත් ඒ සඳහා නිසි නියාමන වැඩපිළිවෙළක් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් ක්‍රියාවට නැංවූ බවයි කොමිසම හමුවේ සාක්ෂිකරු අනාවරණ කළේ.

කෙසේ වෙතත් ඊට අසාද් සාලි බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් වූ දා හෝ ඊට පසු දිනක සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ පිරිසක් සමඟ පැමිණ එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හමුවී දැඩි විරෝධය පළ කළ බවත් කොමිසම හමුවේ සාක්ෂිකරු ලබාදුන් ප්‍රකාශ මගින් අනාවරණ වුණා.

විදේශිකයන් අන්තවාදීන් නොවන බැවින් ඔවුන්ට ලංකාවට පැමිණ ඉගැන්වීම්ව, නිරතවන්නට අවසර ලබාදෙන ලෙස අසාද්සාලි ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ.

රාජ්‍ය බුද්ධි ප්‍රධානී තනතුර බුද්ධි සමාලෝචන රැස්වීම්වලදී කතා පෙට්ටියක් පමණක් බවට පත් වූ බවත් ජාතික බුද්ධි ප්‍රධානී තනතුර ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ තනතුරට සමාන තත්ත්වයකට පත් වූ බවයි ඔහු කියා සිටියේ.

එවකට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති කඹ ඇඳීම හේතුවෙන් බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය ගිලිහි තිබූ බවයි කොමිසම හමුවේ වැඩිදුරටත් අනාවරණ වුණේ.

ජනාධිපතිවරයාගේ පැජට් පාරේ පිහිටි නිවසේ ආරක්ෂක මණ්ඩල රැස්වීම් පැවැත්වූ බවත් එම රැස්වීම්වලට එවක අග්‍රාමාත්‍යවරයාට සහ පොලිස්පතිව සිටි පූජිත් ජයසුන්දරට නොපැමිණෙන ලෙස ආරක්ෂක ලේකම් හරහා නිරන්තරයෙන් දැනුම්දීම් කර තිබූ බවද සාක්ෂි ලබාදෙමින් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියා අනාවරණ කළා.

***************************************

ගලේවෙලට පැමිණි ජනපතිට පාසල් දැරියකගෙන් මුදල් පිරවූ කැටයක්

(10.07.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මාතලේ දිස්ත්‍රික්කයට තරගවදින අපේක්ෂකයින්ට සහය පළකිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජන හමුවකට සහභාගි වීමට නියමිතයි.

ඒ අනුව අද (10) පෙරවරුවේ ජනාධිපතිවරයා ප්‍රථමයෙන් පැමිණියේ ගලේවෙල ළමා උද්‍යානය වෙතයි.

+++++++++++++++++++++++++++++++++++

***************************************

ගැටළු කිහිපයක් නිසා කොසු ඉදල් කර්මාන්තයේ නියැලෙන්නන් පීඩාවට

(10.07.2020 – 13:53 +0530 – hirunews.lk/sinhala)

ගෘහ කර්මාන්තයක් ලෙස ප්‍රචලිත කොසු ඉදල් කර්මාන්තයේ නියැලෙන්නන් මේවිට දැඩි පීඩාවට පත්ව සිටිනවා.

අමුද්‍රව්‍ය සපයා ගැනීමට අපහසුවීම, නවීන තාක්ෂණය හා නිෂ්පාදන වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමත් ඊට ප්‍රධාන හේතුවක් බවටයි කර්මාන්තයේ නියැලෙන්නන් චෝදනා කරන්නේ.

කොවිඩ් 19 වසංගතයත් සමග අපේ රටේ ආර්ථිකයට එල්ලවූයේ දැඩි බලපෑමක්.

සාම්ප්‍රදායික කුඩා කර්මාන්තයක් වන කොසු ඉදල් කර්මාන්තයෙන් යැපෙන්නන්ටද කොවිඩ් 19 වසංගතය එල්ල කළ බලපෑම සුළුපටු නැහැ.

මුන්දලම, මදුරන්කුලිය, කරිකට්ටිය ආදී ප්‍රදේශ ගණනාවක මේ කර්මාන්තයෙන් ජීවිකාව සරිකරගන්නා මිනිසුන්ල අද වනවිට මුහුණ පා ඇත්තේ දැඩි අර්බුධකාරී වාතාවරණයකටයි.

මාස දෙකක පමණ කාලයක සිට කොහුමෝල් මෙන්ම ඒ ආශ්‍රිත කර්මාන්තයන්ද විවෘත කිරිමට නොහැකිවූ අතර අමු ද්‍රව්‍ය හිඟකමටද ඔවුනට මේ වන විට මුහුණ පාන්නට සිදුව තිබෙනවා.

ප්‍රදේශයේ ඇතැම් කාන්තාවන්ගේ ප්‍රධාන ජිවනෝපාය මාර්ගය බවට පත්ව ඇත්තේ ලණු ඇඹරිම හා කොහු ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කිරීමයි.

නමුත් ඔවුන්ටද තම බඩවියත රැකගැනිම සදහා දැඩි අරගලයක නිරතවන්නට සිදුව තිබෙනවා.

මේ කර්මාන්තය හරහා ලණු, කඹ, කොසු, ඉදල්, පාපිසි, බුමුතුරුණු ඇතුළු බොහෝමයක් දෑ නිශ්පාදනය කෙරුණද කාලයේ ඇවෑමෙන් පිටරටින් භාණ්ඩ ආනයන කිරීම නිසා, කර්මාන්තයේ නියැලෙන්නන්ට සිදුව ඇත්තේ කබලෙන් ලිපට වැටීමටයි.

එදාවේල සරිකරගැනිම සදහා දැඩි අරගලයක නිරත මෙම කර්මාන්තයේ නිරත කාන්තාවන් ඇතුළු ශ්‍රමිකයින්ගේ දහදිය සඳහා මිලක් ලබාදීම බලධාරීන්ගේ වගකීමක්.

***************************************

වල් බිහිවෙමින් පවතින වැලිගම නව පොලිස් ස්ථානය

(10.07.2020 – 13:58 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ ගණනක් වැය කරමින් ඉදි කිරීමට යෝජිත වැලිගම නව පොලිස් ස්ථානය වල් බිහිවෙමින් පවතිනවා.

නීතිය හා සාමය පිලිබද හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහ එවක පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පොලිස් ස්ථානයේ වැඩකටයුතු සුබ මොහොතින් ආරම්භ වුණේ මීට වසර 4 කට පෙරාතුවයි.

නමුත් අද වන විට කාලයාගේ ඇවෑමෙන් අවාසනාවකට මෙම ස්ථානය මැසි මදුරුවන් බෝවන, විවිධ අපචාර ක්‍රියා සිදුවන වැඩබිමක් බවට පත්ව තිබෙනවා.

පැවති යහපාලන රජය කොන්ත්‍රාත්කරුවන්ට නිසිලෙස මුදල් නොගෙවීම නිසා මෙහි ඉදිකිරීම් අතර මඟ ඇණහිට ඇති බවටයි වැලිගම නගාරාධිපතිවරයා චෝදනා කරන්නේ.

***************************************

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස්

(10.07.2020 – 14:10 +0530 – hirunews.lk/sinhala)

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළකළා.

පොදුජන පෙරමුණේ අපේක්ෂක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ මෙවර මැතිවරණයෙන් ඉතිහාසගත ප්‍රතිඵලයක් තම පක්ෂයට ලැබෙන බවයි.

ජාතික ජන බලවේගයේ අපේක්ෂක විජිත හේරත් ද ජන හමුවක් අමතමින් අදහස් පළ කළා. ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුවේ බැරිකම මාස 8 කින් පෙන්වා ඇති බවයි.

මේ අතර සමගි ජන බලවේගයේ අපේක්ෂක පී හැරිසන් කියාසිටියේ ආණ්ඩුවේ පවතින ගැටලුව මැතිවරණයට දින කිහිපයක් තිබියදී පුපුරා යන බවයි.

ගතවූ වසර 4 ක කාලය තුල බලයේ සිටියදී සිදු කිරීමට නොහැකි වූ පොරොන්දු ලබාදෙමින් විපක්ෂය දක්වන අදහස් පිළිබඳ පොදුජන පෙරමුණේ අපේක්ෂක එස්. එම්. චන්ද්‍රසේන මහතා කරුණු පැහැදිළි කළා.

***************************************

රාජගිරියේ අනතුර සම්බන්ධයෙන් චම්පික, සුදත් අස්මඩල සහ තවත් අයෙකුට මහාධිකරණයේ අධිචෝදනා ගොනුකරයි

(10.07.2020 – 15:36 +0530 – hirunews.lk/sinhala)

රාජගිරියේ සිදුවූ රිය අනතුරේදී කුමන්ත්‍රණය කිරීම, ව්‍යාජ සාක්ෂි සකස් කිරීම, වරදකරුවෙකු වසන් කිරීම සඳහා අසත්‍ය චෝදනා ලබාදීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල සහ තවත් පුද්ගලයෙකුට එරෙහිව නීතිපති විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබෙනවා.

***************************************

මත්පෙති කිලෝ 3 ක් කටුනායකදී රේගු භාරයට

(10.07.2020 – 15:52 +0530 – hirunews.lk/sinhala)

ගුවන් මගින් මෙරටට එවා තිබූ එක්ස්ටසි මත්පෙති කිලෝග්‍රෑම් 03 කට ආසන්න ප්‍රමාණයක් කටුනායක ප්‍රදේශයේදී රේගු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

ප්‍රංශයේ සිට කූරියර් සේවාවක් මගින් මෙම මත්පෙති තොගය එවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පෞද්ගලික කූරියර් සමාගමක් හරහා එවා තිබූ පාර්සලයක් පිළිබඳව පළ වූ සැකයක් මත රේගු නිලධාරීන් එය පරීක්ෂා කිරීමේදී එහි ව්‍යාජ පතුලක සඟවා තිබූ මෙම මත්පෙති තොගය සොයාගෙන තිබෙනවා.

***************************************

‘පොඩි ලැසී’ගේ ගෝලයන් දෙදෙනෙකු මීටියාගොඩදී පොලිස් අත්අඩංගුවට

(10.07.2020 – 16:59 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරගතව සිටින ‘පොඩි ලැසී’ නමැති පාතාල නායකයා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ දෙදෙනෙකු මීටියාගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ මීටියාගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගිනි අවියක් සමග එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුව සිදුකළ වැටලීමකදී තවත් සැකකරුවෙකු මිලිමීටර් 9 උණ්ඩ යෙදවිය හැකි රිවෝල්වරයක් සමග තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 සහ 23 යන වයස්වල පසුවන වේරගොඩ හා කහව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

මේ අතර, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් පැමිණි යතුරුපැදිය හා සන්තකයේ තිබූ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදවිය හැකි ගිනි අවි දෙකක් සහ උණ්ඩ 7 ක් දමා පලාගොස් තිබෙනවා.

එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ද මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ ෴

***************************************

දිනකදී වැඩිම ආසාදිතයින් අද (10)

(10.07.2020 – 20:28 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයේ සිටි තවත් 87 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

ඊයේ (09) එහි 57 දෙනෙකුට වෛරසය ආසාදනය වූ බව අනාවරණ වූ අතර අද පෙරවරුව වනවිට තවත් 196 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැණුනා.

ඊට අමතරව අද (10) පස්වරුවේ විදෙස්ගතව සිට මෙරටට පැමිණි 13 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූවා.

මේ අනුව, මෙරටින් දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් වන 296 දෙනෙකු අද (10) දිනය තුළ වාර්තා වීම ද විශේෂත්වයක්.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යාබදව ස්ථාපිත කර ඇති කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙනවා.

මේ අතර, මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය බවට හඳුනා ගත් අම්බලන්තොට ප්‍රදේශයේ පුද්ගලයන් 13 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි යූ.පී. මාලක කියා සිටියේ.

මේ අතර, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ නිලධාරින් 12 දෙනෙකු සහ රැඳවියන් 12 දෙනෙකු එම බන්ධනාගාර පරිශ්‍රය තුළම ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

අදාළ රැඳවියන් 12 දෙනා වැලිකඩ බන්ධනාගාරයේ සිට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යොමුකර තිබූ අතර, ඔවුන් වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනා ගැණුනු කොරෝනා ආසාදිත රැඳවියා සමග ආශ්‍රිත සබඳතා පවත්වා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පුනරුත්ථාපනය අවසන් කර නිවෙස් වෙත ගිය තවත් පුද්ගලයින් දෙදෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද හඳුනාගෙන තිබුණා.

ඔවුන් සමග සම්බන්ධ වූ කුරුවිට, කොළොන්න සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල පුද්ගලයන් 17 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකළ බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවා.

වෛරසය සමාජගත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බැවින් අනිසි බියක් ඇති කර ගැනීමෙන් වළකින්නැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මේ අතර, අද (10) පෙරවරුවේ මුන්දලම රෝහලට ඇතුළත් කෙරුණු 22 හැවිරිදි තරුණයෙකු හලාවත රෝහලට මාරු කිරීමේදී සැක කටයුතු ලෙස මියගොස් තිබෙනවා.

මොහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙක් බවට වාර්තා වන අතර, රෝහල් ගත වන අවස්ථාවේ ස්වශන අපහසුතා සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය තරුණයාගේ ජෛව සාම්පල පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මහාලිංගම් පාස්කරන් මහතා සඳහන් කළා.

පසුව, ආරක්ෂිත පියවරක් ලෙස මුන්දලම රෝහල වසා දැමීමට තීරණය කළ ද එය යළි විවෘත කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

අදාළ මියගිය පුද්ගලයා සමග සම්බන්ධ වූ පුද්ගලයන් සහ කාර්ය මණ්ඩලය එම පී.සී.ආර්. පරීක්ෂණ වල වාර්තාව ලැබෙන තෙක් රෝහල් පරිශ්‍රයෙන් පිට නොවන ලෙසට දැනුම්දී තිබෙනවා.

මේ අතර, කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා තවදුරටත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමේ අවශ්‍යතාව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (10) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළා.

මේ අතර, මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන විට 2450 ක් ලෙස දැක්වෙන අතර ඉන් 1980 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

459 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

***************************************

ජනපති අද (10) මාතලේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජනහමු කිහිපයකට එක්වෙයි

(10.07.2020 – 20:34 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මාතලේ දිස්ත්‍රික්කය සඳහා මෙවර මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පැවති ජනහමු කිහිපයකට සහභාගි වූ ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

විශේෂයෙන් ලූණු සහ ගම්මිරිස් වගාවන්ට බලපා ඇති ගැටළු පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

***************************************

නාකොටික් නඩු භාණ්ඩ ගබඩාවේ තවත් හෙරොයින් තොගයක් ඉදිරියේදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

(10.07.2020 – 20:47 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් අද (10) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු භාරයට ගැණුනා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසකට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ල වීමත් සමග පසුගියදා මුද්‍රා තැබුණු නඩු භාණ්ඩ ගබඩාව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබුවේ ඊයේ (09) දිනයේදීයි.

එම නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් අද (10) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආවා.

එසේම, නඩු භාණ්ඩ ගබඩාවේ ඇති තවත් හෙරොයින් තොගයක් ඉදිරියේදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගෙන ඒමට නියමිත බවට ද වාර්තා වනවා.

පොලිස් භාරයට ගැනුණු හෙරොයින්, ජාවාරම්කරුවන්ට විකිණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දැනට පොලිස් නිලධාරීන් ඇතුලු 21 දෙනෙකු රහස් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 12 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කෙරුණේ ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගත් හෙරොයින් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් නොකර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ ගබඩාවේ රඳවාගෙන සිට ඇති බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කර තිබුණා.

බලපිටිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල සේනාරත්න සහ එම කාර්යාංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති එස්.සී. මැදවත්ත ද පැමිණ ඇති බවයි අධිකරණයේදී ප්‍රකාශ වුණේ.

එවැනි පසුබිමක් තුළ ඔවුන් දෙදෙනාගෙන් ද ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.

අදාළ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් දෙදෙනෙකුට (2) අයත් වාහන 7 ක් මීරිගම සහ පල්ලේවෙල ප්‍රදේශවලදී සොයා ගැනීමට ද පොලීසිය සමත් වුණා.

මුල්ලේරියාව, කැළණිමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් සමඟ කාන්තවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල කාන්තාව සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1.3 ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවූ බවයි පොලිසිය පැවසුවේ ෴

+++++++++++++++++++++++++++++++++++

***************************************

කොරෝනා ආසාදිතයන් පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සිදුකරන්නන්ට එරෙහිව නීතිය දැඩිවෙයි

(10.07.2020 – 22:22 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරන තැනැත්තන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඒ අනුව කොරෝනා ආසාදිතයන් පිළිබඳව කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසින් හෝ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කරන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

***************************************

මැතිවරණයට අදාළව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන්න – මැකොස ගෙන් ඉල්ලීමක්

(11.07.2020 – 06:39 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයට අදාළව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව වහාම රෙගුලාසි ලෙස ගැසට් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි බලාත්මක වී නොමැතිවීම මැතිවරණ කොමිසම මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවක් බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මෙම අදහස් පළ කළා.

***************************************

බස්නාහිර පාතාල කල්ලි 25 ක් – සාමාජිකයින් 388 ක් ගැන පොලීසිය සීරුවෙන්

(11.07.2020 – 07:27 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ සක්‍රියව පවතින සංවිධානාත්මක අපරාධ කල්ලි 25 කට අයත් සාමාජිකයින් 388 දෙනෙකු ගැන පළාතේ සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබෙනවා.

ඒ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවති සාකච්ඡාවකදීයි.

එහිදී බස්නාහිර පළාතේ පිහිටි පොලිස් ස්ථාන 53 ක ස්ථානාධිපතිවරුන් වෙත මෙම සාමාජිකයින් පිළිබඳ සියලු තොරතුරු ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, විදේශගතව සිට අපරාධ සිදුකරන්නන්, බන්ධනාගාරවල සිට අපරාධ සිදුකරන්නන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන පාතාල කල්ලි සාමාජිකයන් පිළිබඳ මෙලෙස ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බව සඳහන්.

මසක් ඇතුළත අදාළ ස්ථානාධිපතිවරුන් විසින් ඊට අදාළ ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද එහිදී දැනුම් දී තිබෙනවා.

***************************************

නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාර දීම අද (11) සිට

(11.07.2020 – 08:05 +0530 – hirunews.lk/sinhala)

ලබන අගෝස්තු 5 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාර දීම අද (11) සිට සිදුකෙරෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ එම කටයුතු අද, හෙට (12) සහ අනිද්දා (13) යන දින තුනේදී සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන 29 වනදායින් අවසන් වීමට නියමිතයි.

එදිනට පසු නිල ඡන්ද දැන්වීමක් නොලැබූ ඡන්ද හිමියන්ට 2019 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් සිය අනන්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම් පත්‍රය ලබා ගත හැකියි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *