රට සුරක්ෂිතයි – සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් කියයි

(13.07.2020 – 13:01 +0530 – hirunews.lk/sinhala)

කන්දකාඩු සහ සේනපුර යන පුනරුත්ථාපන මධ්‍යස්ථානවලින් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 472 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඳ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එම මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩලයේ 44 දෙනෙකුද වෛරසය ආසාදනය වූ පිරිස අතර වන බවයි.

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 2,617 ලෙස දැක්වෙන අතර තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 617 ක්.

වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 1981 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරු ඇතුළු නිලධාරීන් ඇසුරු කළ පුද්ගලයින් සොයා දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (13) දිනයේද මෙහෙයුම් සිදුකරන බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.

දැනටමත් මාරවිල, රාජංගනය, රත්නපුර, කුණ්ඩසාලේ සහ හබරාදූව ආදි ප්‍රදේශ කිහිපයකින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයන් ලෙස සේවය කළ පිරිසකට කොරෝනා අසාදිත බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මෙම නිලධාරීන් මෙන්ම සමීපතමයින් රැසක් දැනටමත් හඳුනාගෙන ඇති අතර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ කියා සිටියේ.

එමෙන්ම පොළොන්නරුව, හිඟුරක්ගොඩ, බැඳිවැව සහ ලංකාපුර යන ප්‍රදේශවල පවුල් 10 ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තාවූ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන්.

මේ අතර උණවටුන උප දුම්රියපොල ස්ථානය අද (13) දිනයේ තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා.

කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට හබරාදුව ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔහු උණවටුන උප දුම්රියපොලේ ස්ථානාධිපතිවරයා සමීපව ඇසුරු කිරීම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව එම පියවර ගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ උප දුම්රියපොල ස්ථානාධිපතිවරයා මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර, එහි වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කන්දකාඩු පොකුර පාලනයට අවශ්‍ය සියලු පියවර මේ වනවිට ගනිමින් සිටින බවයි.

එමෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය මුල් කරගනිමින් කොරෝනා වැළඳී ඇති පුද්ගලයින් හා ගැටුණු ආශ්‍රිතයින් දහසකට (1000) අධික ප්‍රමාණයක් මේ වනවිට හඳුනාගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ මොවුන් බොහෝ දෙනෙකු පසුගිය කාලයේ පොදු ප්‍රවාහන සේවා භාවිත කර ඇති නිසා අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි.

මේ අතර අද (13) සිට සතියක කාලයක් පාසල් නිවාඩු දීමටගත් තීරණය සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් වෙතොත් 1988 කෙටි දුරකථන අංකය අමතා තොරතුරු ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (13) පෙරවරුවේ ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහන හා එක්වෙමින් කියා සිටියා.

කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා චෝදනා කළේ අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය කාලයේ නිකුත් කළ ඇතැම් තීන්දු තීරණ නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවයි.

මේ අතර මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය අප කළ විමසීමකදි කියා සිටියේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් එළඹෙන මහ මැතිවරණය පැවැත්විය යුතු බවයි.

කොරෝනා වසංගත තත්ත්වය පැතිරයාම හේතුවෙන් රාජාංගනය යාය 01, 03 සහ 05 ප්‍රදේශවල සංචරණය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා ෴

***************************************

තිස්සමහාරාම, ඇල්ලගලදී ‘කුඩු අමිල’ හා ගෝලයා හෙරොයින් සමඟ අත්අඩංගුවට

(13.07.2020 – 13:02 +0530 – hirunews.lk/sinhala)

ලුණුගම්වෙහෙර හා තිස්සමහාරාමයට තොග වශයෙන් හෙරොයින් මත් කුඩු බෙදා හැරි ප්‍රධාන සැකකරු හා ඔහුගේ ගෝලයෙකු හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 4 යි මිලි ග්‍රෑම් 500 ක් සමඟ තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශය විසින් තිස්සමහාරාම, ඇල්ලගලදී අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුගම්වෙහෙර පදිංචි 24 හැවිරිදි ‘අමිල මදුෂංක’ නොහොත් ‘කුඩු අමිල’ නැමැත්තා හා ඔහුගේ ගෝලයෙකු වු ලුණුගම්වෙහෙර, නෙළුම් පෙදෙස පදිංචි 23 හැවිරිදි ‘සචින් තාරක’ නැමති අයෙක්.

තිස්සමහාරාම පොලීසියේ අපරාධ අංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර තිබෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි හෙරෝයින් ජාවාරම සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කර ගැනිමට හැකිවූ බව පොලීසිය පවසනවා.

සැකකරුවන් දෙදෙනා තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+++++++++++++++++++++++++++++++++++

මෙරට තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මැඩලීමේ ක්‍රියාමාර්ගය ශක්තිමත් කිරීම සඳහා ජපන් රජය යෙන් මිලියන 200 ක් ප්‍රදානය කර තිබෙනවා.

ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේදී අද සිදුකෙරුණේ අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියම අකිරා මහතා අතරයි ෴

***************************************

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

(13.07.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට සමගාමීව පසුගිය වසරේ අප්‍රේල් මස 26 වන දින සයින්දමරදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීමට අදාළ සාක්ෂි සැඟවීම පිළිබදව අම්පාර ප්‍රදේශයේ රාජකාරියේ නිරත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද (13) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, අම්පාර – අක්කරෙයිපත්තුව ප්‍රදේශයේදියි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි කොළඹ අපරාධ කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු ‘හිරු ප්‍රවෘත්ති’ අංශයට සඳහන් කළේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත යටතේ අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

දැනට මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරනවා.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන කොමිසමේ නිලධාරීන් පසුගිය දා අම්පාර – සයින්දමරදු ප්‍රදේශයට ගොස් පිපිරීම සිදුවූ ස්ථාන කිහිපයක් නිරීක්ෂණයට ලක් කළා.

මේ අතර, මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 36 දෙනා ලබන 27 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් අද (13) මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

2019 වසරේ ජනවාරි මස මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුදුපිළිමවලට හානි කර තිබූ අතර, මෙම සැකකරුවන්ගෙන් 16 දෙනෙකු කෑගල්ල බන්ධනාගාරයේත්, ඉතිරි පිරිස පල්ලෙකැළේ බන්ධනාගාරයේත් රඳවා සිටිනවා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

සයින්දමරුදු පිපිරීමට ඔන්න මෙන්න තිබියදී ”සාරා” නම් බෝම්බකාරිය පැන ගිහින් – සහාය දුන් පොලිස් නිලධාරියා අල්ලයි

(14.07.2020 – 13:30 +0530 – lankaleadnews.com)

සහරාන්ගේ සහෝදරයින් ඇතුළු පිරිසක් රැදී සිටි අම්පාර සයින්දු මරුදුහී පිහිටි නිවසක් හමුදාව විසින් වටලා දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුවන අතරතුර එම නිවසේ රැදී සිටි පාස්කු ප්‍රහාරයෙන් පසු දෙවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි කාන්තාවක් ආරක්ෂිතව එම ස්ථානයෙන් පිටවූ බවට තොරතුරු අනාවරණය වී ඇත.

සාරා නමැති එම කාන්තාවට පලායාමට සහය දුන් බවට සැකපිට අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපතිවරයා අද (14) අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි.

එම නිලධාරියා අක්කරෙයිපත්තුවේ පදිංචිකරුවෙකි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරන ජනාධිපති කොමිසමේ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

එම නිවසින් පැනගොස් ඇත්තේ කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකළ මොහොමදු හස්තූන් නැමැත්තාගේ බිරිද වන පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා නැමැත්තියයි.

ඇය උපතින් දෙමළ ජාතික කාන්තාවක් වන අතර ඇය පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් මුස්ලිම් තරුණයෙකු විවාහ කර මුස්ලිම් කාන්තාවක් බවට පත්කළ බව ඇගේ දෙමාපියන් පාස්කු ප්‍රහාරයෙන් පසුව අනාවරණය කළේය.

ඇය දෙවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි තැනැත්තියක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශකයන්ට හෙළිවිය.

ගිරිඋල්ලේ පිහිටි රෙදිපිළි සාප්පුවකින් පාස්කු ප්‍රහාරයට දින දෙකකට පෙර රුපියල් 29,000 ක සුදු ඇදුම් මිලදී ගැනීමට මුල්වී ඇත්තේද ඇය බව විමර්ශන වලින් එකළ අනාවරණය විය.

2019 අප්‍රේල් 26 වෙනිදාය. එදින එම නිවසට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හෝ හමුදා සාමාජිකයින්ට ඉඩක් නොලැබිණි. නිවස දෙසින් හමුදා භට පිරිස් වෙත වෙඩි ප්‍රහාරයන් එල්ල විය. දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවීම් පැය ගණනක් පුරාවට පැවැති අතර අවසානයේදී නිවස තුළ පිපිරීම් කිහිපයක් සිදුවිය.

ඊට පසුදින හමුදා භට කණ්ඩායම් නිවස සෝදිසි කිරීමේදී මළ සිරුරු 14 ක් හමුවී තිබුණි. සහරාන්ගේ බිරිද සහ දියණිය එම පිපුරුමෙන් දිවි ගලවාගත් අය අතර සිටියේය. මිය ගිය 14 දෙනා අතර කුඩා දරුවන්ද සිටි අතර සිරුරු බොහොමයක්ම හදුනා ගැනීමට නොහැකි වන අයුරින් විනාශ වී තිබුණි. සහරාන්ගේ සහෝදරයින් වන රිල්වාන් සහ සෙයිනිද සහරාන්ගේ නැගණියද , ඇගේ සැමියාද, සහරාන්ගේ පියාද මියගිය අය අතර සිටි බව කියැවිණි.

මියගිය අයගේ නම් ලැයිස්තුවේ සාරාගේ නමද විය. එහෙත් එම ස්ථානයෙන් හමුවූ මළ සිරුරු ඩී.එන්.ඒ. පරීක්ෂණයකට යොමු කළද සාරාගේ දෙමාපියන්ගේ ඩී.එන්.ඒ. රටාවට සමාන ඩී.එන්.ඒ. රටාවක් ඇති මළසිරුරක් එහි තිබී හමුවී නැත. ඒ අනුව අවසාන මොහොතේත් සයින්දු මරුදු නිවසේ සිටි සාරාට සිදුවූයේ කුමක්දැයි විමර්ශකයන්ට අභිරහසක් විය.

එම අභිරහස විසදමින් සාරාට සිදුවූයේ කුමක්දැයි බුද්ධි අංශ හෙළිකර ගන්නේ පාස්කු ප්‍රහාරයෙන් වසරකට පසුවය. බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව මේ වන විට සිටින්නේ ඉන්දියාවේය.

එදා හමුදාව සයින්දු මරුදු නිවස වටකර දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුව සිදුවන අතර තුර යතුරු පැදියක් එම නිවස ආසන්නයෙන් ගමන් කර ඇති බවත් සාරා පළායන්නට ඇත්තේ එම යතුරු පැදියේ නැගී වන්නට ඇති බවත් බුද්ධි අංශ සැක මතු කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා ඉන්දියාවේ රෝ ඔත්තු සේවයෙන් ලද බව කියන විදෙස් බුද්ධි තොරතුර හා සාරා අතර යම් සම්බන්ධයක් ඇති බවත් සරා එම විදෙස් බුද්ධි අංශයේ ඔත්තුකාරියක් බවටත් මේ වන විට දැඩි සැකයක් මතුව තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසුවත් ඇය එම කල්ලියේ සිටින්නට ඇත්තේ දෙවැනි ප්‍රහාරය ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට විය හැකි බවට සැකයක්ද මතුවී තිබේ ෴

+++++++++++++++++++++

***************************************

සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම ගැන නීතිපති කරුණු කියයි

(13.07.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් යහපාලන රජය සමයේ සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම යලි සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුව විසින් එහි අන්තර්ගත කරුණු පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

සිංගප්පූරුව – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැදවනු ලැබුවේ ප්‍රියන්ත ජයවර්ධන සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

එහිදී නිතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණේ සිංගප්පූ ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුව විසින් ඒ පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි.

ඉකුත් දිනවල රටේ උද්ගත වූ තත්ත්වය මත එම අධ්‍යයන කටයුතුවල කිසියම් පමාවක් සිදුවී ඇතැයි පෙන්වා දුන් නීතිපතිවරයා එම කටයුතු අවසන් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල පෙත්සම නැවත නොවැම්බර් මස 03 වනදා කැදවීමට නියම කළා.

එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැනුම් දුන්නා.

පෙත්සම්කරුවන් කියා සිටියේ පසුගිය 2018 වසරේ ජනවාරි 23 වනදා අත්සන් තැබුණු සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට එවකට පැවති පාර්ලිමේන්තුවේ ද අනුමැතියක් ලබාගෙන නොමැති බවයි.

එම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් සිංගප්පූරුවට වැඩි වාසිදායක තත්ත්වයක් උද්ගත වන බව කියා සිටි පෙත්සම්කරුවන්, ශ්‍රී ලංකාවේ වෙළඳ ක්ෂේත්‍රයට මෙන්ම වෘත්තියවේදීන් ටද ඉන් දැඩි අගතියක් සිදුවන බව පෙන්වා දුන්නා ෴

***************************************

විටින් විට විදුලිය බිඳ වැටීමෙන් හැලිඇළ ජනතව අර්බුදයක

(13.07.2020 – 13:49 +0530 – hirunews.lk/sinhala)

හාලිඇල නගරය වසර ගණනාවක සිට විදුලිය බලය විටින්විට බිඳවැටීමේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.

කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන් මෙන්ම ජනතාව පවසන්නේ දිනකට හත් අට වතාවක් ප්‍රදේශයේ විදුලිය විසන්ධිවීම් සිදුවීම හේතුවෙන් දෛනික කටයුතු පැය කිහිපයකට ඇණහිටීමේ තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

මේ තත්ත්වයට මූලික හේතුව හාලිඇල හරහා ගමන් කරන අධිබල රැහැන් පද්ධතිය බදුල්ල නගරයේ සිට කිලෝමීටර් 20 ක් 30 ක් ඈතට විහිදෙන තෙක් ගමන් කිරීමයි.

රැහැන් පද්ධතිය මතට ගසක් කඩා වැටීම හෝ වෙනත් ආපදාවක් සිදුවුවහොත් මුළු පද්ධතියම අකර්මන්‍යවීම සිදුවීම සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මෙම ගැටළුවට විසඳුමක් ලෙස මීට වසර 2 කට පමණ පෙර මහජන මුදල් රුපියල් මිලියන 15 ක් වැය කර බදුල්ල පිංඅරාව සිට හාලිඇල දක්වා වෙනත් අධිබලැති රැහැන් පද්ධතියක් ස්ථාපිත කිරීමට බලධාරීන් කටයුතු ආරම්භ කළද එය මේ දක්වා ක්‍රියාත්මක වී නැහැ.

පිංඅරාව සිට හාලිඇල නගරය ආසන්නය දක්වාම විදුලි කණු සිටුවා ඇතත් වසර 2 ක් ඉක්ම යමින් තිබුණද රැහැන් එළීමට කිසිදු පියවර ගෙන නොමැති බවට ජනතාව චෝදනා කරනවා.

හාලිඇල ජනතා හඬට කන්දී අඛණ්ඩව විදුලිය බලය ලබාදීමට බලධාරීන් කඩිනම් පියවර ගන්නා තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

සුරියවැව හබරත්තවෙල ජනතාවට වන අලින්ගෙන් සිදුවන පීඩා

(13.07.2020 – 13:52 +0530 – hirunews.lk/sinhala)

වන අලි ගැටලුව හේතුවෙන් පීඩා විඳින ගම්මාන දෙකක් (2) පිළිබඳව සූරියවැව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

සූරියවැව – කරුවලගස්වැව ප්‍රදේශයේ ජනතාව සිය කුඹුරු ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නොනිමි අරගලයක නිරතවනවා.

ගම්වැසියන් ගිනි මැල ගසා රාත්‍රිය මෙලෙස ගෙවා දමන්නේ තමන් දුක්මහන්සියෙන් වගා කරගත් ගොයම් අස්වැන්න වන අලීන්ගෙන් බේරා ගැනීම සඳහායි.

සිය ගැටලුව පිළිබඳව බලධාරීන්ට ඉදිරිපත් කළත් මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බවට ගම්වාසීන් චෝදනා කරනවා.

මේ අතර, සූරියවැව – හබරත්තවෙල නිරන්තරයෙන් වන අලි තර්ජනයට මුහුණදෙන ප්‍රදේශයක්.

පසුගියදා ගම්වැදුණු වන අලියෙකුට කිසියම් අයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණා.

ඒ පිළිබඳව සොයා බැලීමට හම්බන්තොට වනජීවී නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

ගම්වැසියන් චෝදනා කළේ වන අලි ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන්නේනම් වන අලි මෙන්ම මිනිස් ජීවිතද බේරා ගැනීමට හැකිවන බවයි.

***************************************

වයඹ ඇල ව්‍යාපෘතිය නිසා අලුත්වැව ප්‍රදේශයේ මාර්ග රැසකට හානි

(13.07.2020 – 14:07 +0530 – hirunews.lk/sinhala)

වෑමැඩිල්ල වැව හරහා වයඹ පළාතට ජලය රැගෙන යාමට ඉදිකෙරමින් පවතින වයඹ ඇල ව්‍යාපෘතිය නිසා තම ගම්මානයේ මාර්ග රැසක් අබලන්ව ඇති බවට ගලේවෙල අලුත්වැව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළත් මෙතක් විසඳුමක් ලැබී නොමැති බවයි.

වෑමැඩිල්ල වැව හරහා වයඹ පළාතට ජලය ගෙන යාම වෙනුවෙන් වයඹ ඇල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ දිනවල සිදුවනවා.

එම ඉදිකිරීම් සිදු කිරීමේදී අලුත්වැව ප්‍රදේශයේ මහා මාර්ග පද්ධතියට දැඩි හානි සිදුව ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මාර්ග මඩවලින් පිරී පැවතීම හේතුවෙන් වැසි දිනවලදී පයින්වත් ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

ලොරි රථ ධාවනය කිරීම හේතුවෙන් ප්‍රදේශයේ විදුලි රැහැන් කණුවලට සහ දුරකතන රැහැන් කණුවලටද හානි සිදුව ඇති බවට ඔවුන් චෝදනා කරනවා.

ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ඔවුන්ට සිතැඟි ලෙස සිදු කරන මෙවැනි ක්‍රියා පිළිබඳ බළධාරීන් දැනුම්වත් කළත් ඔවුන් කිසි අවධානයක් යොමු කර නැහැ.

කොන්ත්‍රාත්කරුවන් මෙම ව්‍යාපෘතිය හරහා සිදු කරන අක්‍රමිකතා රැසක් පිළිබඳවද ප්‍රදේශවාසීන් අනාවරණයක් සිදු කළා.

එම ස්ථානයට පැමිණි මහවැලි නිලධාරීන් සඳහන් කලේ වගකිව යුත්තන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

***************************************

මහනුවර හෙද විරෝධය

(13.07.2020 – 14:12 +0530 – hirunews.lk/sinhala)

කොවිඩි 19 වසංගත සමයේ ගෙවියයුතු නිවාඩු දින සහ අමතර දීමනා කප්පාදුවට විරෝධය පලකරමින් මහනුවර ශික්ෂණ රෝහලේ හෙද කාර්යමණ්ඩලය අද (13) පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා.

***************************************

ලංගම හා පෞද්ගලික බස්රථ තුළ වෙළඳාම නැවැත්වීමට උපදෙස්

(13.07.2020 – 14:16 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය හමුවේ සියලුම පෞද්ගලික හා ලංගම බස් රථ තුල සිදුකෙරෙන වෙළඳාම් වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට සහ ලංකා ගමනාගමන කොමිසම් සභාවට උපදෙස් ලබාදී තිබෙනවා.

සෞඛ්‍යාරක්ෂිත පිලිවෙත් අනුගමනය නොකරමින් කටයුතු කිරීම ගැන ජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

එම වෙළඳාම් පාලනය සඳහා ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගන්නා ලෙසට විෂය භාර අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය මාර්තු මාසයේ සිට සියලු දුම්රිය තුළ ජංගම අලෙවිකරුවන් ඇතුළුවීම වැළැක්වීමටයි පියවර ගනු ලැබුවේ ෴

***************************************

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට එරෙහිව අනුර සහ ශානිගෙන් පෙත්සම් දෙකක්

(13.07.2020 – 15:09 +0530 – hirunews.lk/sinhala)

ජනතා විමුක්ති පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, අභියාචනාධිකරණය හමුවේ අද (13) රීට් ආඥා පෙත්සම් දෙකක් (2) ගොනුකර තිබෙනවා.

ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම මගින් තමන්ට නිකුත් කර ඇති නොතීසි වලට එරෙහිවයි.

මීට පෙර අදාළ කොමිසම මගින් එහි පෙනී සිටින ලෙසට මොවුන් වෙත නොතීසි නිකුත් කර තිබුණා ෴

***************************************

අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය තාවකාලිකව අත්හිටුවයි

(13.07.2020 – 15:50 +0530 – hirunews.lk/sinhala)

පවත්නා තත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වීමට එම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම කාල සීමාව තුළ අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් කිසියම් තොරතුරක් දැනගැනීමට හෝ, කිසියම් සේවාවක් ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංක 1988 ඔස්සේ පහසුකම් සපයා තිබෙනවා.

Covid 19 තත්ත්වය හේතුවෙන් පොදු ස්ථාන තුළ ඒකරාශිවීමෙන් මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට සිදුවිය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලටගෙන මෙම තීරණය ගෙන ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

***************************************

කහවත්තේදී රන් පවුම් 30 ක මංකොල්ලයක්

(13.07.2020 – 16:08 +0530 – hirunews.lk/sinhala)

කහවත්ත ඇන්දාන මාර්ගයේ යායින්න කෝවිල අසළ වෙළෙද සැලකට කඩා වැදුනු දෙදෙනෙකු (2) ගිණි අවියකින් වෙඩි තබා එම වෙළෙද සැලේ සිටි මව සහ පුතු බියගන්නවා පවුම් තිහක (30) රන් භාන්ඩ කොල්ලාකා පලාගොස් තිබෙනවා.

අද (13) පෙරවරු 10:30 ට පමණ මෙම කොල්ලය සිදුව ඇති බවයි කහවත්ත පොලිසිය ප්‍රකාශ කළේ.

වෙළෙදසැලේ සිටි මව සහ පුතු පළදා සිටි රන් මාල මෙලෙස කොල්ලකා ඇති අතර එහි වටිනාකම ලක්ෂ 30 කට ආසන්න බවයි සඳහන් වන්නේ.

යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා (2) සතුව තුවක්කුවක් සහ මන්නා පිහියක් තිබූ බව වෙළෙදසැලේ සිටි මව සහ පුතු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

වෙළෙදසැල පවත්වාගෙන ගිය කාන්තාවගේ ගෙලට පිහියක් තබා පසුව වෙළෙදසැල ඉදිරිපිට දි අහසට වෙඩිල්ලක් තබා බිය ගන්වා ඇති බවයි පොලිස් පරික්ෂණවලදි හෙළිවී තිබෙන්නේ.

රන් මාල තුනක් (3) කොල්ලකා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය සහ කහවත්ත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරික්ෂණ පවත්වනවා.

***************************************

‘ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී.’ ආයතනයේ තැන්පත්කරුවන්ට මහ බැංකුවෙන් දැනුම් දීමක්

(13.07.2020 – 16:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ‘ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී.’ ආයතනයේ තැන්පත්කරුවන් වෙත රක්ෂණ වන්දි ගෙවීම පිළිබඳ, මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

“‘ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී.’ ආයතනය මගින් තහවුරු කරන ලද තැන්පත්කරුවන් 147,000 කට පමණ රක්ෂණ වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල වෙතින් මේ වන විටත් වෙන් කර දී අවසන් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙනවා :

“‘ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී.’ ආයතනයේ තැන්පත්කරුවන් වෙත රුපියල් ලක්ෂ 6 ක උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි ගෙවීම 2020 ජූනි මස 07 වන දින ආරම්භ කරන ලද අතර දිවයින පුරා මහජන බැංකු ශාඛා 63 ක් මගින් මේ වන විට ගෙවීම් සිදු කෙරේ.

‘ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී.’ ආයතනය මගින් තහවුරු කරන ලද තැන්පත්කරුවන් 147,000 කට පමණ රක්ෂණ වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල වෙතින් මේ වන විටත් වෙන් කර දී අවසන් ය. 2020.07.12 දින වන විට, ‘ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී.’ ආයතනයේ තැන්පත්කරුවන් 19,279 ක් මහජන බැංකුව වෙත පැමිණ තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබා ගෙන ඇති අතර ඒ වෙනුවෙන් මේ දක්වා වැය වී ඇති මුදල රුපියල් 5,175,336,249.68 ක් (රුපියල් කෝටි 517 ක් පමණ) වේ.

සැලකිය යුතු තැන්පත්කරුවන් ප්‍රමාණයක් තවමත් තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීම සඳහා පැමිණ නොමැති බැවින් මහජන බැංකුව වෙත පැමිණ තමන්ට හිමි රක්ෂණ වන්දි මුදල් ලබා ගන්නා ලෙස ‘ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී.’ ආයතනයේ මුදල් තැන්පත් කර තිබූ, ඉහත සඳහන් පරිදි ආයතනය විසින් තහවුරු කරන ලද සියලු ම පුද්ගලයන්ට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙයින් දැනුම් දෙනු ලැබේ.

මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අමතන්න :

මහජන බැංකුව : 011 248 1594 , 011 248 1320 , 011 248 1617 , 011 248 1703

ශ්‍රී ලංකා මහ බැංකුව : 011 239 8788 , 011 247 7261 “

***************************************

මෙතෙක් වාර්තාවූ කන්දකාඩු කොරෝනා ආසාදිතයන් 506 දෙනාගේ තොරතුරු එළියට

(13.07.2020 – 19:22 +0530 – hirunews.lk/sinhala)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් සොයාගෙන ඇති ආසාදිතයින් 506 දෙනෙකුගෙන් 429 දෙනෙකුම එහි පුනරුත්ථාපනය ලබන රැඳවියන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම තවත් 47 දෙනෙකු එහි කාර්ය මණ්ඩලය ලෙස සේවය කළ අයවලුන් වනවා.

මේ අතර 30 දෙනෙකු මෙම ආසාදිතයන්ට සම්බන්ධිත පුද්ගලයන් බවයි සඳහන් වන්නේ.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ අනුරාධපුර – රාජාංගණය යාය 1, 3 සහ 5 යන ප්‍රදේශවල සංචරණ සීමා පනවා තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ කන්දකාඩු පොකුරට සම්බන්ධ ආසාදිතයින් හඳුනා ගැනීම හා ඔවුන්ගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීම ද මේ වන විට සිදුවන බවයි.

මේ අතර, අද (13) දිනයේ මේ දක්වා කොරෝනා රෝගීන් 14 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2631 දක්වා ඉහළ ගියා.

අද (13) හමුවූ සියළුම ආසාදිතයින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මෑතකදී කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ වසා දැමීම සිදු නොකළහොත් කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීම වලක්වා ගත නොහැකි වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව කියා සිටියා.

මේ වන විට රාජාංගනයෙන් කොරෝනා අසාදනය වු පුද්ගලයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බව, අනුරාධපුරයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා කියා සිටියා.

මේ අතර, පොළොන්නරුව – හිඟුරක්ගොඩ, බැදිවැව සහ ලංකාපුර යන ප්‍රදේශවල පවුල් 10 ක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

එමෙන්ම මහනුවර – කුණ්ඩසාලේ ප්‍රදේශයේ පුද්ගලයින් 100 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ අසාදිතයෙකු ඇසුරු කළ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ 55 දෙනෙකු අද (13) ස්වයං නිරෝධායනයට ලක්කලා.

එමෙන්ම, ත්‍රිකුණාමලය – අග්බෝපුර ප්‍රදේශයේම ආයතන කිහිපයක් විෂබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරුනා.

එමෙන්ම, කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් බැලීම සඳහා ගිය ගම්පහ – මිනුවන්ගොඩ පවුල් 06 කට අයත් පුද්ගලයින් 10 දෙනෙකුද අද (13) ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පියවර ගත්තා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා සදහන් කලේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා රෝගය ආසාදනය වූ පුද්ගලයන්ගේ ආශ්‍රීතයින් දහසකට (1000) අධික ප්‍රමාණයක් මේ වන විටත් හදුනා ගෙන ඇති බවයි.

එමෙන්ම, මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය අද (13) පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙරෝනා පාලනය කිරීමට නෛතික බලය ලබා දෙන ගැසට් නිවේදනය වහාම නිකුත් කරන ලෙසයි.

එය ප්‍රමාද කිරීමෙන් ඇති විය හැකි කණගාටුදායක තත්ත්වයේ සම්පුර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් භාරගත යුතු බවද ඔවුන් එමගින් දක්වා තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *