අපි ඉල්ලන්නේ කොහෙවත් නැති අක්කර 72 ක් නොවේ..අගමැති මහින්දට මුහුදු මහා විහාරයේ විරෝධය

(11.07.2020 – colombotoday.com)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වීරකැටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මුහුදු මහා විහාරාධිපති හිමියන් විසින් කොහේවත් නැති අක්කර 72 ක් ඉල්ලන බවට කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මුහුදු මහා විහාරාධිපති ඉන්ද්‍රසිරි හිමියන් colombo today වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දී කියා සිටියේ,

“මා කොහේවත් නැති අක්කර 72 ක් නොවේ ඉල්ලුවේ.. සෙනරත් පරණවිතාන මහතා විසින් මතුපිට පුරාවිද්‍යා ස්මාරක සහිතව මුහුදු මහා විහාරයට දුන් භූමි ප්‍රමාණය තමයි ඉල්ලන්නේ” බවයි.

වැඩි දුරටත් උන්වහන්සේ කියා සිටියේ මැතිවරණයට පෙර මෙම භූමි ප්‍රමාණය ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉන් අදහස් වන්නේ මුස්ලිම් ජනතාව එම භූමියෙන් ඉවත් කරන ලෙස නොවන බවයි.

මෙහිදී අදහස් දැක්වු මුහුදු මහා විහාරාධිකාරී හිමියන් ඉල්ලා සිටියේ අනාගත පරපුර වෙනුවෙන් මුහුදු මහා විහාරයට අයත් භූමි ප්‍රමාණය සඝ සතු පුරාවිද්‍යා භූමියක් ලෙස ගැසට් කර වෙන්කර දෙන ලෙසයි.

***************************************

දුරකතන සංඥා අවුල්කිරීමේ යන්ත්‍රවලින් ගම්වැසියන්ට පීඩා

(12.07.2020 – 13:46 +0530 – lankadeepa.lk)

අගුණකොළ පැලැස්ස හා බූස්ස බන්ධනාගාරවල වෙසෙන විශේෂ ගණයේ රැඳවියන්ගේ නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීම සඳහා සවිකර ඇති දුරකතන සංඥා අවුල්කිරීමේ යන්ත්‍ර හේතුවෙන්, එම ප්‍රදේශ අවට ගම්වාසීන්ගේ ස්ථාවර සහ ජංගම දුරකතන ක්‍රියා විරහිත වී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදාළ බන්ධනාගාර අවට වෙසෙන ප්‍රදේශවාසීන් ඊට එරෙහිව පෙත්සමත් සමකස් කරගෙන යන බවද පැවසේ.

එම බන්ධනාගාරවල සිට අවට කිලෝමීටර් එකහමාරක් පමණ දුරක් ආවරණය වන ප්‍රදේශවල දුරකතන සංඥා අවුල්කිරීමේ යන්ත්‍රවල බලපෑමට හසුවී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ආසන්න ගම්වාසීන්ට කිසිදු ඇමතුමක් ලබාගැනීමට නොහැකි වී ඇතැයිද දැනගන්නට තිබේ.

මෙම බන්ධනාගාරවල විශේෂ ගණයේ රැඳවියන් විශාල පිරිසක් රඳවා සිටීම හේතුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත මෙම සංඥා අවුල්කිරීමේ යන්ත්‍ර සවිකරනු ලැබුවේ මීට මාසයකට පමණ පෙරය ෴

***************************************

ප්‍රමිතියෙන් තොර ‘ලන්ච් ෂීට්‘ සොයා වැටලීමක්

(11.07.2020 – 13:53 +0530 – lankadeepa.lk)

නියමයන්ට අනුකූල නොවන ‘බත් ඔතන කොළ’ (ලන්ච් ෂීට්) නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලා සහ එවන් නිෂ්පාදන අලෙවි කරනු ලබන තොග වෙළඳසල් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුකළ වැටලීම්වලදී කර්මාන්තශාලා 2 කට සහ තොග වෙළඳසල් 4 කට නඩු පැවරීමට පියවරගෙන ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙහි සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශයේ නිලධාරිහු මෙම වැටලීම් සිදු කරනු ලැබූහ.

පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ විධාන අංක 70 යටතේ අවශ්‍ය නියමයන්ට අනුව ‘ලන්ච් ෂීට්’ නිෂ්පාදනය කිරීම කළයුතු වන අතර එසේ නොමැති නිෂ්පාදන කර්මාන්ත ශාලා සහ ඒවා අලෙවි කරනු ලබන තොග වෙළඳසල් සොයා මේ දිනවල පරීක්ෂාවන් සිදුකෙරෙන බව ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.

විමර්ශන නිලධාරීන් විසින් ගම්පහ, ගණේමුල්ල, තිහාරිය, කඩවත සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශයන්හි වැටලීම් සිදු කිරීමේදී ගණේමුල්ල සහ තිහාරියෙහි පිහිටි ‘ලන්ච් ෂීට්’ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලා 2 කට සහ තොග වෙළඳසල් 4 කට නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ ගම්පහ දිසාපති සුනිල් ජලයත් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකක ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීම මත එම අධිකාරියේ ගම්පහ විමර්ශන නිලධාරීන් වන හෂාන් කළුබෝවිල, දිලීප කරුණාරත්න සහ ඉෂාර හෝමපොල සහ අරුණ ශාන්ත යන මහත්වරුන් ද මධ්‍යම පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ එස්. ජයතිස්ස සහ සහකාර අධ්‍යක්ෂිකා ඩබ්ලිව්. සිරිවර්ධන යන මහත්ම මහත්මීන් විසින් මෙම වැටලීම් සිදු කෙරිණි.‍

මෙහිදී අත් අඩංගුවට ගන්නා ලද තොග වෙළඳසල් හිමියන් සහ කර්මාන්ත ශාලා හිමිකරුවන් නියම කරනු ලබන දිනයේදී අදාල මහේස්ත්‍රාත් අධිකරණයන් වෙත ඉදිරිපත් වීමට යටත්ව බැඳුම්කර ඇප මත මුදාහරින ලදී.

***************************************

මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස STF කණ්ඩායමකුත්

(12.07.2020 – 10:53 +0530 – aruna.lk)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය රාජ්‍ය ආරක්ෂාව යටතේ බෙදා හැරීම හා අලෙවි කිරීමේ ජාවාරම 2013 වර්ෂයේ සිටම සිදු කරගෙන ආ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සිටින දූෂිත නිලධාරීන් විසින් ජාවාරම්කරුවන්ගේ හෙරොයින් ප්‍රවාහනයට ආරක්ෂාව ලබා දීමත්, කොටසක් අත්අඩංගුවට ගෙන ඊට යම් යම් ද්‍රව්‍ය එකතු කිරීමද සිදු කර ඇත.

එවැනි ජාවාරමක් සම්බන්ධයෙන් 2013 වර්ෂයේ දී මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් හෙළි කර ගෙන සියලුම තොරතුරු සාක්ෂි සහිතව ලිපි ගොනුවක් ඉහළ පොලිස් නිලධාරියකුට ලබා දී ඇතත් එම නිලධාරියා ඒ පිළිබඳ විමර්ශන කටයුතු නොකර නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කර ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

ලංකාවේ ලොකුම කුඩු තොගය ඇල්ලූ බව කියමින් නාකොටික් කල්ලිය කළ තවත් මගඩියක් එළියට – වෙලේසුදාගේ කීමට මුහුද මැදදී කුඩු තොගය අරගෙන

(13.07.2020 – epaper.aruna.lk)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙරටදී කළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම බව පෙන්වමින් පසුගිය වසරේදී කුඩු කිලෝ දෙසිය අනූහතරක් අත්අඩංගුවට ගෙන නාකොටිකයන් කළ තවත් ජාවාරමක තොරතුරු විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සඟවා තබා ඇත්තේ බලපිටියේ හෝටලයක

එස්.ටී.එෆ්. නිලධාරියකුත් හවුල්

දැනට කරගෙන යන විමර්ශනවලට අනුව කුඩු විකුණූ නාකොටික් කල්ලියට සම්බන්ධ එස්.ටී.එෆ්. නිලධාරියකු ගැනද හෙළිවී ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේය. දැනට රහස් පොලිස් භාරයට ගෙන ඇති බෝට්ටු ස්කිපර්වරයකු හා උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේසුදා දුන් තොරතුරක් මත මෙම කල්ලිය කොළඹදී සාකච්ඡා කර ඉකුත් වසරේ ජනවාරියේදී ස්කීපර් ඇතුළු තිදෙනකු දකුණු මුහුදෙන් ට්‍රෝලරයක යවා ඉරාන යාත්‍රාවකින් කුඩු තොගය ලබාගෙන ඇත.

කුඩු ගෝනි දහඅටක් (18) ඉරාන යාත්‍රාවෙන් ලබාදී ස්කිපර්ගේ ට්‍රෝලරයට ඉන්ධන පවා ලබාදී ඇති බවත්, ඉන්පසුව මාදුගඟ ඔස්සේ බලපිටියේ ​හෝටලයකට රැගෙන විත් ඇති බවත් අනාවරණය වී ඇත.

නාකොටික් නිලධාරීන් කුඩු ජාවාරමේ කළ බවට අත්අඩංගුවට පත්වන්නේත් බලපිටිය මෙම හෝටලයේම මෙවැනිම කුඩු කිලෝ විසිපහක් (25) රැගෙනවිත් සහල් බෑග්වල අසුරා කොවිඩ් සමයේ වැලිසරට ගෙනවිත් වැටලීමක් කළ බවට කළ ව්‍යාජ රංගනයක් නිසාය.

මෙම සිද්ධීන් දෙකේදීම බෝට්ටුවේ ස්කිපර් වශයෙන් ගොස් ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන පුද්ගලයාය.

මොහු ගෝනි දහඅටක (18) කුඩු තොගය රැගෙන විත් දුන් පසුව නාකොටික් කල්ලියම බේරුවලට ගෙනවිත් දැමූ බව හෙළිවී ඇත. චෝදනා එල්ල වන එස්.ටී.එෆ්. නිලධාරියාත් බලපිටියට පැමිණි බව අනාවරණය වී තිබේ.

මෙම කුඩු තොගය බලපිටියේ හෝටලයේ මාසයක් තබාගෙන සිට කොළඹට රැගෙන විත් කුඩා වෑන් රථයකට පටවාගෙන කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකට රැගෙන විත් ඇත. එහිදී එම කුඩු තොගය මිලදී ගැනීමට වෙලේසුදා ලවා ගෙන්වා ගත් මොහමඩ් රිලාන් අහමඩ් රුස්නි යන අය ජාවාරම්කරුවකු සේ අත්අඩංගුවට ගෙන ඔහු පැමිණි වාහනයටත් කුඩු දමා ඇතැයි හෙළිවී තිබේ.

වෙලේ සුදාගේ සහයෙන් කුඩු මිලදී ගැනීමට ගෙන්වාගත් පුද්ගලයා කුඩු රැගෙන ආ ආකාරයට මෙම වැටලීම සිදුකර එය එවකට සිදුකළ විශාලතම වැටලීම බව පෙන්වා දී තිබේ. රුපියල් බිලියන තුනකට (3) අධික කුඩු කිලෝ දෙසිය අනූහතරක් (294) සමග ජාවාරම්කරුවන් දෙදෙනකු (2) හා වාහන දෙකක් (2) අල්ලාගත් බව පසුගිය වසරේ පෙබරවාරි 23 දා මෙම වැටලීමේදී හෙළි කෙරිණි. මෙම වැටලීම හා හාල් මලුවල සඟවා රැගෙන ආ කුඩු කිලෝ දෙසිය විසිහතර නාකොටික් කල්ලිය සන්තකයේ නීති විරෝධී ලෙස කාලයක් සඟවා තබා ගැනීම හා ඒ අතරින් කොටසක් විකිණීමක් ගැන දීර්ඝ වශයෙන් විමර්ශනයක් සිදුකරන බව ජ්‍ය්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
හේමන්ත ලියනපතිරණ

***************************************

හෙට (13) සිට 17 වනදා දක්වා දිවයිනේ සියලු පාසල් වැසේ

(12.07.2020 – 18:58 +0530 – hirunews.lk/sinhala)

හෙට (13) සිට ලබන 17 වනදා දක්වා දිවයිනේ සියලු පාසල් වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් :

***************************************

පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

(12.07.2020 – 21:00 +0530 – hirunews.lk/sinhala)

මොරටුව ලුනාව පාලම අසලදී පොලිස් රාජකාරිය බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ අඟුලාන පොලීසියට අනියුක්ත නිලධාරීන් තිදෙනෙකුගේ (3) වැඩ තහනම් කර තිබෙනවා.

එලෙස වැඩ තහනම් කෙරුණේ පොලිස් සැරයන්වරයෙක්, කොස්තාපල්වරයෙක් සහ කොස්තාපල් රියදුරුවරයෙක්.

මේ අතර වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ 39 හැවිරිදි පුද්ගලයාගේ සිරුර ඔහුගේ නිවස වෙත රැගෙන ආවා.

***************************************

ගාල්ල -කොළඹ මාර්ගයට මුහුදු රළ කඩාවදී

(12.07.2020 – 21:20 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ කහව මංසන්දියේ සිට හික්කඩුව තෙල්වත්ත දක්වා කොළඹ ගාල්ල මාර්ගයට මුහුදු රළ කඩාවැදීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනයට අදත් (12) මෙලෙස බාධා එල්ලවුණා.

***************************************

කල්ලිවලට අවවාදයක් ලබා දෙමින් යාපනයේ දැන්වීම් අලවලා

(13.07.2020 – 07:02 +0530 – hirunews.lk/sinhala)

යාපනය ප්‍රදේශයේ සිදුවු මනුෂ්‍ය ඝාතන කිරීම්, මංකෝල්ලකෑම් හා කපා කොටා දැමීම් සිදුවීම් නවතා දැමිය යුතු බවට සඳහන් කරමින් යාපනය හා අරියාලෙයි යන ප්‍රදේශවල ඊයේ (12) ස්ථාන කිහිපයක දැන්වීම් අලවා ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ ‘ආදරණීය දෙමළ ජනතාවනි’ යනුවෙන් සඳහන් කරමින් අදාළ දැන්වීම අලවා ඇති අතර, දැන්වීම අවසානයේ N.G.T යනුවෙන් සඳහන්කර ඇති බවයි.

පසුගිය වසර කිහිපය තුළ යාපනය ප්‍රදේශයේ සිදුවු ඝාතනය කිරීම්, මංකෝල්ලකෑම් හා කපා කොටා දැමීමේ සිදුවීම් නවතා දැමිය යුතු බවට අදාළ දැන්වීමේ සඳහන් බවත්, මින් ඉදිරියට එවැනි ක්‍රියාවන් සිදුනොවී දෙමළ ජනතාවට සතුටින් හා නිදහසේ ජීවත්වීමට අවස්ථාව සළසන බවත් එහි සඳහන් බවද ආරක්ෂක අංශ වැඩිදුරටත් පවසනවා.

පසුගිය සමයේ යාපනය දිස්ත්‍රික්කය තුළ ආවා කල්ලිය, වික්ටර් කල්ලිය, අජිත් කල්ලිය, ධනු රොක් කල්ලිය වැනි කල්ලි සාමාජිකයින් විසින් පුද්ගල පහරදීම් සිදුකිරීම, පුද්ගල බිය වැද්දීම වැනි ක්‍රියාවන් සිදුකළ බවද ආරක්ෂක අංශ පවසනවා.

යාපනය ආරක්ෂක අංශ අදාළ කල්ලි සාමාජිකයින් රැසක් පසුගිය සමයේ අත්අඩංගුවට ගැනීමද සිදුකළා ෴

***************************************

තැපැල් ඡන්දය අදින් (13) ඇරඹේ – රාජාංගණයේ තැපැල් ඡන්දය කල් දැමේ

(13.07.2020 – 08:03 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (13) ආරම්භ වනවා.

ඒ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල කාර්ය මණ්ඩලවලටයි.

කෙසේ වෙතත්, රාජාංගණය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ අනුරාධපුර – රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ අද (13) දිනයේ තැපැල් ඡන්දය නොපැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත්, සෙසු ප්‍රදේශවල දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදුකරන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මහමැතිවරණයේ තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා දින 7 ක් වෙන් කර ඇති අතර, ඒ අනුව, අද (13),හෙට (14), අනිද්දා (15) සහ 16, 17 මෙන්ම 20, 21 යන දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

සියලුම පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල හැර සෙසු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (14) සහ අනිද්දා (15) යන දිනවලදී සිදුකෙරෙනවා.

පොලිස් ස්ථානවල, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද හිමියන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදී ඇත්තේ ජූලි 16 සහ 17 වනදායි.

එම දිනවලදී ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයෙකුට ජුලි මස 20 සහ 21 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී තැපැල් ඡන්දය භාවිත කළ හැකියි.

මේ අතර, තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අදාළ දිනවල විවෘත කර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ රාජකාරී කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම විදුහල්පතිවරුන්ගේ වගකීමක් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

මෙවර මහමැතිවරණයට අදාළව තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් 7,05,085 ක් සුදුසුකම් ලබා සිටිනවා ෴

+++++++++++++++++++++

***************************************

දේශීය වෙදකම ගැන ජනපතිගේ අවධානය

(13.07.2020 – 08:17 +0530 – hirunews.lk/sinhala)

පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාව පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු වී තිබෙනවා.

දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමෙන් විදේශීය සංචාරකයින් ආකර්ශනය කර ගැනීමට ඇති හැකියාව පිළිබදව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පොදුජන පෙරමුණෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා තෙල්දෙනිය නගරයේ ඊයේ (12) පැවති ජන හමුවට එක්වෙමින්.

එහිදී පාරම්පරික වෛද්‍යවරයෙකු සකස් කරන ලද යෝජනාවලියක්ද ජනාධිපතිවරයාට භාරදෙනු ලැබුවා.

ස්වයං රැකියා සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා ග්‍රාමීය ණය ඉල්ලුම් කිරීමේදී ඇති වන ගැටළු රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡා කර විසදීමට පියවර ගන්නා බව ද එහිදී ජනාධිපතිවරයා කියා සිටියා.

මේ අතර, හාරිස්පත්තුව – අලවතුවල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිවරයා ඊයේ (12) එක්වුණා.

එහිදී ජනතා ගැටළු විසදීමේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එල්ල වන බාධා පැහැදිලි කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එය නිවැරදි කිරීමට තුනෙන් දෙකක බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක අවශ්‍යතාව සම්බන්ධයෙන් ද අවධාරණය කළා.

+++++++++++++++++++++++++++++++++++

***************************************

වසර අවසානයේ ආර්ථිකය ධන මට්ටමට – මහ බැංකුව

(13.07.2020 – 08:21 +0530 – hirunews.lk/sinhala)

මෙම වසර අවසානය වනවිට ආර්ථිකය ධන තත්වයකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට 1.5 ක් වනු ඇතැයි අපේක්ෂා කළද කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ එහි යම් සංශෝධනයක් වනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් රජය ගෙන ඇති මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සමඟ මෙම වසරේ දෙවන, තුන්වන හා හතරවන කාර්තුවල ආර්ථික වර්ධනය ධන තත්ත්වයකට පත්වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා ෴

***************************************

කසළ තේ කිලෝ 700 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(13.07.2020 – 09:00 +0530 – hirunews.lk/sinhala)

සීදූව – කොටුගොඩ ප්‍රදේශයේ ගබඩාවක තිබී කසළ තේ කිලෝග්‍රෑම් 700 ක් සමඟ දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (12) පස්වරුවේ මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී කසළ තේ පැකට් කරමින් සිට ඇති අතර, එහි තිබී කිලෝ 35 බැගින් වූ පැකට් විස්සක් (20) පොලිස් භාරයට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 45 සහ 51 යන වයස්වල පසුවන ජාඇළ සහ රාගම ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

***************************************

අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

(13.07.2020 – 10:09 +0530 – hirunews.lk/sinhala)

විදේශ රටකට පලාගොස් සිටින අංගොඩ ලොක්කාගේ සමීපතමයින් දෙදෙනෙකු (2) බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය විසින් මුල්ලේරියාව ප්‍රදේශයේදී මත්කුඩු සමඟ අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් අයෙකු ‘ගයාන් දර්ශන’ හෙවත් ‘ගයියා’ නමැත්තෙකු වන අතර, ඔහු 2019 වසරේ අගෝස්තු මස 25 වනදා හංවැල්ල ප්‍රදේශයේදී පස් ව්‍යාපාරිකයෙකු වූ සුමේධ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වනවා.

අනෙක් පුද්ගලයා ‘නදීක සේපාල දහනායක’ හෙවත් ‘රන් කෑල්ල’ ලෙස හඳුන්වන පුද්ගලයෙකු වන අතර, ඔහු ‘පෙතියාගොඩ සංඛ’ නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේද ගෝලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

මොහු 2018 වසරේදී පොලීසිය අත්අඩංගුවට ගෙන දැනට ඇප මත මුදා හැර ඇත්තේ අත්බෝම්බයක්, රිවෝල්වරයක්, ටී – 56 වර්ගයේ පතොරම් 10 ක්, ගෑස් මුහුණු ආවරණයක් හා කේරළ ගංජා කිලෝ 2 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවටයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙනවිත් තිබෙනවා.

+++++++++++++++++++++

***************************************

රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය ලබාදීමේ අවස්ථාව සලසන්න – මැතිවරණ කොමිසම

(13.07.2020 – 11:59 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවයේ නිරත වන්නන්ට ජාතික මැතිවරණවලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව තම ඡන්දය ලබාදීමට හැකිවන පරිදි සේවා යෝජකයින් විසින් කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා.

මීට අදාළ නිවේදනය පහතින් :

***************************************

ස්වර්ණමහල් මුල්‍ය සමාගමේ සහ ETI හි සියලු ව්‍යාපාරික කටයුතු අත්හිටුවයි

(13.07.2020 – 12:03 +0530 – hirunews.lk/sinhala)

අද (13) සිට බලපැවැත්වෙන පරිදි ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී., ආයතනවල ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට මහබැංකුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනතට අනුව, මෙම ආයතනවලට නිකුත් කර තිබූ ලියාපදිංචි මූල්‍ය කල්බදු ආයතන ලියාපදිංචි සහතිකයන් අත්හිටුවූ බවයි මහබැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම තීරණයත් සමඟ මහබැංකුවේ තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාර ක්‍රමය මගින් මෙම ආයතනවල තැන්පතුකරුවන්ට වන්දි ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහබැංකුව සඳහන් කළා.

ඒ අනුව, ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සමස්ත තැන්පතුකරුවන් 38,111 දෙනා අතුරින් 28,554 කට තම සමස්ත තැන්පතු මුදල් ලබා ගැනීමට හැකියාව පවතින බව මහබැංකුව සඳහන් කළා.

ඉතිරි තැන්පතුකරුවන් 9557 දෙනාට, මූලිකව තම තැන්පතු මුදලින් කොටසක් ලෙස රුපියල් හයලක්ෂයක (6,00,000)මුදලක් ලබා දෙන බවයි මහබැංකුව කියා සිටියේ.

ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් ආයතනයේ සමස්ත තැන්පතුකරුවන් 8726 දෙනාගෙන් 7802 දෙනෙකුට තම සමස්ත තැන්පතු මුදල ලබා ගැනීමට හැකියාව පවතිනවා.

ඉතිරි තැන්පතුකරුවන් 924 දෙනාට තැන්පතු මුදලින් කොටසක් ලෙස රුපියල් හය ලක්ෂයක (6,00,000) මුදලක් මූලිකව ලබාදෙන බවයි මහබැංකුව වැඩිදුරටත් කියා සිටියේ.

+++++++++++++++++++++

***************************************

එජාපයේ බහුතරයක් පොහොට්ටුවට එන බව අගමැති කියයි

(13.07.2020 – 12:51 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම හේතුවෙන් පාක්ෂිකයින් බහුතරයක් අද (13) වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වෙමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අත්තිඩිය ප්‍රදේශයේ ඊයේ (12) පැවති ජන හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *