අතහැර දමා යන දරුවන් භාරදෙන්න ළමාරක්ෂක අධිකාරියෙන් වෙනම ආයතනයක්

(02.08.2020 – 07:46 +0530 – hirunews.lk/sinhala)

දෙමාපියන් විසින් අතහැර දමා යා හැකි හෝ ඝාතනයට ලක්වීමේ අවදානමක් සහිත දරුවන් භාර ගැනීම සඳහා සියලුම පළාත් ආවරණය වන අයුරින් විශේෂ ආයතනයක් පිහිටුවීමට ජාතික ළමාරක්ෂක අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව එක් පළාතකට එක් ආයතනය බැගින් විවෘත කෙරෙන අතර, දෙමාපියන් සහ භාරකරුවන්ගේ අනන්‍යතාවය පිළිබඳව එහිදී කිසිවිටෙකත් අවධානය යොමු නොකරන බවයි එම අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා කියා සිටියේ ෴

***************************************

ශානි අබේසේකරට එරෙහිව කළ පැමිණිලිවල ප්‍රගතිය සොයන්න සිංහලේ සංවිධානය යයි

(01.08.2020 – 20:12 +0530 – hirunews.lk/sinhala)

ශානි අබේසේකර සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ පැමිණිලිවල ප්‍රගතිය විමසා බැලීම සඳහා සිංහලේ ජාතික සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අද (01) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාශයට දෙපාර්තමේන්තුවට පැමිණියා.

+++++++++++++++++++++

***************************************

බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යාමට යොදාගත් පූසෙක් හමුවෙයි

(01.08.2020 – 20:34 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යාමට යොදාගත් බවට සැක කෙරෙන පූසෙකු බන්ධනාගාර නිලධාරීන් හමුවී තිබෙනවා.

බන්ධනාගාරය ඉදිරිපිටදී ගෙලෙහි යමක් ගැට ගසා ඇති පූසෙක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරියෙකු විසින් පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ එම පාර්සලයේ හෙරොයින් ඇති බවටයි.

හෙරොයින් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් දෙකක් (2) එහි තිබී ඇති අතර අද (01) මෙම පූසා නිලධාරීන්ට හමුවී තිබුනා.

එමෙන්ම දුරකථන සිම් කාඩ්පත් දෙකක් (2) සහ මෙමරි කාඩ් පතක් (1) එහි තිබූ බව සඳහන්.

වැඩිදුර පරීක්ෂණ සඳහා එම පූසා බොරැල්ල පොලිසියට භාරදුන් බවයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ.

පසුගිය කාලසීමාවේදී බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය තාප්පයට ඉහළින් විසි කිරීම ඇතුළු සිද්ධීන් කිහිපයක්ම වාර්තා වූ අතර, එම ක්‍රියාවන් නීතියේ රැහැනට හසුකර ගැනීමත් සමඟ තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර තුළට රැගෙන යාම අවහිර වී තිබෙනවා.

ඒ අනුව මෙලෙස බළලෙකු මාර්ගයෙන් මෙවැනි ක්‍රියාවකට උත්සාහ දැරූ පළමු අවස්ථාව මෙය වනු ඇති බවටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැක පළ කරන්නේ.

බන්ධනාගාර නිලධාරීන් භාරයට ගත් බළලා, හෙරොයින් සහ සිම් කාඩ්පත් වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිසියට භාර දී ඇති අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුවද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

රුපියල් කෝටි 16 ක කුඩු සල්ලි පිළිබඳ තොරතුරු එළියට – ‘සුනාමි’ත් අත්අඩංගුවේ

(01.08.2020 – 19:00 +0530 – sinhala.adaderana.lk)

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන දෙස් විදෙස් මුදල් රුපියල් කෝටි 05 කට අධික මුදලක් සමග පොලීසිය විසින් සැකකරුවෙක් ව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එම සැකකරු සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 ක් තිබූ බවය.

සොයාගත් මුදල් අතර අමෙරිකානු ඩොලර් 140,000 ක් ද තිබූ බව පොලීසිය පවසයි.

මෙම මුදල් දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකින් සොයාගත් බවත් අත්අඩංගුවට ගත් සැකකරු ‘මුන්ඩියල් ක්‍රමය’ට එම මුදල් හුවමාරු කිරීමට සූදානමින් සිට ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

පොලීසිය වැඩිදුරටත් පැවසුවේ දෙමටගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන ඔහු මුදල් පොළියට දෙන පුද්ගලයෙකු ලෙස පෙනී සිටි අයෙක් බවය.

මේ අතර රුපියල් මිලියන 70 ක මුදලක් බැංකු ගිණුමකින් හුවමාරු කළ පුද්ගලයෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

බස්නාහිර බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත අද (01) සිදුකළ වැටලීමක දී පුද්ගලයන් තිදෙනෙකු වැලිකඩ දී අත්අඩංගුවට ගැණුනි.

වැලිකඩ පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවෙකු පවසා ඇත්තේ, තම ගිණුමේ රුපියල් ලක්ෂ 700 ක් පමණ ඇති බවත් විදෙස් රටවලින් පැමිණෙන දුරකථන ඇමතුම් මත එම මුදල් විවිධ පුද්ගලයන්ට ලබා දෙන බවය.

පසුව එම ගිණුමෙන් මුදල් හුවමාරු කළ තවත් ගිණුම් 4 ක තොරතුරු අනාවරණය කරගෙන එම ගිණුම් හිමියන් ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගත්තේය.

එම ගිණුම්වල ද තිබී රුපියල් කෝටි 04 ට අධික මුදලක් සොයාගත් බව පොලීසිය පවසයි.

මෙම මුදල් ද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට පොලීසිය සැක කරයි.

මේ අතර රත්නපුර නගරයේ ‘ඊසි කෑෂ්’ ක්‍රමයට හෙරොයින් ජාවාරම් කළ ප්‍රධාන පුද්ගලයා ඊයේ (31) පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 09 කට අධික ප්‍රමාණයක් සොයාගත් අතර ඔහු ජංගම දුරකථන 03 ක් උපයෝගී කරගනිමින් මෙම ජවාරම සිදුකර තිබේ.

මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කඳාන පොලීසිය විසින් සිදුකළ මෙහෙයුමක දී හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

එහිදී ඔවුන් සතුව තිබී මත්කඩු ග්‍රෑම් 50 කට අධික ප්‍රමාණයක් හා මුදල් රුපියල් 150,000 ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර ‘අංගොඩ ලොක්කා’ගේ බවට පැවසෙන වැලි තොටුපලක් පවත්වාගෙන ගිය බව කියන 25 හැවිරිදි ‘රංග දුනිඳු දුල්ෂාන් අමරසිංහ’ නොහොත් ‘සුනාමි’ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුල්ලේරියාව, කැලණි නදී මාවත ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වැලි තොටුපල ආසන්නයේ උණ පදුරක් අසළ සඟවා තිබූ කඩුවක් හා බෝම්බයක් ද සොයාගෙන තිබේ ෴

***************************************

මැතිවරණ ප්‍රචාරක කටයුතු අද (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

(02.08.2020 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද (02) මධ්‍යම රාත්‍රි 12 න් අවසන් වනවා.

ඒ අනුව එතැන් සිට සුපුරුදු පරිදි මැතිවරණ නීති බලාත්මක විය යුතු බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

ඒ අනුව එම කාලය තුළ ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය කිරීම යන කිසිදු ප්‍රචාරණ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු වනවා.

නිහඬ කාලය තුළ අනීතික ක්‍රියා වැළැක්වීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා මගින් සියළුම පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

මේ අතර, ප්‍රධාන පක්ෂ තම අවසන් ජන හමු පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර අවසන්.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන හමුව අද (02) පස්වරු 05 ට එම පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල – කාල්ටන් නිවසේදී පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව තම පක්ෂයේ අවසන් ජන හමු අද (02) දවස පුරා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, අම්බලන්තොට, රන්න හා වීරකැටිය ප්‍රදේශවලදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ අවසන් ජන හමුව අද (02) පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මරදාන – ඩීන්ස් පාරේදී පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව එම පක්ෂයේ තවත් ජන හමු කිහිපයක් අද (02) ගාල්ල දිස්ත්‍රික්කයේ ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වන අවසන් ජන හමුව අද පස්වරු 06 ට කොළඹ – අලුත්කඩේ ප්‍රදේශයේදී පැවැත්වෙනවා.

මීට අමතරව සජිත් ප්‍රේමදාස සහභාගි වන සමගි ජන බලවේගයේ තවත් ජන හමු අද (02) දවස පුරා හෝමාගම, කොළොන්නාව සහ කඩුවෙල යන ප්‍රදේශවලදී ද පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහභාගි වන අවසන් ජන හමුව අද (02) පැවැත්වීමට නියමිතව ඇත්තේ අලුත්කඩේ ජුම්මා මස්ජිද් වීදියේදියි.

මහ මැතිවරණයට අදාළව සෙසු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අවසන් ජන හමු ද අද (02) පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ ෴

***************************************

කැළණි ගඟේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්

(02.08.2020 – 07:59 +0530 – hirunews.lk/sinhala)

කිරිඳිවැල – රන්වල පාලම අසළදී කැළණි ගෙඟ් දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු (2) දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.

ඔවුන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

19 හැවිරිදි මෙම පාසල් සිසුන් දෙදෙනා (2) වැලිවේරිය සහ මුදුන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

පිරිමි ළමයින් අටදෙනෙකු (8) සහ ගැහැණු ළමයින් තුන්දෙනෙකු (3) ඊයේ (01) මෙලෙස දිය නෑමට පැමිණ ඇති අතර, මිතුරෙකුගේ නිවසට පැමිණි ඔවුන් වැඩිහිටියන්ට නොදන්වා එම ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

Wasantha Sandanayaka

***************************************

අධිකරණ නියෝගයෙන් පසු ප්‍රවේශ මාර්ග විවෘතයි – වරාය සේවකයින් තවමත් සත්‍යග්‍රහයේ

(02.08.2020 – 08:11 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබානොදී එහි මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදුකරන ලෙස ඉල්ලමින් වරාය වෘත්තිය සමිති 23 ක් එක්ව ආරම්භ කළ සත්‍යග්‍රහය අද 05 වන දිනටත් ක්‍රියාත්මකයි.

ඒ හේතුවෙන් වරායේ සියලු මෙහෙයුම් තවදුරටත් අඩාල වී ඇති බවයි ඊට එක්ව සිටින වෘත්තීය සමිති නායකයින් ප්‍රකාශ කළේ.

සත්‍යග්‍රහය හේතුවෙන් මීට පෙර වරායට පිවිසෙන ප්‍රධාන මාර්ගයද අවහිර වී තිබූ අතර, ඊයේ (01) පස්වරුවේ අධිකරණය විසින් වරාය පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් නියෝගයක් නිකුත් කළා.

එහි දැක්වුණේ වරාය ප්‍රධාන මාර්ගය අවහිර නොකරන ලෙස සහ අවට රාජ්‍ය ආයතනවලට ඇතුළුවීම මෙන්ම මහජන පීඩා ඇතිවන අයුරින් කටයුතු නොකරන ලෙසටයි.

අධිකරණ නියෝගය ලබාදීමත් සමඟ වරාය පිවිසුම් මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයේ නිරත වූ වරාය සේවකයින් එම ස්ථානයෙන් ඉවත්ව මාර්ගය විවෘත කළා.

කෙසේ වෙතත්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය එලෙසම තවදුරටත් ක්‍රියාත්මක බවයි කොළඹ වරායේ වානිජ කර්මාන්ත සහ සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

(02.08.2020 – 10:41 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ වීරකැටිය කාල්ටන් නිවසේදී අද (02) උදෑසන පැවති සාකච්ඡාව සාර්ථක ලෙස අවසන් වූ බව වරාය වෘත්තිය සමිති ප්‍රකාශ කළා.

ඔවුන් මෙම සාකච්ඡාවට එළඹුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹ සිටියදියි.

ඒ අනුව සිය වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවසන් තීරණය වෘත්තිය සමිති අතර සාකච්ඡාවකින් අනතුරුව අද (02) දිනය තුළ ප්‍රකාශයට පත් කරන බවයි කොළඹ වරායේ වානිජ කර්මාන්ත සහ සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

වරායේ වර්ජනය නිසා රුපියල් මිලියන 500 ක පාඩුවක්

(02.08.2020 – 16:32 +0530 – lankadeepa.lk)

වරාය සේවකයන් විසින් ඉකුත් 31 වැනිදා සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය හේතුවෙන් වරාය අධිකාරියට රුපියල් මිලියන 500 ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ඩබ්ලිව් එස් වීරමන් මහතා ලංකාදීපයට අද පස්වරුවේ (02) පැවැසීය.

සාමාන්‍යයෙන් දිනකට වරායේ ආදායම රුපියල් මිලියන 120 ක් පමණ වන බවත් ඉකුත් දින තුනේ (3) දී එම ආදායම් සියල්ල අහිමි වූ බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීම ඇතුළු ප්‍රශ්නවලදී ජනතාවට විඳින්නට සිදුවන අපහසුතා සියල්ල ජනතාවගෙන් ඉවත් කර වරාය අධිකාරිය විසින් එම පාඩුව විඳින්නට තීරණය කොට ඇති බවත් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු අද (02) පස්වරුවේ ආරම්භ කළ බවත් ඒ අනුව එහි ක්‍රියාකාරිත්වය හෙට (03) දවස තුළ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය ෴

***************************************

නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන තුනක් වටලා 18 දෙනෙකු අත්අඩංගුවට

(02.08.2020 – 09:37 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදී නොතිබෙන පසුබිමක උසස් පොලිස් නිලධාරීන්ගේ නම් ව්‍යාජ ලෙස භාවිත කරමින් බස්නාහිර පළාත තුළ පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන 3 ක් වටලා කාන්තාවන් 14 දෙනෙකු ඇතුලු පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොම්පඤ්ඤවීථිය, තලංගම, මීගමුව ප්‍රදේශවල පිහිටි මෙම මධ්‍යස්ථානවලට අමතරව ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් (1) සහ සැකකාරියන් දෙදෙනෙකුද (2) අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

මේ අතර ඊයේ (01) උදෑසන හයේ (06) සිට අද (02) අලුයම 05 දක්වා කාලය තුළදී බස්නාහිර පළාත තුළ වැටලීම්වලදි හෙරොයින්, ගංජා, අයිස් ඇතුලු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 345 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

අපරාධ රැසකට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙකු වන ‘ගොනා ශාන්ත’ අත්අඩංගුවට

(02.08.2020 – 10:00 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙකු ග්‍රෑන්ඞ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී ජීව අත්බෝම්බයක්ද සොයාගෙන ඇති අතර, සැකකරු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

‘ශාන්ත කුමාර’ නැමති අදාළ සැකකරු ‘ගොනා ශාන්ත’ ලෙසටද හඳුන්වන බවටයි වාර්තාවන්නේ ෴

***************************************

ඉරාකයට යැවීමට සැලසුම් කර තිබු කසළ තේ

(02.08.2020 – 007:24 +0530 – sinhala.adaderana.lk)

තවත් කසළ තේ බහලුමක් ඉරාකයට අපනයනය කිරීමට සැලසුම් කර තිබියදී රේගුව විසින් රඳවා තබාගෙන තිබේ.

අදාළ බහලුම කුරුඳු අපනයනය කරන බව පවසමින් පසුගිය 17 වන දින ඉරාකයට අපනයනය කිරීම සඳහා සැලසුම් කර තිබු බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කසළ තේ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විසින් අදාළ බහලුම සැක සහිත බැවින් එය රඳවා තබාගැනීමට නියෝග කර තිබේ.

අදාළ බහලුම තුළ කසළ තේ අඩංගු බවට සැක කරන බැවින් එම බහලුම අයත් අපනයනකරුට සහ වාප්පු ලිපිකරුට රේගුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ඔවුන් මෙතෙක් රේගුව හමුවේ පෙනී සිට නොමැති අතර නිවෙස්වලින් ද බැහැරව ගොස් ඇති බව රේගුව සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.

ඒ අනුව අදාළ සැකකරුවන්ට ලබන 04 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

රේගු අවදානම් කළමනාකරණ ඒකකය විසින් මේ වන විට හඳුනාගෙන ඇති මහා පරිමාණ කසළ තේ ජාවාරමේ තොරතුරුවලට අනුව කසළ තේ බහලුම් 252 ක් ඉරාකයට යවා ඇති බව අනාවරණය වී ඇත.

අදාළ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් නව දෙනෙකු (9) අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර මේ වන විට රේගු භාරයේ පවතින බහලුම ද අදාළ කසළ තේ ජාවාරමට සම්බන්ධතා පවතින්නේ ද යන්න පිළිබදව විමර්ශන ආරම්භ කර ඇති බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය ෴

***************************************

ශ්‍රී ලංකාවේදී ප්‍රථමවරට කොවිඩ් වැළඳුනු මවක් දරුවකු බිහිකරයි

(01.08.2020 – 20:23 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට කොවිඩ් ආසාදිත මවක් දරුවෙකු බිහි කර තිබේ.

මෙම සිසේරියන් සැත්කම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සාමාජිකයින් 35 දෙනකු සහභාගි වීම විශේෂත්වයකි.

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දී මෙම සැත්කම සිදු කර ඇත.

ඩුබායිහි සිට පසුගිය 10 වැනි දා මෙරටට පැමිණි මෙම ගර්භනී මව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති අතර එහිදී කළ පීසීආර් පරීක්ෂණයේ දී ඇයට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට පසුගිය 21 වැනි දා තහවුරු වී තිබේ.

පසුව වෛද්‍යවරුන් විසින් ඇයව කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් වෙනුවෙන් ස්ථාපිත නැගෙනහිර කොළඹ මුලික රෝහලේ විශේෂ ඒකකය වෙත යොමුකර තිබේ.

පසුගිය 23 වැනිදා මෙම ඒකකයට ඇතුළත් කළ ඇය ඊයේ (31) පස්වරුවේ ප්‍රසූත වේදනාවෙන් සිටින බවට වෛද්‍යවරුන් නිරීක්ෂණය කර තිබුණි.

ඇය කොවිඩ් ආසාදිතයෙකුවීම නිසා මෙම දරු ප්‍රසූතිය ප්‍රවේශමෙන් කළ යුතු විය.

මවගේ විෂබීජ පරිසරයට මුසුවීම වැළැක්වීම එහිදී වෛද්‍යවරුන් මුහුණදුන් ප්‍රධාන අභියෝගයකි.

එබැවින් මෙම සිසේරියන් සැත්කම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 35 දෙනකු එක් වී තිබේ.

ක්ෂුද්‍රජීවී වෛද්‍යවරුන්ද ඊට එක්ව සිටීම විශේෂත්වයකි.

ඒ අනුව කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින ගැබිණි මවක් මෙරට දී දරුවකු බිහිකළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

වෛද්‍යවරුන් පවසන්නේ, නිරෝගී තත්ත්වයේ සිටියත් දරුවාගේ ජෛව සාම්පල කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවය.

මේ වන විට වෙනම කාමරයක රඳවා සිටින මව සහ දරුවා සමඟ වෛද්‍යවරුන් අදහස් හුවමාරුකරගන්නේ ඉතා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් හරහාය.

***************************************

ලිංගික අතවර කර 8 හැවිරිදි දරුවෙක්ව ඝාතනය කරලා

(01.08.2020 – 17:35 +0530 – sinhala.adaderana.lk)

මව් සෙනෙහස අහිමි සනුජ අට හැවිරිදි වියේ පසුවූ සෙල්ලක්කාර දරුවෙක් විය. ඔහු ජීවත්වුයේ ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ ඥාති නිවසකය.

ඔහු එම නිවස ආසන්නයේ පිහිටි ඇළක් අසළ සිටිනු නිවැසියන් ඊයේ (31) දැක තිබේ. නමුත් ඉන්පසු ඔහු එහි දක්නට නොමැති බැවින් ඔවුන් ඒ බව පොලීසියට දැන්වා තිබේ.

පසුව ඒ අවට සොයාබලන විට දරුවාගේ සිරුර එම ඇළ අසළ තිබී හමුවී ඇති බව අප වාර්තාකරු පැවසීය. පසුව එය ගලේවෙල රෝහලට ගෙන ගොස් තිබේ.

දරුවාගේ ගෙල ප්‍රදේශය රෙදි කැබැල්ලකින් සිරකොට ඇති බවත් මුහුණේ වැලි තැවරී තිබුණු බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මිය ගිය දරුවා පදිංචි නිවෙස ඉදිරිපිට ඇළ මාර්ගය, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇති බව ද වාර්තා වේ.

දරුවා ඝාතනය වූ ස්ථානය ආසන්නයේ හෙරොයින් භාවිත කළ බවට සැක කළ හැකි සුන්බුන් ද හමුවී ඇත.

මෘත ශරීරය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) සිදුකිරීමට නියමිතය.

මිය ගිය දරුවාට ලිංගික අතවරයක් සිදුකොට ඝාතනය කරන්නට ඇතැයි යන සැකය මත පරීක්ෂණ පවත්වන බව ද ගලේවෙල පොලීසිය පවසයි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සොයා ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

***************************************

ඡන්දදායකයින්ට වැදගත් නිවේදනයක්

(01.08.2020 – 13:24 +0530 – sinhala.adaderana.lk)

කාලය ඉකුත් වී තිබුණ ද, මෙවර මහ මැතිවරණයේ ඡන්දය භාවිත කිරීම සඳහා රියදුරු බලපත්‍රය වලංගු හැඳුනුම්පතක් සේ සලකන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් වන රියදුරු බලපත්‍රයේ වලංගු කාලය ඉකුත් වී තිබුණ ද කොවිඩ් වසංගතය හේතුවෙන් එවැනි බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව, මාර්තු මස සිට ජුනි මස දක්වා, කාල්ඉකුත්වන රියදුරු බලපත්‍ර සඳහා මාස 6 ක් සහ ජුනි මස සිට සැප්තැම්බර් මාසය දක්වා කල්ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා මාස 3 ක් ලෙස මෙලෙස සහන කාලය ලබා දී ඇත.

කෙසේවෙතත් මෙම සහන කාලය නොඉක්මවන රියදුරු බලපත්‍ර මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් සේ සලකන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ මෙවර මහ මැතිවරණයේ දී ඡන්දදායකයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා තමාගේ පෑනක් භාවිත කිරීමට අවකාශය පවතින බවය.

එය නිල් හෝ කළු පැහැති පෑනක් විය යුතු අතර එහි පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් ප්‍රවර්ධනයවන ආකාරයේ කිසිදු සලකුණක්, වර්ණයක්, ලාංඡනයක් සහිත එකක් නොවිය යුතු බව ද කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

යම් ඡන්දදායකයෙකුට ඡන්දය සලකුණු කිරීම සඳහා තමාගේ පෑනක් ගෙන ඒමට හැකියාවක් පවතින්නේ නැතිනම් එවැනි ඡන්දදායකයින්ට ඡන්දය භාවිත කිරීම සඳහා විෂබීජ හරණය කරන ලද පෑනක් ලබාදෙන බව ද කොමිෂන් සභාව සඳහන් කළේය ෴

***************************************

වරාය වෘත්ති සමිති සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාව සාර්ථකයි – වර්ජනය ගැන අවසන් තීරණය අද (02)

(02.08.2020 – 10:41 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ වීරකැටිය කාල්ටන් නිවසේදී අද (02) උදෑසන පැවති සාකච්ඡාව සාර්ථක ලෙස අවසන් වූ බව වරාය වෘත්තිය සමිති ප්‍රකාශ කළා.

ඔවුන් මෙම සාකච්ඡාවට එළඹුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹ සිටියදියි.

ඒ අනුව සිය වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවසන් තීරණය වෘත්තිය සමිති අතර සාකච්ඡාවකින් අනතුරුව අද (02) දිනය තුළ ප්‍රකාශයට පත් කරන බවයි කොළඹ වරායේ වානිජ කර්මාන්ත සහ සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා කියා සිටියේ.

+++++++++

(02.08.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය වෘත්තීය සමිති මීට දින 3 කට පෙර ආරම්භ කළ වැඩ වර්ජනය අත්හිටුවීමට අද (02) තීරණය කළා.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ වීරකැටිය – කාල්ටන් නිවසේදී අද (02) උදෑසන පැවති සාකච්ඡාව සාර්ථක ලෙස අවසන් වීමෙන් අනතුරුවයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදී එය ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරණ ලෙසට ඉල්ලමින් වරාය වෘත්තිය සමිති 23 ක් එක්ව දින 4 ක් තිස්සේ සත්‍යග්‍රහයක් ද ක්‍රියාත්මක කළා.

ඒ හේතුවෙන් කොළඹ වරායේ සියලු මෙහෙයුම් කටයුතු අඩාල වුණා ෴

+++++++++++++++++++++

***************************************

මුල්ලේරියාව රෝහලේ කොරෝනා ආසාදිත මවකට උපන් බිළිඳා ආසාදිතයෙක් නොවන බවට හෙළිවෙයි

(02.08.2020 – 12:15 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ආසාදිත මවකට මුල්ලේරියාවේ පිහිටි නැගෙනහිර කොළඹ මූලික රෝහලේදී පසුගිය සිකුරාදා බිහිවූ දරුවාට කොරෝනා ආසාදිත වී නොමැති බව වෛද්‍යවරුන් අද (02) තහවුරු කළා.

ඊයේ දිනය (01) තුළ කිසිදු නව කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවීම නිසා මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් 2,815 ක් ලෙස පවතින අතර, සුවය ලැබූ සංඛ්‍යාව 2,439 ක්.

මේ අතර, අද (02) උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් 54,735 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 17,50,723 දක්වා ඉහළ යනවා.

මේ වසරේ ජනවාරි මාසයේ කේරළයෙන් පළමු ආසාදිතයා හඳුනාගැනීමෙන් අනතුරුව ඉන්දියාවේ ආසාදිත සංඛ්‍යාව 17 ලක්ෂය ඉක්මවූයේ දින 185 කින්. ගතවූ පැය 24 තුළ නැවතත් වාර්තාගත ලෙස මරණ 823 ක් සටහන්වීමත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 37,364 දක්වා ඉහළ යනවා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එරට කොරෝනා ආසාදිතයන් 11,45,000 ක් සුවය ලබා ඇති අතර, එලෙස සුවය ලැබීමේ අනුපාතය සියයට 65 ඉක්මවන බවයි.

එමෙන්ම, ගතවු පැය 24 තුළ ඇමරිකාවෙන්ද කොරෝනා වෛරස් ආසාදිතයන් 61,262 ක් වාර්තාවී ඇති අතර, එරටින් 60,000 ඉක්මවු නව ආසාදිතයන් මෙලෙස වාර්තාවන්නේ අඛන්ඩ 5 වන දිනටයි.

එමෙන්ම ගතවූ පැය 24 තුළ ඇමරිකාවේ පුද්ගලයන් 1,051 ක් කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව ඇමරිකාවේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 47,64,000 ඉක්මවන අතර, එරට කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 57,898 ක්.

මේ අතර ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයන් 671 දෙනෙකු සහ මරණ 7 ක් ගතවූ පැය 24 තුළ වාර්තාවීමත් සමඟ අද (02) පස්වරු හයේ (06) සිට එහි ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අමතරව මෙල්බර්න් නුවර රාත්‍රී අටේ (08) සිට ඇඳිරි නීතිය පනවන බවද වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කළා.

ලොව පුරා කොරෝනා වෛස් ආසාදිතයන් සංඛ්‍යාවද අද (02) මිලියන 18 ඉක්මවූ අතර, මේ වනවිට එම සංඛ්‍යාව සටහන් වන්නේ 1,80,23,614 ක් ලෙසයි.

එමෙන්ම ලොව පුරා කොරෝනා මරණ 6,88,941 ක් මේ වනවිට වාර්තාවී තිබෙනවා.

මේ අතර මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී රුසියාව පුරා කොරෝනා වෛරසයට එරෙහි එන්නත් වැඩසටහනක් දියත් කරන බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මුළින්ම වෛද්‍යවරුන් සහ ගුරුවරුන්ට මෙම එන්නත ලබාදෙන බවයි.

කොවිඩ් 19 වෛරසයට එරෙහිව රුසියාව සංවර්ධනය කළ එන්නතට මේ මාසය තුළ එරට ඖෂධ නියාමනයේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂිතයි.

කෙසේ නමුත් කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් රුසියාව විසින් අධිවේගීව නිෂ්පාදනය කිරීම ගැන ඇතැම් රටවල් සැක පළ කරනවා.

ඇමරිකානු වසංගත රෝග පාලන අංශයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුචි ප්‍රකාශ කළේ රුසියාව සහ චීනය නිසි පරීක්ෂාවලින් තොරව කොරෝනා එන්නතක් බහුතර ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි.

***************************************

‘සෙම්බු සමන්ත’ මැණික්හින්නේදී පොලිස් අත්අඩංගුවට

(02.08.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස ඉඩම් ගොඩ කිරීම්, බලහත්කාරයෙන් දේපළ පවරාගැනීම් වැනි සිද්ධිවලට සම්බන්ධ ‘අංගොඩ ලොක්කා’ගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුල්ලේරියාවේ පදිංචි ‘සමන්ත කුමාර’ නොහොත් ‘සෙම්බු සමන්ත’ ලෙස හඳුන්වන බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ පුද්ගලයා මුල්ලේරියාව පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මැණික්හින්න ප්‍රදේශයේදියි.

එමෙන්ම බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙකු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද සොයාගෙන ඇති අතර, සැකකරු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

‘ශාන්ත කුමාර’ නැමති අදාළ සැකකරු ‘ගොනා ශාන්ත’ ලෙසටද හඳුන්වන අතර, ඔහු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක්.

මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදී නොතිබෙන පසුබිමක උසස් පොලිස් නිලධාරීන්ගේ නම් ව්‍යාජ ලෙස භාවිත කරමින් බස්නාහිර පළාත තුළ පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන 3 ක් වටලා කාන්තාවන් 14 දෙනෙකු ඇතුලු පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොම්පඤ්ඤවීථිය, තලංගම, මීගමුව ප්‍රදේශවල පිහිටි මෙම මධ්‍යස්ථානවලට අමතරව ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙකුද (2) අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

මේ අතර ඊයේ (01) උදෑසන හයේ (06) සිට අද (02) අලුයම 05 දක්වා කාලය තුළදී බස්නාහිර පළාත තුළ වැටලීම්වලදි හෙරොයින්, ගංජා, අයිස් ඇතුලු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 345 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ රැඳවියන් තුන්දෙනෙකු (3) කළුතර බන්ධනාගාරයෙන් පැන යයි

(02.08.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටි රැඳවියන් තුන්දෙනෙකු (3) කළුතර බන්ධනාගාරයේ තාප්පයෙන් අද (02) අලුයම පැන ගොස් තිබෙනවා.

අදාළ රැඳවියන් තුන්දෙනා 24, 23 සහ 32 යන වයස්වල පසුවන බේරුවල සහ කළුතර ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකාර රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි කළුතර උතුර පොලීසිය සඳහන් කළේ ෴

++++++++

කළුතර බන්ධනාගාරයෙන් පළා ගිය රැඳවියන් 3 දෙනාගෙන් එක් අයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටි රැඳවියන් තුන්දෙනෙකු (3) අද (02) අලුයම කළුතර බන්ධනාගාරයේ තාප්පයෙන් පැන ගොස් තිබුණා.

අදාළ රැඳවියන් තුන්දෙනා 24, 23 සහ 32 යන වයස්වල පසුවන බේරුවල සහ කළුතර ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

***************************************

ගල්කිස්සේදී සහ මීගමුවේදී පිස්තෝල, ටී 56 උණ්ඩ සහ මැගසින් සොයාගැනේ

(02.08.2020 – 13:02 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස – ඉඳිගහදෙණිය ප්‍රදේශයේ ඇළ මාර්ගයකට යාබද කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී පිස්තෝල හතරක් (4) සහ මැගසින් අටක් (8) කොළඹ අපරාධ කොට්ඨාසය සොයාගෙන තිබෙනවා.

අද (02) උදෑසන 10:30 ට පමණ එහි නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි ඒවා සොයාගෙන ඇත්තේ.

මේ අතර මීගමුව බන්ධනාගාරයේ ජේලර් නිවාස පිටුපස වළලා තිබූ ටී 56 ජීව උණ්ඩ 13 ක්ද පොලීසිය සොයාගනු ලැබුවා.

අදාළ සිද්ධි සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරනු ලබනවා.

***************************************

මැතිවරණ දින (05) රාත්‍රියේ ඡන්ද පෙට්ටි රකින්න පක්ෂ නියෝජිතයන්ටත් අවස්ථාව

(02.08.2020 – 13:30 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දින (05) රාත්‍රියේ ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන්ට අමතරව දේශපාලන පක්ෂ නියෝජිතයන්ටත් අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ බල ප්‍රදේශයකට දෙදෙනෙකු (02) බැගින් සෑම දේශපාලන පක්ෂයකටම ගණන් කිරීමේ මධ්‍යස්ථාන පරිශ්‍රයේ සිය නියෝජිතයන් රඳවා තැබීමට අවස්ථාව හිමිවන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ.

මෙම විශේෂ ප්‍රකාශයේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඡන්දදායකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව උපරිමව තහවුරු කර ඇති බවයි.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *