කන්දකාඩු පොකුරෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් ගැන අලුත්ම තත්වය මෙන්න

(16.07.2020 – 12:54 +0530 – hirunews.lk/sinhala)

කන්දකාඩු පොකුරෙන් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 533 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2674 ක්.

ඊයේ (15) දිනයේදී මෙරටින් කොවිඩ් 19 ආසාදිතයන් 9 දෙනෙකු හඳුනාගනු ලැබුවා.

ඉන් එක් අයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වන කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙක්.

මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට හා කටාර්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි 8 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

කන්දකාඩු පොකුරෙන් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 533 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 444 දෙනෙකුම රැඳවියන්.

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේ කන්දකාඩු පොකුරේ සෙසු 64 දෙනෙකු උපදේශකයන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් වන අතර තවත් 25 දෙනෙක් සිවිල් පුද්ගලයන් බවයි.

ඒ අනුව මෙරට මේ වන විට කොවිඩ් 19 තත්ත්වයයි මේ.

මේ අතර කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සංචාරණ සීමා පනවා ඇති රාජාංගනය ප්‍රදේශයේ තවත් පුද්ගලයන් 60 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ (15) පස්වරුවේ සිදුකෙරුණා.

මේ අතර කොවිඩ් 19 ආසාදිත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන පැල්මඩුල්ල නාරංගොඩ පදිංචි යුධ හමුදා නිලධාරියෙකුගේ ආශ්‍රිතයන් 37දෙනෙකු ඊයේ (15) පස්වරුවේ නිරෝධායනය සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා.

ඔවුන් නාරන්ගොඩ සහ ඇන්දාන ප්‍රදේශයේ පුද්ගලයන් වන අතර ඊට කුඩා ළමුන් 8 දෙනෙකුද අයත්.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් සේවය කරන කොවිඩ් 19 ආසාදිත කන්තලේ පදිංචි යුධ හමුදා සාමාජිකයෙකුගේ අසල්වැසි නිවසක පුද්ගලයන් දෙදෙනෙකු උණ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඊයේ (15) පස්වරුවේ මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පැමිණි යුද හමුදා සෙබලෙකු බදුල්ල – බඩල්කුඹුර – ගල්ලබ පිරිවෙනේ ආගමික වැඩ සටහනකට සහභාගි වී තිබීම හේතුවෙන් එම පිරිවෙනේ ස්වාමීන් වහන්සේ 45 නමක් ඇතුළුව 75 දෙනෙකු ආරක්ෂිත පියවරක් ලෙස පිරිවෙන තුළ ස්වයං නිරෝධායනයට යොමුකළ බව ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණ වුණා.

මේ අතර කොවිඩ් 19 ආසාදිත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන සෙබලෙකු පසුගියදා කුරුණෑගල – තෝරවතුර ප්‍රදේශයේ සිය නිවසට පැමිණ තිබීම හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් හා අසල්වැසි නිවාස 10 ක පුද්ගලයන් 40 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා.

මේ අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එමඟින් සඳහන් කර ඇත්තේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් මතුව ඇති තත්ත්වයත් සමඟ බන්ධනාගාර ගත කර සිටින දේශපාලන සිරකරුවන් ද අවදානමකට මුහුණදී ඇති බවයි.

ඒ පිළිබඳව මැදිහත්වීමක් අපේක්ෂා කරන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග ඊට අදාළව රෝගීන් හඳුනාගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණ 130,000 ක් මේ දක්වා කාලය තුළ සිදුකර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ නිරෝධායන මධ්‍යස්ථානවල මෙන්ම, බාහිර පරිසරයෙන් ද තෝරා ගත් පිරිස් මෙම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොදා ගෙන ඇති බවයි ෴

***************************************

කිඹුලෙක්, මව සමඟ දියනෑමට ගිය කුඩා දැරියක ඩැහැගනී

(16.07.2020 – 09:59 +0530 – hirunews.lk/sinhala)

තඹුත්තේගම මීගලෑව – යාය තුන ඇළේ මව සමඟ දිය නාමින් සිටි කුඩා දැරියක් කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ කිඹුලා ඩැහැගෙන ගිය දැරිය ප්‍රදේශවාසීන් සහ මීගලෑව වනජීවී කාර්යාල නිලධාරීන් එක්ව ඊයේ (15) බේරාගෙන තඹුත්තේගම රෝහලට ඇතුළු කළ නමුත් ඇය මියගිය බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු තුන හමාරක් වයසැති උස්ගල – සියඹලන්ගමුව ප්‍රදේශයේ පදිංචි දැරියක් ෴

***************************************

කොරෝනා ගැන අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි අගමැති කියයි

(16.07.2020 – 12:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේ අද (15) පැවති සාකච්ඡාවකදීයි.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද එක්ව සිටි අතර, මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය සඳහා නීතිපති අනුමැතිය අද (16) දිනය තුළ ලැබෙනු ඇති බවත් ඒ අනුව ඉදිරි දින දෙක තුළ එය ගැසට් කිරීමට බලාපොරොත්තු වන බව ඇය සඳහන් කළා.

මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පිටත කොවිඩ් ආසාදිතයින් 25 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

එම පිරිස ඇතුලු ඔවුන්ගේ ආශ්‍රිතයින් සියලුදෙනා මේ වනවිට නිරෝධාන කටයුතු සඳහා යොමු කර ඇති බව ඔහු සඳහන් කළා.

එමෙන්ම මෙරට තුළ පීසීආර් පරීක්ෂණ 130,000 ක් පමණ සිදු කර ඇති බව සඳහන් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සහ ඒ ආශ්‍රිතයින්ගේ පීසීආර් පරීක්ෂණ 4000 ක් පමණ සිදු කර ඇති බවද කියා සිටියා.

ඔහු සඳහන් කළේ පෞද්ගලික ආයතන 4 ක සහ රජයේ ආයතන 18 ක පීසීආර් පරීක්ෂණ මේ වනවිට සිදු කෙරෙන බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදු කළ පීසීආර් පරීක්ෂණ නතර කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ජින්තුපිටියෙන් වාර්තා වූ රෝගියාට කොවිඩ් වෛසරය ආසාදිත බවට එම පීසීආර් පරීක්ෂණයෙන් වාර්තාවී තිබු බවයි.

කෙසේ වෙතත් අයි.ඩී.එච් රෝහලින් සහ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය මගින් සිදු කල පරීක්ෂණ 5 කින් අදාළ පුද්ගලයාට වෛරසය ආසාදනය වී නොතිබූ බවට තහවුරුවීම හේතුවෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අදාළ අංශය සමග සාකච්ඡා කිරිමෙන් අනතුරුව පීසීආර් පරීක්ෂණ කටයුතු නතර කිරීමට තීරණය කළ බවද සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

කොරෝනා නිසා ගෙදර ඉන්න පෞද්ගලික ආයතනවල සේවකයන්ට වැටුප ගැන සුබ ආරංචියක්

(16.07.2020 – 13:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා නොමැතිව නිවෙස්වල සිටින පෞද්ගලික අංශ සේවකයන්ට වැටුප් ගෙවීමේ කාලය මේ මස සිට සැප්තැම්බර් දක්වා දීර්ඝ කර තිබෙනවා.

විෂයභාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මීට ලැබී ඇත්තේ.

එහි සඳහන් වන්නේ කොරෝනා වසංගතය පැතිරයාම පාලනය කිරීම සඳහා පැනවූ ඇඳිරි නීති කාලසීමාවේදී ආයතන වසා දැමීම හේතුවෙන් තවදුරටත් නිවෙස්වල රැඳී සිටින පෞද්ගලික අංශයේ සේවකයන්ට මීට පෙර ගෙවන ලද පූර්ණ වැටුපෙන් සියයට 50 හෝ රුපියල් 14,500 ක මුදල යළි සැප්තැම්බර් දක්වා ගෙවන ලෙසයි.

***************************************

බැඳුම්කර වංචාව ගැන මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පණත යටතේ විමර්ශන

(16.07.2020 – 13:42 +0530 – hirunews.lk/sinhala)

2015 වසරේ සිදුවූ මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු 08 දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පණත යටතේ තවදුරටත් විමර්ශණ සිදු කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව එහි ප්‍රගතිය නොවැම්බර් මස 12 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසයි ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.

නඩුව කැදවූ අවස්ථාවේදී දැනට ඇප මත මුදාහැර සිටින පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස් ඇතුළු සැකකරුවන් හත්දෙනකු (7) අධිකරණය හමුවේ පෙනී සිටියා.

මේ අතර දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම විසින් තමන්ට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන නොතීසිය බලරහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ගොනුකර ඇති රිට් පෙත්සම සලකා බැලීම මේ මස 20 සිදු කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නා.

මෙම පෙත්සම අද (16) කැදවනු ලැබුවේ අභියාචනාකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේයි.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නියෝජිතයන්, නීතිපතිවරයා සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා ෴

***************************************

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද (16) හතරවන (4) දිනයටත්

(16.07.2020 – 13:45 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද (16) හතරවන (4) දිනයටත් සිදුවනවා.

පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ ,දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කිරීම අද සහ හෙට සිදු කෙරෙනවා.

ඒ පෙරවරු 9 සිට පස්වරු 4 දක්වායි.

නොවැලක්විය හැකි හේතුවක් මත වෙන්කරන ලද දිනයන් හි තැපැල් ජන්දය සලකුණු කිරීමට නොහැකි වු තැපැල් ඡන්ද දායකයෙකුට ලබන 20 සහ 21 යන දෙදින අදාල සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදි ඒ සදහා අවස්ථාව සලසා දී තිබෙනවා.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ කොරෝනා වෛරසය හේතුවෙන් නිරෝධායනයට ලක්කර සිටින පුද්ගලයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීම සදහා අගෝස්තු 4 වන දින අවස්ථාවට ලබා දීමට තීීරණය කල බවයි.

එමෙන්ම, දේශාපාලන පක්ෂවල වර්ණ වෙනත් පාර්ශව විසින් භාවිත කරන බවට මැතිවරණ කොමිෂන් සභාවට සිදුකෙරුණු පැමිණිලි සම්බන්ධයෙන්ද සභාපතිවරයා එහිදි ප්‍රකාශ කළා.

***************************************

ත්‍රිකුණාමලය – කෝනේෂ්වරම් මුහුදු සීමාවේදී ධීවර බෝට්ටුවක් අනතුරට ලක්වෙයි

(16.07.2020 – 14:49 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – කෝනේෂ්වරම් මුහුදු සීමාවේදී ධීවර බෝට්ටුවක් අනතුරට ලක්ව තිබෙනවා.

ධීවරයින් චෝදනා කරන්නේ වෙරළාරක්ෂක බලකායේ යාත්‍රාවක් අදාළ ධීවර බෝට්ටුවේ ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවටයි.

ත්‍රිකුණාමලය – ජමාලියා ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් මුහුදු ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (15) සවස් කාලයේයි.

කෝනේෂ්වරම් මුහුදු සීමාවේදී මෙම බෝට්ටු අනතුර සිදුවන විට ධීවරයින් තිදෙනෙකු (3) එහි ගමන්කර තිබුණා.

සිද්ධිය සැලවීමෙන් අනතුරුව සහයට පැමිණි ධීවරයින් චෝදනා කළේ වෙරළාරක්ෂක බලකායේ යාත්‍රාවක් ගැටී මෙම ධීවර බෝට්ටුව අනතුරට ලක් වූ බවයි.

***************************************

බලධාරීන්ගේ ඇස නොගැටුණු ගමට යන්න බැරි සන්තයාකල්ලිය පාලම

(16.07.2020 – 15:01 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්දලම සන්තයාකල්ලිය ගම්මානයට පිවිසීමට ඇති මාර්ගයේ අද වන විට යතුරු පැදියකටවත් ඒ මතින් ගමන් කිරීම අපහසු වී තිබෙනවා.

ඒ මෙම මාර්ගයේ ආච්චිතෝට්ටම් ඇල මත ඇති මුන්දලම සන්තයාකල්ලිය පාලම වසර 2 ක පමණ සිට දැඩි ලෙස අබලන් වී තිබීම හේතුවෙන්.

පසුගිය වසරේ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් මෙම පාලමට තවත් හානි සිදුවී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

තමන් විදින අපහසුතා පිළිබඳ ගම්වාසීන් බලධාරීන්ට දැනුම්දුන්නද ඒවා මේ වනවිට පත්ව ඇත්තේ ඉටු නොවනා පොරොන්දු බවටයි.

***************************************

මහා ගංවතුරකට අත වන්න මාතර වැලිපිටියේ ගොඩකිරීම

(16.07.2020 – 15:03 +0530 – hirunews.lk/sinhala)

ගං වතුර, ජල ගැලීම් වැනි ස්වභාවික ව්‍යවසනයන්ගෙන් ආරක්ෂාවීමට නම් මිනිසා එක සේ පරිසරයට ආදරය කළ යුතුයි.

නමුත් එය නොතකා ස්වාභාවික ව්‍යවසනයන්ට අතවනමින් සිදුවන අනවසර ගොඩකිරීමක් පිළිබඳ අපට මාතර වැලිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මාතර – වැලිපිටිය – ඉල්වත්ත කුඩා අමුණ ප්‍රදේශයේ පිහිටි අක්කර 7 ක පමණ කඩොලාන පිහිටි භූමිය රක්ෂිතයක් ලෙස පවා නම් කිරීමේ සූදානමක් තිබී ඇති අතර මෙම ප්‍රදේශය මේ වන විට කිසියම් පුද්ගලයෙකු විසින් අනවසරයෙන් ගොඩකිරීමට කටයුතු කර තිබෙනවා.

ගම්වාසීන් චෝදනා කරන්නේ මේ හේතුවෙන් විශාල කඩොලාන විනාශයක් මෙන්ම වර්ෂා කාලයේදී ප්‍රදේශයේ ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටයි.

***************************************

කොරෝනා මැද රජයෙන් ලැබුණු සහනයෙන් වැඩුණු අක්කර 20 ක සාරවත් රටකජු වගාව

(16.07.2020 – 15:04 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වසංගතයත් සමග ඇඳිරිනීතිය පනවා තිබූ පසුගිය කාලයේ ගොවිතැන් කටයුතු සඳහා රජය විසින් ගොවීන්ට අවස්ථාව සලසා දී තිබුණා.

එලෙස වගා කටයුතු ආරම්භ කළ තිස්සමහාරාමයේ ගොවීන් පිරිසක් මේ දිනවල සිය අස්වැන්න නෙළමින් සිටිනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය මෙරට තුළ ව්‍යාප්තිය පාලනය සඳහා රට තුළ ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරුණු පසුගිය කාලසීමාව තුළ ගොවිතැන් කටයුතු සිදුකිරීම සඳහා ඉඩප්‍රස්ථාව ලබාදීමට රජය කටයුතු කළා.

එලෙස ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගැනීමට මේවන විට තිස්සමහාරාම කොඩිගහවැව ප්‍රදේශයේ ගොවීන් සමත්ව තිබෙනවා.

අක්කර 20 ක පමණ ප්‍රමාණයකට දිවෙන මේ භූමිය ඔවුන් යොදාගෙන තිබුණේ රටකජු වගා කිරීම සඳහායි.

පාරම්පරිකව පැවති ඉඩම් ගොවිබිම් බවට පත්කරමින් ඔවුන් මෙම රටකජු වගාව ආරම්භ කර තිබුණා.

ගොවීන් සඳහන් කළේ අක්කරය බැගින් වගා කිරීම සඳහා ප්‍රදේශයේ ගොවි පවුල් සඳහා රටකජු, පොහොර සහ ජලය බටඅත කෘෂි තාක්ෂණ මධ්‍යස්ථානය මගින් නොමිලේ ලබාදීමට කටයුතු කළ බවයි.

මාස 3 ක පමණ කලක් සිදුකළ වගාවේ අස්වැන්න ඔවුන්ගේ මුවගට ගෙනවිත් ඇත්තේ සිනහවක්.

රටකජු මෙරට අපනයන භෝග අතර ප්‍රමුඛ බීජ වර්ගයක් වන බැවින් දේශීය ආර්ථිකය නංවාලීම සඳහා මෙම ගොවීන් තවදුරටත් දිරිගැන්වීම සැමගේ යුතුකමක්.

***************************************

ශ්‍රී ලංකාවෙන් මුදල් බැහැරට යන ප්‍රාග්ධන ගනුදෙනු සඳහා මහ බැංකුවෙන් සීමා

(16.07.2020 – 15:46 +0530 – hirunews.lk/sinhala)

ප්‍රාග්ධන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් 2020 ජුලි 02 වන දා සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබෙනවා.

රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම සහ කොවිඩ්-19 (Covid-19) වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති විය හැකි අයහපත් බලපෑම සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණ ගෙන ඇත්තේ.

මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙම පියවර ගෙන තිබෙනවා.

සම්පුර්ණ ලිපිය පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *