අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි මීගමුව බන්ධනාගාර ජේලර්වරයෙකු CID යට භාරවෙයි

(24.07.2020 – 19:39 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර රැඳවියෙකුට පහසුකම් සැපයීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී තිබෙනවා.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඔහු ඇතුළු සිව්දෙනෙක් (4) අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙනත්තු නිකුත් කෙරුණේ පෙරේදායි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරවූ ජේලර්වරයා මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ විසින් දැනට ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම වෙනුවට සංශෝධිත නව පෙත්සමක් ඉදිරිපත් කරන ලෙස අභියචානධිකරණය පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දී තිබෙනවා.

ඒ අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ එච්.ඒම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම අද (24) කැඳවූ අවස්ථාවේදීයි.

එය ගොනුකිරීමෙන් අනතුරුව එය ලබන 27 වනදා සඳුදා සලකා බලන බවද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එහිදී දැනුම් දී තිබෙනවා.

මේ අතර, මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ විසින් ඉදිරිපත් කර තිබූ අදාළ රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක අභියාචනාධිකරණය හමුවේ අද (24) මූලික විරෝධතා ගොනුකරමින් ඉල්ලීමක් කළා.

පෙත්සම්කරු විසින් ඉදිරිපත් කර ඇති සංශෝධිත පෙත්සම සමග ඔහු ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 22 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තු නියෝගය අමුණා නොමැති බැවින් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ නෛතික හැකියාවක් නොමැති බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

දැනට ගොනුකර ඇති රීට් පෙත්සම තුළ පෙත්සම්කරු විසින් අසත්‍ය කරුණු රැසක් ඉදිරිපත් කර ඇති බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක එහිදී වැඩිදුරටත් චෝදනා කළා.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස්, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය වෙත පෙන්වා දී ඇත්තේ දැනට ගොනුකර ඇති සංශෝධිත රීට් පෙත්සම වෙනුවට නව පෙත්සමක් ඉදිරිපත් කිරීම සුදුසු බවයි.

මෙහිදී පෙත්සම්කාර හිටපු බන්ධනාගාර අධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම ලබන සදුදා (27) සලකා බලනතෙක් දැනට නිකුත් ඇති වරෙන්තුව ක්‍රියාත්මක වීම වැළැක්වීමේ කෙටි අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එහෙත් එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා විරුද්ධ වූ අතර, ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කිසිදු නියෝගයක් නිකුත් කළේ නැහැ.

මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිවරයා සහ දැනට රාජකාරියේ නියුතු ජේලර්වරුන් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පෙරේදා දිනයේදීයි.

නීතිවිරෝධී අයුරින් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ගේ පරිහරණය සඳහා ලබා දී තිබියදී අත්අඩංගුවට ගත් ශීතකරණය හෝටල් හිමිකරුවෙකුගේ පරිත්‍යාගයක් බවට ඒත්තු ගැන්වීමට උත්සාහ කර ඇති බව ද එදින නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නා.

එය බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන පෙලේ අපරාධකරුවෙකු විසින් පිටස්තර පුද්ගලයෙකුට මුදල් ගෙවා ගෙන්වා ගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණ වූ බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

අදාළ ශීතකරණය දියවැඩියා රෝගීන්ගේ ඖෂධ සුරක්ෂිතව තබා ගැනීමේ අරමුණින් හෝටල් හිමිකරුවෙකු පරිත්‍යාග කළ බව හැඟවෙන පරිදි කූඨ ලේඛන සකස් කර ඇත්තේ හිටපු බන්ධනාගාර අධිකාරි සම්පායෝගේ බලපෑම් මත බවට ඔහු යටතේ සේවය කළ නිලධාරින් කිහිපදෙනෙකු ප්‍රකාශ ලබා දී ඇතැයි ද නීතිපති දෙපාර්තමේන්තුව එහිදී අධිකරණය හමුවේ සඳහන් කර තිබුණා.

ඊසි කෑෂ් ක්‍රමයට ලබා දුන් මුදල් මගින් අදාළ රැඳවියා වෙනුවෙන් මැයි 8 වනදා ශීතකරණය මිලදී ගත් බවට ඒවා මිලට ගත් පුද්ගලයා විසින් ප්‍රකාශයක් ලබාදී ඇති බව ද එහිදී අනාවරණ වීම විශේෂත්වයක්.

එසේම, සිද්ධියට අදාළව බන්ධනාගාර මූලස්ථානයේ පැවැත්වූ විනය පරීක්ෂණය සඳහා බන්ධනාගාරයේ නිලධාරින්ට කොළඹට පැමිණීමට ප්‍රවාහන පහසුකම් සලසා ඇත්තේ සැකකාර නිලධාරියෙකු බව ද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

විනය පරීක්ෂණයේදී එක් නිලධාරියෙකු සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කර තිබීම හේතුවෙන් ඇති වූ බිය නිසා සත්‍ය තොරතුරු හෙළි නොකළ බව බන්ධනාගාර නිලධාරින් විසින් පිළිගෙන ඇතැයි එහිදී තවදුරටත් ප්‍රකාශ වුණා.

***************************************

අයි.ඩී.එච්. රෝහලෙන් පැන ගිය ආසාදිතයාගේ ගමන් මග හෙළි වේ

(24.07.2020 – 20:02 +0530 – hirunews.lk/sinhala)

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (24) අලුයම පලාගිය කොරෝනා ආසාදිතයා පිටකොටුවට පැමිණි ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තවදුරටත් පොලීසිය සහ සෞඛ්‍ය අංශ පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ඒ ඔහු මේ වනවිට සිදුකර ඇති පරස්පර ප්‍රකාශ හේතුවෙන්.

මෙම කොරෝනා ආසාදිතයා පළමුව ඔහු රැඳී සිටි රෝහල් ගොඩනැගිල්ලේ ජනේලයකින් පැන පිටතට පැමිණ ඇති අතර පසුව රෝහල් තාප්පයෙන් පැන පලාගොස් තිබුණේ අද (24) අලුයම දෙකට (02:00) පමණයි.

පසුව අංගොඩ මංසන්ධියට පැමිණ ලෝ ලෙවල් මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්ත හරහා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයට පාගමනින්ම පැමිණි බවයි ඔහු පොලීසියට පවසා ඇත්තේ.

අනතුරුව ඔහුගේ පාදයක කලක පටන් පවතින ආබාධය උත්සන්න වීම හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් කුලියට ගෙන කොළඹ ජාතික රෝහලට පැමිණි බව එම පුද්ගලයා සඳහන් කර තිබුණා.

ඒ අනුව, ආසාදිතයා සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අදාළ ත්‍රිරෝද රථ රියදුරු සිදුකරන ප්‍රකාශ පිලිබඳව පවතින පරස්පරතා මත සී.සී.ටී.වී දර්ශන ඔස්සේ පරීක්ෂණ සිදුකරන බවයි පොලීසිය පවසන්නේ.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය අසලට පැමිණි කොරෝනා ආසාදිත පුද්ගලයා එහි රැදී සිටියදී රෝහල් සේවකයින් දෙදෙනෙකු (2) විසින් පොලීසියට දන්වා ඔහුව පොලිස් භාරයට ගැනීමට කටයුතු සලස්වා තිබුණා.

ඒ රෝහල් සේවකයින් ඔහු හඳුනා ගෙන තිබුණේ ඔහුගේ ඡායාරූපය අන්තර්ජාලයේ පළවීමෙන් අනතුරුවයි.

මෙම කොරෝනා ආසාදිත පුද්ගලයා ත්‍රිකුණාමලය – වල්ලිමලර් ප්‍රදේශයේ පදිංචි එල්සියාම් නසීම් නැමති 41 හැවිරිදි අයෙක්.

ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුලතිව් යුද හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇත්තේ පසුගිය මැයි 11 වනදායි.

පසුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබීම හේතුවෙන් ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෙත යොමුකර සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙන් වැලිකන්ද මූලික රෝහලට යොමුකර තිබුණා.

ඒ පසුගිය 10 වනදායි. එහි සිට අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇත්තේ පසුගිය 15 වනදා බවයි මේ වනවිට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මෙම පුද්ගලයා මේ වනවිට යළි අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට යොමුකර තිබෙනවා.

ඔහු රෝහලෙන් පිටව සිටි අවස්ථාවේ ගැවසුණු ස්ථානවල සමීපතමයින් සොයා තවදුරටත් සෞඛ්‍ය අංශ සහ පොලිසිය පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා තවදුරටත් සඳහන් කළේ කොරෝනා ආසාදිත පුද්ගලයා ජාතික රෝහලට ඇතුළු වීමට පෙර හඳුනා ගත් බැවින් රෝහලේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු ගැටලුවක් ඇති වී නොමැති බවයි.

මේ අතර, අද (24) දිනයේදී කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු මේ වනවිට වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඉන් 09 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් වන අතර, අනෙක් පුද්ගලයා ඔවුන්ගේ ආශ්‍රිතයෙක්.

ඒ අනුව මෙරටින් හමුවූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2764 දක්වා ඉහළ යනවා.

එමෙන්ම, තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ වෛරසය වැළඳුණු පුද්ගලයින් 2094 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග රෝගීන් හඳුනා ගැනීම සඳහා මේ දක්වා පී.සී.ආර්. පරීක්ෂණ 1,50,000 ක් සිදුකර ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

එසේම, කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා කල් දැමූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

+++++++++++++++++++++

***************************************

අනුරාධපුර – වව්නියාව දුම්රිය මාර්ගය සංවර්ධනයට පියවර

(24.07.2020 – 20:13 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේදී අනුරාධපුර සිට වව්නියාව දක්වා වන දුම්රිය මාර්ගය සංවර්ධනයට පියවර ගෙන ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, එම මාර්ගය ලබන වසරේදී මාස කිහිපයකට වසා දැමෙන අතර, සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මෙටි‍්‍රක් ටොන් 1,66,000 ක රේල් පීලි මේ වනවිටත් දිවයිනට ආනයනය කර ඇති බව සඳහන්.

හම්බන්තොට සිට කතරගම දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද කඩිනමින් ඇරඹීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ ෴

***************************************

අසත්‍ය තොරතුරක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැහැදිළි කිරීමක්

(24.07.2020 – 20:39 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකා ඩොලර් බිලියන 4.5 ක් වටිනා එක්සත් ජනපද භාණ්ඩාගාර සුරැකුම්පත් ඇපයට තබමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබාගන්නට යන බවට පැතිර ඇති ප්‍රකාශසම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

අවශ්‍ය අවස්ථාවල එක්සත් ජනපද ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමට යොදා ගැනීමේ තාවකාලික මූලාශ්‍රයක් ලෙසට නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව සමග ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා ගිවිසුමකට එළඹුනු බවයි එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

ලොව බොහෝ මහ බැංකු සිය කෙටි කාලීන ඩොලර් ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස මෙම පහසුකම භාවිත කර තිබෙනවා.

දීර්ඝ කාලීන විදේශ විනිමය ආයෝජන කළඹ පිළිබඳ හදිසි ව්‍යුහමය වෙනස්කම් සිදු කිරීමකින් තොරව අවශ්‍ය අවස්ථාවලදී කෙටිකාලීන අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට මහ බැංකුවකට මෙම පහසුකම මගින් ඉඩ සැලසෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කොරෝනා තත්වය සමග බැඳුනු අවිනිශ්චිත තත්වයන්ට මුහුණදීමේ සැලසුම්වල කොටසක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉහතකී ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුමට එළඹීමේදී ඒ සඳහා යෙදවූයේ ස්වකීය විදේශ විනිමය සංචිතයෙහි ඇතුලත් ඩොලර් බිලියනයක් පමණක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් බවයි.

මෙමගින් ශ්‍රී ලංකා මහ බැංකුවට අවශ්‍ය අවස්ථාවලදී එක්සත් ජනපද ඩොලර් බිලියනයක් දක්වා අරමුදල් සපයා ගැනීමට පහසුකම් හිමිවනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට මෙම ප්‍රති මිලදීගැනුම් පහසුකම පියවා දැමූ විට ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුව උකස් කළ බැඳුම්කර නැවත අප වෙත නිදහස් කරනු ඇති.

එසේ වූ විට ශ්‍රී ලංකා මහ බැංකු සංචිතයෙහි කිසිදු වෙනසක් සිදු නොවන අතර ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට දැරීමට සිදුවන පිරිවැය වනුයේ සියයට 0.35 ක් පමණ වන වාර්ෂික ප්‍රතිමිලදී ගැනුම් ගාස්තුවක් පමණයි.

මේවන විට ශ්‍රී ලංකා මහ බැංකුව ෆෙඩරල් සංචිත බැංකුව සමග මෙම ගිවිසුමට එළඹ සිටිය ද කිසිදු ණය ගැනීමක් තවමත් සිදු කර නැහැ.

එමෙන්ම ඕනෑම අවස්ථාවක අදාළ පහසුකමින් ඉවත්වීමේ අයිතිය ද ශ්‍රී ලංකා මහ බැංකු අභිමතය යටතේ පවතින බවයි මහ බැංකුව නිවේදනය කළේ.

ඒ අනුව ඩොලර් බිලියන 4.5 ක් වටිනා එක්සත් ජනපද භාණ්ඩාගාර සුරැකුම්පත් ඇපයට තබමින් ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබාගන්නට යන බවට පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙවැනි පහසුකම් ඉතා සාමාන්‍ය එමෙන්ම අවශ්‍ය වූ විට භාවිත කළ හැකි ස්වාධීන මූල්‍ය පහසුකමක් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරන්නේ ෴

***************************************

බුර්කාව ගැන හිටපු ජනපති සහ අගමැති දුන් උපදෙස් පාස්කු කොමිසමේදී හෙළිවෙයි

(24.07.2020 – 19:06 +0530 – sinhala.adaderana.lk)

ආරක්ෂක අංශ සහ බුද්ධි ප්‍රධානීන්, ජාතික ආරක්ෂක කවුන්සිලය සතිපතා පවත්වන්නැයි ඉල්ලීම් කළත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව මත එවක එය සතිපතා රැස් නොවූ බව හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා අද (24) අනාවරණය කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලේකම්වරයා ලෙස 2015 සිට 2017 දක්වා ක්‍රියාකළ පී. බී. අබේකෝන් මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසා බැලෙන ජනාධිපති කොමිසමේ දී සාක්ෂි ලබාදෙමින් මේ බව හෙළි කළේය.

කොමිසම ඔහුගෙන් විමසුවේ ජනපති ලේකම්ව සිටි අවදියේ ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වීම සිදුවූයේ කෙසේද? යන්නය.

එහිදී ඔහු පැවසුවේ මුලින් සතිපතා රැස්වුවත් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලු නොතිබීම ගැන සළකා පසුව එම රැස්වීම සතිපතා නොපැවැත්වූ බවය.

ආරක්ෂක අංශ සහ බුද්ධි ප්‍රධානීන්, ජාතික ආරක්ෂක කවුන්සිලය සතිපතා පවත්වන්නැයි ඉල්ලීම් කළත් හිටපු ජනාධිපතිවරයාගේ හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව මත එය සතිපතා රැස් නොවූ බව සාක්ෂිකරු කොමිසමට හෙළි කළේය.

සාක්ෂිකරු පැවසුවේ ආණ්ඩුව පත්වූ මුල් අවස්ථාවලදී එක් රැස්වීමක් අවසානයේ ඊළඟ රැස්වීම පැවැත්වෙන දිනය තීරණය කෙරුණ ද පසු අවස්ථාවලදී ආරක්ෂක කවුන්සිලය පැවැත්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් දිනයක් පවා ලබාගැනීමට සිදුවූ බවය.

හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා හිත හොඳින් තොරව අවසන් වූ ආරක්ෂක කවුන්සිල රැස්වීම්ද පැවති බව අබේකෝන් මහතා පැවසීය.

ඔහු කියා සිටියේ බුර්කාව පැලඳීම තුළ ජාතික ආරක්ෂාවට බලපැම් ඇතිවිය හැකි බව බුද්ධි අංශ ආරක්ෂක කවුන්සිලයට දැනුම් දුන්නත් ඒවා නැවැත්වීමට පියවර නොගෙන ඒ පිළිබඳ සොයාබැලීමට පමණක් ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදුන් බවය.

ඒවා නැවැත්වීමට දේශපාලන අධිකාරිය ඉඩ නොදුන් බව ද හිටපු ජනාධිපති ලේකම්වරයා පැවසීය.

යහපාලන මූලධර්මවලට සහ ආගමික හා ජාතික සංහිඳියාවට බාධාවක් නොවන සේ එම පරීක්ෂාකිරීම් කිරීමට එහිදී උපදෙස් ලබාදුන් බවත් හිටපු ජනපති ලේකම්වරයා පැවසීය.

+++++

මේ අතර සහරාන් හෂීම්ගේ ත්‍රස්‍ත කණ්ඩායමේ ප්‍රබලයෙකු වූ ‘ආමි මොහිදීන්’ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන අතරදී ඔහු සොයාගැනුණත් අත්අඩංගුවට නොගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු එම කොමිසමේ දී පිළිගත්තේය.

රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරු මත, සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙකු වූ ‘ආමි මොහිදීන්’ සොයා 2019 මාර්තු 07 වැනි දා පාසිකුඩා වෙත ගිය නිලධාරියා වන්නේ හිටපු පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරි මහතාය.

ඔහු කොමිසමට පැවසුවේ එදින පොලිස් සැරයන් නන්දලාල් ඇතුළු කණ්ඩායමක් සමග තමා පාසිකුඩා වෙත ගිය බවය.

එහිදී ‘ ‘ආමි මොහිදීන්’ කියල කෙනෙක් පාසිකුඩා මුහුද ළඟ පොල් වත්තක කණ්ඩායම් පුහුණු කරමින් සිටිනවා. අවි පුහුණුවක්ද ලබාදෙනවා. ඔහු අත්අඩංගුවට ගන්න වරෙන්තුවකුත් තියෙනවා’ යනුවෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළ නිලධාරියෙකු දුරකථන පණිවුඩයක් ලබාදුන් බව සාක්ෂිකරු පැවසීය.

ඔහු ‘ආමි මොහිදීන්’ සැඟව සිටින ස්ථානය ද පෙන්වූ බව සාක්ෂිකරු සඳහන් කළේය.

තමන් එම ඉඩම වෙත ගියද ‘ආමි මොහිදීන්’ එහි නොසිටි අතර මුස්ලිම් ජාතික වැඩිහිටි යුවළක් පමණක් එහි රැඳී සිටි බව සාක්ෂිකරු පැවසීය.

නමුත් ‘ආමි මොහිදීන්’ එම නිවසේ රැඳී සිටි බව එම යුවලගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් දැනගත් පසු ඔවුන් ලවා ආමි මොහිදීන්ට දුරකථන ඇමතුමක් දී එහි කැඳවාගත් බව සාක්ෂිකරු කියා සිටියේය.

පසුව ‘ආමි මොහිදීන්’ගෙන් සහරාන් සමග ඇති සබඳතා පිළිබඳ ප්‍රශ්න කළ බව සාක්ෂිකරු පැවසීය.

මෙහිදී ජනාධිපති කොමිසම විමසුවේ එම අවස්ථාවේදී ‘ආමි මොහිදීන්’ අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේද? යන්නයි.

ප්‍රශ්නකිරීම්වලින් හා නිවස අවට කළ සෝදිසිවලින් සැකකටයුතු කිසිවක් සොයාගත නොහැකි වූ බැවින් ඔහු අත්අඩංගුවට නොගත් බව එහිදී ඩයස් මහතා පිළිතුරු දුන්නේය.

කොමිසම යළිත් දැඩි ලෙස ප්‍රශ්න කළේ, සැකකරුවෙකු පළමුවර පරික්ෂා කළ පමණින් තොරතුරු සොයාගත නොහැකි වුවත් ඔහු අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිරිත නොවන්නේද? යන්නයි.

වෙනත් අවස්ථාවලදී එසේ කළ ද මෙම අවස්ථාවේ එවැන්නක් නොකළ බව සාක්ෂිකරු පැවසීය.

කාත්තන්කුඩි, ආලියාර් මංසන්ධියේ ඇතිවූ ගැටුමට අදාළව ‘ආමි මොහිදීන්’ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්ව තිබූ බව ඔබ දැන සිටියාදැයි කොමිසම විමසූ විට සාක්ෂිකරු සඳහන් කළේ, ‘වරෙන්තුවක් තියෙනවා කියල දන්නවා. ඒත් අත්අඩංගුවට ගත්තේ නෑ. විමර්ශනයට අදාළව මට නම් සැකයක් ඇති වුණේ නෑ’ යනුවෙනි.

‘ආමි මොහිදීන්’ සොයාගත් බව අවම වශයෙන් කාත්තන්කුඩි පොලීසියට හෝ දැනුවත් නොකළේදැයි කොමිසම පෙරළා ප්‍රශ්න කළේය.

තමන් ඊටද අවධානයක් නොදුන් බව හිටපු පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

පසුව අධිකරණ වරෙන්තුවක් ක්‍රියාත්මක නොකිරීම නීතියට පටහැනි නොවේදැයි කොමිසම දැඩි ස්වරයකින් ඔහුගෙන් විමසා සිටියේය.

ඊට සාක්ෂිකරු පැවසුවේ, “මට ඒ වෙනකොටත් වැඩ වැඩි වෙලා තිබුණේ, ඒ නිසා වරෙන්තුව එතනට ගෙන්න ගන්නත් බැරි වුණා. මගේ විමර්ශනයට අදාළව මට සැක කරන්න පුළුවන් සාක්ෂියක් ලැබුණේ නැති නිසයි මං අත්අඩංගුවට නොගත්තේ ” ලෙසය.

එදින ‘ආමි මොහිදීන්’ අත්අඩංගුවට ගෙන සහරාන් පිළිබඳ තොරතුරු අනාවරණ කරගත්තේ නම් මෙවැනි ප්‍රහාරයක් සිදුවනවාදැයි කොමිසම විමසූ විට සාක්ෂිකරු පැවසුවේ “ඒහෙම දෙයක් මට හිතෙන්නේ නෑ. මම ඒ ගැන කියන්න දන්නේ නෑ” යනුවෙනි.

සේවයෙන් විශ්‍රාම යන්නට කාලය තිබියදී හදිසියේ විශ්‍රාම යාමට විශේෂ හේතුවක් ඇත්දැයි කොමිසම විමසූ විට ඔහු කියා සිටියේ “මීටත් කලින් යන්න හිටියේ. මේ ගියෙත් ප්‍රමාද වෙලා” ලෙසය.

***************************************

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කෙරෙහි ජනපතිගේ අවධානය – පනත සංශෝධනය විය යුතු ආකාරය අධ්‍යයනයට විද්වත් කමිටුවක්

(24.07.2020 – 22:03 +0530 – hirunews.lk/sinhala)

පුරාවස්තු රැක ගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.

පනත සංශෝධනය කළ යුත්තේ කෙසේදැයි අධ්‍යයනයට මහා සංඝරත්නය සහ විෂය පිළිබඳ විද්වතුන් ඇතුළත් කමිටුවක් පත්කිරීමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.

දීර්ඝ කාලයක සිට සිදු වෙමින් පවතින පුරාවස්තු විනාශය නතර කර රටේ උරුමය අනාගත පරපුරට දායාද කිරීමත් ප්‍රායෝගිකව මතුවන ගැටළු නිරාකරණය පනත සංශෝධනයෙන් අපේක්ෂා කෙරෙනවා.

අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සිව්වන සභාවාරයේ දීයි ජනාධිපතිවරයා මේ තීරණය ගෙන ඇත්තේ.

පුරාවස්තු සංරක්ෂණය සහ සංවර්ධනය දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

කිසිදු පූජනීය ස්ථානයක ඓතිහාසික උරුමයට හෝ පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන අතර, එවැනි සියලු ස්ථාන ජාතික උරුමයක් සේ සලකා ආරක්ෂා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඉදිරිපත් කළ යෝජනා ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කරන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්ෂිකව වෙන් කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන වැඩි කිරීමට සහ සේවක හිඟය පියවීමට පියවර ගන්නා බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඓතිහාසික ස්ථාන සහ පුරාවස්තු සුරැකීමේ වැඩපිළිවෙළට සිවිල් ආරක්ෂක බලකායේ සහය ලබාගැනීමට ඇති හැකියාව ද සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් පවතින නඩු කොළඹ අධිකරණ වෙත මාරු කරන ලෙස මහා සංඝරත්නය කළ ඉල්ලීම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවුණා.

පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන රැක දෙන ලෙස මහා සංඝරත්නය කළ ඉල්ලීම්වලට ක්ෂණික ප්‍රතිචාර දක්වන ලෙසටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ.

යටත් විජිත යුගයේ දී සහ පසුකාලීව මෙරටින් ගෙන ගිය පුරාවස්තු මහා බ්‍රිතාන්‍යයේ සහ ඩෙන්මාකයේ කෝපන් හේගන් කෞතුකාගාරවල තැන්පත් කර ඇති බව මහා සංඝරත්නය පෙන්වා දුන්නා.

යුනෙස්කෝව සමග සාකච්ඡා කර ඒවා මෙරටට ගෙන්වා ගැනීමටයි උන්වහන්සේ යෝජනා කර ඇත්තේ.

ගත වූ පස් වසර (5) තුළ පුරාවස්තුවලට මෙන්ම ඓතිහාසික ස්ථානවලට විශාල වශයෙන් හානි සිදුවූ බව භික්ෂුන් වහන්සේ මෙහිදී පෙන්වා දුන්නා.

විහාරස්ථානවලට අයත් පූජා භූමි විවිධ පිරිස් බලහත්කාරයෙන් අත්කරගෙන සිටින අතර ඉන් ඓතිහාසික බෞද්ධ උරුමයට හානි සිදුව ඇති බවයි උන්වහන්සේ කියා සිටියේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේ කම්කරුවන් දෙදෙනෙකුගේ (2) සේවය අවශ්‍ය තැනට පහළොස් දෙනෙකු (15) බඳවාගෙන ඇති අතර අදාළ සේවාව සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු දැනුමක් තිබී නොමැති බවයි.

අනුමත කාර්ය පටිපාටියෙන් බැහැරව බඳවාගත් පිරිසේ වැටුප් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල වාර්ෂිකව වැය කර ඇති මුදල රුපියල් මිලියන 7000 ක් බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත අධ්‍යක්ෂධූර සංඛ්‍යාව 11 ක් වුවද පුරප්පාඩු සඳහා කිසිවෙකු බඳවාගෙන නැතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

අනුමත සහකාර අධ්‍යක්ෂධූර ගණන 38 ක් වුවත් එහෙත් ඒ සඳහා බඳවාගෙන ඇත්තේ එක් අයෙකු පමණක් වන අතර මෙවැනි තත්වයක දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය නිසි ලෙස ඉටු කළ නොහැකි බවයි කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ.

විශ්ව විද්‍යාලවලින් වසරකට පිටවන පුරාවිද්‍යා විශේෂ උපාධිධාරීන් සංඛ්‍යාව 80 ක් පමණ වන බැවින් පුරාවිද්‍යාව පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමක් ඇති පිරිස් වහා බඳවා ගන්නා ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

උපාධිධාරීන් බඳවා ගැනීමේ දී පුරාවිද්‍යාව හදාළ පිරිස සුගතදාස ක්‍රීඩාංගණයේ සේවා සඳහා පත් කරනු ලැබ සිටින අතර විෂායනුබද්ධ දැනුම ඇති පිරිස අදාළ ක්ෂේත්‍ර වෙත යොමු කිරීමේ වැදගත්කම ද ඔහු පැහැදිළි කළා.

නිධන් හොරුන්ගෙන් පුරාවස්තුවලට සිදුවන බරපතළ හානිය පිළිබඳව පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

“පුරාවස්තු තුළ තිබී රන්, රිදී, මැණික් වැනි වටිනා කිසිවක් මගේ හැට පස් වසරක ගවේෂණ කාලයේ දී හමු වී නැහැ. එබැවින් පුරාවස්තු රැක ගැනීමට ජනතාවට නිවැරදි දැනුමක් දීම ඉතා වැදගත්. පුරාවස්තු පිළිබඳ ගවේෂණ වාර්තාවක් සැකසීම සහ සිතියම්ගත කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක්. නිසි විමර්ශනයකින් තොරව ඉතිහාසය විකෘති කරමින් මත පළ කරන අයට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළා.

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයේ වැදගත්කම මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියන් අවධාරණය කර තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීමේ දී විෂය දැනුම ඇති පිරිස් බඳවා ගැනීමට පියවර ගත යුතු බවයි ද උන්වහන්සේ සඳහන් කර ඇත්තේ.

යටත් විජිත යුගයේ සකස් කළ පුරාවිද්‍යා පනතින් පුරාවස්තු පිළිබඳව පමණක් අවධානය යොමු කර ඇති බව පෙන්වා දුන් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමියන් ජාතික උරුමය සහ ශාසනික ඉතිහාසය සුරැකෙන පරිදි එය සංශෝධනය විය යුතු බව අවධාරණය කළා.

පුරාවිද්‍ය පනත සංශෝධනයේ දී මහා සංඝරත්නය ගැඹුරු අධ්‍යයනයක් කිරීමේ අවශ්‍යතාව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නා හිමියන් පෙන්වා දී තිබෙනවා.

සංස්කෘතික අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා යටතේ තබා ගැනීමේ වැදගත්කම උන්වහන්සේ අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

පුරාවස්තු විනාශ කරන අන්‍ය ජාතීන්ට එය ආගමික දෙයක් නොව, ජාතික උරුමයක් බව වටහා දිය යුතු බවයි අමරපුර මහානිකායේ ශ්‍රී ධර්මරක්ෂිත පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද හිමියන් මෙහිදී පෙන්වා දුන්නේ.

සෙසු ආගමිකයන් සහ අන්තවාදී පිරිස් අතර ද මෙය අවබෝධකරගත හැකි උගත් පිරිසක් සිටින බැවින් පුරාවස්තුවල වටිනාකම් කියාදීමේ වැදගත්කම උන්වහන්සේ පැහැදිළි කර තිබෙනවා.

පූජ්‍ය දිවියාගහ යසස්සි හිමියෝ පුරාවස්තු සුරැකීමට දස වැදෑරුම් (10) යෝජනාවලියක් ඉදිරිපත් කළා.

කෝට්ටේ කල්‍යානි ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පෙන්වා දී ඇත්තේ ‘ජනාධිපතිතුමා පුරාවස්තු සුරැකීම් පිළිබඳ නව සංකල්පයක් සමාජයට ඉදිරිපත් කර තිබේ. එය සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට දායක කර ගන්න පිළිවන්’ යනුවෙන්.

කුරුණෑගල බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා දමා ඇති බවට ගෙන යන ප්‍රචාරය දේශපාලන වුවමනාවක් බවයි වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පුජ්‍ය රැකව ජිනරතන හිමියන් කියා සිටියේ.

දැවයෙන් නිම කළ මණ්ඩපය නගර සභාවට අයත්යැයි කියමින් බුවනෙකබා නමින් හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊට අදාළ සියලු ලියකියවිලි තමා සතු බවයි උන්වහන්සේ කියාසිටියේ.

එහෙත් බුවනෙකබා රජු මෙය ඉදිකළ බවට ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යයක් නැතැයි උන්වහන්සේ පෙන්වා දෙනවා ෴

***************************************

පලාගිය සුරාබදු පරීක්ෂකවරයා අත්අඩංගුවට

(24.07.2020 – 23:40 +0530 – lankadeepa.lk)

අයිස් මත් කුඩු රැගෙන විත් සුරා බදු නියාමකවරයකුට ලබා දුන් බවට චෝදනා ලැබ සිටින පුත්තලම සුරාබදු කාර්යාලයේ සුරාබදු පරීක්ෂකවරයා අද (24) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසය කියයි.

සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ විශේෂ පොලිස් කණ්ඩායමක් පුත්තලම නගරයේදී මොහු අත් අඩංගුවට ගෙන ඇත.

කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු පුත්තලම සුරා බදු කාර්යාලයේ සේවයට ඉකුත් ජනවාරියේ පැමිණ තිබේ.

මොහු විසින් අයිස් මත් කුඩු ග්‍රැම් 125 ක් ලබා දෙන අවස්ථාවේ ඊයේ (23) අළුයම 01:00 පමණ එය ලබා ගැනීමට පැමිණි සුරාබදු නියාමකයකු ඇතුළු පිරිසක් පුත්තලම කොට්ඨාශ දුෂණ මර්ධ ඒකකයට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

එම අවස්ථාවේ අයිස් මත් කුඩු රැගෙන ආ බව කියන සැකකාර සුරාබදු නිලධාරීවරයා ඔහු පැමිණ සිටි මෝටර් රථයෙන් පලා ගොස් තිබේ. එම මෝටර් රථය සමඟ සුරාබදු පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

අයිස් මත් කුඩු රැගෙන යාමට පැමිණි සුරාබදු නියාමකවරයා ලබා දුන් කට උත්තර අනුව මෙම සුරාබදු පරීක්ෂකවරයා අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා තිබුණි ෴

+++++++++++++++++++++

පුත්තලමේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට, සුරාබදු පරීක්ෂකවරයෙකුත් අත්අඩංගුවට

(25.07.2020 – 08:17 +0530 – hirunews.lk/sinhala)

පුත්තලමේ සිදුවූ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සුරාබදු පරීක්ෂකවරයෙකු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම පොලීසියේ උසස් නිළධාරියෙකු සදහන් කළේ සැකකරු ඊයේ (24) රාත්‍රියේ පොලීසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි.

පුත්තලම සුරාබදු කාර්යාලයට අනුයුක්තව සේවය කර ඇති මොහු කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය 23 වන දා අලූයම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 125 ක සමඟ සුරාබදු නිලධාරියෙකු ඇතුළු 8 දෙනෙකු පුත්තලම නගරයේදී කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම අවස්ථාවේදී සුරාබදු පරීක්ෂකවරයා එහි සිට තිබූ අතර පොලීසිය පැමිණීමත් සමඟ ඔහු පළා ගොස් තිබුණා.

අදාළ සුරාබදු පරීක්ෂවරයා විසින් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබූ සුරාබදු නියාමකවරයාට මෙම අයිස් මත්ද්‍රව්‍ය ලබාදී ඇති බවට පොලිසිය සැක කරනවා.

මීට පෙර අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයා, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත සේවයෙන් පහ කිරීමට ද සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කළා.

අත්අඩංගුවට ගත් අටදෙනා (8) අතරින් කාන්තාවන් තුන්දෙනෙකු (3) සහ කුඩා දරුවෙකු (1) ඇප මත මුදාහැර ඇති අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා (2) අද (25) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ විනය සහ මහජනතාව අතර පවතින විශ්වාසය ඇති කිරීම සඳහා සියලුම ප්‍රාදේශීය සුරාබදු ප්‍රධානීන් ලබන බදාදා (29) කොළඹට කැඳවා ඇති බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

මේ අතර වරෙන්තු ලැබ සිටි මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරයෙකු වන කාලිංග කළුඅග්ගල අද (25) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔහු ඊයේ (24) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරවී තිබුණා.

මේ අතර, තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ විසින් දැනට ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම වෙනුවට සංශෝධිත නව පෙත්සමක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දී තිබෙනවා.

මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිවරයා සහ දැනට රාජකාරියේ නියුතු ජේලර්වරුන් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පසුගිය 22 වනදායි.

ඒ, මීගමුව බන්ධනාගාරයේ සිදුවූ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි. පසුගිය පෙබරවාරි මස 18 වනදා සිට මැයි 11 වනදා අතර කාලසීමාව තුළ මීගමුව බන්ධනාගාරයේ එල්-වාට්ටුවේ තිබී ජංගම දුරකථන 6 ක්, සිම් කාඩ්පත් 8 ක්, සිගරට් 414 ක්, විස්කි බෝතලයක් හමුවී තිබූ අතර එහි හත (7) සහ අට (8) කාමරවල තිබී විදුලි උදුන්, විදුලි කේතලයක්, මෙට්ටයක් සහ ශීතකරණයක් මෙන්ම රෙදි පිරවූ අල්මාරියක්ද සොයාගනු ලැබුවා.

මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘වැල්ලේ සාරංග’ගේ සමීපතමයන් දෙදෙනෙකු (2) හෙරොයින් සමඟ මෝදර – ලෙල්ලම ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එක් සැකකරුවෙකු ළඟ හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 320 ක් සහ අනෙක් සැකකරු ළඟ හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 400 ක් තිබූ බවයි. ඔවුන් අවුරුදු 29 සහ 40 යන වයස්වල පසුවන මෝදර ප්‍රදේශයේම පදිංචිකරුවන්.

+++++++++++++++++++++

රිමාන්ඩ් කළ මීගමුවේ ජේලර් බූස්සට

(25.07.2020 – 16:43 +0530 – hirunews.lk/sinhala)

වරෙන්තු ලැබ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනු මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරයෙකු වන කාලිංග කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයට රැගෙන යාමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඔහු මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කරුණාජීව ගමගේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මේ මස 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ.

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ ජේලර්වරුන් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා වරෙන්තු නිකුත් කර තිබුණා.

එලෙස වරෙන්තු ලැබූ ජේලර්වරයෙකු වන කාලිංග කළුඅග්ගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරවී තිබුණේ ඊයේ (24) රාත්‍රියේයි ෴

***************************************

පාවහන් ආනයනය සඳහා වූ තාවකාලික තහනම හදිසියේ ඉවත් කිරීම නිසා පාවහන් නිෂ්පාදකයන් කබලෙන් ළිපට

(25.07.2020 – divaina.com)

කොවිඩ් වසංගත සමයේදී පාවහන් සහ සම්භාණ්ඩ ඇතුළු භාණ්ඩ රැසකට ආනයන තහනමක් රජය විසින් පනවනු ලැබීය. මේ වන විට දේශීය පාවහන් නිෂ්පාදකයෝ මෙම අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් කොවිඩ් වසංගතය නිසා අඩාල වූ තම ව්‍යාපාර ශීඝ‍්‍රයෙන් වර්ධනය කර ගනිමින් සිටිති.

මෙම අවස්ථාවේදී පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය මෙන්ම අදාළ අමාත්‍යාංශය වන කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය පවා දැනුවත් නොකර ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් 16.07.2020 දින අග‍්‍රාමාත්‍යතුමාගේ අත්සනින් නිකුත් කරන ලද ගැසට් 202184/21 පාවහන් සහ ආශ‍්‍රිත නිෂ්පාදන (6402 සිට 6406 දක්වා) සඳහා පනවා ඇති තාවකාලික තහනම ඉවත් කර ඇත. මෙම ක‍්‍රියාමාර්ගය පිළිබඳව විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණයේ පාවහන් නිෂ්පාදකයන් ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇත. මෙය පිටුපස අදිසි හස්ථයක් ක‍්‍රියාත්මක වී ඇති බව නිෂ්පාදකයෝ පවසති.

පසුගිය 15 වැනි දින ඉන්දියානු පාවහන් සමාගමක් වන වී.කේ.සී. සමාගම සහ තවත් දේශීය සමාගම් 2 ක් විසින් මෙම පාවහන් උඩ කොටස් (ඉන්සෝල් සම්බන්ධ කරන ලද) (6406.90.91) තාවකාලික තහනම ඉවත් කරන ලෙස කර්මාන්ත අමාත්‍යාංශය වෙත ඉල්ලීම් කරනු ලදුව, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්. එල්. නසිර් මහතා අදාළ දෙපාර්ශ්වය එනම් සමාගම් 3 සහ පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය ගෙන්වා සාකච්ඡා කරන ලදී. ඒ අවස්ථාවේ අදාළ තහනම ඉවත් නොකරන ලෙස රැස්වීමට සම්බන්ධ වූ කර්මාන්තකරුවන් ඒකමතිකව තීරණයක් ගන්නා ලදී. මෙම රැස්වීමට පසුදිනම මෙවැනි ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීම ගැන විශාල සැක සහිත තත්ත්වයක් මතුවී ඇත.

එයට තවත් හේතුවක් වනුයේ පසුගිය යහපාලන සමයේ දේශීය නිෂ්පාදකයන්ගේ බලවත් විරෝධය මැද සහ කර්මාන්ත අමාත්‍යාංශයේ අනුමැතියක් පවා නොමැතිව 100% ක අගය එකතු කර නිෂ්පාදන කටයුතු කරන බව සඳහන් කර ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය පමණක් ලබාගෙන මෙම විදේශීය කර්මාන්තකරු වන වී.කේ.සී. සමාගම දැනට 35% 40% අගය එකතු කිරීමක් සහිතව දේශීය වෙළෙඳපොළට පිවිසීමයි. මේ සඳහා සියලුම දේශීය කර්මාන්තකරුවන් එකතුව දැඩි විරෝධය දැක්වීමත් සමග ආයෝජන මණ්ඩලය එම අනුමැතිය දුන් 16 වන වගන්තිය ඉවත් කර ගන්නා බවට පොරොන්දු වී ඇතත් තවමත් එවැන්නක් සිදුවී නොමැත.

මෙම පාවහන් ආනයනය තාවකාලිකව තහනම් කිරීම නිසා අපේ දේශීය නිෂ්පාදකයන් රැසක් විශාල වශයෙන් ප‍්‍රතිලාභ ලබමින් සිටිති. ඔවුන් නව යන්ත්‍රෝපකරණ පවා මිලදී ගෙන ඔවුන් උසස් තත්ත්වයේ මෙන්ම නව විලාසිතා පාවහන් නිෂ්පාදනය කරමින් මෙම ආනයනික පාවහන් සඳහා වූ වෙළෙඳපොළ රික්තය පූර්ණ කරමින් සිටිති. මෙම තහනම මෙසේ හදිසියේ ඉවත් කිරීමට කිසිදු හේතුවක් නොමැති අතර, දැනට පාවහන් ආශ‍්‍රිත නිමි භාණ්ඩ වෙළෙඳපොළෙහිද කිසිදු හිඟයක් නැත. මෙම තීරණය වසංගත තත්ත්වය නිසාවෙන් ගැටලුවලට මුහුණ දුන් සුළු සහ මධ්‍යම පරිමාණ නිෂ්පාදකයන් දැඩි අපහසුතාවයකට පත්කරනු ඇත. දිවයින පුරා විසිර සිටින 400,000 කට අධික පාවහන් ක්ෂේත‍්‍රයේ සෘජුව සහ වක‍්‍රව දිවි රැකගන්නා පිරිසක් මේ නිසා ඉතා කලකිරීමට පත්වී සිටිති.

මෙම මැතිවරණයට දින කීපයක් තිබෙන මෙවැනි අවස්ථාවල මෙවැනි තීරණ ගැනීමෙන් රජයට සිදුවන හානියද සුළුපටු නොවනා බව තේරුම් ගැනීමටවත් නොහැකි සමහර පුද්ගලයන් තම පෞද්ගලික වුවමනාවන් ඉටුකර ගැනීමට මෙවැනි දේ සිදුකරන බවට මතයක් නිෂ්පාදකයෝ පවසති ෴

***************************************

සජිත්ට-ජලනිට දරුවන් නැතැයි කිවුවා කියා අගමැති මහින්දටට විරුද්දව කාන්තාවන් විරෝධතා..

(25.07.2020 – 03:27 +0530 – lankacnews.com)

සමගි ජනබලවේගය නියෝජනය කරන මහජන නියෝජිතවරියන් ඇතුළු කාන්තාවක් පිරිසක් අගමැති කාර්යාලය ඉදිරියේ ඊයේ (24) දිනයේ නිහඬ විරෝධතාවක් පැවැත්වීය.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකට විරෝධය පල කරමින් මෙම විරෝධතාවය පල කලහ.

සජිත් පේ‍්‍රමදාස මහතාට දරුවන් නැති බව අඟවමින් අගමැතිවරයා මැතිවරණ වේදිකාවේ අදහස් පල කලැයි මෙම විරෝධය පැවැත්විණ.

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු ඇතුලු පිරිසක් මේ සදහා එක්ව සිටියහ ෴

***************************************

නැගනෙහිර ජැටිය ඉන්දියාවට දෙන්න එපා…! වරාය සේවකයින් ජනපතිට කියයි

(24.07.2020 – newsfirst.lk/sinhala)

කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්ත ඉන්දීය සමාගමකට බදුදීමේ යෝජනාවට විරුද්ධව වෘත්තීය සමිති අදත් ඒකාබද්ධ විරෝධතාවක නිරත විය.

ඔවුන් අද (24) සිය ඉල්ලීම් ජනාධිපති කාර්යාලයට ද ඉදිරිපත් කර තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව මුල් කරගනිමින් මෙම විරෝධතාවය ආරම්භ වූයේ අද (24) දහවල් 12:20 ට පමණි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව කොළඹ වරාය පරිශ්‍රය සිට පා ගමනින් ජනාධිපති කාර්යාලයට පැමිණියේ ය.

පා ගමන හේතුවෙන් ලෝටස් වටරවුම වසා දැමීමට ද පොලීසිය පියවර ගත්තේ ය.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි වෘත්තිය සමිති 23 ක නියෝජිතයින් සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට රැගෙන ගියේ ය.

පැය එකහමාරකට පමණ පසුව වෘත්තිය සමිති නියෝජිතයින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණ තිබේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් කර තිබුණේ නැගනෙහිර පර්යන්තය ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහයට බදු දිය යුතු බවයි.

ඒ හරහා ලැබෙන මුදලින් වරාය අධිකාරියේ ණය ගෙවීමට හැකි බව අමාත්‍යවරයා පෙන්වාදී තිබුණි.

මීට පෙර සාගල රත්නායක මහතා ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ව්‍යපෘතියක් ලෙස නැගෙනහිර පර්යනත්ය දියුණු කළ යුතු බවට ලිඛිත එකඟතාවක් ඇති කරගෙන තිබේ.

***************************************

කොවිඩ් අරමුදලෙන් පී.සී.ආර්. පරීක්ෂණවලට, කෝටි තුනහමාරක් (3½)

(25.07.2020 – 07:19 +0530 – hirunews.lk/sinhala)

පී.සී.ආර්. පරීක්ෂණ සදහා කොවිඩ් අරමුදලෙන් රුපියල් 3,66,00,5612 ක් ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ ඊට අදාළ චෙක්පත මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත භාර දුන් බවයි. මේ වනවිට එම අරමුදල රුපියල් මිලියන 1525 ක් ඉක්මවා තිබෙනවා.

මේ අතර, ඊයේ (24) දිනයේදී කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු මේ වනවිට වාර්තා වීමත් සමග මෙරටින් හමුවූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2764 දක්වා ඉහළ ගියා.

එමෙන්ම, ඊයේ (24) කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ වෛරසය වැළඳුණු පුද්ගලයින් 2094 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා ෴

***************************************

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (25) ජල සැපයුම අත්හිටුවයි

(25.07.2020 – 09:41 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (25) රාත්‍රී 8 සිට හෙට (26) පෙරවරු 5 දක්වා පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

මීට අමතරව කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනය යටතේ ජල සැපයුම සිදුකරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

මහා පරිමාණ ලෙස රක්ෂිත එළිකරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

(25.07.2020 – 10:27 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණ ලෙස රක්ෂිත වනය එළිපෙහෙලි කරමින් සිටි පුද්ගලයෙකු මඩු රක්ෂිතයේ කිරිසුඩ්ඩාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ මන්නාරම – පරයනාලන්කුලම් කඳවුරේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

රක්ෂිතය එළිපෙහෙලි කිරීම සඳහා යොදා ගත් ඩෝසරයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මඩු අඩවි වන කාර්යාලය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴

***************************************

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු හයක් අත්අඩංගුවට

(25.07.2020 – 11:49 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් බෙදාහැරීමේ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් හයදෙනෙකු (6) හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 45 ක් සහ එම ජාවාරමෙන් උපයාගත් රුපියල් මිලියනයකට අධික මුදල් ද සමඟ බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මිරිහාන විශේෂ විමර්ශන නිලධාරී කණ්ඩායමක් අද (25) සිදුකළ වැටලීමකදීයි. මොවුන් මිරිහාන, බොරලැස්ගමුව සහ හොරණ යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරතව ඇති බව අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදාගත් ත්‍රිරෝද රථයක්, වෑන් රථයක් සහ යතුරුපැදියක්ද පොලිසිය භාරයට ගනු ලැබුවා ෴

***************************************

නාකොටික්, එස්.ටී.එෆ්. ඇතුළු සංවේදී අංශවල නිලධාරීන් අධීක්ෂණයට, වෙනම ඒකකයක්

(25.07.2020 – 12:38 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය වැනි සංවේදී අංශයන් හි විමර්ශන කටයුතු සිදුකරන නිලධාරීන් අධීක්ෂණයට වෙනම ඒකකයක් හෝ කොට්ඨාශයක් ස්ථාපිත කිරීම සඳහා පොලිස් කොමිෂන් සභාව වැඩබලන පොලිස්පතිවරයාගෙන් විමසීමක් කර තිබෙනවා.

මෑත කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් සම්බන්ධ බවට අනාවරණ වූ තත්ත්වයන් සැලකිල්ලට ගෙන පොලිස් කොමිසම එම යෝජනාව පිළිබඳ අවධානය යොමු කළ බවයි එහි ලේකම් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේ.

ඒ අනුව මාසයක් ඇතුළත අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙස පොලිස් කොමිසම, වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

ඒ යටතේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය වැනි අංශයන් හි කටයුතු කරන නිලධාරීන්ගේ සම්පූර්ණ ක්‍රියාකාරකම් මාස 6 න් හයට අධීක්ෂණය කිරීමට අපේක්ෂිතයි.

එමෙන්ම, අදාළ නිලධාරීන්ගේ බැංකු ගිණුම් සහ වත්කම් පරීක්ෂා කිරීමට ඇති නෛතික තත්ත්වයන් සොයා බලන ලෙස ද පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව සඳහන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *