පාර්ලිමේන්තුවේ භෝජනාගාර නිලධාරියෙකු අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

පාර්ලිමේන්තුවේ භෝජනාගාර නිලධාරියෙකු අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දිය යුතු බව ජනපති කියයි

පළාත් සභා සුදු අලියෙක් ද?

එල්.ටී.ටී.ඊ. යට සම්බන්ධ අයගේ නම් අසාදු ලේඛනයෙන් ඉවත් කර ඇතැයි හෙළිවේ

2025 අවසන් වීමට පෙර සියලු නිවෙස් වෙත පානීය ජලය

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් ඇතුළත් කිරිමේ ගැසට් නිවේදනය අද (04)

හෙට්ටිපොළ මහපාරේ බිත්තර විකිණූ චන්දන ක්‍රීඩා අමාත්‍යංශයට

‘හිරු TV බලය’ : 20 ට විපක්ෂයෙන් සහය දෙන අය ?

නොනිදන නගරයට – නවීන හදිසි ප්‍රතිකාර ඒකකයක්

සැප්තැම්බර් 08 වැනිදා සිට 11 වැනිදා දක්වා පාර්ලිමේන්තුවේ සිදුවන දේ

අධ්‍යාපනයේ කරන්න යන වෙනස ඇමති ජී.එල්. හෙළි කරයි

හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවන් දෙදෙනෙකු (2) පානදුරේදී අත්අඩංගුවට

ප්‍රේමලාල් ජයසේකරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරේ CCTV දර්ශන

*********************************************

පාර්ලිමේන්තුවේ භෝජනාගාර නිලධාරියෙකු අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

(03.09.2020 – 19:18 +0530 – hirunews.lk/sinhala)

සැපයුම්කරුවෙකුගෙන් රුපියල් 60,000 ක අල්ලසක් ලබාගත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ භාණ්ඩ භාර ගන්නා නිලධාරීයා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (03) කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

පළතුරු සපයන පුද්ගලයෙකුගෙනුයි ඔහු මෙලෙස අල්ලස් ලබාගෙන ඇත්තේ ෴

+++++++++++++

(04.09.2020 – 12:53 +0530)

පාර්ලිමේන්තුවේ පළතුරු සැපයුම්කරුගෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් භෝජනාගාර නිලධාරියා අද (04) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම අදාළ නිලධාරියාගේ සේවය අත්හිටුවා පාර්ලිමේන්තු සැපයුම් කාර්යාංශය මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළා.

මෙම භෝජනාගාර නිලධාරියා පළතුරු සැපයුම්කරුගෙන් රුපියල් 60,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමේදී කඩුවෙල බස් නැවතුම ආසන්නයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැපයුම්කරුගේ පළතුරු ප්‍රතික්ෂේප නොකිරීමටත්, සැපයුම අඛන්ඩව සිදුකරගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබාදීමටත් මෙම අල්ලස් මුදල ඉල්ලා තිබෙනවා.

මොහු සැපයුම්කරුට පවසා ඇත්තේ එක් මසකට රුපියල් 30,000 ක මුදලක් තමන්ට ලබාදෙන ලෙසයි. ඒ අනුව මාර්තු සහ ජූනි මාස සඳහා ලබාදීමට තිබූ රුපියල් 60,000 ක මුදලයි මෙලෙස ලබාගැනීමට සූදානම් වී ඇත්තේ.

මෙම භෝජනාගාර නිලධාරියා 25 හැවිරිදි තරුණයෙකු වන අතර, පාර්ලිමේන්තු සේවය සඳහා පැමිණ ඇත්තේ මීට වසරකට පමණ ඉහතදියි.

මොහු භෝජනාගාරයේ භාණ්ඩ භාරගැනීමේ නිලධාරියෙකු ලෙස රාජකාරි කර ඇති අතර, මස් වර්ග සහ එළවළු සපයන සැපයුම්කරුවන් සමඟ කළ ගණුදෙනු සමඟද සොයාබැලීමක් කරන බව නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළා.

මේ අතර පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි ප්‍රභූවරයෙකුගේ පෞද්ගලික ගමන් මල්ල පරීක්ෂා කරමින් ඔහුගේ රාජකාරි කටයුතු වලට බාධා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පොලිස් පරීක්ෂකවරිය සහ සෙසු නිලධාරීන් දෙදෙනා (2) සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ නිලධාරීන්ගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් තුන්දෙනාට (3) තාවකාලික ස්ථාන මාරුවක් ලබාදී ඇති බවටයි වාර්තාවුණේ ෴

*********************************************

කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දිය යුතු බව ජනපති කියයි

(03.09.2020 – 20:30 +0530 – hirunews.lk/sinhala)

කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් ලබාදී වගාකරුවන් ආරක්ෂා කර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

දැනට එම භෝග ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති අතර, අන්තර්ජාතික වෙළඳපොල සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපයීමට අවශ්‍ය පරිසරය සැකසීමේ අවශ්‍යතාවය ද ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

විශ්වවිද්‍යාල මගින් සුළු අපනයන භෝග ආශ්‍රිත අගය එකතු කිරීමේ නිෂ්පාදන පිළිබඳ පර්යේෂණ පුළුල් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

*********************************************

පළාත් සභා සුදු අලියෙක් ද?

(03.09.2020 – 22:22 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා අහෝසි කිරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අද පැවැති මාධ්‍ය සාකච්ඡා කිහිපයකදී පාර්ශ්වය කිහිපයක් අදහස් පළ කළා.

රජයක් ලෙස පළාත් සභා පිලිබඳ කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි සබරගමු පළාත් හිටපු මන්ත්‍රී කාංචන ජයරත්න මහතා විසින් ප්‍රකාශ කර සිටියේ.

ඒ අද පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පූජ්‍ය වේපතඉර හේමාලෝක හිමි විසින් අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පළාත් සභා සඳහා පත්කරන නිලධාරීන් තනතුරු වරප්‍රසාද වලට පමණක් සිමා වන පිරිසක් වී ඇති බවයි.

මේ අතර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීමෙන් දිර්ඝකාලිනව ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්නවල මුහුණ දීමට සිදුවිය හැකි බව උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් මහතා ප්‍රකාශ කර සිටියා.

*********************************************

එල්.ටී.ටී.ඊ. යට සම්බන්ධ අයගේ නම් අසාදු ලේඛනයෙන් ඉවත් කර ඇතැයි හෙළිවේ

(03.09.2020 – 22:49 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති , එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් 338 දෙනෙකුගේ නම් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට හිටපු අමාත්‍ය මංගල සමරවීර ඍජුවම කටයුතු කර ඇතැයි බුද්ධි අංශ මාණ්ඩලික නිලධාරි කර්නල් ෂම්මි කුමාරරත්න මහතා අද (03) ප්‍රකාශ කළා .

ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

*********************************************

2025 අවසන් වීමට පෙර සියලු නිවෙස් වෙත පානීය ජලය

(04.09.2020 – 07:20 +0530 – hirunews.lk/sinhala)

2025 වසර අවසානවීමට පෙර පැය විසිහතර පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්ව තිබෙනවා.

ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ (03) ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී ගංඟා, ඇල දොල සහ ජලපෝෂක ප්‍රදේශ පිරිසිදුකොට සංරක්ෂණයට විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන් කඩිනම් කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන්නා.

‘සැමට ජලය’ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට ඉදිරිපත් කෙරුණු ප්‍රමුඛ ප්‍රතිඥාවක්. ඒ අනුව ඉදිරි සිව් (4) වසර තුළ පවුල් ලක්ෂ 47 කට ජලය සැපයීම රජයේ අපේක්ෂාවයි.

දේශීය සහ විදේශීය අරමුදලින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ සඳහා ජල නල කිලෝමීටර් 40,000 ක් අලුතින් එලීමට සිදුවනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් කාන්දුවීම හේතුවෙන් අපතේ යන ජල ප්‍රමාණය සමස්ත ජල සැපයුමෙන් 45% ක්.

කෙසේ වෙතත්, ගතවූ මාස කිහිපය තුළ අලුතින් ජල නළ එලීමෙන් එය 15% දක්වා අඩුකර ගැනීමට හැකිව තිබෙනවා.

ජල නල එලීමේදී මාර්ගවලට වන හානිය සහ එමඟින් ජාතික ධනය විනාශවීම වැළැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය මෙන්ම ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමටද ඊයේ (03) පැවති සාකච්ඡාවේදී එකඟතාවය පළවුණා.

*********************************************

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් ඇතුළත් කිරිමේ ගැසට් නිවේදනය අද (04)

(04.09.2020 – 08:47 +0530 – hirunews.lk/sinhala)

2018 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මත මේ වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (04) නිකුත් කිරීමට නියමිතයි.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම් කළ යුතුයි.

අයදුම්පත් යොමුකළ හැකි අවසන් දිනය වන්නේ මේ මස 25 වැනිදායි.

දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ 19 ක සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන පාඨමාලා 50 ක් සඳහා මෙවර සිසුන් 4,253 ක් බඳවා ගැනීමට නියමිතයි ෴

+++++++++

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීම

*********************************************

හෙට්ටිපොළ මහපාරේ බිත්තර විකිණූ චන්දන ක්‍රීඩා අමාත්‍යංශයට

(04.09.2020 – 09:11 +0530 – hirunews.lk/sinhala)

දැඩි ආර්ථික අපහසුතා මැද සිය දරු පවුල රැකගන්න හෙට්ටිපොළ නගරයේ බිත්තර වෙළඳාමේ යෙදුණු මීටර් 400 කඩුලු මතින් දිවීමේ ශූර හා මළල ක්‍රීඩා හා කබඩි පුහුණුකරුවකු වන චන්දන නිශාන්ත අතපත්තු මහතා ඊයේ (03) අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමුවූවා.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආරාධනාවකට අනුව මෙම හමුව පැවැත්වුනේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේදීයි.

එම අවස්ථාවේදී චන්දන නිශාන්ත මහතා විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජයග්‍රහණ කළ සිය පදක්කම් කුසළාන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

මෙහිදී අමාත්‍යවරයා විසින් වයඹ ආණ්ඩුකාරවර රාජා කොල්ලුරේ මහතා සමග දුරකතනයෙන් සම්බන්ධ වී මෙම ක්‍රීඩකයා පිළිබඳව දැනුම්දෙනු ලැබුවා.

එහිදී චන්දන නිශාන්ත ක්‍රීඩකයා සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කළ යුතු ආකාරය සාකච්ඡා කර ඇති අතර ඔහු එළඹෙන බදාදා දින වයඹ ආණ්ඩුකාරවරයා හමුවීමට නියමිතයි.

+++++++++++++++++++++

*********************************************

‘හිරු TV බලය’ : 20 ට විපක්ෂයෙන් සහය දෙන අය ?

(04.09.2020 – 09:37 +0530 – hirunews.lk/sinhala)

කැබිනට් අනුමැතියෙන් අනතුරුව ඊයේ (03) ගැසට් කෙරුණු 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ වනවිට එයට පක්ෂව සහ විපක්ෂව විවිධ පාර්ශවයන් අදහස් දක්වමින් සිටිනවා.

මේ අතර ඊයේ (03) ‘හිරු TV බලය’ දේශපාලන සංවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් විසි (20) වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයේ අවශ්‍යතාව පිළිබඳව පැහැදිළි කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විසි (20) වන සංශෝධනයට විපක්ෂයේ ඇතැමුන්ද සහයෝගය දැක්වීමට ඉඩ ඇති බවයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට හේතු වූ කරුණු පිළිබඳවද ඔහු එහිදී විස්තර කළා.

+++++++++++++++++++++

*********************************************

නොනිදන නගරයට – නවීන හදිසි ප්‍රතිකාර ඒකකයක්

(04.09.2020 – 09:45 +0530 – hirunews.lk/sinhala)

වාණිජ නගරයක් ලෙස සංවර්ධනය වූ දඹුල්ල නගර හා අවට ජනතාව වෙනුවෙන් දඹුල්ල රෝහලට සියලු පහසුකම් සහිත නවීන හදිසි ප්‍රතිකාර ඒකකයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය විසින් මෙය ලබාදෙන බවයි එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

හෙට (05) අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගේ ප්‍රධානත්වයෙන් එය ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

ප්‍රදේශ ගණනාවකට ප්‍රවේශ වන ප්‍රධාන නගරයක් වීම, කෘෂිකාර්මික කටයුතු ප්‍රධාන ජීවනෝපාය කරගත් ජනතාව බහුල ප්‍රදේශයක් වීම මෙන්ම දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය නිසා අධික ජනකායක් දිවා රෑ දෙකෙහිම නගරයට ඇදී එන තත්වයක පැවතීම යන කරුණු මෙවැනි නවීන හදිසි ප්‍රතිකාර ඒකකයයක් ලබාදීමට හේතු වී තිබෙනවා.

හදිසි අනතුරු වලට ලක්වූවන්ට ප්‍රතිකාර කිරීමට මෙන්ම හදිසි ප්‍රතිකාර අවශ්‍යවන අනෙකුත් රෝගීන්ටද ප්‍රතිකාර කිරීමට මෙම නවීන ඒකකය සියලු පහසුකම් වලින් සමන්විත බවයි වාර්තාවන්නේ ෴

*********************************************

සැප්තැම්බර් 08 වැනිදා සිට 11 වැනිදා දක්වා පාර්ලිමේන්තුවේ සිදුවන දේ

(04.09.2020 – 09:55 +0530 – hirunews.lk/sinhala)

ලබන සැප්තැම්බර් 08 වැනිදා සිට 11 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්කිරීමට ඊයේ (03) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

එම රැස්වීමේදී ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනා පරිදි ලබන 08 වැනිදා සභාව කල් තැබීමේ විවාදයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව, මුදල් අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව 2020 විවාදයට ගැනෙනවා.

එදින පස්වරු 01:00 සිට පස්වරු 06:30 දක්වා පාර්ලිමේන්තුව රැස්වනවා.

සැප්තැම්බර් 09 වැනිදා නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ නියමයන් 09 ක්, සුරාබදු ආඥා පනත යටතේ නිවේදන 10 ක් විවාදයට ගැනෙන බවයි සඳහන් වන්නේ.

සැප්තැම්බර් 10 වැනිදා වරාය ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නිවේදන 06 ක්, රේගු ආඥා පනත යටතේ නියමයන් 03 ක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනා 06 ක් ද විවාදයට ගැනෙනවා.

සැප්තැම්බර් 09 වැනිදා පස්වරු 01:00 සිට පස්වරු 07:30 දක්වාත්, සැප්තැම්බර් 10 වැනිදා පෙරවරු 10:30 සිට පස්වරු 07:30 දක්වාත් පාර්ලිමේන්තුව රැස්වනවා.

සැප්තැම්බර් 11 වැනිදා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍ය දිවංගත ආරුමුගම් තොණ්ඩමන් මහතා පිළිබද ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කෙරෙනවා.

එදින පෙරවරු 10:30 සිට පස්වරු 06:30 දක්වා ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් කෙරෙන අතර, එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු, මැති ඇමැතිවරුන් රැසක් තොන්ඩමාන් මහතා සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිතයි ෴

*********************************************

අධ්‍යාපනයේ කරන්න යන වෙනස ඇමති ජී.එල්. හෙළි කරයි

(04.09.2020 – 10:29 +0530 – hirunews.lk/sinhala)

මෙරට අධ්‍යාපනය වෙනස් කිරීම උදෙසා විෂය මාලා වෙනස් කරන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පවසනවා.

විෂය මාලා වෙනස් කිරීමේ සම්මන්ත්‍රණ ආරම්භ කරන බවද ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් අමතමින්.

අමාත්‍යංශ 5 ක් එක කරමින් මෙවර අධ්‍යාපන අමාත්‍යංශය සකසා ඇති බවද ඔහු කියා සිටියා.

*********************************************

හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවන් දෙදෙනෙකු (2) පානදුරේදී අත්අඩංගුවට

(04.09.2020 – 11:06 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවන් දෙදෙනෙකු (2) පානදුර – නිව්ඩාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර පොලීසිය සිදුකළ වැටලීමකදී එම කාන්තාවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකාර කාන්තාවන් සතුව තිබී රුපියල් ලක්ෂ 4 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 15 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

එකම පවුලේ සොහොයුරියන් වන මොවුන් අවුරුදු 40, 55 යන වයසේ පසුවනවා.

මොවුන් සතුව තිබී ජංගම දුරකථන 4 ක් සහ වරින්වර හෙරොයින් ජාවාරමෙන් උපායගත් මුදල් තැන්පත් කරන ලද බව කියන බැංකු පොතක්ද පොලිසිය භාරයට ගනු ලැබුවා ෴

+++++++++++++

*********************************************

ප්‍රේමලාල් ජයසේකරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

(04.09.2020 – 11:17 +0530 – hirunews.lk/sinhala)

තමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මරණීය දණ්ඩනයට නියමවූ රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස්වරයා, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයායි.

අදාළ පෙත්සම මගින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මිනිමැරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු තමන්ට රත්නපුර මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කළද එම දඬුවමට එරෙහිව තමා මේ වනවිට අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.

එසේ තිබියදී පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ තමන්ව පාර්ලිමේන්තු රැස්වීම් සඳහා රැගෙන යාම බන්ධනාගාර නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන බව ඔහු සඳහන් කරනවා.

අභියාචනයක් ඉදිරිපත් කර ඇති තමන්ට පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගිවීමට කිසිදු බාධාවක් නොමැති බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස වගඋත්තරකරුවන්ට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සිය පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

++++++++++++++

මරණ දණ්ඩනය නියම වූ රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුව සභාවාර සඳහා සහභාගි වීමට අවසර ලබා දෙන්නේ ද යන්න පිළිබඳ තීරණය එළඹෙන සඳුදා (07) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළා.

ඒ තමන්ට පාර්ලිමේන්තු සභාවාරයන්ට සහභාගි වීමට අවසර දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රේමලාල් ජයසේකර විසින් අභියාචනාධිකරණයට ගොනුකළ රීට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සිය රීට් පෙත්සම මගින් පෙන්වා දුන්නේ මිනිමැරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු තමන්ට රත්නපුර මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කළද එම දඬුවමට එරෙහිව තමා මේ වනවිට අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි ෴

*********************************************

අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරේ CCTV දර්ශන

(04.09.2020 – 11:52 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල කොස්ගම අතර අලුත් අම්බලම ප්‍රදේශයේදී යතුරු පැදියක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් තවත් යතුරුපැදියක් පසුකර යාමට උත්සහ ගැනීමේදී එම දිශාවටම ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් මම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *