‘එස්.එෆ්. ලොක්කා’ ඝාතනයට පෙම්වතියගේ සැමියා ගැන සැකයක්

‘එස්.එෆ්. ලොක්කා’ ඝාතනයට පෙම්වතියගේ සැමියා ගැන සැකයක්

ලක්ෂ 210 ක මුදලක් වංචා කළ ගිණුම් සහකාරවරයා රිමාන්ඩ්

ව්‍යාජ මුද්‍රා ලේඛන සැකසූ නාරාහේන්පිට කාර්යාලයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී

බ්‍රිතාන්‍යයෙන් පැමිණි චොක්ලට් කන්ටේනරයක් ගැන, රේගුවෙන් හදිසි පරීක්ෂාවක්

අවිස්සාවේල්ලේදී ව්‍යාජ මැණික් ගල් අලෙවි කිරීමට උත්සාහ කළ දෙදෙනෙකු (2) අල්ලයි

ලංකාවේ සීඝ්‍රයෙන් පැතිර යන ‘කුෂ්’ ඇමරිකාවේ සිට කොළඹට ආ හැටි

උපාධිධාරීන් සහ අඩු ආදායම්ලාභී රැකියා පත්වීම්ලාභීන් 150,000 ක් සැප්තැම්බර් 01 සිට සේවයේ පිහිටුවයි

පහළොස් (15) වියැති දැරියක්, මාස 02 ක ගැබිණියක් කිරිමේ චෝදනාවට 27 වියැති තරුණයෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය, 20 වන දා පෙරවරු 09:30 ට – රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පස්වරුවේ

කැබිනට් අමාත්‍යාංශ 03 කට නව ලේකම්වරු පත්කරයි

******************************************

‘එස්.එෆ්. ලොක්කා’ ඝාතනයට පෙම්වතියගේ සැමියා ගැන සැකයක්

(14.08.2020 – dinamina.lk)

  • ලක්ෂ 80 ක අබිරහස් ගනුදෙනුවක්
  • ඝාතකයා එස්.එෆ්. ලොක්කා ආගිය තැන්වල රැක ඉඳලා

අනුරාධපුර දහයියාගම හන්දියේදී ඝාතනය වූ ‘ඉරෝන් රණසිංහ’ නොහොත් ‘එස්.එෆ්. ලොක්කා’ නමැත්තාගේ පෙම්වතියගේ බැංකු ගිණුමකින් සිදු වී ඇති රුපියල් ලක්ෂ 80 සැකකටයුතු මුදල් හුවමාරුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. එස්.එෆ්. ලොක්කා මත්කුඩු ජාවාරමේ නිරතව සිට ඇති බවත් ඔහුගේ මුදල් පරිපාලන කටයුතු කර ඇත්තේ පෙම්වතිය බවටත් මේ වන විට පොලීසියට තොරතුරු ලැබී ඇත.

අනුරාධපුර සිප්පිකුලමේ පිහිටි තැබෑරුමක් මිලදී ගැනීමට එස්.එෆ්. ලොක්කා දැඩි වෙහෙසක් ගෙන ඇති බවත් එම තැබෑරුම පරිපාලනය කර ඇත්තේ එස්.එෆ්. ලොක්කාගේ පෙම්වතියගේ සැමියා බවත් පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ. ‘චූටි’ නැමැති එම පුද්ගලයා සමග හිතවත්කමක් ගොඩ නඟාගෙන ඇති එස්.එෆ්. ලොක්කා ඔහුව තමා වෙත නම්මවා ගෙන මත්කුඩු ජාවාරමට පොලඹවාගෙන ඇති බවත් පසුව ඔහුව මත්කුඩු සමග පොලීසියට හසුකර දී ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

චූටි නැමැත්තා බන්ධනාගාරගත වීමෙන් පසු ඔහුගේ බිරිඳ තමා වෙත ගෙන්වා ගෙන පෙම්වතිය ලෙස තබා ගෙන සිට ඇති බවද පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

එස්.එෆ්. ලොක්කා සැලසුම් සහගතව බන්ධනාගාරයට යැවූ චූටි නැමැත්තා මේ වන විට ඇප මත නිදහස්ව සිටින බවත් පසුගිය කාලය පුරාවටම ඔහු එස්.එෆ්. ලොක්කාට බියෙන් සැඟවී සිට ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

එස්.එෆ්. ලොක්කාගේ ඝාතනය හා මෙම සිදුවීම් අතර යම් සම්බන්ධයක් තිබේදැයි විමර්ශනය කෙරෙන බව ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සඳහන් කළේය.

එස්.එෆ්. ලොක්කා වෙඩි ප්‍රහාරයට ලක්වූ දින වෙඩික්කරුවන් එස්.එෆ්. ලොක්කා පදිංචිව සිටි නිවස පිහිටි ප්‍රදේශයේ යතුරු පැදියෙන් සැරිසරා ඇති බවටද තොරතුරු විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එදින එස්.එෆ්. ලොක්කා ශාරිරික අභ්‍යාස කිරීමට ගොස් සිටි ශරීර සුවතා මධ්‍යස්ථානය ඉදිරිපිටද වෙඩික්කරුවන් රැක සිට ඇති බවටද තොරතුරු විමර්ශකයන්ට ලැබී ඇත. එස්.එෆ්. ලොක්කාට වෙඩි තබන්නේ ශාරීර සුවතා මධ්‍යස්ථානයෙන් පිටව යන අවස්ථාවේ සිට ඔහු ගමන් කළ මෝටර් රථය එම ස්ථානයේ සිටම හඹාගෙන ගොස් බවද මේ වන විට අනාවරණය වී තිබේ.

එස්.එෆ්. ලොක්කා කොළඹ මෝදර කිඹුලා ඇල ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවකු ඇතුළු කිහිප දෙනෙකුගෙන් මත්කුඩු ලබාගෙන ඒවා අලෙවිකර මුදල් ලබා නොදීමක් සම්බන්ධයෙන් ද ආරවුලක් තිබී ඇති බැවින් ඔහුගේ ඝාතනයට එම ආරවුල මුල්වී තිබේදැයි විමර්ශන පවත්වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සඳහන් කළේය.

– ගයාන් කුමාර වීරසිංහ

*********************************************

ලක්ෂ 210 ක මුදලක් වංචා කළ ගිණුම් සහකාරවරයා රිමාන්ඩ්

(05.08.2020 – dinamina.lk)

රුපියල් ලක්ෂ 210 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හේලීස් සමූහ ව්‍යාපාරයේ ලොජිස්ටික් සමාගමේ කැලණියේ පිහිටි ගබඩාවේ සේවයේ නිරතව සිටි ගිණුම් සහකාරවරයෙක් මහර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන (අගෝස්තු) 10 වැනිදා දක්වා රිමාන්ඩ් ගත කැර තිබේ.

මෙම පුද්ගලයා චෙක්පත් දෙකක් ඔස්සේ මෙම මුදල් වංචාව 2019 වසරේ කර ඇති බවත් එම වංචාව සමාගමේ ගණකාධිකාරීවයාට අනාවරණය වී ඇත්තේ පසුගිය දා කළ විගණනයේ දී බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අදාළ සමාගම කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් පසු සැකකරුව මොරටුවේ පිහිටි ඔහුගේ නිවෙසේ දී අත්අඩංගුවට ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. මෙම සැකකරු වංචා සහගතව ලබාගත් මුදල්වලින් රුපියල් ලක්ෂ 40 ක් වැයකර මෝටර් රථයක් මිලදී ගෙන ඇති බවත් රුපියල් ලක්ෂ 30 ක රන් භාණ්ඩ සිය බිරියට මිලට ගෙන දී ඇති බවත් අනාවරණය වී තිබේ. ඒ සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇත.

ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටිමින් මෙම පුද්ගලයා රූපවාහිනී වැඩ සටහන් වලටද සහභාගි වෙමින් තරුණ ව්‍යසායකයින්ට අතහිත දීමේ වැඩ සටහනකට ද සම්බන්ධ වී සිට ඇති බවත් නිලියන් කිහිප දෙනෙක් සමඟ ද ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති කර ගෙන තිබෙන බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයාට මෙම මුදල් වංචාවට තවත් අයෙකුගේ සහාය ලැබී තිබේ දැයි විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

– ගයාන් කුමාර වීරසිංහ

***********************************************

ව්‍යාජ මුද්‍රා ලේඛන සැකසූ නාරාහේන්පිට කාර්යාලයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී

(14.08.2020 – 09:13 +0530 – hirunews.lk/sinhala)

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය අසල පවත්වාගෙන ගිය ව්‍යාජ මුද්‍රා සහ රජයේ ලියවිලි සකස් කල ස්ථානයක් පොලිසිය සමත්ව තිබෙනවා.

එහිදී ව්‍යාජ මුද්‍රා සමග එම කාර්යාලය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන අංශයයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී පොලිස් ස්ථානාධිපතිවරුන්, සාම විනිසුරු, ප්‍රාදේශීය ලේකම්, රජයේ ප්‍රධාන නිලධාරීන් රැසකගේ ව්‍යාජ මුද්‍රා, ලේඛන රැසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන අංශය සහ බොරැල්ල පොලිසියයි.

*********************************************

බ්‍රිතාන්‍යයෙන් පැමිණි චොක්ලට් කන්ටේනරයක් ගැන, රේගුවෙන් හදිසි පරීක්ෂාවක්

(14.08.2020 – 10:54 +0530 – hirunews.lk/sinhala)

එංගලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චොක්ලට් ඇතුලු වෙළඳ භාණ්ඩ ඇතුළත් බහාලුමක් රේගු දෙපාර්තමේන්තුව භාරයට ගෙන පරීක්ෂාවට ලක් කෙරුණා.

ඒ, ඔරුගොඩවත්ත රේගු අංගනයේදීයි.

එම දෙපාර්තමේන්තුවේ ආදායම් අධීක්ෂණ අංශයට ලද තොරතුරකට අනුව, විමර්ශනයට ලක්කෙරුණු මෙම බහාලුමේ තිබී චොක්ලට් විශාල තොගයක්, කුඩා දරුවන්ගේ සනීපාරක්ෂක ද්‍රව්‍ය, ජෑම් වර්ග සොයා ගෙන ඇති බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

එංගලන්තයේ රැඳී සිටින මෙරට ව්‍යාපාරිකයෙකු විසින් මහනුවර සහ පුත්තලම ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවන් ද සිටින පවුල් දෙකකට (2) මේවා එවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

වසරකට වැඩි කාලයක් විදේශ ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් මෙරටට භාණ්ඩ එවීමේදී බදු සහන හිමිවන අතර, එම සහනය උපයෝගි කර ගනිමින් මෙම භාණ්ඩ එවා ඇති බවටයි සැක කරන්නේ.

*********************************************

අවිස්සාවේල්ලේදී ව්‍යාජ මැණික් ගල් අලෙවි කිරීමට උත්සාහ කළ දෙදෙනෙකු (2) අල්ලයි

(14.08.2020 – 09:32 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල නගරයේදී ව්‍යාජ මැණික් ගල් අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අවිස්සාවේල්ල පොලීසියට ලද තොරතුරකට අනුවයි.

වැඩිදුර පරීක්ෂණවලදී මීට පෙර මෙම සැකකරුවන් ව්‍යාජ මැණික් ගල් අලෙවි කර මුදල් වංචා කර තවත් සිද්ධීන් 5 ක් පිළිබද තොරතුරු අනාවරණ වී තිබෙනවා ෴

*********************************************

ලංකාවේ සීඝ්‍රයෙන් පැතිර යන ‘කුෂ්’ ඇමරිකාවේ සිට කොළඹට ආ හැටි

(14.08.2020 – 11:45 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාවේ සිට කොළඹ ලිපිනයකට එවනු ලැබූ සැක කටයුතු පාර්සලයක් කටුනායක ගුවන් බඩු පර්යන්තයේ රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී එහි තිබී ‘කුෂ් ගංජා’ නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 67 ක ඇසුරුමක් සොයාගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 4 ක් පමණ වනු ඇතැයි සඳහන්.

එමෙන්ම, එය මෙරට තරුණ පරපුර අතර සීග්‍රයෙන් පැතිර යන මත්ද්‍රව්‍යයක් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%93%E0%B6%9D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B7%82%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+%E0%B6%86+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

+++++++++++++++++++++

*********************************************

උපාධිධාරීන් සහ අඩු ආදායම්ලාභී රැකියා පත්වීම්ලාභීන් 150,000 ක් සැප්තැම්බර් 01 සිට සේවයේ පිහිටුවයි

(14.08.2020 – 12:21 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස් දහසක් (1,50,000) දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

රැකියා පනස් දහසක් (50,000) රැකියා විරහිත උපාධිධාරීන් සඳහා වෙන් කර ඇති අතර ඉතිරි රැකියා ලක්ෂයට (1,00,000) සුදුස්සන් තෝරා ගනුයේ සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලිනි.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ගිය වසරේ නොවැම්බර් මස ධුරයට පත්වී සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000 ක් සහ අඩු ආදායම්ලාභීන් 100,000 ක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කෙරුණා.

උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා සුදුස්සන් තෝරා ගැනීම පෙබරවාරි මස මුල් සතියේ ආරම්භ කකළ අතර අඩු ආදායම්ලාභී ලක්ෂයක් (100,000) දෙනා සේවා නියුක්ත කිරීම පිණිස බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් ස්ථාපනය කෙරුණා.

ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම වැඩසටහනේ පරමාර්ථයි.

2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රැකියා එක්ලක්ෂ පනස්දහසේ (1,50,000) වැඩසටහන අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නියම කිරීම හේතුවෙන් එබැවින් වැඩසටහන තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය ලබන ඉරිදා (16) ජනාධිපති කාර්යාලයීය වෙබ් අඩවියේ පල කරනු ඇති.

තෝරා ගනු ලැබූවවන්ට ලිපි යැවීම සඳුදා (17) ඇරඹෙන අතර පත්වීම්ලාභීන් සැප්තැම්බර් 01 දා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු වනවා.

සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම් ලේඛනයේ ඇතුළත්ව නැත්නම් ජනාධිපති කාර්යාලයෙන් විමසීමට හැකියාව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

තෝරාගත් අඩු ආදායම්ලාභී ලක්ෂය (100,000) රැකියා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 01 දා සිට ක්‍රියාත්මක කරනු ඇති ෴

**********************************************

පහළොස් (15) වියැති දැරියක්, මාස 02 ක ගැබිණියක් කිරිමේ චෝදනාවට 27 වියැති තරුණයෙක් අත්අඩංගුවට

(14.08.2020 – 13:06 +0530 – hirunews.lk/sinhala)

පහළොස් (15) වියැති දැරියක් මාස 02 ක ගැබිණියක් කිරිමේ චෝදනාවට සැකපිට 27 වියැති තරුණයෙක් මස්කෙළිය ‍පොලීසිය මගින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය තමාට මාස 02 ක කාලයකින් ඔසප් ක්‍රියාවලිය සිදු නොවූ බව ඇගේ මිත්තණියට පවසා ඇති අතර, මිත්තණිය විසින් වහා දැරිය මස්කෙළිය නගරයේ වෛද්‍යවරයෙකුට යොමු කිරිමෙන් අනතුරුව එම වෛද්‍යවරයා දැරිය මාස 02 ක ගැබිණියක් බව පවසා තිබෙනවා.

පසුව ඊයේ (13) මිත්තණිය විසින් මස්කෙළිය පොලීසියට ගොස් පැමිණිළි කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

මස්කෙළිය පොලිස් වසමට අයත්, ෆෙයාලෝන් තේ වතුයායේ, පුංචි සූරියකන්ද කොටසේ පදිංචිව සිටින මෙම දැරිය ඇගේ මිත්තණිය (මවගේ මව) භාරයේ සි ටින අතර, දැරියගේ පියා ඇය කුඩා කාලයේම හැර ගොස් තිබෙනවා.

මව වෙනත් විවාහයක් කර ගෙන දුර පළාතක පදිංචියට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ෆෙයාලෝන් තේ වතුයායේ දමිළ පාසලේ 07 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරා මෙම දැරිය පාසල් ගමන අවසන් කර ඇත්තේ මිත්තණියට පවතින ආර්ථික අපහසුතාවයන් හමුවේයි.

කම්කරුවෙක් ලෙස සේවය කරන සැකකාර තරුණයා දැරිය පදිංචි නිවස අසලම පදිංචිව සිටින අතර දැරියගේ මිත්තනිය නිවසේ නොසිටි 2020.06.24 හා 2020.07.03 යන දිනවල සැකකරු මෙම දැරියට දුරකතන ඇමතුම් දී ඇය පදිංචි නිවස ආසන්නයේ පිහිටි පාළු නිවසකට කැඳවාගෙන ගොස් සැකකාර තරුණයා සමග අඹු සැමියන් ලෙස හැසිරුණ බව ඇය පොලිසියට පවසා තිබෙනවා.

මස්කෙළිය පොලීසිය මගින් දැරිය දික්ඔය මූලික රෝහලට ඇතලත් කර ඇති අතර මේ වන විට ඇය එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

දැරියගේ හා ඇගේ මිත්තණියගේ ප්‍රකාශ අනුව මස්කෙළිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සකකරු, මෙම දැරිය නීත්‍යාණුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයක් කිරීම යන චෝදනාව යටතේ අද (14) දින වෛද්‍ය වාර්තාවද සමග හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන බව මස්කෙළිය පොලීසිය ප්‍රකාශ කළා ෴

**********************************************

පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය, 20 වන දා පෙරවරු 09:30 ට – රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පස්වරුවේ

(14.08.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයෙන් තෝරා පත් කර ගැනුණු මන්ත්‍රීවරුන් රැස්වන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය කැදවීමේ අති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලබන 20 වන දා උදෑසන 09:30 ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව රැස්වන බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

එහිදී නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා මුලින්ම තෝරා පත් කර ගන්නා අතර, අනතුරුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඉදිරියේ ඔහු දිවුරුම් දීම සිදුකරනවා.

ඉන් අනතුරුවයි සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කථානායකවරයා ඉදිරියේ සාමුහික දිවුරුම්දීම සිදුකරනු ලබන්නේ.

පසුව නියෝජ්‍ය කථානායකවරයා හා කාරක සභා සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සිදුකරනු ඇති.

නව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා වී ඇති අතර, නියෝජ්‍ය කථානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ නම යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

ඉන් අනතුරුව නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කර ගැනීම සිදුවන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කළේ.

ඉන් පසු පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවන අතර, පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නව පාර්ලිමේන්තු සැසි වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.

පසුව ජනාධිපතිවරයා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇති ෴

**********************************************

කැබිනට් අමාත්‍යාංශ 03 කට නව ලේකම්වරු පත්කරයි

(14.08.2020 – 13:19 +0530 – hirunews.lk/sinhala)

කැබිනට් අමාත්‍යාංශ 03 ක් සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ඔවුන්ගේ නම් පහතින් :

  1. එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – ලේකම්, අධිකරණ අමාත්‍යාංශය
  2. යූ.ඩී.සී. ජයලාල් මහතා – ලේකම්, වරාය හා නාවික අමාත්‍යාංශය
  3. මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *