රත්නපුර හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු 3 කට මරණ දඬුවම

(31.07.2020 – 16:02 +0530 – hirunews.lk/sinhala)

2015 ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු 3 දෙනෙකුට අද (31) මරණ දඬුවම නියම කළා.

පැය 3 කට ආසන්න කාලයක් අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන එම තීන්දුව ලබා දුන් බවයි රත්නපුර හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි මෛත්‍රීපාල සිරිසේනගේ කහවත්තේ පැවති රැස්වීමක සැරසිලි කඩා දමා තුවාල සිදුකිරීම අරමුණු කර ගෙන, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයෙක්ව සිටිමින් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම හා බියවැද්දීම මෙන්ම, ශාන්ත දොඩම්ගොඩ නම් 57 හැවිරිදි අයෙක් ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 9 ක් යටතේ විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

කෙසේ වෙතත්, වසර දෙකක (2) කාලයක් පැවති මූලික සාක්ෂි විමසීමෙන් අනතුරුව ඉන් සිව් දෙනෙකු (4) නිදොස් කොට නිදහස් කෙරුණා.

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව හිටපු පළාත් සභා මන්ත්‍රී අරුණ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා යන අයට එරෙහිව තවදුරටත් නඩුව පවත්වාගෙන ගිය අතර ඔවුන්ට එරෙහිව සාක්ෂි 59 ක් ගොනුකර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ ප්‍රේමලාල් ජයසේකර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තිදෙනා අධිකරණයට පැමිණ සිටියා.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔවුන් කුරුවිට බන්ධනාගාරය වෙත රැගෙන යාමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ඒමට කටයුතු කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

+++++++++++++++++++++

***************************************

බාල වයස්කාර දැරියක් අපයෝජනය කර වරද පිළිගත් පුද්ගලයෙකුට ලැබුණු දඬුවම

(31.07.2020 – 17:21 +0530 – hirunews.lk/sinhala)

වැලිවේරිය ප්‍රදේශයේදී දි බාල වයස්කාර දැරියක් අපහරණය කිරීම සහ අපයෝජනයට ලක් කිරීම යන චෝදනා දෙකට වරද පිළිගත් පුද්ගලයෙකුට වසර 10 කට අත් හිටවූ බරපතළ වැඩ සහිත වසර 2 ක සිර දඬුවම් නියමකර තිබෙනවා.

ගම්පහ මහාධිකරණයයි නියෝගය ලබාදී ඇත්තේ.

සැකකරුට එල්ලවී ඇති එක් චෝදනාවකට රුපියල් 5000 බැගින් රුපියල් 10,000 ක දඩයක් ද නියම වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දඩ මුදල් නොගෙවන්නේ නම් වසරක සිරදඬුවමක් ලබාදීමට විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

වින්දිත දැරියට අපයෝජනයට ලක්වන විට වයස අවුරුදු 15 ක් වන අතර විත්තිකරුට වයස අවුරුදු 21 ක් බවත් දෙදෙනා පෙම්වතුන් බවටයි මහාධිකරණයේදී අනාවරණය වී ඇත්තේ.

2015 වසරේඅගෝස්තු මස 30 වන දින හෝ ඊට ආසන්න දිනයක දී වැලිවේරිය මුදුන්ගොඩ ප්‍රදේශයේ දී මෙම අපයෝජනය සිදුව ඇති බව සඳහන්.

ඉහත චෝදනා සම්බන්ධයෙන් 26 හැවිරිදි විත්තිකරුට මෙලෙස දඩ සහ අත් හිටවු සිර දඬුවම් නියම වූ අතර දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ද ගෙවීමට නියම කෙරුණා ෴

***************************************

රාජිතට සහ රූමිට අධි චෝදනා – සුදුවෑන් නඩුවට මාධ්‍ය හමුවේ පෙනී සිටි දෙදෙනා (2) රජයේ සාක්ෂිකරුවන් වෙයි

(31.07.2020 – 17:23 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමිට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ නීතිපතිවරයා විසින් මොවුන්ට එරෙහිව අද (31) දිනයේදී අධි චෝදනා ගොනුකළ බවයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙම ආන්දෝලනාත්මක මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර, ඒ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුව ඔහු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබුවා.

අදාළ මාධ්‍ය හමුවේදී සුදුවෑන් රියදුරන් වශයෙන් ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා (2) රජයේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබෙනවා ෴

+++++++++++++++++++++

***************************************

ඡන්දය දාන්න යන්න අමතර බස් සහ දුම්රිය

(31.07.2020 – 17:47 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලායන ජනතාවට කොළඹ සිට විශේෂ ප්‍රවාහන සැලැස්මක් අද (31) සිට ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

කොරෝනා වසංගත තත්වය නිසා ජනතාවගේ සෞඛ්‍ය තත්වයට බලපෑමක් ඇති නොවන පරිදි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවලට යටත්වයි මෙම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කෙරෙන්නේ.

කොළඹ කොටුවේ සිට ප්‍රධාන දුම්රිය මාර්ගය ඔස්සේ අනුරාධපුරය, යාපනය ඇතුළු ප්‍රදේශ දක්වා මෙන්ම මුහුදු බඩ දුම්රිය මාර්ගය ඔස්සේ ගාල්ල, මාතර ප්‍රදේශ වෙත මෙම දිනවලදී විශේෂ දුම්රිය කිහිපයක් මගී අවශ්‍යතා පරිදි අද (31) සිට යොදවන බවයි දුම්රිය පාලක මැදිරි ප්‍රකාශයෙකු පැවසුවේ.

මේ අතර කොළඹ මධ්‍යම බස් නැවතුම් පොළේ සිට දුර පළාත් සියල්ලම පාහේ ආවරණය වන පරිදි අමතර බස් රථ අද (31) පස්වරුවේ සිට ධාවනයේ යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සභාපති කිස්ලි රණවක පවසනවා.

එමෙන්ම කොටුව බැස්ටියන් මාවත බස් නැවතුම් පොලේ සිට ද දුර පළාත් සඳහා අමතර පෞද්ගලික බස් රථ රැසක් ද මෙම දිනවලදී ධාවනයේ යෙදවීමට නියමිත බවයි ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා සඳහන් කළේ.

ගම බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණිම සඳහා ද මෙම සේවාවන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා ෴

***************************************

ETI අධ්‍යක්ෂවරුන් අදත් CIDයට

(31.07.2020 – 19:25 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ ප්‍රකාශ ලබාදීම සඳහා අද (31) දෙවන (2) දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඔවුන් අද (31) පස්වරු 05:30 ට පමණ ඉන් පිටව ගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඊ.ටී.අයි. සමාගමේ අක්‍රමිකතා සහ අයථා ක්‍රියා පිළිබඳව සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඊයේ (30) දිනයේදී ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා ෴

***************************************

ශානි අබේසේකරගෙන් CCDය තවදුරටත් ප්‍රශ්න කරයි

(31.07.2020 – 19:55 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය තවදුරටත් ප්‍රශ්න කරමින් සිටිනවා.

ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු අද (31) දිනය තුළ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ඔහු අද (31) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගනු ලැබුවේ නාරාහේන්පිට – ඇල්විටිගල නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදියි.

ඒ, මරණ දඬුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සම්බන්ධයෙන් වන නඩුවේ ගිනි අවි අත්අඩංගුවට ගැනීමට අදාළව සාක්ෂි වසන් කිරීමේ චෝදනාවකට අදාලවයි.

ප්‍රසිද්ධ ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන සහ තවත් සිව් දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළේ 2015 වසරේ නොවැම්බර් 27 වන දායි.

එම අවස්ථාවේ වාස් ගුණවර්ධන, අධිකරණය හමුවේ කියා සිටියේ එවක සහකාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ ශානි අබේසේකර තමා සමඟ ඇති පෞද්ගලික අමනාපයක් හේතුවෙන් තම පුත්‍රයා ද මෙම නඩුවට සම්බන්ධ කරගෙන ඇති බවයි.

https://www.youtube.com/watch?v=CHmaVeQq7wk

+++++++++++++++++++++

CCD අත්අඩංගුවට ගත් ශානි අබේසේකර අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යයි

(31.07.2020 – 20:47 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබෙනවා.

වැඩ තහනමකට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ අද (31) පෙරවරුවේයි.

ඒ නාරාහේන්පිටල ඇල්විටිගල නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදීයි.

ඒ මරණ දඬුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සම්බන්ධ නඩුවේ ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයකදී ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවකට අදාළවයි.

ප්‍රසිද්ධ ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සහ තවත් සිව්දෙනෙකුට (4) කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළේ 2015 වසරේ නොවැම්බර් මස 27 වැනිදායි.

කෙසේ වෙතත් වාස් ගුණවර්ධනට මරණ දඬුවම නියම කළ අවස්ථාවේ ඔහු අධිකරණය හමුවේ සදහන් කළේ එවක සහකාර පොලිස් අධිකාරි ලෙස කටයුතු කළ ශානි අබේසේකර තමා සමඟ ඇති පෞද්ගලික අමනාපයක් හේතුවෙන් තම පුත්‍රයාද මෙම නඩුවට සම්බන්ධ කරගෙන ඇති බවයි.

+++++++++++++++++++++

CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අගෝස්තු 7 දක්වා රිමාන්ඩ්

(31.07.2020 – 22:49 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අපරාධ කොට්ඨාසය අද (31) පෙරවරුවේ අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ලබන අගෝස්තු මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔහු අද (31) පස්වරුවේ ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද (31) පෙරවරුවේ අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර උදෑසන 9 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාස මූලස්ථානයට රැගෙන ආ අතර, ඔහුගෙන් පැය 11 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගියා.

ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අද (31) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේ නාරාහේන්පිටල ඇල්විටිගල නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදීයි.

ඒ මරණ දඬුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සම්බන්ධ නඩුවේ ගිනි අවි අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයකදී ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවකට අදාළවයි.

ප්‍රසිද්ධ ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සහ තවත් සිව්දෙනෙකුට (4) කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළේ 2015 වසරේ නොවැම්බර් මස 27 වැනිදායි.

කෙසේ වෙතත් වාස් ගුණවර්ධනට මරණ දඬුවම නියම කළ අවස්ථාවේ ඔහු අධිකරණය හමුවේ සදහන් කළේ එවක සහකාර පොලිස් අධිකාරි ලෙස කටයුතු කළ ශානි අබේසේකර තමා සමඟ ඇති පෞද්ගලික අමනාපයක් හේතුවෙන් තම පුත්‍රයාද මෙම නඩුවට සම්බන්ධ කරගෙන ඇති බවයි ෴

+++++++++++++++++++++

***************************************

සම්පායෝ ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් පොලීසියට යළි සිහි කැඳවීමක්

(31.07.2020 – 20:00 +0530 – hirunews.lk/sinhala)

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනා එල්ල වන එම බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගත යුතු බවත්, එසේ නොවන්නේ නම් ඊට හේතු ලබන අඟහරුවාදා (04) නඩු දිනයේදී පොලිසිය, අධිකරණයට ප්‍රකාශ කළ යුතු බවත් නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව කියා සිටියා.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ ජේලර්වරුන් තුන් දෙනෙකුට (3) මෙම සිදුවීමට අදාළව පසුගිය 22 වැනිදා වරෙන්තු නිකුත් කළ අතර, එලෙස වරෙන්තු ලැබූ ජේලර්වරුන් තුන් දෙනා (3) අවස්ථා දෙකකදී (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට භාර වුණා.

කෙසේ වෙතත්, වරෙන්තු නිකුත් කර දින 09 ක් ගතව ඇතත්, වැඩතහනමට ලක්ව සිටින අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව නැහැ.

හිටපු බන්ධනාගාර අධිකාරීවරයා මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කොළඹ අද (31) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාගෙන් ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

+++++++++++++++++++++

***************************************

කිරුළපන නිවසකින් ආයුද සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(01.08.2020 – 06:50 +0530 – hirunews.lk/sinhala)

කිරුළපන නිවසක් පරීක්ෂා කිරීමේදී තිබී ජීව උණ්ඩ ඇතුළු ආයුද සමඟ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිරුළපන කොළඹගේ මාවතේ නිවසක් පරීක්ෂාවේදීයි මෙම ආයුද සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී කඩු 02, කිනිසි 02 හා විවිධ වර්ගවල ජීව උන්ඩ 20 ක් හමුව ඇති බවයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ ෴

***************************************

ඩොලර් 140,000 ක් සහ රුපියල් කෝටි 3 ක මුදල් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දෙමටගොඩ දී අත්අඩංගුවට

(01.08.2020 – 07:13 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලදැයි සැලකෙන ඇමරිකානු ඩොලර් 140,000 ක් සහ රුපියල් කෝටි 3 ක මුදල් සමඟ සැකකරුවෙකු දෙමටගොඩ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකින් මෙම මුදල් තොගය සොයාගෙන ඇති අතර, ඒවා මුන්ඩියාල් ක්‍රමයට හුවමාරු කිරීමට නියමිතව තිබූ බව සඳහන්.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් ද සොයාගෙන තිබෙනවා.

මොහු මුදල් පොලියට දෙන පුද්ගලයෙකු ලෙස පෙනී සිට ඇති බවයි විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ ෴

***************************************

මැතිවරණ පැමිණිලි 6000 ඉක්මවයි

(01.08.2020 – 07:22 +0530 – hirunews.lk/sinhala)

මහමැතිවරණයට අදාළ පැමිණිලි 6015 ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

එම කොමිසම සඳහන් කළේ ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 1084 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 4931 ක් ලැබී ඇති බවයි ෴

***************************************

පුරාවිද්‍යා ස්ථාන හානි කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ජනපති කියයි

(01.08.2020 – 07:32 +0530 – hirunews.lk/sinhala)

පූජනීය ස්ථානවල ඓතිහාසික උරුමයට හෝ පුරාවිද්‍යාත්මක දේපලවලට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ (31) පස්වරුවේ මොනරාගල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා වැල්ලවාය ප්‍රධාන බස්නැවතුම්පොල අසල පැවති ජනහමුවකට එක්වුණා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ සියලු ඓතිහාසික ස්ථාන ආරක්ෂා කරමින් වෙල්ලස්සේ උරුමය සුරකින වැඩපිළිවෙලක් ඉදිරියේදී සකස් කරන බවයි.

ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ඓතිහාසික වටිනාකමකින් යුත් වෙහෙර විහාර නිධන් හොරුන්ගෙන් ආරක්ෂා කර දෙන ලෙසයි.

එමෙන්ම, බුදුරුවගල සහ බතලආර වැව ඇතුළු වැව් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ද ජනාධිපතිවරයාගෙන්, ජනතාව ඉල්ලීමක් කර තිබෙනවා ෴

***************************************

බ්‍රිතාන්‍යයේ එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කර ගැනීමේ උත්සාහයක්

(01.08.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala)

ටී.ජී.ටී.ඊ. හෙවත් ‘දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය’ නැමති සංවිධානය මේ වන විට පැවති එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කාර්ය භාරය ඉටු කරන බව බ්‍රිතාන්‍යයේ නෙස්බි සාමිවරයා පවසනවා.

ඔහු සඳහන් කළේ ලොව පුරා යොවුන් දෙමළ ප්‍රජාව ඉලක්ක කරගෙන ඔවුන් මේ වන විට ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, බ්‍රිතාන්‍යය තුළ එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ග ද අරඹා ඇති බවයි.

“මානව හිමිකම් සුරැකීමේදී පුද්ගලිකත්වය හඹායාම අභියෝගකාරි කරුණක්. ගඩාෆි, සදාම් හුසේන් සම්බන්ධයෙන් අප මැදිහත්වීමේදී ඒ ජන ප්‍රජාවන්ට සිදුවූයේ ඉමහත් විනාශයක්. කණගාටුවෙන් මතක් කළ යුතු කරුණක් වන්නේ 2011 වසරේදී අප තහනම් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය අද දෙමළ ඊලාම් සංක්‍රාන්ති රජයෙන් ප්‍රතිස්ථාපනය වී තිබෙනවා. ඔවුන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අනුරූපයක් වන අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් සිටිනවා. දෙමළ ඊලාම් සංක්‍රාන්ති රජය ඔවුන්ට බ්‍රිතාන්‍යයේ පැනවූ තහනම ඉවත් කර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ග ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඔවුන් කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය හෙළා දැකීමක් සිදුනොකළ අතර, ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ද ප්‍රතික්ෂේප කළේ නැහැ. හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගෙන් සමන්විත මෙම දෙමළ ඊලාම් සංක්‍රාන්ති රජය මේ වනවිට ලොවපුරා දෙමළ ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිය ප්‍රචාරණ කටයුතු වල නිරත වනවා.”

***************************************

අඟහරු ග්‍රහයාට යැවූ රෝවරයේ විද්‍යුත් පරිපථ යාන්ත්‍රික සැලැස්ම නිර්මාණය කළ ලාංකික කාන්තාව

(31.07.2020 – 16:32 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකාවේ නාසා ආයතනය බ්‍රහස්පතින්දා (30) අඟහරු ග්‍රහයා මත ජීවය (Life) ඇත්දැයි සොයාබැලීම සඳහා පර්යේෂණ රෝබෝවක් කක්ෂගත කළේය.

ටොන් එකක් (1) පමණ බරින් යුතු එම රෝවරය (Rover) මගින් අඟහරු ග්‍රහයාගේ පාෂාණ සහ පස් සාම්පල එකතු කරනු ඇතැයි ද ඒවා මෙම දශකය අවසන් භාගයේදී පෘථිවියට ගෙන ඒමට අපේක්ෂා කෙරෙන බව ද විදෙස් වාර්තා පවසයි.

මෙම රෝවරය ශ්‍රී ලංකිකයන්ටත් වැදගත් වේ. ඒ, එය නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලාංකික විද්‍යුත් ඉංජිනේරුවරියක් සිය දායකත්වය ලබාදුන් බැවිනි.

ඇය මෙලනි නිලන්ති මහආරච්චි ය. මේ වනවිට ඇය එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යයනය පිළිබඳ ව පශ්චාත් උපාධියක් හදාරන්නීය.

කොළඹ උපන් ඇය, ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සහ බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවකි.

2003 වසරේදී සිය සැමියා සහ දරුවන් සමග අමෙරිකාවට සංක්‍රමණය වී තිබේ. ඉන්පසු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය ලබාගෙන ගුවන් යානා නිර්මාණ ඉංජිනේරු ක්ෂේත්‍රය සිය වෘත්තීය ලෙස තෝරාගෙන තිබේ.

ඇය නාසා ආයතනය හා සම්බන්ධ වී ඇත්තේ 2015 වසරේ දීය.

‘Mars Rover’ යානය තුළ විද්‍යුත් පරිපථයේ යාන්ත්‍රික සැලැස්ම (Electrical system mechanical layout) නිර්මාණය කිරීමට ඇය පූර්ණ දායකත්වය ලබාදී ඇත. “එය මම තනියෙන් ම නිර්මාණය කළේ”.

***************************************

විනිසුරුවරු අසුන් නොගනී – රිෂාඩ් ට එරෙහි පෙත්සමේ තීන්දුව කල්යයි

(31.07.2020 – 15:24 +0530 – sinhala.adaderana.lk)

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි මරිච්චිකට්ටු, කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපය හෙළි පෙහෙළි කොට නිර්මාණය කර ඇති අනවසර ජනාවාස ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් කල්දමා තිබේ.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සමේ තීන්දුව අද (31) ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණි.

එහෙත් එම විනිසුරුවරු අසුන් නොගත් අතර මේ හේතුවෙන් අභියාචනාධිකරණ අංක 204 ශාලාවේ අද දින කැඳවීමට නියමිතව තිබූ නඩු සියල්ල අගෝස්තු මස 26 වනදා දක්වා කල් තබන බව නිවේදනය කර තිබේ.

කෙසේවෙතත් විල්පත්තු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය ෴

***************************************

කොමිසමේදී කළ හෙළිදරව්ව – ත්‍රස්තවාදී සහ අන්තවාදී පාර්ශ්වවලට සහය දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරුන්

(31.07.2020 – 14:52 +0530 – sinhala.adaderana.lk)

හිටපු නියෝජ්‍ය ඇමතිවරුන් වූ අමීර් අලී සහ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන මහත්වරුන්, ත්‍රස්තවාදී සහ අන්තවාදී පාර්ශ්වවලට සහය දක්වා ඇතැයි පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ දී අනාවරණ වුණි.

ඒ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (30) සිව්වන දිනටත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී ය.

2016 නොවැම්බර් 20 වැනිදා ‘ජාතික තවුහිත් ජමාත්’ කාර්යාලයේ දී සහරාන් හෂීම් විසින් කළ දේශනයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය නිකුත් කළ බුද්ධි වාර්තාව කෙරෙහි ඊයේ (30) ජනාධිපති කොමිසමේ අවධානය යොමු වුණි.

කොමිසම එහිදී විමසා සිටියේ, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා 2016 නොවැම්බර් 18 වැනිදා පාර්ලිමේන්තුවේ දී මුස්ලිම් පවුල් 04 ක සාමාජිකයින් තිස් දෙදෙනකු (32) අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ වී ඇති බවට කළ ප්‍රකාශයට එරෙහිව මුස්ලිම් සංවිධාන සහ දේශපාලනඥයන් පළකළ අදහස් බුද්ධි වාර්තාවට ඇතුළත්ද යන්න ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දුන්, රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂවරයා පැවසුවේ, හිටපු ඇමතිවරුන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, එවක නැගෙනහිර පළාත් ප්‍රධාන ඇමතිවරයා මෙන්ම මුස්ලීම් කවුන්සලයේ එම්.එන්.අමීන් එම ප්‍රකාශයට එරෙහිව සිදුකළ ප්‍රකාශ මෙම වාර්තාවට අන්තර්ගත බවය.

එමෙන්ම 2017 වසරේ මාර්තු මස 10 වැනිදා දින ආලියාර් මංසන්ධියේදි සහරාන් හෂිම්ගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය සහ ‘සුන්නත් වල් ජමාත් සංවිධානය’ අතර ඇතිවු ගැටුමෙන් පසු සහරාන්ගේ කණ්ඩායමට හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් වූ අමීර් අලී මහතා ද, අනෙක් පාර්ශවයට හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් වූ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහාතා ද දේශපාලනිකව සහය දැක්වු බව ජනාධිපති කොමිසම හමුවේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

සහාරාන් හෂිම් ප්‍රමුඛ ජාතික තවුහිද් ජමාත් සංවිධානය පිළිබඳවත්, මෙරටට සිදුව ඇති අයි.එස් බලපෑම පිළිබඳවත් ප්‍රහාරයට පෙර කාලවකවානුවේ රාජ්‍ය බුද්ධි සේවය විසින් ආරක්ෂක ලේකම්වරයා සහ ජාතික බුද්ධි ප්‍රධානියා දැනුවත් කර තිබියදි ඔවුන් ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න මෙහිදි ජනාධිපති කොමිසම ප්‍රශ්න කර ඇත.

එයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ රාජ්‍ය බුද්ධි සේවය ලෙස තමන් සෑම විටම බුද්ධි තොරතුරු ලබා දී ඇති අතර ඒ පිළිබඳ ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි ඔවුන්ගෙන් අසා දැනගත යුතු බවය.

කෙසේ වෙතත් ඊයේ (30) දිනයේද කොමිසම විසින් ප්‍රශ්න කළ අවස්ථා කිහිපයකදී නිලන්ත ජයවර්ධන මහතා ජාතික ආරක්ෂක කවුන්සලය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කොමිසම් ශාලාව ජනාධිපති කොමිසම සහ නීතිපති දෙපාර්තමේන්තුව පමණක් රැඳී සිටින අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ කිසිදු අවස්ථාවක කොමිසම සහ නීතිපති දෙපාර්තමේන්තුව පමණක් සිටින අවස්ථාවක සාක්ෂිකරුට සාක්ෂි ලබාදීමට ඉඩ දිය නොහැකි බවය.

මන්ද යත් මෙම සිදුවීමට සම්බන්ධයෙන් තවත් පාර්ශව කිහිපය නීතිඥයින්ට මේ වන විට නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂියට සවන් දී හරස් ප්‍රශ්න විමසීම අවස්ථාව ලබා දී ඇති බැවින් නිලන්ත ජයවර්ධන මහතාගේ සම්පුර්ණ සාක්ෂිය ඔවුන් සිටියදි ලබාගත යුතු බව ජනාධිපති කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේය.

***************************************

අන්සතු බැංකු කාඩ්පතක් යොදාගෙන කළ සොරකම

(31.07.2020 – 13:56 +0530 – sinhala.adaderana.lk)

සොරකම් කරන ලද බැංකු කාඩ්පතකින් රුපියල් ලක්ෂයකට අධික මුදලක් ලබාගත් පුද්ගලයෙකු කෑගල්ල, පින්දෙණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පින්දෙණිය පොලීසියට ලැබුණු තොරතුරක් මත 26 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

සැකකරු විසින් නිවෙසක තිබූ රුපියල් 55,000 ක මුදලක් සහ බැංකු කාඩ්පතක් සොරකම් කර ඇති අතර අදාළ බැංකු කාඩ්පතෙන් රුපියල් 140,000 ක මුදලක් ලබාගෙන ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

සැකකරු අද (31) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴

***************************************

ලොකුලූණු කිලෝවක් ආනයන බද්ද රුපියල් 50 දක්වා ඉහළට

(01.08.2020 – 10:36 +0530 – hirunews.lk/sinhala)

ආනයනික ලොකුලූණු කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 15 සිට රුපියල් 50 දක්වා ඉහළ නංවා තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ දේශීය ලොකුලූණු අස්වනු මේ වනවිට වෙළඳපොලට නිකුත් කරමින් පවතින බැවින් ගොවීන් ආරක්ෂා කිරීම සඳහා එම පියවර ගත් බවයි ෴

***************************************

ඝාතනය කරන ලද පිරිමි දරුවෙකුගේ සිරුරක් හමුවෙයි

(01.08.2020 – 11:09 +0530 – hirunews.lk/sinhala)

= අභිරහස් ලෙස ඝාතනය කර තිබූ හැමෝගෙම ආදරය දිනූ සනුජ ගේ සිරුර අන්තිමට හමුවූ තැන =

ඝාතනය කරන ලද අවුරුදු 8 ක පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී හමුව තිබෙනවා.

ගලේවෙල පොලිසියට ලද තොරතුරකට අනුවයි මෙම මලසිරුර සොයාගෙන ඇත්තේ.

රෙදි කැබැල්ලකින් ගෙළ සිර කොට මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැකපළකරන්නේ.

මෙලෙස මියගොස් ඇති දරුවාගේ මව මීට කලකට ඉහතදී ප්‍රදේශයෙන් පිටත්ව ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

දරුවාගේ පියාගේ ඥාතියෙකුගේ නිවසක දරුවා නවාතැන්ගෙන සිට ඇති අතර දරුවා එම නිවස ආසන්නයේ ඇති ඇළ මාර්ගයක් අසලට යෑමෙන් අනතුරුව අතුරුදන්ව තිබෙනවා.

පසුව ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවා සෙවීම ආරම්භ කර ඇති අතර එහිදී දරුවාගේ සිරුර අසළ පිහිටි ඇළ මාර්ගයේ තිබී හමුවීමෙන් අනතුරුවයි ගලේවෙල රෝහලට රැගෙන ගොස් ඇත්තේ.

එහිදී අනාවරණ වී ඇත්තේ දරුවා මියගොස් ඇති බවයි.

දරුවා පදිංචිව සිට ඇති නිවස ඉදිරිපිට කොටස විවිධ උත්සව අවස්ථාවන් සඳහා ඉඩපහසුකම් සපයන ස්ථානයක් බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

දරුවා ඝාතනය වූ බවට සැකපළ කරන ස්ථානයේ තිබී හෙරොයින් මත් කුඩු භාවිතා කළ සුන්බුන් රැසක් ද දැක ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් දරුවා අපයෝජනය කිරීමෙන් අනතුරුව ඝාතනය කර ඇත්දැයි යන්න සොයාබැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.

මෙම දරුවා ඝාතනය කළ පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය කරගෙන නොමැති අතර ගලේවෙල පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ ෴

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *