දුප්පත් රටවලට කොවිඩ් 19 එන්නත් නිපදවන්න ‘බිල්ගේට්ස් පදනම’ ඉන්දියාව හා එක්වේ

(08.08.2020 – 12:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් විදේශයන් හි සිරව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල අද (08) සිට යළි ආරම්භ කර තිබෙනවා.

විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ අනුව ඩුබායි, චීනය, මාලදිවයින සහ ඉන්දියාව යන රටවල සිට අද (08) මෙලෙස ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණීමට නියමිත බවයි.

මෙරටින් අද (08) දිනය තුළදීද කොවිඞ් 19 ආසාදිතයෙකු මෙතෙක් වාර්තාවී නැහැ.

කොරෝනා ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 264 ක්.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඞ් 19 ආසාදිතයන් ගණන 2,839 ක් වන අතර, ඉන් 2,564 ක්ම පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

එමෙන්ම අද (08) දිනය තුළද යුද හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයන් 68 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්වයාමට සූදානම් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ මේවනවිට නිරෝධායනයට ලක්වෙමින් සිටින සංඛ්‍යාව 1,856 ක්.

මේ අතර අද (08) උදෑසනින් අවසන් වූ පැය 24 තුළදීද ඉන්දියාවෙන් කොවිඞ් 19 නව ආසාදිතයන් 61,537 ක් වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 20,88,611 දක්වා ඉහළ යනවා.

ඊයේ (07) දිනය තුළ වාර්තාවූ මරණ 933 ක් සමඟ ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාවද 42,578 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එරට කොරෝනා ආසාදිතයන් 14,27,000 ක් සුවය ලබා ඇති අතර, සුවය ලැබීමේ ප්‍රතිශතය සියයට 68.32 ක් පමණ වන බවයි.

ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය හැරුණු කොට කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ රට වන්නේ ඉන්දියාවයි.

එමෙන්ම, කොවිඞ් 19 වෛරසයට එරෙහි එන්නත් මාත්‍රා මිලියන 100 ක් නිපදවීම සඳහා ඉන්දියාවේ සේරම් ආයතනයට ‘බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමෙන්’ ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක් හිමිවනවා.

ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගම වන ඉන්දියාවේ සේරම් ආයතනය දැනට පරීක්ෂණ මට්ටමේ පවතින කොවිඩ් 19 එන්නත් සංවර්ධනය කළ පසු ඇස්ට්‍රා – සෙනෙකා සහ නොවැවැක්ස් සමාගම්වලින් ලබාගනු ඇති. බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ඊට මැදිහත් වී ඇත්තේ කොවිඩ් 19 එන්නත් ලොව පුරා ජනතාවට අඩු මිලකට ලබාදීම සඳහායි.

ඒ අනුව ඔවුන්ගේ මූල්‍යාධාරය මත පදනම්ව එම එන්නත් මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් තුනකට පමණ ලබාදීමට ඉන්දීය සේරම් ආයතනය අදහස් කරනවා.

දුප්පත් රටවල එන්නත් වැඩසටහන් සාර්ථක කරලීම සඳහා ගේට්ස් පදනම මූල්‍යාධාර සපයන ගැවී ආයතනයේ කොවැක්ස් හෙවත් කොවිඩ් 19 එන්නත් ව්‍යාපෘතිය මගින් ලබන වසර අවසානය වනවිට ලොව පුරා රටවල් 92 ක් සඳහා එන්නත් මාත්‍රා බිලියන 2 ක් සැපයීමට අපේක්ෂිතයි.

+++++++++++++++++++++++++++++++++++

මාලදිවයිනේ සහ ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් මත්තලට

(08.08.2020 – 16:24 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්ත්වය සමඟ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 123 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

යානය ඉන්දියාවේ විශාඛාපට්නම් සිට මෙරටට පැමිණ ඇති බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු ප්‍රකාශ කලේ.

මේ අතර මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 163 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ද අද (08) මත්තල වෙත පැමිණියා.

මෙලෙස පැමිණි පිරිස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරුව ඔවුන් නීරෝධායන කටයුතු සදහා යොමු කර කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ ෴

***************************************

පිපිරීමෙන් තුවාල ලැබූවන්ට ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනිය ඇතුළු කාර්ය මණ්ඩලය රුධිරය පරිත්‍යාග කරයි

(08.08.2020 – 14:15 +0530 – hirunews.lk/sinhala)

ලෙබනනයේ බීරූට් අගනුවර සිදුවූ පිපිරිමෙන් බලපෑමට ලක් වූ පුද්ගලයන් රැසක් මේ වනවිට වමනය, හිසරදය සහ පාචනය වැනි රෝගවලින් පෙලෙන බව එරට ආරංචි මාර්ග පවසනවා. පසුගිය 3 වනදා සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 154 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර, 5000 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

තුවාල ලැබූවන් අතර, ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු ද වන බව තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කළා.

ලෙබනනයේ රෝහල් මේ වනවිට ලේ හිගයකට මුහුණදී සිටින අතර, රුධිරය පරිත්‍යාග කිරීමට ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න ඇතුළු මෙරට තානාපති කාර්ය මණ්ඩල කටයුතු කර තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් ලෙබනනයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 285 දෙනෙකු ලබන 15 වනදා මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇති බවයි තානාපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

***************************************

‘අංගොඩ ලොක්කා’ගේ මරණය ගැන රෝ ඔත්තු සේවාව පරීක්ෂණ අරඹයි

(08.08.2020 – 12:36 +0530 – hirunews.lk/sinhala)

මෙරට අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිට ඉන්දියාවට පලාගොස් තමිල්නාඩුවේ කොයිම්බතූර් හිදී අභිරහස් ලෙස මියගිය ‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ පිළිබඳව ඉන්දීය රෝ ඔත්තු සේවාව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා එහි පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තමිල්නාඩු පොලිස් අධ්‍යක්‍ෂ ජනරාල් ජේ.කේ. ත්‍රිපති මුණගැසුණු බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

වසර තුනක් තිස්සේ අංගොඩ ලොක්කා, ප්‍රදීප් සිං යන ව්‍යාජ නමකින් සැඟවී සිටි ආකාරය මෙන්ම විෂ ශරීර ගතකිරීමකින් ඔහු මියගිය බවට වන වාර්තා පිළිබඳව ඉන්දීය ඔත්තු සේවාව පරීක්ෂණ පවත්වනු ඇති.

පසුගිය ජූලි 3 වනදා කොයිම්බතූර් හිදී අංගොඩ ලොක්කා මියගොස් ඇත්තේ හෘදයාබාධයක් යැයි පවසා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටියදියි.

කෙසේ නමුත් ඔහුගේ මරණය පිළිබඳව අංගොඩ ලොක්කා සමඟ ඉන්දියාවේ කොයිම්බතූර් හි ජීවත්වූ ‘අමානි තන්ජි’ නැමති ශ්‍රී ලාංකික කාන්තාව මෙන්ම තමිල්නාඩු කාන්තාවන් දෙදෙනෙකු (2) වන ‘ටී සිවගාමි සුන්දරී’ සහ ‘එස්. ඩයිනේස්වරන්’ මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ‘අංගොඩ ලොක්කා’ගේ දේහය මදුරෙයි හිදී ආදාහනය කිරීම සම්බන්ධයෙන්. ඒ අනුව ‘අංගොඩ ලොක්කා’ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මෙන්ම ඔහුගේ අවසන් කටයුතුවලට අදාළ ලේඛන රැසක් රෝ ඔත්තු සේවාව විසින් ලබාගෙන ඇති බව සඳහන්.

‘අංගොඩ ලොක්කා’ට රැකවරණ සැපයූ ‘සිවගාමි සුන්දරී’, මදුරෙයි හි නීතීඥවරියක් වන අතර, ඇගේ බැංකු ගිණුම් හතක (7) ඉන්දීය රුපියල් කෝටියකට වැඩි මුදල් පැවති බව අනාවරණ වී තිබෙනවා.

ඇගේ පියා එල්.ටී.ටී.ඊ. හිතවාදියෙකු බැවින් ‘අංගොඩ ලොක්කා’ගේ මරණයට එල්.ටී.ටී.ඊ. සම්බන්ධයක් පවතීද යන්න රෝ ඔත්තු සේවා පරීක්ෂණ කණ්ඩායමේ අවධානයට ලක්ව ඇති කරුණක්.

***************************************

නව ඇමති මණ්ඩලය දිවුරුම්දීම ජාතික ලැයිස්තු ගැසට් කිරීමෙන් පසු

(08.08.2020 – 12:39 +0530 – hirunews.lk/sinhala)

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම, ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ගැසට් කිරීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිතයි.

එමෙන්ම ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ලබන සතිය තුළ ගැසට් කරන බව, මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වූ තම මන්ත්‍රීවරුන් 7 දෙනාගේ නම් අද (08) හෝ හෙට (09) මැතිවරණ කොමිෂන් සභාවට යොමු කිරීමට අපේක්ෂා කරන බවයි සමගි ජන බලවේගය සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂය හා ජාතික ජන බලවේගයද ප්‍රකාශ කළේ තම පක්ෂවල ජාතික ලැයිස්තුවෙන් තෝරා ගැනෙන මන්ත්‍රීවරුන්ගේ නම් අද (08) හෝ හෙට (09) මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන මන්ත්‍රීවරුන් 17 දෙනාගේ නම් ඊයේ (07) මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකළා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙම සියලු පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ලැබීමෙන් පසු ඒවා ලබන සතියේ ගැසට් කිරීමට පියවර ගන්නා බවයි.

ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදුකිරීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

නව රජයේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැළණිය රජමහා විහාර පරිශ්‍රයේදී හෙට (09) යළි දිවුරුම් දීමට නියමිතයි.

+++++++++++++++++++++

අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයේ ප්‍රසාද මන්ත්‍රීවරයා නම් කෙරේ

(08.08.2020 – 16:27 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි වූ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය ඒ සඳහා වන නියෝජිතයා නම් කර තිබෙනවා.

ඒ අනුව සෙල්වරාසා ගජේන්ද්‍රන් එම මන්ත්‍රී ධූරය සඳහා නම් කරන බවයි එහි නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කියා සිටියේ.

මහමැතිවරණයේදී අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය ඡන්ද 67,766 ක් ලබා ගත් අතර, එහිදී යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එහි නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා ෴

+++++++++++++++++++++++++++++++++++

ජනතාව ජනපති සහ අගමැති කෙරෙහි තැබූ විශ්වාසය ජයග්‍රහණයට හේතුවයි – පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන්

(08.08.2020 – 12:42 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය මත බව සිංහල රාවය සංවිධානය පවසනවා.

එහි සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කොළඹ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයා පසුගිය කාල සීමාව තුළ ගෙන ගිය වැඩපිළිවෙල හේතුවෙන් ජනතාව මෙම ජනමතය ලබාදී ඇති බවයි ෴

***************************************

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවධානයෙන් සිටින්නැයි නිවේදනයක්

(08.08.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි පැය 18 තුළ පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ධීවර සහ නාවික ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බව ද, එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදුරළ මීටර් 2 ත් 2.5 ත් දක්වා ඉහළ යාමේ හැකියි.

එමෙන්ම, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (08) දිනයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, ගසක් කඩාවැටීම හේතුවෙන් කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය ඇහැලියගොඩ – නාමල්පුර ප්‍රදේශයෙන් අද උදෑසන පැයකට වැඩි කාලයක් අවහිර වී තිබුණා ෴

+++++++++++++++++++++++++++++++++++

ගාලුපාරේ, කහව – තෙල්වත්ත අතර ගමනාගමනයට බාධා

(08.08.2020 – 15:47 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව – තෙල්වත්ත අතර ප්‍රදේශයේ මුහුදු රළ සමඟ වැලි සහ අපද්‍රව්‍ය ගොඩබිමට ඒමත් සමඟ මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව තිබෙනවා.

අද (08) පෙරවරුවේ මුහුදු වැලිවලින් මාර්ගය වැසී යාමත් සමඟ මෙලෙස මාර්ගයේ ගමනාගමනය අවහිර වූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ වෙරළ සංරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මාර්ගයේ වැලි ඉවත් කර යළි ගමනාගමනයට ඉඩ සැලසීම සඳහා කටයුතු යොදා ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ෴

+++++++++++++++++++++

***************************************

පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සුබ පැතුම්

(08.08.2020 – 14:13 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයට සුබ පැතීම සදහා පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

එහිදී පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ සියලු අංශයන්හිදී ශ්‍රී ලංකාවට සහය වීමට සූදානම් බවයි.

එමෙන්ම, හැකි පළමු අවස්ථාවේ පාකිස්ථානයේ සංචාරය කරන ලෙස ද අගමැති ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

කොවිඩ් 19 ගෝලීය වසංගතය සම්බන්ධයෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර ඇති අතර, ඔහුගේ නව ධුර කාලය තුළ දෙරට අතර, සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි බලාපොරොත්තු පළ කළ බව කොළඹ පාකිස්ථාන තානාපති කාර්යාලය සදහන් කළා ෴

***************************************

පාලමක් නැතුව දුක් විදින කිරිගල්පොත්ත වැසියෝ

(08.08.2020 – 14:01 +0530 – hirunews.lk/sinhala)

කිරිගල්පොත්ත – වරලන්ද හරහා කොටමුදුන මාර්ගයේ මැණික් ගඟ හරහා ගමන් කිරීමට පාලමක් නොමැතිකමින් ගම්මාන 5 ක ජනතාව පත්ව දැඩි අසීරුතාව පිළිබඳව මෙතෙක් දේශපාලන බලධාරීන් හෝ නිලධාරීන්ගේ අවධානය මෙතෙක් යොමුව නැහැ.

වර්ෂා දිනවලදී මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් මෙම ගම්මානවල ජනතාවට ගඟේ ජල මට්ටම පහළ යනතුරු පැය ගණනක් බලා සිටීමට සිදුවනවා.

ගඟ හරහා පාලමක් ඉදිකර නොමැතිකමින් කිරිගල්පොත්ත රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතුද අඩාලවී ඇති බව ප්‍ර දේශවාසීන් පවසනවා.

ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් අවස්ථා කිහිපයකදී පාලමක් ඉදිකර දෙනමෙන් ඉල්ලීම් කළද එය මෙතෙක් ඉටුවී නැහැ.

බඩල්කුඹුර – කිරිගල්පොත්ත – වරලන්ද ගම්මානයේ ජනතාව මුහුණදී සිටින මෙම ගැටලුවට බලධාරීන් නිසි විසඳුමක් ලබාදෙන තෙක් ‘හිරු රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

පුතුන් දෙදෙනා සසුනට පූජා කළ දඹුල්ලේ අම්මා

(08.08.2020 – 13:46 +0530 – hirunews.lk/sinhala)

උපතින්ම උරුම කරගත් දරිද්‍රතාවය නිසා තම දරු දෙදෙනා සසුනට පුජා කළ මවක් පිලිබඳව අපට කණ්ඩලම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මේ කණ්ඩලම ප්‍රදේශයේ ජීවත්වන වයි.එම් දිස්නා කුමාරි මාතාව.

තම ඇස් දෙකවන් තම පුතුන් දෙදෙනා සසුන් ගත කරන්නට ඇයට සිදුවන්නේ පවුලේ ඇති නිමක් නොවන අඟහිඟකම් හේතුවෙන්.

වයස අවුරුදු 7 දී සසුනට පුජා කළ දරුවන් දෙදෙනා දැන් කුරුණැගල සහ දඹුල්ල ප්‍රදේශන්හි විහාරස්ථානවල වැඩ වාසය කරනවා.

විරාමයක් ලද විගස තම මව බැහැදකින්නට මේ ස්වාමීන් වහන්සේ දෙනම අමතක කරන්නේ නැහැ.

කුඩා කාලයේ සිටම විඳි දුෂ්කරතා විවාහයෙන් පසුව යම්තාක් දුරට හෝ අඩුවේයැයි බලාපොරොත්තු වුවද අවසානයේ එයද ඇයට උරුම කළේ දුක්බර ශෝකාන්තයක්ම පමණයි.

අවසානයේ තම පුතුන් දෙදෙනා සසුනට පුජා කරන්නට කටයුතු කළ මේ මව, දහසකුත් බාධක මැද තම දියණිය රැක බලා ගන්නට කටයුතු කරන්නේ ඉඳහිට ලැබෙන කුලී රස්සාවෙන්.

***************************************

කීඩෑ උවදුර නිසා අසරණ වූ ගොවීන්

(08.08.2020 – 13:34 +0530 – hirunews.lk/sinhala)

මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක ගොවීන් කීඩෑ උවදුර හේතුවෙන් අසරණවී සිටිනවා.

ගොවීන් චෝදනා කරන්නේ නිසි ප්‍රමිතියෙන් තොර පළිබෝධනාශක නිසා මෙලෙස කීඩෑවන් ව්‍යාප්තව ඇති බවයි.

මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක ගොවි ජනතාව තම වී වගාවන් තුළ කීඩෑ උවදුර පැතිර යාමෙන් දැඩි ලෙස අසරණවී තිබෙනවා.

අස්වනු නෙලීමට ආසන්නව තිබියදී බලාපොරොත්තු නොවූ අයුරින් මෙලෙස කීඩෑ හානියට සිය වගාවන් ලක්වීම සම්බන්ධයෙන් ගොවීන් සිටින්නේ දැඩි කනස්සල්ලෙන්.

***************************************

අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගත් මෝටර් රථයක් සොයා ගැනේ

(08.08.2020 – 16:51 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිම සඳහා භාවිත කළ බවට සැකකෙරෙන මෝටර් රථයක් බලපිටියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

අදාළ නිලධාරින් 13 දෙනා මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුලු 21 දෙනෙකු රහස් පොලීසිය අත්අඩංගුවට ගෙන සිටිනවා ෴

***************************************

අත්අඩංගුවට ගත් සැකකරුගේ උදරයේ එක්ස්-රේ ජායාරූප

(08.08.2020 – 17:36 +0530 – hirunews.lk/sinhala)

රන් මාලයක් සොරකම්කර එය ගිල දැමූ සැකකරුවෙකු එළඹෙන 21 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ එම සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු හැටන් හිජිරාපුර පදිංචි 33 හැවිරිදි අයෙකු බවයි වාර්තාවන්නේ.

ඔහු හැටන් තරුණ බෞද්ධ සමිතියට පිවිසෙන මාර්ගයේදීයි මෙලෙස කාන්තාවකගේ රන් මාලයක් කොල්ලකා පලාගොස් ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම කාන්තාව හැටන් පොලිසියට පැමිනිල්ලක් සිදුකර ඇති අතර වහාම ක්‍රියාත්මක වූ හැටන් පොලිසියේ අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් සැකකරු සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අනතුරුව ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානවලින් ලද තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

එහිදී සැකකරු සින්ගිමලේ දුම්රිය උමන් මාර්ගය දෙසට දිව යන අවස්ථාවේ හැටන් පොලිසියේ නිලධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වර්තාවන්නේ.

සැකකරු විසින් ඔහු සන්තකයේ තිබු රණ් මාලය ගිලදමා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් පොලිසියේ නිලධාරින් විසින් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර එක්ස්-රේ පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහිදී අදාළ රන් මාලය සැකකරුගේ උදරයේ ඇති බව අනාවරණ වී තිබෙනවා.

සැකකරු බන්ධනාගාරගත කිරිමට නියෝග කළ හැටන් මහේස්ත්‍රාත් අධීකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය බන්ධනාගාර නිලධාරින්ට නියෝග කර ඇත්තේ සැකකරු බනධනාගාර රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත්කර සැකකරුගේ උදරයේ රැඳී ඇති රන් මාලය පිටතට ගන්නා ලෙසයි.

***************************************

උසස්පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

(08.08.2020 – 18:13 +0530 – hirunews.lk/sinhala)

මෙවර උසස්පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

ඒ අනුව පහතින් උසස්පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකියි.

https://www.doenets.lk/examresults

***************************************

‘අංගොඩ ලොක්කා’ මැරෙන්න පෙර පෙම්වතිය ‘අමානි’ට දුන් අනුන් සතු තෑග්ග

(08.08.2020 – 09:29 +0530 – truenews.lk)

‘අංගොඩ ලොක්කා’ගේ ඝාතනයට මුල් වූ බව කියන පෙම්වතියට ‘අංගොඩ ලොක්කා’ විසින් බලහත්කාරයෙන් තෙමහල් නිවසක් ලියාදී ඇතැයි හෙළිවී තිබෙනවා.

ඒ ‘අංගොඩ ලොක්කා’ගේ කල්ලියේම හිටපු සාමාජිකයකු වූ ‘සෙම්බු ශාන්ත’ නමැත්තාට අයත් නිවසකි.

‘අංගොඩ ලොක්කා’ගේ ඉඩම් ගොඩකර විකුණන ජාවාරම භාරව සිටියේ මේ කියන ‘සෙම්බු ශාන්ත’ය. ‘සෙම්බු ශාන්ත’ තමාට භාර වූ එවැනි ඉඩම් දෙකක් හොර රහසේ විකුණා තිබුණා.

ඉන් කිපුණු ‘ලොක්කා’, ‘සෙම්බු ශාන්ත’ගේ අත් දෙකේ නහර කපා දමන්නේ ඔහුට විඳව විඳවා හිටීමට සලස්වමිනි. ‘සෙම්බු ශාන්ත’ පාතාල ලෝකයට පැමිණ උපයාගත් මුදල්වලින් තැනූ තෙමහල් නිවසද තමාගේ පෙම්වතිය වන ‘අමානි තන්ජි’ගේ නමට ලියන්නැයි ‘ලොක්කා’ ‘සෙම්බු ශාන්ත’ට තර්ජනය කර තිබෙනවා.

මෙම නියෝගය මගහරින්නට වූ විට ‘අංගොඩ ලොක්කා’ ‘සෙම්බු ශාන්ත’ගේ දරුවකු පැහැරගෙන යාමට තම සාමාජිකයන්ට නියෝග කර තිබෙනවා.

එම දරුවා මුදාහැර ඇත්තේ ‘අමානි’ගේ නමට තෙමහල් නිවස පැවරූ පසුව බව හෙළිවී තිබුණා ෴

+++++++++++++++++++++

කොයිම්බටෝරයේදී මිය ගියේ ‘අංගොඩ ලොක්කාද?’ ඩීඑන්ඒ පරීක්ෂණය ගැන ඉන්දීය මාධ්‍ය හෙළි කරයි

(08.08.2020 – gossiplankanews.com)

‘කොයිම්බටෝ‍රයේදී ඇත්තටම මිය ගියේ පොලීසිය විසින් සොයමින් සිටි අංගොඩ ලොක්කාද’ යන්න හඳුනාගැනීම සඳහා ඔහුගේ දේහයෙන් ලබාගත් ඩී.එන්.ඒ. සාම්පල ඇසුරින් පර්යේෂණයක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා CB-CID විශේෂ කණ්ඩායමක් කටයුතු සිදු කරන බවත් ‘නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස්’ පුවත්පතේ වාර්තා වී තිබුණි.

මූලාශ්‍ර පවසන පරිදි මෙසේ මිය ගියේ අංගොඩ ලොක්කා ලෙස හැඳින්වූ පුද්ගලයා බව පැවසීමට තිබෙන එකම සාක්ෂි වන්නේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙන, අමානි තන්ජි ඇතුළු තුන්දෙනාගේ (3) ප්‍රකාශයන්ය.

කුසේ සිටි දරුවා මිය යෑම හේතුවෙන් ඇයව කොයිම්බටෝරයේ වෛද්‍ය විද්‍යාල රෝහලට ඇතුළත් කර තිබූ බවත් බ්‍රහස්පතින්දා දින ඇය රෝහලෙන් පිට වී ඇති බවත් සඳහන්ය.

අංගොඩ ලොක්කා ඉන්දියාවේ ජීවත් වී ඇත්තේ ප්‍රදීප් සිං නමින් බව සඳහන්ය. ඔහුගේ ව්‍යාජ හැඳුනුම්පතේ සඳහන් වන්නේ එලෙසය. ජූලි 3 වෙනිදා ඔහුව රෝහල්ගත කර තිබුණේ හෘදයාබාධයක් ඇති වීමෙන් මිය ගියා යැයි පවසමින්ය. නමුත් ශ්‍රී ලංකා මාධ්‍යට අනුව ඔහුට විෂ ලබා දී ඇති බවට සැක කෙරේ. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයන් දෙදෙනාගේ නිවෙස් වටලා යම් ලියවිලි CB-CID භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මූලාශ්‍ර පවසන්නේ අමානි තන්ජිගේ ස්වාමිපුරුෂයාව ශ්‍රී ලංකාව තුළදී අංගොඩ ලොක්කා විසින් මරණයට පත් කර තිබූ බවත් ඉන්පසුව ඇය ඔහු සමඟ ජීවත් වී ඇති බවත්ය. අංගොඩ ලොක්කා මිය ගිය පසු මෙම පුද්ගයන් තිදෙනා ඔහුගේ දේහය මදුරායි වෙත රැගෙන ගොස් ඇති බව පැවසේ. මොහුගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා ඔහුගේ ශරීරයේ අභ්‍යන්තරයෙන් ලබාගත් කොටස් පරීක්ෂණ සඳහා යවා ඇති බව ඉන්දීය පොලිස් නිලධාරීන් පවසා තිබේ.

එමෙන්ම අත්අඩංගුවට ගත් මදුරායි කාන්තාව වන සිවකාමි සුන්දරීට එල් ටී ටී ඊ සබඳතා තිබෙනවාද යන්න පිළිබඳව සැක පහළ වී ඇති අතර ඒ පිළිබඳවද පර්යේෂණ සිදු වන බව සඳහන්ය. ඇය බැංකු ගිණුම් 7 ක් ඇසුරින් මුදල් ගනු දෙනු සිදු කර ඇති බව සඳහන්ය.

මෙම ගනු දෙනු පිළිබඳව සහ ඇයට මුදල් ලැබුණේ කොහෙන්ද යන්නද පරීක්ෂණ මට්ටමේ පවතින බව වාර්තා වේ.

මදුරායිහි සිවකාමිගේ නිවසේ තිබී ශ්‍රී ලංකා, කැනඩා, චීන සහ සිංගප්පූරු මුදල් නෝට්ටු මෙන්ම බැංකු පොත්, ගුවන් ගමන් බලපත්‍ර සහ තවත් ලියවිලි CB-CID භාරයට ගෙන ඇති බව සඳහන්ය. ඇගේ නිවසේ හැරුණුකොට ඇගේ කාර්යාලයද සෝදිසි කර තිබේ. පසුගිය වසර තුළදී සිවකාමි නිවෙස් 5 කට මාරු වී ඇති බව මූලාශ්‍ර පෙන්වා දෙයි.

මේ අතර අංගොඩ ලොක්කාව ආදාහනය කළායැයි පැවසෙන තතනේරි ආදාහනාගාරයෙන් ලබාගත් සීසීටීවී දර්ශන ඇසුරින් නිලධාරීන් පැවසුවේ මෙහිදී සිවකාමි තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ සිටගෙන සිටි බවය. ‘හඳුනානොගත් මෙම පුද්ගලයන් තවත් වයස්ගත පුද්ගලයෙකු සමඟ සිටි බව’ නිලධාරීන් පවසයි.

(ඒජන්සි වාර්තා ඇසුරින් ‘නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස්’ පුවත්පතේ තිබූ ලිපියක් පදනම් කරගෙන සකස් කරන ලදි)

එස්. දහනායක

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *